යෙහෝවා “කමාවෙන්ට සූදානම්” දෙවිකෙනෙක්
‘අහෝ යෙහෝවා, ඔබ යහපත්ය, කමා වෙන්ට සූදානම්ය.’—ගීතාවලිය 86:5.
1. දාවිත් රජ ඉසිලුවේ මොන දැඩි බරක්ද? ඔහු තම කැලඹුණු හෘදයට සැනසීමක් සොයාගත්තේ කෙසේද?
වරදකාර හෘදය සාක්ෂියක දැඩි බර දැරීම කොතරම් අමාරුද කියා පුරාණ ඉශ්රායෙල්හි දාවිත් රජ දැනසිටියා. ඔහු මෙසේ ලිව්වා: “මාගේ අයුතුකම් මගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි. මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි. මාගේ සිතේ කැළඹීම නිසා මොර ගෑමි.” (ගීතාවලිය 38:4, 8) කෙසේවෙතත්, තම කැලඹුණු හෘදයට සැනසීමක් දාවිත් සොයාගත්තා. යෙහෝවා පාපය ද්වේෂ කළත්, පව්කාරයා සැබවින්ම පසුතැවිලි වී තම පව්කාර මාර්ගය ප්‍රතික්ෂේප කර ඇත්නම්, යෙහෝවා එම පව්කාරයාව ද්වේෂ නොකරන බව ඔහු දැනසිටියා. (ගීතාවලිය 32:5; 103:3) පසුතැවිලි වන අයට දයාව පෙන්වන්න යෙහෝවාට තිබෙන කැමැත්ත කෙරෙහි පූර්ණ ඇදහිල්ලක් දක්වමින්, දාවිත් මෙසේ පැවසුවා: ‘අහෝ යෙහෝවා, ඔබ යහපත්ය, කමා වෙන්ට සූදානම්ය.’—ගීතාවලිය 86:5.
2, 3. (අ) පව් කරන විට, එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට දැරීමට සිදු විය හැක්කේ මොන වගේ පීඩිත බරක්ද? මෙය හිතකර වන්නේ ඇයි? (ආ) වරද සහිතබවින් “ගිලී” සිටීමේ ඇති අන්තරාව කුමක්ද? (ඇ) සමාව දීමට යෙහෝවාට තිබෙන කැමැත්ත ගැන බයිබලය අපට දෙන්නේ මොන සහතිකයද?
2 අප පව් කරන විට, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉසිලිය නොහැකි පීඩිත බරක් වන වේදනාවෙන් පෙළෙන හෘදය සාක්ෂියක් දැරීමට අපිට සිදු විය හැකියි. කනස්සල්ලෙන් යුත් මෙම හැඟීම සාමාන්‍යයි, ඇත්තෙන්ම හිතකරයි. අපේ වැරදි හරිගැස්වීම සඳහා ඒකාන්ත පියවර ගැනීමට එය අපව පෙලඹවිය හැකියි. කොහොම නමුත්, ඇතැම් ක්‍රිස්තියානීන් වරද සහිතබවින් යටපත් වී සිට තිබෙනවා. ඔවුන් කෙතරම් පසුතැවිලි වුණත්, දෙවි ඔවුන්ට සම්පූර්ණයෙන්ම සමාව නොදෙන බවට සිතන්න ඔවුන්ට එරෙහිව දොස් නඟන ඔවුන්ගේ හෘදය බල කර සිටිනවා විය හැකියි. සහෝදරියක්, තමා කළ වරදක් ගැන කල්පනා කරමින් මෙසේ පැවසුවා: “යෙහෝවා තවදුරටත් ප්‍රේම කරන්නේ නැහැයි කියලා හැඟෙන කොට ඒක දරාගන්න බැරි තරමේ හැඟීමක්.” පසුතැවිලි වී, සභා වැඩිමහල්ලන්ගෙන් උපකාරවත් උපදෙස් පිළිගත්තායින් පසුව පවා, දෙවිගෙන් සමාව ලබන්න තමා වටින්නේ නැති බව ඇයට දිගටම හැඟුණා. ඇය මෙසේ පැහැදිලි කරයි: “යෙහෝවාගෙන් සමාව අයැදින්නේ නැතුව එක දවසක්වත් ගෙවෙන්නේ නැහැ.” අප වරද සහිතබවින් “ගිලී” සිටිනවා නම්, අපට අත්හරින්න, යෙහෝවාට සේවය කරන්න අප වටින්නේ නැති බව හැඟෙන්න සලස්වන්න සාතන් වෑයම් දැරිය හැකියි.—2 කොරින්ති 2:5-7, 11.
3 එනමුත් යෙහෝවා කාරණා කොහෙත්ම එයාකාරයට සලකන්නේ නැහැ! අප අව්‍යාජ, හෘදයාංගම පසුතැවිල්ල විදහාපෙන්වනවා නම්, යෙහෝවා සමාව දෙන්න කැමතියි; ඔව්, එසේ කිරීමට සූදානම් බව ඔහුගේ වචනය අපිට සහතික කරනවා. (හිතෝපදේශ 28:13) එබැවින් දෙවිගෙන් සමාව ලැබීම අත් කරගන්න බැරි දෙයක් සේ කවදාහරි ඔබට පෙනීගොස් තිබෙනවා නම්, ඇතැම්විට අවශ්‍ය වන්නේ, ඔහු සමාව දෙන්නේ ඇයි සහ කොහොමද යන්න වඩාත් හොඳින් අවබෝධ කරගැනීමයි.
යෙහෝවා “කමාවෙන්ට සූදානම්” වීමට හේතු
4. අපේ ස්වභාවය ගැන යෙහෝවා සිහි කරන්නේ කුමක්ද? ඔහු අපව සලකන ආකාරයට මෙය බලපාන්නේ කෙසේද?
4 අපි මෙසේ කියවමු: ‘නැඟෙනහිර බස්නාහිරෙන් දුරුව තිබෙන්නාක් මෙන් ඔහු අපේ වරද අපෙන් දුරු කරන්නේය. පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් [දයාව පෙන්වන ආකාරයට, NW] යෙහෝවා තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරන්නේය [දයාව පෙන්වා ඇත, NW].’ දයාව පෙන්වීමට යෙහෝවා නැඹුරු වන්නේ ඇයි? ඊළඟ පදය මෙසේ පිළිතුරු දෙයි: ‘මක්නිසාද ඔහු අපේ ස්වභාවය [අපව සාදා ඇති අන්දම, NW] දන්නේය; අප ධූලි බව ඔහු සිහි කරන්නේය.’ (ගීතාවලිය 103:12-14) ඔව්, අසම්පූර්ණකමේ ප්‍රතිඵලයක් වශයෙන්, අප දුර්වලකම් හෝ අඩුපාඩුකම් ඇති දූවිල්ලෙන් සෑදුණු ජීවීන් බව යෙහෝවාට අමතක වන්නේ නැහැ. යෙහෝවාව කුම්භකාරයෙකුටත්, අපව ඔහු සාදන භාජනවලටත් බයිබලය සමාන කරනවා යන්න ඔහු ‘අපව සාදා ඇති අන්දම දන්නා’ බවට වූ ප්‍රකාශය අපට සිහි කරවනවා.a (යෙරෙමියා 18:2-6) කුම්භකාරයෙක් තම මැටි භාජන ස්ථිර ලෙස නමුත්, ඒවායේ ස්වභාවය හැමවිටම සිහියේ තබාගනිමින් පරෙස්සමින් පරිහරණය කරනවා. ඒ හා සමානව, ශ්‍රේෂ්ඨ කුම්භකාරයා වන යෙහෝවා අප සමඟ කටයුතු කරද්දී, අපේ පව්කාර ස්වභාවයේ දුර්වලකමට එකඟව පමණ දැන ක්‍රියා කරනවා.—2 කොරින්ති 4:7 සසඳන්න.
5. අපේ පහත වැටුණු මාංසය කෙරෙහි ඇති පාපයේ දැඩි ග්‍රහණය රෝම පොතෙහි විස්තර කරන්නේ කෙසේද?
5 පාපය කොතරම් බලසම්පන්නද කියා යෙහෝවාට තේරෙනවා. ශුද්ධ ලියවිලිවල පාපය විස්තර කරන්නේ, මනුෂ්‍යයාව එහි දැඩි ග්‍රහණයට හසු කරගෙන තිබෙන ප්‍රබල බලයක් හැටියටයි. ඇත්තටම පාපයේ ග්‍රහණය කොතරම් දැඩිද? දේවානුභාවය යටතේ ප්‍රේරිත පාවුල් රෝම පොතෙහි මෙය විචිත්‍රවත් යෙදුම්වලින් මෙසේ විස්තර කරනවා: සෙබළුන් තම සේනාධිපති යටතේ සිටින්නාක් මෙන්, අප “පාපයට යටත්ව” සිටිනවා (රෝම 3:9); එය රජෙකු මෙන් මනුෂ්‍යවර්ගයා කෙරෙහි “රජකම්” කර තිබෙනවා (රෝම 5:20); එය අප තුළ ‘පවතිනවා,’ නැතහොත් අප තුළ “වාසය” කරනවා. (රෝම 7:17, 20, NW); ඇත්තෙන්ම අපේ මාර්ගය පාලනය කරන්න උත්සාහ කරමින්, එහි “ව්‍යවස්ථාව” දිගටම අප තුළ ක්‍රියාත්මක වෙනවා. (රෝම 7:23, 25) අපේ පහත වැටුණු මාංසය කෙරෙහි ඇති පාපයේ දැඩි ග්‍රහණයට එරෙහි වීම සඳහා අපට ඇත්තේ මොනතරම් දුෂ්කර සටනක්ද!—රෝම 7:21, 24.
6. ශෝකයෙන් වෙළුණු හෘදයකින් යෙහෝවාගේ දයාව පතන අයව ඔහු සලකන්නේ කෙසේද?
6 එබැවින්, අපේ හදවත් දෙවිට පරිපූර්ණ කීකරුකම පිරිනමන්න කොතරම් ආශා කළත්, එය අපට කරන්න බැරි දෙයක් බව අපේ දයාන්විත දෙවි දන්නවා. (1 රාජාවලිය 8:46) අප ශෝකයෙන් වෙළුණු හෘදයකින් ඔහුගේ පියෙකු බඳු දයාව පතන විට, සමාව ලබා දෙන බව ඔහු ප්‍රේමනීයව සහතික කරනවා. ගීතිකාකාර දාවිත් මෙසේ පැවසුවා: “දෙවිට කළ යුතු පූජා නම් බිඳුණාවූ ආත්මයක්ය. අහෝ දෙවියනි, බිඳුණාවූ තැළුණාවූ හෘදයක් ඔබ සුළුකොට නොතකන්නේය.” (ගීතාවලිය 51:17, NW) වරද සහිතබවේ බරින් බිඳුණාවූ තැළුණාවූ හෘදයක් යෙහෝවා කිසිදාක ප්‍රතික්ෂේප කරන්නේවත්, අයින් කරන්නේවත් නැහැ. සමාව දීමට ඇති යෙහෝවාගේ සූදානම මොනතරම් අලංකාර ලෙස එයින් විස්තර වෙනවාද!
7. දෙවිගේ දයාවෙන් අපට අයුතු ප්‍රයෝජන ගත නොහැක්කේ ඇයි?
7 එනමුත්, අපේ පව්කාර ස්වභාවය පව් කරන්න නිදහසට කරුණක් ලෙස යොදාගනිමින්, දෙවිගේ දයාවෙන් අයුතු ප්‍රයෝජන ලබන්න අපට පුළුවන් බව මින් අදහස් කරනවාද? කිසිසේත් නැහැ! යෙහෝවා නිකම්ම හැඟීම්වලට වහල් වී කටයුතු කරන්නේ නැහැ. ඔහුගේ දයාවට සීමා තිබෙනවා. දැඩි හෘද ස්වභාවයකින් පසුතැවිල්ලක් නැතුව දුෂ්ට සිතැතිව, හිතාමතාම පුරුද්දක් වශයෙන් පව් කරන අයට ඔහු කොහෙත්ම සමාව දෙන්න යන්නේ නැහැ. (හෙබ්‍රෙව් 10:26-31) අනික් අතට, “බිඳුණාවූ තැළුණාවූ” හෘදයක් දකින විට, ඔහු “කමාවෙන්ට සූදානම්.” (හිතෝපදේශ 17:3, NW) දිව්‍යමය සමාව දීමේ පූර්ණකම විස්තර කිරීමට බයිබලයෙහි යොදාගෙන තිබෙන අරුත්බර මෙන්ම හැඟීම්බර භාෂාව අපි යම්දුරකට සලකා බලමු.
යෙහෝවා කොතරම් පූර්ණ ලෙසද සමාව දෙන්නේ?
8. ඇත්තෙන්ම යෙහෝවා අපේ පව්වලට සමාව දෙන විට, ඔහු කරන්නේ කුමක්ද? මෙය අප කෙරෙහි කෙබඳු බලපෑමක් විය යුතුද?
8 පසුතැවිලි වූ දාවිත් රජ මෙසේ පැවසුවා: “මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද [යෙහෝවාට] කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා [කළේය].” (ගීතාවලිය 32:5, ඇල අකුරු අපේය.) ‘කමා කළා’ යන හෙබ්‍රෙව් ප්‍රකාශය “ඔසවන්න,” “දරන්න, උසුලන්න” යන මූලික අර්ථ ඇති හෙබ්‍රෙව් වචනයක් පරිවර්තනය කරනවා. මෙහිදී එහි භාවිතය, ‘වරද සහිතබව, අකුසලය, පාපය ඉවත් කරගැනීම’ අදහස් කරයි. ඉතින්, කතාවට කියනවා නම්, යෙහෝවා දාවිත්ගේ පාප ඔසවා ඉවතට ගෙනගියා. (ලෙවී කථාව 16:20-22 සසඳන්න.) දාවිත් උසුලාගෙන සිටි වරද සහිතබවේ හැඟීම්වලට මෙයින් සහනයක් ලැබූ බවට කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 32:3 සසඳන්න.) යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල නමැති පදනම මත දෙවිගේ සමාව පතන අයගේ පව්වලට සමාව දෙන දෙවි කෙරෙහි අපටත් පූර්ණ නිසැකකමක් තබාගන්න පුළුවන්. (මතෙව් 20:28; සසඳන්න යෙසායා 53:12.) යෙහෝවා මෙලෙස පව් ඔසවා ඉවතට ගෙනයන අයට, අතීතයේ කළ පාප සඳහා වරද සහිතබවේ හැඟීම්වල පීඩිත බර දිගටම උසුලන්න අවශ්‍ය වන්නේ නැහැ.
9. ‘අපේ ණය අපට කමා කරන්න’ යන යේසුගේ වදන්වල තේරුම කුමක්ද?
9 යෙහෝවා සමාව දෙන ආකාරය නිදර්ශනය කිරීමට, යේසු ණයහිමියන් සහ ණයගැතියන් අතර සම්බන්ධය යොදාගත්තා. උදාහරණයක් හැටියට, ‘අපේ ණය අපට කමා කරන්න’ කියා යාච්ඤා කිරීමට යේසු අපට උනන්දු කළා. (මතෙව් 6:12) මේ අනුව යේසු “පව්” ‘ණයවලට’ සමාන කළා. (ලූක් 11:4) අප පව් කරන විට, අප යෙහෝවාට “ණයගැතියන්” වෙනවා. “කමා කරන්න” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් ක්‍රියාපදයට “ණයක් ආපසු බලෙන් නොඉල්ලා, එය අත්හැරීම, අමතක කර දැමීම” යන අදහස තිබිය හැකියි. එක් විධියකින්, යෙහෝවා සමාව දෙන විට, සමාව නොදුන්නා නම් අපේ ගිණුමට අය කරනු ලබන ණය ඔහු අවලංගු කරනවා. මේ අනුව පසුතැවිලි වන පව්කාරයන්ට සැනසිල්ල ලබාගත හැකියි. යෙහෝවා අවලංගු කර තිබෙන ණයක් සඳහා කිසිදාක ගෙවීමක් ඉල්ලන්නේ නැහැ!—ගීතාවලිය 32:1, 2; සසඳන්න මතෙව් 18:23-35.
10, 11. (අ) ක්‍රියා 3:20හි සොයාගත හැකි ‘මකා දමන්න’ යන වාක්‍ය ඛණ්ඩයෙන් මනසට නැඟෙන චිත්‍රය කුමක්ද? (ආ) යෙහෝවාගේ සමාව දීමේ පූර්ණකම නිදර්ශනය කර තිබෙන්නේ කෙසේද?
10 දෙවි දෙන සමාව විස්තර කිරීමට බයිබලය ක්‍රියා 3:20හි තවත් විචිත්‍ර භාෂාලංකාරයක් යොදාගන්නවා: “නුඹලාගේ පාපයත් මකාදමනු ලබන පිණිසද, පශ්චාත්තාපව හැරෙන්න.” ‘මකා දමන්න’ යන වාක්‍ය ඛණ්ඩය, උපමාලංකාරයෙන් යොදාගන්නා විට “අතුගා දමන්න, කටුගා දමන්න, අවලංගු කරන්න හෝ විනාශ කරන්න” යන අර්ථ තිබිය හැකි ග්‍රීක් ක්‍රියාපදයක් පරිවර්තනය කරයි. ඇතැම් විශාරදයන් පවසන පරිදි, අත් අකුරු මකා දැමීම පිළිබඳ චිත්‍රයක් තමයි ඉදිරිපත් වන්නේ. ඒ කෙසේද? කාබන්, මැලියම් සහ වතුර ඇතුළත් මිශ්‍රණයකින් පුරාණ කාලවල පොදුවේ භාවිත කළ තීන්ත සාදා තිබුණා. එවන් තීන්ත ලියන්න පාවිච්චි කළායින් පසු, තෙත් ස්පන්ජියක් ගෙන ලියූ දේ මකා දමන්න පුද්ගලයෙකුට හැකිකම තිබුණා.
11 යෙහෝවාගේ සමාව දීමේ පූර්ණකම පිළිබඳව අලංකාර චිත්‍රයක් එහි ගැබ්ව තිබෙනවා. ඔහු අපේ පව්වලට සමාව දෙන විට, එය හරියට ඔහු ස්පන්ජියක් ගෙන ඒවා මකා දමනවා වගෙයි. අනාගතයේදී ඔහු එවන් පාප අපට විරුද්ධව තබාගනී කියා අප බිය විය යුතු නැහැ. මන්ද යෙහෝවාගේ දයාව ගැන සැබවින්ම පුදුමාකාර වූ වෙනත් යමක් බයිබලය හෙළි කරන නිසයි: සමාව දෙන විට, ඔහු අමතක කර දමනවා!
“ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි”
12. යෙහෝවා අපේ පව් අමතක කර දමන බව බයිබලය පවසන විට, ඒවා මතක් කරන්න ඔහුට බැරි බව ඉන් අදහස් කරනවාද? ඔබ එසේ පිළිතුරු දෙන්නේ ඇයි?
12 ප්‍රොපේත යෙරෙමියා තුළින්, අලුත් ගිවිසුමට සම්බන්ධ අය ගැන යෙහෝවා මෙසේ පොරොන්දු වුණා: “මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි.” (යෙරෙමියා 31:34) යෙහෝවා සමාව දෙන විට, පව් තවදුරටත් මතක් කරන්න ඔහුට බැරි බව මින් අදහස් කරනවාද? එවැනි දෙයක් කිසිසේත් සිදු විය නොහැකියි. දාවිත් ඇතුළුව, යෙහෝවා සමාව දුන් පුද්ගලයන් බොහෝදෙනෙකුගේ පව් ගැන බයිබලය අපට කියයි. (2 සාමුවෙල් 11:1-17; 12:1-13) පැහැදිලිවම ඔවුන් කළේ මොන මොන වැරදිද කියා යෙහෝවා තවමත් දන්නා අතර, අපත් ඒවා දැන සිටිය යුතුයි. ඔවුන්ගේ පව් මෙන්ම ඔවුන්ගේ පසුතැවිල්ලත් දෙවි දුන් සමාවත් පිළිබඳ වාර්තාව අපේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂා කර තිබෙනවා. (රෝම 15:4) එසේනම්, යෙහෝවා සමාව දෙන අයගේ පව් ‘සිහි’ නොකරන බව කියන විට බයිබලය අදහස් කරන්නේ කුමක්ද?
13. (අ) ‘සිහි කරන්නෙමි’ ලෙස දක්වා තිබෙන හෙබ්‍රෙව් ක්‍රියාපදයෙහි තේරුමට ඇතුළත් වී ඇත්තේ කුමක්ද? (ආ) “ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි” කියා පවසද්දී, යෙහෝවා අපට සහතික කරමින් සිටින්නේ කුමක් ගැනද?
13 ‘සිහි කරන්නෙමි’ ලෙස දක්වා තිබෙන හෙබ්‍රෙව් ක්‍රියාපදය, අතීතය නිකම්ම මතක් කිරීමට වඩා වැඩි දෙයක් අඟවනවා. තියලොජිකල් ව’ඩ්බුක් ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් (පරණ ගිවිසුම පිළිබඳ දේවධර්ම ශබ්දකෝෂය) අනුව, “යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අමතර ඇඟවීම” එයට ඇතුළත්. එමනිසා මෙම අර්ථයෙන් බැලුවොත්, පව් ‘සිහි කිරීම’ කියන්නේ පව්කාරයන්ට විරුද්ධව ක්‍රියා කිරීම ඇතුළත් දෙයක්. ප්‍රොපේත හොෂෙයා හිතුවක්කාර ඉශ්රායෙල්වරුන් සම්බන්ධයෙන් ‘ඔහු [යෙහෝවා] ඔවුන්ගේ අයුතුකම සිහි කරන’ බව පැවසූ විට, පසුතැවිලි වීමට ඔවුන් දැක්වූ ඌනතාව නිසා යෙහෝවා ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන බව එම ප්‍රොපේතවරයා අදහස් කළා. මේ අනුව, එම පදයේ ඉතිරි කොටස මෙසේ කියයි: “ඔහු ඔවුන්ගේ පව්වලට අවධානය දෙන්නේය.” (හොෂෙයා 9:9, NW) අනික් අතට, “ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි” කියා යෙහෝවා පවසන විට, පසුතැවිලි වූ පව්කාරයෙකුට වරක් සමාව දුන්නායින් පසු, අනාගතයේදී යම් අවස්ථාවකදී එම පව් හේතුවෙන් එම තැනැත්තාට විරුද්ධව ක්‍රියා කරන්නේ නැති බව ඔහු අපට සහතික කරමින් සිටිනවා. (එසකියෙල් 18:21, 22) මේ අනුව ඔහු අමතක කර දමන්නේ, අපට නැවත නැවත චෝදනා කරන හෝ දඬුවම් කරන අදහසින් අපේ පාප පුන පුනා ඉස්මතු නොකරනවා යන අදහසිනුයි. මෙයාකාරයෙන්, අනුන් සමඟ කටයුතු කරද්දී අපට අනුකරණය කිරීම සඳහා යෙහෝවා විශිෂ්ට ආදර්ශයක් තබයි. එකඟ නොවීම් ඉස්මතු වන විට, ඔබ කලින් සමාව දෙන්න එකඟ වූ අතීතයේ වැරදි නැවත ඇදගැනීමෙන් වැළකී සිටීම හොඳයි.
ප්‍රතිවිපාක ගැන කුමක් කිව හැකිද?
14. සමාව ලැබුණත්, පසුතැවිලි වන පව්කාරයෙකු තම වැරදි ක්‍රියාමාර්ගයේ සියලු ප්රතිවිපාකවලින් නිදහස් වන බව එයින් අදහස් නොවන්නේ ඇයි?
14 යෙහෝවා සමාව දීමට සූදානම් බව කීමෙන්, පසුතැවිලි වන පව්කාරයෙකු, තමා ගත් වැරදි ක්‍රියාමාර්ගයේ සෑම ප්රතිවිපාකයකින්ම නිදහස් වන බව අදහස් කරනවාද? කිසිසේත් නැහැ. දඬුවම් නොලබා අපට පව් කළ නොහැකියි. පාවුල් මෙසේ ලිව්වා: “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.” (ගලාති 6:7) අපේ ක්‍රියා හෝ ගැටලු නිසා ඇතැම් ප්රතිවිපාකයන්ට මුහුණ දෙන්න අපට සිදු වුණත්, සමාව දීමෙන් පසු, යෙහෝවා අප හමුවට විපත්ති පමුණුවන්නේ නැහැ. කරදර පැනනඟින විට, ‘සමහරවිට අතීතයේදී කළ පව්වලට යෙහෝවා මට දඬුවම් කරනවා ඇති’ කියා ක්‍රිස්තියානියෙකුට නොහැඟිය යුතුයි. (යාකොබ් 1:13 සසඳන්න.) අනිත් අතට, අපේ වැරදි ක්‍රියාවල ප්‍රතිඵල සියල්ලෙන් යෙහෝවා අපව ගළවන්නෙත් නැහැ. දික්කසාදය, අනවශ්‍ය ගැබ්ගැනීම්, ලිංගිකව පැතිරෙන රෝග, විශ්වාසය හෝ ගෞරවය නැතිවීම යන සියල්ල පාපයේ දුක්දායක ප්‍රතිවිපාක විය හැකි අතර, යෙහෝවා ඒවායින් අපව ආරක්ෂා කරන්න යන්නේ නැහැ. බැත්-ෂෙබා සහ උරියා සම්බන්ධව දාවිත් කළ පාපවලට සමාව දුන්නත්, යෙහෝවා ඉන් පසුව පැමිණි විපත්තිදායක ප්රතිවිපාකවලින් දාවිත්ව ආරක්ෂා කළේ නැති බව සිහියේ තබාගන්න.—2 සාමුවෙල් 12:9-14.
15, 16. ලෙවී කථාව 6:1-7හි වාර්තා වී ඇති නීතිය ගොදුරු වන තැනැත්තා සහ වරදකරු යන දෙදෙනාටම ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
15 අපේ පව්වලට වෙනත් ප්‍රතිවිපාකද තිබිය හැකියි. උදාහරණයක් හැටියට, ලෙවී කථාව 6වන පරිච්ඡේදයේ වාර්තාව සලකා බලන්න. සොරකමින්, පැහැරගෙන යෑමෙන් හෝ වංචාවෙන් පුද්ගලයෙකු සෙසු ඉශ්රායෙලිතයෙකුගේ බඩු බාහිරාදිය අත් කරගැනීම මගින් බරපතළ අයුතුකමක් කරන තත්වයක් මෝසෙස්ගේ ව්‍යවස්ථාව මෙහිදී සාකච්ඡා කරනවා. තමා වරදකරු බව පව්කාරයා ප්‍රතික්ෂේප කරන අතර, ඒ සම්බන්ධයෙන් බොරුවට දිවුරන්න පවා ඔහු එඩිතර වෙනවා. ඊට සම්බන්ධ වන පාර්ශ්වයන් දෙකේ සාක්ෂිය මිසක වෙනත් සාක්ෂි නැහැ. කෙසේවෙතත්, පසුව වරදකරුවාගේ හෘදය සාක්ෂිය ඔහුට වද දෙන්න පටන්ගන්න අතර, ඔහු තම පාපය නොසඟවා කියනවා. දෙවිගෙන් සමාව ලැබීමට නම්, ඔහු තවත් දේවල් තුනක් කළ යුතුයි: එනම් තමා ගත් දේ නැවත භාර දීම, ඔහුට ගොදුරු වූ කෙනාට සියයට 20ක දඩයක් ගෙවීම සහ අපරාධ පූජාවක් ලෙස බැටළුවෙකු පූජා කිරීමයි. ඊළඟට, ව්‍යවස්ථාව මෙසේ පවසයි: “පූජකයාද [යෙහෝවා] ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, [ඔහුට] . . . ඒ ගැන ක්ෂමාකරනු ලබන්නේය.”—ලෙවී කථාව 6:1-7; සසඳන්න මතෙව් 5:23, 24.
16 මෙම නීතිය දෙවි වෙතින් පැමිණි දයාන්විත සැපයුමක් වුණා. එය ගොදුරු වූ කෙනාට ප්‍රයෝජනවත් වුණා. ඔහුගේ දේපොළ ආපසු ලැබුණු අතර, වරදකරු ඔහුගේ පාපය පිළිගත් විට, මොහුට ඉමහත් සහනයක් දැනුණ බවට කිසිම සැකයක් නැහැ. ඒත් සමඟම, තම වරද සහිතබව පිළිගෙන තම වරද නිවැරදි කිරීමට හෘදය සාක්ෂිය කොහොම හරි පෙලඹුණාවූ තැනැත්තාටත් නීතියෙන් ප්‍රයෝජන ලැබුණා. ඇත්තෙන්ම, එසේ කිරීමට ඔහු ප්‍රතික්ෂේප කර තිබුණා නම්, දෙවිගෙන් ඔහුට කොහෙත්ම සමාවක් ලැබෙන්නේ නැහැ.
17. වෙනත් අය අපේ පව්වලින් වේදනාවට පත්ව සිටින විට, යෙහෝවා අපේක්ෂා කරන්නේ අප විසින් කුමක් කිරීමද?
17 අප මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටියත්, සමාව දීම ගැන ඔහු කල්පනා කරන ආකාරය ඇතුළුව, යෙහෝවාගේ මනස පිළිබඳව අනර්ඝ තීක්ෂ්ණ බුද්ධියක් අපට එයින් ලබා දෙනවා. (කොලොස්සි 2:13, 14) අපේ පව් නිසා වෙනත් අය වේදනාවට පත්ව හෝ ගොදුරු වී ඇති විටක, ‘වරද නිවැරදි කිරීමට’ අපට කරන්න පුළුවන් දේ කරද්දී, යෙහෝවා සතුටු වෙනවා. (2 කොරින්ති 7:11) මෙයට අපේ පාපය පිළිගැනීම, අපේ වරද සහිතබව ඒත්තුගැනීම මෙන්ම ගොදුරු වූ තැනැත්තාගෙන් සමාව ඉල්ලීමත් ඇතුළත් වෙනවා. ඊළඟට යේසුගේ පූජාව නමැති පදනම මත යෙහෝවාට අයැදින්න අපට පුළුවන් වන අතර, පවිත්‍ර හෘදය සාක්ෂියක සහනයත්, දෙවි අපට සමාව දී ඇති බවට සහතිකයත් අද්දකින්න අපට පුළුවන්.—හෙබ්‍රෙව් 10:21, 22.
18. යෙහෝවාගෙන් ලැබෙන සමාව සමඟම කුමන හික්මවීමක් ලැබිය හැකිද?
18 ඕනෑම ප්‍රේමනීය දෙමාපියෙකු මෙන්, යෙහෝවාත් යම් හික්මවීමක් සමඟ සමාව ලබා දිය හැකියි. (හිතෝපදේශ 3:11, 12) පසුතැවිලි වන ක්‍රිස්තියානියෙකුට වැඩිමහල්ලෙකු, උපස්ථායක සේවකයෙකු හෝ පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමේ තම වරප්‍රසාදය අත්හැරීමට සිදු විය හැකියි. තමාට අනර්ඝ වූ වරප්‍රසාද යම් කාලපරිච්ඡේදයකට නැති වී යෑම ඔහුට වේදනාකාරි දෙයක් විය හැකියි. කෙසේවෙතත්, ඔහුට යෙහෝවාගේ අනුග්‍රහය නැති වී ඇති බවවත් යෙහෝවා ඔහුට සමාව දීමෙන් වැළකී සිට ඇති බවවත් එවන් හික්මවීමකින් අදහස් වන්නේ නැහැ. ඊට අමතරව, යෙහෝවාගෙන් ලැබෙන හික්මවීම ඔහු අපට ප්‍රේම කරන බවට සාක්ෂියක් බව අප මතක තබාගත යුතුයි. එය පිළිගෙන අදාළ කරගැනීම අපේ ප්‍රයෝජනය තකා වන අතර, සදාකාල ජීවනයට මඟ පෑදිය හැකියි.—හෙබ්‍රෙව් 12:5-11.
19, 20. (අ) ඔබ යම් වැරදි කර ඇතොත්, යෙහෝවාගේ දයාවට ළඟා විය නොහැකි තැනක ඔබ සිටින බව ඔබට හැඟී නොයා යුත්තේ ඇයි? (ආ) ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලබන්නේ කුමක්ද?
19 අප “කමාවෙන්ට සූදානම්” දෙවිකෙනෙකුට සේවය කරන බව දැනසිටීම මොනතරම් නැවුම්බවක් ගෙන දෙනවාද! අපේ පව් සහ වැරදිවලට වඩා වැඩි යමක් යෙහෝවා දකිනවා. (ගීතාවලිය 130:3, 4) අපේ හෘදවල තිබෙන්නේ කුමක්ද කියා ඔහු දනී. අතීතයේ කළ වැරදි නිසා ඔබේ හෘදය බිඳී තැළී ගොස් ඇති බව ඔබට හැඟීයනවා නම්, යෙහෝවාගේ දයාවට ළඟා විය නොහැකි තැනක ඔබ සිටින බව නිගමනය නොකරන්න. ඔබ කර තිබෙන වැරදි මොනව වුණත්, ඔබ සැබවින්ම පසුතැවිලි වී, වරද හරිගස්වන්න පියවර ගෙන, යේසුගේ වැගිරෙවූ රුධිරය නමැති පදනම මත යෙහෝවාගෙන් සමාව ලැබීමට ඕනෑකමින් යාච්ඤා කර ඇත්නම්, 1 යොහන් 1:9හි වදන් ඔබට අදාළ වන බවට පූර්ණ නිසැකකමක් තබාගන්න ඔබට පුළුවන්: “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් [ඔහු] විශ්වාසව ධර්මිෂ්ඨව [සිටියි].”
20 එකිනෙකා සමඟ කටයුතු කරද්දී, යෙහෝවාගේ සමාව දීම අනුකරණය කරන්න කියා බයිබලය අපට දිරිගන්වයි. අනුන් අපට විරුද්ධව පව් කරන විට, සමාව දී අමතක කර දැමීම අපෙන් අපේක්ෂා කළ හැක්කේ කොයිතරම් දුරටද? මෙය ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලබනවා.
[පාදසටහන]
a “අපව සාදා ඇති අන්දම” ලෙස දක්වා ඇති හෙබ්‍රෙව් වචනය, කුම්භකාරයෙකු සාදන මැටි භාජන සම්බන්ධයෙන් යොදා තිබීම සිත්ගන්නා දෙයක්.—යෙසායා 29:16.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ යෙහෝවා “කමාවෙන්ට සූදානම්” වන්නේ ඇයි?
◻ යෙහෝවාගේ සමාව දීමේ පූර්ණකම බයිබලය විස්තර කරන්නේ කෙසේද?
◻ යෙහෝවා සමාව දෙන විට, ඔහුට අමතක වෙන්නේ මොන අර්ථයෙන්ද?
◻ වෙනත් අය අපේ පව්වලින් වේදනාවට පත්ව සිටින විට, යෙහෝවා අපේක්ෂා කරන්නේ අප විසින් කුමක් කිරීමද?
[12වන පිටුවේ පින්තූරය]
වෙනත් අය අපේ පව්වලින් වේදනාවට පත්ව සිටින විට, සිදු වූ හානිය හරිගැස්සීම යෙහෝවා අපෙන් අපේක්ෂා කරනවා