ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
මරියා “යහපත් කොටස” තෝරාගනියි
යේසුස්ගේ දවස්වලදී, යුදෙව් ස්ත්‍රීන්ව රබ්බිවරුන්ගේ සම්ප්‍රදායන්වල කොටු කර තිබුණා. මෙලෙස, ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ව අධෛර්යයට පත් කළා. ඇත්තෙන්ම, මිෂ්නාහි උපුටා දක්වා ඇති එක අදහසක මෙසේ දක්වා තිබෙනවා: “ඕනෑම මනුෂ්‍යයෙක් තමන්ගේ දියණියට ව්‍යවස්ථාවේ දැනුම ලබා දුන්නොත්, එය හරියට ඇයට ලිංගික දුරාචාරයේ අන්තයට යෑමට උගන්වනවා හා සමානයි.”—සෝටා 3:4.
ප්‍රතිඵලයක් වශයෙන්, පළමු සියවසේ යුදයේ සිටි බොහෝ ස්ත්රීන්ට හොඳ අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. “යේසුස්ගේ දේවසේවයට පෙර යුදෙව් ස්ත්රීන්ට උතුම් ගුරුවරයෙකුගේ ගෝලයන් වීමටවත්, එපමණක් නොව එවන් ගුරුවරයෙකු සමඟ ගමන් කිරීමට හෝ දරුවන්ට හැර වෙන යමෙකුට ඉගැන්වීමටවත් අවසර තිබුණු බවට සාක්ෂි නැහැ” කියා ඇන්ක බයිබල් ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසනවා. පුරුෂයෙක් ස්ත්‍රියක් සමඟ ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු බවට නීතියක් පනවමින් ඇතැම් ආගමික නායකයන් ස්ත්‍රීන්ව තවදුරටත් අවමානයට ලක් කළා!
යේසුස් එවැනි අභක්තික ආකල්ප හෙළා දැක්කා. ඔහු පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටත් ඉගැන්වූ අතර, ඔහුගේ අනුගාමිකයන් අතර පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙගොල්ලන්ම හිටියා. (ලූක් 8:1-3) එක් අවස්ථාවකදී මාර්තා හා මරියා යේසුස්ව නිවසට කැඳෙව්වා. (ලූක් 10:38) මේ ස්ත්‍රීන් දෙදෙනා ලාසරුස්ගේ සහෝදරියන් වූ අතර, ඔවුන් තුන්දෙනාම යේසුස්ගේ ගෝලයන් මෙන්ම හොඳ යාළුවන් වුණා. (යොහන් 11:5) ලාසරුස් මියගිය විට මාර්තා හා මරියාව සැනසීමට පැමිණි විශාල ජනකායව සලකා බලද්දී, මේ පවුල ප්‍රසිද්ධව සිටියා කියා පැවසිය හැකියි. කොහොමනමුත්, යේසුස් අමුත්තෙකු හැටියට ඔවුන්ගේ නිවසේ සිටියදී සිදු වූ දෙය ඔවුන්ට පමණක් නොව අපටත් වටිනා පාඩමක් සැපයුවා.
යේසුස්ගේ පාදමූලයෙහි ඉගෙනගැනීම
සමහරවිට තමන්ට තිබුණ වත්කමේ හැටියට, ඉස්තරම් ආහාර වේලක් යේසුස්ට දෙන්න මාර්තා හා මරියා ආශාවක් දැක්වූ බවට සැකයක් නැහැ. (යොහන් 12:1-3 සසඳන්න.) කෙසේවුවත්, ඔවුන්ගේ අමුත්තා පැමිණි විට, මරියා, ‘ස්වාමීන්ගේ පාදමූලයෙහි හිඳ ඔහුගේ වචන ඇසුවා.’ (ලූක් 10:39) ඉගෙනගන්න මෙතරම් ආශාවක් දැක්වූ අවංක ස්ත්‍රියකට ඉගැන්වීමෙන් යේසුස්ව වළක්වන්න මනුෂ්‍යයන්ගේ කිසිම සම්ප්රදායකට හැකි වුණේ නැහැ! තමන්ව ශිෂ්‍යයෙකුගේ තත්වයට පත් කරගනිමින් මරියා තම ගුරුවරයාගේ ඉගැන්වීමට සම්පූර්ණයෙන්ම අවධානය දෙමින් යේසුස් ඉදිරියේ ඉඳගෙන ඉන්න හැටි අපිට සිතෙන් මවාගත හැකියි.—ද්විතීය කථාව 33:3; ක්‍රියා 22:3 සසඳන්න.
මරියා මෙන් නොව මාර්තා “සත්කාර කටයුතු වැඩි වීමෙන් කරදර වී සිටියා.” [නව අනුවාදය] ඉස්තරම් ආහාර වේලක් පිළියෙළ කිරීමේදී ඉටු කිරීමට තිබූ වැඩකටයුතුවල ඇය බෙහෙවින් කාර්ය බහුලව සිටියා. තම සහෝදරිය යේසුස්ගේ පාදමූලයේ සිටියදී තමාට සියල්ල තනිවම කරන්න සිදු වී තිබීම ගැන මාර්තා විගස සිත්තැවුලට පත් වුණා! එනිසා මරියාට යේසුස් කතා කරමින් සිටියදී, මාර්තා ඊට බාධා කරමින් සමහරවිට තරහෙන් මෙන් මෙසේ පැවසුවා විය හැකියි: “ස්වාමීනි, මාගේ සහෝදරී තනියම උපස්ථානකරන්ට මා හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? එබැවින්, මට උපකාරකරන ලෙස ඈට [කියන්න].”—ලූක් 10:40.
එක අතකින් බලන කොට, මාර්තාගේ ඉල්ලීමේ කිසි වරදක් තිබුණේ නැහැ. අනිත් එක, කාණ්ඩයකට ආහාර වේලක් පිළියෙළ කිරීම ලේසි පහසු දෙයක් නොවන අතර, බර එක්කෙනෙකු පිටම පැටවීමත් සුදුසු නැහැ. කෙසේනමුත්, යේසුස් ඇගේ ප්‍රකාශය වටිනා පාඩමක් ඉගැන්වීමට අවස්ථාවක් කරගත්තා. “මාර්තා, මාර්තා, නුඹ බොහෝ දේවල් ගැන නලංගුවී කැලඹෙන්නෙහිය. නුමුත් ඕනෑකරන්නේ එක දෙයක්ය. මරියා වනාහි ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නාවූ යහපත් කොටස තෝරාගත්තා” යයි ඔහු පැවසුවා.—ලූක් 10:41, 42.
යේසුස් පවසමින් සිටියේ, ආත්මික දේවල් කෙරෙහි මාර්තාගේ උනන්දුවේ අඩුවක් තිබුණ බව නොවෙයි. ඊට පටහැනිව, ඇය ගැඹුරු දේවභක්තියක් තිබූ ස්ත්‍රියක් බව ඔහු දැනගෙන සිටියා.a නිසැකවම ඇගේ නිවසට යේසුස්ව ආරාධනා කරන්න ඇයව මූලිකව පෙලඹුවෙත් ඒ දෙයයි. කෙසේවුවත්, සුළු තරවටුවක් කිරීමෙන් යේසුස් මාර්තාට හුවා දක්වමින් සිටියේ, ඇය ආහාර වේල පිළියෙළ කිරීමට මහත් ඕනෑකමක් දැක්වීමෙන්, දෙවිගේ පුත්‍රයාගෙන් පෞද්ගලිකව උපදෙස් ලැබීමට තිබෙන විරල අවස්ථාව ඇයට අහිමි විය හැකි බවයි.
ඒ කාලයේ සංස්කෘතියට අනුව ස්ත්‍රියකගේ වටිනාකම හොඳින්ම ඔප්පු කළ හැකි වුණේ, ගෙදර දොරේ වැඩකටයුතු සම්බන්ධයෙන් ඇය දැක්වූ දක්ෂතාවෙන් විය හැකි බව පිළිගත යුතු කරුණක්. නමුත් පුරුෂයන්ට වගේම ස්ත්‍රීන්ටද දෙවිගේ පුත්‍රයාගේ පාදමූලයේ හිඳගෙන, ජීවනය පිළිබඳ වචනවලට සවන් දිය හැකිව තිබූ බව යේසුස්ගේ වචනවලින් පෙන්නුම් කළා! (යොහන් 4:7-15; ක්‍රියා 5:14) මේ අනුව බලද්දී, ස්වාමීන්ගේ පාදමූලයේ හිඳගෙන ඔහුගෙන් ඉගෙනගැනීමට ප්‍රස්තාව සලසා දෙන පරිදි, මාර්තා ව්‍යාංජන කීපයක් හෝ නැත්නම් එකක් පමණක් වුවත් හැදුවා නම් එය වඩාත් හොඳ වෙන්න තිබුණා.—මතෙව් 6:25 සසඳන්න.
අපට පාඩමක්
අදදින, ‘ජීවන-වතුර නොමිලේ ගන්න’ කියා යේසුස් දුන් ආරාධනයට ප්‍රතිචාරය දැක්වූ අය අතරේ පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙගොල්ලන්ම සිටිනවා. (එළිදරව් 22:17) මාර්තා මෙන් ප්‍රේමයෙන් පෙලඹෙන සමහරු, සෙසු ඇදහිලිවන්තයන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ගේ උපරිමය කරනවා. ඔවුන් ප්‍රායෝගික මනසකින් ක්‍රියා කරන හා ඉක්මනින් පියවර ගන්න අය වන අතර, ඔවුන් ප්‍රේමයෙන් පෙලඹී කරන වැඩවලට හොඳ ප්‍රතිඵල දීමට යෙහෝවා පොරොන්දු වෙනවා. (හෙබ්‍රෙව් 6:10; 13:16) වෙනත් අය සමහරවිට මරියාට හුඟාක් සමාන විය හැකියි. ඔවුන් මෘදු ගතිගුණ ඇති, ආත්මික දේ කෙරෙහි යොමු වී සිටින අයයි. දෙවිගේ වචනය මත මෙනෙහි කිරීමට ඇති ඔවුන්ගේ දැඩි ආශාව, ඇදහිල්ලේ ස්ථිරව මුල් ඇද සිටීමට ඔවුන්ට උපකාර කරනවා.—එපීස 3:17-19.
මේ දෙයාකාරයේම පුද්ගලයන් ක්‍රිස්තියානි සභාවේ වැදගත් අවශ්‍යතාවක් ඉටු කරනවා. කෙසේවුවත්, අන්තිමේදී, හැමෝම ආත්මික දේවල්වලට මූලික අවධානය දෙමින් “යහපත් කොටස” තෝරාගත යුතුයි. වඩාත් වැදගත් දේවල් ගැන සහතික වීමෙන් අපට යෙහෝවාගේ අනුග්‍රහය හා ආශීර්වාද ලැබෙන්න යනවා.—පිලිප්පි 1:9-11, NW.
[පාදසටහන]
a මාර්තා ඉමහත් ඇදහිල්ලක් තිබූ ආත්මික ස්ත්‍රියක් බව ඇගේ සහෝදරයා වූ ලාසරුස්ගේ මරණයෙන් පසු යේසුස් සමඟ ඇය කළ සාකච්ඡාවෙන් පැහැදිලි වෙනවා. මේ අවස්ථාවේදී, තම ගුරුවරයාව මුණගැසීමට මහත් ඕනෑකමක් දැක්වුවේ මාර්තායි.—යොහන් 11:19-29.