දෙවියන්වහන්සේ සහ කායිසර්
“එසේවී නම් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා.”—ලූක් 20:25.
1. (අ) යෙහෝවඃවහන්සේගේ උත්කෘෂ්ට තත්වය කුමක්ද? (ආ) අපට කිසිදාක කායිසර්ට දිය නොහැකි කවර දෙය අප යෙහෝවඃවහන්සේට දිය යුතුද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එම උපදෙස දුන් විට, කායිසර්ට නොහොත් රජයට අවශ්‍ය කරන දෙයට වඩා දෙවියන්වහන්සේට ස්වකීය සේවකයන්ගෙන් අවශ්‍ය කරන දේ වැදගත් බවට උන්වහන්සේගේ මනසෙහි සැකයක් නොතිබිණ. යෙහෝවඃවහන්සේට ගීතිකාකරු කළ මෙම යාච්ඤාවේ සැබෑකම සම්බන්ධයෙන්, වෙන කිසිවෙකුට වඩා යේසුස්වහන්සේ දැන සිටිසේක: “ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය, ඔබගේ අධිපතිකමද [පරමාධිපත්‍යයද]a සියලු පරම්පරාවලම පවත්නේය.” (ගීතාවලිය 145:13) යක්ෂයා යේසුස්වහන්සේට ජනාවාස පොළොවේ සියලු රාජ්‍යවල් කෙරෙහි අධිපතිකම ඉදිරිපත් කළ විට, යේසුස්වහන්සේ මෙසේ පිළිතුරු දුන්සේක: “තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේ.” (ලූක් 4:5-8) කායිසර්, රෝමයේ අධිරාජ්‍යයා වුවත් වෙනත් මිනිස් පාලකයෙකු හෝ එහි රජය වුවත්, කිසිවිටකත් “කායිසර්” වෙත නමස්කාරය පිරිනැමිය නොහැක.
2. (අ) මේ ලෝකයට සාපේක්ෂව සාතන්ගේ තත්වය කුමක්ද? (ආ) සාතන් සිය තත්වයේ සිටින්නේ කාගේ අවසරය ඇතුවද?
2 ලෝකයේ රාජ්‍යවල් දීමට සාතන්ට අයිතියක් තිබෙන බව යේසුස්වහන්සේ ප්‍රතික්ෂේප නොකළසේක. පසුව, උන්වහන්සේ සාතන්ව “මේ ලෝකයේ අධිපතියා” ලෙස හැඳින්වූසේක. (යොහන් 12:31; 16:11) පොදු යුගයේ පළමු සියවස එහි අවසානය කරා ළඟා වෙත්ම, ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “අපි දෙවියන්වහන්සේගෙන් වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමු.” (1 යොහන් 5:19) යෙහෝවඃවහන්සේ පොළොව කෙරෙහි ස්වකීය පරමාධිපත්‍යය අත්හැර තිබූ බව මින් අදහස් නොකෙරිණ. දේශපාලන රාජ්‍යවල් කෙරෙහි පාලන අයිතිය යේසුස්වහන්සේට ඉදිරිපත් කරද්දී, සාතන් මෙසේ ප්‍රකාශ කළ බව සිහියට නඟන්න: “මේ මුළු බලය . . . ඔබට දෙන්නෙමි. මක්නිසාද ඒවා මට භාරදී තිබේ.” (ලූක් 4:6) ලෝකයේ සියලු රාජ්‍යවල් කෙරෙහි සාතන් අධිපතිකම් කරන්නේ දෙවියන්වහන්සේගේ අවසරයෙන් පමණි.
3. (අ) ජාතීන්ගේ ආණ්ඩු යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි දරන්නේ කවර තත්වයක්ද? (ආ) මෙලොවේ ආණ්ඩුවලට යටත්වීම, එහි දෙවි වූ සාතන්ට යටත්වීම අදහස් නොකරන බව අපට පැවසිය හැක්කේ කෙසේද?
3 ඒ හා සමානව, රජය එහි අධිකාරය ක්‍රියාවට නංවන්නේ, පරමාධිපති පාලකයාණන් වශයෙන් දෙවියන්වහන්සේ එසේ කිරීමට ඊට ඉඩ දෙන නිසා පමණි. (යොහන් 19:11) මෙසේ “ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් [ඒවායෙහි සාපේක්ෂී ස්ථානවල සිටීමට, NW] නියමකර” තිබෙන බව පැවසිය හැක. යෙහෝවඃවහන්සේගේ අතිශ්‍රේෂ්ඨ පරමාධිපති අධිකාරයට සාපේක්ෂව, ඔවුන්ගේ අධිකාරය ඉඳුරාම පහත් එකකි. කෙසේවෙතත්, ඔවුන් අත්‍යවශ්‍ය සේවාවන් සපයමින්, නීතිය හා විනය පවත්වමින්, වරදකරුවන්ට දඬුවම් කරමින් සිටින බැවින්, ඔවුහු “දෙවියන්වහන්සේගේ සේවක,” එනම් “දෙවියන්වහන්සේගේ [ප්‍රසිද්ධ, NW] සේවකයෝ” වෙත්. (රෝම 13:1, 4, 6) එබැවින් ක්‍රිස්තියානීන් රජයට සාපේක්ෂීව යටත් විය යුතු බව පිළිගන්නා විට, සාතන් මේ ලෝකයේ නොහොත් පිළිවෙළේ අදෘශ්‍යමාන පාලකයා වුවත්, ඔවුන් ඔහුට යටත් නොවන බව ක්‍රිස්තියානීන් වටහාගත යුතුය. ඔවුහු දෙවියන්වහන්සේට කීකරු වෙමින් සිටිති. මෙම 1996 වර්ෂයේ, දේශපාලන රජය, තවමත් “දෙවියන්වහන්සේගේ නියෝගය” හා බැඳි කොටසකි, එනම් දෙවියන්වහන්සේ පැවතීමට ඉඩ දෙන තාවකාලික විධිවිධානයකි, ඇරත් යෙහෝවඃවහන්සේගේ භූමික සේවකයන් විසින් එය එවන් යමක් සේ පිළිගත යුතු වේ.—රෝම 13:2.
යෙහෝවඃවහන්සේගේ ආදීකාලීන සේවකයෝ හා රජය
4. යෙහෝවඃවහන්සේ, මිසර ආණ්ඩුවේ ප්‍රසිද්ධ තනතුරක් හෙබවීමට යෝසෙප්ට ඉඩ දුන්නේ මන්ද?
4 ප්රාග්-ක්‍රිස්තියානි කාලවල, රාජ්යාණ්ඩුවල ප්‍රසිද්ධ තනතුරු හෙබවීමට යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන් සමහරදෙනෙකුට ඉඩ දුන්සේක. උදාහරණයක් ලෙස, පාලනය කරමින් සිටි ඵාරාවෝට පමණක් දෙවන වූ යෝසෙප්, පො.යු.පෙ. 18වන සියවසේදී මිසරයේ අගමැති බවට පත් විය. (උත්පත්ති 41:39-43) පසුකාලීන සිදුවීම්වලින් පැහැදිලි කරනු ලැබුවේ, ‘ආබ්‍රහම්ගේ වංශය,’ එනම් ඔහුගේ පැවතෙන්නන් ආරක්ෂා කිරීමේ මෙවලමක් ලෙස යෝසෙප්ට සේවය කිරීමට හැකි වන පරිදි, යෙහෝවඃවහන්සේ ස්වකීය අරමුණ දිගටම ක්‍රියාත්මක කරවීමේ අරමුණින්, කාරණා මෙලෙස මෙහෙයවූ බවය. යෝසෙප් මිසරයේ වහල්භාවයට විකුණනු ලැබූ බවත්, දෙවියන්වහන්සේගේ සේවකයන්ට මෝසෙස්ගේ ව්‍යවස්ථාව නැතහොත් “ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව” නොතිබුණු කාලයක ඔහු ජීවත් වූ බවත් මතක තබාගත යුතු බව නොකිවමනාය.—උත්පත්ති 15:5-7; 50:19-21; ගලාති 6:2.
5. බබිලෝනියේ ‘සමාදානය සෙවීමට’ යුදෙව් වහලුන්ට අණ කරන ලද්දේ මන්ද?
5 සියවස් ගණනාවකට පසු, යුදෙව් වහලුන් බබිලෝනියේ වහල්භාවයේ සිටි විට, පාලකයන්ට යටත්වීමටත්, එම නගරයේ සමාදානය උදෙසා පවා යාච්ඤා කිරීමටත්, යෙහෝවඃවහන්සේ විශ්වාසවන්ත අනාගතවක්තෘ යෙරෙමියාට ආනුභාවය දුන්සේක. ඔවුන්ට ලිවූ සිය ලිපියෙහි හේ මෙසේ ලීවේය: “අල්ලාගන්නාලදුව, . . . ගෙන ගියාවූ සියල්ලන්ට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක . . . මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරපල්ලා. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි.” (යෙරෙමියා 29:4, 7) යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමේ නිදහස භුක්තිවිඳීම සඳහා, තමුන් සඳහාත්, තමුන් ජීවත්වන ජාතිය සඳහාත් ‘සමාදානය සෙවීමට’ යෙහෝවඃවහන්සේගේ සෙනඟට සෑමවිටම හේතු තිබේ.—1 පේතෘස් 3:11.
6. උසස් ආණ්ඩු නිලතල ඔවුන්ට දෙනු ලැබුවද, යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති පාවා දීමට දානියෙල් හා ඔහුගේ සගයන් තිදෙනා ප්‍රතික්ෂේප කළේ කවර ආකාරවලින්ද?
6 බබිලෝනියේ වහල් සමයේදී, එහි වහලුන් හැටියට ගෙනයනු ලැබූ දානියෙල් හා විශ්වාසවන්ත තවත් යුදෙව්වන් තිදෙනෙක්, රජයේ පුහුණුවට යටත් වී, බබිලෝනියේ උසස් තනතුරු හෙබවූ රජයේ සේවකයන් බවට පත් වූහ. (දානියෙල් 1:3-7; 2:48, 49) කෙසේවෙතත්, ඔවුන් පුහුණුව ලබමින් සිටි කාලයේදී පවා, සිය දෙවි වූ යෙහෝවඃවහන්සේ මෝසෙස් මගින් සපයා තිබූ ව්‍යවස්ථාව කඩ කිරීමට මඟ පෑදිය හැකි වූ ආහාර පාන හා සම්බන්ධ කාරණාවලදී, ඔවුහු ස්ථිර ස්ථාවරයක් ගත්හ. මේ නිසා ඔවුන්ට ආශීර්වාද අත් විය. (දානියෙල් 1:8-17) නෙබුකද්නෙශර් රජු රාජ්‍ය රූපයක් පිහිටෙවූ විට, දානියෙල්ගේ හෙබ්‍රෙව් සගයන් තිදෙනාට සෙසු රාජ්‍ය පරිපාලකයන් සමඟ අනිවාර්යයෙන්ම උත්සවයට යෑමට සිදු වූ බව පෙනේ. කෙසේවෙතත්, රාජ්‍ය පිළිමයට “බිම වැටී නමස්කාර” කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. නැවතත්, යෙහෝවඃවහන්සේ ඔවුන්ගේ අඛණ්ඩතාව වෙනුවෙන් විපාක දුන්සේක. (දානියෙල් 3:1-6, 13-28) ඒ හා සමානව අදදින, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ තමුන් වෙසෙන රටේ ජාතික කොඩියට ගරු කළත්, එයට නමස්කාර ක්‍රියාවක් කිරීම ප්‍රතික්ෂේප කරති.—නික්මයාම 20:4, 5; 1 යොහන් 5:21.
7. (අ) බබිලෝනියේ ආණ්ඩුමය ව්‍යූහයේ උසස් නිලයක සිටියද, දානියෙල් ගත් කදිම ස්ථාවරය කුමක්ද? (ආ) ක්‍රිස්තියානි කාලවලදී සිදු වූ වෙනස්වීම් කවරේද?
7 නව බබිලෝනීය රාජවංශයේ වැටී යෑමෙන් පසු, බබිලෝනියේ තැනගත් නව මේද-පර්සියානු ආධිපත්‍යය යටතේ දානියෙල්ට ආණ්ඩුවේ උසස් නිලයක් දෙන ලදි. (දානියෙල් 5:30, 31; 6:1-3) එහෙත් සිය අඛණ්ඩතාව අත්හැරීමට මාර්ගය විවෘත කිරීම සඳහා, හෙතෙම තම උසස් නිලයට ඉඩ නොදුන්නේය. යෙහෝවඃවහන්සේට නොව දාරියුස් රජුට නමස්කාර කළ යුතුයයි රාජ්‍ය නීතියකින් ඉල්ලා සිටි විට, හෙතෙම එය ප්‍රතික්ෂේප කළේය. එසේ කළ නිසා ඔහුව සිංහ ගුහාවකට දමනු ලැබුවත්, යෙහෝවඃවහන්සේ ඔහුව ආරක්ෂා කළසේක. (දානියෙල් 6:4-24) මේ දේවල් සිදු වූයේ ප්රාග්-ක්‍රිස්තියානි කාලවල බව පැහැදිලිය. වරක් ක්‍රිස්තියානි සභාව ස්ථාපිත කළායින් පසු, දෙවියන්වහන්සේගේ සේවකයෝ “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්” වූහ. යෙහෝවඃවහන්සේ එකල ස්වකීය සෙනඟ සමඟ කටයුතු කරමින් සිටි අන්දම මත පදනම්ව, යුදෙව් පිළිවෙළ යටතේ කිරීමට අවසර තිබූ බොහෝ දේවල් වෙනස් ආකාරයකින් සැලකිය යුතු විය.—1 කොරින්ති 9:21; මතෙව් 5:31, 32; 19:3-9.
රජය කෙරෙහි යේසුස්වහන්සේගේ ආකල්පය
8. දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමට යේසුස්වහන්සේ අදිටන් කරගෙන සිටි බව පෙන්වන්නේ කවර සිද්ධියද?
8 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොව මත සිටියදී, සිය අනුගාමිකයන් සඳහා වඩාත් උසස් ප්‍රමිති තැබූ අතර, දේශපාලනමය හා හමුදාමය කාරණාවලට ඕනෑම ආකාරයකින් සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළසේක. යේසුස්වහන්සේ රොටි ස්වල්පයක් සහ කුඩා මසුන් දෙදෙනෙකු සමඟින්, දහස් ගණනකින් යුත් සමූහයකට ආශ්චර්යවත් අන්දමකින් ආහාර දීමෙන් පසු, උන්වහන්සේව බලාත්කාරයෙන් අල්ලා, දේශපාලන රජෙකු කිරීමට යුදෙව් මිනිසුන්ට වුවමනා විය. එහෙත් ඉක්මනින් කඳුකරයට ගමන් කිරීමෙන් යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඉවත් වූසේක. (යොහන් 6:5-15) මේ සිද්ධිය සම්බන්ධයෙන්, ද නිව් ඉන්ටර්නැෂනල් කමෙන්ට්‍රි ඔන් ද නිව් ටෙස්ටමන්ට් මෙසේ ප්‍රකාශ කරයි: “එම වකවානුවේ යුදෙව්වන් අතර ප්‍රබල ජාතිවාදී හැඟීම් තිබූ අතර, එම ප්රාතිහාර්යය දුටු බොහෝදෙනෙකුට කිසිම සැකයකින් තොරව හැඟුණේ, රෝමවරුන්ට එරෙහිව ඔවුන්ට පෙරටුව යෑම සඳහා හොඳින් ගැළපෙන, දිව්‍යමය ලෙස පිළිගත් නායකයෙකු ඒ අවස්ථාවේදී පෙනී සිටි බවය. එනිසා, උන්වහන්සේව රජු බවට පත් කිරීමට ඔවුහු තීරණය කළෝය.” දේශපාලන නායකත්වය සඳහා වූ මෙම ආරාධනය යේසුස්වහන්සේ “තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප” කළ බව එහි තවදුරටත් සඳහන් වේ. ක්‍රිස්තුස්වහන්සේ රෝම ආධිපත්‍යයට එරෙහිව කිසිම යුදෙව් කැරැල්ලකට අත හිත නුදුන්සේක. ඇත්තෙන්ම, සිය මරණින් පසු සිදු වන කැරැල්ලේ ප්‍රතිඵලය උන්වහන්සේ පුරෝකථනය කළසේක—එනම් යෙරුසලමේ වැසියන් සඳහා පෙර නොවූ විරූ දුක් හා එම නුවර මත විනාශය යන ඒවාය.—ලූක් 21:20-24.
9. (අ) යේසුස්වහන්සේ සිය රාජ්‍යය හා ලෝකය අතර තිබෙන සම්බන්ධය විස්තර කළේ කෙසේද? (ආ) ලෝකයේ ආණ්ඩු සමඟ කටයුතු කරන අන්දම පිළිබඳ යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට දුන්නේ කවර මඟ පෙන්වීමක්ද?
9 සිය මරණයට ටික කලකට පෙර, යුදාහි රෝම අධිරාජ්‍යයාගේ විශේෂ නියෝජිතයාට යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධවී නම්, යුදෙව්වරුන්ට මා භාරදෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන්කරනවා ඇත. නුමුත් දැන් මාගේ රාජ්‍යය මෙලොවින් නොවේ.” (යොහන් 18:36) උන්වහන්සේගේ රාජ්‍යය මගින් දේශපාලන ආණ්ඩුවල පාලනය අවසානයකට ගෙනෙනු ලබන තාක් කල්, ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරති. ඔවුහු එම ස්ථාපිත අධිකාරීන් කෙරෙහි කීකරුකම දැක්වුවද, ඔවුන්ගේ දේශපාලනමය කටයුතුවලට මැදිහත් නොවෙති. (දානියෙල් 2:44, 45; මතෙව් 4:8-10) සිය ගෝලයන්ට මාර්ග දර්ශක සැපයූ යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා.” (මතෙව් 22:21) මීට පෙර, සිය කන්ද උඩ දේශනාවෙහිදී, යේසුස්වහන්සේ මෙසේ පවසා තිබිණ: “[අධිකාරය හොබවන, NW] යමෙක් එක හැතැප්මක් යන්ට නුඹට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් පලයන්න.” (මතෙව් 5:41) මේ දේශනාවේ අවට පාඨ සම්බන්ධය සලකා බලද්දී, මානව සම්බන්ධකම්වලදී වේවා, දෙවියන්වහන්සේගේ නීතියට එකඟ ආණ්ඩුමය අවශ්‍යතාවලදී හෝ වේවා, නීත්‍යනුකූල ඉල්ලීම්වලට කැමැත්තෙන් යටත්වීමේ ප්‍රතිපත්තිය යේසුස්වහන්සේ නිදර්ශනය කරමින් සිටිසේක.—ලූක් 6:27-31; යොහන් 17:14, 15.
ක්‍රිස්තියානීන් සහ කායිසර්
10. එක් ඉතිහාසඥයෙකුට අනුව, කායිසර් සම්බන්ධයෙන් මුල් ක්‍රිස්තියානීන් පැවැත්වූ හෘදය සාක්ෂියට එකඟ ස්ථාවරය කුමක්ද?
10 ක්‍රිස්තියානීන් සහ රජය අතර සම්බන්ධය පාලනය කිරීම සඳහා මෙම කෙටි මාර්ග දර්ශක සපයන ලදි. ද රයිස් ඔෆ් ක්‍රිස්ටියැනිටි යන සිය පොතෙහි, ඉතිහාසඥ ඊ. ඩබ්. බාර්න්ස් මෙසේ ලීවේය: “පසුව පැමිණි සියවස් ගණනාව තුළදී, රජය කෙරෙහි තම යුතුකම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි භක්තිකයෙකුට සැකයක් තිබුණේ නම්, හෙතෙම ක්‍රිස්තුස්වහන්සේගේ අධිකාරයකින් යුත් ඉගැන්වීම්වල පිහිට පැතුවේය. ඔහු බදු ගෙවනු ඇත: අය කළ ගාස්තු පීඩාකාරි වූවා විය හැක—බටහිර අධිරාජ්‍යයේ බිඳවැටීමට කලින් ඒවා දරාගත නොහැකි තරම් පීඩාකාරි විය—නමුත් ක්‍රිස්තියානි භක්තිකයා ඒවා දරාගනු ඇත. ඒ හා සමානව, දෙවියන්වහන්සේට අයිති දේ කායිසර්ට දීමට ඔහුගෙන් කරන ඉල්ලීම හැර, ඔහු අන් සියලුම රාජ්‍ය වගකීම් පිළිගනු ඇත.”
11. ලෝකයේ පාලකයන් සමඟ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පාවුල් ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේ කෙසේද?
11 ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් අවුරුදු 20කට ස්වල්ප කලකට පසු, ප්‍රේරිත පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවේ, මේ කාරණය පෙරදැරි කරගෙනය: “හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා.” (රෝම 13:1) අවුරුදු දහයකට පමණ පසු, දෙවන වරටත් සිරගත වී, රෝමයේදී මරණයට පත් කරනු ලැබීමට ටික කලකට පෙර, පාවුල් තීතස්ට මෙසේ ලීවේය: “අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත්වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද, කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුන්ට [ක්‍රීතයේ ක්‍රිස්තියානීන්ට] සිහිකරවාපන්න.”—තීතස් 3:1, 2.
“බලයලත් මුලාදෑනීන්” පිළිබඳ ප්රගතිශීලී අවබෝධයක්
12. (අ) චාර්ල්ස් ටේස් රසල්ගේ දෘෂ්ටියට අනුව, ආණ්ඩු අධිකාරීන්ට සාපේක්ෂව ක්‍රිස්තියානි භක්තිකයෙකුගේ නිසි ස්ථාවරය කුමක් වීද? (ආ) හමුදා සේවයට බැඳීම සම්බන්ධයෙන්, පළමු ලෝක සංග්‍රාමයේදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගත් වෙනස් ස්ථාවර කවරේද?
12 වර්ෂ 1886 තරම් මුල් කාලයක, ද ප්ලෑන් ඔෆ් දි ඒජස් යන පොතෙහි චාර්ල්ස් ටේස් රසල් මෙසේ ලීවේය: “යේසුස්වහන්සේවත් ප්රේරිතයන්වත් කිසිදු අන්දමකින් හෝ භූමික පාලකයන්ගේ කටයුතුවලට මැදිහත් වූයේ නැත. . . . නීතිවලට කීකරු වීමටත්, අධිකාරය හෙබවූ අයට ඔවුන්ගේ නිලය නිසා ගෞරව කිරීමටත්, තමන්ට නියමිත බදු ගෙවීමටත්, ඒවා දේවනීති හා ගැටුණු අවස්ථාවලදී හැර, (ක්‍රියා 4:19; 5:29) අන් සෑම අවස්ථාවකදීම ඕනෑම ස්ථාපිත නීතියකට මොනයම් අයුරකින්වත් විරුද්ධ නොවීමටත් ඔවුහු සභාවට ඉගැන්වූහ. (රෝම 13:1-7; මතෙ. 22:21) මේ ලෝකයේ ආණ්ඩුවලින් වෙන්ව, ඒවාට කිසිම අන්දමකින්වත් සහභාගි නොවුවත්, යේසුස්වහන්සේද, ප්‍රේරිතයෝද, මුල් සභාවද නීතිගරුක වූහ.” ප්‍රේරිත පාවුල් විසින් සඳහන් කරන ලද “බලයලත් මුලාදෑනීන්” මිනිස් ආණ්ඩු අධිකාරීන් හැටියට මෙම පොත නිවැරදිව හඳුන්වා දෙයි. (රෝම 13:1) වර්ෂ 1904දී ද නිව් ක්‍රියේෂන් ප්‍රකාශ කළ පරිදි, සැබෑ ක්‍රිස්තියානීන් “වත්මන් කාලයේදී වඩාත් නීතිගරුක පුද්ගලයන්ගේ ගණයෙහිලා සැලකිය යුතුය”—ඔවුහු කෝලහාල නොකරති, රණ්ඩු දබරවල නොයෙදෙති, අනුන්ගේ වැරදි නොසොයති.” සමහරුන්ට අවබෝධ වූයේ බලයලත් මුලාදෑනීන්ට සහමුලින්ම යටත් විය යුතු බවය, එනම්, පළමු ලෝක සංග්‍රාමයේ හමුදා සේවයට බැඳීමට පවා එකඟ වෙමින්, බලයලත් මුලාදෑනීන්ට සහමුලින්ම පළමුව යටත් විය යුතු බවය. කෙසේවෙතත්, එය යේසුස්වහන්සේගේ මතු දැක්වෙන ප්‍රකාශයට පටහැනි බව වෙනත් අය සැලකූහ: “කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.” (මතෙව් 26:52) බලයලත් මුලාදෑනීන්ට ක්‍රිස්තියානීන්ගේ යටත්වීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අවබෝධයක් අවශ්‍ය වූ බව නොකිවමනාය.
13. වර්ෂ 1929දී බලයලත් මුලාදෑනීන්ගේ අනන්‍යතාව පිළිබඳ අවබෝධය සම්බන්ධයෙන් සිදු වූ වෙනස කුමක්ද, තවද මෙය ප්‍රයෝජනවත් යමක් වූ බවට ඔප්පු වූයේ කෙසේද?
13 වර්ෂ 1929දී, විවිධ ආණ්ඩුවල නීති, දෙවියන්වහන්සේ ආඥා කරන දේ තහනම් කිරීමටත්, දෙවියන්වහන්සේගේ නීති තහනම් කරන දේ බලෙන් ඉල්ලා සිටීමටත් පටන්ගත් කාලයක, බලයලත් මුලාදෑනීන් යනු යෙහෝවඃ දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විය යුතු බවට විශ්වාස කරන ලදි.b දෙවන ලෝක සංග්‍රාමයට පෙර හා ඒ අතරතුර තීරණාත්මක කාලපරිච්ඡේදයේදී මෙන්ම, භීතිය නිසා ජය පරාජයෙන් තොර බව හා සැමවිටම යුද්ධයට සූදානම්ව සිටීම යන අංග ලක්ෂණවලින් යුත් ශීත යුද්ධය පැවති කාලය දක්වා යෙහෝවඃවහන්සේගේ සෙනඟට තිබුණේ මේ අවබෝධයයි. අතීතය දෙස හැරී බලද්දී, යෙහෝවඃවහන්සේ හා ස්වකීය ක්‍රිස්තුස්වහන්සේගේ අතිශ්රේෂ්ඨභාවය උසස් කළ දේවල් පිළිබඳ මේ දෘෂ්ටිය, මෙම දුෂ්කර කාලපරිච්ඡේදය තුළදී ප්‍රතිපත්ති පාවා නොදෙන මධ්‍යස්ථ ස්ථාවරයක් රැකගැනීමට දෙවියන්වහන්සේගේ සෙනඟට උපකාර කළ බව පැවසිය යුතුමය.
සාපේක්ෂී යටත්කම
14. වර්ෂ 1962දී රෝම 13:1, 2 සහ ඒ හා සම්බන්ධ ශුද්ධ ලියවිලි පාඨ මත වඩාත් පැහැදිලි ආලෝකයක් හෙළන ලද්දේ කෙසේද?
14 වර්ෂ 1961දී නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් යන පරිවර්තනය නිමාවකට පත් කරන ලදි. එය සකස් කිරීම සඳහා, ශුද්ධ ලියවිලි පාඨයේ භාවිත කළ භාෂාව ගැඹුරින් අධ්‍යයනය කිරීම අවශ්‍යව තිබිණ. රෝම 13වන පරිච්ඡේදයේ පමණක් නොව, නමුත් තීතස් 3:1, 2 සහ 1 පේතෘස් 2:13, 14, 17 වැනි වගන්තිවල භාවිත කළ වදන්වල ඉතා පැහැදිලි පරිවර්තනයෙන් ප්රත්යක්ෂ වූයේ “බලයලත් මුලාදෑනීන්” යන යෙදුම, අතිශ්‍රේෂ්ඨ අධිකාරය වන යෙහෝවඃවහන්සේට හා ස්වකීය පුත්‍ර යේසුස්වහන්සේට නොව, නමුත් මිනිස් ආණ්ඩු අධිකාරීන්ට යොමු දැක්වූ බවය. වර්ෂ 1962 අපරභාගයේදී, රෝම 13වන පරිච්ඡේදය පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් මෙන්ම, සී. ටී. රසල්ගේ කාලයේ පිළිගත් දෘෂ්ටියට වඩා පැහැදිලි දෘෂ්ටියක් සැපයූ ලිපි මුරටැඹහි පළ කරන ලදි. බලධාරීන්ට ක්‍රිස්තියානීන් සම්පූර්ණයෙන්ම යටත් විය නොහැකි බව මෙම ලිපි පැහැදිලි කළේය. දෙවියන්වහන්සේගේ නීති උල්ලංගනය කිරීමට ස්වකීය සෙනඟට නොසැලැස්වීමේ කොන්දේසිය මත එය සාපේක්ෂී විය යුතුය. මුරටැඹහි තවදුරටත් පළ වූ ලිපි මගින් මෙම වැදගත් කාරණය අවධාරණය කර තිබේ.c
15, 16. (අ) රෝම 13වන පරිච්ඡේදය පිළිබඳ අලුත් අවබෝධය මඟ පෑදුවේ වඩාත් සමබර කවර තත්වයටද? (ආ) උත්තර ලැබිය යුතු ප්‍රශ්න කවරේද?
15 රෝම 13වන පරිච්ඡේදය පිළිබඳ නිවැරදි අවබෝධයට මඟ පාදන මෙම අතිවැදගත් කාරණය, දේශපාලන අධිකාරීන්ට දිය යුතු ගෞරවය හා අතිවැදගත් ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇදහිල්ල පාවා නොදෙන ස්ථාවරයක් පැවැත්වීම සමබරව ගෙනයෑමට යෙහෝවඃවහන්සේගේ ජනයාට ඉවහල් වී ඇත. (ගීතාවලිය 97:11; යෙරෙමියා 3:15) දෙවියන්වහන්සේ සමඟ සිය සබඳතාව පිළිබඳ හා රජය සමඟ සිය කටයුතු පිළිබඳ නිසියාකාර දෘෂ්ටියක් ඇතුව සිටීමට මින් ඔවුන්ට ඉඩ කඩ සලසා තිබේ. ඔවුන් කායිසර්ගේ දේ කායිසර්ට දෙන අතරතුර, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේට දීම අතපසු නොකරන බව ඉන් සහතික කොට තිබේ.
16 එහෙත් ඇත්තටම කායිසර්ගේ දේවල් යනු කුමක්ද? ක්‍රිස්තියානි භක්තිකයෙකුගෙන් රජයට කවර නීත්‍යනුකූල ඉල්ලීම් කළ හැකිද? මෙම ප්‍රශ්න මීළඟ ලිපියෙහි සලකා බලනු ලැබේ.
[පාදසටහන්වල]
a ගීතාවලිය 103:22, NW පාදසටහන බලන්න.
b 1929 ජූනි 1 සහ 15 ද වොච්ටවර්.
c 1962 නොවැම්බර් 1 සහ 15, දෙසැම්බර් 1 ද වොච්ටවර්; 1991 මාර්තු 1; 1993 පෙබරවාරි 1; 1994 ජූලි 1 මුරටැඹ බලන්න.
රෝම 13වන පරිච්ඡේදය පිළිබඳ සිය විවරණයේදී මහාචාර්ය එෆ්. එෆ්. බෲස් මෙසේ ලිවීම සිත්ගන්නකි: “යම් අරමුණු සඳහා දිව්‍යමය ලෙස රජය පිහිටුවා තිබේද, එයට යුක්තිසහගත ලෙස කීකරුකම ඉල්ලා සිටිය හැකි වන්නේ, ඊට සම්බන්ධ සීමාවන් තුළ පමණක් බව අදාළ පාඨ සම්බන්ධයෙන් සහ ප්‍රේරිතවරුන්ගේ ලියවිලිවල සාමාන්‍ය සම්බන්ධයෙන් පැහැදිලිය—දෙවියන්වහන්සේට පමණක් දිය යුතු පක්ෂපාතකම රජය ඉල්ලා සිටින විට, එයට විරුද්ධ විය හැකිවා පමණක් නොව, විරුද්ධ විය යුතු බවද විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය.”
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ බලයලත් මුලාදෑනීන්ට යටත්වීම, සාතන්ට යටත්වීම අදහස් නොකරන්නේ මන්ද?
◻ සිය කාලයෙහි දේශපාලනය සම්බන්ධයෙන් යේසුස්වහන්සේ දැක්වූ ආකල්පය කුමක් වීද?
◻ කායිසර් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට දුන් උපදෙස් කවරේද?
◻ ජාතීන්ගේ පාලකයන් සමඟ කටයුතු කරන අන්දම ගැන පාවුල් ක්‍රිස්තියානීන්ට දුන් උපදෙස් කවරේද?
◻ බලයලත් මුලාදෑනීන්ගේ අනන්‍යතාව පිළිබඳ අවබෝධය ගත වූ වර්ෂ ගණනාව පුරා වර්ධනය වී තිබෙන්නේ කෙසේද
[10වන පිටුවේ පින්තූරය]
සාතන් යේසුස්වහන්සේට දේශපාලන බලය ඉදිරිපත් කළ විට, උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළසේක
[13වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානීන් “වත්මන් කාලයේදී වඩාත් නීතිගරුක පුද්ගලයන්ගේ ගණයෙහිලා සැලකිය යුතු” බව රසල් ලීවේය