38වෙනි පරිච්ඡේදය
යොහන් යේසුස්ගෙන් ප්‍රශ්නයක් අසයි
යේසුස්ගේ පැවරුම ගැන යොහන් බව්තීස්ත අසයි
යේසුස් යොහන්ව අගය කරයි
යොහන් බව්තීස්තව හිරේ දැම්මේ මීට අවුරුද්දකට විතර කලින්. යේසුස් කරන බලවත් ක්‍රියා ගැන ඔහුට දිගටම ආරංචි වෙනවා. නායින් නුවරේදී යේසුස් වැන්දඹුවගේ පුතාව නැවත නැඟිටවපු සිද්ධිය ගැන ගෝලයන්ගෙන් දැනගත්තාම යොහන්ට කොහොම හැඟෙන්න ඇද්ද! යොහන්ට ඕනෙ ඒ හැම දේකම තේරුම යේසුස්ගෙන්ම දැනගන්න. ඒ නිසා “පැමිණීමට සිටින තැනැත්තා ඔබද? නැතහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතුද” කියා අහන්න ඔහු ගෝලයන් දෙන්නෙක්ව යේසුස් වෙතට යවනවා.—ලූක් 7:19.
ඒත් යොහන් එහෙම අහන්නේ ඇයි? අවුරුදු දෙකකට විතර කලින් යේසුස් බව්තීස්ම වුණු වෙලාවේදී යේසුස්ට දෙවිගේ බලය ලැබෙනවා ඔහු දැක්කා. දෙවියන් යේසුස්ව අනුමත කරනවා කියලා කියපු හඬත් ඔහුට ඇහුණා. යොහන් එහෙම අහන්නේ ඔහුගේ විශ්වාසය අඩු වෙලා තිබුණු නිසයි කියලා හිතන්න බැහැ. මොකද එහෙම වුණා නම් යේසුස් ඔහුට ප්‍රශංසා කරන එකක් නැහැ.
යොහන් ඒ වගේ ප්‍රශ්නයක් අහන්න ඇත්තේ මෙසියස් කවුද කියලා යේසුස්ගෙන්ම අහලා දැනගන්න වෙන්න ඇති. ඒ ගැන දැනගන්න ලැබුණාම හිරේ ඉන්න ඔහුට ඒක ලොකු හයියක් වෙයි. පෙනෙන විදිහට හොඳ හේතුවක් ඇතුව තමයි යොහන් ඒ වගේ ප්‍රශ්නයක් යේසුස්ගෙන් අහන්නේ. මොකද දෙවිගෙන් අභිෂේක ලබපු කෙනා රජකම් කරනවා කියලත් ඔහු ගැලවුම්කරුවෙක් වෙනවා කියලත් බයිබලයේ සඳහන් අනාවැකි ගැන යොහන් හොඳින්ම දැනගෙන හිටියා. ඒත් යේසුස් බව්තීස්ම වෙලා මාස ගාණක් ගෙවිලා තිබුණත් යොහන් තාමත් හිරෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා තමයි මෙසියස් ගැන සඳහන් අනාවැකි ඉටු කරන්න යේසුස් වෙනුවට වෙන කෙනෙක්ව බලාපොරොත්තු වෙන්න ඕනෙද කියලා ඔහු අහන්නේ.
‘ඔව්, මම තමයි පැමිණෙන්න නියමිත තැනැත්තා’ කියලා කෙළින්ම යොහන්ගේ ගෝලයන්ට කියනවාට වඩා වෙනස් දෙයක් යේසුස් කරනවා. තමන්ට දෙවිගේ අනුමැතිය තියෙනවා කියලා පෙන්වන්න ඔහු විවිධාකාර රෝගීන්ව සුව කරනවා. ඊටපස්සේ ඔහු ඒ ගෝලයන්ට මෙහෙම කියනවා. “ගොස් ඔබට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන යොහන්ට කියන්න. අන්ධ අයට පෙනීම ලැබෙනවා. කොර වී සිටින අය නැවත ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරනු ලබනවා. බිහිරි අයට ඇසෙනවා. මිය ගිය අයව නැවත ජීවත් කරනු ලබනවා. දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලබනවා.”—මතෙව් 11:4, 5.
සමහරවිට යොහන් ඒ ප්රශ්නය යේසුස්ගෙන් අහන්න ඇත්තේ යේසුස් දැනටමත් කරමින් ඉන්න දේවලට වඩා වැඩියෙන් තවත් දේවල් කරයි කියලත් තමාව හිරෙන් නිදහස් කරගනියි කියලත් හිතාගෙන වෙන්න ඇති. ඒත් තමන් දැනටමත් කරමින් ඉන්න බලවත් ක්‍රියාවලට අමතරව තව දේවල් බලාපොරොත්තු වෙන්න එපා කියලා යේසුස් යොහන්ට දැනුම් දෙනවා.
යොහන්ගේ ගෝලයන් ගියාට පස්සේ යේසුස් රැස් වෙලා ඉන්න සෙනඟට යොහන් අනාගතවක්තෘවරයෙකුට වඩා උතුම් කෙනෙක් කියලා කියනවා. මලාකි 3:1 යෙහෝවා දෙවිගේ “පණිවිඩකරු” විදිහටත් මලාකි 4:5, 6 අනාගතවක්තෘ එලියා විදිහටත් හඳුන්වලා තියෙන්නෙත් යොහන් ගැනයි කියලා යේසුස් කියනවා. ඊටපස්සේ ඔහු මෙහෙම කියනවා. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන් අය අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් ඉපදී නැති බවයි. නමුත් ස්වර්ග රාජ්‍යයේ සිටින සුළු තැනැත්තෙක් වුණත් ඔහුට වඩා උතුම්.”—මතෙව් 11:11.
ස්වර්ග රාජ්‍යයේ ඉන්න සුළු තැනැත්තෙක් වුණත් යොහන්ට වඩා උතුම් කියලා යේසුස් කියන්නේ යොහන්ට ස්වර්ගයට යන්න අවස්ථාව ලැබෙන්නේ නැති නිසයි. හේතුව යොහන් යේසුස්ට මඟ සූදානම් කළත් ක්‍රිස්තුස් ස්වර්ගයට යන්න මාර්ගය විවෘත කරන්න කලින් ඔහු මිය යනවා. (හෙබ්‍රෙව් 10:19, 20) ඒත් විශ්වාසවන්ත අනාගතවක්තෘවරයෙක් වුණු යොහන්ට අනාගතයේදී දෙවිගේ රාජ්‍යයේ පාලනය යටතේ සදහටම පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.