යේසුස්වහන්සේගේ ප්‍රාතිහාර්යවලින් පාඩම්
“තුන්වෙනිදා ගලීලයේ කානාහි සරණ මංගල්‍යයක් විය; . . . යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය. මුද්‍රිකපානය ඉවරවූ කල: ඔවුන්ට මුද්‍රිකපානය නැතැයි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය.” යේසුස්වහන්සේ පළමු ප්රාතිහාර්යය සිදු කරනු ලැබීමට අවස්ථාව සකස් කළේ මෙම සිද්ධියයි.—යොහන් 2:1-3.
එවැනි ගැටලුවක්, යේසුස්වහන්සේගේ අවධානයට යොමු කිරීමට තරම්, එය ඉතා නොවැදගත්, ඉතා සුළු දෙයක් නොවීද? එක් බයිබල් විශාරදයෙක් මෙසේ පැහැදිලි කරයි: “ප්‍රාචීන දේශවල ආගන්තුක සත්කාරය වනාහි පරිශුද්ධ යුතුකමක් විය. . . . විශේෂයෙන්ම විවාහ මංගල්‍යයක පැවති නියම ආගන්තුක සත්කාරයට ආහාර පාන බහුලව තිබිය යුතුම විය. විවාහ මංගල්‍යයකදී ආහාර පාන සැපයුම් අඩුවී නම්, පවුලට සහ යෞවන යුවළට කෙදිනකවත් ලජ්ජාව දරාගත නොහැකි වනු ඇත.”
එමනිසා යේසුස්වහන්සේ ක්‍රියාත්මක වූසේක. “යුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ ප්‍රකාරයට එක එකේ මෙත්‍රෙ දෙකක් තුනක් පමණ වතුර අල්ලන්නාවූ ගල් භාජන හයක් එහි තබා ති[බෙනවා]” උන්වහන්සේ දුටුසේක. ආහාරගැනීමට පෙර චාරිත්‍රානුකූලව සේදීම යුදෙව්වන් අතර සිරිතක් වූ අතර, පැමිණ සිටින අයගේ අවශ්‍යතාවන් සඳහා ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වී තිබුණි. “භාජනවල වතුර පුරවාපල්ලා” යයි අමුත්තන්ට සංග්‍රහ කරමින් සිටි අයට යේසුස්වහන්සේ අණ කළසේක. යේසුස්වහන්සේ “මංගල්‍යයේ ප්‍රධානියා” වූවා නොවේ, නමුත් උන්වහන්සේ ඍජු ලෙස හා යම් අධිකාරයක් සහිතව කතා කළසේක. වාර්තාව මෙසේ පවසයි: “දැන්, මංගල්‍යයේ ප්‍රධානියා වතුර රස බැලීය, [එය] මුද්‍රික පානය බවට හැරී තිබුණේය.” [NW].—යොහන් 2:6-9; මාර්ක් 7:3.
විවාහ මංගල්‍යය උත්සවයක් වැනි පොදු අවස්ථාවක්, යේසුස්වහන්සේගේ පළමු ප්රාතිහාර්යය සඳහා පසුබිමක් වීම පුදුමයක් සේ පෙනී යා හැකිය, නමුත්, මෙම සිද්ධිය යේසුස්වහන්සේ ගැන බොහෝ දේ හෙළි කරයි. උන්වහන්සේ තනිකඩ මිනිසෙක් වූසේක, තවද පසු අවස්ථාවලදී, තනිකඩභාවයේ ඇති වාසි ගැන උන්වහන්සේ සිය ගෝලයන් සමඟ සාකච්ඡා කළසේක. (මතෙව් 19:12) කෙසේවෙතත්, උන්වහන්සේ විවාහ මංගල්‍යයට පැමිණ සිටීමෙන් හෙළි කළේ, උන්වහන්සේ විවාහ විරෝධියෙකුට වඩා බොහෝ සෙයින් වෙනස් වූ බවයි. සමබර වූ උන්වහන්සේ, විවාහ විධිවිධානයට අනුග්‍රහ දැක්වූවෙක් වූසේක; උන්වහන්සේ එය දුටුවේ දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ගෞරවනීය දෙයක් හැටියටය.—හෙබ්‍රෙව් 13:4 සසඳන්න.
යේසුස්වහන්සේ වනාහි, පසු කලක පල්ලිවල චිත්‍ර ශිල්පීන් චිත්රයෙන් දැක්වූ දුක්මුසු තාපසයෙකු මෙන් නොවීය. මිනිසුන් සමඟ ගැවසීමෙන් පැහැදිලිව සතුටක් ලැබූ උන්වහන්සේ, සමාජ ආශ්‍රයට විරෝධය පෑ කෙනෙකුද නොවීය. (ලූක් 5:29 සසඳන්න.) මෙසේ උන්වහන්සේගේ ක්‍රියා, සිය අනුගාමිකයන් සඳහා පූර්වාදර්ශයක් තැබීය. ධර්මිෂ්ඨකම යනු ප්‍රීති විරහිතබව යයි අදහස් කරනවාක් මෙන්, අනවශ්‍ය ලෙස ඕනෑවට වඩා ගරුගම්භීරව සිටීම හෝ දුක්මුසු මුහුණක් ඇතුව සිටීම නොවන බව යේසුස්වහන්සේ පෞද්ගලිකව නිරූපනය කළසේක. මීට පටහැනි ලෙස, පසුව ක්‍රිස්තියානීන්හට මෙසේ අණ කරන ලදි: “ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්රීතිවෙයල්ලා.” (පිලිප්පි 4:4) අදදින ක්‍රිස්තියානීහු, විනෝදාස්වාද සාධාරණ සීමාවන් තුළ තබාගැනීමට පරෙස්සම් වෙති. ඔවුන් දෙවියන්වහන්සේගේ සේවය තුළ ප්‍රීතිය ලබන නමුත්, යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින්, ඔවුහු එකිනෙකාගේ ඇසුර භුක්ති විඳීම පිණිස ඉඳ හිට සුහද ආශ්රයන්හිද යෙදෙති.
යේසුස්වහන්සේගේ චිත්තවේගයන්හි මුදු මොළොක්බවද සැලකිල්ලටගන්න. උන්වහන්සේ ප්රාතිහාර්යයක් කිරීමට කිසිම බැඳීමකින් නොසිටිසේක. මේ සම්බන්ධව ඉටුවිය යුතු කිසිම අනාවැකියක් නොතිබිණි. පෙනෙන අන්දමට සිය මව දැක්වූ සැලකිල්ල නිසාත්, විවාහ වන යුවළ වැටුණු අසරණ තත්වය නිසාත්, උන්වහන්සේ හුදෙක් පෙලඹුණුසේක. ඔවුන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වූ උන්වහන්සේ, ඔවුන් ලජ්ජාවට පත්වීමෙන් වැළැක්වීමට කැමති වූසේක. ඔබේ සුළු සුළු ගැටලුවලදී පවා ක්‍රිස්තුස්වහන්සේ ඔබ කෙරෙහි නියම සැලකිල්ලක් දක්වන බවට මෙය ඔබගේ නිසැකකම තවත් ගොඩනගන්නේ නැද්ද?—හෙබ්‍රෙව් 4:14-16 සසඳන්න.
එක් එක් භාජනයේ, වතුර “මෙත්‍රෙ දෙකක් තුනක් පමණ” දරා සිටීමට හැකි වූ හෙයින්, යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයට වයින් විශාල ප්‍රමාණයක් ඇතුළත් විණි—සමහරවිට ලීටර 390ක් (ගැලුම් 105ක්) පමණ විය හැක! (යොහන් 2:6) එතරම් විශාල ප්‍රමාණයක් මන්ද? දෙවියන්වහන්සේ හෙළාදකින දෙයක් වන බේබදුකමට යේසුස්වහන්සේ අනුබල දීමක් කළා නොවේ. (එපීස 5:18) ඒ වෙනුවට, උන්වහන්සේ නිරූපනය කරමින් සිටියේ, දෙවියන්වහන්සේගේ ත්‍යාගශීලිත්වයයි. මුද්‍රිකපානය පොදු බීමක් වූ බැවින්, ඉන් යම් ප්‍රමාණයක් ඉතිරි වී නම්, එය වෙනත් අවස්ථාවන් සඳහා යොදාගත හැක.—සසඳන්න මතෙව් 14:14-20; 15:32-37.
මුල් ක්‍රිස්තියානීහු ත්‍යාගශීලීකම පිළිබඳ යේසුස්වහන්සේගේ ආදර්ශය අනුකරණය කළෝය. (ක්‍රියා 4:34, 35 සසඳන්න.) තවද අදදින යෙහෝවඃවහන්සේගේ ජනයාට ඒ හා සමානව, ‘පුරුද්දක් ලෙස දීමට’ දිරිගන්වනු ලැබේ. (ලූක් 6:38, NW) කෙසේවෙතත්, යේසුස්වහන්සේගේ පළමු ප්රාතිහාර්යයට අනාවැකිමය වැදගත්කමක්ද තිබුණි. එය යොමු දක්වන්නේ, කුසගින්න මුළුමනින්ම තුරන් කරන, දෙවියන්වහන්සේ විසින් “සාරවූ දෙයින් මංගල්‍යයක්, . . . පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක්” සපයනු ලබන අනාගත කාලයකටය.—යෙසායා 25:6.
යේසුස්වහන්සේ විසින් සිදු කළ, කායික සුව කිරීම ඇතුළත් වූ බොහෝ ප්රාතිහාර්යයන් ගැන කුමක් කිව හැකිද? මේවායින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
සබත් දවසේදී යහපත කිරීම
“නැගිට නුඹේ යහන රැගෙන පලයන්න.” යේසුස්වහන්සේ මේ වචන වදාළේ වසර 38ක් පුරා ඔත්පළව සිටි මිනිසෙකුටය. සුවිශේෂ වාර්තාව තවදුරටත් මෙසේ කියයි: “එකෙණෙහිම ඒ මනුෂ්‍යයා සුවපත්ව, තමාගේ යහන රැගෙන ගියේය.” පුදුමයට කරුණක් වූයේ සියල්ලන්ම මෙම වෙනස ගැන සතුටු නොවීමයි. වාර්තාව මෙසේ පවසයි: “යේසුස්වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු උන්වහන්සේට පීඩාකළෝය.”—යොහන් 5:1-9, 16.
සබත් දවස වනාහි, සියල්ලන් සඳහා විවේකගැනීමේ හා ප්රීතිවීමේ දිනයක් වීමට අදහස් කරන ලදි. (නික්මයාම 20:8-11) එහෙත්, යේසුස්වහන්සේ ජීවත්වූ අවදිය වන විට, එය මිනිසුන් විසින් ඇති කරන ලද නීතිවලින් පීඩාකාරි වූ අවුල් ජාලයක් බවට පත්වී තිබිණි. ටල්මුඩ් ග්‍රන්ථයේ සබත්-නීති පිළිබඳ දීර්ඝ කොටසේ, “අතිවැදගත් ආගමික වැදගත්කමක් ඇතිවාක් මෙන්, කාරණා බරපතළ ලෙස සාකච්ඡා කරනු ලබන අතර, බුද්ධිමත් හොඳ සිහිය ඇති කෙනෙකු මේවා සැලකිල්ලටගන්නවා යයි සිතීමට උගහට” බව විශාරද ඇල්ෆ්රට් එඩර්ෂයිම් ලීවේය. (ද ලෆිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් ජීසස් ද මෙසායා) රබ්බිවරු කිසි වැදගැම්මකට නැති, හිතුවක්කාර නීති මගින් යුදෙව්වෙකුගේ ජීවිතයේ සෑම අංගයකටම පාහේ ජීවිතය හා මරණය තරම් වැදගත්කමක් ආරූඪ කළේ, බොහෝ විට මිනිස් හැඟීම් කෙරෙහි දයා විරහිත අගෞරවයක් දක්වමිනි. එක් සබත් නීතියක මෙසේ නියෝග කරන ලදි: “යම් ගොඩනැගිල්ලක් මිනිසෙකු මත කඩා වැටුණහොත්, ඔහු එහි සිටිනවාද නැද්ද යන්න ගැන, ඔහු ජීවත්ව සිටීද හෝ මියගොස් සිටීද යන්න ගැන, නැත්නම් ඔහු අන්‍ය ජාතියෙකුද ඉශ්රයෙලිතයෙකුද යන්න පිළිබඳ යම් සැකයක් ඇත්නම්, ඔහු මත කඩා වැටුණු සුන්බුන් ඔවුන්ට ඉවත් කළ හැකිය. ඔහු ජීවත්ව සිටින බව ඔවුන් දුටුවහොත්, ඔහුට ඉහළින් තිබෙන දෙය ඉවත් කිරීමට ඔවුන්ට හැකිය; නමුත් [ඔහු] මියගොස් සිටී නම්, ඔවුන් ඔහුට එසේම සිටින්ට ඉඩහැරිය යුතුය.”—හර්බට් ඩැන්බි විසින් පරිවර්තනය කරන ලද ධර්ම පත්‍රිකා, යෝමා 8:7, ද මිෂ්නා.
එවැනි වැදගැම්මකට නැති සුළු සුළු නීතිවලට තදින් බැඳී සිටීම දෙස, යේසුස්වහන්සේ බැලුවේ කෙසේද? සබත් දවසේදී සුව කිරීම ගැන විවේචනය කරනු ලැබූ විට, උන්වහන්සේ මෙසේ පැවසූසේක: “මාගේ පියාණන්වහන්සේ මේ දක්වාම ක්‍රියාකරනසේක, මමත් ක්‍රියාකරමි.” (යොහන් 5:17) තමන්වම පොහොසත් කරගැනීම පිණිස යේසුස්වහන්සේ ලෞකික රැකියාවක් කරමින් සිටියේ නැත. ඒ වෙනුවට, උන්වහන්සේ කරමින් සිටියේ දෙවියන්වහන්සේගේ කැමැත්තයි. සබත් දවසේදී තම පරිශුද්ධ සේවයේ දිගටම යෙදීමට ලෙවීවරුන්ට ඉඩහරිනු ලැබුවාක් මෙන්, දෙවියන්වහන්සේගේ නීති උල්ලංගනය නොකර, තමාට දෙවියන්වහන්සේ විසින් පවරා ඇති වැඩකටයුතු මෙසියස් වශයෙන්, යුක්තිසහගත ලෙස කරගෙන යෑමට යේසුස්වහන්සේට හැකි විය.—මතෙව් 12:5.
තම සිතුවිලි සම්බන්ධයෙන් දැඩිව හා අසමබරව සිටි යුදෙව් ලියන්නන්ගේ හා ඵරිසිවරුන්ගේ ‘පමණට වඩා ධර්මිෂ්ඨකමද’ සබත් දවසේ යේසුස්වහන්සේ කළ සුව කිරීම්වලින් හෙළි විණි. (දේශනාකාරයා 7:16) සහතිකවම, සතියේ එක්තරා දවස්වලට යහපත් ක්‍රියා සීමාවී තිබීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවීය; සබත් දවස වනාහි නිකම්ම නීති පිළිපදින හිස් පිළිවෙතක් වීමටද දෙවියන්වහන්සේ අදහස් නොකළසේක. යේසුස්වහන්සේ මාර්ක් 2:27හි මෙසේ පැවසූසේක: “මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය.” යේසුස්වහන්සේ ප්‍රේම කළේ මිනිසුන්ට මිස, හිතුවක්කාර නීතිවලට නොවේ.
අදදින ක්‍රිස්තියානීන්ද තමන්ගේ සිතිවිලිවලදී ඕනෑවට වඩා රළු හෝ නීතිවලටම කොටු වූ බවක් දැක්වීමෙන් වැළකීම යෙහෙකි. සභාවේ අධිකාරය දරමින් සිටින අය, අන්‍යයන් මත මිනිසුන් විසින් සාදන ලද අධික නීති හා කොන්දේසි පනවා බර කිරීමෙන් වැළකෙති. යහපත්කම් කිරීම සඳහා ප්‍රස්තාවන් සෙවීමටද යේසුස්වහන්සේගේ ආදර්ශය අපව දිරිගන්වයි. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානියෙක්, තමා බයිබල් සත්‍යයන් බෙදාගන්නේ, පුරුද්දක් ලෙස ගෙයින් ගෙට දේව සේවයේ යෙදෙන විට හෝ තමා වේදිකාවේ කතාවක් ඉදිරිපත් කරන විට පමණක් යයි කිසිවිටකත් තර්ක කරන්ට යන්නේ නැත. ක්‍රිස්තියානිවරයෙක්, “නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී” සිටිය යුතු යයි ප්‍රේරිත පේතෘස් කියයි. (1 පේතෘස් 3:15) යහපත්කම් කිරීමට කිසිම කාල සීමාවක් නැත.
දයානුකම්පාව සම්බන්ධ පාඩමක්
ලූක් 7:11-17හි තවත් කැපීපෙනෙන ප්රාතිහාර්යයක් වාර්තා වී ඇත. මෙම විස්තරයට අනුව, යේසුස්වහන්සේ, “නායින් නම් නුවරකට ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ සමඟ ගියෝය.” අදදින දක්වා, නෙයින් නම් වූ නවීන අරාබි ගම්මානයේ ගිනිකොන පෙදෙසට වන්ට සොහොන් පිටි දක්නට තිබේ. “උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල,” මහත් ඝෝෂාවක් සහිත දර්ශනයක් උන්වහන්සේගේ නෙත ගැටිණි. “බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනගක් ඈ සමඟ ආවෝය.” ඉපැරණි කාලවල පටන්, “භූමදාන කරන ක්‍රමය වෙනස් වී නැතැයි” සටහන් කරන එච්. බී. ට්‍රිස්ට්‍රම් මෙසේද ඊට එකතු කරයි: “තම පසුපසින් පිරිවරාගත් කුලියට ගත් වැළපෙන ස්ත්‍රීන්, දෙනයට ඉදිරිපසින් ගමන් කරනවා මම දැක ඇත්තෙමි. ඔවුහු තම අත් වේගයෙන් ඉහළට ඔසවා, තම කෙස් කඩාදමා, අත පය වේගයෙන් වනමින්, දැඩි ශෝකයෙන් යුතුව මියගිය තැනැත්තාගේ නම කියා මොරගසති.”—ඊස්ටන් කස්ටම්ස් ඉන් බයිබල් ලෑන්ඩ්ස්.
එවැනි ඝෝෂාකාරි පිරිසක් මැද ශෝකයෙන් වැළපෙමින් ගමන් කළ, යම් වැන්දඹුවකගේ මුහුණුවර ඉතා ශෝකාකූල වූවා විය යුතුය. දැනටමත් තම ස්වාමිපුරුෂයාව මරණයෙන් අහිමිව සිටින ඈ, ලේඛක හර්බට් ලොක්යර්ගේ වචනවලට අනුව, තම පුත්‍රයාව සැලකුවේ, “ඇගේ මහලු වියේ ශක්තිය, ඇගේ තනිකම නැති කළ සැනසීම—එනම් ඇගේ නිවසේ රුකුල් දෙන්නා හා නිවසේ කණුව හැටියටය. තම එකම පුත්‍රයාව අහිමිවීමෙන්, ඇගේ අවසාන රුකුලද ඇගෙන් ඉවත් කරනු ලැබිණි.” (ඕල් ද මිරකල්ස් ඔෆ් ද බයිබල්) යේසුස්වහන්සේගේ ප්‍රතික්‍රියාව කුමක් වීද? ලූක්ගේ චතුර වචනවලට අනුව, “ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට [අනුකම්පාවෙන් පෙලඹී, NW]: අඬන්ට එපායයි ඈට කීසේක.” මෙම “අනුකම්පාවෙන් පෙලඹී” යන යෙදුම රැගෙන තිබෙන්නේ, “බඩවැල්” යන පදගතාර්ථමය අරුත් දෙන ග්‍රීක් භාෂාවේ වචනයෙනි. ඉන් අදහස් කරන්නේ, “යමෙකුගේ අභ්‍යන්තරයෙන්ම පෙලඹීම” යන්නයි. (වයින්’ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස්) එසේය, යේසුස්වහන්සේ, සිය ගැඹුරු අභ්‍යයන්තරයෙන්ම පෙලඹුණුසේක.
පෙනෙන අන්දමට, යේසුස්වහන්සේගේ මව මේ අවදියේදී වැන්දඹුවකව සිටි අතර, එබැවින්, තම සුරැකි පියාව සිටි යෝසෙප්ගේ අභාවයෙන් පසු ඇතිවූ වියෝ දුකෙහි වේදනාව උන්වහන්සේ බොහෝ දුරට දැනසිටියා විය හැක. (යොහන් 19:25-27 සසඳන්න.) යේසුස්වහන්සේට ආයාචනා කරන්ට මෙම වැන්දඹුවට අවශ්‍ය වූයේ නැත. සැණකින්ම, “උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක.” මෙය කරන ලද්දේ, මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ, යමෙක් මළමිනියකට අතගැසීම එම තැනැත්තාව අපවිත්‍ර වේය යන කාරණය අභිබවාය. (ගණන් කථාව 19:11) තම ප්රාතිහාර්යමය බලයන් තුළින්, යේසුස්වහන්සේට, අපවිත්‍රකමේ නියම ප්රභවය ඉවත්කරන්ට පුළුවන් විය! උන්වහන්සේ මෙසේ පැවසූසේක: “යෞවනය, නැගිටපන්නැයි නුඹට කියමි. . . . එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු භාරදුන්සේක.”
දයානුකම්පාවේ මොනතරම් හදකලතන පාඩමක්ද! මෙම “අන්තිම දවස්වල” විදහා පෙන්වන ප්‍රේමය නැති, සුහද නොවන ආකල්ප ක්‍රිස්තියානීන් අනුකරණය නොකළ යුතුය. (2 තිමෝති 3:1-5) මීට පටහැනි ලෙස, 1 පේතෘස් 3:8 මෙසේ අවවාද කරයි: “අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද [මුදු මොළොක් දයානුකම්පාවද, NW] . . . ඇතුව සිටපල්ලා.” අපේ හිතෛශියෙකු මරණයට හෝ බරපතළ අසනීපයකට ගොදුරු වන විට, නැවත නැගිටීමක් කිරීමට හෝ අසනීප තැනැත්තාව සුව කිරීමට හෝ අපට නොහැක. එහෙත්, සමහරවිට එහි සිටීමෙන් සහ ඔවුන් සමඟ වැළපීමෙන් ප්‍රායෝගික ආධාර සහ සැනසීම දීමට අපට හැක.—රෝම 12:15.
යේසුස්වහන්සේ විසින් සිදු කරන ලද මෙම විස්මයජනක නැවත නැගිටීම අනාගතයට—එනම්, “සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, . . . පිටත්ව” එන කාලයකට යොමු දක්වයි. (යොහන් 5:28, 29) තමන් වෙතින් වියෝවූ මව්වරුන්, පියවරුන්, දරුවන් හා මිත්‍රයන් මිනී වළෙන් නැවත එන කල, ලොව වටා සිටින වියෝ දුකින් වැළපෙන්නන් යේසුස්වහන්සේගේ දයානුකම්පාව පෞද්ගලිකව අද්දකිනවා ඇත.
ප්රාතිහාර්යවල පාඩම්
එසේනම්, යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන් යනු බලයේ චමත්කාරජනක ප්‍රදර්ශනයකට වඩා වැඩි යමක් බව පැහැදිලිය. “දෙවියන්වහන්සේට ගෞරවකරන” ලෙස ඉල්ලා සිටිනු ලබන ක්‍රිස්තියානීන් සඳහා රටාවක් තබමින්, ඒවා දෙවියන්වහන්සේට ගෞරව ගෙනාවේය. (රෝම 15:5) යහපත්කම් කිරීමටද, ත්‍යාගශීලිත්වය පෙන්වීමටද, දයානුකම්පාව විදහාපෑමටද, ඒවායින් දිරිගන්වන ලදි. වඩාත් වැදගත් ලෙස, ඒවා ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලනය තුළ කරනු ලබන බලවත් ක්‍රියාවල පූර්වාදර්ශයක් ලෙස ක්‍රියා කළේය.
පොළොව මත සිටි විට, යේසුස්වහන්සේ, සිය බලවත් ක්‍රියා කළේ, සාපේක්ෂ වශයෙන් කුඩා ප්‍රදේශයක සීමා තුළය. (මතෙව් 15:24) තේජසට පත් කරන ලද රජු වශයෙන්, උන්වහන්සේගේ පාලන තන්ත්රය පොළොව පුරා විහිදෙනු ඇත! (ගීතාවලිය 72:8) එදා, උන්වහන්සේගේ ප්රාතිහාර්යමය සුව කිරීම් හා නැවත නැගිටීම් ලැබූ අය අවසානයේදී මියගියහ. උන්වහන්සේගේ ස්වර්ගික රාජතන්ත්‍රය යටතේ, සදාකාල ජීවිතයකට මාර්ගය විවෘත කරමින්, පාපය හා මරණය සහමුලින්ම ඉවත් කරනු ලබනවා ඇත. (රෝම 6:23; එළිදරව් 21:3, 4) එසේය, යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන් තේජාන්විත අනාගතයක් තිබෙන්ට යන බවට අඟවයි. මෙහි කොටසක් වීමේ සැබෑ බලාපොරොත්තුවක් වර්ධනය කරගැනීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මිලියන ගණනකට උපකාර කර ඇත්තාහ. එම කාලය පැමිණෙන තෙක්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රාතිහාර්යවලින් සපයා ඇත්තේ මොනතරම් පුදුමාකාර පූර්වානුභවයක්ද!
[7වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ වතුර මුද්‍රිකපානය බවට හරවනසේක