සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාම එවැන්ජලිස්තවරුය
‘යෙහෝවා හට ගී ගයා, ඔහුගේ නාමයට ආසිරි පතන්න. ඔහුගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.’—ගීතාවලිය 96:2, නව අනුවාදය.
1. මිනිසුන් සවන් දිය යුතුම ශුභාරංචිය කුමක්ද? එම ශුභාරංචිය පතුරුවා හැරීමේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් කදිම ආදර්ශයක් තබා තිබෙන්නේ කෙසේද?
ළඟදීම යුද්ධ, අපරාධ, කුසගින්න හා හිංසා පීඩා මෙලොවින් තුරන් වී යන බව බයිබලයේ ප්‍රකාශ කර තිබේ. දිනපතා විපත්ති සිදු වන ලොවක වෙසෙන අයට එය සැනසිල්ලක් වනවාට සැකයක් නැත. (ගීතාවලිය 46:9; 72:3, 7, 8, 12, 16) ඇත්තෙන්ම, එය සෑම කෙනෙකුම සවන් දිය යුතුම ශුභාරංචියක් නොවේද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් එය සලකන්නේ එලෙසය. ඔවුන් ප්‍රසිද්ධව සිටින්නේ ‘යහපත් දේවල් ගැන ශුභාරංචි’ මිනිසුන්ට දේශනා කරන පිරිසක් වශයෙනි. (යෙසායා 52:7) ශුභාරංචිය පැවසීම සඳහා අධිෂ්ඨානපූර්වකව සිටින සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු හිංසා පීඩාවලට ලක් වන බව සත්‍යයකි. එහෙත් ඔවුහු මිනිසුන්ගේ ශුභසිද්ධිය ගැන ඉමහත් සැලකිල්ලක් දක්වති. ජ්වලිතය හා නොපසුබට උත්සාහය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් තබා තිබෙන්නේ මොනතරම් කදිම වාර්තාවක්ද!
2. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජ්වලිතයට එක් හේතුවක් සපයන්න.
2 මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් තුළ දක්නට තිබූ ජ්වලිතය අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් තුළද දැකිය හැක. මොවුන් ගැන රෝමානු කතෝලික පුවත්පතක (L’Osservatore Romano) මෙසේ සඳහන් විය. “බව්තීස්ම වීමත් සමඟම ශුභාරංචිය පැතිර වීම තමන්ගේ යුතුකමක් බව මුල් ක්‍රිස්තියානීන්ට හැඟිණ. දාසයෝ වාචිකව ශුභාරංචිය ප්‍රකාශ කළහ.” මුල් ක්‍රිස්තියානීන් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉමහත් ජ්වලිතයකින් ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ මන්ද? මෙයට මුල්ම හේතුව වන්නේ ඔවුන් ප්‍රකාශ කරන ශුභාරංචිය යෙහෝවා දෙවිගෙන්ම ලැබී තිබීමය. ජ්වලිතයවත් වීම සඳහා මීටත් වඩා හොඳ හේතුවක් තිබිය හැකිද? ඔවුන් කරන දේශනා සේවය ගීතිකාකරුගේ මෙම වදන්වලට ප්‍රතිචාරය දැක්වීමකි. ‘යෙහෝවා හට ගී ගයා, ඔහුගේ නාමයට ආසිරි පතන්න. ඔහුගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.’—ගීතාවලිය 96:2, න.අ.
3. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජ්වලිතයට බලපාන දෙවන හේතුව කුමක්ද? (ආ) ‘දෙවි දෙන ගැළවීමට’ අයත් වන්නේ මොනවාද?
3 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජ්වලිතය සඳහා හේතු වන දෙවන කාරණය ගීතිකාකරුගේ ඉහත වදන් මගින් අපට සිහිගන්වයි. ඔවුන් ප්‍රකාශ කරන පණිවිඩය ගැළවීම හා සම්බන්ධය. ඇතැමුන් වෛද්‍ය, සමාජීය, ආර්ථික හා වෙනත් ක්ෂේත්රවල සේවය කරන්නේ මිනිසුන්ගේ ජීවන තත්වය ඉහළ දැමීමේ අරමුණ ඇතුවය. ඔවුන් දරන වෑයම් පැසසුමට ලක් කිරීම වටී. එහෙත් ‘දෙවි දෙන ගැළවීම’ සමඟ සසඳන කල, සෙසු මිනිසුන් වෙනුවෙන් මිනිසාට කළ හැකි දේවල් ඉතාමත් සීමිතයි. යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් යෙහෝවා මොළොක් ගුණැති අයව පාපයෙන්, අසනීපවලින් හා මරණයෙන් ගළවාගනු ලබනවා නිසැකය. යෙහෝවා සපයන ගැළවීමෙන් ප්‍රයෝජන ලබන අය සදාකාලයටම ජීවත් වනු ඇත! (යොහන් 3:16, 36; එළිදරව් 21:3, 4) අද සිටින ක්‍රිස්තියානීන් ගීතිකාකරුගේ මතු දැක්වෙන වදන්වලට ප්‍රතිචාරය දක්වමින් ප්‍රකාශ කරන දෙවිගේ ‘පුදුම ක්‍රියාවලට’ ගැළවීමද අයත් වෙයි. ‘දෙවිගේ මහිමය ජාතීන් අතරේද ඔහුගේ ආශ්චර්ය [පුදුම, NW] ක්‍රියා සියලු මනුෂ්යවර්ගයන් අතරේද ප්‍රකාශ කරන්න. මක්නිසාද යෙහෝවා උතුම්ය. බොහෝ ප්‍රශංසනීයය. ඔහු සියලු දෙවිවරුන්ට වඩාභයංකරය.’—ගීතාවලිය 96:3, 4.
ස්වාමියාගේ ආදර්ශය
4-6. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජ්වලිතයට බලපාන තුන්වන හේතුව කුමක්ද? (ආ) ශුභාරංචිය දේශනා කිරීමේදී යේසුස් ජ්වලිතය විදහාපෑවේ කෙසේද?
4 යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජ්වලිතවත් වීමට බලපාන තුන්වන හේතුව වන්නේ ඔවුන් යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමයි. (1 පේතෘස් 2:21) පරිපූර්ණ මිනිසෙකු වූ යේසුස්, “දිළිඳුන්ට [මොළොක්ගුණැති අයට, NW] ශුභාරංචිය දේශනා කරන්ට” තමන්ට දෙනු ලැබූ බලපැවරුම මුළු හදින්ම භාරගත්තේය. (යෙසායා 61:1; ලූක් 4:17-21) මෙසේ කිරීමෙන් ඔහු එවැන්ජලිස්තවරයෙක් නොහොත් ශුභාරංචිය ප්‍රකාශකරන්නෙක් බවට පත් විය. ඔහු “රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්” ගලීලය හා යුදය පුරා ගමන් කළේය. (මතෙව් 4:23) බොහෝදෙනෙකු ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන බව දැන සිටි නිසා ඔහු සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්පදෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්න.”—මතෙව් 9:37, 38.
5 තමන් කළ යාච්ඤාවට එකඟව යේසුස් එවැන්ජලිස්තවරුන් ලෙස සේවය කිරීමට අන් අයව පුහුණු කළේය. පසුකලෙක ඔහු සිය ප්‍රේරිතයන්ව දේශනා කිරීමට පිටත් කර හරිමින් මෙසේ පැවසුවේය. “නුඹලා යමින්—ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනා කරන්න.” එදා පැවති ගැටලු ප්‍රශ්නවලින් පීඩා විඳිමින් සිටි මිනිසුන්ට යම් සහනයක් ගෙන දීමේ වැඩපිළිවෙළවල් දියත් කිරීම දේශනා කිරීමට වඩා ප්‍රායෝගික වූවාද? එසේත් නැත්නම්, එදා බහුලව පැවති වංචා හා දූෂණවලට එරෙහිව සිටීම සඳහා ඔවුන් දේශපාලනයට සම්බන්ධ විය යුතුව තිබුණාද? නැත. ඒ දේවලට සම්බන්ධ වෙනවා වෙනුවට, ඔවුන් කළ යුතු දෙය සම්බන්ධයෙන් සියලුම ක්‍රිස්තියානීන්ට ප්‍රමිතියක් ලබා දෙමින් යේසුස් පැවසුවේ ‘යමින් දේශනා කරන්න’ කියාය.—මතෙව් 10:5-7.
6 ‘දෙවිගේ රාජ්‍යය ළංව තිබේය’ කියා මිනිසුන්ට දැන්වීම සඳහා යේසුස් පසුකලෙක ගෝලයන්ගෙන් සමන්විත තවත් කණ්ඩායමක් යැව්වේය. එවැන්ජලිස්ත සංචාරයෙන් තමන් ලැබූ සාර්ථකත්වය ගැන පැවසීමට ඔවුන් පැමිණි අවස්ථාවේදී ප්‍රීතියෙන් ඉපිල ගිය යේසුස් මෙසේ යාච්ඤා කළේය. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමී වූ පියාණෙනි, [ඔබ] ප්‍රඥාවන්තයන්ටත් නුවණ ඇත්තන්ටත් මේ කාරණා සඟවා බාලයන්ට එළිදරව් කළ බැවින් ඔබට ස්තුති කරමි.” (ලූක් 10:1, 8, 9, 21) කලින් ධීවරයන්, ගොවීන් හා වෙනත් සාමාන්‍ය වෘත්තීන්වල නියැලී සිටි යේසුස්ගේ ගෝලයෝ එදා සිටි උගත් ආගමික නායකයන් සමඟ සසඳන කල ළදරුවන් හා සමාන වූහ. එහෙත් ශුභාරංචි අතරින් විශිෂ්ටතම ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා එම ගෝලයන්ව පුහුණු කර තිබිණ.
7. යේසුස් ස්වර්ගයට ගිය පසු ඔහුගේ අනුගාමිකයන් මුලින්ම ශුභාරංචිය දේශනා කළේ කාටද?
7 යේසුස් ස්වර්ගයට ගිය පසු ඔහුගේ ගෝලයෝ දිගටම ගැළවීමේ ශුභාරංචිය පතුරුවාහැරීමේ කාර්යයේ හවුල් වූහ. (ක්‍රියා 2:21, 38-40) ඔවුන් මුලින්ම දේශනා කළේ කාටද? ඔවුන් ගියේ දෙවිව දැන නොසිටි ජාතීන් වෙතටද? නැත. ඔවුන් මුලින්ම දේශනා කළේ වසර 1,500කට වඩා වැඩි කාලයක සිට යෙහෝවා ගැන දැනගෙන සිටි සෙනඟක් වූ ඉශ්රායෙල්වරුන්ටය. ඒ වන විටත් යෙහෝවාට නමස්කාර කරමින් සිටි පිරිසක් විසූ දේශයක දේශනා කරන්න ගෝලයන්ට අයිතියක් තිබුණාද? ඔව්. යේසුස් ඔවුන්ට මෙසේ පවසා තිබිණ. “නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.” (ක්‍රියා 1:8) වෙනත් ජාතීන් මෙන්ම ඉශ්‍රායෙල්වරුන්ද ශුභාරංචියට සවන් දීම අවශ්‍ය විය.
8. අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුල් සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන්ව අනුකරණය කරන්නේ කෙසේද?
8 ඒ හා සමානව අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝද ලොව පුරා දේශනා කරති. ඔවුහු යොහන් විසින් දුටු දේවදූතයා සමඟ සහයෝගයෙන් කටයුතු කරති. ඒ දේවදූතයා “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශ කරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව [සිටියේය].” (එළිදරව් 14:6) ඔවුහු වසර 2001දී රටවල් හා බලප්‍රදේශ 235ක ක්‍රියාශීලීව ශුභාරංචිය දේශනා කළහ. ඒ අතර ක්‍රිස්තියානියි කියා සලකන රටවල්ද වේ. ක්‍රිස්තියානි ලෝකය විසින් දේවස්ථාන පිහිටුවා තිබෙන ප්‍රදේශවල යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කිරීම වැරදිද? ඔව් කියා සමහරු පවසති. එසේ කිරීම සමහරුන් සලකන්නේ “බැටළුවන්ව බිලි බා ගැනීමක්” ලෙසය. කෙසේවෙතත්, නිහතමානි යුදෙව්වන්ව දුටු විට යේසුස් තුළ ඇති වූ හැඟීම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අමතක වී නැත. ඒ වන විටත් ඔවුන්ට පූජක තන්ත්රයක් තිබුණත්, ඔහු ඔවුන්ට ශුභාරංචිය ගැන පැවසීමෙන් වැළකී සිටියේ නැත. “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් [ඔහු] ඔවුන් කෙරෙහි අනුකම්පා [කළේය].” (මතෙව් 9:36) අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරද්දී යෙහෝවා ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් නොදන්න නිහතමානි මිනිසුන්ව ඔවුන්ට හමු වේ. එවන් අවස්ථාවලදී ඔවුන්ව අයිති තමන්ටයි කියා ඇතැම් ආගම් කියා සිටින නිසා ඔවුන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුද? නැත කියා අප මෙයට උත්තර දෙන්නේ යේසුස්ගේ ප්‍රේරිතයන්ගේ ආදර්ශය අප අනුගමනය කරන නිසාය. ශුභාරංචිය “සියලු ජාතීන්ට” දේශනා කළ යුතුය. දේශනා නොකළ යුතු ජාතියක් නැත.—මාර්ක් 13:10.
මුල් ක්‍රිස්තියානීන් සියලුදෙනාම එවැන්ජලිස්තවරුය
9. මුල් සියවසේදී දේශනා සේවයේ හවුල් වූයේ ක්‍රිස්තියානි සභාවේ සිටි කවුරුන්ද?
9 මුල් සියවසේදී දේශනා කිරීමේ වැඩයෙහි හවුල් වූයේ කවුද? සියලුම ක්‍රිස්තියානීන් එවැන්ජලිස්තවරුන් වූ බව අදාළ කරුණු සෝදිසි කිරීමෙන් අනාවරණය වේ. ලේඛක ඩබ්. එස්. විලියම්ස් මෙසේ සඳහන් කරයි. “සාක්ෂිවලින් පෙනී යන්නේ මුල් සභාවේ සිටි සියලුම ක්‍රිස්තියානීන් . . . ශුභාරංචිය දේශනා කිරීමෙහි හවුල් වූ බවයි.” පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී සිදු වූ දේවල් ගැන බයිබලයේ මෙසේ සඳහන් වේ. “ඔවුන් සියල්ලෝ [පුරුෂයෝ හා ස්ත්‍රීහු] ශුද්ධාත්මයෙන් පූර්ණව, [ආත්මය] ඔවුන්ට කතා කරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්ට පටන්ගත්තෝය.” මෙසේ පුරුෂයෝ හා ස්ත්‍රීහුද, තරුණයෝ හා මහල්ලෝද, දාසයෝ හා නිර්දාසයෝද එවැන්ජලිස්තවරුන් ලෙස සේවය කළහ. (ක්‍රියා 1:14; 2:1, 4, 17, 18; යෝවෙල් 2:28, 29; ගලාති 3:28) හිංසා පීඩා උත්සන්න වීම නිසා ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුට යෙරුසලමෙන් පිට වී යෑමට සිදු විය. මේ අවස්ථාවේදී, “විසුරුවනු ලැබූ ඔවුහු ගිය ගිය ස්ථානවල වචනය [ශුභාරංචිය, NW] ප්‍රකාශ කළෝය.” (ක්‍රියා 8:4) ආලේප ලත් ස්වල්පදෙනෙක් පමණක් නොව, “විසුරුවනු ලැබූ” සියලුදෙනාම එවැන්ජලිස්තවරුන් ලෙස සේවය කළහ.
10. යුදෙව් ක්‍රමය විනාශ වීමට කලින් ඉටු වූ අංග දෙකකින් යුත් ආඥාව කුමක්ද?
10 ක්‍රිස්තියානි සභාව පිහිටුවීමෙන් පසු ගත වූ මුල් අවුරුදුවලදී එය සැබෑවක් බව ඔප්පු විය. යේසුස් මෙසේ පුරෝකථනය කළේය. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) මුල් සියවසේදී මෙම වදන් ඉටු කරවමින් ශුභාරංචිය පුළුල් ලෙස දේශනා කරනු ලැබීය. මෙය සිදු වූයේ රෝම හමුදාව යුදෙව් ආගමික හා දේශපාලනික ක්‍රමය විනාශ කර දැමීමට කලිනි. (කොලොස්සි 1:23) එමෙන්ම යේසුස්ගේ සියලුම අනුගාමිකයෝ ඔහුගේ මෙම ආඥාවට කීකරු වූහ. ‘එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) අද කාලයේ සිටින ඇතැම් දේශනාකරුවන් කරන්නාක් මෙන් මුල් ක්‍රිස්තියානීන් යේසුස් කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමට මොළොක් ගුණැති අය තුළ පෙලඹවීමක් ඇති කිරීමෙන් අනතුරුව, දෙවිට සේවය කිරීම සඳහා නිසි මඟ පෙන්වීමක් ලබා නොදෙමින් ඔවුන්ව අතරමං කළේ නැත. මුල් ක්‍රිස්තියානීහු යේසුස්ගේ ගෝලයන් වීම සඳහා ඔවුන්ට උගන්වමින් සභා වශයෙන් ඔවුන්ව සංවිධානය කළහ. ශුභාරංචිය දේශනා කරමින් ගෝලයන් සෑදීමට හැකි වන අයුරින් ඔවුන්ට පුහුණුවක්ද ලබා දෙන ලදි. (ක්‍රියා 14:21-23) අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද අනුගමනය කරන්නේ එම ආදර්ශයයි.
11. මිනිසුන්ට සවන් දීමට තිබෙන උතුම්ම ශුභාරංචිය අද ප්‍රකාශ කරන්නේ කවුද?
11 මුල් සියවසේ සිටි පාවුල්, බාර්ණබස් හා වෙනත් අයගේ ආදර්ශය අනුගමනය කරමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් මිෂනාරිවරුන් වශයෙන් විදේශීය රටවල සේවය කිරීමට ගොස් ඇත. ඔවුන් දේශපාලනයට හෝ වෙනත් කටයුතුවලට සම්බන්ධ නොවී, ශුභාරංචිය දේශනා කිරීමේ ආඥාවට මුළු අවධානය යොමු කිරීම නිසා ඔවුන්ගේ සේවය මිනිසුන්ට ප්‍රයෝජනදායක වී තිබේ. ‘නුඹලා යමින් දේශනා කරන්න’ කියා යේසුස් දුන් ආඥාවට ඔවුන් පූර්ණ ලෙස කීකරු වී ඇත. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙක් විදේශීය රටවල මිෂනාරිවරුන් ලෙස සේවය නොකරති. ඔවුන් අතර සිටින බොහෝදෙනෙක් රැකියා කරති. තවත් අය පාසැල් යති. සමහරු දරුවන්ව ඇති දැඩි කරති. එනමුත් සාක්ෂිකරුවෝ සියලුදෙනාම තමන් ඉගෙනගෙන තිබෙන ශුභාරංචිය අනිත් අය සමඟ බෙදාගනිති. තරුණ, මහලු, ස්ත්‍රී, පුරුෂ සියලුදෙනාම බයිබලයේ සඳහන් මෙම උපදේශය ප්‍රීතියෙන් පිළිපදිති. “වචනය දේශනා කරන්න. කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න.” (2 තිමෝති 4:2) මුල් සියවසේ ශුභාරංචිය පතළ කිරීමේදී පුරෝගාමීන් ලෙස කටයුතු කළ අය මෙන් ඔවුහුද ‘අත්නෑර ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ ශුභාරංචිය ඉගැන්වීමෙහි හා ප්‍රකාශ කිරීමෙහි හවුල් වෙති.’ (ක්‍රියා 5:42, NW) ඔවුන් ප්‍රකාශ කරන්නේ මිනිසුන්ට සවන් දීමට තිබෙන උතුම්ම ශුභාරංචියයි.
අන්යාගමකට හරවාගැනීමක්ද නැත්නම් එවැන්ජලිස්ත සේවයක්ද?
12. අන්යාගමකට හරවාගැනීම සමහරුන් සලකන්නේ කෙසේද?
12 අන්යාගමකට හරවාගැනීම හානිකර ක්‍රියාවක් කියා වර්තමානයේ ඇතැම් අය පවසති. දේවස්ථාන පිළිබඳ ලෝක කවුන්සලය මගින් ප්‍රකාශයට පත් කළ වාර්තාවක “අන්යාගමකට හරවාගැනීම පාපයක්” ලෙස සඳහන් වේ. මෙසේ පැවසීමට හේතුව කුමක්ද? කැතලික් වර්ල්ඩ් රිපෝට් මෙසේ සඳහන් කරයි. “ඕතඩොක්ස් පල්ලිය මගින් නිරතුරුව කරන පැමිණිලිවල ප්‍රතිඵලයක් වශයෙන් ‘අන්යාගමකට හරවාගැනීම’ යන්න බල කිරීමෙන් සිදු කරන හරවාගැනීම් ලෙස සැලකීමට පටන්ගෙන ඇත.”
13. හානිකර ලෙස අන්‍යාගම්වලට හරවාගැනීම සඳහා උදාහරණ සපයන්න.
13 අන්යාගමකට හරවාගැනීමෙන් සිදු වන්නේ හානියක්ද? ඔව්, හානියක් විය හැකියි. ලියන්නන් හා ඵරිසිවරුන් විසින් සිදු කරන ලද හරවාගැනීම, එසේ හැරුණු අයට හානිකර ලෙස බලපෑ බව යේසුස් පැවසුවේය. (මතෙව් 23:15) ‘බලෙන් හරවාගැනීම’ වැරදිය. ඉතිහාසඥයෙකු වූ ජොසීෆස් සඳහන් කළ පරිදි, මකබිවරයෙකු වූ ජොහන් හිර්කැනස් ඉඩූමියන්වරුන්ව යටත් කරගත් කාලයේදී “තම රටේ ජීවත් වීමට ඔවුන්ට අවසර දුන්නේ ඔවුන් චර්මච්ඡේදනය වී යුදෙව් ව්‍යවස්ථාවට අනුව ජීවත් වීමට කැමති වූවා නම් පමණි.” ඉදුමයන්වරුන් යුදෙව් පාලනය යටතේ ජීවත් වීමට තෝරාගත්තා නම්, යුදෙව් ආගම ඇදහීමට ඔවුන්ට සිදු විය. පොදු යුගයේ අටවන සියවසේදී උතුරු යුරෝපයේ සිටි මිථ්‍යාදෘෂ්ටික සැක්සන්වරුන්ව යටත් කරගත් ෂාලිමේන් තම ආගමට හරවාගැනීම සඳහා ඔවුන්ට කෲර ලෙස බලපෑම් කළ බව ඉතිහාසඥයෝ පවසති.a කෙසේවෙතත්, සැක්සන්වරුන්ගේ හා ඉදුමයන්වරුන්ගේ හැරීම කොයිතරම් අවංක චේතනාවෙන් කළ එකක්ද? එමෙන්ම ළදරු යේසුස්ව ඝාතනය කිරීමට තැත් කළ ඉදුමීය ජාතික හෙරෝද් රජ දේවානුභාවය ලත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව සොයා බැලීමට දැක්වූ උනන්දුව කොයිතරම් අව්‍යාජ එකක්ද කියා කිව හැකිද?—මතෙව් 2:1-18.
14. ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් මිෂනාරිවරුන් මිනිසුන්ව ආගමට හරවාගැනීම සඳහා අනිසි බලපෑම් කර තිබෙන්නේ කෙසේද?
14 අදදිනත් අනිසි බලපෑම් කිරීමෙන් අන්‍යාගම්වලට හරවාගැනීම සිදු වෙනවාද? යම් දුරකට එවැන්නක් සිදු වේ. ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් මිෂනාරිවරුන් තමන්ගේ ආගමට හැරෙන අයට විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීමට ඉදිරිපත් වන බවට වාර්තා ලැබී තිබේ. එසේත් නැත්නම් කුසගින්නෙන් පෙළෙන සරණාගතයන්ට ආහාර සලාකයක් ලබා දෙන්නේ එම අසරණයන් ඔවුන්ගේ දේශනාවකට සවන් දුන්නොත් පමණි. වර්ෂ 1992 ඕතඩොක්ස් පල්ලියේ පූජකයන්ගේ සමුළුවකදී නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වූ පරිදි, “ඇතැම් අවස්ථාවලදී ආගමට හරවාගැනීම සිදු වී තිබෙන්නේ ද්‍රව්‍යමය ලෙස ආධාර දීමෙන් හා විවිධාකාර ප්රචණ්ඩ ක්‍රියා යොදාගැනීම තුළිනි.”
15. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අනිසි ක්‍රම යොදමින් අන් අයව තමන්ගේ ආගමට හරවාගන්නවාද? පැහැදිලි කරන්න.
15 ආගම් වෙනස් කරන්න කියා මිනිසුන්ට අනිසි ලෙස බලපෑම් කිරීම වැරදිය. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කිසිසේත් එවන් ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරති.b ඔවුන් අනිසි ක්‍රම යොදමින් මිනිසුන්ව තමන්ගේ ආගමට හරවාගන්නේ නැත. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් හා සමානව ඔවුන් කරන්නේ සෑම කෙනෙකුටම ශුභාරංචිය දේශනා කිරීමයි. මෙයට සිය කැමැත්තෙන්ම ප්‍රතිචාරය දක්වන ඕනෑම කෙනෙකුට බයිබල් පාඩමක් මාර්ගයෙන් වැඩිමනත් දැනුමක් ලබාගැනීම සඳහා ආරාධනා කෙරේ. මෙසේ උනන්දුව දක්වන අය දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් බයිබලයේ සඳහන් නිවැරදි දැනුම මත ශක්තිමත් ලෙස පදනම් කරගත් ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමට ඉගෙනගනිති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු ගැළවීම සඳහා යෙහෝවා යන දෙවිගේ නාමය කියා යාච්ඤා කරති. (රෝම 10:13, 14, 17) ශුභාරංචිය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔවුන්ගේ පෞද්ගලික තේරීමකි. කිසිම ආකාරයක බල කිරීමක් සිදු නොකරයි. යම් විදිහකින් බල කිරීමක් කළා නම්, ඔවුන්ගේ හැරීමෙන් කිසිම තේරුමක් නැත. යමෙකු කරන නමස්කාරය දෙවි විසින් පිළිගනු ලැබීමට නම් එය එම තැනැත්තාගේ හදවතින්ම නික්මිය යුතුය. —ද්විතීය කථාව 6:4, 5; 10:12.
නවීන කාලවල එවැන්ජලිස්ත සේවය
16. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එවැන්ජලිස්ත සේවය නවීන කාලවලදී වර්ධනය වී තිබෙන්නේ කෙසේද?
16 වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මතෙව් 24:14හි සඳහන් වදන් මහ පරිමාණයෙන් ඉටු වන අයුරින් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කර ඇත. එවැන්ජලිස්ත සේවයේදී ඔවුන් යොදාගන්න ප්‍රධාන මෙවලමක් වන්නේ මුරටැඹ සඟරාවයි.c මුරටැඹ සඟරාවේ මුල්ම කලාපය 1879 ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී බෙදාහැරිය පිටපත් ගණන 6,000ක් පමණ විය. ඒ එක් භාෂාවකින් පමණි. ඉන් වසර 122කටත් වඩා ගත වූ පසු, එනම් 2001දී භාෂා 141කින් පිටපත් 2,30,42,000 බෙදාහැර තිබේ. එම වර්ධනයත් සමඟම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එවැන්ජලිස්ත සේවය හා බැඳි ක්‍රියාකාරකම්ද වර්ධනය වී තිබේ. දහනවවන සියවසේ සෑම වසරකම එවැන්ජලිස්ත සේවය සඳහා යොදවන ලද පැය දහස්ගණන සමඟ වසර 2001දී දේශනා සේවය සඳහා යොදවා තිබෙන පැය 1,16,90,82,225 සසඳා බලන්න. සෑම මාසයකම නොමිලේ පවත්වන ලද බයිබල් පාඩම් ගණනෙහි සාමාන්‍යය වන 49,21,702ද සැලකිල්ලට ගන්න. එම වසරේදී සිදු කර තිබෙන්නේ මොනතරම් කදිම සේවයක්ද! මේ සේවයට රාජ්‍ය දේශනාකරුවන් 61,17,666දෙනෙකු හවුල් වී තිබේ.
17. (අ) අදදින නමස්කාර කරනු ලබන්නේ කුමන ආකාරයේ බොරු දෙවිවරුන්ටද? (ආ) භාෂාව, ජාතිය හෝ සමාජ මට්ටම කුමක් වුවත් සෑම කෙනෙකුම දැනගත යුත්තේ කුමක්ද?
17 ගීතිකාකරු මෙසේ පවසයි. “මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් [යෙහෝවා] ආකාශ මණ්ඩලය [සෑදුවේය].” (ගීතාවලිය 96:5) ලෞකික දේවලට මුල්තැන දෙන අද ලෝකයේ ජාතිවාදය, ජාතික සංකේත, ප්රමුඛ පෙළේ පුද්ගලයන්, ද්‍රව්‍යමය දේවල් හා ධනය යනාදිය මිනිසුන් නමස්කාර කරන දේවල් බවට පත් වී තිබේ. (මතෙව් 6:24; එපීස 5:5; කොලොස්සි 3:5) මොහන්දාස් කේ. ගාන්ධි වරක් මෙසේ පැවසුවේය. ‘අද යුරෝපයේ සිටින්නේ නාමික ක්‍රිස්තියානීන් පමණක් කියා මම නොබියව කියා සිටිනවා. ඇත්තෙන්ම යුරෝපීයයන් නමස්කාර කරන්නේ ධනයටයි.’ කෙසේවෙතත්, සෑම තැනකම සිටින ජනයාට ශුභාරංචිය ඇසෙන්න සැලැස්වීම අවශ්‍යයි. භාෂාව, ජාතිය හෝ සමාජ මට්ටම කුමක් වුවත් සෑම කෙනෙකුම යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණු ගැනත් දැනගැනීම අවශ්‍යයි. අපේ ආශාව වන්නේ සියලුදෙනාම ගීතිකාකරුගේ මේ වදන්වලට ප්‍රතිචාරයක් දක්වනවා දැකීමයි. ‘මහිමයත් බලයත් යෙහෝවාට දෙන්න. ඔහුගේ නාමයට දිය යුතු මහිමය දෙන්න.’ (ගීතාවලිය 96:7, 8) යෙහෝවාට මහිමය දීමට හැකි වන ලෙස ඔහු ගැන ඉගෙනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අන් අයට උපකාර කරති. මෙම උපකාරය පිළිගන්නෝ ඉමහත් ප්‍රයෝජන භුක්ති විඳිති. ඔවුන් භුක්ති විඳින ප්‍රයෝජන මොනවාද? ඊළඟ ලිපියේ මේ ගැන සාකච්ඡා කෙරේ.
[පාදසටහන්වල]
a ද කැතලික් එන්සයික්ලොපීඩියාහි සඳහන් වන පරිදි කතෝලික ආගමේ ප්‍රතිසංස්කරණය සිදු වූ යුගයේදී මිනිසුන්ව බලෙන් ආගමට හරවාගැනීම ගැන ලතින් භාෂාවෙන් ලියවුණු උද්යෝගපාඨයක මෙසේ සඳහන් විය. “රට පාලනය කරන තැනැත්තා කවුරුන් හෝ වේවා එරටේ ආගම තීරණය කරන්නේ ඔහුය.” (Cuius regio, illius et religio).
b එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසම මගින් 2000 නොවැම්බර් 16වනදා පවත්වන ලද රැස්වීමට සහභාගි වූ කෙනෙකු යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන දේවසේවය හා බලෙන් ආගමට හරවාගැනීමට තැත් කරන අය කරන දේවල් අතර වෙනස පැහැදිලි කළේය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරන විට, ‘මම කැමති නැහැ’ කියා පවසමින් තමන්ගේ දොර වසා දැමීමට වුණත් කෙනෙකුට හැකි බව එහිදී අවධානයට යොමු කරන ලදි.
c සඟරාවේ සම්පූර්ණ තේමා පාඨය වන්නේ මුරටැඹ යෙහෝවාගේ රාජ්‍යය ප්‍රකාශ කරයි යන්නයි.
ඔබට පැහැදිලි කළ හැකිද?
• යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජ්වලිතවත් එවැන්ජලිස්තවරුන් වන්නේ මන්ද?
• ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවලින් ගහන ප්‍රදේශවල පවා යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරන්නේ මන්ද?
• යෙහෝවාගේ සාක්ෂිකරුවන් අනිසි ක්‍රම යොදමින් අන් අයව තමන්ගේ ආගමට හරවා නොගන්නේ මන්ද?
• යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එවැන්ජලිස්ත සේවය නවීන කාලයේදී වර්ධනය වී තිබෙන්නේ කෙසේද?
[9වන පිටුවේ පින්තූරය]
යේසුස් ජ්වලිත එවැන්ජලිස්තවරයෙකු වූ අතර එවැන්ජලිස්ත සේවය සඳහා අන් අයවද පුහුණු කළේය
[10වන පිටුවේ පින්තූරය]
මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිටි සියලුදෙනාම එවැන්ජලිස්ත සේවයේ හවුල් වූහ
[11වන පිටුවේ පින්තූරය]
ආගම වෙනස් කිරිමට බල කිරීම වැරදියි