104වෙනි පරිච්ඡේදය
යුදෙව්වන්ට දෙවිගේ හඬ අසන්න ලැබෙයි
හුඟදෙනෙක්ට දෙවිගේ හඬ අසන්න ලැබෙයි
විනිශ්චයට පදනම ගැන කියයි
නීසාන් 10වෙනි සඳුදා දවස තවමත් ගෙවිලා ඉවර නැහැ. දේවමාලිගාවේ ඉන්න යේසුස් තමන්ගේ මරණය ගැන කතා කරනවා. තම මරණය දෙවිගේ නමට බලපාන විදිහ ගැන යේසුස් හුඟක් හිතන නිසා ඔහු දෙවිගෙන් ඉල්ලන්නේ “ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න” කියලයි. එතකොටම ස්වර්ගයෙන් මෙහෙම හඬක් ඇහෙනවා. “මම එය ගෞරවයට පත් කළෙමි. නැවතත් එය ගෞරවයට පත් කරන්නෙමි.”—යොහන් 12:27, 28.
ඒ හඬ මොකක්ද කියලා එතැන ඉන්න අයට තේරුම්ගන්න බැහැ. සමහරු ඒක ගිගිරුම් හඬක් කියලත් තවත් අය “දේවදූතයෙක් ඔහුට කතා කළා” කියලත් කියනවා. (යොහන් 12:29) ඇත්තටම ඔවුන්ට ඇහුණේ යෙහෝවා දෙවිගේ හඬ. හැබැයි යේසුස් පොළොවේ ඉද්දී දෙවිගේ හඬ අහන්න ලැබුණු මුල්ම වතාව මේක නෙවෙයි.
අවුරුදු තුනහමාරකට කලින් යේසුස් බව්තීස්ම වුණු වෙලාවේදී “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියලා දෙවියන් කියපු දේ යොහන් බව්තීස්තට ඇහුණා. ඒ වගේම ක්‍රි.ව. 32 පාස්කුවෙන් පස්සේ යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණු වෙලාවේ යාකොබ්ට යොහන්ට සහ පේතෘස්ට දෙවිගේ හඬ ඇහුණා. දෙවියන් ඔවුන්ට කිව්වේ “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න” කියලයි. (මතෙව් 3:17; 17:5) ඒත් මේ වතාවේදී තමයි හුඟදෙනෙකුට දෙවිගේ හඬ ඇහුණේ.
“මේ හඬ ආවේ මා වෙනුවෙන් නොව ඔබ සියලුදෙනා වෙනුවෙනුයි” කියලා යේසුස් කියනවා. (යොහන් 12:30) යේසුස් තමයි දෙවිගේ පුත්‍රයා සහ මෙසියස් කියලා කියන්න ඒ හඬ කදිම සාක්ෂියක්.
යේසුස් විශ්වාසවන්ත ජීවිතයක් ගත කරපු එකෙන්, ජීවත් වෙන්න ඕන විදිහ ගැන මිනිසුන්ට ආදර්ශයක් තිබ්බා වගේම මේ ලෝකයේ පාලකයා වන යක්ෂයා විනාශ වෙන්න ඕනෙ කියලත් ඔප්පු කළා. ඔහු මෙහෙම කියනවා. “මේ ලෝකය දැන් විනිශ්චයට ලක් වෙනවා. මේ ලෝකයේ පාලකයාව නෙරපා දමනු ලබනවා.” ඔහු ඊළඟට කියන්නේ මෙහෙමයි. “මාව එල්ලා තබන විට සියලු ආකාරයේ මිනිසුන්ව මා වෙතට ඇදගන්න මට හැකි වෙයි.” (යොහන් 12:31, 32) යේසුස්ගේ මරණය පරාජයක් නෙවෙයි ජයග්‍රහණයක් කියලා ඒකෙන් පැහැදිලියි. ඔව්, වධකණුවක මරණය අද්දකින යේසුස් නිසා මිනිසුන්ට සදාකාල ජීවිතය ලබාගන්න මඟ විවර වෙනවා.
තමන්ව ‘එල්ලා තබනවා’ කියලා යේසුස් කියපු නිසා මිනිසුන් මෙහෙම කතා වෙනවා. “ශුද්ධ ලියවිල්ලෙන් අපි අසා තිබෙන්නේ ක්‍රිස්තුස් සදහටම ජීවත් වන බවයි. එසේනම් මනුෂ්‍ය පුත්‍රයාව එල්ලා තැබිය යුතුයි කියා ඔබ කියන්නේ ඇයි? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුද?” (යොහන් 12:34) ඔවුන්ට දෙවිගේ කටහඬ ඇහුණත් යේසුස් තමයි මනුෂ්‍ය පුත්‍රයා සහ පොරොන්දු කරන ලද මෙසියස් කියලා හුඟදෙනෙක් විශ්වාස කරන්නේ නැහැ.
කලින් කළා වගේ මේ වතාවෙත් යේසුස් තමන්ව “ආලෝකය” හැටියට හඳුන්වනවා. (යොහන් 8:12; 9:5) ඔහු හැමෝවම මෙහෙම දිරිගන්වනවා. ‘ඔබ අතරේ ආලෝකය පවතින්නේ තව ටික කාලයකට පමණයි. ඒ නිසා අන්ධකාරයෙන් පරාජය නොවෙන්න නම් ඔබට ආලෝකය තිබෙද්දී ඇවිදින්න. ආලෝකය තිබෙන තාක් කල් ඒ ආලෝකය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට ඔබට පුළුවන් වෙයි ආලෝකයේ දරුවන් වෙන්න.’ (යොහන් 12:35, 36) ඒ දේ කිව්වාට පස්සේ යේසුස් වැඩි වෙලාවක් එතැන ඉන්නේ නැහැ. මොකද තවමත් තමන්ගේ මරණයට නියමිත දවස උදා වෙලා නැහැ කියලා ඔහු දන්නවා. ඔහුව වධකණුවක ඇණ ගහලා ‘එල්ලා තබන්නේ’ නීසාන් 14වෙනි පාස්කු දවසේදියි.—ගලාති 3:13.
යුදෙව්වන් අන්ධයන් වගේ හැසිරෙන නිසාත් සිත් මුරණ්ඩු කරගෙන ඉන්න නිසාත් ඔවුන් සුවයක් ලබාගන්න හැරී එන්නේ නැහැ කියලා යෙසායා කියලා තිබුණා. (යෙසායා 6:10; යොහන් 12:40) යේසුස් දේශනා සේවය කරපු කාලයේදී ඒ අනාවැකිය ඉටු වුණා. ඔව්, පොරොන්දු කරන ලද ගැලවුම්කරු යේසුස් කියලත් ඔහු මාර්ගයෙන් ජීවනය ලැබෙනවා කියලත් පැහැදිලිවම පෙනුණත් හුඟක් යුදෙව්වන් හිතාමතාම ඔහුව ප්‍රතික්ෂේප කළා.
නිකදේමස්, අරිමාතියේ යෝසෙප් ඇතුළු තවත් පාලකයන් හුඟදෙනෙක් යේසුස් “කෙරෙහි විශ්වාසය” තියනවා. ඒත් ඔවුන් විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වයිද? නැත්නම් සිනගෝගයෙන් නෙරපයි කියන බය නිසාත් “මිනිසුන්ගේ ප්‍රශංසාව” ලබන්න තියෙන ආශාව නිසාත් කිසිම දෙයක් නොකර ඉඳියිද?—යොහන් 12:42, 43.
යේසුස් කෙරෙහි විශ්වාසය තියන අය කටයුතු කරන්න ඕනෙ කොහොමද කියලා ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මා කෙරෙහි පමණක් නොව මාව එවූ තැනැත්තා කෙරෙහිද විශ්වාසය තබයි. එමෙන්ම මාව දකින තැනැත්තා මාව එවූ තැනැත්තාවත් දකියි.” දෙවිගේ මඟ පෙන්වීම යටතේ යේසුස් උගන්වන සත්‍ය තොරතුරු සුළුවට ගන්න බැහැ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “මාව පිළි නොගෙන මා පවසන දේවල් ප්‍රතික්ෂේප කරන තැනැත්තාව විනිශ්චය කිරීමට කෙනෙක් සිටිනවා. එයට පදනම සපයන්නේ මා පැවසූ දේවල්මයි. විනිශ්චය සිදු වන කාලයේදී මාව පිළි නොගන්නා තැනැත්තාව එම පදනම මත විනිශ්චයට ලක් කරයි.”—යොහන් 12:44, 45, 48.
අන්තිමේදී යේසුස් මෙහෙම කියනවා. “මා කතා කරන විට මම ඉදිරිපත් කරන්නේ මගේ අදහස් නොවෙයි. මන්ද මාව එවූ පියාණන් මා කිව යුතු දේ මට පැහැදිලිවම අණ කර තිබෙනවා. ඔහු අණ කළ දේවල් සදාකාල ජීවනයට මඟ පාදන බවත් මම දන්නවා.” (යොහන් 12:49, 50) යේසුස් හොඳින්ම දන්නවා විශ්වාසවන්ත අය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ තව ටික දවසයි කියලා.—රෝම 5:8, 9.