බයිබල් කාලවලදී යෙරුසලම පුරාවිද්‍යාව හෙළි කරන්නේ මොකක්ද?
විශේෂයෙන්ම 1967 ඉඳන්, පුළුල් පරිමාණයේ සිත්ගන්නා පුරාවිද්‍යා කටයුතු යෙරුසලමෙහි සිදු කරලා තියෙනවා. කැණීම් කළ ස්ථාන බොහොමයක් දැන් මහජනයාට විවෘත කරලා තියෙනවා; ඒ හින්දා ඒවායින් සමහරක් බැහැදැකලා පුරාවිද්‍යාව බයිබල් ඉතිහාසය එක්ක ගැළපෙන්නේ කොහොමද කියලා බලමු.
දාවිත් රජගේ යෙරුසලම
ඉපැරණි දාවිත්ගේ නුවර ගොඩනැඟූ සියොන් කන්ද හැටියට බයිබලයෙහි සඳහන් ප්‍රදේශය, නවීන යෙරුසලම් පුරවරය එක්ක බලද්දී සෑහෙන නොවැදගත් තැනක් සේ පෙනී යනවා. නැසීගිය මහාචාර්ය යිගෙල් ෂයිලෝගේ මෙහෙයවීම යටතේ, 1978-85 අතර කාලයේදී දාවිත්ගේ නුවරේ කළ කැණීම්වලින් හෙළි වුණේ, එම කන්දේ නැඟෙනහිර දෙසින් දැවැන්ත පියගැට පෙළක් වගේ ඉදි කිරීමක් නැතහොත් ආධාරක තාප්පයක් තියෙන බවයි.
ඒවා තට්ටු සහිත බැමි ලෙස විහිදී තිබුණු දැවැන්ත යටිතැනිල්ලක නටබුන් බවත්, එමත යෙබූසිවරුන් (දාවිත්ගේ ජයග්‍රහණයට කලින් සිටි වැසියන්) බලකොටුවක් තැනූ බවත්, මහාචාර්ය ෂයිලෝ කියා සිටියා. මෙම තට්ටු සහිත බැමි මත සොයාගත් පියගැට පෙළකට සමාන ඉදි කිරීම, යෙබූසීය බලකොටුවේ භූමි ප්‍රදේශයෙහි දාවිත් ඉදි කළ අලුත් බලකොටුවට අයත් වුණ බව ඔහු පැහැදිලි කළා. දෙවන සාමුවෙල් 5:9හි අපිට මෙහෙම කියවන්න තියෙනවා: “දාවිත් බලකොටුවෙහි වාසයකළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ [පස්ගොඩ, NW] පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැගුවේය.”
මෙම ඉදි කිරීම අවට, නුවරෙහි පුරාණ ජල පද්ධතීන් ඇතුල් වන ස්ථාන තියෙන අතර, ඒවායින් සමහරක් දාවිත්ගේ කාලය දක්වා දිවයන බව පේනවා. යෙරුසලමේ ජල උමං පද්ධතිය ගැන බයිබලයෙහි සඳහන් වී තියෙන ප්‍රකාශයන් සමහරක් ප්‍රශ්නවලට තුඩු දීලා තියෙනවා. නිදසුනක් වශයෙන්, දාවිත් තම සෙබළුන්ට කිව්වේ, “යෙබූසිවරුන්ට පහර දෙන සියල්ලෝම වතුර පාරට [උමඟට, NW] වැද,” සතුරන්ට “පහරදෙත්[වා]” කියලයි. (2 සාමුවෙල් 5:8) දාවිත්ගේ සේනාධිපති යෝවාබ් මෙලෙස කටයුතු කළා. “වතුර පාර [උමඟ, NW]” යන යෙදුමෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද?
දෙවන රාජාවලිය 20:20හි සහ 2 ලේකම් 32:30හි සඳහන්, පො.යු.පෙ. අටවන සියවසේ ඇතැම්විට හෙසකියා රජුගේ ඉන්ජිනේරුවන් හෑරූ සුප්‍රසිද්ධ සිලෝවම් උමඟ ගැන වෙනත් ප්‍රශ්න මතු කරලා තියෙනවා. ප්‍රතිවිරුද්ධ කෙළවර දෙකකින් හාරන උමං හාරන්නන් කණ්ඩායම් දෙකකට කොහොමද එකට සම්බන්ධ වෙන්න හැකි වුණේ? කෙළින් එකකට වඩා උමඟ සෑහෙන දිග්ගස්සමින්, ඔවුන් එය සර්පයෙකු යන විදිහට දිවයන්න හෑරුවේ ඇයි? විශේෂයෙන් තෙල් පුච්චන ලාම්පු භාවිත කරන්න ඇති නිසා, හුස්ම ගන්න ප්‍රමාණවත් වාතාශ්‍රයක් ඔවුන්ට ලැබුණේ කොහොමද?
බිබ්ලිකල් ආකියොලජි රිවියූ කියන සඟරාව එවැනි ප්‍රශ්නවලට සැබෑ විය හැකි උත්තර ඉදිරිපත් කරලා තියෙනවා. මෙම කැණීමේ භූ විද්‍යා උපදේශකයෙක් වන ඩැන් ගිල් පැවසූ දෙයක් මෙසේ උපුටා දක්වා තියෙනවා: “දාවිත්ගේ නුවර යටින් හොඳින් වර්ධනය වුණ කාස්ට් පද්ධතියක් තියෙනවා. කාස්ට් කියන්නේ පොළොව යට පාෂාණ ස්තර ඔස්සේ භූගත ජලය කාන්දු වී ගලා බසිද්දී, ඇති කරන වළවල්, ගුහා, ජලමාර්ග උමං සහිත අක්‍රමවත් ප්‍රදේශයක් විස්තර කරන භූ විද්‍යා යෙදුමක්. . . . දාවිත්ගේ නුවර යටින් පිහිටි භූගත ජල පද්ධතිය පිළිබඳව අපි කළ භූ විද්‍යා පරීක්ෂණය මේ දේවල් අඟවනවා: එනම් දියවීමෙන් ඇති වුණ (කාස්ටීය) ස්වාභාවික ජලමාර්ග සහ විවර මූලිකව මනුෂ්‍ය ශ්‍රමය දක්ෂ ලෙස යොදා විශාල කිරීමෙන් තනනු ලැබූ බවයි; අනතුරුව මේවා ක්‍රියාකාරි ජල සැපයුම් පද්ධතීන්වලට සම්බන්ධ කරනු ලැබුවා.”
සිලෝවම් උමඟ හාරනු ලැබුවේ කොහොමද කියන එක පැහැදිලි කරන්න මෙය උපකාරවත් වෙන්න පුළුවන්. කන්ද යටින් පිහිටි ස්වාභාවික ජලමාර්ගයක දඟරාකාර ගමන අනුව එය සකස් කරන්න ඇති. එක් එක් කෙළවරින් වැඩ කළ කණ්ඩායම්, එවිටමත් පැවති ගුහා සකස් කිරීමෙන් තාවකාලික උමඟක් හාරන්න ඇති. ඉන්පසුව, ගීහොන් උල්පතේ සිට ඇතැම්විට නුවරේ පවුරු තුළ පිහිටා තිබුණු සිලෝවම් පොකුණ දක්වා ජලය ගලා බැසීමට බෑවුම් වන ජලමාර්ගයක් හාරනු ලැබුවා. දිගින් මීටර් 533ක් වුණත්, කෙළවරවල් දෙකේ උස ප්‍රමාණයේ වෙනස සෙන්ටිමීටර් 32කට විතරක් සීමා වෙලා තියෙන නිසා, මෙය ඉන්ජිනේරුවන් අත් කරගත් සැබෑ වික්‍රමයක්.
එම පුරාණ නුවරේ ප්‍රධාන ජල උල්පත ගීහොන් උල්පත බව විශාරදයන්ට සෑහෙන කාලයක ඉඳන් තේරී ගොස් තියෙනවා. එය නුවරේ පවුරුවලින් පිටත පිහිටා තිබුණත්, උමඟක් සහ මීටර් 11ක් ගැඹුරු ළිඳක් හැරීමට තරම් ළඟක පිහිටා තිබුණා; ඒ හින්දා ආරක්ෂක පවුරුවලින් පිටතට යන්නේ නැතුව වතුර ඇදීමට නුවරේ වැසියන්ට හැකි වුණා. මෙම පද්ධතිය 1867දී සොයාගත් චාල්ස් වොරන්ට ගෞරවයක් වශයෙන්, මෙය වොරන්ගේ ළිඳ හැටියට හඳුන්වනවා. ඒත් උමඟ සහ ළිඳ සෑදුවේ කවදාද? ඒවා දාවිත්ගේ කාලයේ තිබුණාද? යෝවාබ් මෙම ජල උමඟ පාවිච්චි කළාද? ඩැන් ගිල් මෙහෙම පිළිතුරු දෙනවා: “වොරන්ගේ ළිඳ ඇත්තටම ස්වාභාවික වළක්ද කියලා පරීක්ෂා කරලා බලන්න, අපි අක්‍රමවත්ව විහිදුණු බිත්තිවලින් චූර්ණමය කබොල් කැබැල්ලක් කාබන්-14 සඳහා විශ්ලේෂණය කළා. ඒකෙ කාබන්-14 තිබුණේ නැහැ; මෙයින් ඇඟවුණේ කබොල්ල අවුරුදු 40,000කටත් වඩා පරණයි කියලා; මෙම ළිඳ මනුෂ්‍යයන් විසින් හාරනු ලැබූ එකක් වෙන්න බැරි බවට සැකයකින් තොර සාක්ෂි මෙයින් සපයනවා.”
හෙසකියාගේ කාලයෙන් නෂ්ටාවශේෂ
හෙසකියා රජු ජීවත් වුණේ අෂූරීය ජාතිය තම මාර්ගයෙහි තිබුණු හැම දෙයක්ම පාහේ අතුගා දමමින් තිබුණු කාලයකයි. ඔහුගේ පාලන සමයේ හයවන අවුරුද්දේදී, දස-ගෝත්‍රීය රාජ්‍යයේ අගනුවර වන සමාරිය අෂූරිවරුන්ගේ අතට පත් වුණා. අවුරුදු අටකට පස්සේ (පො.යු.පෙ. 732), යූදා සහ යෙරුසලමට තර්ජනය කරමින් අෂූරිවරුන් නැවතත් පැමිණියා. හෙසකියාගේ ආරක්ෂක ක්‍රමෝපාය 2 ලේකම් 32:1-8හි විස්තර කරලා තියෙනවා. මෙම කාලපරිච්ඡේදයෙන් යම් දෘශ්‍යමාන සාක්ෂි තියෙනවාද?
ඔව්, 1969දී, මේ කාලපරිච්ඡේදයෙන් ඉතුරු වුණ දේවල් මහාචාර්ය නමාන් ආවිගාඩ් සොයාගත්තා. කැණීම්වලින් දැවැන්ත තාප්පයක කොටසක් සොයාගනු ලැබුවා; එහි පළමුවන කොටස මීටර් 40ක් දිගයි, මීටර් 7ක් පළලයි සහ ඇතැම් තක්සේරුවලට අනුව මීටර් 8ක් උසයි. මෙම තාප්පයේ කොටසක් යටින් පිහිටි ගල් තට්ටුව මතත්, තවත් කොටසක් මෑතකදී ඉදි කර තිබුණු නමුත් තාප්පය ඉදි කිරීම සඳහා විනාශ කළ නිවෙස්වල සුන්බුන් මතත් පිහිටා තිබුණා. මෙම තාප්පය ඉදි කළේ කවුද, කවදාද? “මෙම තාප්පය සෑදූ කාලය සහ එහි අරමුණ නිශ්චය කරගන්න ආවිගාඩ්ට බයිබලයෙහි වගන්ති දෙකක් උපකාර වුණා” කියලා පුරාවිද්‍යා සඟරාවක් වාර්තා කරනවා. මෙම වගන්තිවල මෙහෙම කියනවා: “ඔහු ධෛර්ය උපදවාගන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැගුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩ[නැඟුවේය].” (2 ලේකම් 32:5) “පවුර සවිකරන පිණිස ගෙවල් බිඳ හෙළුවේය.” (යෙසායා 22:10) අදදින පුරාණ නුවරේ යුදෙව් කොටසෙහි, පළල් පවුර කියලා හඳුන්වන මෙහි කොටසක් අමුත්තන්ට දකින්න පුළුවන්.
ඒ කාලයේදී, යෙරුසලම ඊට පෙරාතුව හිතුවාටත් වඩා සෑහෙන විශාල වුණ බව විවිධ කැණීම්වලින් හෙළි වෙනවා; ඇතැම්විට උතුරුකරයේ රාජ්‍යය අෂූරිවරුන් අතින් පරාජයට ලක්වීමෙන් පස්සේ සරණාගතයන්ගේ අවතීර්ණ වීමත් සමඟම මෙහෙම වෙන්න ඇති. මහාචාර්ය ෂයිලෝ තක්සේරු කළේ යෙබූසීය නුවර හෙක්ටාර 6ක පමණ ප්‍රදේශයක් ආවරණය කළ බවයි. සාලමොන්ගේ කාලයේදී එය හෙක්ටාර 16කට ආසන්න ප්‍රදේශයක් ආවරණය කළා. අවුරුදු 300කට පස්සේ, හෙසකියා රජුගේ කාලය වෙද්දී, නුවරේ බලකොටු ප්‍රදේශය හෙක්ටාර 60ක් දක්වා පමණ වැඩි වෙලා තිබුණා.
මුල් දේවමාළිගා අවධියේ සුසාන භූමි
මුල් දේවමාළිගා අවධිය, ඒ කියන්නේ, පො.යු.පෙ. 607දී බබිලෝනිවරුන් යෙරුසලම විනාශ කළාට කලින් අවදිය දක්වා දිවයන සුසාන භූමි තවත් තොරතුරු මූලාශ්‍රයක් වෙලා තියෙනවා. හින්නොම් මිටියාවතේ කඳු බෑවුම්වල පිහිටා තිබුණු සොහොන් ගුහා සමූහයක් 1979/80දී කණිණු ලැබූ විට, චමත්කාරජනක දේවල් සොයාගන්න පුළුවන් වුණා. “යෙරුසලමේ මුළු පුරාවිද්‍යා පර්යේෂණ ඉතිහාසය බැලුවහම, අඩංගු සියල්ල සමඟින් සොයාගනු ලැබූ මුල් දේවමාළිගා ගබඩා අතළොස්සෙන් මෙයත් එකක්. එහි වස්තූන් දාහකට වඩා තිබුණා” යයි පුරාවිද්‍යාඥ ගේබ්‍රියල් බාකේ කියනවා. ඔහු තවත් මෙහෙම කියනවා: “ඊශ්‍රායෙල්වල, විශේෂයෙන් යෙරුසලමේ වැඩ කරන හැම පුරාවිද්යාඥයෙකුම ඉතා ආශාවෙන් සිහින මවන්නේ, යම්කිසි ලිඛිත දෙයක් සොයාගන්නයි.” කුඩා රිදී අකුළන ලියවිලි දෙකක් සොයාගනු ලැබුවා; ඒවායේ මොනවද සඳහන් වුණේ?
බාකේ මෙහෙම පැහැදිලි කරනවා: “ඒ දිගහැරලා තිබුණු රිදී තීරුව දැකලා, මං ඒක විශාල කර දක්වන කණ්ණාඩියකින් බැලුවහම, එම ඉතා තුනී, සිවුමැලි රිදී කොළය මතට උල් සහිත උපකරණයකින් ඉතා පරෙස්සමින් ඇඳ සකස් කළ අකුරු මට දැකගන්න පුළුවන් වුණා. . . . එම ලියවිල්ලෙහි පැහැදිලිව දකින්න තියෙන දිව්‍ය නාමය හෙබ්‍රෙව් අකුරු හතරකින් සමන්විතයි; ඒවා ලියලා තියෙන්නේ පුරාණ හෙබ්‍රෙව් අක්ෂර හතර වන යොඩ්-හේ-වාව්-හේ යොදලයි.” පස්සේ ප්රකාශනයක, බාකේ මෙහෙම එකතු කරනවා: “අපිව පුදුමයට පත් කළ දෙයක් තමයි, බයිබලයේ පූජක ආශීර්වාදයට බොහෝදුරට සමාන ආශීර්වාද වාක්‍යය මෙම රිදී පුවරු දෙකේම තිබීම.” (ගණන් කථාව 6:24-26) යෙරුසලමේ සොයාගත් ලේඛනයක යෙහෝවාගේ නාමය සොයාගත් පළමුවන අවස්ථාව මේකයි.
විශාරදයන් මෙම රිදී අකුළන ලියවිලිවලට කොහොමද දිනයක් නියම කළේ? ප්‍රධාන වශයෙන් ඒවා සොයාගත් පුරාවිද්‍යා පසුබිම සැලකිල්ලට අරගෙනයි එහෙම කළේ. දිනය නියම කරගන්න පුළුවන් මැටි බඳුන් කැබලි 300කටත් වැඩිය එම ගබඩාවෙන් සොයාගනු ලැබූ අතර, ඒවා පො.යු.පෙ. සත්වන සහ හයවන සියවස්වලට යොමු දැක්වූවා. දින නියම කර තියෙන වෙනත් ලියවිලි සමඟ එහි අකුරු සැසඳුවාම, එකම අවදියට යොමු දක්වනවා. මෙම අකුළන ලියවිලි යෙරුසලමේ ඊශ්‍රායෙල් කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කරලා තියෙනවා.
පොදු යුගයට පෙර 607දී යෙරුසලමේ විනාශය
පොදු යුගයට පෙර 607දී යෙරුසලමේ විනාශය ගැන 2 රාජාවලිය 25වන පරිච්ඡේදයේ, 2 ලේකම් 36වන පරිච්ඡේදයේ සහ යෙරෙමියා 39වන පරිච්ඡේදයේ සඳහන් කරන බයිබලය, නෙබුකද්නෙශර්ගේ හමුදාව එම නුවර පිලිස්සූ බවට වාර්තා කරනවා. මෑතකදී කළ කැණීම්වලින් එම ඓතිහාසික වාර්තාව සනාථ වෙනවාද? මහාචාර්ය යිගෙල් ෂයිලෝට අනුව, “බයිබලයේ [බබිලෝනිය අතින් සිදු වුණ විනාශය] ගැන ඇති සාක්ෂි . . . ඉතා පැහැදිලි පුරාවිද්‍යා සාක්ෂිවලින් අංගසම්පූර්ණ වෙනවා; ඒ කියන්නේ විවිධාකාර ඉදි කිරීම් සම්පූර්ණ ලෙස විනාශ වූ බව සහ නිවෙස්වල විවිධාකාර ලී කොටස් මහා ගින්නකින් දවනු ලැබූ බවයි.” ඔහු තවත් මෙහෙම අදහස් දැක්වූවා: “යෙරුසලමේ කරලා තියෙන හැම කැණීමකින්ම පාහේ මෙම විනාශයේ නෂ්ටාවශේෂ සොයාගෙන තියෙනවා.”
අවුරුදු 2,500කට ඉහතදී සිදු වුණ මෙම විනාශයේ නෂ්ටාවශේෂ අමුත්තන්ට දකින්න පුළුවන්. ඉශ්රායෙල් කොත, දැවීගිය කුටිය සහ බුබ්බුල නිවස, මහජනයා සඳහා විවෘතව තියෙන, ආරක්ෂා කර ඇති ජනප්‍රිය පුරාවිද්‍යා භූමි භාගවලට දමා ඇති නම් වෙනවා. පුරාවිද්‍යාඥයන් වන ජේන් එම්. කේහිල් සහ ඩේවිඩ් ටාල’, ඒන්ෂන්ට් ජෙරූසලම් රිවීල්ඩ් (පුරාණ යෙරුසලම හෙළි වී) යන පොතෙහි මෙම සමාලෝචනය කරනවා: “දැවීගිය කුටිය සහ බුබ්බුල නිවස වැනි ඉදි කිරීම්වලින් ඉවතට ගත් අඟුරු වෙලා තියෙන ඝන නෂ්ටාවශේෂ තට්ටුවලින් පමණක් නොව, නැඟෙනහිර කඳු බෑවුම ආවරණය කරන ගරාවැටුණු ගොඩනැඟිලිවල ගැඹුරට විහිදුණු ගල් සුන්බුන්වලිනුත්, බබිලෝනිවරුන් අතින් යෙරුසලමට සිදු වුණ දැවැන්ත විනාශය පැහැදිලි වෙනවා. එම නුවරේ විනාශය පිළිබඳව බයිබල් විස්තරයන් . . . පුරාවිද්‍යා සාක්ෂි අංගසම්පූර්ණ කරවනවා.”
මේ අනුව, දාවිත්ගේ කාලයේ ඉඳන් පො.යු.පෙ. 607හි එහි විනාශය දක්වා යෙරුසලම ගැන බයිබලයේ ඇඳ ඇති පින්තූරය, පසුගිය අවුරුදු 25 තුළදී කර තියෙන පුරාවිද්‍යා කැණීම් මගින් බොහෝ ආකාරවලින් සැබෑ බවට ඔප්පු වෙලා තියෙනවා. ඒත් පො.යු. පළමුවන සියවසේ යෙරුසලම ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
යේසුගේ දවසේ යෙරුසලම
පොදු යුගයේ 70දී රෝමවරුන් අතින් සිදු වුණ යෙරුසලමේ විනාශයට කලින්, යේසුගේ කාලයේ යෙරුසලම ගැන පින්තූරයක් අඳින්න කැණීම්, බයිබලය, පළමුවන සියවසේ යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් සහ වෙනත් මූලාශ්‍ර විශාරදයන්ට උපකාරවත් වෙනවා. යෙරුසලමේ විශාල හෝටලයක් පිටිපස්සේ ප්‍රදර්ශනය කරලා තියෙන ආකෘතියක්, අලුත් කැණීම්වලින් හෙළි වන දේවල් අනුව නිතිපතාම තත්කාලීන කරනු ලබනවා. එම නුවරේ ප්‍රධාන අංගලක්ෂණය දේවමාළිගා කන්දයි; සාලමොන්ගේ කාලයත් එක්ක සැසඳුවොත් හෙරොද් එය ප්‍රමාණයෙන් දෙගුණයක් කරලා තිබුණා. එය තමයි පුරාණ ලෝකයේ මනුෂ්‍ය ශ්‍රමයෙන් සෑදූ විශාලම වේදිකාව; එය දිගින් මීටර් 480යි, පළලින් මීටර් 280යි. ගොඩනැඟීමට පාවිච්චි කළ ඇතැම් ගල් ටොන් 50ක් බරයි; එක ගලක් බරින් ටොන් 400කට ආසන්න වුණ අතර, විශාරදයෙකුට අනුව, “පුරාණ ලෝකයේ කොතැනකවත් ඒ ප්‍රමාණයේ ගලක් දකින්න නැහැ”.
“මේ මාළිගාව කඩාදමන්න, එවිට තුන් දවසකින් එය නැගුටු වන්නෙමියි” යේසු කියනවා ජනයා ඇසූ විට, ඔවුන් එයින් කම්පනයට පත්වීම පුදුමයක් නෙවෙයි. ඔහු අදහස් කළේ “තමන්ගේ ශරීරය නැමති මාළිගාව ගැන” වුණත්, ඔවුන් හිතුවේ ඔහු අදහස් දැක්වූයේ දැවැන්ත දේවමාළිගා ගොඩනැඟිල්ල ගැන කියලයි. එමනිසා, ඔවුන් මෙහෙම කිව්වා: “මේ මාළිගාව ගොඩනැගීමට සතළිස් සාවුරුද්දක් ගතවිය, නුඹ ඒක තුන් දවසකින් නැගුටුවන්නෙහිද”? (යොහන් 2:19-21) දේවමාළිගා කන්ද අවට ප්‍රදේශයේ කැණීම්වල ප්‍රතිඵලයක් වශයෙන්, යේසුගේ කාලයට දිවයන පවුරුවල කොටස් සහ වෙනත් ගෘහ නිර්මාණ අංගලක්ෂණ දකින්නත්, ඇතැම්විට ඔහු පිය නැඟුවා කියලා සිතිය හැකි දකුණුදිග දේවමාළිගා දොරවල් දක්වා විහිදෙන පඩිපෙළ දිගේ ඇවිදින්නත් අමුත්තන්ට පුළුවන්.
දේවමාළිගා කන්දේ බටහිර පවුරට නුදුරින්, පුරාණ නුවරේ යුදෙව් කොටසේ, දැවීගිය නිවස සහ හෙරෝඩියන් කොටස හැටියට හඳුන්වන, පො.යු. පළමුවන සියවසට අයත් හොඳට ප්‍රතිසංස්කරණය කරල තියෙන කැණීම් භූමිභාග දෙකක් තියෙනවා. දැවීගිය නිවස හොයාගත්තායින් පස්සේ, පුරාවිද්‍යාඥ නමාන් ආවිගාඩ් මෙහෙම ලිව්වා: “රෝමවරුන් විසින් ක්‍රි.ව. 70දී යෙරුසලම විනාශ කළ අවස්ථාවේදී මෙම ගොඩනැඟිල්ල පුලුස්සනු ලැබූ බව දැන් සෑහෙන දුරට පැහැදිලියි. මෙම නුවරේ කැණීම් ඉතිහාසයේ පළමු වතාවට, නුවර පුලුස්සනු ලැබූ බවට විචිත්‍ර සහ පැහැදිලි පුරාවිද්‍යා සාක්ෂි මතු වෙලා තියෙනවා.”—12වන පිටුවේ ඡායාරූප බලන්න.
මෙම සොයාගැනීම්වලින් සමහරක් යේසුගේ ජීවිතයේ සිදුවීම් සමහරක් මතට ආලෝකය හෙළනවා. මෙම ගොඩනැඟිලි පිහිටා තිබුණේ ඉහළ නුවරේ; උත්තම පූජකයන් ඇතුළුව යෙරුසලමේ ධනවත් ජනයා ජීවත් වුණේ එතනයි. නිවෙස්වල චාරිත්‍රානුකූල පොකුණු සෑහෙන සංඛ්‍යාවක් සොයාගනු ලැබුවා. එක් විශාරදයෙක් මෙහෙම නිරීක්ෂණය කරනවා: “පොකුණු සෑහෙන සංඛ්‍යාවක් තිබීමෙන්, දෙවන දේවමාළිගා අවධියේ ඉහළ නුවරේ වැසියන් චාරිත්‍රානුකූල පවිත්‍රකම පිළිබඳ නීති දැඩි ලෙස රැක්කා කියන එකට සාක්ෂි ලැබෙනවා. (මෙම නීති මිෂ්නාහි වාර්තා කරලා තියෙනවා; එය මික්වෙහ් පිළිවෙත සඳහා පරිච්ඡේද දහයක් වෙන් කරනවා.)” මෙම චාරිත්‍ර පිළිබඳව යේසු ඵරිසිවරුන්ට සහ ලියන්නන්ට දැක්වූ අදහස් අගය කරන්න මේ තොරතුරු අපිට උපකාරවත් වෙනවා.—මතෙව් 15:1-20; මාර්ක් 7:1-15.
යෙරුසලමේ ගල් භාජන පුදුමාකාර සංඛ්‍යාවකුත් සොයාගෙන තියෙනවා. නමාන් ආවිගාඩ් මෙහෙම සඳහන් කරනවා: “යෙරුසලමේ ගෘහවල මේවා හදිස්සියෙන්ම වාගේ මෙතරම් ප්‍රමාණයකින් එළි දැක්කේ ඇයි? පිළිතුර ගැබ්ව තියෙන්නේ හලාඛාහ් කියන පිළිවෙත තුළයි; ඒවා චාරිත්‍රානුකූල පවිත්‍ර වීම් සඳහා දීලා තියෙන යුදෙව් නීතීන්. අපවිත්‍රකමට ලක් වෙන්නේ නැති වස්තූන් අතර ගල් භාජන තියෙන බව මිෂ්නා අපිට කියනවා . . . ගල් කොහොමටවත් චාරිත්‍රානුකූල දූෂණයට ලක් වුණේ නැහැ.” යේසු මුද්‍රිකපානය බවට හැරවූ ජලය, මැටි භාජනවල නොව ගල් භාජනවල රැස් කර තැබුවේ ඇයි කියන එක මෙයින් පැහැදිලි වෙනවා කියලා අදහසක් ඉදිරිපත් වී තියෙනවා.—ලෙවී කථාව 11:33; යොහන් 2:6.
ඊශ්‍රායෙල් කෞතුකාගාරය බැහැදකින්න ගියොත්, එහිදී අසාමාන්‍ය ඇටකටු හෙප්පු දෙකක් දැකගන්න පුළුවන්. බිබ්ලිකල් ආකියොලජි රිවියූ මෙහෙම පැහැදිලි කරනවා: “ඇටකටු හෙප්පු මූලිකව භාවිත කරනු ලැබුවේ, පො.යු. 70දී රෝමවරුන් අතින් යෙරුසලමට වුණ විනාශයට කලින් දළ වශයෙන් අවුරුදු සියය ඇතුළතදීයි. . . . මිනිය සොහොන් ගුහාවක බිත්තියේ හාරා තිබුණු කුහරයක තැන්පත් කරනවා; මස් දිය වුණාට පස්සේ, ඇටකටු එකතු කරලා ඇටකටු හෙප්පුවක—ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලංකාරවත් කළ හුනුගල්වලින් සෑදූ භාජනයක—තැන්පත් කරනවා.” ප්‍රදර්ශනය කරලා තියෙන හෙප්පු දෙක, 1990 නොවැම්බර්වල සොහොන් ගුහාවකදී සොයාගනු ලැබුවා. පුරාවිද්‍යාඥ ස්වී ග්‍රීන්හට් මෙහෙම වාර්තා කරනවා: “‘කායාඵා’ කියන . . . වචනය සොහොන් ගෙයෙහි ඇටකටු හෙප්පු දෙකක දක්නට ලැබෙනවා; පුරාවිද්‍යාත්මක පසුබිමකින් මෙය සඳහන් වන පළමුවන වතාව මේකයි. එය සමහරවිට අලුත් ගිවිසුමෙහි . . . සඳහන් උත්තම පූජක කායාඵස්ගේ පවුලේ නම වෙන්න පුළුවන් . . . යෙරුසලමේ පිහිටි ඔහුගේ නිවසේ සිටයි, යේසුව රෝමානු බලකාර නියෝජිත පොන්තියුස් පිලාත්ට භාර දුන්නේ.” එක් ඇටකටු හෙප්පුවක අවුරුදු 60ක් පමණ වයසැති මනුෂ්‍යයෙක්ගේ ඇටකටු තියෙනවා. මේවා ඇත්තටම කායාඵස්ගේ ඇටකටු වෙන්න ඕනෙ කියලා විශාරදයන් අනුමාන කරනවා. විශාරදයෙක් සොයාගත් දේවල් යේසුගේ කාලයට සම්බන්ධ කරලා දක්වනවා: “තවත් ඇටකටු හෙප්පුවක සොයාගනු ලැබූ කාසියක් හෙරොද් අග්‍රිපා (පො.යු. 37-44) විසින් අච්චුගසා තිබුණා. කායාඵස් ඇටකටු හෙප්පු දෙක සියවසේ මුල තරම් ඈතකට දිවයනවා විය හැකියි.”
ඇරිසෝනා සරසවියේ මෑත පෙරදිග පුරාවිද්‍යා මහාචාර්ය විලියම් ජී. ඩෙව’, යෙරුසලම ගැන මෙහෙම අදහස් දැක්වූවා: “මෙම අතිවැදගත් භූමි භාගයේ පුරාවිද්‍යාත්මක ඉතිහාසය ගැන පසුගිය අවුරුදු 15 තුළදී අපි ඉගෙන තියෙන දේ, ඊට කලින් අවුරුදු 150 තුළදීම ඉගෙන තියෙන දේට වඩා වැඩියි කියලා කියන එක අතිශයෝක්තියක් නෙමෙයි.” මෑත දශක තුළදී යෙරුසලමේ කරලා තියෙන පුළුල් පරිමාණයේ පුරාවිද්‍යාත්මක කටයුතු බොහොමයක්, බයිබල් ඉතිහාසය මත ආලෝකය හෙළන සොයාගැනීම් සහතිකවම ඉදිරිපත් කරලා තියෙනවා.
[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
දෙවන දේවමාළිගාව පැවති කාලයේ තිබුණු යෙරුසලම් නුවරේ ආකෘතිය - යෙරුසලමේ Holyland Hotel නම් හෝටල් භූමියේ පිහිටා තිබේ
[10වන පිටුවේ පින්තූර]
ඉහළ: යෙරුසලමේ දේවමාළිගා කන්දේ නිරිතදිග කොන
දකුණ: හෙසකියාගේ උමඟ තුළින් යද්දී