බයිබලයේ දෘෂ්ටිකෝණය
ක්‍රිස්තියානි සමඟිය විවිධත්වයට ඉඩ සලසයිද?
ක්‍රිස්තියානි සභාවේ සමඟිය ඉතාමත්ම වැදගත්. ආගමික විශ්වාසය සම්බන්ධයෙන් අසමඟිය දරුණු ආරවුල්, වාදවිවාද සහ සතුරුකම පවා හටගන්වනු ඇත. (ක්‍රියා 23:6-10) “[දෙවි] වියවුල්කමේ නොව සමාදානයේ [දෙවිය]” කියා බයිබලය පවසයි. (1 කොරින්ති 14:33) මේ හේතුවෙන්, ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබෙන්නේ එකඟත්වයෙන් කතා කිරීමට මෙන්ම එකම මනසකින් හා එකම කල්පනාවකින් සමඟිව සිටීමටයි.—1 කොරින්ති 1:10.
මේ වචන හා එවැනිම බයිබල් කොටස් ක්‍රිස්තියානීන් අතර සෑම අතකින්ම දැඩි ඒකාකාරත්වයකට දිරිගන්වයිද? (යොහන් 17:20-23; ගලාති 3:28) බයිබලයේ විස්තර කර ඇති ආකාරයට එක් එක්කෙනාගේ පෞද්ගලිකත්වයන් සම්බන්ධයෙන් සලකා බලන කල සැබෑ ක්‍රිස්තු ධර්මය විවිධත්වය වළක්වයිද? සියලුම ක්‍රිස්තියානීන් එකම අච්චුවක් තුළට සවිවීමක් අපේක්ෂා කරයිද?
දෙවි අප එක් එක්කෙනා වෙත ළඟා වෙයි
ජන සමූහයාව අත්තනෝමතිකව පාලනය කිරීම සඳහා බයිබලය හුදෙක් තවත් ආයුධයක් බව සමහරුන් තදින්ම විශ්වාස කරයි. සමහර නිකායන් මගින් එයාකාරයෙන් බොහෝවිට එය වැරදි විදිහට යොදාගෙන තිබෙන බව ඇත්තයි. කෙසේවෙතත්, ශුද්ධ ලියවිලි ගැනත්, ඒවායේ දිව්‍ය කර්තෘ ගැනත් යේසු දැක්වූයේ ඉතා වෙනස් පින්තූරයක්. ඔහු දෙවිව විස්තර කළේ, තමාගේ සෑම ජීවියෙක් කෙරෙහිම බලවත් උනන්දුවක් දක්වන දෙවිකෙනෙක් හැටියටයි.
යොහන් 6:44හි යේසු මෙසේ පැහැදිලි කළා: “මා එවූ [පියා] විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය.” මෙහි පාවිච්චි කර තිබෙන ක්රියාපදයෙන්, ජනයාගේ කැමැත්තට විරුද්ධව දෙවි ඔවුන්ව ඇදලා ගන්නවා කියන අදහසක් ඉදිරිපත් කරන්නේ නෑ. ඒ වෙනුවට, දෙවි මෘදු ලෙස ඇදගනු ලබන්නේ, හදවතට ළඟා වෙමිනුයි. එක් බයිබල් විශාරදයෙක් පැහැදිලි කළ ආකාරයට, ‘විශ්වාස කිරීමට මනස පෙලඹවීමට දෙවිගෙන් බලපෑමක්’ තිබේ. මිනිස් පවුල පෞද්ගලිකත්වයක් නැති ජනසමූහයක් හැටියට මැවුම්කරු සලකන්නේ නෑ. පුද්ගලයන්ගේ තක්සේරු කිරීමක් කරන ඔහු, තමා කෙරෙහි නිසි නැඹුරුවාවක් දක්වන හදවත් ඇති තැනැත්තන් වෙත මෘදු ලෙස ඇදී යයි.—ගීතාවලිය 11:5; හිතෝපදේශ 21:2; ක්‍රියා 13:48.
ප්‍රේරිත පාවුල් තත්වයන්ට කොයිතරම් හොඳින් සකස් වෙන කෙනෙක්දැයි සලකා බලන්න. ඔහු පුද්ගලයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනාගනිමින්, විශේෂ ජාතීන්ට හෝ පසුබිම්වලට ඇතැම් දෘෂ්ටිකෝණයන් පොදු බව පිළිගත්තා. ඒ අනුව ඔහු තම එළඹීම සකස් කරගත්තා. ඔහු මෙසේ ලිව්වා: ‘යුදෙව්වරුන් දිනාගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකුද . . . දුර්වලයන් දිනාගන්නා පිණිස දුර්වලයන්ට දුර්වලයෙකුද වුණෙමි. සියලු ආකාරයෙන්ම සමහරෙකු ගළවන පිණිස මම සියල්ලන්ට සියල්ල වුණෙමි.’—1 කොරින්ති 9:20-22.
පැහැදිලිවම, පාවුල් ජනයාව එකම ආකෘතියකට දැම්මේවත්, ඔවුන් සියල්ලන්ට එකම විදිහට සැලකුවේවත් නැහැ. ඔහු ඔවුන්ට මේ දිරිගැන්වීම දුන්නා: “නුඹලා එකිනෙකාට උත්තර දියයුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.” (කොලොස්සි 4:6) ඔව්, පාවුල් සහ වෙනත් ක්‍රිස්තියානීන්ට, එක් එක් පුද්ගලයාගේ අද්විතීයත්වය හඳුනාගෙන, ඊට ගරු කරන්න සිදු වුණා.
දෙවිගේ මුල් අරමුණ
පුද්ගලයෙකු වශයෙන් කෙනෙකුට දෙන මෙම ගෞරවය, කෙනෙක් ක්‍රිස්තියානි සභාවේ පංගුකාරයෙක් බවට පත් වුණාට පසුවත් දිගටම පවතිනවා. දෙවිගේ ජනයා, අධිකාරිත්වයේ සිටින්නන්ගේ මනාපයන්ට අනුව සම්පූර්ණ ඒකාකාරත්වයේ හා එකම අනුකූලත්වයේ මුහුදක ගිලෙන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් බොහෝ විවිධ පෞද්ගලිකත්වයන් භුක්ති විඳින අතර, ඔවුන්ට වෙනස් හැකියාවන්, පුරුදු හා මත තිබෙනවා. එක් එක්කෙනාගේ පෞද්ගලිකත්වය කරදරයක් හෝ හිරිහැරයක් හැටියට සලකනු ලබන්නේ නැහැ. එය දෙවිගේ මුල් අරමුණේ කොටසක්.
මේ නිසා, ධර්මිෂ්ඨයන් සඳහා බයිබලයෙහි පොරොන්දු වී ඇති නව ලොවෙහි, මිනිසුන් අතර පරිපූර්ණත්වය විශාල වෙනසකට ඉඩහරිනු ඇත. (2 පේතෘස් 3:13) ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියa (ඉංග්‍රීසියෙන්) නම් බයිබල් විශ්වකෝෂය “පරිපූර්ණත්වය” නමැති මාතෘකාව යටතේ යෝග්‍ය ලෙස මතු දැක්වෙන අදහස් ප්‍රකාශ කරයි: “කෙසේවුවත්, පුද්ගලයන් බොහෝවිට උපකල්පනය කරන ආකාරයට පරිපූර්ණත්වය විවිධත්වයට අවසානයක් ගෙන ඒම අදහස් නොකරයි. යෙහෝවාගේ ‘පරිපූර්ණ ක්‍රියාකාරකමේ’ (උත්[පත්ති] 1:20-24; ද්වි[තීය කථාව] 32:4) නිපැයුමක් වන සත්ව රාජධානියේ අතිමහත් විවිධත්වයක් අඩංගුයි.”
තීක්ෂ්ණ බුද්ධිය මෙසේ එකතු කරයි: “පෘථිවි ග්‍රහයාගේ පරිපූර්ණත්වය එලෙසම විවිධත්වය, වෙනස හෝ පටහැනිතාව සමඟ ගැටෙන්නේ නැහැ; එය සරල හා සංකීර්ණ, චාම් සහ විසිතුරු, ඇඹුල් සහ පැණි රස, දැඩි හා මෘදු, තණකොළ හා දැවගස්, කඳු හා මිටියාවත් පවතින්න ඉඩහරියි. එය වසන්ත සමයේ එළඹීමත් සමඟම ඇති වන ප්‍රබෝධවත් නැවුම්බවින්, ඝන-නීල අහසකින් යුත් ගිම්හානයේ උණුසුමෙන්, ශරත් ඍතුවේ වර්ණවලින් යුත් අලංකාරත්වයෙන්, අලුතෙන් පතිත වුණු හිමවල සැබෑ ලස්සනෙන් වැසී යයි. (උත්[පත්ති] 8:22) මෙලෙස පරිපූර්ණ මනුෂ්‍යයන්ගේ අනන්‍ය පෞද්ගලිකත්වය, කුසලතා සහ හැකියාවන් එක සමාන ආකෘතීන් නොවනු ඇත.”
අන්‍යයන් කෙරෙහි සැලකිල්ල
කෙසේවුවත්, සැබෑ ක්රිස්තියානිත්වය අප අවට සිටින්නන් කෙරෙහි සැලකිලිමත් නොවන තරමටම තමන් කෙරෙහිම යොමුව සිටීමට දිරිගන්වන්නේ නෑ. අන්‍යයන්ව පැකිලවීමෙන් වැළකීම සඳහා ප්‍රේරිත පාවුල් ඔහුගේ ජීවිතයේ හා හැසිරීමේ හැම අංගයක්ම කිට්ටුවෙන් සෝදිසි කළා. ඔහු කොරින්ති සභාවට ලියූ ඔහුගේ ලිපියෙහි මෙසේ පැවසුවා: “අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී [සිටිමු].” (2 කොරින්ති 6:3) ඇතැම්විට, අපි අපේ පෞද්ගලික ආශාවන් පාලනය කරගෙන, අන්‍යයන්ගේ අවශ්‍යතා අපේම මනාපයන්ට ඉහළින් දැමිය යුතුයි. උදාහරණයක් වශයෙන්, පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා: “මස් කෑමෙන්වත් මුද්‍රිකපානය බීමෙන්වත් වෙන යමකින්වත් නුඹේ සහෝදරයා බාධාවට පැමිණේද, එය නොකර සිටීම හොඳය.”—රෝම 14:21.
එසේම අදදිනත්, බීමත්කමේ ගැටලුවක් ඇති තැනැත්තෙක් ඉදිරියෙහි මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීමට කෙනෙක් තෝරාගත හැකියි. (1 කොරින්ති 10:23, 24) මෙය සිදු කරන්නේ, එසේ කිරීම අනිවාර්ය එකක් නිසා නොව, නමුත් කරුණාව හා ප්‍රේමය දැක්වීමේ උදාර ක්‍රියාවක් වශයෙනුයි. ‘ක්‍රිස්තුස් පවා තමන්වම සතුටු කරගත්තේ නැහැ.’ යේසු පුද්ගලයෙකුව සිටි නමුත් අන්‍යයන්ගේ හැඟීම්වලට පීඩා කරමින් තමාගේ මනාපයන් අනුවම ක්‍රියා කළේ නෑ.—රෝම 15:3.
එහෙත්, සැබෑ ක්‍රිස්තු ධර්මයේ ඉතාමත්ම නැවුම්බවක් ගෙනෙන අංගයක් වන්නේ බයිබල් මාර්ගදර්ශකවලින් පිට නොපැන පුද්ගලයෙක්ගේ නිදහසට හා මනාපයන්ට ගරු කිරීමයි. දෙවි අපව සෑදුවේ වෙනස් හා අසහාය පුද්ගලයන් හැටියට බව එය උගන්වනවා. අපට 1 කොරින්ති 2:11 කියවන්න තිබෙන්නේ මෙසේයි: “මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද?” හැකි තරම් දුරට අන්‍යයන්ව තේරුම්ගන්න අපි වෑයම් කරනවා. නමුත් මේ පදයේ අඟවන්නේ අපි එක් එක්කෙනාට, අපට සහ අපේ මැවුම්කරුට පමණක් තේරුම්ගත හැකි අසහායත්වයක් තිබෙනවා කියායි. අපට අවශ්‍ය පරිදි හෙළි කරන ‘සිතේ ඇතුල් මනුෂ්‍යයෙක්’ අපට සිටිනවා.—1 පේතෘස් 3:4.
සමඟිය හා විවිධත්වය—සියුම් සමබරතාවක්
ක්‍රිස්තියානි සමබරතාව සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් හොඳ ආදර්ශයක් තැබුවා. ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයෙක් හැටියට අධිකාරිත්වයක් තිබෙනවා වුවත්, අන්‍යයන් මත බලෙන් තම මතය නොපැටවීමට ඔහු වගබලාගත්තා.
නිදසුනක් වශයෙන්, මේ අසම්පූර්ණ ලෝකයේ තනිකඩභාවයේ වාසි සම්බන්ධයෙන් පාවුල්ට ඉතා ප්‍රබල මතයක් තිබුණා. ඔහු එය ලියූ අවස්ථාවේදී ඔහුත් තනිකඩවයි සිටියේ: “[විවාහවූවන්ට] මාංසයෙහි දුක් ඇතිවන්නේය.” එමෙන්ම “ඈ සිටින ලෙසම සිටින්නීනම්, මාගේ විනිශ්චයේ හැටියට [වැන්දඹු ස්ත්‍රියක්] වඩා වාසනාවන්තියක්ය.” ඔහුගේ වචන දේවානුභාව ලත් වචනයේ කොටසක්ය යන සත්‍යයෙන් අදහස් කරන්නේ ඔහුගේ මතයෙහි කිසි වරදක් නොතිබූ බවයි. එහෙත්, ඔහු මෙසේද පැහැදිලි කළා: “විවාහවුවත් එයින් නුඹට පාපයක් නැත.”—1 කොරින්ති 7:28, 40.
පැහැදිලිවම, ප්‍රේරිතයන්ගෙන් වැඩිදෙනෙක් විවාහක පුරුෂයන්; පාවුල් එය පිළිගත් බව ඔහුගේ මේ වචනවලින් පැහැදිලියි: “අනික් ප්‍රේරිතයන්ද [ස්වාමීන්ගේ] සහෝදරයන්ද කේපස්ද කරන්නාක්මෙන් ඇදහිලිවන්ත භාර්යාවක් කැඳවාගෙන හැසිරෙන්ට අපටත් අවසර නැද්ද?” (1 කොරින්ති 9:5) මේ කාරණය සම්බන්ධයෙන් පාවුල්ගේ අදහසට වෙනස්ව තමන්ට තෝරාගැනීමක් කළ හැකි බව ක්‍රිස්තියානීන් දැන සිටි අතර ඔහු එවිටත් ඔවුන්ට ගරු කළා.
දෙවිගේ නමස්කාරකයන්ට තමන්ගේ අසහාය පෞද්ගලිකත්වයට එකඟව තම ඇදහිල්ල ප්‍රකාශ කිරීමට සැමවිටම ඉඩහැර තිබුණා. ඇත්තවශයෙන්ම, ලියන විට තමන්ගේම ශෛලියට අනුව ලියන්න පවා දෙවි බයිබල් ලේඛකයන්ට ඉඩහැරියා. උදාහරණයක් වශයෙන්, නෙහෙමියා තම වාර්තාව උත්තම පුරුෂයෙන් ලියුවේ මුළුමනින්ම යටහත් පහත්වයි. (නෙහෙමියා 5:6, 19) අනෙක් අතට, ප්‍රේරිත යොහන් තම සුවිශේෂ වාර්තාවේ තමාගේම නම එක වතාවක්වත් සඳහන් නොකළේත්, ඉතා කලාතුරකින් තමාටම යොමු දැක්වූයේත් නිරහංකාරය නිසයි. දෙවි ශෛලීයන් දෙකම අනුමත කළ අතර ඒවා බයිබලයෙහි සුරැකිව තැබුවා.
ශුද්ධ ලියවිලි පුරා සමබරතාව හා සාධාරණකම සම්බන්ධයෙන් එවැනිම ආදර්ශ තිබෙනවා. පැහැදිලිවම, ක්‍රිස්තියානි සමඟිය විවිධත්වයට ඉඩහරිනවා. ආත්මික ගුණාංග හිඟ වූ විට විවිධ පසුබිම් හා මත අසමඟිය ඇති කළ හැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ. (රෝම 16:17, 18) නමුත් අප ‘එකමුතුකමේ පරිපූර්ණ බැම්ම වන ප්‍රේමයෙන් අපව සරසාගන්න’ විට අපි අන්‍යයන්ගේ අසහාය පෞද්ගලිකත්වයන් පිළිගැනීමට හා භුක්ති විඳීමට ඉගෙනගන්නෙමු.—කොලොස්සි 3:14.
“එහෙයින් [දෙවිගේ] ගෞරවය පිණිස [ක්‍රිස්තුස්] නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගන්න” කියා බයිබලය පවසයි. (රෝම 15:7) දෙවිගේ ආත්මයේ උපකාරයෙන්, සභාවේ අසහාය පෞද්ගලිකත්වයන්ගේ විවිධත්වයක් භුක්ති විඳින අතරතුර සමඟිය පවත්වාගැනීමේ සියුම් සමබරතාව අත් කරගැනීමට ක්‍රිස්තියානීන්ට හැකියි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
මිනිස් පවුල පෞද්ගලිකත්වයක් නැති ජනසමූහයක් හැටියට මැවුම්කරු සලකන්නේ නෑ
[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අපි එක් එක්කෙනාට, අපට සහ අපේ මැවුම්කරුට පමණක් තේරුම්ගත හැකි අසහායත්වයක් තිබෙනවා