දහහත්වෙනි පරිච්ඡේදය
“මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි”
1, 2. (අ) මරියාගේ නිවසට පැමිණි අමුත්තා ඇයට ආචාර කළේ කොහොමද? (ආ) ඇයට ගැනීමට සිදු වෙන තීරණය කුමක්ද? එය ඇගේ ජීවිතයට කෙසේ බලපායිද?
මරියා හැදී වැඩුණේ නාසරෙත් නම් නගරයෙයි. එය කුඩා නගරයක් නිසා එහි පැමිණෙන අමුත්තන්ව පහසුවෙන්ම හඳුනගන්න පුළුවන්. තම නිවසට පැමිණි අමුත්තා දෙස මරියා පුදුමයෙන් බලා සිටිනවා. ඔහු පැමිණ තිබෙන්නේ මරියාගේ මවව හෝ පියාව මුණගැසීමට නොව මරියාව මුණගැසීමටයි. ඔහු මරියාට ආචාර කරමින් “ඔබට සුබ දවසක්! ඔබ බොහෝ සෙයින් ආශීර්වාද ලැබූ තැනැත්තියක්” කියා පවසනවා.—ලූක් 1:26-28 කියවන්න.
2 ඒ වන විට මරියා, යෝසෙප් සමඟ විවාහ ගිවිසගෙනයි සිටියේ. වඩු කාර්මිකයෙක් වූ ඔහු වත්පොහොසත්කමක් තිබුණු කෙනෙක් නොවුණත් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණා. ඔහු සමඟ විවාහ වී දරුමල්ලන් හදා වඩා ගෙන ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගෙවීමට මරියා බලා සිටියේ ආශාවකින්. නමුත් ඇගේ නිවසට පැමිණි අමුත්තා දෙවි ඇයට ලබා දී තිබෙන පැවරුමක් ගැන පවසනවා. එය ඇගේ අනාගත සැලසුම්වලට කොහොම බලපායිද? එම පැවරුම නිසා ඇගේ ඉදිරි ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමු වෙයිද?
3, 4. මරියා ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නම් කරන්න අවශ්‍ය මොනවාද?
3 බයිබලයේ මරියාව හඳුන්වා දී තිබෙන්නේ ගලීලයේ නාසරෙත් නුවරේ සිටි හේලිගේ දියණිය ලෙස පමණයි. ඇගේ ගතිගුණ ගැන සඳහන් වී තිබෙන්නෙත් අල්ප වශයෙන්. ඇගේ හැඩරුව ගැන නම් කිසිම තොරතුරක් සඳහන් වී නැහැ. එලෙස මරියා ගැන බයිබලයේ බොහෝ තොරතුරු සඳහන් නොවීම ගැන යම් අය පුදුම වෙනවා.
4 විවිධ ආගම් විසින් මරියා ගැන නොයෙක් ආකාරයේ තොරතුරු උගන්වා තිබෙනවා. ඇයව විවිධ ආකාරයට චිත්‍රයට නඟා තිබෙනවා, ඇගේ පිළිම සාදා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇයව “දේවමෑණියන්” ලෙසත් “ස්වර්ග රාජිණිය” ලෙසත් හඳුන්වනවා. නමුත් මරියා ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නම් ඒ දේවල් විශ්වාස කරනවා වෙනුවට ඇය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද කියා අපි බලමු. ඇයට යෙහෝවා දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් තිබුණාද කියාත් ඇයව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියාත් තේරුම්ගැනීමට එම තොරතුරු උපකාරවත් වෙනවා.
දේවදූතයෙක් ගෙනා පණිවිඩයක්
5. (අ) දේවදූතයා ආචාර කළ අවස්ථාවේදී මරියා දැක්වූ ප්‍රතිචාරයෙන් ඇය ගැන හෙළි වෙන්නේ මොනවාද? (ආ) මරියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
5 මරියාව හමු වීමට පැමිණි අමුත්තා මිනිසෙක් නෙවෙයි. ඒ ගාබ්‍රියෙල් නම් දේවදූතයායි. “ඔබ බොහෝ සෙයින් ආශීර්වාද ලැබූ තැනැත්තියක්” කියා ඔහු මරියාට ආචාර කරද්දී “ඇය බොහෝ සෙයින් කැලඹී” ඔහු එසේ පැවසුවේ ඇයි කියා කල්පනා කරනවා. (ලූක් 1:29) ඇය අනවශ්‍ය ලෙස මිනිසුන්ගේ ගෞරවය ලැබීමට බලාපොරොත්තු වූ කෙනෙක් නෙවෙයි. මේ අවස්ථාවේදී දේවදූතයා මරියාට පැවසුවේ ඇයට යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන ආශීර්වාදය ගැනයි. ඒ ගැන ඇය බොහෝ සේ ප්‍රීති වුණත් තමන්ට දෙවිගේ ආශීර්වාදය ලැබී තිබෙනවා කියා සිතමින් උඩඟු වුණේ නැහැ. මරියාගෙන් අපිට කදිම පාඩමක් ඉගෙනගන්න පුළුවන්. දෙවිගේ ආශීර්වාද ලැබීමට අප තුළත් ආශාවක් තිබෙනවා නම් දැනටමත් අපිට දෙවිගේ ආශීර්වාද තිබෙනවා කියා සිතමින් උඩඟු වෙනවා වෙනුවට දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට උපරිම වෑයමක් දරමු. යෙහෝවා දෙවි උඩඟු අයට විරුද්ධ බවත් නිහතමානී අයට කරුණාව පෙන්වන බවත් මතක තබා ගනිමු.—යාකො. 4:6.
මරියා තමන්ට දෙවිගේ ආශීර්වාදය ලැබී තිබෙනවා කියා සිතමින් උඩඟු වුණේ නැහැ
6. මරියාට ලැබෙන්නේ මොන වරප්‍රසාදයද?
6 දෙවිගෙන් ලැබුණු එම අනගි පැවරුම නිසි ලෙස ඉටු කිරීමට නම් මරියාට නිහතමානීකම අත්‍යවශ්‍ය වෙනවා. ඇය බිහි කිරීමට යන්නේ මිනිස් වර්ගයා අතරින් ශ්‍රේෂ්ඨතම තැනැත්තා බවට පත් වෙන දරුවාවයි. ඒ දරුවා ගැන දේවදූතයා මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය ලබා දෙයි. යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.” (ලූක් 1:32, 33) දාවිත්ගෙන් පැවතෙන්නෙක් සදහටම රජකම් කරන බවට වසර 1,000කට පමණ කලින් දෙවි පොරොන්දු වී තිබුණා. මරියා ඒ ගැන දැන සිටියා. (2 සාමු. 7:12, 13) ඇයට දැන් ලැබී තිබෙන්නේ දෙවි පොරොන්දු වූ එම තැනැත්තාගේ එනම් දෙවිගේ සෙනඟ මහත් ආශාවකින් බලා සිටි ගැලවුම්කරුගේ මව වීමේ අනගි වරප්රසාදයයි.
7. (අ) මරියා දේවදූතයාගෙන් ඇසූ ප්‍රශ්නයෙන් ඇය ගැන පැහැදිලි වෙන්නේ කුමක්ද? (ආ) තරුණ තරුණියන්ට මරියාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
7 ඇගේ පුත්‍රයාව “මහෝත්තම දෙවිගේ පුත්‍රයා” ලෙස හඳුන්වනු ලබන බවත් දේවදූතයා මරියාට පවසනවා. ඒත් දෙවිගේ පුත්‍රයෙකුව බිහි කරන්න ස්ත්‍රියකට පුළුවන්ද? අනික් අතට ඒ වන විට මරියා විවාහ වී සිටියෙත් නැහැ. “මම තවමත් පුරුෂයෙක් සමඟ එකට ජීවත් වී නැහැ. කොහොමද මට මේ වගේ දෙයක් වෙන්නේ” කියා මරියා දේවදූතයාගෙන් අසනවා. (ලූක් 1:34) මරියා තමන්ගේ කන්‍යාභාවය ඉතා උසස් ලෙස සැලකූ බව ඉන් පැහැදිලියි. නමුත් අද සිටින තරුණ තරුණියන් සිතන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයට. පවිත්‍ර ජීවිතයක් ගත කිරීම ලැජ්ජාවට හේතුවක් කියා සිතන ඔවුන් එවැනි ජීවිතයක් ගත කරන අයටත් සමච්චල් කරනවා. අද මුළු ලෝකයේම සදාචාර ප්‍රමිති වෙනස් වී තිබුණත් යෙහෝවා දෙවි නම් වෙනස් වී නැහැ. (මලා. 3:6) එදා මෙන් අදත් පිවිතුරු ජීවිතයක් ගෙවන අයව ඔහු අගය කරනවා.—හෙබ්‍රෙව් 13:4 කියවන්න.
8. පව්කාරකම උරුම කරගෙන ඉන්න මරියා පරිපූර්ණ දරුවෙකුව බිහි කරන්නේ කොහොමද?
8 මරියා දෙවිට විශ්වාසවන්තව සිටි ස්ත්‍රියක් වුණත් ඇයටත් පව්කාරකම උරුම වෙලා තිබුණා. එහෙනම් දෙවිගේ පරිපූර්ණ පුත්‍රයාව බිහි කරන්න ඇයට පුළුවන් වෙයිද? ඔව්. දේවදූතයා ඒ ගැන මෙසේ පවසනවා. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි.” (ලූක් 1:35) සාමාන්‍යයෙන් සෑම දරුවෙකුටම උපතින්ම පව්කාරකම උරුම වෙනවා. ඒත් තම පුත්‍රයාව මරියාගේ කුසේ වැඩෙන්න සලස්වන්නේ දෙවි නිසා යේසුස්ට පව්කාරකම උරුම නොවීමට දෙවි වගබලා ගන්නවා. දේවදූතයා පැවසූ දේ මරියා විශ්වාස කරයිද?
මරියාගේ ප්‍රතිචාරය
9. (අ) මරියා දරුවෙකු බිහි කළ බවට සැක පහළ කරන අයගේ මතය වැරදියි කියා පවසන්න පුළුවන් ඇයි? (ආ) දේවදූතයා මරියාට ලබා දුන්නේ මොන සාක්ෂියද?
9 ක්‍රිස්තියානි ආගම ගැන ගැඹුරින් අධ්‍යයනය කරන ඇතැමුන් කන්‍යාවකට දරුවෙකුව බිහි කළ හැකිද කියා ප්‍රශ්න කරනවා. ඔවුන් උගතුන් වුණත් ‘දෙවිට කළ නොහැකි දෙයක් නැති’ බවට වූ සරල සත්‍යය ඔවුන් වටහාගෙන නැහැ. (ලූක් 1:37) දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණු තරුණියක් ලෙස මරියා දේවදූතයා පැවසූ දෙය සැක කරන්නේ නැහැ. නමුත් එය විශ්වාස කිරීමට ඇයට සාක්ෂි අවශ්‍ය වෙනවා. ඇයට සාක්ෂි ලබා දීමට සූදානමින් සිටි දේවදූතයා ඇයට යම් තොරතුරු සපයනවා. මහලු වියේ පසු වන එලිසබෙත් බොහෝ කාලයක් පුරා වඳභාවයේ සිටියත් දැන් දරුවෙකු බිහි කිරීමට සූදානමින් සිටින බව ඔහු මරියාට පවසනවා. එම අනගි අවස්ථාව එලිසබෙත්ට ලබා දී තිබෙන්නේ යෙහෝවා දෙවියි.
10. මරියාට පැවරී තිබෙන්නේ කිසිම අභියෝගයක් නැති පැවරුමක්ද?
10 දේවදූතයා මගින් දෙවි පැවසූ දේ අනිවාර්යයෙන්ම ඉටු වෙන බව පිළිගැනීමට මරියාට සාක්ෂි ලැබී තිබෙනවා. කොහොමවුණත් ඇයට පැවරී තිබෙන්නේ කිසිම අභියෝගයක් නැති පැවරුමක් කියා සිතන්න බැහැ. මේ වන විටත් ඇය යෝසෙප් සමඟ විවාහ ගිවිසගෙන සිටින නිසා ඇය ගැබ්ගෙන සිටින බව දැනගන්න ලැබුණාම ඇයව විවාහ කරගන්න ඔහු කැමති වෙයිද? අනික් අතට මරියා මෙලොවට බිහි කරන්න යන්නේ මුළු විශ්වයේම උසස්ම නිර්මාණය ලෙස දෙවි සලකන ඔහුගේ කුලුඳුල් පුත්‍රයාවයි. බිලිඳු වයසේදී ඔහුව ආදරයෙන් රැකබලා ගැනීමටත් මේ දුෂ්ට සමාජයෙන් ඔහුව ආරක්ෂා කරගැනීමටත් ඇයට සිදු වෙනවා. එය මොන තරම් බාරදූර වගකීමක්ද!
11, 12. (අ) දෙවිට විශ්වාසවන්තව සිටි පුරුෂයන් පවා අභියෝගාත්මක පැවරුම් හමුවේ ක්‍රියා කර තිබෙන්නේ කොහොමද? (ආ) මරියා දේවදූතයාට පැවසූ දෙයින් ඇය ගැන හෙළි වෙන්නේ කුමක්ද?
11 දෙවිට විශ්වාසවන්තව සේවය කළ පුරුෂයන් පවා යම් අවස්ථාවලදී දෙවිගෙන් ලැබුණු බාරදූර පැවරුම් ඉටු කිරීමට අදිමදි කර තිබෙනවා. උදාහරණයකට දෙවිගේ පණිවිඩයක් ප්‍රකාශ කිරීමට තමන් දක්ෂ කථිකයෙක් නෙවෙයි කියා මෝසෙස්ට හැඟුණා, (නික්. 4:10) යෙරෙමියාට හැඟුණේ දෙවිගේ පැවරුම ඉටු කිරීමට තමන් තරුණ වැඩියි කියායි, (යෙරෙ. 1:6) යෝනා දෙවි ලබා දුන් පැවරුමෙන් පලා ගියා. (යෝනා 1:3) නමුත් මරියා කුමක් කරයිද?
12 ඇය දේවදූතයාට මෙසේ පවසනවා. “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි. නමුත් ඔබ පැවසූ දේ එලෙසම සිදු වේවා!” (ලූක් 1:38) ඇය ඉතාමත් නිහතමානී ලෙස පැවසූ ඒ වදන් අදටත් බොහෝදෙනාගේ මතකයේ රැඳී තිබීම පුදුමයක් නෙවෙයි. දාසියක් කියන්නේ ඉතාමත් පහත් කෙනෙකුට. ස්වාමියා කෙරෙහි ඇයට පූර්ණ විශ්වාසයක් තිබෙන නිසා ඔහු පවසන ඕනෑම දෙයක් කිරීමට ඇය කැමති වෙනවා. මරියාට තමන්ගේ ස්වාමියා වූ යෙහෝවා දෙවි ගැන හැඟෙන්නෙත් ඒ ආකාරයටමයි. දෙවිව අත් නොහරින අයව දෙවි කිසිවිටෙක අත් නොහරින බවටත් දෙවිගෙන් ලැබුණු පැවරුම ඉටු කිරීමට හැකි උපරිමය කරද්දී දෙවි ඒ සඳහා ආශීර්වාද කරන බවටත් ඇයට පූර්ණ විශ්වාසයක් තිබුණා.—ගීතා. 18:25.
දෙවිව අත් නොහරින අයට දෙවිගේ රැකවරණය ලැබෙන බව මරියා තේරුම්ගෙන තිබුණා
13. දෙවිගෙන් ලැබෙන පැවරුමක් අභියෝගයක් මෙන් දැනෙන අවස්ථාවලදී අපිට මරියාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
13 සමහර අවස්ථාවලදී දෙවිගෙන් ලැබෙන පැවරුමක් කොහොමටවත් ඉටු කරන්න බැහැ කියා අපිටත් සිතෙන්න පුළුවන්. නමුත් එවැනි අවස්ථාවලදී පවා මරියාට මෙන් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීමට ඇති තරම් සාක්ෂි දෙවි බයිබලය තුළින් අපට ලබා දී තිබෙනවා. (හිතෝ. 3:5, 6) ඒ නිසා අපිත් ඕනෑම කාරණයකදී දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබනවා නම් ඔහු අපට ආශීර්වාද කරන බවටත් ඔහු කෙරෙහි තිබෙන විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට අපට උපකාර කරන බවටත් නිසැක වෙන්න පුළුවන්.
එලිසබෙත්ව මුණගැසෙයි
14, 15. (අ) එලිසබෙත්ව මුණගැසීමට ගිය අවස්ථාවේදී මරියාගේ විශ්වාසය ශක්තිමත් වුණේ කොහොමද? (ආ) මරියා එලිසබෙත්ට පැවසූ දෙයින් ඇය ගැන හෙළි වෙන්නේ මොනවාද?
14 දේවදූතයා එලිසබෙත් ගැන පැවසූ ආරංචිය මරියාට විශාල දිරිගැන්වීමක් වුණා. එලිසබෙත් තරම් මරියා සිටින තත්වය තේරුම්ගත හැකි තවත් කෙනෙක් සිටියිද? මරියා කඳුකර පළාතක් වූ යූදා නගරයේ වෙසෙන එලිසබෙත්ව හමු වීමට ලහි ලහියේ සූදානම් වෙනවා. එහි යෑමට මරියාට දින තුනක් හෝ හතරක් ගත වෙන්න ඇති. දුරකතර ගෙවාගෙන එලිසබෙත්ගේ නිවසට පැමිණි මරියාට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගැනීමට අවස්ථාව ලැබෙනවා. මරියා එලිසබෙත්ට සුභ පැතූ විගස තම කුසේ සිටින දරුවා දඟලන්න පටන්ගත් බව එලිසබෙත්ට දැනෙනවා. ඒ අවස්ථාවේදී එලිසබෙත් මරියාව අමතන්නේ “මගේ ස්වාමීන්ගේ මව” ලෙසයි. එලිසබෙත් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා මරියාගේ කුසේ සිටින දරුවා අනාගතයේදී ගැලවුම්කරු ලෙස ක්‍රියා කරන බව ඇය තේරුම්ගන්නවා. දෙවි පැවසූ දේවල් මරියා විශ්වාස කළ නිසා “ඔබත් සන්තෝෂවත් කෙනෙක්” කියා එලිසබෙත් මරියාට පවසනවා. (ලූක් 1:39-45) දෙවි මරියාට පැවසූ සෑම දෙයක්ම අකුරක් නෑර ඉටු වෙන බව නම් නිසැකයි!
15 මරියා එලිසබෙත්ට පැවසූ දේ බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 1:46-55 කියවන්න.) එය මරියා පැවසූ දේවල් ගැන සඳහන් වෙන දිගම වාර්තාවයි. ඇය පැවසූ දේවලින් ඇය ගැන බොහෝ දේ හෙළි වෙනවා. එනම් ගැලවුම්කරු මෙලොවට බිහි කිරීමේ අවස්ථාව තමන්ට ලබා දීමෙන් ඇයට ආශීර්වාද කිරීම ගැන ඇය දෙවිට කොතරම් ස්තුති කළාද කියා ඉන් පැහැදිලි වෙනවා. යෙහෝවා දෙවි, නපුරු චේතනාවෙන් ක්‍රියා කරන උඩඟු අයව පහත් කරන බවත් යටහත් අයව උසස් කරන බවත් පවසන ඇය, දෙවි කෙරෙහි ඇයට තිබෙන විශ්වාසය පළ කරනවා. ඇයගේ ඒ වදන්වලින් පැහැදිලි වෙන්නේ ඇයට ශුද්ධ ලියවිලි ගැන මනා දැනුමක් තිබුණු බවයි. ඇය හෙබ්‍රෙව් ලියවිලිවලින් උපුටා දැක්වීම් 20කට වඩා කළ බව එක් පොතක සඳහන් වෙනවා.a
16, 17. (අ) මරියා සහ ඔහුගේ පුත්‍රයා අපිට තැබූ කදිම ආදර්ශය කුමක්ද? (ආ) මරියා එලිසබෙත්ව හමු වීමට ගිය ගමනින් අපට සිහිගන්වන්නේ කුමන ආශීර්වාදය ගැනද?
16 මරියා ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් ගැන ගැඹුරින් කල්පනා කළ කෙනෙක්. ඇය උඩඟු ලෙස තමන්ට සිතෙන විදිහට දේවල් පවසනවා වෙනුවට ශුද්ධ ලියවිල්ලෙන් ගෙනහැර දක්වමින් කතා කළා. ඇගේ කුස තුළ වැඩෙන දරුවාත් අනාගතයේදී එසේ කරන බව නිසැකයි. ඔහු එසේ කළ බව “මා උගන්වන්නේ මගේ අදහස් නොව මාව එවූ තැනැත්තාගේ අදහස්” කියා යේසුස් පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. (යොහ. 7:16) දැන් අපි අපෙන්ම මෙසේ අසා ගමු. ‘මමත් දෙවිගේ වචනයට නිසි ගෞරවය දෙනවාද? නැත්නම් මම කැමති මට හිතෙන විදිහට දේවල් කියන්නද?’ ඒ සම්බන්ධයෙන් මරියා අපිට කදිම ආදර්ශයක් නෙවෙයිද!
17 එලිසබෙත් සමඟ මරියා සිටි මාස තුන අතරතුරේදී ඔවුනොවුන් විශාල දිරිගැන්වීමක් ලැබූ බවට සැකයක් නැහැ. (ලූක් 1:56) සැබෑ මිතුරන් සිටීම මොන තරම් ආශීර්වාදයක්ද කියා එම සිද්ධියෙන් පැහැදිලියි. යෙහෝවා දෙවිට සැබවින් ප්‍රේම කරන අයව අපේ මිතුරන් කරගන්නවා නම් දෙවිත් සමඟ අපට තිබෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන්. (හිතෝ. 13:20) නැවතත් මරියා තම නිවසට යනවා.
මරියා සහ යෝසෙප්
18. මරියා යෝසෙප්ට පැවසුවේ මොනවාද? යෝසෙප් ප්‍රතිචාරය දැක්වූවේ කොහොමද?
18 තමන් ගැබ්ගෙන සිටින බව පිට කෙනෙකුගෙන් යෝසෙප්ට ආරංචි වෙන තුරු මරියා බලා සිටියේ නැහැ. සිදු වූ දේ ගැන යෝසෙප්ට පවසන්න මරියා සූදානම් වෙනවා. දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝසෙප් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියා මරියා සිතන්න ඇති. ඒ වුණත් ඇය අකුරක් නෑර සිදු වූ දේ ගැන යෝසෙප්ට පවසනවා. තමන් පණ මෙන් ආදරය කළ මරියාව සැක කරන්න ඔහු කැමති වෙන්නේ නැහැ. ඒ වුණත් ඇය තමන්ට ද්‍රෝහි වුණාද කියා ඔහු සිතන්න ඇති. කොහොමවුණත් යෝසෙප්ට හැඟුණේ කෙසේද කියා බයිබලයේ සඳහන් වී නැහැ. ඒ කාලයේදී විවාහ ගිවිසගෙන සිටි යුවළක්ව සැලකුවේ විවාහ වූ යුවළක් ලෙසයි. ඒ නිසා මරියාටත් නින්දාවක් නොවන ලෙස ඇයව හොර රහසින්ම දික්කසාද කිරීමට යෝසෙප් තීරණය කරනවා. (මතෙ. 1:18, 19) යෝසෙප් ගත් එම තීරණය ගැන මරියා දොස් නඟන්නේ නැහැ. නමුත් ඔහු හිත් වේදනාවෙන් සිටීම ගැන මරියා දුක් වෙනවා.
19. හරි තීරණයක් ගැනීමට යෙහෝවා දෙවි යෝසෙප්ට උදව් කළේ කොහොමද?
19 මේ අවස්ථාවේදී හරි තීරණයක් ගැනීමට යෙහෝවා දෙවි යෝසෙප්ට උපකාර කරනවා. මරියා ගැබ්ගෙන සිටින්නේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයෙන් බව දෙවිගේ දූතයෙක් ඔහුට සිහිනයකින් දැනුම් දෙනවා. එය දැනගැනීමෙන් යෝසෙප්ගේ සිතට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද! දැන් ඔහුත් මරියා මෙන් ක්‍රියා කරමින් දෙවිගේ මඟ පෙන්වීමට කීකරු වෙනවා. තමන්ගේ නිවසට මරියාව කැන්දාගෙන යන ඔහු දෙවිගේ පුත්‍රයාව රැකබලා ගැනීමේ වගකීම කැමැත්තෙන්ම භාරගන්නවා.—මතෙ. 1:20-24.
20, 21. විවාහකයන්ට සහ විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට මරියාගෙන් සහ යෝසෙප්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
20 දැනට වසර 2,000කට පමණ පෙර සිටි මේ තරුණ යුවළගෙන් අද සිටින විවාහකයන්ටත් විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් පාඩම් රැසක් ඉගෙනගන්න පුළුවන්. තම බිරිඳ දෙවිගෙන් ලැබුණු පැවරුම විශ්වාසවන්තව ඉටු කරමින් මවකගේ වගකීම සතුටින් ඉටු කරන ආකාරය දකිද්දී යෙහෝවා දෙවි තමන්ට නිවැරදි තීරණයක් ගැනීමට උපකාර කිරීම ගැන යෝසෙප් සතුටු වෙන්න ඇති. ජීවිතයේ වැදගත් තීරණ ගනිද්දී යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතීම මොන තරම් නැණවත්ද කියා යෝසෙප් ඉගෙනගන්න ඇති. (ගීතා. 37:5; හිතෝ. 18:13) ඉන්පසුවත් පවුලේ මූලිකයා ලෙස තීරණ ගනිද්දී ඔහු ඒ ගැන සැලකිලිමත් වෙන්න ඇති.
21 මරියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මුලදී යෝසෙප් ඇයව විවාහ කරගැනීමට අකමැති වෙන්න ඇත්තේ මරියා පැවසූ දේවල් හරි හැටි තේරුම්ගැනීමට නොහැකි වූ නිසා වෙන්න ඇති. නමුත් මරියා ඔහු සමඟ අමනාප වෙනවා වෙනුවට අනාගතයේදී පවුලේ මූලිකයා වන ඔහුට කැමති තීරණයක් ගැනීමට ඉඩහරිමින් ඔහුට ගෞරවයෙන් සලකනවා. එය අද සිටින ක්‍රිස්තියානී කාන්තාවන්ට මොන තරම් කදිම පාඩමක්ද! අවංක අදහස් හුවමාරුව පවුල් ජීවිතයට කොතරම් වටිනවාද කියා ඔවුන් තේරුම්ගන්න ඇති.—හිතෝපදේශ 15:22 කියවන්න.
22. යෝසෙප්ගේ සහ මරියාගේ යුග දිවියට අඩිතාලම වූයේ කුමක්ද? ඔවුන් ඉදිරියේ තිබුණේ මොන වගකීමද?
22 ඔවුන් දෙදෙනාටම යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණු නිසා එය ඔවුන්ගේ යුග දිවියට ශක්තිමත් අඩිතාලමක් වුණා. ඔවුන් දෙදෙනාම දැන් උත්සාහ කරන්නේ දෙමාපියන් ලෙස තමන් සතු වගකීම් යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස ඉටු කරන්නයි. අනාගතයේදී ඔවුන්ට ආශීර්වාද රැසක් අද්දකින්න ලැබෙනවා. නමුත් යම් අභියෝගවලටත් ඔවුන්ට මුහුණ දීමට සිදු වෙනවා. මෙලොව ජීවත් වන ශ්‍රේෂ්ඨතම මිනිසා බවට පත් වන යේසුස්ව හදා වඩා ගැනීමේ වගකීම ඔවුන්ට තිබෙනවා.
a දෙවි ආශ්චර්යවත් ලෙස දරුවෙකු ලබා දෙමින් ආශීර්වාද කළ විට හන්නා දෙවිට ස්තුති කරමින් පැවසූ සමහර වචන මරියා ගෙනහැර දක්වන්න ඇති. 6වෙනි පරිච්ඡේදයේ “සුවිශේෂී යාච්ඤා දෙකක්” නමැති කොටුව බලන්න.