‘ඔවුහු ඔහුගේ හඬ දනිති’
“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මාගේ එඬේරාය.” විසිතුන්වන ගීතිකාව ආරම්භ වන්නේ මෙම වදන්වලිනි. යෙසායාගේ අනාවැකියේ, ශුද්ධ ලියවිල්ල යළිත් යෙහෝවඃ දෙවියන්වහන්සේ එඬේරෙකු සමඟ සසඳමින් පවසනුයේ මෙසේය: “එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.”—යෙසායා 40:11.
සමානාකාරයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එඬේරෙකුට සමාන කර ඇත. උන්වහන්සේ මෙසේ පැවසූ සේක: “මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය.” (යොහන් 10:11) “බැටළුවෝ [එඬේරාගේ] හඬ අසති. ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසා උන් පිටතට ගෙනයයි” කියාද යේසුස්වහන්සේ වදාළ සේක. උන්වහන්සේ තවදුරටත් කථා කරමින්, “බැටළුවෝද ඔහුගේ හඬ අඳුනන බැවින් [එඬේරා] පස්සේ යති. උන් අන්‍යයන්ගේ හඬ නාඳුනන බැවින් අන්‍යයෙකු පස්සේ නොගොස් ඔහු වෙතින් පලායන්නේය” කියාද වදාළ සේක.—යොහන් 10:2-5.
දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ පුත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යන දෙදෙනාම ඉහත ශුද්ධ ලියවිලි පදවලින් ඉදිරිපත් කරන ලද රූපයට එකඟව කටයුතු කර ඇත්තාහ. උන්වහන්සේලා තමන්ගේ සංකේතවත් බැටළුවන්ට සලකන්නේ මුදු මොළොක් හා ප්‍රේමනීය ආකාරයකටයි. මෙහි විපාකයක් වශයෙන්, බැටළුවන් වැනි අයට ප්‍රේමයේ, සුරක්ෂිතභාවයේ හා ආරක්ෂාවේ හැඟීමක් දැනේ.
මෙම සම්බන්ධතාව උචිත ලෙස සැබෑ බැටළුවන් තමන්ගේ එඬේරුන් සමඟ පවත්වන සම්බන්ධතාවට සමාන කර ඇත. අතීතයේ 1831දී, ජෝන් හාට්ලි නම් තැනැත්තා මේ සම්බන්ධයෙන් තමා නිරීක්ෂණය කළ දෙය සටහන් කළේය. ග්‍රීසියේ එඬේරුන් තමන්ගේ බැටළුවන්ට නම් දීම චාරිත්‍රයක්ව තිබූ බව ඔහු සඳහන් කරයි. නම කියා හඬ ගසනු ලැබූ විට, බැටළුවා එඬේරාගේ හඬට ප්‍රතිචාරය දක්වනු ඇත. ඉන් වසර 51කට පමණ පසු, 1882දී, ජේ. එල්. පෝටර් සමාන නිරීක්ෂණයක් කළේය. එඬේරුන් “උග්‍ර අමුතු ආකාරයේ ඇමතුමක් කිරීමත්” බැටළුවන් කීකරුව එඬේරා අනුව යමින් ඊට ප්‍රතිචාරය දැක්වීමත් ඔහු පෞද්ගලිකව සියැසින් දුටුවේය. බැටළුවන්ට තමන්ගේ එඬේරා අනුව යෑමටත් ඔහුගේ හඬ හඳුනා ගැනීමටත් ඉගැන්විය හැකි බව තහවුරු කළ නැවත නැවතත් කරන ලද පරීක්ෂණ ගැන එම වසරේම විලියම් එම්. ටොම්සන් ලිව්වේය.
එඬේරුන් හා සිය බැටළුවන් අතර මෙම අද්විතීය සම්බන්ධතාව වඩාත් නවීන කාලවල නිරීක්ෂණය කරනු ලැබ තිබේද? එසේය. වර්ෂ 1993 නැෂනල් ජියෝග්රැෆික් කලාපයේ, ඕස්ට්‍රේලියානු ගවේෂකයෙක් වන රොබින් ඩේවිඩ්සන්, වයඹදිග ඉන්දියාවේ රබාරි එඬේරුන් ගැන මෙසේ ලිව්වේය: “සෑම එඬේරෙකුටම එකම තේමාව මත පදනම් යන්තම් වෙනස්වූ ඇමතුම් තිබුණි. පිටතට යන හැටියට අඟවන උදෑසන ඇමතුම්, ජලය වෙතට බැටළුවන්ව ගෙන ඒමට ඇමතුමක් යනාදි වශයෙන් විවිධ ඇමතුම් ඇත. සෑම මිනිසෙකුම තමාගේ බැටළුවන්ව හඳුනන අතර අනෙක් අතට ඔහුගේ විශේෂිත රැළ විශාල රැළින් වෙන්වී උදෑසන ඔහු පස්සේ පිටතට ගමන් කරනු ඇත.”
නිසැකවම, යේසුස්වහන්සේ මොහොතකට කලින් සඳහන් කළ සංචාරකයන් හතරදෙනා විසින් විස්තර කරන ලද දෙය නිරීක්ෂණය කළ සේක. බැටළුවන් තමන්ගේ හඬ දන්නා බවටවූ තමන්ගේ උපමාවට උන්වහන්සේගේම නිරීක්ෂණ මගින් එකතු වූයේ යථාර්ථ බවකි. ඔබ යේසුස්වහන්සේගේ බැටළුවන්ගෙන් කෙනෙක්ද? ඔබ උන්වහන්සේගේ හඬ හැඳින එයට සවන් දෙනවාද? සත්‍යය හැටියට ඔබ උන්වහන්සේගේ ඉගැන්වීම් තේරුම්ගෙන පිළිගන්නේ නම්, එමෙන්ම ඔබ උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වී යෙහෝවඃවහන්සේව නමස්කාර කිරීමෙහි උන්වහන්සේගේ නායකත්වය අනුගමනය කරන්නේ නම්, එවිට ඔබට යෙහෝවඃ දෙවියන්වහන්සේගේ හා උන්වහන්සේගේ පුත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමනීය හා මෘදු එඬේරකම් කිරීම අද්දැකිය හැක.—යොහන් 15:10.