“මුහුදේ උපද්‍රව”
අඳුරු රාත්‍රියේ, 276දෙනෙකු රැගත් නැවක් මධ්‍යධරණි මුහුදේ දූපතක් කරා යාත්‍රා කරමින් තිබේ. එහි නාවිකයන් හා මඟීන්, දින 14ක් පුරා හැමූ සැඩ කුණාටුව නිසා නැවේ එහාට මෙහාට විසි වෙමින් සෑහෙන වෙහෙසකට පත් වී සිටියි. අරුණෝදය උදාවත්ම බොක්කක පිහිටි වරායක් දකින ඔවුන් ගොඩට යාත්‍රා කරන්න වෙර දරයි. නමුත් කොහෙත්ම සෙලවිය නොහැකි වන සේ එහි ඇණිය සිර වන අතර, එහි අවර කැඩී බිඳී යයි. නැවේ සිටින සියල්ලෝම මුහුදට පැන පීනමින් හෝ ලෑලිවල නැත්නම් වෙනත් දේවල්වල එල්ලී හෝ මෙලීතයෙහි වෙරළ කරා පැමිණෙයි. ශීතලෙන් හා රළ පහරින් බැට කෑ ඔවුන්, වෙරළේ හැපෙන යෝධ රැළි අතරින් පිටතට පැමිණේ. මේ මඟීන් අතර ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්ද සිටියි. ඔහුව නඩු විභාගයක් සඳහා රෝමයට ගෙන යමින් තිබෙනවා.—ක්‍රියා 27:27-44.
පාවුල් සම්බන්ධයෙන් බලද්දී, මෙලීතය දූපත අසල මුහුදේදී නැව බිඳීම ඔහුට මුහුදේ අද්දකින්න සිදු වුණ පළමුවන බිහිසුණ අද්දැකීම නෙවෙයි. ඊට වර්ෂ කීපයකට පෙර ඔහු මෙසේ ලිව්වා: “තුන් වරක් නැව් බිඳී උපද්‍රවයට පැමුණුනෙමි, රාත්‍රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි.” ඔහු “මුහුදේ උපද්‍රව” වින්ද බවද තවදුරටත් පවසනවා. (2 කොරින්ති 11:25-27) “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්” වීම සඳහා දෙවි තමාට දුන් කාර්යභාරය ඉටු කිරීමට පාවුල්ට මුහුදෙන් ගමන් කිරීම උපකාරවත් වුණා.—රෝම 11:13.
මුල් සියවසේදී මුහුදු ගමන කෙතරම් පුළුල් එකක් වුණාද? ක්‍රිස්තු ධර්මය පතළ කිරීමට එය කුමන වැඩ කොටසක් ඉටු කළාද? එය ආරක්ෂා සහිත වුණේ කෙතරම් දුරකටද? මොන වගේ යාත්‍රාද යොදාගැනුණේ? එමෙන්ම මඟීන්ට පහසුකම් සැලසුවේ කෙසේද?
මුහුදුබඩ වෙළඳාමෙන් රෝමයේ අවශ්‍යතා සැපිරේ
රෝම ජාතිකයන්, මධ්‍යධරණි මුහුද හැඳින්නුවේ මෙය නෝස්ත්රම් කියලයි; එහි අදහස අපේ මුහුද යන්නයි. රෝමයට මුහුදු මාර්ගවල පාලනය වැදගත් වුණේ හමුදාමය හේතුවලට වඩා වැඩි දෙයක් සඳහායි. රෝම අධිරාජ්‍යය යටතේ පැවති නගරවල් බොහෝමයක් වරායන් හෝ අවට පිහිටි වරායන්වලින් ප්‍රයෝජන ලබන ඒවා වුණා. උදාහරණයක් වශයෙන්, රෝමය, ඒ අසල පිහිටි ඔස්ටියා නගරය වරාය ලෙස යොදාගත් අතර, කොරින්තිය ලෙකායම් සහ කෙංක්රය වරායන් ලෙස යොදාගත්තා. සිරියානු අන්තියෝකියට සිලුකියේ පිහිටි වරායෙන් ප්‍රයෝජන ලැබුණා. මෙම වරායන් අතර හොඳ මුහුදුබඩ සම්බන්ධතා තිබීම, ප්‍රධාන නගර සමඟ වේගවත් අදහස් හුවමාරුවක් සහතික කළ අතර රෝමානු පළාත්වල පරිපාලන කටයුතු සාර්ථකව කරගෙන යෑම වඩාත් පහසු කළා.
රෝමය තම ආහාර සපයාගැනීම සඳහාද නැව් කර්මාන්තය මත රඳාසිටියා. මිලියනයක පමණ ජනතාවකගෙන් යුත් රෝමයට විශාල ලෙස ධාන්‍ය අවශ්‍යව තිබුණා; වර්ෂයකට ටොන් 2,50,000ක් හා 4,00,000ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වුණා. අවශ්‍ය ධාන්‍ය ලැබුණේ කොහෙන්ද? ෆ්ලේවියස් ජොසීෆස්, IIවන හෙරොද් අග්‍රිපා පැවසූ දෙයක් උපුටා දක්වමින්, වර්ෂයකට මාස අටක් පුරා උතුරු අප්‍රිකාව රෝමයට ආහාර සැපයූ බවත්, අනික් මාස හතරේදී නගරයේ පෝෂණය සඳහා ප්‍රමාණවත් ධාන්‍ය ඊජිප්තුවෙන් සැපයූ බවත් පැවසුවා. යාත්‍රා දහස් ගණනක් එම නගරයට ධාන්‍ය සැපයුවා.
සුඛෝපභෝගි ජීවිතයක් සඳහා වූ රෝමානු ජාතිකයන්ගේ ආශාව ඉටු කරමින්, වැඩිදියුණු වෙමින් පැවති මුහුදුබඩ වෙළඳාම, සියලු ආකාර වෙළඳ බඩු සැපයුවා. කුප්රසයෙන්, ග්‍රීසියෙන් හා ඊජිප්තුවෙන් ඛණිජ වර්ග, ගල් වර්ග හා කිරිගරුඬ නැවෙන් ගෙනා අතර, ලෙබනන්වලින් ලී ප්රවාහණය කළා. ස්මර්ණයෙන් වයින්ද, දමස්කයෙන් කජු වර්ගද, පලස්තීනයෙන් රටඉඳිද ගෙන්වනු ලැබුවා. කිලිකියෙන් ආලේපනයන් හා රබර්ද, මිලේතසයෙන් හා ලවොදිකයෙන් ලොම්ද, සිරියාවෙන් හා ලෙබනන්වලින් රෙදිපිළිද, තියාතිරාවෙන් හා සීදොන්වලින් රත්නිල් පිළිද පටවා එව්වා. තියාතිරාවෙන් ඩයි වර්ගද, අලෙක්ෂන්ද්රියාවෙන් හා සීදොන්වලින් වීදුරුද එව්වා. සේද, කපු, ඇත්දළ හා කුළු බඩු චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වාගත්තා.
මෙලීතයේදී බිඳීගිය, පාවුල් සිටි නැව ගැන පැවසිය හැක්කේ කුමක්ද? එය “ඉතාලියට යන අලෙක්ෂන්ද්‍රියාවේ නැවක්” වූ ධාන්‍ය නැවක් වුණා. (ක්‍රියා 27:6) පෞද්ගලිකව ධාන්‍ය නැව් කාණ්ඩයක අයිතිකරුවන් වූ ග්‍රීක්වරුන්, ෆිනීෂියවරුන් හා සිරියවරුන් ඒවා මෙහෙයවූ අතර ඒවාට අවශ්‍ය දේවල්ද සැපයුවා. කෙසේනමුත්, රජය මගින් නැව් කුලියට ගත්තා. “එම විශාල සේවය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ, ඒවා ක්‍රියා කරවීමට අවශ්‍ය මිනිස්සු හා උපකරණ වැනි දේ ගැනීමට වඩා, බදු එකතු කළ ක්‍රමයටම, කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරවාගැනීම පහසු බව ආණ්ඩුව සොයාගත්තා” යයි ඉතිහාසඥ විලියම් එම්. රම්සේ පවසයි.
“නිඹුල් සොහොයුරු” යන සටහන සහිත නැවකින් රෝමයට ගිය ගමනින් පාවුල් තම යාත්‍රා කිරීම අවසන් කළා. මෙයත් අලෙක්ෂන්ද්‍රියාවේ නැවක්. සාමාන්‍යයෙන් ධාන්‍ය නෞකා නවත්වන වරායක් වූ නේප්ල්ස් බොක්කේ පොතියොලයේ නැව් තටාකයෙහි එය නැවැත්තුවා. (ක්‍රියා 28:11-13) රෝමයේ මධ්‍යම පළාතට, පොතියොලයේ සිට, එනම් නවීන දින පොසුඔලිවල සිට නැවේ බඩු ගොඩබිම දිගේ ඇදගෙන ගියා එහෙමත් නැත්නම් කුඩා යාත්‍රාවලින් මුහුදු තීරය ඔස්සේ උතුරටත්, එතැනින් ටයිබර් ගඟ දිගෙත් ගෙනගියා.
බඩු නැව්වල මඟීන්?
පාවුල් හා ඔහුව රැකවල්ලා සිටි සොල්දාදුවන් බඩු පැටවූ නැවක ගමන් කළේ ඇයි? ඒ ප්‍රශ්නයට උත්තර දීම සඳහා ඒ දවස්වල මඟියෙක් හැටියට මුහුදෙන් ගමන් කිරීමෙන් අදහස් කළේ කුමක්ද කියා අපි දැනගත යුතුයි.
පොදු යුගයේ මුල් සියවසේදී, මඟී නැව් තිබුණේ නැහැ. මඟීන් ගමන් කළේ වෙළඳ යාත්රාවලයි. එමෙන්ම රජයේ නිලධාරීන්, බුද්ධිමතුන්, දේශකයන්, මන්තරකාරයන්, කලාකරුවන්, ක්‍රීඩකයන්, වෙළෙන්දන්, සංචාරකයන් හා වන්දනා ගමන් යන්නන් යනාදි නානාවිධ ජනයා ඒවායේ ගමන් කළා විය හැකියි.
මුහුදු තීරයට ආසන්නයේ, මඟීන්ව හා බඩු ප්රවාහණය කළ කුඩා බෝට්ටු තිබුණ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ත්‍රෝවසයේ සිට ‘මකිදෝනියට යෑමේදී’ පාවුල් එවැනි කුඩා යාත්‍රාවකින් ගියා විය හැකියි. ඔහු කීපවතාවක්ම කුඩා නැව්වලින් අතීනසයට ගොස් නැවත පැමිණියා වෙන්න පුළුවන්. කුඩා ආසියාවේ මුහුදු තීරය අසල පිහිටි දූපත් පහු කරගෙන ත්‍රෝවසයේ සිට පතර දක්වා පාවුල් පසු කලෙක ගිය ගමනේදීද එවැනි කුඩා යාත්‍රා යොදාගත්තා විය හැකියි. (ක්‍රියා 16:8-11; 17:14, 15; 20:1-6, 13-15; 21:1) එවැනි කුඩා යාත්‍රාවලින් යෑමෙන් කාලය ඉතුරු වූ නමුත්, ඔවුන්ට දේශයෙන් වැඩි ඈතකට යන්න පුළුවන් වුණේ නැහැ. එබැවින් කුප්රසයටත්, එතැනින් පම්පිලියටත් පාවුල් ගිය නැව් මෙන්ම, ඔහු එපීසයේ සිට කායිසාරියටත්, පතරේ සිට තීර්ටත් ගිය නැව් සෑහෙන දුරකට විශාල ඒවා වෙන්න ඇති. (ක්‍රියා 13:4, 13; 18:21, 22; 21:1-3) මෙලීතයේදී පාවුල් නැව් බිඳීම අද්දුටු යාත්‍රාවත් විශාල එකක් කියා සැලකිය හැකියි. එවැනි නැව් කොයිතරම් විශාල විය හැකිද?
ශාස්ත්‍රීය ග්රන්ථ මූලාශ්‍ර, එක් උගතෙකුට මෙසේ පැවසීමට මඟ පෑදුවා: “පැරැන්නන්, සාමාන්‍යයෙන් ප්රයෝජනවත්යයි සැලකුව [නැවේ] අවම පැටවුම් බර ටොන් 70 සිට 80ක් විතර වුණා. හෙලනිස්තික යුගයේදී වැඩියෙන්ම භාවිතා වුණ ප්‍රමාණය වුණේ ටොන් 130ක්. සාමාන්‍යයෙන් ටොන් 250ක් අල්ලන නැවක් දකින්න තිබුණත්, එය සාමාන්‍ය ප්‍රමාණයේ එකකට වඩා අනිවාර්යයෙන්ම විශාල වුණා. රෝම පාලන සමයේදී රාජ්‍ය ප්‍රවාහණ සේවය සඳහා යොදාගත් නැව් ඊටත් වඩා විශාල, හොඳ ඉඩ ප්‍රමාණයක් තිබූ ටොන් 340ක් අල්ලන ඒවා වුණා. යාත්‍රා කළ විශාලතම නැව් ටොන් 1,300ක් නැතහොත් ඊට වඩා ටිකක් විශාල ඒවා වෙන්න පුළුවන්.” පොදු යුගයේ දෙවන සියවසේදී ලියූ විස්තරයකට අනුව, අලෙක්ෂන්ද්‍රියාවේ ධාන්‍ය ගෙන ගිය අයිසිස් නැව මීටර් 55කට වඩා දිග, මීටර් 14ක් පමණ පළල් වූ අතර, එහි මීටර් 13ක් පමණ ගැඹුරු බඩු ගබඩාවක් තිබුණා. මෙය සමහරවිට ධාන්‍ය ටොන් දාහකට වඩා වැඩියෙන් මෙන්ම මඟීන් දෙතුන්සීයක් ගෙන යා හැකි නැවක් වෙන්න ඇති.
ධාන්‍ය නැවක ගමන්ගන්නන්ට සලකනු ලැබුවේ කෙසේද? මූලික වශයෙන් නැව් යොදාගත්තේ බඩු ගෙන යෑමට බැවින්, මඟීන්ට ලැබුණේ කුඩම්මගේ සැලකිලියි. ඔවුන්ට සැපයුවේ වතුර පමණයි; ආහාර හෝ වෙනත් සේවාවන් සැපයුවේ නැහැ; ඔවුන් නිදාගත්තේ නැවේ එළිමහනට නිරාවරණය වන බිමේ, සමහරවිට රාත්රියේදී අටවාගත් කූඩාරමක් වැනි ආවරණයක සෙවණේ වන අතර සෑම උදේකම ඒවා ඉවත් කළ යුතුව තිබුණා. ගමන්ගන්නන්ට එහි ඉවුම් පිහුම් කරන ස්ථානය පාවිච්චි කරන්න ඉඩ දුන්නා විය හැකි වුවත්, ඉවීමට, කෑමට, නෑමට හා නිදාගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම, එනම් හැළිවළඳේ ඉඳලා නිදන ඇතිරිල්ල දක්වා සෑම දෙයක්ම ඔවුන් ගෙනා යුතු වුණා.
මුහුදු ගමන කොතරම් ආරක්ෂා සහිතද?
උපකරණ හිඟව තිබුණු, මාලිමා යන්ත්‍රයක් පවා නොතිබුණු පළමු සියවසේදී නැවියන් යාත්‍රාව ක්‍රියාත්මක කළේ ඇසින් දුටු දේවලින් පමණයි. එබැවින්, වඩාත් හොඳින් ආලෝකය තිබූ කාලයේදී, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මැයි අගභාගයේ සිට සැප්තැම්බර් මැදභාගය දක්වා කාලයේදී ගමන් කිරීමයි හොඳම දේ වුණේ. ඒ කාලයට පෙර හා පසු මාස දෙකේදී වෙළඳ නැව් යාත්‍රා කළා විය හැකි වුණත් එය අවදානම් සහිත වුණා. නමුත් බොහෝවිට ශීත කාලයේදී, මීදුමෙන් හා වලාකුළුවලින් මාර්ග සලකුණු වැසී ගිය අතර, දවල් කාලයේදී හිරුඑළියත්, රාත්රියේදී තරුත් නොපෙනී ගියා. නොවැම්බර් 11වනදා සිට මාර්තු 10වනදා දක්වා අත්‍යවශ්‍යම කාරණාවකට හෝ හදිසිතාවකට හැර නැව් ගමන වසා (ලතින්, මේය ක්ලෝසම්) තිබුණු බව සලකනු ලැබුවා. යාත්‍රා කරන සමයේ අවසාන භාගයේදී ගමන අරඹන්නන්, විදේශ වරායක ශීත ඍතුව ගත කිරීමට සිදුවීමේ අවදානමට ලක් වුණා.—ක්‍රියා 27:12; 28:11.
විපත්ති ඇති වුණත්, යම් කාලයකට පමණක් ගමන් කරන්න සිදු වුණත්, ගොඩබිමෙන් ගමන් කරනවාට වඩා නැව්වලින් යාත්‍රා කිරීම වාසිදායක වුණාද? ඇත්තෙන්ම ඔව්! මුහුදෙන් ගමන් කිරීම අඩු වෙහෙසක්, වැඩි ලාභයක් හා වඩාත් ඉක්මන් ගමනක් වුණා. හුළං හිතකරව හමද්දී, නැවකට සමහරවිට දිනකදී කිලෝමීටර් 150ක දුරක් යා හැකියි. සාමාන්‍යයෙන් දිනකට වැඩියෙන්ම පයින් ගමන් කරන්න පුළුවන් වුණේ කිලෝමීටර් 25 සිට 30ක දුරක්.
යාත්‍රා කිරීමේ වේගය මුළුමනින්ම පාහේ රඳාපැවතුණේ සුළඟ මතයි. විරුද්ධ අතට සුළං හමන අවස්ථාවලදී, යාත්‍රා කිරීමට සුදුසු කාලයේදී පවා, ඊජිප්තුවේ සිට ඉතාලිය දක්වා ගමන් කිරීම සඳහා සෑහෙන සටනක යෙදෙන්න සිදු වුණා. කෙටිම මාර්ගය වුණේ සාමාන්‍යයෙන් රෝදස් හෝ මුරා හෝ කුඩා ආසියාවේ ලුකියේ මුහුදු තීරයේ වෙනත් වරායක් හරහා ගමන් කිරීමයි. එක් වතාවක, අලෙක්ෂන්ද්රියාවෙන් ගමන අරඹා කුණාටුවලට හසු වී මාර්ගය වැරදුණු අයිසිස් ධාන්‍ය නැව දින 70කට පසු පිරේයස්වල නැංගුරම් ලෑවා. ඇගේ පිටුපසින් වයඹ දිග සුළං හැමූ බැවින් ඉතාලියෙන් ආපසු යන ගමන සමහරවිට දින 20 සිට 25ක කාලයකින් නිම කළා විය හැකියි. ගොඩබිමේ මාර්ගයකින් එම ගමනම කොයි පැත්තකට ගියත්, හොඳ කාලගුණික තත්වයක් යටතේදී වුවත් දින 150කට වඩා ගත වෙන්න තිබුණා.
ඈත රටවලට ශුභාරංචි ගෙන යයි
නුසුදුසු කාලයේදී මුහුදු ගමනේ යෙදීමෙහි අන්තරාවන් ගැන පාවුල් හොඳින් දැන සිටිය බව පෙනී යනවා. සැප්තැම්බර් අගභාගයේදී හෝ ඔක්තෝබර් මුල්භාගයේදී යාත්‍රා කිරීම සුදුසු නැහැයි කියාත් ඔහු අවවාද කළා: “මනුෂ්‍යයෙනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව අපේ ජීවිතවලටත් [අන්තරායි].” (ක්‍රියා 27:9, 10) කෙසේවුවත්, නැවේ සිටි සියයකට මුලාදෑනියා මේ වචන ගණනකට ගත්තේ නැති අතර, ප්‍රතිඵලයක් වශයෙන් මෙලීතයේදී නැව බිඳී ගියා.
ඔහුගේ මිෂනාරි වෘත්තියේ අවසානය වන විට, පාවුල් අඩුම තරමින් හතර වතාවක්වත් නැව් බිඳීමට මුහුණ දී තිබුණා. (ක්‍රියා 27:41-44; 2 කොරින්ති 11:25) එහෙත්, මුල් දේශනාකරුවන් මුහුදෙන් එතෙරට ශුභාරංචිය ගෙන යෑම වළක්වන තරමටම, ඇති විය හැකි එවැනි උපද්‍රව ගැන කනස්සලු වෙමින් සිටියේ නැහැ. ඔවුන් රාජ්‍යයේ ශුභාරංචිය පතළ කිරීම සඳහා ගමන් කළ හැකි සෑම මාධ්‍යයකින්ම පූර්ණ ප්‍රයෝජන ගත්තා. එමෙන්ම යේසුගේ අණට කීකරු වීමක් වශයෙන්, දුර නුදුරු සෑම තැනකම සාක්ෂිදැරුවා. (මතෙව් 28:19, 20; ක්‍රියා 1:8) ඔවුන්ගේ ජ්වලිතයට ස්තුතිවන්ත වෙන්න, ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කර තිබෙන අයගේ ඇදහිල්ල හා යෙහෝවාගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම හේතුවෙන් ජනාවාස පොළොවේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනකටම ශුභාරංචිය ගොස් තිබෙනවා.
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.