28වෙනි පරිච්ඡේදය
යේසුස්ගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ ඇයි?
මතෙව් 9:14-17 මාක් 2:18-22 ලූක් 5:33-39
යොහන්ගේ ගෝලයන් නිරාහාරව සිටීම ගැන යේසුස්ගෙන් ප්‍රශ්න කරයි
යේසුස් ක්‍රි.ව. 30දී පාස්කු උත්සවයට හවුල් වෙලා වැඩි කාලයක් යන්න කලින් යොහන් බව්තීස්තව අත්අඩංගුවට ගත්තා. තාමත් යොහන් ඉන්නේ හිරගෙදර. තමන්ගේ ගෝලයන් හැමෝම යේසුස්ගේ අනුගාමිකයන් වෙනවා දකින්නයි ඔහුට උවමනා වුණේ. ඒත් සමහර ගෝලයන් තවමත් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා නැහැ.
දැන් අපි ඉන්නේ ක්‍රි.ව. 31 පාස්කුව පවත්වන කාලයේ. යොහන්ගේ ගෝලයන් යේසුස් ළඟට ඇවිත් මෙහෙම අහනවා. ‘අපත් පරිසිවරුනුත් සිරිතක් ලෙස නිරාහාරව සිටිනවා. නමුත් ඔබේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ ඇයි?’ (මතෙව් 9:14) පරිසිවරු සිරිතක් විදිහට නිරාහාරව ඉන්නේ ආගමික වත්පිළිවෙතක් හැටියට. යේසුස් පස්සේ කාලෙක උපමාවකත් ඒ ගැන සඳහන් කළා. ඒ උපමාවේ ඉන්න තමන් ධර්මිෂ්ඨයි කියලා හිතපු පරිසිවරයෙක් යාච්ඤා කළේ මෙහෙමයි. ‘දෙවියනි, මම ඔබට ස්තුති කරන්න කැමතියි. අන් අය වගේ මම පව්කාරයෙක් නොවෙයි. මම සතියට දෙවතාවක් නිරාහාරව සිටිනවා.’ (ලූක් 18:11, 12) සමහරවිට යොහන්ගේ ගෝලයන් නිරාහාරව ඉන්නේ යොහන්ව සිරගෙදර දාපු එක ගැන ශෝක වෙන නිසා වෙන්න ඇති. ඒ නිසා යොහන්ට වෙලා තියෙන දේ ගැන යේසුස්ගේ ගෝලයනුත් ඒ විදිහට ශෝකය ප්‍රකාශ කරන්නේ නැත්තේ ඇයි කියලා ඔවුන් සිතනවා ඇති.
යොහන්ගේ ගෝලයන් අහපු ප්‍රශ්නයට යේසුස් උත්තර දෙන්නේ මෙහෙමයි. “මනාලයා තමන් සමඟ සිටින විට මනාලයාගේ මිතුරන්ට ශෝක වෙන්න හේතුවක් තිබෙනවාද? නමුත් මනාලයාව ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස් පැමිණෙනවා. එවිට ඔවුන් නිරාහාරව සිටියි.”—මතෙව් 9:15.
යොහනුත් යේසුස්ව මනාලයෙක්ට සමාන කළා. (යොහන් 3:28, 29) එහෙමනම් යේසුස් ජීවතුන් අතර ඉද්දී යේසුස්ගේ ගෝලයන්ට ශෝකය පෙන්වන්න නිරාහාරව ඉන්න ඕන වෙන්නේ නැහැ. ඒත් යේසුස් මිය ගියාට පස්සේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට ගෝලයන්ට දුක් වෙන්න හේතුවක් තියෙනවා. සමහරවිට ඒ අයට කෑම පිරියක් තියෙන එකකුත් නැහැ. හැබැයි යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ දුක් වෙන්නවත් නිරාහාරව ඉන්නවත් ඔවුන්ට කිසිම හේතුවක් නැහැ.
දැන් යේසුස් මේ නිදර්ශන දෙක කියනවා. “කිසි කෙනෙක් අලුත් රෙදි කැබැල්ලක් තබා පරණ වස්ත්‍රයක ඉරුණු තැනක් මහන්නේ නැහැ. මන්ද එසේ කළොත් එම රෙදි කැබැල්ල වඩා ශක්තිමත් නිසා එය ඇදී යෑමෙන් ඉරුම තවත් වැඩි වෙයි. ඒ වගේම කිසි කෙනෙක් අලුත් වයින් පරණ සම් භාජනවලට දමන්නෙත් නැහැ. එසේ කළොත් ඒ සම් භාජන පැළී, වයින් ඉහිරී සම් භාජන නාස්ති වී යයි. අලුත් වයින් දමන්නේ අලුත් සම් භාජනවලටයි. එවිට ඒ දෙකම ආරක්ෂා වෙයි.”—මතෙව් 9:16, 17.
නිරාහාරව ඉන්න එක ඇතුළු යුදෙව් ආගමේ තියෙන වත්පිළිවෙත් තමන්ගේ ගෝලයන් අනුගමනය කරන්න ඕනෙ නැහැ කියලා යේසුස් ඒ නිදර්ශන දෙකෙන් පැහැදිලි කරනවා. යුදෙව් නමස්කාරය ළඟදීම නැති වෙනවා කියලා යේසුස් දන්නවා. ඒ නිසා ඔහු ආවේ යුදෙව් නමස්කාරය වැඩි දියුණු කරලා ඒක දිගටම පවත්වාගෙන යන්න උදව් කරන්න නෙවෙයි. ඔහු ආවේ සත්‍ය නමස්කාරය ගැන මිනිසුන්ට උගන්වන්නයි. එදා තිබුණු යුදෙව් නමස්කාරයට වඩා වෙනස්ව සත්‍ය නමස්කාරයට මිනිසුන්ගේ සම්ප්‍රදායන් ඇතුළත් වෙන්නේ නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහු අලුත් රෙදි කැබැල්ලක් පරණ වස්ත්‍රයක තියලා මහන්නවත් අලුත් වයින් පරණ සම් භාජනයක දාන්නවත් උත්සාහ කළේ නැහැ කියන එකයි.