29වන පරිච්ඡේදය
‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය දැනගන්න’
1-3. (අ) සිය පියාණන් මෙන් වීම සඳහා යේසුස්ව පෙලඹවූයේ කුමක්ද? (ආ) අප දැන් සෝදිසි කිරීමට යන්නේ යේසුස්ගේ ප්‍රේමයේ කිනම් මුහුණත්ද?
කුඩා දරුවෙක් තමාගේම පියා මෙන් වන්නට වෑයම් දරනවා ඔබ කවදා හෝ දැක තිබෙනවාද? ඔහු තමාගේ පියා ඇවිදින, කතා කරන හෝ ක්‍රියා කරන සැටි අනුකරණය කරනවා විය හැකියි. කල් යත්ම, මේ දරුවා සිය පියාගේ සදාචාර හා ආත්මික සාරධර්මද උරාගන්නවා වන්ට පුළුවනි. ඔව්, පුතෙකුට තම පියා කෙරෙහි තිබෙන ප්‍රේමය හා අගය කිරීම නිසාම පුතාට වුවමනා වන්නේ තාත්තා මෙන් වීමටයි.
2 යේසුස් සහ සිය ස්වර්ගික පියාණන් අතර තිබූ සම්බන්ධය ගැන කුමක් කියන්න පුළුවන්ද? ‘මා පියාණන්ට ප්‍රේම කරනවා’ කියා යේසුස් එක් අවස්ථාවක පැවසුවා. (යොහන් 14:31) යෙහෝවාගේ පුත්‍රයා තරම් ඔහුට ප්‍රේම කරන්නට කිසිවෙකුට බැහැ. මන්දයත් වෙන කිසි ජීවියෙකු මවනු ලැබීමට බොහෝ කලකට පෙරයි මේ පුත්‍රයා සිය පියා සමඟ සිටියේ. මෙම භක්තිමත් පුත්‍රයාව සිය පියා මෙන් වීමට පෙලඹවූයේ මේ ප්‍රේමයයි.—යොහන් 14:9.
3 මෙම පොතේ කලින් පරිච්ඡේදවල අපි සාකච්ඡා කළා, යේසුස් යෙහෝවාගේ බලය, යුක්තිය හා ප්‍රඥාව පරිපූර්ණ ලෙස අනුකරණය කළේ කෙසේද කියා. එහෙත්, යේසුස් සිය පියාණන්ගේ ප්‍රේමය පිළිබිඹු කළේ කොහොමද? මෙහිදී අපි යේසුස්ගේ ප්‍රේමයේ මුහුණත් තුනක් ගැන සෝදිසි කර බලමු. ඒවා නම්, ඔහුගේ ආත්ම පරිත්‍යාගී ස්වභාවය, ඔහුගේ මුදු මොළොක් දයානුකම්පාව සහ සමාව දීමට ඔහු තුළ තිබූ කැමැත්තයි.
‘මීට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත’
4. මිනිසෙකු විසින් පෙන්විය හැකි ආත්ම පරිත්‍යාගී ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ආදර්ශය යේසුස් විසින් තැබුවේ කොහොමද?
4 ආත්ම පරිත්‍යාගී ප්‍රේමය සම්බන්ධව යේසුස් විදහාපෑවේ කැපීපෙනෙන ආදර්ශයක්. ආත්ම පරිත්‍යාගය කීමෙන් අදහස් කරන්නේ තමාට වඩා අනුන්ගේ අවශ්‍යතා සහ ඕනෑ එපාකම් පරාර්ථකාමීව පෙරට තැබීමයි. යේසුස් එවන් ප්‍රේමයක් පැහැදිලිව පෙන්නුම් කළේ කොහොමද? ඔහුම පැහැදිලි කළේ මෙහෙමයි. “යමෙක් තම මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් [උතුම්, NW] ප්‍රේමයක් කිසිවෙකුට නැත.” (යොහන් 15:13) යේසුස් තම පරිපූර්ණ ජීවිතය අප උදෙසා කැමැත්තෙන්ම දුන්නා. එය මෙතෙක් යම් මිනිසෙකු විසින් පෙන්වන ලද ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශයයි. ඒ විතරක් නෙවෙයි, වෙනත් ක්‍රමවලින්ද යේසුස් සිය ආත්ම පරිත්‍යාගී ප්‍රේමය පෙන්නුම් කළා.
5. ස්වර්ගය අතහැර පැමිණීම දෙවිගේ ඒක ජාතක පුත්‍රයාගේ පැත්තෙන් සිදු වූ ප්‍රේමනීය පරිත්‍යාගයක් වූයේ මන්ද?
5 දෙවිගේ මෙම ඒක ජාතක පුත්‍රයාට, මිනිසෙකු ලෙස මෙලොවට පැමිණීමට පෙර ස්වර්ගයේ තිබුණේ අතිවිශේෂ වූ උසස් වූ වරප්‍රසාද ලත් තත්වයක්. යෙහෝවා සමඟත් අතිමහත් සංඛ්‍යාත ආත්ම මැවිලි සමඟත් ඔහුට ඉතා කිට්ටු ඇසුරක් තිබුණා. මේ පෞද්ගලික ප්‍රයෝජන මොනවා තිබුණත් මෙම සෙනෙහෙබර පුත්‍රයා “ඒ සියල්ල බැහැර කොට, වහලෙකුගේ ස්වරූපය ගෙන මිනිසුන් හා සමාන වීමට පැමිණියා.” (පිලිප්පි 2:7, NW) “නපුරා තුළ” තිබූ ලෝකයක විසූ පව්කාර මිනිසුන් මැද ජීවත් වීමට ඔහු ආවේ සිය කැමැත්තෙන්මයි. (1 යොහන් 5:19) එය දෙවිගේ පුත්‍රයාගේ පැත්තෙන් කරන ලද ප්‍රේමනීය පරිත්‍යාගයක් නොවේද?
6, 7. (අ) යේසුස් සිය භූමික දේවසේවය අතරතුරේදී, ආත්ම පරිත්‍යාගී ප්‍රේමය පෙන්වූයේ කිනම් ආකාරවලින්ද? (ආ) යොහන් 19:25-27හි වාර්තා වී ඇත්තේ පරාර්ථකාමී ප්‍රේමය ගැන කිනම් හද උණුසුම් කරවන ආදර්ශයක්ද?
6 සිය භූමික දේවසේවය මුළුල්ලේම, යේසුස් විවිධ ආකාරවලින් ආත්ම පරිත්‍යාගී ප්‍රේමය පෙන්නුවා. ඔහු මුළුමනින්ම පරාර්ථකාමී පුද්ගලයෙක්. ඔහු සිය දේවසේවයට කොතරම් ඇලී සිටියාද කියතොත්, මිනිසුන් හුරුපුරුදුව සිටි සාමාන්‍ය සැප පහසුකම් පවා පරිත්‍යාග කළා. ඔහු පැවසුවේ මෙසේයි. “හිවලුන්ට බෙන තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැනක් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තැබීමට තැනක් නැත.” (මතෙව් 8:20) දක්ෂ වඩුවෙකුව සිටි යේසුස්ට තමාටම කියා සුවපහසු ගෙයක් හදාගන්නට කාලය මිඩංගු කරන්නට තිබුණා. නැත්නම් අමතර ආදායමක් ලබාගත හැකි වන පිණිස අලංකාර ගෘහ භාණ්ඩ හදන්නට හැකිකම තිබුණා. නමුත් ද්‍රව්‍යමය දේවල් අත් කරගැනීමට ඔහු තම දක්ෂතා යොදාගත්තේ නැහැ.
7 යේසුස්ගේ ආත්ම පරිත්‍යාගී ප්‍රේමය පිළිබඳ සැබවින්ම හද උණුසුම් කරවන අද්දැකීමක් යොහන් 19:25-27හි වාර්තා වෙනවා. සිය මරණය සිදුවීමට තිබූ ඒ පස්වරුවේ යේසුස්ගේ මනසෙත් හදවතෙත් තිබූ බොහෝ දේවල් ගැන නිකම් සිතා බලන්න. වධ කණුවේ වේදනා විඳිමින් සිටින විටද ඔහු සැලකිලිමත් වූයේ තමන්ගේ ගෝලයන් ගැනයි, දේශනා වැඩය ගැනයි, ඒ වගේම විශේෂයෙන් තමාගේ අඛණ්ඩතාව හා එය සිය පියාණන්ගේ නාමය කෙරෙහි බලපාන ආකාරය ගැනයි. ඇත්ත වශයෙන්ම, මුළු මිනිස් සංහතියේම අනාගතය රැඳී තිබුණෙත් ඔහුගේ කරපිට! එහෙත්, සිය මරණයට මොහොතකට පෙර, පෙනෙන විදිහට ඒ වන විටත් වැන්දඹුවකව සිටි සිය මව වූ මරියා කෙරෙහිද ඔහු සැලකිල්ල දැක්වූවා. යේසුස් ප්‍රේරිත යොහන්ව අමතමින් මරියාව තමාගේම මව ලෙස රැකබලා ගන්නා මෙන් යොහන්ට පැවසූ අතර, ඉන් පසු එම ප්‍රේරිතවරයා මරියාව සිය නිවසට එක් කරගෙන ගියා. මෙසේ යේසුස් සිය මවව ශාරීරිකව හා ආත්මිකව රැකබලා ගැනීමට අවශ්‍ය කටයුතු පිළියෙළ කළා. කොතරම් මුදු මොළොක් ලෙස පරාර්ථකාමී ප්‍රේමය පෙන්වීමක්ද!
“අනුකම්පාවෙන් පෙලඹී”
8. යේසුස්ගේ දයානුකම්පාව විස්තර කිරීමට බයිබලය යොදාගන්නාවූ ග්‍රීක් වචනයේ තේරුම කුමක්ද?
8 සිය පියාණන් මෙන්ම යේසුස්ද ඉතා දයානුකම්පිත පුද්ගලයෙකු වුණා. ශුද්ධ ලියවිලි යේසුස්ව විස්තර කරන්නේ ඉතා ගැඹුරින් පෙලඹී දුක් කරදර මැද සිටි අය වෙත එළඹුණු කෙනෙකු ලෙසයි. යේසුස්ගේ දයානුකම්පාව ගැන විස්තර කිරීමට, “අනුකම්පාවෙන් පෙලඹී” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයක් බයිබලයේ යොදා තිබෙනවා. එක් විශාරදයෙක් පවසන පරිදි, “මිනිසෙකු තුළින් ඉතා ගැඹුරින්ම නිකුත් වන හැඟීම් . . . ඉන් විස්තර වෙයි. එය දයානුකම්පාවේ හැඟීම විස්තර කිරීමට යොදාගත හැකි ග්‍රීක් භාෂාවේ ප්රබලතම වචනයයි.” ගැඹුරු දයානුකම්පාවකින් පෙලඹී ක්‍රියා කිරීමට යේසුස්හට හේතු පාදක වූ ඇතැම් තත්වයන් ගැන දැන් අපි සලකා බලමු.
9, 10. (අ) යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් විසින් නිසසල ස්ථානයක් සෙවීමට හේතු වූයේ කිනම් තත්වයන්ද? (ආ) සමූහයා නිසා තමාගේ විවේකයට බාධා වූ විට යේසුස් ක්‍රියා කළේ කොහොමද? තවද ඒ මන්ද?
9 ආත්මික අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට පෙලඹී. යේසුස් සිය අනුකම්පාව පළ කිරීමට ප්‍රධාන වශයෙන් පෙලඹුණු හේතුව මාර්ක් 6:30-34හි දක්වා ඇති වාර්තාව පෙන්නුම් කරනවා. මේ දර්ශනය සිතේ මවාගන්න. ප්‍රේරිතයන් සිටියේ බොහෝ සෙයින් ප්‍රීති ප්රමෝදයට පත් වෙලා. මන්ද ඔවුන් මේ දැන් පුළුල් දේශනා සංචාරයක් නිමා කළා විතරයි. යේසුස් වෙතට යළි පැමිණි ඔවුන් තමන් ඇසූ දුටු සියල්ල ඔහුට උනන්දුමත් ලෙස වාර්තා කරන්නට වුණා. නමුත් ඒ වන කොට විශාල සමූහයක් රැස් වෙලයි සිටියේ. ඒ නිසා යේසුස්ටවත් ඔහුගේ ප්රේරිතයන්ටවත් කෑම කන්නටවත් වෙලාවක් තිබුණේ නැහැ. සෑමවිටම හොඳ නිරීක්ෂකයෙකු වූ යේසුස් දැක්කා මේ ප්‍රේරිතයන් හොඳටම හෙම්බත් වී සිටි බව. “නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්න” යයි ඔහු ඔවුන්ට පැවසුවා. ඔරුවට නැඟි ඔවුන්, ගලීල මුහුදේ උතුරු තීරුව දිගේ යාත්‍රා කොට නිසසල ස්ථානයකට පැමිණියා. නමුත් සමූහයා දැක්කා ඔවුන් පිට වී යනවා. මේ ගැන තවත් අයටත් ආරංචි වුණා. එකට එකතු වී මේ සියලුදෙනා කළේ ඔරුව ඒමට කලින් මුහුදේ උතුරු වෙරළ තීරුව දිගේ අනික් පැත්තට දිව යෑමයි!
10 තමාගේ විවේකයට බාධා කළායයි සිතමින් යේසුස් ඒ ගැන කුපිත වුණාද? කොහෙත්ම නැහැ! තමාව බලාපොරොත්තුවෙන් සිටි දහස් ගණනකින් යුත් එම සමූහයාව දුටු සැණින් ඔහුට ඔවුන් ගැන ඇති වූ හැඟීම කොයි තරම්ද! මාර්ක් ලීවේ මෙසේයි. “ඔහු . . . මහත් සමූහයක් සිටිනවා දුටුවේය. ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි හෙයින් ඔහු ඔවුන් ගැන අනුකම්පාවෙන් පෙලඹී, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය [NW].” යේසුස්ට පෙනුණේ මේ මිනිසුන් ආත්මික අවශ්‍යතා ඇති පුද්ගලයන් ලෙසයි. ඔවුන් සිටියේ හරියට අයාලේ යන අසරණ බැටළුවන් වගේ. ඔවුන්ට මඟ පෙන්වන්නටවත් ආරක්ෂා කරන්නටවත් එඬේරෙකු සිටියේ නැහැ. තමන් රැළ රැකබලා ගන්නා එඬේරුන් බව කියා සිටියද, කිසිම උණුසුම් හැඟීමක් නැති ආගමික නායකයන් විසින් පොදු ජනයාව නොසලකා හැර තිබුණු බව යේසුස් හොඳ හැටි දැන සිටියා. (යොහන් 7:47-49) ඔහුගේ හදවත ඇදී ගියේ ඔවුන් දෙසටයි. ඒ නිසා “දෙවිගේ රාජ්‍යය ගැන” ඔහු ඔවුන්ට උගන්වන්නට පටන්ගත්තා. (ලූක් 9:11) මෙහිදී ඔබ යම් වැදගත් කරුණක් සැලකිල්ලට ගත්තාද? ඒ තමයි, ඔහු ජනයා කෙරෙහි අනුකම්පාවෙන් පෙලඹුණේ තමා විසින් උගන්වන්නට යන දෙයට ඔවුන් දක්වන ප්‍රතිචාරය දැකීමටත් පෙරයි. වෙනත් වචනවලින් කියනවා නම්, මුදු මොළොක් දයානුකම්පාව කියන්නේ තමා විසින් ජනයාට ඉගැන්වීමෙන් ලැබූ ප්‍රතිඵලය නිසා යේසුස් තුළ ඇතිවූ හැඟීමක් නොවේ. ඒ වෙනුවට එය ඔහුව ක්‍රියා කිරීමට පෙලඹවූ චේතනාවයි.
11, 12. (අ) බයිබල් කාලවල විසූ ලාදුරු රෝගීන්ව සලකනු ලැබුවේ කෙසේද? නමුත් “මුළු ශරීරය පුරාම ලාදුරු රෝගය වැළඳුණු මිනිසෙක්” යේසුස් වෙත එළඹුණු විට, යේසුස් ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? (ආ) යේසුස්ගේ ස්පර්ශය ලාදුරු රෝගියාට කෙසේ බලපාන්නට ඇද්ද? එක් වෛද්‍යවරයෙකුගේ අද්දැකීම මගින් මෙම කාරණය සනාථ වන්නේ කොහොමද?
11 දුක නිවීමට පෙලඹී. නොයෙක් ලෙඩ රෝගවලින් පෙළුණු ජනයාට තේරුණා යේසුස් තුළ දයානුකම්පාව තිබූ බව. ඒ නිසයි ඔවුන් ඔහු වෙතට ඇදී ගියේ. යේසුස් පසුපස සමූහයා ඇදී ගිය එක් අවස්ථාවක මෙය පැහැදිලිව දකින්නට තිබුණා. මෙම අවස්ථාවේදී “මුළු ශරීරය පුරාම ලාදුරු රෝගය වැළඳුණු මිනිසෙක්” යේසුස් කරා පැමිණියා. (ලූක් 5:12, NW) බයිබල් කාලවල, ලාදුරු රෝගීන්ව වෙනත් අයට එම රෝගය බෝ වීමෙන් වළක්වාලීමට වෙන් කර තැබුවා. (ගණන් කථාව 5:1-4) කෙසේවෙතත්, කල් යත්ම, රබ්බි නායකයන් ලාදුරු රෝගීන් කෙරෙහි හිත් පිත් නැති ආකල්පයක් ඇති කරගත් අතර, ඔවුන් විසින්ම සාදාගත් දැඩි නීති පැනෙව්වා.a ඒ වුණත්, යේසුස් මේ ලාදුරු රෝගියාට ප්‍රතිචාර දැක්වූ අන්දම සැලකිල්ලට ගන්න. “තවද, ලාදුරු රෝගියෙක් ඔහු වෙතට ඇවිත්, දණින් වැටී බැගෑපත්ව අයැදමින්, ‘ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්’ යයි කීවේය. එවිට ඔහු අනුකම්පාවෙන් පෙලඹී, අත දිගු කොට ඔහු මත අත තබා, ‘මා කැමතියි. පවිත්‍ර වෙන්න’ යයි ඔහුට කීවේය. ඒ මොහොතේදීම ලාදුරු රෝගය ඔහු කෙරෙන් පහ වී, ඔහු පවිත්‍ර විය.” (මාර්ක් 1:40-42, NW) ලාදුරු රෝගියෙකු ඒ අවස්ථාවේ එතැන සිටීම නීතියට පටහැනි බව යේසුස් දැන සිටියා. එහෙත්, ඔහුව එතැනින් පිටමං කරනවා වෙනුවට, යේසුස් කොතරම් ගැඹුරින් පෙලඹුණාද කියතොත්, කිසිවෙකුට සිතාගන්නටවත් බැරි දෙයක් කළා. ඒ ඔහු පිට අත තැබීමයි!
12 යේසුස් එම ලාදුරු රෝගියා මත අත තැබූ වේලාවේ ඔහුට කොයි වගේ හැඟුණාද කියා ඔබට සිතාගන්නට පුළුවන්ද? මෙය නිදර්ශනය කිරීමට එක් අද්දැකීමක් ගැන සලකා බලන්න. එක් ලාදුරු රෝග විශේෂඥයෙකු වූ පෝල් බ්‍රෑන්ඩ් නමැති වෛද්‍යවරයා, තමා ඉන්දියාවේදී ප්‍රතිකාර කළ එක් ලාදුරු රෝගියෙක් ගැන පවසනවා. රෝගියාව සෝදිසි කරන වේලාවේදී ඔහුගේ උරහිසට අත තැබූ වෛද්‍යවරයා, භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් රෝගියාට පැහැදිලි කළා ඔහු ලබන්නට යන ප්‍රතිකාරය ගැන. එකපාරටම, ලාදුරු රෝගියා වැලපෙන්නට පටන්ගත්තා. “මං මොනවා හරි වැරදි දෙයක් කිව්වද?” කියා වෛද්‍යවරයා විමසන්නට වුණා. මේ තරුණයාගේ භාෂාවෙන් ඒ ගැන විමසූ පසු භාෂා පරිවර්තකයා වෛද්‍යවරයාට මෙහෙම කිව්වා. “නැහැ, ඩොක්ටර්. ඔහු අඬන්නේ ඔබ ඔහුගේ උරහිස මත ඔබේ අත තැබූ නිසයි. ඔහු මෙහාට එන තුරු කිසිම කෙනෙක් අවුරුදු ගණනාවකට ඔහුව අල්ලලා නැහැ.” නමුත් යේසුස් වෙත එළඹුණු ඒ ලාදුරු රෝගියාව ඔහු විසින් ඇල්ලූ විට ඒ තුළ තිබූ අර්ථය ඊට වඩා බොහෝ සෙයින් උතුම් එකක් වුණා. එක් වරක් එසේ ස්පර්ශ කිරීමෙන්, ඔහුව සමාජයෙන් කොන් කළ ඒ රෝගය දුරු වී ගියා!
13, 14. (අ) නායින් නුවරට ළඟා වෙත්ම යේසුස්ගේ නෙත ගැටුණේ කිනම් පෙරහැරක්ද? මෙය විශේෂයෙන් ශෝචනීය අවස්ථාවක් වූයේ ඇයි? (ආ) යේසුස්ගේ දයානුකම්පාව ඔහුව පෙලඹවූයේ නායින්හි මෙම වැන්දඹුව වෙනුවෙන් කිනම් ක්‍රියා මාර්ගයක් ගැනීමටද?
13 ශෝකය පහ කිරීමට පෙලඹී. මිනිසුන් ශෝකයෙන් සිටිනවා දුටු යේසුස් ඉතා ගැඹුරින් පෙලඹී ක්‍රියා කළා. නිදසුනක් වශයෙන්, ලූක් 7:11-15හි [NW] සඳහන් වාර්තාව සලකා බලන්න. එම සිද්ධිය සිදු වූයේ ඔහුගේ දේවසේවා කාලයෙන් අඩක් පමණ ගෙවුණායින් පසු, යේසුස් ගලීලයේ නායින් නුවර මායිම්වලට ළඟා වෙද්දීයි. යේසුස් නායින් නුවර දොරටුව අසලට ළඟා වෙනවාත් සමඟම, අවමංගල පෙරහැරක් ඔහුගේ නෙත ගැටුණා. මෙම මරණයට අදාළ තත්වයන් දෙස බලද්දී එය ඉතා ඛේදනීය අවස්ථාවක් ලෙස හඳුන්වන්ට පිළිවන්. පවුලක එකම තරුණ පුතා මිය ගොස්. ඔහුගේ මව වැන්දඹුවක්. මීට පෙර වතාවකත් ඇය මෙවැනිම අවමංගල පෙරහැරක ගියා. ඒ ඇගේ සැමියා මිය ගිය අවස්ථාවේදීයි. දැන් ඇගේ එකම පුතා, සමහරවිට ඇයව බලාගන්න සිටි එකම පුතාත් මිය ගිහින්. තවද, ඇය සමඟ මෙම පෙරහැරේ ගමන් කළ අය අතර, විලාප ගී ගයමින් කුලියට අඬන වැලපෙන අය සහ ශෝබර සංගීත තනු වයමින් සිටි අයත් සිටියා වෙන්නට පුළුවන්. (යෙරෙමියා 9:17, 18; මතෙව් 9:23) කෙසේවෙතත්, යේසුස්ගේ තියුණු ඇස එල්ල වී තිබුණේ තම මිය ගිය පුතාගේ දෙණ අසලටම වී ගමන් කරමින් අධික ශෝකයෙන් වැලපෙමින් සිටි මව වෙතටයි.
14 මේ වැලපෙන අම්මා කෙරෙහි යේසුස් ‘අනුකම්පාවෙන් පෙලඹුණා.’ සැනසිලිදායක කටහඬකින් ඔහු ඇයට කීවේ, “හැඬීම නවත්වන්න” කියායි. කිසිම ආරාධනාවකින් තොරව ඔහු දෙණ වෙතට ගොස් එයට අත ගැසුවා. දෙණ උසුලාගෙන යන්නන් මෙන්ම, සමහරවිට සමූහයා අතර සිටි සෙස්සන්ද නැවතුණා. මිය ගොස් සිටි තරුණයාව අමතමින්, “තරුණය, නැඟිටින්නැයි මම ඔබට කියමි!” යනුවෙන් නිසැකකමක් ඇතුව යේසුස් මහ හඬකින් කතා කළා. ඊළඟට සිදු වූයේ කුමක්ද? ‘එවිට මියගොස් සිටි මිනිසා හිඳගෙන කතා කරන්නට පටන්ගත්තේ’ හරියට ගැඹුරු නින්දකින් අවදි වූ කෙනෙක් වගේ! ඊළඟට අපට කියවන්නට තිබෙන්නේ ඉතාමත් හැඟීම්බර ප්‍රකාශයක්. “යේසුස් ඔහුව සිය මවට භාර දුන්නේය.”
15. (අ) යේසුස් අනුකම්පාවෙන් පෙලඹුණු බව කියන බයිබල් වාර්තා මගින් දයානුකම්පාව හා ක්‍රියාව අතර තිබෙන සම්බන්ධය ගැන කියා පාන්නේ කුමක්ද? (ආ) මේ සම්බන්ධව යේසුස්ව අනුකරණය කිරීමට අපට හැක්කේ කොහොමද?
15 අපට මේ වාර්තාවලින් ඉගෙනගත හැකි දේවල් මොනවාද? මේ සෑම තත්වයකදීම, දයානුකම්පාව සහ ක්‍රියාව එකිනෙකට සම්බන්ධ වූ ආකාරය සැලකිල්ලට ගන්න. අනුන්ගේ දුක දැක්ක හැම විටකම, යේසුස් අනුකම්පාවෙන් පෙලඹුණා. ඒ වගේම දයානුකම්පාවක් දැනුණ හැම විටකම ඔහු ඒ ගැන මොනවා හරි කළා. අපට මේ ආදර්ශය අනුගමනය කරන්නට හැක්කේ කොහොමද? ක්‍රිස්තියානීන් වශයෙන් අපට ශුභාරංචිය දේශනා කරන්නටත් ගෝලයන් සාදන්නටත් වගකීමක් තියෙනවා. මූලික වශයෙන් ගත්තොත්, අප මෙය කිරීමට පෙලඹෙන්නේ දෙවි කෙරෙහි ඇති ප්‍රේමය නිසයි. එහෙත්, මෙය මතක තබාගන්න. එනම් මෙය මනුෂ්‍යයන් කෙරෙහි අපට ඇති දයානුකම්පාව නිසාත් කරන වැඩක්. යේසුස්ට හැඟුණාක් මෙන් අපටත් මිනිසුන් කෙරෙහි හැඟීම් ඇති වන විට, ඔවුන් සමඟ ශුභාරංචිය බෙදාගන්නට අපට හැකි සියල්ලම කිරීමට අපගේ හදවත් අපව පොලඹවාවි. (මතෙව් 22:37-39) ඒ වගේම දුක් වේදනා විඳින හෝ ශෝකයෙන් ලත වෙන සෙසු ඇදහිලිවන්තයන්හට දයානුකම්පාව පෙන්වීම ගැන කුමක් කිව හැකිද? ශාරීරික දුක් වේදනාවන් ප්රාතිහාර්යමය ලෙස සුව කරන්නට හෝ මළවුන්ව නැඟිටුවන්නට අපට බැහැ. කෙසේවෙතත්, අපගේ සැලකිල්ල පෙන්වමින් දයානුකම්පාව ක්‍රියාවට පෙරළන්නට හෝ සුදුසු ප්‍රායෝගික උපකාරය සැපයීමට අපට පුළුවන්.—එපීස 4:32.
‘පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න’
16. යේසුස් වධ කණුව මත සිටින විට පවා, සමාව දීමට ඔහු තුළ වූ කැමැත්ත පැහැදිලිව දකින්ට ලැබුණේ කොහොමද?
16 යේසුස් සිය පියාණන්ගේ ප්‍රේමය පරිපූර්ණ ලෙස තවත් වැදගත් ආකාරයකින් පිළිබිඹු කළා. ඔහු එය කළේ ‘කමාවීමට සූදානම්ව’ සිටීමෙන්. (ගීතාවලිය 86:5) වධ කණුව මත සිටින විට පවා මේ උදාර කැමැත්ත පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ඔහුගේ අත් හා පාදවලට ඇණ ගසා එල්ලා, ඉතා ලජ්ජාසහගත මරණයකට තීන්දු කරනු ලැබුවායින් පසුව පවා, යේසුස් කතා කළේ කුමක් සම්බන්ධයෙන්ද? තම ඝාතකයන්ට දඬුවම් කරන්නැයි කියා ඔහු යෙහෝවාට මොර ගැසුවාද? නැහැ.ඔහු අන්තිමට පැවසූ වචන අතර මේවාද වුණා. ‘පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න. මක්නිසාද ඔවුන් කරන්නේ මොකක්ද කියා ඔවුහු නොදනිති.’—ලූක් 23:34.b
17-19. තමාව තුන් වරක්ම නාඳුනන බව ප්‍රකාශ කළත්, යේසුස් ප්‍රේරිත පේතෘස්ට සමාව දුන් බව පැහැදිලිව පෙන්වූයේ කොහොමද?
17 යේසුස් ප්‍රේරිත පේතෘස් සමඟ කටයුතු කළ ආකාරයෙන්ද සමාව දීම පිළිබඳව ඔහු තැබූ ඊටත් වඩා සිත් ඇදගන්නා ආදර්ශයක් අපට දැකගත හැකියි. පේතෘස් තුළ යේසුස් කෙරෙහි ඉමහත් ආදරයක් තිබූ බවට කිසිදු සැකයක් නැහැ. යේසුස්ගේ ජීවිතයේ අන්තිම දිනය වන නීසාන් 14වනදා රාත්‍රියේ, පේතෘස් ඔහුට පැවසුවේ මෙයයි. “ස්වාමිනි, ඔබ සමඟ හිරගෙටත් මරණයටත් යන්ට සූදානම්ව සිටිමි.” එහෙත්, ඊට පැය ස්වල්පයකට පසුව, පේතෘස් යේසුස්ව තුන් වරක්ම ප්‍රතික්ෂේප කළේ තමන් ඔහුව දන්නේවත් නැතැයි කියමින්! පේතෘස් තමා විසින් යේසුස්ව නාඳුනන බවට පැවසූ තුන්වන අවස්ථාවේදී සිදු වූ දේ ගැන බයිබලය අපට කියන්නේ මෙයයි. “ස්වාමීන් හැරී පේතෘස් දෙස බැලුවේය.” තමාගේ පාපයේ බරපතළකම වටහාගත් පේතෘස් “පිටතට ගොස් බලවත් දුකින් හැඬුවේය.” පසුව, යේසුස් එදින සවස මිය ගිය විට, එම ප්‍රේරිතයා මෙසේ සිතන්නට ඇති. ‘මගේ ස්වාමින් මට සමාව දුන්නාද?’—ලූක් 22:33, 61, 62.
18 මෙයට පිළිතුරක් ලබාගැනීමට පේතෘස්ට බොහෝ කාලයක් බලා සිටීමට සිදු වුණේ නැහැ. යේසුස්ව නැවත නැඟිටුවනු ලැබුවේ නීසාන් 16වැනිදා උදෑසනයි. තවද පෙනෙන විදිහට ඒ දවසේම, ඔහු පේතෘස්ව පෞද්ගලිකව බලන්නට ගියා. (ලූක් 24:34; 1 කොරින්ති 15:4-8) තමාව නාඳුනන බව මෙතරම් දැඩි සේ ප්‍රකාශ කළාවූ ප්‍රේරිතවරයා කෙරෙහි යේසුස් විශේෂ අවධානයක් දුන්නේ ඇයි? පසුතැවිල්ලෙන් සිටි පේතෘස්ට සිය ස්වාමියා විසින් තවමත් ප්‍රේම කරනු ලබන බවත් ඔහුව අගය කරනු ලබන බවත් සහතික කිරීමට යේසුස්ට වුවමනා වුණා විය හැකියි. නමුත් පේතෘස්ව අස්වසාලීම පිණිස ඊටත් වඩා දේ කිරීමට යේසුස්ට වුවමනා වුණා.
19 ඊට ටික කලකට පසුව, යේසුස් ගලීල මුහුද අසලදී ගෝලයන්ට දර්ශනය වුණා. මේ අවස්ථාවේදී, යේසුස්, තමාට ප්‍රේම කරනවාද කියා (තම ස්වාමියාව තුන් වරක් නාඳුනන බව ප්‍රකාශ කළ) පේතෘස්ගෙන් තුන් වතාවක් ප්‍රශ්න කළා. තුන්වන වතාවෙන් පසු, පේතෘස් පිළිතුරු දුන්නේ මෙහෙමයි. “එසේය, ස්වාමිනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නේය.” ඇත්ත වශයෙන්ම, අනුන්ගේ හදවත් ගැන දැනගත හැකිව සිටි යේසුස්, තමාට පේතෘස් දැක්වූ ආදරය හා සෙනෙහස ගැන හොඳින් දැන සිටියා. එහෙත්, මෙම ප්‍රේමය යළි සනාථ කිරීමට යේසුස් පේතෘස්ට අවස්ථාවක් දුන්නා. ඊටත් වඩා, තම ‘කුඩා බැටළුවන්ව රැකබලා ගැනීමට’ හා ‘පෝෂණය කිරීමට’ යේසුස් පේතෘස්ට පැවරුවා. (යොහන් 21:15-17, NW) මීට පෙරද, පේතෘස්ට දේශනා කිරීමට පැවරුමක් ලැබී තිබුණා. (ලූක් 5:10) නමුත් දැන්, ඉතා කැපීපෙනෙන අන්දමකින් පේතෘස් කෙරෙහි තම විශ්වාසය තහවුරු කරමින් යේසුස් කළේ තවත් බරපතළ වගකීමක් ඔහුට පැවරීමයි. එය නම් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත් වන අය රැකබලා ගැනීමයි. ඊට ටික කලකට පසු, තම ගෝලයන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කිරීමටද යේසුස් පේතෘස්ට පැවරුවා. (ක්‍රියා 2:1-41) යේසුස් තමාට සමාව දී තිබෙන බවත්, තවමත් තමාව විශ්වාස කරන බවත් පේතෘස්ට දැනගන්න ලැබීම ඔහුට මොනතරම් සැනසිල්ලක් වන්නට ඇද්ද!
ඔබ ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය දන්නවාද?’
20, 21. අපට මුළුමනින්ම ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය දැනගැනීමට’ හැක්කේ කොහොමද?
20 ඇත්ත වශයෙන්ම, යෙහෝවාගේ වචනය තුළ ක්‍රිස්තුස්ගේ ප්‍රේමය විස්තර කරන්නේ ඉතා අලංකාර විදිහටයි. එහෙත්, අප යේසුස්ගේ ප්‍රේමයට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කොහොමද? ‘දැනුම අභිභවා යන ක්‍රිස්තුස්ගේ ප්‍රේමය දැනගන්නා’ ලෙස බයිබලය අපෙන් උදක්ම ඉල්ලා සිටිනවා. (එපීස 3:19, NW [පැ. අ. 3:18]) අප දැක ඇති පරිදි, යේසුස්ගේ ජීවිතය හා දේවසේවය පිළිබඳ සුවිශේෂ වාර්තාව අපට ක්‍රිස්තුස්ගේ ප්‍රේමය ගැන බොහෝ දේ උගන්වනවා. කෙසේවෙතත්, මුළුමනින්ම ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය දැනගැනීම’ කියද්දී, බයිබලයේ ඔහු ගැන අපට කියන දේ ගැන ඉගෙනගැනීමට වඩා වැඩි යමක් ඇතුළත්.
21 ‘දැනගැනීමට’ යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් යෙදුමෙන් අදහස් කරන්නේ, “අද්දැකීමෙන් ප්‍රායෝගිකව” දැනගැනීමයි. යේසුස් ප්‍රේමය පෙන්වූ ආකාරයටම අපත් ප්‍රේමය පෙන්වන විට, එනම් වෙනත් අය වෙනුවෙන් අපවම පරාර්ථකාමීව දෙන විට, අනුන්ගේ අවශ්‍යතාවලට දයානුකම්පිතව ප්‍රතිචාරය දක්වන විට හා අපගේ හෘදයෙන්ම අනුන්ට සමාව දෙන විට තමයි ඔහුගේ හැඟීම් අපට අවංකව අගය කරන්නට හැකි වන්නේ. මේ අන්දමින්, ‘දැනුම අභිභවා යන ක්‍රිස්තුස්ගේ ප්‍රේමය දැනගැනීමට’ අපට හැකි වෙනවා. තවද අප වඩ වඩාත් ක්‍රිස්තුස්ට සමාන වන විට, අප වඩාත් ළං වන්නේ යේසුස් පරිපූර්ණ ලෙස අනුකරණය කළාවූ තැනැත්තා වන අපගේ ප්‍රේමනීය දෙවි වූ යෙහෝවා වෙතට බව කිසිදාක අමතක නොකරමු.
[පාදසටහන්වල]
a රබ්බිවරුන්ගේ නීතිවල සඳහන් වුණා කිසිම කෙනෙක් ලාදුරු රෝගියෙකුට රියන් හතරකට වඩා (අඩි හයකට) ළං නොවිය යුතු බව. සුළඟක් හමන්නේ නම්, එම ලාදුරු රෝගියාව අඩුම තරමින් රියන් 100ක් (අඩි 150ක් පමණ) ඈතින් රඳවා තැබිය යුතුව තිබුණා. එක් රබ්බිවරයෙක් ලාදුරු රෝගීන් දුටු විට සැඟවුණු බවත් තවත් කෙනෙක් ලාදුරු රෝගීන්ට ගල්වලින් දමා ගැසූ බවත් මිඩ්රාෂ් රබ්බාහ්හි පවසනවා. මෙසේ, තමන්ව කොන් කිරීමේ වේදනාවත්, පහත් කරනු ලැබ එපා කරනු ලැබීමේ ඒ කටුක හැඟීමත් ලාදුරු රෝගීන් හොඳින් දැන සිටියා.
b ලූක් 23:34හි පළමු කොටස සමහරක් ඉපැරණි පිටපත්වලින් ඉවත් කර තිබෙනවා. කෙසේවෙතත්, එය වෙනත් වලංගු පිටපත් බොහොමයක දක්නට ලැබෙන අතර, නව ලෝක පරිවර්තනයේ සහ වෙනත් පරිවර්තන ගණනාවකද අඩංගුයි. පෙනෙන විදිහට යේසුස් කතා කරමින් සිටියේ තමාව වධ කණුවේ ඇණගැසූ රෝම සොල්දාදුවන් ගැනයි. ඔවුන් දැනගෙන සිටියේ නැහැ ඔවුන් කරමින් සිටි දෙය. මන්ද ඔවුන් දැනගෙන සිටියේ නැහැ යේසුස් ඇත්තටම කවුද කියා. ඇත්තෙන්ම බරපතළ වැරදිකරුවන්ව සිටියේ යේසුස්ගේ ඝාතනය සැලසුම්සහගතව කුමන්ත්‍රණය කළ ආගමික නායකයනුයි. මන්ද ඔවුන් ක්‍රියා කළේ දැන දැනමයි, ඉතා කුරිරු විදිහටයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු කිසිම සමාවක් දිය හැකි තත්වයක සිටියේ නැහැ.—යොහන් 11:45-53.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
මතෙව් 9:35-38 යේසුස් අනුකම්පාව හෙවත් දයානුකම්පාව පෙන්වූයේ කිනම් විශේෂ ආකාරයෙන්ද? මෙය අප කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළ යුතුද?
යොහන් 13:34, 35 ක්‍රිස්තුස්ගේ ප්‍රේමය පිළිබිඹු කිරීම අපහට වැදගත් වනුයේ මන්ද?
රෝම 15:1-6 ක්‍රිස්තුස්ගේ පරාර්ථකාමී මානසික ආකල්පය අනුකරණය කිරීමට අපට හැක්කේ කොහොමද?
2 කොරින්ති 5:14, 15 මිදීමේ මිලය කෙරෙහි ඇති අපගේ අගය කිරීම අපගේ ආකල්ප සහ ජීවන රටාව කෙරෙහි කවර ආකාරයකින් බලපෑමක් ඇති කළ යුතුද?
[294වන පිටුවේ පින්තූරය]
‘ඔහු සිය අත දිගු කොට ඔහු මත අත තැබුවා’