-
දෙවිගේ රාජ්‍යය මිනිසුන්ගේ සිත්වල තිබෙන දෙයක්ද?2011 මුරටැඹ | මාර්තු 1
-
-
දෙවිගේ රාජ්‍යය මිනිසුන්ගේ සිත්වල තිබෙන දෙයක්ද?
‘දෙවිගේ රාජ්‍යයේ පැමිණීම යනු යේසුස්ව පිළිගෙන ඔහු කෙරෙහි විශ්වාස කරන විට සිතේ ඇති වන වෙනස’ කියා 16වන බෙනඩික් පාප්වරයා ඔහු විසින් රචිත පොතක සඳහන් කර තිබෙනවා. (Jesus of Nazareth) නමුත් ඇත්තටම දෙවිගේ රාජ්‍යය කියන්නේ මිනිසුන්ගේ සිත් තුළ තිබෙන දෙයක්ද?
දෙවිගේ රාජ්‍යය යේසුස්ට ඉතා වැදගත් දෙයක් වුණා. බව්තීස්මයෙන් පසු ඔහු විවිධ ප්‍රදේශවලට ගොස් ‘රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කළේ’ ඒ නිසයි. (මතෙව් 4:23) දහසයවන බෙනඩික් පාප්වරයා පැවසුවේ ‘යේසුස් මූලිකවම දේශනා කළේ දෙවිගේ රාජ්‍යය ගැන’ බවයි. යේසුස්ගේ ඉගැන්වීම්වලින් හා ඔහු කළ බලවත් ක්‍රියාවලින් ඔහු පෙන්නුම් කළේ දෙවිගේ රාජ්‍යය පුද්ගලයෙකුගේ සිතේ තිබෙන දෙයක් නොව සැබෑ ආණ්ඩුවක් බවයි. ඇත්තෙන්ම දෙවිගේ රාජ්‍යය යනු අනාගතයේදී මුළු පොළොවම පාලනය කරන මිනිසුන්ව විනිශ්චය කරන සදාකාලික ආශීර්වාද ලබා දෙන සැබෑ ආණ්ඩුවක්.
මිනිසුන්ව පාලනය කරන හා විනිශ්චය කරන ආණ්ඩුවක්
දිනක් යේසුස්ගේ ගෝලයන් දෙදෙනෙක් වූ යාකොබ්ගේ හා යොහන්ගේ මව යේසුස් ළඟට පැමිණ මෙසේ ඉල්ලා සිටියා. “ඔබේ රාජ්‍යයේදී මගේ මේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට ඔබේ දකුණු පැත්තේද අනික් පුතාට ඔබේ වම් පැත්තේද ඉඳගැනීමට අවසර දෙන්න.” (මතෙව් 20:21) පැහැදිලිවම ඇය දෙවිගේ රාජ්‍යය සැලකුවේ ඇගේ පුතුන් දෙදෙනාගේ සිතේ තිබෙන දෙයක් ලෙස නොව යේසුස් හා එක් වී ඇගේ පුතුන් දෙදෙනාට පාලනයේ හවුල් විය හැකි සැබෑ ආණ්ඩුවක් ලෙසයි. යේසුස් පවා දෙවිගේ රාජ්‍යයේදී තම ගෝලයන් 11දෙනාට ‘සිංහාසනවල ඉඳ විනිශ්චය කිරීමට’ අවස්ථාවක් ලබා දෙන බවට පොරොන්දු වුණේ දෙවිගේ රාජ්‍යය සැබෑ ආණ්ඩුවක් නිසයි. (ලූක් 22:30) ඒ නිසා දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද කියා ඔහුගේ අනුගාමිකයන් නිවැරදිව වටහාගෙන සිටියා.
යේසුස්ගේ කාලයේ සිටි පොදු ජනයාට දෙවිගේ රාජ්‍යය ගැන තිබුණේ මොන වගේ අදහසක්ද? ඔවුන් සිතුවේ දෙවිගේ රාජ්‍යය මිනිසුන්ගේ සිතේ තිබෙන දෙයක් කියාද? යේසුස් තම මරණයට ටික දිනකට කලින් බූරු නාම්බෙකු පිට නැඟ යෙරුසලමට ගිය අවස්ථාවේදී සිදු වූ දෙයකින් ඊට පිළිතුර සොයාගත හැකියි. ඒ අවස්ථාවේ බොහෝ අය “දාවිත්ගේ පුත්‍රයාව ආරක්ෂා කරන්න” කියා හඬ නඟා පැවසුවා. (මතෙව් 21:9) ඔවුන් එසේ හඬ නැඟුවේ ඇයි? ඔවුන් එසේ කළේ දෙවි පොරොන්දු කරන ලද ගැලවුම්කරු යේසුස් බවත් ඔහුට “ඔහුගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය” එනම් දෙවිගේ රාජ්‍යයේ පාලනය ලබා දෙන බවත් ඔවුන් හොඳින් දැන සිටි නිසයි. එමනිසා දෙවිගේ රාජ්‍යය මගින් ගෙන ඒමට නියමිත යුක්තිය, සාමය හා ගැලවීම ලැබෙන තුරු ඔවුන් මහත් ආශාවෙන් බලා සිටියා.—ලූක් 1:32; සෙකරියා 9:9.
සදහටම ආශීර්වාද ගෙනෙන ආණ්ඩුවක්
යේසුස් කළ කී දේවල් ගැන එතරම් උනන්දුවක් නොදැක්වූ අය පවා දෙවිගේ රාජ්‍යය ගැන දැන සිටියා. යේසුස් වධකණුව මත මිය යෑමට මොහොතකට කලින් සිදු වූ දෙයක් ගැන මදකට සලකා බලන්න. ඔහු අසල ඇණ ගසා සිටි එක් අපරාධකරුවෙක් “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා” කියා යේසුස්ට පැවසුවා. එවිට යේසුස් ‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා’ කියා ඔහුට පොරොන්දු වුණා.—ලූක් 23:42, 43.
නැවත නැඟිටීමෙන් පසු යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස කටයුතු කරනවා කියා ඒ අපරාධකරු හොඳින්ම දැන සිටි බව ඉන් පැහැදිලි වෙනවා. ඒ කාලයේදී යේසුස් තම බලය යොදාගෙන මිය ගිය අයව නැවත නැඟිටුවන අතර මිනිසුන්ගේ ජීවිත යහමඟට ගෙන ඒමටත් පියවර ගන්නවා. ඒ දේ කිරීමට ඔහු මහත් ආශාවකින් සිටිනවා. ඒ නිසා දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස ඔහු මේ පොළොව පාලනය කරන කාලයේදී මුළු මිනිස් වර්ගයාටම මහත් ආශීර්වාද ලැබෙන බවට සැකයක් නැහැ.—යොහන් 5:28, 29.
“දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ඔබ අතරෙහියි” යන්නෙහි අර්ථය
එක් අවස්ථාවකදී යේසුස් මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ඔබ අතරෙහියි.” (ලූක් 17:21) ඇතැම් බයිබල් පරිවර්තකයන් යේසුස් පැවසූ ඒ දේ වැරදි ලෙස තේරුම්ගෙන ‘දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළෙයි’ කියා පරිවර්තනය කර තිබෙනවා. (පැරණි අනුවාදය) එමනිසා බොහෝ අය දෙවිගේ රාජ්‍යය සිතේ තිබෙන දෙයක් කියා සිතිය හැකියි. නමුත් යේසුස් ඇත්තටම අදහස් කළේ එයද?
එහි අදහස තේරුම්ගැනීමට යේසුස් ඒ දේ පැවසූ අවස්ථාව ගැන අපි සලකා බලමු. යේසුස් එය පැවසුවේ තමන්ට නිතරම විරෝධය පෑ ආගමික නායකයන් පිරිසක් වන පරිසිවරුන්ටයි. ඔවුන් සිතාගෙන සිටියේ පොරොන්දු කරන ලද ගැලවුම්කරු සියලුදෙනාටම පෙනෙන සේ “අහසේ වලාකුළු අතරින්” පැමිණ පීඩාකාරී රෝම පාලනයෙන් යුදෙව්වන්ව ගලවාගෙන ඊශ්‍රායෙල් දේශයේ යළි රාජ්‍යයක් පිහිටුවයි කියායි. (දානියෙල් 7:13, 14) නමුත් යේසුස් ඔවුන්ගේ ඒ වැරදි වැටහීම පෙන්වා දෙමින් “දෙවිගේ රාජ්‍යය පැමිණෙන්නේ සියලුදෙනාටම පැහැදිලිව දැකිය හැකි ආකාරයකින් නොවෙයි” කියා ඔවුන්ට පැවසුවා. “දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ඔබ අතරෙහියි” කියා යේසුස් පැවසුවේ ඉන් අනතුරුවයි.—ලූක් 17:20, 21.
යේසුස්ගේ ඉගැන්වීම් හා ඔහු කළ බලවත් ක්‍රියාවලින් දෙවිගේ රාජ්‍යයේ රජු යේසුස් බව පැහැදිලිව දකින්න තිබුණා. කුමන සාක්ෂි තිබුණත් කුහක පරිසිවරුන් නම් එය පිළිගැනීමට කැමති වුණේ නැහැ. නමුත් දෙවිගේ රාජ්‍යයේ රජු වීමට නියමිතව සිටි තැනැත්තා හැටියට ඔහු ඒ අවස්ථාවේ පරිසිවරුන් අතරම සිටි නිසා ‘දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ඔබ අතරෙහි’ කියා පැවසුවා. (ලූක් 17:21) එසේ පැවසීමෙන් ඔහු අදහස් කළේ දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ පරිසිවරුන්ගේ සිත් තුළ කියා නොවෙයි.
-
-
දෙවිගේ රාජ්‍යය මිනිසුන්ගේ සිත්වල තිබෙන දෙයක්ද?2011 මුරටැඹ | මාර්තු 1
-
-
දෙවිගේ රාජ්‍යය යේසුස්ව මරන්න සැලසුම් කළ අයගේ සිත් තුළ තිබුණු දෙයක් කියා පැවසිය හැකිද?
-