යේසුස් පිළිබඳ සත්‍යය දන්වන්න
1 වෙනත් බැටළුවන් වන ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ සහායද ඇතුව ආලේප ලත් ක්‍රිස්තියානීහු ‘යේසුස් ගැන සාක්ෂි දැරීමේ’ කාර්යයෙහි නිරත වෙති. (එළි. 12:16ආ) ගැලවීම ලබාගත හැක්කේ යේසුස් තුළින් පමණක් නිසා ඔහු ගැන සාක්ෂි දැරීමේ වැඩය වැදගත් පැවරුමකි.—යොහ. 17:3; ක්‍රියා 4:12.
2 ‘මාර්ගය, සත්‍යය සහ ජීවනය’: “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියා වෙතට පැමිණෙන්නේ නැත” කියා යේසුස් පැවසුවා. (යොහ. 14:6, NW) අපට යාච්ඤාවෙන් දෙවි වෙත ළඟා වෙමින් ඔහු සමඟ අනුමැතිය ලත් සබඳතාවක් භුක්ති විඳිය හැක්කේ “මාර්ගය” වන යේසුස් තුළින් පමණයි. (යොහ. 15:16) හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල අඩංගු අනාවැකි සහ පෙරඡායාවන් කොට දක්වන දේවල් යේසුස් තුළින් යථාර්ථයක් බවට පත් වූ නිසා “සත්‍යය” වන්නේ යේසුස්ය. (යොහ. 1:17; කොලො. 2:16, 17) ඇත්තෙන්ම සැබෑ අනාවැකිවල මූලික අභිප්‍රාය වන්නේ දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී යේසුස්ට හිමි අතිවැදගත් කාර්යභාරය තේරුම්ගැනීම සඳහා වඩ වඩා ආලෝකය හෙළීමයි. (එළි. 19:10) එමෙන්ම යේසුස් “ජීවනයද” වෙයි. සදාකාල ජීවනය නමැති ආශීර්වාදය අත් කරගැනීමට නම් සියලුදෙනාම යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුයි.—යොහ. 3:16, 36; හෙබ්‍රෙ. 2:9.
3 ප්‍රධානියා සහ පාලනය කරමින් සිටින රජ: යෙහෝවා ඔහුගේ පුත්‍රයාට පාලනය කිරීම සම්බන්ධයෙන් දී තිබෙන අතිමහත් විධායක බලතල ජනයා පිළිගැනීමත් අවශ්‍යයි. දේවරාජ්‍යයේ රජු හැටියට පත් කර තිබෙන්නේ යේසුස්වයි. ‘මනුෂ්‍යයන්ගේ කීකරුකම ඔහුට හිමි විය යුතු දෙයකි.’ (උත්. 49:10, NW) මීට අමතරව යෙහෝවා යේසුස්ව සභාවේ හිස නොහොත් ප්‍රධානියා ලෙසද පත් කර තිබෙනවා. (එපී. 1:22, 23) යේසුස් සභාවට මඟ පෙන්වීම සපයන ආකාරයත් “නියම වේලාවට [ආත්මික] කෑම” සැපයීම සඳහා ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාව’ යොදාගන්න ආකාරයත් තේරුම්ගැනීමට අපේ බයිබල් ශිෂ්‍යයන්ට අපි උපකාර කළ යුතුයි.—මතෙ. 24:45-47.
4 දයාන්විත උත්තම පූජකයා: මිනිසෙකු හැටියට පරීක්ෂණවලට මුහුණ දෙමින් දුක් වේදනා විඳ ඇති නිසා ‘පරීක්ෂා කරනු ලබන්නන්ට පිහිට වෙන්ට යේසුස්ට පුළුවනි.’ (හෙබ්‍රෙ. 2:17, 18) යේසුස් අසම්පූර්ණ මිනිසුන්ගේ දුර්වලකම් ඉවසමින් ඔවුන් වෙනුවෙන් දයාවන්ත ලෙස අයැදීම් කරනවා කියා දැනගන්න ලැබීමෙන් හදවතට දැනෙන ප්‍රීතිය මොනතරම්ද! (රෝම 8:34) යේසුස්ගේ පූජාවේ පදනම නිසාත් උත්තම පූජකයා වශයෙන් ඔහු කරන සේවාවන් නිසාත් අපට ‘නිසැකකමින් යුතුව’ යෙහෝවා වෙතට ළඟා වී “අපේ ඕනෑකම්වලදී අපට උපකාරය” ලබාගත හැකියි.—හෙබ්‍රෙ. 4:15, 16.
5 යේසුස් ගැන සත්‍යය අනිත් අයට දැනගැනීමට සැලැස්වීමට අප දරන වෑයම්වල ප්‍රතිඵලයක් හැටියට අප හා එක්ව ඔහුට කීකරු වීමටත් සේවය කිරීමටත් ඔවුන් තුළ පෙලඹීමක් ඇති වේවා!—යොහ. 14:15, 21.