යොහන් බව්තීස්ත සතුටින් සේවය කරන්න අපිට ආදර්ශයක්
සභාවේ ඔයා කරන්න ආසාවෙන් ඉන්න දෙයක් දැන් ඔයාට කරන්න බැරිද? සමහරවිට ඒක වෙන කෙනෙක්ට තියෙන වගකීමක්, නැත්නම් ඔයා කලින් කරපු පැවරුමක් වෙන්න පුළුවන්. ඒත් වයස, අසනීප, ආර්ථික ප්‍රශ්න, පවුලේ වගකීම් නිසා දැන් ඔයාට ඒක කරන්න බැරුව ඇති. එහෙම නැත්නම් සංවිධානයේ කරපු වෙනස්කමක් නිසා කාලයක් තිස්සේ ඔයා කරපු ඒ වගකීම දැන් ඔයාට අහිමි වෙලා ඇති. හේතුව ඒ මොකක් වුණත් ඔයා කරන්න කැමති තරම් සේවයක් යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඔයා කරන්නේ නැහැ කියලා ඔයාට හැඟෙනවාද? එහෙමනම් අධෛර්යයක් දැනෙන එක සාමාන්‍යයි. ඒත් අධෛර්යය, දුක, අමනාපය වගේ හැඟීම්වලින් යටපත් නොවී හිතේ සතුට දිගටම තියාගන්නේ කොහොමද?
යොහන් බව්තීස්තගෙන් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා දෙවියන් එයාව විශේෂ කාර්යයන් සඳහා පාවිච්චි කළා. ඒත් එයා කවදාවත් හිතුවේ නැති දේවලටත් මුහුණ දෙන්න එයාට වුණා. එයා දේශනා කරපු කාලෙට වඩා වැඩි කාලයක් එයාට හිරේ ඉන්න වෙයි කියලා එයා හිතන්න නැතුව ඇති. ඒත් එයා සතුට නැති කරගත්තේ නැහැ. එයා ජීවිත කාලේ පුරාම දේවල් දිහා හරි විදිහට බැලුවා. ඒකට එයාට උදව් වුණේ මොකක්ද?
ලැබුණ පැවරුමෙන් ලොකු සතුටක් ලැබුවා
යෙහෝවා දෙවියන් භාර දුන්න පැවරුම යොහන් ක්‍රි.ව. 29 වසන්ත ඍතුවේදී පටන්ගත්තා. “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා” කියලා එයා දේශනා කරමින් ගැලවුම්කරුගේ පැමිණීමට මිනිසුන්ව සූදානම් කළා. (මතෙ. 3:2; ලූක් 1:12-17) එයාට ඇහුම්කන් දෙන්න හුඟදෙනෙක් ඈත පළාත්වලිනුත් ආවා. හුඟදෙනෙක් පසුතැවිලි වෙලා බව්තීස්ම වුණා. යොහන් බය නැතුව උඩඟු ආගමික නායකයන්ට කිව්වා එයාලගේ ජීවිත වෙනස් කරගත්තේ නැත්නම් දෙවියන් එයාලට දඬුවම් කරනවා කියලා. (මතෙ. 3:5-12) ක්‍රි.ව. 29 සරත් ඍතුවේදී යොහන් යේසුස්ව බව්තීස්ම කළා. ඒක එයාගේ පැවරුමේ වැදගත් අවස්ථාවක්. එදා ඉඳන් එයා අනිත් අයට උනන්දු කළා යේසුස් පොරොන්දු වුණ ගැලවුම්කරු නිසා ඔහුව අනුගමනය කරන්න කියලා.—යොහ. 1:32-37.
යොහන්ගේ පැවරුම විශේෂ එකක් නිසයි යේසුස් එයා ගැන මෙහෙම කිව්වේ. “ස්ත්‍රීන්ගෙන් උපන් අය අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් ඉපදී නැහැ.” (මතෙ. 11:11) යොහන් එයාගේ පැවරුම ගැන සතුටු වෙන්න ඇති. යොහන්ට වගේ අද ඉන්න හුඟදෙනෙකුටත් යෙහෝවා දෙවියන් විශේෂ පැවරුම් දීලා තියෙනවා. ටෙරිගේ අද්දැකීම බලන්න. එයාත් එයාගේ බිරිඳ සැන්ඩ්රාත් අවුරුදු 50කට වැඩි කාලයක් පූර්ණකාලීනව සේවය කරනවා. ටෙරි මෙහෙම කියනවා. “පුරෝගාමියෙක්, බෙතෙල් සේවකයෙක්, විශේෂ පුරෝගාමියෙක්, චාරිකා සේවක, දිස්ත්‍රික් සේවක සහ දැන් ආයෙත් විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණා.” විවිධ පැවරුම් ලැබෙද්දී ඒක අපිට ලොකු සතුටක්. ඒත් ඒ සතුට දිගටම තියාගන්න අපේ පැත්තෙන් අපි වෑයමක් දරන්න ඕනේ. යොහන්ගෙන් ඒක අපිට ඉගෙගන්න පුළුවන්.
අගය නැති කරගන්න එපා
තමන්ගේ පැවරුම ගැන තිබුණ අගය යොහන් කවදාවත් නැති කරගත්තේ නැහැ. දිගටම සතුටින් ඉන්න ඒ අගය එයාට උදව් වුණා. මේ සිද්ධිය බලන්න. යේසුස් බව්තීස්ම වුණාට පස්සේ යේසුස්ගේ අනුගාමිකයන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නත් යොහන් එක්ක හිටපු පිරිස අඩු වෙන්නත් පටන්ගත්තා. එතකොට යොහන්ගේ ගෝලයෝ එයාට කිව්වා “බලන්න, ඔහුත් මිනිසුන්ව බව්තීස්ම කරනවා. ඒ නිසා සියලුදෙනාම ඔහු ළඟට යනවා” කියලා. (යොහ. 3:26) යොහන් කිව්වේ මෙහෙමයි. “මනාලිය අයිති වන්නේ මනාලයාටයි. නමුත් අසලින් සිටින මනාලයාගේ මිත්‍රයා ඔහුගේ හඬ අසා මහත් සේ ප්‍රීති වෙයි. මමත් දැන් ප්‍රීතියෙන් පිරී සිටින්නේ ඒ නිසයි.” (යොහ. 3:29) යොහන් යේසුස් එක්ක තරඟ කළේ නැහැ. එයාගේ පැවරුමට වඩා යේසුස්ගේ කාර්යය ගොඩක් වැදගත් නිසා එයා කරපු කාර්යයේ වටිනාකමක් නැහැ කියලා යොහන් හිතුවේ නැහැ. ඒ වෙනුවට “මනාලයාගේ මිත්‍රයා” විදිහට එයාට ලැබුණ පැවරුම එයා දිගටම අගය කළා. ඒ නිසා එයාගේ සතුට නැති වුණේ නැහැ.
යොහන්ගේ පැවරුම ලේසි එකක් නොවුණත් එයා දේවල් දිහා හරි විදිහට බලපු නිසා දිගටම සතුටින් ඉන්න එයාට පුළුවන් වුණා. යොහන් නසරීතවරයෙක්. ඒ නිසා වයින් බොන්න එයාට තහනම්. (ලූක් 1:15) එයා ගත කළේ හරිම සරල ජීවිතයක්. “යොහන් සාමාන්‍ය විදිහට කමින් බොමින් තම ජීවිතය ගත කළේ නැහැ” කියලා යේසුත් කිව්වා. අනිත් අතට යේසුස්ටවත් ඔහුගේ ගෝලයන්ටවත් නසරීතවරුන් හැටියට ජීවත් වෙන්න වුණේ නැහැ. එයාලා ගත කළේ සාමාන්‍ය ජීවිත. (මතෙ. 11:18, 19) ආශ්චර්යයන් කරන්න බලය යොහන්ට ලැබුණෙත් නැහැ. ඒත් යේසුස්ගේ ගෝලයන්ට ඒ බලය ලැබුණා. ඒ සමහරදෙනෙක් කලින් යොහන්ගේ ගෝලයන් වෙලා හිටපු අය. (මතෙ. 10:1; යොහ. 10:41) ඒ වගේ වෙනස්කම් ගැන හිතහිත ඉන්නවා වෙනුවට යෙහෝවා දෙවියන්ගෙන් තමන්ට ලැබුණ පැවරුම යොහන් උද්යෝගයෙන් කළා.
අපිත් දැන් අපිට තියෙන පැවරුම වටින එකක් විදිහට සලකනවා නම් අපිටත් පුළුවන් සතුටින් ඉන්න. ටෙරි මෙහෙම කියනවා. “මට පැවරුමක් ලැබුණාම කලින් පැවරුම් ගැන හිතහිත ඉන්නේ නැතුව ලැබුණ එක හොඳින් කළා. අතීතය ගැන හිතලා මං දුක් වෙන්නේ නැහැ.”
අපිට ලැබෙන ඕනෙම වගකීමක්, පැවරුමක් විශේෂ එකක් වෙන්නේ අපි ‘දෙවියන් එක්ක හවුලේ වැඩ කරන’ නිසයි. (1 කොරි. 3:9) ඒ ගැන හිතන එකෙනුත් අපේ සතුට වැඩි වෙනවා. පරම්පරාවෙන් උරුම වුණ ආභරණයක් අපි නිතරම ඔප දමනවා නම් ඒකේ ලස්සන හැමදාටම තියෙනවා. ඒ වගේ යෙහෝවා දෙවියන් එක්ක එකට වැඩ කරන්න ලැබිලා තියෙන එක කොච්චර වරප්‍රසාදයක්ද කියලා අපි නිතරම හිතද්දී අපේ සතුටත් හැමදාටම තියෙනවා. සේවය වෙනුවෙන් අපි දරන වෑයම අනිත් අය දරන වෑයම එක්ක අපි සසඳන්නේ නැහැ. දෙවියන් අපිට දීලා තියෙන පැවරුම අනිත් අයට දීලා තියෙන පැවරුම් තරම් වටින්නේ නැහැ කියලා අපි හිතන්නෙත් නැහැ.—ගලා. 6:4.
දෙවියන් වැදගත් කියලා සලකන දේට වැඩි අවධානයක් දෙන්න
තමන්ගේ පැවරුම ගොඩක් කාලයක් තියෙන එකක් නැහැ කියලා යොහන් දැනන් ඉන්න ඇති. ඒත් ඒක එක පාරටම නතර වෙයි කියලා එයා හිතන්න නැතුව ඇති. (යොහ. 3:30) යේසුස්ව බව්තීස්ම කරලා මාස 6කට විතර පස්සේ හෙරොද් රජ යොහන්ව හිරභාරයට ගත්තා. ඒත් හරි දේ ගැන උගන්වන එක එයා නතර කළේ නැහැ. (මාක් 6:17-20) ඒ වගේ වෙනස්කම්වලට මුහුණ දුන්නත් සතුට නැති කරගන්නේ නැතුව ඉන්න යොහන්ට පුළුවන් වුණේ දෙවියන් වැදගත් කියලා සලකන දේට එයා අවධානය දුන්න නිසයි.
හිරගෙදර හිටපු යොහන්ට යේසුස් කරපු කියපු දේවල් ගැන දැනගන්න ලැබුණා. (මතෙ. 11:2; ලූක් 7:18) ගැලවුම්කරු යේසුස් කියලා යොහන් විශ්වාස කළා. ඒත් ගැලවුම්කරු ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන හැම අනාවැකියක්ම යේසුස් කොහොම ඉටු කරයිද කියලා යොහන් දැනන් හිටියේ නැහැ. ඒ නිසා එයා මෙහෙම හිතන්න ඇති. ‘ගැලවුම්කරුට රජකම ලැබෙන නිසා යේසුස්ගේ පාලනය ඉක්මනින්ම පටන්ගනියිද? යේසුස් රජ වුණාට පස්සේ මට හිරගෙදරින් නිදහස ලැබෙයිද?’ යේසුස්ගේ කාර්යය ගැන තව හොඳින් තේරුම්ගන්න අදහසින් යොහන් තමන්ගේ ගෝලයෝ දෙන්නෙක් අතේ යේසුස්ගෙන් මෙහෙම අහලා යැව්වා. “එන්න සිටින තැනැත්තා ඔබද? නැත්නම් අප වෙන කෙනෙකු එන තුරු බලා සිටිය යුතුද?” (ලූක් 7:19) ඒ දෙන්නා ආයෙත් ඇවිත් යේසුස් කරන ආශ්චර්යයන් ගැන කියද්දී යොහන් ආසාවෙන් අහගෙන ඉන්න ඇති. “අන්ධයන් පෙනීම ලබන බවත් කොර වී සිටි අය ඇවිදින බවත් ලාදුරු රෝගීන්ව පවිත්‍ර කර ඇති බවත් බිහිරි වී සිටි අයට දැන් ඇසෙන බවත් මිය ගිය අයව නැවත ජීවත් කරන බවත් දිලිඳුන්ට ශුභාරංචිය ගැන කියා දෙන බවත් කියන්න” කියලා යේසුස් යොහන්ට කියපු පණිවිඩයටත් එයා ආසාවෙන් ඇහුම්කන් දෙන්න ඇති.—ලූක් 7:20-22.
ඒ දේවල් අහලා යොහන් දිරිගැන්වුණා. ගැලවුම්කරු සම්බන්ධ අනාවැකි යේසුස් ඉටු කරනවා කියලා යොහන්ට ඒකෙන් තවත් තහවුරු වුණා. යේසුස් යොහන්ව හිරෙන් නිදහස් නොකළත් තමන් කරපු සේවය අපතේ ගියේ නැහැ කියලා යොහන් දැනන් හිටියා. හිරේ හිටියත් සතුටින් ඉන්න ඕන තරම් හේතු එයාට තිබුණා.
අපිත් යොහන් වගේ දෙවියන් වැදගත් කියලා සලකන දේට වැඩි අවධානයක් දෙනවා නම් සතුටින් ඕනෙම දෙයක් දරාගන්න අපිට පුළුවන්. (කොලො. 1:9-11) බයිබලය කියවලා ඒ ගැන හොඳට හිතන එක දේවල් විඳදරාගන්න අපිට උදව් වෙනවා. යෙහෝවා දෙවියන් අපිට මොන පැවරුම දුන්නත් අපේ සේවය ඔහු අගය කරනවා කියලා ඒකෙන් අපිට මතක් කරලා දෙනවා. (1 කොරි. 15:58) සැන්ඩ්‍රා මෙහෙම කියනවා. “හැම දවසකම බයිබලෙන් පරිච්ඡේදයක් කියවන එක මට උදව් වුණා යෙහෝවා දෙවියන්ට තව ළං වෙන්න. මං ගැන හිතනවා වෙනුවට දෙවියන් වැදගත් කියලා සලකන දේට අවධානය දෙන්න ඒක මට උදව් වුණා.” ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන් දේවරාජ්‍යය වෙනුවෙන් කරන වැඩකටයුතු ගැන පළ වෙන වාර්තා කියවන, බලන එකත් ප්‍රයෝජනවත්. අපේ පැවරුම ගැනම හිතන්නේ නැතුව යෙහෝවා දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන විදිහ ගැන හිතන්න ඒකෙන් අපිට පුළුවන් වෙනවා. සැන්ඩ්‍රා මෙහෙම කියනවා. “JW බ්‍රෝඩ්කාස්ටිං මාසික වැඩසටහන බලද්දී අපි දෙවියන්ගේ සංවිධානයට තවත් ළං වෙනවා. පැවරුම සතුටින් කරන්න ඒක අපිට උදව් වෙනවා.”
යොහන්ට එයාගේ පැවරුම තිබුණේ කෙටි කාලෙකට වුණත් එයා ඒක “එලියා මෙන් මහත් උද්යෝගයකින්” කළා. එලියා වගේම එයාත් “අප හා සමාන හැඟීම් ඇති මිනිසෙක්.” (ලූක් 1:17; යාකො. 5:17) අපිත් යොහන් වගේ අපිට ලැබිලා තියෙන පැවරුම අගය කරනවා නම්, දෙවියන්ට වැදගත් කියලා සලකන දේට වැඩි අවධානයක් දෙනවා නම් ජීවිතේ මොන වගේ වෙනස්කමක් අද්දැක්කත් අපේ පැවරුම දිගටම සතුටින් කරන්න අපිට පුළුවන්.