55වෙනි පරිච්ඡේදය
මිනිසුන් කම්පනයට පත් වෙයි
ශරීරය කෑම සහ රුධිරය බීම ගැන කියයි
බොහෝදෙනෙක් ඔහුව අත්හැර යයි
ආශ්චර්යවත් විදිහට කෑම දෙයි කියලා හිතාගෙන ආපු අයට ස්වර්ගයෙන් පැමිණි ආහාරය ගැන යේසුස් කතා කළා. දැන් කපර්ණවුමේ සිනගෝගයක ඉන්න යේසුස් තමන් ස්වර්ගයෙන් පැමිණි ආහාරය වෙන්නේ කොහොමද කියන එක ගැන උගන්වනවා.
“පාළුකරයේ සැරිසරමින් සිටි ඔබේ මුතුන්මිත්තන් මන්නා ආහාරයට ගත්තත් ඔවුන් සියලුදෙනාම මහලු වී මිය ගියා” කියා මතක් කරන යේසුස් දැන් මෙහෙම කියනවා. “ස්වර්ගයෙන් පැමිණි ඒ ජීවනදායක ආහාරය මමයි. කෙනෙක් එම ආහාරය කෑවොත් ඔහු සදාකල් ජීවත් වෙනවා. ඇත්තටම මා ලබා දෙන ආහාරය නම් ලෝකයට ජීවනය ලබා දීම සඳහා මා පූජා කරන මගේ ශරීරයයි.”—යොහන් 6:48-51.
දෙවියන් ලෝකයට හුඟක් ප්‍රේම කරපු නිසා තම පුත්‍රයාව ගැලවුම්කරු විදිහට එව්වා කියලා යේසුස් ක්‍රි.ව. 30 වසන්ත කාලයේ නිකදේමස්ට කියලා තිබුණා. දැන් යේසුස් කාවද්දන්නේ තමන්ගේ ශරීරය කන එක ඒ කියන්නේ ඔහුගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන එක හුඟක් වැදගත් කියලයි. මොකද සදාකාල ජීවනය ලැබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව විශ්වාස කරන අයට විතරයි.
හැබැයි යේසුස් කියන දේට මිනිසුන් කැමති නැහැ. “මේ මිනිසා, අපට කන්න ඔහුගේ ශරීරය දෙන්නේ කොහොමද” කියා ඔවුන් කතා වෙනවා. (යොහන් 6:52) ඒත් යේසුස් ඇත්තටම කතා කළේ සංකේතමය අර්ථයක් ඇති දෙයක් ගැන. ඔහු ඒ ගැන මෙහෙම පැහැදිලි කරනවා.
‘ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, ඔබ මනුෂ්‍ය පුත්‍රයාගේ ශරීරය කෑමට ගන්නේවත් ඔහුගේ රුධිරය බොන්නේවත් නැත්නම් ඔබට ජීවනය හිමි වන්නේ නැති බවයි. මගේ ශරීරය කෑමට ගෙන මගේ රුධිරය බොන තැනැත්තාට සදාකාල ජීවනය ලැබෙයි. මගේ ශරීරය සැබෑ ආහාරයක්. මගේ රුධිරය සැබෑ බීමක්. මගේ ශරීරය කෑමට ගෙන මගේ රුධිරය බොන තැනැත්තා මා සමඟ එකට බැඳී සිටිනවා.’—යොහන් 6:53-56.
මිනී මස් කන එක වැරදියි කියලත් රුධිරය බොන එක දෙවියන් දීපු නීතියට පටහැනියි කියලත් යුදෙව්වන් දන්නවා. ඒ නිසා යේසුස් කියපු දේ ඔවුන්ට අදහාගන්නත් බැරි වෙන්න ඇති. (උත්පත්ති 9:4; ලෙවී කතාව 17:10, 11) හැබැයි යේසුස් ඇත්තටම කතා කරන්නේ ඔහුගේ ශරීරය කාලා රුධිරය බොන එක ගැන නෙවෙයි. ඒ වෙනුවට සදාකාල ජීවනය ලබාගන්න නම් ඉදිරියේදී ඔහු කැමැත්තෙන්ම පූජා කරන තම පරිපූර්ණ ශරීරය සහ රුධිරය ගැන ඒ කියන්නේ ඔහුගේ ජීවිත පූජාව ගැන සැබෑ විශ්වාසයක් තියෙන්න ඕනෙ කියන එකයි. ඒත් ඔහු උගන්වන දේ ඔහුගේ ගෝලයන් හුඟදෙනෙක් තේරුම්ගන්නේ නැහැ. “මෙය මහ පුදුම කතාවක්. මේ වගේ දේවල් අසාගෙන ඉන්න පුළුවන් කාටද” කියලා සමහර අය කියනවා.—යොහන් 6:60.
තමන් කියපු දේ ගැන සමහර ගෝලයනුත් කොඳුරනවා කියලා දැනගන්න නිසා යේසුස් මෙහෙම කියනවා. ‘මා පැවසූ දේවල් නිසා ඔබ තුළ කම්පනයක් ඇති වෙනවා නම්, මනුෂ්‍ය පුත්‍රයා කලින් සිටි තැනට නැඟ යනවා ඔබ දැක්කොත් ඔබට මොනවා වෙයිද? මා පැවසූ මේ දේවල් ඔබට පැවසුවේ දෙවිගේ මඟ පෙන්වීමට එකඟවයි. එයින් ජීවනය ලැබෙයි. නමුත් ඔබ අතරේම මේ දේවල් විශ්වාස නොකරන අයත් සිටිනවා.’ ඒත් එක්කම හුඟක් ගෝලයන් ඔහුව අත්හැරලා යනවා.—යොහන් 6:61-64.
නියෝජිතයන් 12දෙනා දිහා බලන යේසුස් “ඔබත් යන්න කැමතිද” කියා අසනවා. පේතෘස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “ස්වාමීනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ ඔබ පමණයි.” (යොහන් 6:67-69) මේ වෙද්දී පේතෘස්වත් අනිත් නියෝජිතයන්වත් යේසුස් කියපු දේවල් තේරුම් අරන් හිටියේ නැහැ. ඒත් පේතෘස් යේසුස්ට කොයි තරම් පක්ෂපාතද කියලා ඔහු කියපු දෙයින් පැහැදිලි වෙනවා.
පේතෘස් කියපු දේ ගැන යේසුස් සතුටු වුණත් ඔහු මෙහෙම කියනවා. “මම දොළොස්දෙනෙක්ව තෝරාගත්තා. ඒත් ඒ දොළොස්දෙනාගෙන් කෙනෙක් අපහාස කරන්නෙක්.” (යොහන් 6:70) යේසුස් කියන්නේ යූදස් ඉස්කාරියොත් ගැන. ඔහු වැරදි ආශාවන් අනුව ක්‍රියා කරන්න පටන් අරන් කියලා යේසුස් තේරුම් අරන් ඉන්න ඇති.
හැබැයි පේතෘස් සහ තවත් නියෝජිතයන් තවමත් යේසුස්ව අනුගමනය කරමින් ජීවිත ගලවන කාර්යයේ හවුල් වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ ගැන යේසුස්ට දැනෙන්නේ පුදුම සතුටක්.