6වෙනි පරිච්ඡේදය
“දෙවියන්ගේ බලයයි, අනුමැතියයි කිසිම අඩුවක් නැතුව ස්තේපන්ට ලැබුණා”
ස්තේපන් මහාධිකරණය ඉදිරියේ නිර්භීතව දැරූ සාක්ෂියෙන් අපට ඉගෙනගන්න පුළුවන් දේ
1-3. (අ) ස්තේපන් මුහුණ දෙමින් ඉන්නේ මොන වගේ භයානක අවස්ථාවකටද? ඔහු ඒකට මූණ දෙන්නේ කොහොමද? (ආ) අප සලකා බලන්නේ මොන කාරණා ගැනද?
දේවමාලිගාව අසල දැවැන්ත ශාලාවක මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් 71දෙනා නඩුවක් විභාග කරන්න ඉඳගෙන ඉන්නවා. ඔවුන් විභාග කිරීමට යන්නේ ස්තේපන්ට විරුද්ධව නඟලා තිබෙන චෝදනායි. මෙතන ඉඳගෙන ඉන්න බලපුළුවන්කාර විනිසුරුවන් බොහෝදෙනෙක් තුළ යේසුස්ගේ මේ ගෝලයා ගැන කිසිම ගෞරවාන්විත හැඟීමක් නැහැ. මාස කිහිපයකට කලින් මන්ත්‍රණ සභාව යේසුස්ට මරණ දණ්ඩනය නියම කළ අවස්ථාවේදී ඒකේ ප්‍රධානියා විදිහට වැඩ කරපු කෙනාමයි අදත් ප්‍රධානියා විදිහට ඉන්නේ. ඒ උත්තම පූජක කායෆස්.
2 මේ බලපුළුවන්කාර මිනිසුන් ඉදිරියේ ස්තේපන් ඉන්නේ බයෙන්ද? ඔහුගේ මුහුණින් නම් එහෙම දෙයක් දකින්න නැහැ. ඔහු දෙස බලා සිටි විනිසුරුවන් ඔහුගේ මුහුණ දැක්කේ “දේවදූතයෙක්ගේ මූණ වගේ.” (ක්‍රියා 6:15) දේවදූතයන් කියන්නේ යෙහෝවා දෙවියන්ගේ පණිවිඩ ලබා දෙන පිරිසක්. ඔවුන් දෙවියන් වෙනුවෙන් පෙනී ඉන්න අය නිසා ඔවුන් නිර්භීතයි, සාමකාමියි. මේ අවස්ථාවේදී ස්තේපන් කටයුතු කරන්නෙත් ඒ හා සමානවයි. කේන්තියෙන් පුපුරමින් සිටින විනිසුරුවනුත් ඒක පැහැදිලිව දකිනවා. මේ වගේ භයානක අවස්ථාවක ස්තේපන් මේ තරම් සන්සුන්ව ඉන්නේ කොහොමද?
3 ඒ ප්‍රශ්නයට පිළිතුරු දැනගන්න එක අද ඉන්න අපට හුඟක් ප්‍රයෝජනවත්. නමුත් මුලින්ම අපි බලමු ස්තේපන් කලින් අවස්ථාවකදී තමන් විශ්වාස කරපු දේ නිර්භීතව පැහැදිලි කරලා දුන්න විදිහ හා ඔහුට මේ වගේ භයානක අද්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණේ ඇයි කියලා. අපට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් බලමු.
‘එයාලා සෙනඟව උසිගැන්නුවා’ (ක්‍රියා 6:8-15)
4, 5. (අ) ස්තේපන් සභාවේ වටිනා සේවයක් කරපු කෙනෙක් කියලා කියන්නේ ඇයි? (ආ) ඔහුට “දෙවියන්ගේ බලයයි, අනුමැතියයි කිසිම අඩුවක් නැතුව” ලැබුණේ කොහොමද?
4 ස්තේපන් අලුතින් පිහිටවපු ක්‍රිස්තියානි සභාවේ වටිනා සේවයක් කරපු කෙනෙක් කියලා අප කලින් පරිච්ඡේදයෙන් දැනගත්තා. සභාවේ යම් අවශ්‍යතාවක් පැනනැඟුණාම නියෝජිතයන්ට උපකාර කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ හත්දෙනා අතරින් ඔහු එක් කෙනෙක්. සමහර නියෝජිතයන් වගේ ඔහුත් “හුඟක් ලකුණු පෙන්නුවා. පුදුම දේවලුත් කළා.” නමුත් ඔහු හරි නිහතමානී කෙනෙක්. බයිබලයේ තවදුරටත් ඔහු ගැන කියන්නේ මෙහෙමයි. “දෙවියන්ගේ බලයයි, අනුමැතියයි කිසිම අඩුවක් නැතුව ස්තේපන්ට” තිබුණා. ඒකෙන් අදහස් කළේ මොකක්ද?—ක්‍රියා 6:8.
5 ‘දෙවියන්ගේ අනුමැතිය’ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය ‘කරුණාව’ විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්. ස්තේපන් හරිම කරුණාවන්ත, මෘදු පුද්ගලයෙක් නිසා මිනිසුන්ගේ සිත් ඔහු වෙතට ඇදී ගියා. ඔහුට සවන් දුන් බොහෝදෙනෙක් ඔහු අවංක පුද්ගලයෙක් කියලත් ඔහු පවසන දේවල් සැබෑ වටිනාකමකින් යුත් දේවල් කියලත් තේරුම්ගත්තා. ඒ නිසා ඔහු කියපු දේවල් විශ්වාස කරන්න ඔවුන් තුළ ලොකු පෙලඹීමක් ඇති වුණා. දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට ඔහු කැමැත්තෙන්ම යටත් වුණ නිසා ඔහු තුළ දෙවියන්ගේ බලය ප්රබලව ක්‍රියාත්මක වුණා. තමන්ට තිබුණ හැකියාවන් හා ලැබී තිබුණ දීමනාවන් නිසා හිස උදුම්මාගන්නවා වෙනුවට ඔහු සියලු ගෞරවය හා ප්‍රශංසාව ලබා දුන්නේ දෙවියන්ට. ඔහු දේශනා කළ මිනිසුන් ගැන ඔහුට අවංක උනන්දුවකුත් තිබුණා. එහෙමනම් තමන්ට තර්ජනයක් විදිහට විරුද්ධවාදීන් ඔහුව සලකපු එක පුදුම වෙන්න දෙයක්ද!
6-8. (අ) විරුද්ධවාදීන් ස්තේපන්ට විරුද්ධව එල්ල කරපු චෝදනා දෙක මොනවාද? ඔවුන්ගේ අරමුණ වුණේ මොකක්ද? (ආ) ස්තේපන්ගේ ආදර්ශය අද ඉන්න ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
6 එක අවස්ථාවකදී ස්තේපන් එක්ක වාද කරන්න පුරුෂයන් කිහිපදෙනෙක් ආවා. නමුත් “ස්තේපන් දෙවියන්ගේ බලයේ උදව්වෙන් හුඟක් ප්‍රඥාවන්තව කතා කරපු නිසා එයා එක්ක තර්ක කරන්න ඒ අයට බැරි වුණා.”a ඒ නිසා ඔවුන් “හොර රහසේ මිනිස්සු කීපදෙනෙක්ට එන්න කියලා” යේසුස්ගේ මේ ගෝලයාට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරන්න කියලා ඔවුන්ව පෙලඹෙව්වා. ඊටපස්සේ ඔවුන් “සෙනඟවයි,” වැඩිමහල්ලන්වයි, නීතිය පිටපත් කරන්නන්වයි ස්තේපන්ට විරුද්ධව “උසිගන්වලා” ඔහුව මන්ත්‍රණ සභාව ඉස්සරහට බලෙන්ම ඇදගෙන ගියා. (ක්‍රියා 6:9-12) ඔවුන් ස්තේපන්ට විරුද්ධව චෝදනා දෙකක් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළා. ඇත්තටම ඔවුන්ට වුවමනා වුණේ ඒ චෝදනා මත ඔහුව මරා දමන්න.
7 ඔවුන් කිව්වේ ස්තේපන් “මේ ශුද්ධස්ථානයට” ඒ කියන්නේ දේවමාලිගාවට විරුද්ධව කතා කරමින් දෙවියන්ට අපහාස කළා කියායි. ඔවුන් ඔහුට විරුද්ධව එල්ල කරපු පළවෙනි චෝදනාව ඒකයි. (ක්‍රියා 6:13) ඒ වගේම ඔවුන් කිව්වේ මෝසෙස්ට දුන් නීතියට විරුද්ධව ස්තේපන් කතා කරමින් මෝසෙස් හඳුන්වලා දුන්න චාරිත්‍ර වෙනස් කිරීමට උත්සාහ කරනවා කියායි. ඒ නිසා ස්තේපන් මෝසෙස්ට විරුද්ධව අපහාස කරනවා කියන චෝදනාවත් ඔවුන් එල්ල කළා. ඇත්තටම ස්තේපන්ට විරුද්ධව තිබුණ මේ චෝදනා දෙක ගොඩක් බරපතළ චෝදනා. මොකද ඒ කාලයේ හිටපු යුදෙව්වන් දේවමාලිගාවට, මෝසෙස්ට දුන්න නීතියට හා පසු කාලවලදී නීතියට එකතු කරපු වෙනත් චාරිත්‍ර වාරිත්‍රවලට වැදගත් තැනක් දුන්නා. ඔවුන් ඒ තරම් ගෞරවයෙන් සලකපු ඒ දේවලට අපහාස කරන කෙනෙක්ව ඔවුන් සැලකුවේ මරණ දණ්ඩනය ලැබීමට සුදුසු බරපතළ අපරාධකරුවෙක් විදිහට.
8 අදත් ආගමික නායකයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩේට බාධා කිරීමට ඒ හා සමාන උපක්‍රම යොදාගන්නවා. සමහර අවස්ථාවලදී දෙවියන්ගේ සෙනඟට විරුද්ධව කටයුතු කිරීමට බලතල තියෙන අයව ඔවුන් උසිගන්වනවා. ඒ වගේ අවස්ථාවලට සාර්ථකව මුහුණ දෙන්න ස්තේපන් අපට තිබ්බේ කදිම ආදර්ශයක්.
“තේජවත් දෙවියන්” ගැන නිර්භීතව සාක්ෂි දරයි (ක්‍රියා 7:1-53)
9, 10. ස්තේපන් ඉදිරිපත් කළ කතාව ගැන සමහරු කියන්නේ මොකක්ද? අප මතකයේ තියාගන්න ඕනෙ වැදගත් කාරණා මොනවාද?
9 ස්තේපන්ට විරුද්ධව එල්ල කරපු චෝදනා මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහුගේ මුහුණ දේවදූතයෙක්ගේ මුහුණ වගේ දිස් වුණා. ඔහු හිටියේ ගොඩක් සන්සුන්ව. ඊටපස්සේ කායෆස් “මේ කියන දේවල් ඇත්තද” කියලා ඔහුගෙන් ඇහුවා. (ක්‍රියා 7:1) දැන් ස්තේපන්ට කතා කිරීමේ වාරය ආවා. ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී ඔහු ඉදිරිපත් කළ කතාව මොන තරම් ප්‍රබලද!
10 සමහරු කියන්නේ ස්තේපන් ඉදිරිපත් කළ කතාව ඉතා දීර්ඝ එකක් වුණත් ඔහුට විරුද්ධව එල්ල කරපු චෝදනා නිෂ්ප්‍රභ කිරීමට අවශ්‍ය කරුණු ඔහු ඉදිරිපත් කළේ නැති බවයි. නමුත් ඔහුගේ කතාවේ තොරතුරු දිහා බලන විට අපට පැහැදිලි වන්නේ තමාට එල්ල කරපු චෝදනාවලට ඔහු මොන තරම් කදිම උත්තරයක් දුන්නාද කියායි. (1 පේතෘ. 3:15) ඔහුගේ කතාවට ඇතුළත් තොරතුරු සලකා බලද්දී දේවමාලිගාව සුළු කරමින් දෙවියන්ට අපහාස කිරීම හා නීතිය සුළු කරමින් මෝසෙස්ට අපහාස කිරීම ඔහුට විරුද්ධව එල්ල කරපු චෝදනා බව මතකයේ තබාගැනීම වැදගත්. ඔහුගේ කතාවට කොටස් තුනක් ඇතුළත්. ඒ කොටස් තුනට ඊශ්‍රායෙල් ඉතිහාසයේ කාල වකවානු තුනක් අයත් වෙනවා. ඒ කාල වකවානුවල සිදු වුණ යම් දේවල් ගැන ඔහු කතා කළ විට තමාට විරුද්ධව එල්ල කළ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට අවශ්‍ය තොරතුරු ඔහු හොඳින් කාවැද්දුවා. අපි දැන් ඒ කාල වකවානු තුන වෙන වෙනම සලකා බලමු.
11, 12. (අ) ස්තේපන් ආබ්‍රහම් ගැන කිව්වේ මොන කාරණය කාවද්දන්නද? (ආ) ස්තේපන් යෝසෙප් ගැන සඳහන් කළේ ඇයි?
11 ආබ්‍රහම්ගේ සිට මෝසෙස්ගේ කාලය. (ක්‍රියා 7:1-16) ස්තේපන් තම කතාව ආරම්භ කළේ ආබ්‍රහම් ගැන සඳහන් කරමින්. ආබ්‍රහම්ට දෙවියන් ගැන තිබුණ විශ්වාසය නිසා යුදෙව්වන් ඔහුව මහත් ගෞරවයෙන් සැලකුවා. ඒ විදිහට සියල්ලන්ම එකඟ වන කාරණයක් ගැන සඳහන් කරමින් ස්තේපන් කාවද්දන්න උත්සාහ කළේ “තේජවත් දෙවියන්” වන යෙහෝවා ආබ්‍රහම්ට මුලින්ම දර්ශනය වුණේ ඔහු මෙසපොතේමියාවේ සිටි කාලයේදී බවයි. (ක්‍රියා 7:2) ආබ්‍රහම් පොරොන්දු දේශයේ ජීවත් වුණේ විදේශිකයෙක් විදිහට කියලත් ඔහු මතක් කළා. නමස්කාර කිරීම සඳහා ඒ කාලයේදී ඔහුට දේවමාලිගාවක්වත් නීතියක්වත් තිබුණේ නැහැ. ඒ වුණත් දෙවියන්ගේ අනුමැතිය ඔහුට ලැබුණා. එහෙමනම් දෙවියන්ගේ අනුමැතිය ලබාගැනීම රඳා පවතින්නේ දේවමාලිගාව හෝ නීතිය මත කියලා කියන්න පුළුවන්ද?
12 ඊටපස්සේ යුදෙව්වන් මහත් ගෞරවයෙන් සලකපු තවත් කෙනෙක් වුණ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙක් වන යෝසෙප් ගැන ස්තේපන් කතා කළා. යෝසෙප්ගේ සහෝදරයන් ඒ කියන්නේ ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීන්ම ධර්මිෂ්ඨ කෙනෙක් වුණ යෝසෙප්ට බොහෝ පීඩා කර ඔහුව වහලෙක් විදිහට විකුණුවා කියලා ඔහු මතක් කළා. ඒ වුණත් දරුණු සාගතයෙන් ඊශ්‍රායෙල් සෙනඟව බේරගන්න දෙවියන් යොදාගත්තේ යෝසෙප්ව බව ඔහු තවදුරටත් පැවසුවා. යෝසෙප් හා යේසුස් අතර තිබෙන පැහැදිලි සමානකම් ස්තේපන් දැනගෙන සිටි බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඔහු ඒ තොරතුරු ඔහුගේ කතාවට ඇතුළත් කළේ නැහැ. මොකද ඔහුට සවන් දෙන අයගේ අවධානය පුළුවන් තරම් වේලාවක් රඳවා තබාගන්නයි ඔහුට අවශ්‍ය වුණේ.
13. මෝසෙස් ගැන කතා කරලා තමන්ට විරුද්ධව එල්ල කරපු චෝදනාවක් බොරු කියලා ඔප්පු කරන්න ස්තේපන්ට පුළුවන් වුණේ කොහොමද? ඔහු ක්‍රමානුකූලව ගොඩනැඟුවේ මොන තර්කයද?
13 මෝසෙස්ගේ කාලය. (ක්‍රියා 7:17-43) ස්තේපන් තම කතාවට මෝසෙස් ගැන බොහෝ තොරතුරු ඇතුළත් කළා. ඒක ඇත්තටම ඥානවන්ත දෙයක්. මොකද මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් බොහෝදෙනෙක් සද්දුසිවරුන්. ඔවුන් බයිබලයට අයත් පොත්වලින් පිළිගත්තේ මෝසෙස් ලියපු පොත් විතරයි. ඒකෙන් පේන්නේ ඔවුන් මෝසෙස්ව ඉතා ගෞරවනීය කෙනෙක් විදිහට සැලකූ බවයි. කොහොමවුණත් ස්තේපන්ට විරුද්ධව එල්ල කරපු එක චෝදනාවක් වුණෙත් ඔහු මෝසෙස්ට අපහාස කළා කියන එකයි. නමුත් ඔහු මෝසෙස් ගැන කතා කළ දේවලින් ඒ චෝදනාව බොරුවක් බව ඔප්පු වුණා. ඔහු මෝසෙස්වත් ඔහුට දුන් නීතියත් ඉතා ගෞරවයෙන් සලකන බව ඔහු කියපු දේවලින් පැහැදිලියි. (ක්‍රියා 7:38) මෝසෙස් බේරාගැනීමට උත්සාහ කළ අයම ඔහුව ප්‍රතික්ෂේප කළ බව ස්තේපන් සඳහන් කළා. මෝසෙස්ට වයස අවුරුදු 40දී ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කළා. අවුරුදු 40කට වඩා වැඩි කාලෙකට පස්සෙත් ඔවුන් ඔහුගේ නායකත්වයට විරුද්ධව අවස්ථා කිහිපයකදීම කටයුතු කළ බව ස්තේපන් පැවසුවා.b මේ විදිහට ස්තේපන් ඉතා වැදගත් තර්කයක් ක්‍රමානුකූලව ගොඩනැඟුවා. ඒ, යෙහෝවා දෙවියන් තම සෙනඟව රැකබලා ගැනීමට පත් කළ අයව ඔවුන් කිහිප අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කළා කියන එක.
14. මෝසෙස් ගැන සඳහන් කරලා ස්තේපන් කාවද්දපු කාරණා මොනවාද?
14 තමා වගේ අනාගතවක්තෘවරයෙක්ව ඊශ්‍රායෙල් සෙනඟ අතරින් දෙවියන් පත් කරන බව මෝසෙස් කලින්ම කිව්වා කියලා ස්තේපන් මතක් කළා. ඒ අනාගතවක්තෘවරයා කවුද? සෙනඟ ඔහුව කොහොම පිළිගනීද? ඔහු ඒ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඔහුගේ කතාවේ අවසාන හරියෙදියි. නමුත් මේ අවස්ථාවේදී ඔහු තවත් වැදගත් කරුණක් ගැන කතා කළා. ඒ, තමන්ට කැමති ඕනෙම තැනක් ශුද්ධ භූමියක් විදිහට තෝරගන්න දෙවියන්ට පුළුවන් කියලා මෝසෙස් තමන්ගේ අද්දැකීමෙන් ඉගෙනගත්තා කියන දේ. කටු පඳුර ගිනිගත් අවස්ථාවේදී ඒ කාරණය යෙහෝවා දෙවියන්ම මෝසෙස්ට කිව්වා. එහෙමනම් දෙවියන්ට නමස්කාර කරන්න පුළුවන් යෙරුසලමේ තිබුණ දේවමාලිගාවේ ඒ කියන්නේ එක තැනක ඉඳන් විතරයි කියලා කියන්න පුළුවන්ද?
15, 16. (අ) ස්තේපන් ගොඩනඟමින් හිටපු තර්කයට ශුද්ධ කූඩාරම ගැන සඳහන් කරන එක වැදගත් වුණේ ඇයි? (ආ) ඔහු ඉදිරිපත් කරපු තොරතුරුවලට සලමොන්ගේ දේවමාලිගාව සම්බන්ධ කළේ කොහොමද?
15 ශුද්ධ කූඩාරම හා දේවමාලිගාව තිබුණ කාලය. (ක්‍රියා 7:44-50) යෙරුසලමේ දේවමාලිගාව ගොඩනඟන්න කලින් ඊශ්‍රායෙල් සෙනඟට නමස්කාර කටයුතු කරන්න තැනින් තැනට අරන් යන්න පුළුවන් කූඩාරමක් හදන්න කියලා දෙවියන් මෝසෙස්ට අණ කළ බව ස්තේපන් එතැන හිටපු අයට මතක් කළා. ඇත්තෙන්ම මෝසෙසුත් දෙවියන්ට නමස්කාර කිරීමට ඒ ශුද්ධ කූඩාරමට ගිය නිසා ඒක දේවමාලිගාවට වඩා වැදගත්කමින් අඩුයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ.
16 පස්සේ කාලයක සලමොන් යෙරුසලමේ දේවමාලිගාව ගොඩනැඟුවාට පස්සේ ඒක දෙවියන්ට කැප කළ අවස්ථාවේ ඔහු කළ යාච්ඤාවට යම් වැදගත් කරුණක් ඇතුළත් කිරීමට දෙවියන් ඔහුට මඟ පෙන්නුවා. ස්තේපන් ඔහුගේ කතාවේ ඒ ගැන මෙහෙම කිව්වා. “උසස්ම දෙවියන් මිනිස්සු හදන ගොඩනැඟිලිවල ජීවත් වෙන්නේ නැහැ.” (ක්‍රියා 7:48; 2 ලේක. 6:18) සෙනඟට නමස්කාර කටයුතු කිරීම සඳහා යම් ස්ථානයක් භාවිත කිරීමට දෙවියන් අවසර දිය හැකියි. නමුත් දෙවියන් ඒ ස්ථානයට විතරක් කොටු වෙලා ඉන්නවා කියලා ඒකෙන් අදහස් වන්නේ නැහැ. ඒ නිසා දෙවියන්ට කරන නමස්කාරය මිනිසුන් ගොඩනඟපු ගෘහයක් මත රඳා පවතිනවා කියලා හිතන එක හරිද? යෙසායාගේ ලියවිල්ලේ සඳහන් මේ වදන් ගැන කියලා ස්තේපන් දක්ෂ විදිහට ඒ තර්කය අවසන් කළා. “යෙහෝවා මෙහෙම කියනවා. ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි. එහෙමනම් ඔබ මං වෙනුවෙන් හදන්නේ මොන වගේ ගෘහයක්ද? මට වාසස්ථානයක් හදන්න තැනක් තියෙනවාද? හැම දෙයක්ම හැදුවේ මගේම අතින් නෙමෙයිද?”—ක්‍රියා 7:49, 50; යෙසා. 66:1, 2.
17. ස්තේපන් ඉදිරිපත් කරපු කතාවෙන් (අ) ඔහුට විරුද්ධව චෝදනා කරපු අයට තිබුණ මත බොරු කියලා ඔප්පු කළේ කොහොමද? (ආ) ඔහු වැඩ කරපු විදිහේ කිසි වරදක් නැහැ කියලා පැහැදිලි වුණේ කොහොමද?
17 ස්තේපන්ට විරුද්ධව චෝදනා කළ අයට තිබුණේ බොරු මත බව ස්තේපන් දක්ෂ විදිහට පෙන්නුවා. යෙහෝවා එක තැනකට හිර වෙලා, චාරිත්‍ර වාරිත්‍රවලට වහල් වෙලා ඉන්න දෙවි කෙනෙක් නොවන බවත් ඔහු තම අරමුණු ක්‍රමානුකූලව හෙළි කරමින් ඒක ඉටු කිරීමට ක්‍රියාශීලීව කටයුතු කරන දෙවි කෙනෙක් බවත් ස්තේපන් තමන්ගේ කතාව මගින් පෙන්වලා දුන්නා. යෙරුසලමේ තිබුණ අලංකාරවත් දේවමාලිගාවට අනවශ්‍ය වැදගත්කමක් දුන්න අය හා මෝසෙස්ට දුන් නීතිය වටා ගොඩනඟපු චාරිත්‍රවලට වහල් වෙලා ඉන්න අය ඇත්තටම නීතිය හා දේවමාලිගාව දෙවියන් ලබා දීමට හේතුව වටහාගත්තේ නැහැ. ඇත්තෙන්ම ස්තේපන් තම කතාව මගින් ‘දේවමාලිගාවට හා නීතියට ගෞරව කරන්න පුළුවන් හොඳම විදිහ දෙවියන්ට කීකරු වෙන එකයි’ කියන කාරණය ඔවුන්ට නොකියා කිව්වා. ස්තේපන් ක්‍රියා කළ ආකාරයේ කිසි වරදක් නැති බව ඔහු ඉදිරිපත් කළ කතාවෙන් හොඳින් පැහැදිලි වුණා. මොකද ඔහු කරමින් සිටියේ දෙවියන් ඔහුගෙන් බලාපොරොත්තු වුණ දෙයයි.
18. ස්තේපන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
18 ස්තේපන් ඉදිරිපත් කරපු කතාවෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඔහුට ශුද්ධ ලියවිල්ල ගැන හොඳ අවබෝධයක් තිබුණා. අපත් “සත්‍ය වදන් හරි විදිහට” භාවිත කිරීමට නම් බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. (2 තිමෝ. 2:15) ස්තේපන්ට සවන් දුන්නේ ඔහුට දරුණු විදිහට සතුරුකම් කළ අය. නමුත් පුළුවන් තරම් කාලයක් ඔවුන් එකඟ වන කාරණා ගැන කතා කිරීමට ඔහු උත්සාහ කළා. ඔහු ඔවුන්ව ඇමතුවෙත් ඉතා ගෞරවනීය විදිහට. ඔහු වයසින් වැඩි අයව ඇමතුවේ “පියවරුනි” කියලා. (ක්‍රියා 7:2) ඒ දේවලින් පැහැදිලි වන්නේ ස්තේපන් ඒ අවස්ථාවේදී කරුණාවන්තව හා ප්‍රඥාවන්තව කටයුතු කළ බවයි. ඒ හා සමානව අපත් දෙවියන්ගේ වචනය අනිත් අයට පහදලා දෙන්න ඕනෙ ‘කාරුණිකව සහ ගෞරවයෙන්.’—1 පේතෘ. 3:15.
19. දෙවියන් විනිශ්චයක් ගේනවා කියන පණිවිඩය ස්තේපන් නිර්භීතව ප්‍රකාශ කළේ කොහොමද?
19 නමුත් මිනිසුන්ගේ සිත් රිදෙයි කියලා හිතලා අප දේවවචනයේ තිබෙන සත්‍යයන් කියන එකෙන් වැළකිලා ඉන්නෙවත් දෙවියන් විනිශ්චයක් ගේනවා කියන පණිවිඩය බාල කරන්නෙවත් නැහැ. ඒ සම්බන්ධයෙනුත් ස්තේපන් අපට හොඳ ආදර්ශයක්! මන්ත්‍රණ සභාවට තමන් මොන තොරතුරු ඉදිරිපත් කළත් ඒක ඔවුන්ගේ සිත්වලට කිසිම බලපෑමක් ඇති නොකරන බව ස්තේපන් තේරුම්ගත්තා. ඒ නිසා ඔවුනුත් යෝසෙප්ව, මෝසෙස්ව හා අනිත් සියලු අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කළ ඔවුන්ගේ පියවරුන් හා සමාන බව පවසමින් ස්තේපන් තම කතාව අවසන් කළා. ඒ සත්‍යය නිර්භීතව ඔවුන්ට පැවසීමට ඔහුට මඟ පෙන්නුවේ දෙවියන්. (ක්‍රියා 7:51-53) ඇත්තෙන්ම මෝසෙස් හා අනිත් අනාගතවක්තෘවරුන් අනාවැකි ප්‍රකාශ කරපු ගැලවුම්කරුව මරා දැමුවෙත් ඒ මන්ත්‍රණ සභාවේ හිටපු විනිසුරුවන්මයි. ඒ විදිහට මෝසෙස්ට දීපු නීතියට විරුද්ධව ප්‍රබල විදිහට කටයුතු කර තිබුණේ ඔවුනුයි.
“යේසුස් මගේ ස්වාමීනි, මගේ ජීවිතය භාරගන්න” (ක්‍රියා 7:54–8:3)
20, 21. ස්තේපන් කියපු දේට මන්ත්‍රණ සභාවේ හිටපු අය ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? දෙවියන් ඔහුව දිරිගැන්නුවේ කොහොමද?
20 ස්තේපන් කියපු දේවල් මොන තරම් සත්‍යයද කියනවා නම් ඒකට විරුද්ධව දෙයක් කියන්න මන්ත්‍රණ සභාවේ හිටපු අයට බැරි වුණා. පරාජය භාරගන්න බැරුව ඔවුන් කේන්තියෙන් දත්මිටි කෑවා. ඔවුන් ඒ අවස්ථාවේ හැසිරුණේ තිරිසනුන් විදිහටයි. තම ස්වාමියා වුණ යේසුස්ට වගේ තමන්ටත් මේ මිනිසුන්ගෙන් කිසි අනුකම්පාවක් නොලැබෙන බව දෙවියන්ගේ මේ විශ්වාසවන්ත සේවකයා තේරුම්ගන්න ඇති.
21 තව සුළු මොහොතකින් සිදු වන දේට මුහුණ දෙන්න ස්තේපන්ට ධෛර්යය අවශ්‍යයි. යෙහෝවා දෙවියන් ඒ අවස්ථාවේදී ඔහුට දකින්න සලස්වපු දර්ශනය නිසා ඔහු මහත් දිරිගැන්වීමක් ලැබුවා. ස්තේපන් ඒ දර්ශනය තුළින් දෙවියන්ගේ තේජසත් යෙහෝවාගේ දකුණු පැත්තේ යේසුස් ඉන්න විදිහත් දැක්කා. ඔහු ඒ අවස්ථාවේ දැක්ක ඒ දර්ශන විස්තර කරද්දී මන්ත්‍රණ සභාවේ හිටපු විනිසුරුවන් අත්වලින් ඔවුන්ගේ කන් වහගත්තා. ඔවුන් ඒකට සවන් දෙන්න අකමැති වුණේ ඇයි? මිනිසුන්ගේ ගැලවුම්කරුව පාවලා දීලා ඔහුව මරණයට පත් කළේ ඔවුන්. මීට කලින් අවස්ථාවක යේසුස් මේ මන්ත්‍රණ සභාවේදීම තමන් පොරොන්දු වුණ ගැලවුම්කරු බවත් වැඩි කල් යන්න කලින් තමන් තම පියාගේ දකුණු පැත්තේ ඉඳගැනීමට යනවා කියලත් කියලා තිබුණා. (මාක් 14:62) යේසුස්ගේ ඒ වදන් සත්‍යය බව ස්තේපන් විස්තර කළ දර්ශනයෙන් තහවුරු වුණා. ඒ නිසා ඔවුන් සියලුදෙනාම ස්තේපන් වෙතට කඩාපැනලා ඔහුව පිටතට ඇදගෙන ගියේ ගල් ගසා ඔහුව මරා දැමීමේ අදහසින්.c
22, 23. ස්තේපන් මිය ගිය විදිහ හා යේසුස් මිය ගිය විදිහ අතර තියෙන සමානකම් මොනවාද? ස්තේපන් වගේ අපටත් අපේ බලාපොරොත්තුව ගැන නිසැක වෙන්න පුළුවන් ඇයි?
22 මිය යන්න කලින් ස්තේපනුත් තම ස්වාමියා වුණ යේසුස් වගේ දෙවියන් ලබා දුන් සමාදානය අද්දැක්කා. ඔහු මිය ගියෙත් යෙහෝවා ගැන පූර්ණ විශ්වාසයක් ඇතුවයි. තමන්ව මරණයට පත් කරන අය ගැන ඔහුටත් වෛරයක් ඇති වුණේ නැහැ. මිය යන අවස්ථාවේදී “යේසුස් මගේ ස්වාමීනි, මගේ ජීවිතය භාරගන්න” කියලා ඔහු කිව්වේ යෙහෝවා දෙවියන් එක්ක හිටපු යේසුස්ව දර්ශනය තුළින් ඒ මොහොතේදීත් ඔහු දැක්ක නිසා විය හැකියි. ඒ විදිහට ඔහු තම ජීවිතය යේසුස්ට භාර දුන්නේ “මැරුණ අයව නැවත නැඟිට්ටවන්නෙත් මිනිස්සුන්ට ජීවනය දෙන්නෙත් මමයි” කියා යේසුස් කියපු දිරිගන්වන වදන් ඔහුගේ මතකයේ තිබුණ නිසයි. (යොහ. 11:25) ඊටපස්සේ ස්තේපන් හඬ නඟා මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, එයාලා කරන මේ වරදට එයාලට දඬුවම් කරන්න එපා.” (ක්‍රියා 7:59, 60) ඊටපස්සේ ඔහු අවසන් හුස්ම හෙළුවා.
23 ක්‍රිස්තියානීන් අතරින් තම විශ්වාසයන් නිසා දිවි පුදපු පළවෙනි තැනැත්තා ස්තේපන්. (“සාක්ෂිකරුවන් දිවි පිදීමටත් සූදානම්” කියන කොටුව බලන්න.) කනගාටුදායක කාරණය තමයි ඒ විදිහට දිවි පුදපු අවසන් තැනැත්තා ඔහු නෙවෙයි. ආගමික හා දේශපාලන වශයෙන් දැඩි මත දරන කුරිරු මිනිසුන් මෑත කාලය දක්වාම යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව ඝාතනය කර තිබෙනවා. අපටත් ඒ වගේ දේකට මුහුණ දෙන්න සිදු වුණොත් අපට තිබෙන බලාපොරොත්තුව ගැන ස්තේපන් වගේ නිසැකකමකින් සිටිය හැකියි. මොකද යේසුස් දැන් දේවරාජ්‍යයේ රජු. සියලු බලය යෙහෝවා දෙවියන් ඔහුට දීලා තිබෙනවා. ඒ නිසා විශ්වාසවන්තව සිට මිය ගිය තම අනුගාමිකයන්ව නැවත නැඟිටුවීමෙන් ඔහුව වළක්වන්න කාටවත් බැහැ.—යොහ. 5:28, 29.
24. ස්තේපන්ගේ මරණයට සාවුල් සහයෝගය දැක්වුවේ කොහොමද? ඔහුගේ මරණය ඒ කාලේ හිටපු ක්‍රිස්තියානීන්ටත් පස්සේ කාලයකදී සාවුල්ටත් බලපෑවේ කොහොමද?
24 ස්තේපන්ට වුණ හැම දෙයක්ම සාවුල් කියන තරුණයා බලාගෙන හිටියා. ස්තේපන්ව මරා දැමීමට ඔහුත් සහයෝගය දුන්නා කියා පැවසිය හැකියි. මොකද ස්තේපන්ට ගල් ගහන්න පිටත්ව ගිය අය ඔවුන්ගේ වස්ත්‍ර තියලා ගියේ ඔහු ළඟයි. මේ සිදුවීමෙන් ටික කාලෙකට පස්සේ දරුණු විදිහට ක්‍රිස්තියානීන්ට පීඩා කිරීමට සාවුල් පෙරමුණ අරන් වැඩ කළා. නමුත් ඒ දරුණු පීඩා රැල්ල හමුවේ එදා සිටි ක්‍රිස්තියානීන් දිගටම ස්ථිරව සිටියා. මොකද විශ්වාසවන්තව මිය ගිය ස්තේපන්ගේ ආදර්ශය ඔවුන්ට ප්‍රබල බලපෑමක් ඇති කළා. ඔවුන්ගේ ආශාව වුණේ මොන පීඩාවකට මුහුණ දීමට සිදු වුණත් ස්තේපන් වගේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නයි. ඇත්තෙන්ම ස්තේපන්ගේ මරණය පස්සේ කාලෙකදී සාවුල්ටත් ප්‍රබල බලපෑමක් ඇති කළා. ස්තේපන්ගේ මරණයට හවුල් වීම කොතරම් බරපතළ වරදක්ද කියලා ක්‍රිස්තියානියෙක් බවට පත් වුණ සාවුල් (ඒ කියන්නේ පාවුල්) තේරුම්ගත්තා. ඒ බව ඔහු පවසපු මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “කලින් මං දෙවියන්ට අපහාස කරපු කෙනෙක්. මං මිනිස්සුන්ට පීඩා කරපු, කාටවත් ගරු කළේ නැති කෙනෙක්.” (1 තිමෝ. 1:13) ඇත්තෙන්ම ඔහු තමන් කළ වරද ගැන බොහෝ සෙයින් කනගාටු වුණා. (ක්‍රියා 22:20) පාවුල්ට ස්තේපන්වවත් ඔහු මන්ත්‍රණ සභාව ඉදිරියේ දුන් ප්‍රබල කතාවවත් කවදාවත් අමතක වුණේ නැහැ. පාවුල් දුන් සමහර කතාවලට හා ඔහු ලියපු සමහර ලිපිවලට ස්තේපන් ඉදිරිපත් කළ කතාවේ සමහර තොරතුරු ඇතුළත් කළා. (ක්‍රියා 7:48; 17:24; හෙබ්‍රෙ. 9:24) “දෙවියන්ගේ බලයයි, අනුමැතියයි කිසිම අඩුවක් නැතුව” තිබුණු ස්තේපන්ගේ නිර්භීත හා විශ්වාසවන්ත ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කරන්න පාවුල් ඉගෙනගත්තා. ප්රශ්නය වන්නේ අපත් ස්තේපන්ව ආදර්ශයට ගන්නවාද යන්නයි.
a ස්තේපන්ට විරුද්ධව කටයුතු කළ අයගෙන් සමහරදෙනෙක් “නිදහස ලැබුණ අයගේ සිනගෝගයට” අයත් අය. ඔවුන් සමහරවිට රෝමවරුන් නිදහස් කළ වහලුන් විය හැකියි. එහෙම නැත්නම් ඔවුන් යුදෙව් ආගමට හැරුණු නිදහස ලැබුණ වහලුන් විය හැකියි. ඔහුට විරුද්ධව කටයුතු කළ තවත් සමහරදෙනෙක් සිලීසියාවෙන් ආපු අය. ටාසස්වල සාවුලුත් සිලීසියාවෙන් ආපු කෙනෙක්. නමුත් ස්තේපන් කතා කළ දේට විරුද්ධව කිසිම දෙයක් කියන්න ඔවුන්ට බැරි වුණා. ඔවුන් අතරේ සාවුල් හිටියාද නැද්ද කියලා වාර්තාවේ නිශ්චිතව පවසා නැහැ.
b බයිබලයේ වෙන කිසිම තැනකින් හොයාගන්න බැරි තොරතුරු ස්තේපන්ගේ කතාවෙන් හොයාගන්න පුළුවන්. උදාහරණයකට මෝසෙස් ඊජිප්තුවේදී ලබපු අධ්‍යාපනය, ඔහු ඊජිප්තුවෙන් පලා යද්දී ඔහුගේ වයස හා ඔහු මිදියන් දේශයේ කොයි තරම් කාලයක් හිටියාද කියන තොරතුරු.
c කෙනෙක්ට මරණ දණ්ඩනය නියම කිරීමේ අයිතිය රෝම පාලනය යුදෙව් මන්ත්‍රණ සභාවට දීලා තිබුණා කියලා හිතන්න බැහැ. (යොහ. 18:31) ඇත්තටම ස්තේපන්ගේ මරණය කලහකාරී පිරිසක් සිදු කළ මිනී මැරුමක් මිස නඩුවකින් ලැබුණ තීන්දුවකට අනුව දුන් දඬුවමක් නෙවෙයි.