88වෙනි පරිච්ඡේදය
ධනවතා සහ ලාසරුස් අද්දැක්ක වෙනස
ධනවතා සහ ලාසරුස් ගැන නිදර්ශනය
ධන සම්පත් පාවිච්චි කරන්න ඕන විදිහ ගැන යේසුස් ගෝලයන්ට කියලා දෙද්දී පරිසිවරුනුත් එතැන හිටියා. ඔවුන් “මුදලට කෑදර” පිරිසක් නිසා හරි නම් ඔවුන් යේසුස් කියපු දේ හොඳින් හිතට ගන්න ඕනේ. ඒත් යේසුස් කියපු දේ නිසා ඔවුන් ඔහුව ‘සමච්චලයට ලක් කරනවා.’—ලූක් 15:2; 16:13, 14.
ඒ නිසා යේසුස් ඔවුන්ට කියන්නේ මෙහෙමයි. “ඔබ මිනිසුන් ඉදිරියේ ධර්මිෂ්ඨයි කියා මවාපෑවත් ඔබේ සිත්වල ඇත්තටම තිබෙන්නේ මොනවාද කියා දෙවි දන්නවා. ඇත්තෙන්ම මිනිසුන් වැදගත් කියා සලකන දේවල් දෙවිට පිළිකුලක්.”—ලූක් 16:15.
පරිසිවරුන් කියන්නේ කාලයක් තිස්සේ “මිනිසුන් වැදගත්” අය විදිහට සලකන පිරිසක්. ඒත් දැන් ඒ තත්වය වෙනස් වෙන්න කාලය ඇවිත්. දේශපාලන බලය, ආගමික බලතල සහ ධනවත්කම නිසා මිනිසුන්ගේ ගරු බුහුමන් ලබන අයව පහතට දමනවා. හැබැයි දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යයි කියලා තේරුම් අරන් ඉන්න, අසරණ මිනිසුන්ව උසස් කරනවා. ඒ වෙනස දැන් සිද්ධ වෙනවා කියලා පැහැදිලි කරන්න තමයි යේසුස් මෙහෙම කියන්නේ.
“නීතියේ සඳහන් දේවල් සහ අනාගතවක්තෘවරුන් පැවසූ දේවල් යොහන්ගේ කාලය දක්වා ප්‍රකාශ කළා. එතැන් පටන් ශුභාරංචියක් ලෙස ප්‍රකාශ කරන්නේ දෙවිගේ රාජ්‍යය ගැනයි. හැම ජාතියකටම අයත් මිනිසුන් එහි ආශීර්වාද ලබාගැනීමට මහත් වෑයමක් දරනවා. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත් නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි. එහි ඇති සෑම අකුරකින් අංශුමාත්රයක් වුණත් ඉතා වැදගත් බව මතක තබාගන්න.” (ලූක් 3:18; 16:16, 17) දැනටමත් යම් වෙනසක් වෙනවා කියලා යේසුස් කියපු ඒ දෙයින් පැහැදිලි වෙන්නේ කොහොමද?
යුදෙව් ආගමික නායකයන් හරිම උඩඟු විදිහට කියන්නේ ඔවුන් මෝසෙස් මාර්ගයෙන් ලැබුණු නීතිය පිළිපදිනවා කියලයි. ඒ නිසා තමයි යේසුස් යෙරුසලමේදී අන්ධ මිනිසෙක්ට පෙනීම දුන්නාම ඔවුන් මෙහෙම කිව්වේ. “අපි මෝසෙස්ගේ ගෝලයෝ. දෙවි මෝසෙස්ට කතා කළා කියා අපි දන්නවා.” (යොහන් 9:13, 28, 29) මෝසෙස්ගේ නීතිය දීපු ප්‍රධාන අරමුණක් තමයි යටහත්පහත් මිනිසුන්ව මෙසියස් වෙතට ඒ කියන්නේ යේසුස් වෙතට මඟ පෙන්වන එක. යොහන් බව්තීස්ත පැහැදිලි කළා යේසුස් තමයි දෙවිගේ බැටළු පැටවා කියලා. (යොහන් 1:29-34) යොහන් සේවය පටන්ගත්ත කාලේ ඉඳලාම යටහත්පහත් යුදෙව්වන්ට විශේෂයෙන් දිලිඳු අයට “දෙවිගේ රාජ්‍යය” ගැන දැනගන්න ලැබුණා. ඔව්, දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් වෙන්නත් ආශීර්වාද ලබාගන්නත් කැමති හැමෝටම “ශුභාරංචිය” ගැන දැනගන්න දැන් අවස්ථාව තියෙනවා.
මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියෙන් මිනිසුන්ව යේසුස් වෙතට මඟ පෙන්වලා තියෙන නිසා ඒ නීතියේ අරමුණ ඉටු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒ නීතිය අවලංගු වෙන්න නියමිතයි. උදාහරණයකට විවිධ හේතු නිසා යුවළකට දික්කසාද වෙන්න ඒ නීතියෙන් අවසර තිබුණත් යේසුස් කියන්නේ මෙහෙමයි. “තම බිරිඳව දික්කසාද කර වෙනත් ස්ත්‍රියක්ව විවාහ කරගන්නා පුරුෂයා අනාචාරයේ යෙදෙනවා. තම පුරුෂයාගෙන් දික්කසාද වූ ස්ත්‍රියක්ව යම් කෙනෙක් විවාහ කරගත්තොත් ඔහුද අනාචාරයේ යෙදෙන කෙනෙක් ලෙස සැලකිය යුතුයි.” (ලූක් 16:18) ඒක ඇහුණාම හැම පුංචි දේකටම නීති හදන පරිසිවරුන්ට කොහොම හැඟෙන්න ඇද්ද!
තමන් කියපු වෙනස ගැන තේරුම් කරන්න යේසුස් දැන් නිදර්ශනයක් කියනවා. මේ නිදර්ශනයේ සඳහන් වෙන්නේ පුද්ගලයන් දෙන්නෙක් අද්දැකපු තත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණු විදිහ ගැනයි.
“එක්තරා ධනවත් මිනිසෙක් සිටියා. ඔහු පුරුදු වී සිටියේ මිල අධික දම් පැහැති වස්ත්‍ර හා ලිනන් රෙදිවලින් මැසූ ඇඳුම් අඳින්නයි. සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු දිනපතාම කල් ගෙව්වේ මහත් ප්‍රීතියකින්. මේ අතර ලාසරුස් නම් හිඟන්නෙකුව නිතිපතාම ඔහුගේ දොරටුව අසලට ගෙනැවිත් තබනු ලැබුවා. ඔහුගේ ඇඟ පුරාම වණ හටගෙන තිබුණා. ඔහු සිතාගෙන සිටියේ තමාට ධනවතාගේ මේසයෙන් වැටෙන දේවලින් තම කුසගින්න නිවාගත හැකි බවයි. මේ අතර බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වණ ලෙව කෑවා.”—ලූක් 16:19-21.
පරසිවරුන් මුදලට කෑදර අය නිසා ‘ධනවත් මිනිසාගෙන්’ නියෝජනය වෙන්නේ ඔවුන්ව. ඒ ධනවතා වගේ යුදෙව් ආගමික නායකයන් මිල අධික ඇඳුම්වලට කැමතියි. ධන සම්පත්වලට වඩා භුක්ති විඳින වරප්‍රසාද නිසා ඔවුන්ව කැපිලා පෙනෙනවා. ධනවතා මිල අධික දම් පැහැති වස්ත්‍රයක් ඇඳගෙන ඉන්න එකෙන් පරිසිවරුන්ට හිමි ඒ උසස් තත්වයත් සුදු ලිනන් රෙදිවලින් ඔවුන් තමන් ධර්මිෂ්ඨයි කියලා කියාගන්න බවත් පැහැදිලි වෙනවා.—දානියෙල් 5:7.
ඒ උඩඟු නායකයන් දුප්පත් සාමාන්‍ය මිනිසුන්ව සලකන්නේ මොන තරම් පහත් විදිහටද කියනවා නම් ඔවුන්ව හඳුන්වන්නේ පොළොවේ මිනිසුන් කියන අර්ථය දෙන “අම්හාරෙට්ස්” කියන වචනයෙනුයි. ඒ අසරණ මිනිසුන්ට දෙවියන් දීපු නීතිය ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ දේවල් කියලා දෙන්න තරම් ඔවුන් වටින්නේ නැහැ කියලයි ආගමික නායකයන් හිතන්නේ. (යොහන් 7:49) ඔවුන් හරියට “ධනවතාගේ මේසයෙන් වැටෙන දේවලින්” කුසගින්න නිවාගන්න උත්සාහ කරන ලාසරුස් නම් හිඟන්නා වගෙයි. ඇඟ පුරාම වණ තිබුණු ලාසරුස්ව පහත් විදිහට සැලකුවා වගේ මේ සාමාන්‍ය මිනිසුන්ව ආගමික නායකයන් සලකන්නේ දෙවිගේ අනුමැතිය නැති පහත් අය විදිහටයි.
කාලයක් තිස්සේ ඒ තත්වය පැවතුණත් ධනවතාගෙන් සහ ලාසරුස්ගෙන් නියෝජනය වෙන අයගේ තත්වය වෙනස් වෙන්න කාලය ඇවිත් කියලා යේසුස් දන්නවා.
ධනවතා සහ ලාසරුස් අද්දකින වෙනස
නිදර්ශනය තවදුරටත් විස්තර කරමින් යේසුස් මෙහෙම කියනවා. “යම් කලක් ගත වූ පසු එම හිඟන්නා මිය ගියා. එවිට දේවදූතයන් ආබ්‍රහම් අසලම සිටීමට ඔහුව රැගෙන ගියා. මේ අතර ධනවතාත් මිය ගිය නිසා ඔහුවත් තැන්පත් කරනු ලැබුවා. මිනී වළෙහි දුක් විඳිමින් සිටි ඔහු ඉහළ බැලූ විට දුර ඈත සිටි ආබ්‍රහම්වත් ඔහු අසලම සිටින ලාසරුස්වත් දුටුවා.”—ලූක් 16:22, 23.
යේසුස්ට දැන් සවන් දෙන හැමෝම දන්නවා මීට හුඟ කාලෙකට කලින් තමයි ආබ්‍රහම් මිය ගියේ කියලා. කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනාට කිසිම දෙයක් කරන්න බැහැ කියලා ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව සඳහන් වෙනවා. (දේශනාකාරයා 9:5, 10) එහෙමනම් යේසුස් ඒ නිදර්ශනයෙන් පැහැදිලි කරන්නේ මොනවාද? සාමාන්‍ය මිනිසුන් සහ ධනයට කෑදර ආගමික නායකයන් ගැන යේසුස් ඒකෙන් කියන්න හදන්නේ මොනවාද?
ටිකකට කලින් යේසුස් මෙහෙම කිව්වා. “නීතියේ සඳහන් දේවල් සහ අනාගතවක්තෘවරුන් පැවසූ දේවල් යොහන්ගේ කාලය දක්වා ප්‍රකාශ කළා. එතැන් පටන් ශුභාරංචියක් ලෙස ප්‍රකාශ කරන්නේ දෙවිගේ රාජ්‍යය ගැනයි.” ඒකෙන් පැහැදිලි වෙනවා ලාසරුස්ගෙන් සහ ධනවතාගෙන් නියෝජනය වෙන අයගේ තත්වය වෙනස් වෙන්න පටන්ගත්තේ යොහන් සහ යේසුස් දේශනා කරන්න පටන්ගත්තාට පස්සේ කියලා.
දිලිඳු, අසරණ මිනිසුන්ට දෙවිගේ වචනය ගැන කිසිම අවබෝධයක් ආගමික නායකයන්ගෙන් ලැබිලා තිබුණේ නැහැ. ඒත් යොහන් බව්තීස්ත සහ යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන ඔවුන්ට කියලා දුන්නා. ඔවුන් උනන්දුවෙන් ඒ දේවල්වලට සවන් දුන්නා. ඔවුන් කලින් හිටියේ ධනවතාගේ මේසයෙන් වැටෙන දේවලින් කුසගින්න නිවාගන්න බලන් හිටිය හිඟන්නා වගෙයි. ඒත් දැන් ඔවුන්ට යේසුස් මාර්ගයෙන් ශුද්ධ ලියවිල්ලේ තියෙන වටිනා තොරතුරු දැනගන්න ලැබෙනවා. ඒක හරියට අන්තිමේදී ඔවුන්ට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබුණා හා සමානයි.
ඔවුන්ට වඩා වෙනස් විදිහට හැසිරෙන ධනවත් ආගමික නායකයන් දෙවිගේ රාජ්‍යය ගැන යොහන් දේශනා කරපු දේවල්වත් යේසුස් දේශනා කරමින් ඉන්න දේවල්වත් පිළිගන්නේ නැහැ. (මතෙව් 3:1, 2; 4:17) ඒ වෙනුවට යොහන් සහ යේසුස් දේශනා කරපු විදිහට ළඟදීම මුහුණ දෙන්න සිද්ධ වෙන දෙවිගේ විනිශ්චය ගැන ඔවුන් කේන්තියෙන් පුපුරනවා. ඇත්තටම ඒ පණිවිඩය ඔවුන්ට ලොකු වේදනාවක්. (මතෙව් 3:7-12) යේසුස් සහ ගෝලයන් දෙවිගේ පණිවිඩය කියන එක නතර කරනවා නම් ධනයට කෑදර ඒ ආගමික නායකයන්ට ඒක ලොකු සහනයක් වෙයි. ඒ ආගමික නායකයනුත් හරියට මෙහෙම කියපු ධනවතා වගෙයි. “ආබ්‍රහම්, මගේ පියාණෙනි, මට අනුකම්පා කරන්න. මම මේ ගිනි ජාලාවේ සිටින්නේ මහත් වේදනාවෙන්. ඒ නිසා ලාසරුස්ගේ ඇඟිල්ල වතුරේ තවරා මගේ දිව සිසිල් කිරීමට ඔහුව මා ළඟට එවන්න.”—ලූක් 16:24.
ධනවතාගෙන් නියෝජනය වෙන ආගමික නායකයන්ට සහනයක් ලැබෙයිද? නැහැ. මොකද ඔවුන්ගෙන් හුඟදෙනෙක් ජීවිත වෙනස් කරගන්නේ නැහැ. ඒ වගේම ඔවුන් යේසුස්ව දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට පිළිගන්නේ නැති එකෙන් ඔහු ගැන අනාවැකි කියපු ‘මෝසෙස්ව සහ අනාගතවක්තෘවරුන්ව’ ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. (ලූක් 16:29, 31; ගලාති 3:24) දෙවිගේ අනුමැතිය ලැබිලා තියෙන දිලිඳු අසරණ මිනිසුන් දිහා බලලාවත් ඔවුන් නිහතමානී වෙන්නේ නැහැ. කොහොමවුණත් ඔවුන්ට සහනයක් දෙන්න හිතාගෙන යේසුස්ගේ ගෝලයන් සත්‍ය පණිවිඩය දියාරු කරන්නේ නම් නැහැ. යේසුස් කියන නිදර්ශනයේ “ආබ්‍රහම්” ධනවතාට කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා.
“දරුව, ඔබ ජීවතුන් අතර සිටියදී ඔබ ගත කළ සැපවත් ජීවිතය ඔබට මතක නැද්ද? නමුත් ලාසරුස් ගත කළේ ඉතා දුක්බර ජීවිතයක්. දැන් ඔහුට සැනසීම ලැබිලා. නමුත් දැන් ඔබ සිටින්නේ මහත් වේදනාවකිනුයි. ඒ විතරක් නොවෙයි, ඔබත් අපත් අතර ඇති පරතරය ඉතා විශාලයි. ඒ නිසා ඔබ ළඟට එන්න අප කැමති වුණත් ඒ දේ කරන්න බැහැ. ඒ වගේම ඔබ සිටින තැනින් කිසිවෙකුට අප සිටින තැනට එන්නත් බැහැ.”—ලූක් 16:25, 26.
ඔවුන් අද්දකින වෙනස ගැන යේසුස් කියපු ඒ නිදර්ශනයෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. ඔව්, යේසුස්ගේ වියගහ පිළිගන්න යටහත්පහත් අයට ලොකු සහනයක් අද්දකින්න ලැබෙනවා විතරක් නෙවෙයි ඔවුන්ට දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්නත් පුළුවන් වෙනවා. (මතෙව් 11:28-30) ඒත් උඩඟු ආගමික නායකයන් අද්දකින තත්වය ඊට වඩා මොන තරම් වෙනස්ද! තව මාස කිහිපයකින් මෝසෙස්ගේ නීතික ගිවිසුම වෙනුවට අලුත් ගිවිසුමක් ලැබුණාම ඒ වෙනස තවත් හොඳින් දැකගන්න පුළුවන් වෙයි. (යෙරෙමියා 31:31-33; කොලොස්සි 2:14; හෙබ්‍රෙව් 8:7-13) ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී දෙවි තම බලය ලබා දෙද්දී ඔහුගේ අනුමැතිය ලැබෙන්නේ යේසුස්ගේ ගෝලයන්ට මිසක් පරිසිවරුන් ඇතුළු ආගමික නායකයන්ට නෙවෙයි කියලා කිසිම සැකයක් නැතුව දැනගන්න පුළුවන් වෙනවා.