“විඳදරාගනිමින් පල දරන අයට” යෙහෝවා දෙවි ආදරෙයි
‘සරු පසෙහි වැටුණු බීජවලට සිදු වන දෙයින් විස්තර කරන්නේ විඳදරාගනිමින් පල දරන අයට සිදු වන දෙයයි.’—ලූක් 8:15.
1, 2. (අ) වැඩිදෙනෙක් අපේ පණිවිඩය අහන්නේ නැති ප්‍රදේශවල අත් නෑර දේශනා සේවයේ හවුල් වෙන සහෝදර සහෝදරියන් අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) “තමාගේම ගමේ” දේශනා කරන එක ගැන යේසුස් කිව්වේ මොනවාද? (පාදසටහන බලන්න.)
සර්ජෝ සහ ඔලින්ඩා ඇමරිකාවේ පුරෝගාමි යුවළක්. දෙන්නාගේ වයස දැන් 80ටත් වැඩියි. ඉස්සර වගේ දුවලා පැනලා සේවයේ යන්න තරම් දැන් එයාලට වාරු නැහැ. ඒත් එයාලා අවුරුදු ගාණක් තිස්සේ උදේ 7 වෙද්දී ටවුන් එකට ඇවිත් බස් නැවතුම්පොළ ළඟ නැවතිලා එයාලා ළඟින් යන එන අයට සඟරා දෙනවා. වැඩිදෙනෙක් එයාලා දිහා බලන්නෙත් නැහැ. ඒත් ඒ දෙන්නා එතන ඉඳන් එයාලා දිහා බලන අය එක්ක හිනා වෙනවා. ඔය විදිහට දවල් 12 විතර වෙන කල් ඉඳලා එයාලා ඇවිදගෙන ගෙදර යනවා. පහුවෙනිදා උදේ හත වෙද්දී එයාලා ආයෙත් බස් නැවතුම්පොළ ළඟ. අවුරුද්ද පුරාම සතියට දවස් 6 ගාණේ එයාලා ඔය විදිහට කරනවා.
2 සර්ජෝ සහ ඔලින්ඩා වගේ විඳදරාගෙන සේවය කරන තවත් හුඟක් සහෝදර සහෝදරියන් ඉන්නවා. එයාලා ජීවත් වෙන ප්‍රදේශවල ඉන්න වැඩිදෙනෙක් පණිවිඩයට සවන් දුන්නේ නැතත් එයාලා අවුරුදු ගාණක් තිස්සේ අත් නෑර දේශනා කරනවා. සමහරවිට ඔයා දේශනා කරන්නෙත් ඒ වගේ ප්‍රදේශයක වෙන්න ඇති. එහෙමනම් විඳදරාගෙන ඔයා කරන සේවය අපි ගොඩක් අගය කරනවා.a ඔයාගේ ආදර්ශය හුඟක් සහෝදර සහෝදරියන්ට සමහරවිට කාලයක් තිස්සේ යෙහෝවා දෙවිට සේවය කරන අයට වුණත් ලොකු දිරිගැන්වීමක්. චාරිකා සේවකයන් කීපදෙනෙක් කියන මේ අදහස් බලන්න. “දෙවිට විශ්වාසවන්තව සේවේ කරන ඒ වගේ සහෝදර සහෝදරියන් එක්ක සේවේ යද්දී මටත් අලුත් පණක් ලැබෙනවා.” “එයාලගේ විශ්වාසවන්තකම දකිද්දී විඳදරාගෙන, ධෛර්යවත්ව සේවේ කරන්න මටත් ලොකු හයියක් ලැබෙනවා.” “එයාලගේ ආදර්ශය මගේ හිතට ලොකු සතුටක් ගේනවා.”
3. අපි බලන්නේ මොන ප්‍රශ්න තුනට උත්තරද? ඒ ඇයි?
3 අපි මේ ලිපියෙන් ප්‍රශ්න 3කට උත්තර බලනවා. (1) සමහර අවස්ථාවලදී අපි අධෛර්යය වෙන්නේ ඇයි? (2) පල දරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (3) විඳදරාගෙන පල දරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගද්දී යේසුස් අපිට භාර දීපු දේශනා සේවය දිගටම කරන්න අපිට ලොකු දිරිගැන්වීමක් ලැබෙයි.
අපි අධෛර්යය වෙන්නේ ඇයි?
4. (අ) යුදෙව්වන් හුඟදෙනෙක් පණිවිඩය ප්‍රතික්ෂේප කරද්දී පාවුල්ට හැඟුණේ කොහොමද? (ආ) පාවුල්ට එහෙම හැඟුණේ ඇයි?
4 ඔයා සේවය කරන ප්‍රදේශයේ ඉන්න මිනිසුන් අපේ පණිවිඩයට සවන් දෙන්න එච්චර කැමති නැති නිසා ඔයා අධෛර්යය වෙලා තියෙනවාද? පාවුල්ටත් එහෙම හැඟුණා. එයා අවුරුදු 30ක විතර කාලයක් පුරා දේශනා කළා. යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න හුඟක් අයට උදව් කළා. (ක්‍රියා 14:21; 2 කොරි. 3:2, 3) ඒත් යුදෙව් ජාතිකයන් වැඩිදෙනෙක්ට ක්‍රිස්තියානීන් වෙන්න උදව් කරන්න එයාට බැරි වුණා. මොකද යුදෙව්වන් වැඩිදෙනෙක් පාවුල්ට ඇහුම්කන් දෙන්න කැමති වුණේ නැහැ. සමහරු එයාට පීඩාත් කළා. (ක්‍රියා 14:19; 17:1, 4, 5, 13) පාවුල්ට හැඟුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “මගේ සිතේ මහත් දුකක් හා වේදනාවක් ඇති වුණා.” (රෝම 9:1-3) එයාට එහෙම දුකක් දැනුණේ දේශනා කරන්න ලොකු ආසාවක්, මිනිසුන් ගැන ආදරයක් එයාගේ හිතේ තිබුණ නිසයි. යුදෙව්වන් දෙවිගේ දයාව පිළිගන්න අකමැති වුණ එක ගැන පාවුල් දුක් වුණා.
5. (අ) දේශනා කරන්න අපිව පොලඹවන්නේ මොකක්ද? (ආ) සමහර වෙලාවට අධෛර්යයක් දැනෙන එක ගැන අපි පුදුම වෙන්නේ නැත්තේ ඇයි?
5 පාවුල් වගේ අපිත් දේශනා කරන්නේ මිනිසුන් ගැන ආදරයක් අපේ හිතේ තියෙන නිසයි. අපිට ඕනෙ එයාලට උදව් කරන්න. (මතෙ. 22:39; 1 කොරි. 11:1) දෙවිට සේවය කරන අය මොන තරම් ආශීර්වාද ලබනවාද කියලා අපි අද්දැකීමෙන්ම දන්නවා. ඒ වගේ ජීවිතයක් අනිත් අයටත් ලැබෙනවාටයි අපි කැමති. යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් ඉගෙනගන්න කියලා අපි මිනිසුන්ට නිතරම උනන්දු කරන්නේ ඒ නිසයි. ඒක හරියට වටිනා තෑග්ගක් අපි එයාලා ළඟට අරන් ගිහින් “අනේ මේක ගන්න” කියලා කියනවා වගේ දෙයක්. ඒත් එයාලා ඒ තෑග්ග එපා කියද්දී පාවුල්ට වගේ අපේ හිතටත් දුකක් දැනෙන එක සාමාන්‍යයි. අපිට එහෙම වේදනාවක් දැනෙන්නේ අපේ විශ්වාසය අඩු නිසා නෙමෙයි. අපි එයාලට ඇත්තටම ආදරේ නිසයි. සමහර අවස්ථාවලදී අධෛර්යයක් දැනුණත් ඒ ආදරේ අපිව පොලඹවනවා අත් නෑර දේශනා කරන්න. අවුරුදු 25කට වැඩි කාලයක් පුරා පුරෝගාමි සේවය කරන එලේනා මෙහෙම කියනවා. “දේශනා කරන එක මට ලේසි නැහැ. ඒත් මං කරන්න ආසම සේවෙත් ඒකයි.” අපිට හැඟෙන්නෙත් එහෙම නෙමෙයිද?
පල දරනවා කියන්නේ මොකක්ද?
6. දැන් අපි බලන්නේ මොන ප්‍රශ්නේ ගැනද?
6 අපි දේශනා කරන ප්‍රදේශයේ ඉන්න මිනිසුන් මොන වගේ ප්‍රතිචාරයක් දැක්වුවත් අපිට පල දරන්න පුළුවන් කියලා නිසැක ඇයි? “පල දරන” එක ගැන යේසුස් කියපු උපමා දෙකකින් ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න පුළුවන්.—මතෙ. 13:23.
7. (අ) යේසුස් කියපු උපමාවේ ‘වැවිලිකරුගෙන්,’ ‘මිදිවැලෙන්,’ ‘අතුවලින්’ නියෝජනය කළේ කාවද? (ආ) අපි දැනගන්න ඕනෙ මොන ප්‍රශ්නෙට උත්තරේද?
7 යොහන් 15:1-5, 8 කියවන්න. යේසුස් කියපු මිදිවැල ගැන උපමාවේ “වැවිලිකරු” යෙහෝවා දෙවි. “මිදිවැල” තමන් කියලත් තමන්ගේ අනුගාමිකයන් මිදිවැලේ අතුb කියලත් යේසුස් කිව්වා. ඊටපස්සේ ඔහු නියෝජිතයන්ට මෙහෙම කිව්වා. “දිගටම බොහෝ පල දරන්න. ඔබ මගේ ගෝලයන් බවත් ඔප්පු කරන්න. ඔබ එසේ කළොත් මගේ පියාණන්ට මහත් ගෞරවයක් ලැබෙයි.” පල දරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? දරන පල මොනවාද කියලා යේසුස් මේ උපමාවේ නිශ්චිතවම සඳහන් කරන්නේ නැහැ. ඒත් ඒ ප්‍රශ්නෙට උත්තර දැනගන්න අපිට උදව් වෙන දෙයක් යේසුස් කිව්වා.
8. (අ) යේසුස්ගේ උපමාවේ “පල දරන්න” කියද්දී ඒකෙන් අදහස් වුණේ නැත්තේ මොකක්ද? (ආ) යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන කියන්න පුළුවන් මොකක්ද?
8 යේසුස් ඔහුගේ පියා ගැන මෙහෙම කිව්වා. “පල නොදරන සෑම අත්තක්ම මට සම්බන්ධ වී තිබුණත් ඔහු ඒවා ඉවත් කරනවා.” (මතෙ. 13:23; 21:43) වෙන විදිහකට කිව්වොත් යේසුස් කිව්වේ අපිට යෙහෝවා දෙවිගේ සේවකයන් වෙන්න පුළුවන් අපි පල දරනවා නම් විතරයි කියලා. එහෙමනම් මේ උපමාවේ කියන විදිහට පල දරනවා කියන එකෙන් අදහස් වෙන්නේ තව අයට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එකට වෙන්න බැහැ. (මතෙ. 28:19) එහෙම වුණොත් අවුරුදු ගාණක් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළත් තව කෙනෙක්ට යේසුස්ගේ ගෝලයෙක් වෙන්න උදව් කරන්න අවස්ථාව හම්බ වුණේ නැති අය සමාන වෙන්නේ පල නොදරන අතුවලට. ඒක එහෙම වෙන්න බැහැ. මොකද යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කියලා අපිට මිනිසුන්ට බල කරන්න බැහැ. අපේ ආදරණීය දෙවි යෙහෝවා අපිට කරන්න බැරි දෙයක් කවදාවත් අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.—ද්වි. 30:11-14.
9. (අ) පල දරනවා කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? (ආ) අපි ඊළඟට බලන්නේ මොන උපමාව ගැනද?
9 එහෙමනම් පල දරනවා කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? ඒක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන් හැමෝටම භාර දීලා තියෙන්නේ මොන කාර්යයද? ඒ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන කාර්යය.c (මතෙ. 24:14) වපුරන්නා ගැන යේසුස් කියපු උපමාවෙන් ඒක තවත් හොඳින් පැහැදිලි වෙනවා. අපි ඊළඟට ඒ උපමාව ගැන බලමු.
10. (අ) යේසුස්ගේ උපමාවේ ‘බීජවලින්’ සහ ‘පසෙන්’ නියෝජනය වුණේ මොනවාද? (ආ) තිරිඟු කරලකින් ලැබෙන්නේ මොනවාද?
10 ලූක් 8:5-8, 11-15 කියවන්න. වපුරන්නාගේ උපමාවේදී යේසුස් බීජ සමාන කරන්නේ “දෙවිගේ පණිවිඩයට” නැත්නම් දේවරාජ්‍යය ගැන පණිවිඩයට. පසෙන් නියෝජනය කළේ කෙනෙක්ගේ හදවත. සරු පසේ වැටුණු බීජය මුල් ඇදලා පැළයක් දක්වා වැඩෙනවා. ඊටපස්සේ ඒ පැළයෙන් “සිය ගුණයක පලදාවක් ලැබුණා.” ඒක තිරිඟු පැළයක් නම් ඒකෙන් ලැබෙන පලදාව මොකක්ද? තව පොඩි පොඩි තිරිඟු පැළද? නැහැ. තිරිඟු කරල පිරිලා තියෙන්නේ තිරිඟු ඇටවලින්. ඒ ඇටත් පැළ වෙලා ලොකු වුණාම තිරිඟු කරල් හටගන්නවා. ඒ උපමාවේ කියන විදිහට එක බීජයකින් තිරිඟු බීජ 100ක පලදාවක් ලැබුණා. ඒක අපි කරන දේශනා සේවයට අදාළ වෙන්නේ කොහොමද?
11. (අ) වපුරන්නාගේ උපමාව අපේ සේවයට අදාළ වෙන්නේ කොහොමද? (ආ) අපි පල දරන්නේ කොහොමද?
11 දෙවිට නමස්කාර කරන අපේ දෙමාපියන් හරි වෙන සාක්ෂිකරුවෙක් හරි මුල්ම වතාවට අපිට දේවරාජ්‍යය ගැන පණිවිඩය කිව්වාම එයාලා කළේ හරියට සරු පසේ බීජයක් පැළ කළා වගේ දෙයක්. අපේ හිතේ පැළ වුණ ඒ බීජය පල දරන තත්වයට එන කල් ටිකෙන් ටික වැඩුණා. කලින් ඡේදයේ බලපු විදිහට තිරිඟු කරලකින් ලැබෙන්නේ අලුත් බීජ මිසක් අලුත් පැළ නෙමෙයි.d ඒ වගේ අපේ හදවතේ පැළ වුණ බීජය පල දරනවා කියන්නේ අපි තව තව අයට ගෝලයන් වෙන්න උදව් කරන එකට නෙමෙයි. ඒ වෙනුවට ඒ බීජයෙන් තව අලුත් බීජ හටගන්න එකටයි. ඒක වෙන්නේ කොහොමද? අපි දේවරාජ්‍යය ගැන පණිවිඩය අනිත් අයට කියන හැම වතාවකම අපි කරන්නේ අපේ හදවතේ පැළ වුණ බීජය තව වැඩි කරලා ඒවා වපුරන එකයි. (ලූක් 6:45; 8:1) අපි දේවරාජ්‍යය ගැන දේශනා කරන තාක් කල් අපි කරන්නේ “විඳදරාගනිමින් පල දරන” එකයි.
12. (අ) යේසුස් කියපු උපමා දෙකෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? (ආ) ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?
12 මිදිවැලේ සහ වපුරන්නාගේ උපමාවලින් අපි ඉගෙනගන්නේ මොකක්ද? අපි පල දරනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ මිනිසුන් අපේ පණිවිඩයට දක්වන ප්‍රතිචාරය අනුව නෙමෙයි. ඒ වෙනුවට අපි අත් නෑර දිගටම දේශනා කරනවාද නැද්ද කියන එක මතයි. ඒ හා සමාන අදහසක් පාවුල් කිව්වා. එයා කිව්වේ “ප්‍රතිඵල ලැබෙන්නේ එකිනෙකා දැරූ වෙහෙසට අනුව” කියලයි. (1 කොරි. 3:8) යෙහෝවා දෙවි ආශීර්වාද කරන්නේ දේශනා කරන්න අපි ගන්න උත්සාහයටයි. එහෙම නැතුව සේවයේදී අපිට ලැබෙන ප්‍රතිඵලවලට අනුව නෙමෙයි. අවුරුදු 20ක් පුරා පුරෝගාමි සේවය කරන මැටිල්ඩා මෙහෙම කියනවා. “දේශනා කරන්න මං දරන උත්සාහයට දෙවි ආශීර්වාද කරනවා කියලා දැනන් ඉන්න එකම මට සතුටක්.”
විඳදරාගන්න උදව් වෙන්නේ මොනවාද?
13, 14. රෝම 10:1, 2 සඳහන් වෙන විදිහට පාවුල් දේශනා කරන එක අත්හැරියේ නැත්තේ ඇයි?
13 ‘විඳදරාගෙන පල දරන්න’ අපිට උදව් වෙන්නේ මොනවාද? ඒක තේරුම්ගන්න අපි පාවුල්ගේ ආදර්ශය බලමු. යුදෙව්වන් ශුභාරංචිය ප්‍රතික්ෂේප කරපු නිසා පාවුල්ට දුකක් දැනුණත් එයාලට දේශනා කරන එක එයා නැවැත්තුවේ නැහැ. යුදෙව්වන් ගැන එයාට හැඟුණ විදිහ එයා මෙහෙම විස්තර කළා. “මගේ එකම ආශාව ඊශ්‍රායෙල්වරුන්ට ගැලවීම ලැබෙනවා දැකීමයි. ඒ වෙනුවෙන් මම දෙවිට කන්නලව් කරන්නෙමි. මන්ද දෙවිට සේවය කරන්න ඔවුන්ට මහත් උද්යෝගයක් තිබෙන බව මට ස්ථිරව කිව හැකිය. නමුත් එම උද්යෝගය නිවැරදි දැනුම මත පදනම් වූ එකක් නොවේ.” (රෝම 10:1, 2) පාවුල් අත් නෑර දේශනා කළේ ඇයි?
14 ඒකට හේතු 3ක් තිබුණා. පාවුල් කිව්වේ ‘ඊශ්‍රායෙල්වරුන්ට ගැලවීම ලැබෙනවා දකින එක එයාගේ එකම ආසාව’ කියලයි. ඒක තමයි එයා යුදෙව්වන්ට දේශනා කරන්න පෙලඹුණ මුල්ම හේතුව. (රෝම 11:13, 14) ඊළඟට එයා කියනවා එයා ඒ අය ‘වෙනුවෙන් දෙවිට කන්නලව් කළා’ කියලා. ශුභාරංචිය පිළිගන්න යුදෙව්වන් එක් එක් කෙනාට උදව් කරන්න කියලා පාවුල් දෙවිගෙන් ඉල්ලුවා. තුන්වෙනි හේතුව හැටියට එයා කිව්වේ ‘දෙවිට සේවය කරන්න යුදෙව්වන්ට මහත් උද්යෝගයක් තියෙනවා’ කියලා. නිවැරදි දැනුම තිබුණේ නැතත් එයාලා පෙන්නපු උද්යෝගය යහපත් දෙයක් හැටියට පාවුල් දැක්කා. එයාලට උදව් කළොත් එයාලා යේසුස්ගේ අනුගාමිකයන් වෙලා උද්යෝගයෙන් ඒ සේවය කරයි කියලා පාවුල් දැනන් හිටියා. පාවුල්ගේ ජීවිත අද්දැකීමත් ඒකයි.
15. පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? අද්දැකීම් කියන්න.
15 පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? මුලින්ම “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” අයව හොයන්න අපිට ලොකු ආසාවක් තියෙන්න ඕනේ. දෙවෙනි දේ තමයි අවංක හදවතක් තියෙන මිනිසුන්ට අපි කියන පණිවිඩයට ඇහුම්කන් දෙන්න උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන එක. (ක්‍රියා 13:48; 16:14) අවුරුදු 30කට කිට්ටු කාලයක් පුරෝගාමි සේවය කරන සිල්වානා මෙහෙම කියනවා. “සේවේ යද්දී ගෙදරකට යන්න කලින් මං දෙවිට යාච්ඤා කරලා කියනවා හම්බ වෙන කෙනාගේ පොඩි හරි හොඳ දෙයක් දකින්න මට උදව් කරන්න කියලා.” පණිවිඩය අහන්න කැමති අයව හොයාගන්න දේවදූතයන්ගේ උදව් දෙන්න කියලත් දෙවිට කියන්න අපිට පුළුවන්. (මතෙ. 10:11-13; එළි. 14:6) අවුරුදු 30කට වැඩි කාලයක් පුරෝගාමි සේවය කරන රොබට් මෙහෙම කියනවා. “අපි සේවේ යද්දී හම්බ වෙන අයගේ ජීවිත මොන වගේද කියලා අපි දන්නේ නැහැ. හැබැයි දේවදූතයන් දන්නවා. ඉතිං දේවදූතයන් එක්ක එකට වැඩ කරන්න ලැබෙන එක කොච්චර දෙයක්ද!” පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් තුන්වෙනි විදිහ තමයි මිනිසුන්ගේ යහපත් ගති දකින්නත් පණිවිඩය ගැන එයාලට පොඩි හරි උනන්දුවක් තියෙනවාද කියන දේ දකින්නත් උත්සාහ කරන එක. කාල් කියන වැඩිමහල්ලා බව්තීස්ම වෙලා දැන් අවුරුදු 50කටත් වැඩියි. එයා මෙහෙම කියනවා “කෙනෙක් අපිත් එක්ක හිනා වෙන විදිහෙන්, අපි දිහා බලන විදිහෙන්, අහන ප්‍රශ්නෙකින් තේරෙනවා එයාට අවංක හදවතක් තියෙනවාද කියලා. ඒ වගේ පොඩි පොඩි දේවල්වලට වුණත් අවධානය දෙන්න මං උත්සාහ කරන්නේ ඒ නිසයි.” ඒ පැතිවලින් පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් “විඳදරාගෙන පල දරන්න” අපිටත් පුළුවන්.
‘කිසි විවේකයක් නොගන්න’
16, 17. (අ) දේශනාකාරයා 11:6 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) අපිව දකින අයට අපි කරන සේවය බලපාන්නේ කොහොමද?
16 මිනිසුන් අපේ පණිවිඩයට ඇහුම්කන් දුන්නේ නැතත් අපි අත් නෑර දේශනා සේවයේ හවුල් වෙන එකෙන් මිනිසුන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. (දේශනාකාරයා 11:6 කියවන්න.) මොකද හුඟක් අය අපි දිහා බලාගෙන ඉන්නවා. අපි විනීතව අඳින පළඳින විදිහ, අපේ හොඳ හැසිරීම, මිත්‍රශීලීකම එයාලා දකිනවා. ඒක එයාලගේ හිත්ගන්න පුළුවන්. කාලයක් යද්දී අපි ගැන වැරදියට හිතාගෙන ඉන්න අය වුණත් අපි ගැන හොඳ විදිහට හිතන්න පටන්ගනියි. සර්ජෝ සහ ඔලින්ඩා ඒක අද්දැක්කා.
17 සර්ජෝ මෙහෙම කියනවා. “අපිට ටිකක් අසනීප වුණ නිසා ටික දවසක් යන කල් අපිට ටවුන් එකට යන්න බැරි වුණා. අපි ආයෙත් ගියාම අපි ළඟින් යන එන අය අපිට කිව්වා ‘මොකද ඔයාලට වුණේ? ඔයාලා නැති අඩුව අපිට දැනුණා’ කියලා.” ඔලින්ඩා කියන්නේ මෙහෙමයි. “සමහර බස් රියදුරන් අත වනලා අපිට කිව්වා ‘ඔයාලා කරන වැඩේ නියමයි’ කියලා. එයාලා අපෙන් සඟරාත් ඉල්ලුවා.” තව එක් කෙනෙක් කාට් එක ළඟට ඇවිත් එයාලට මල් පොකුරක් දීලා ස්තුති කළා.
18. “විඳදරාගෙන පල දරන්න” ඔයා අදිටන් කරගෙන ඉන්නේ ඇයි?
18 ‘කිසි විවේකයක් නොගෙන’ ඒ කියන්නේ අත් නෑර දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරද්දී “සියලු ජාතීන්ට සාක්ෂි” දරන කාර්යයේ ඔයාත් හවුල් වෙනවා. ඒක කොයි තරම් සතුටක්ද! (මතෙ. 24:14) ඒ සේවය නිසා යෙහෝවා දෙවිගේ හිත සතුටු කරන්න ලැබෙද්දී ඔයාට ඊටත් වඩා ලොකු සතුටක් දැනෙයි. “විඳදරාගෙන පල දරන” හැමෝටම යෙහෝවා දෙවි හුඟක් ආදරෙයි!
a “තමාගේම ගමේ” දේශනා කරන එක අමාරුයි කියලා යේසුත් කිව්වා. ඔහුගේ සේවය ගැන සඳහන් වෙන වාර්තා හතරේම ඒ ගැන සඳහන් වෙනවා.—මතෙ. 13:57; මාක් 6:4; ලූක් 4:24; යොහ. 4:44.
b අතුවලින් නියෝජනය කළේ අභිෂේක ලත් අයව වුණත් ඒ උපමාවෙන් දෙවිගේ හැම සේවකයෙක්ටම ඉගෙනගන්න පාඩම් තියෙනවා.
c ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී’ ඇති වෙන ගුණාංග කෙනෙක්ගේ ජීවිතෙන් දකින්න ලැබෙද්දී ඒකටත් “පල දරනවා” කියන යෙදුම පාවිච්චි කරනවා. ඒත් මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් ඒ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ “අපේ මුවින් දෙවිට කරන ප්‍රශංසාවට” නැත්නම් ශුභාරංචිය දේශනා කරන එකට.—ගලා. 5:22, 23; හෙබ්‍රෙ. 13:15.
d වෙනත් අවස්ථාවලදී යේසුස් වපුරන එක සහ අස්වැන්න නෙළන එක ගැන උදාහරණ පාවිච්චි කළේ අනිත් අයට ගෝලයන් වෙන්න උදව් කරන කාර්යය පැහැදිලි කරන්නයි.—මතෙ. 9:37; යොහ. 4:35-38.