මුල් පිටුවෙන් | නොපෙනෙන ලොවක් ගැන විපරමක්
නොපෙනෙන ස්වර්ගයේ ඉන්න අය ගැන හෙළි කරන දර්ශන
නොපෙනෙන ස්වර්ගය ගැන තොරතුරු ඇතුළත් දර්ශන හුඟක් බයිබලයේ තියෙනවා. ඒක මිනිසුන් හැටියට අපිට කොච්චර වටිනා දෙයක්ද! ඒ දර්ශනවල තියෙන දේවල් ස්වර්ගයේ ඇත්තටම ඒ විදිහටම තියෙනවා කියලා කියන්න බැහැ. මොකද ඒවා දුන්නේ අපිට තේරුම්ගන්න පුළුවන් විදිහටයි. ඒත් ඒ දර්ශනවලින් ස්වර්ගයේ ඉන්න අය ගැනත් ඒ අය අපේ ජීවිතවලට කරන හොඳ හෝ නරක බලපෑම් ගැනත් දැනගන්න පුළුවන්.
උසස්ම කෙනා යෙහෝවා දෙවියන්
‘ස්වර්ගයේ පිහිටා තිබුණු සිංහාසනය මත කෙනෙක් ඉඳගෙන සිටියේය. ඉඳගෙන සිටි තැනැත්තා, පෙනුමෙන් ජැස්පර් ගලක් මෙන්ද අනර්ඝ රතු පැහැති මැණිකක් මෙන්ද විය. සිංහාසනය වටා මරකත මැණිකක වර්ණයෙන් යුත් දේදුන්නක් තිබිණ.’—එළිදරව් 4:2, 3.
‘ඔහු වටාම දීප්තියක් බැබළුණේය. ඒ වටා පැතිර තිබූ දීප්තිය වැස්සක් පෑව්වායින් පසු වලාකුළු අතරෙහි පායන දේදුන්නක තිබෙන දීප්තියට සමානය. එය යෙහෝවා දෙවිගේ තේජසට සමානය.’—එසකියෙල් 1:27, 28.
යොහන් කියන යේසුස්ගේ ගෝලයාට සහ අනාගතවක්තෘ එසකියෙල්ට දුන්න ඒ දර්ශනවලින් යෙහෝවා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන දැනගන්න පුළුවන්. මොකද ඒ දර්ශනවල යොදාගෙන තියෙන්නේ අනර්ඝ මැණික්, දේදුන්නක් සහ සිංහාසනයක් වගේ අපිට හුරු දේවල්. ඒවායින් පෙන්නුවේ දෙවියන් ඉන්න ස්ථානයේ තියෙන තේජස, අලංකාරය සහ සන්සුන්කමයි.
ඒ දර්ශනවල දෙවියන් ගැන කියන දේ ගීතාවලිය පොතේ කියන මේ දේටත් සමානයි. “යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය. ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නේය. අන් සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන්නේය. මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය. නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය. ගෞරවයත් තේජශ්‍රීයත් ඔහු ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් ඔහුගේ ශුද්ධස්ථානයෙහි ඇත.”—ගීතාවලිය 96:4-6.
යෙහෝවා දෙවියන් හුඟක් ශ්‍රේෂ්ඨ වුණත් යාච්ඤාවෙන් ඔහුට කතා කරන්න අපිට අවස්ථාව දීලා තියෙනවා. ඔහු ඒවාට ඇහුම්කන් දෙනවා කියලත් කියනවා. (ගීතාවලිය 65:2) දෙවියන් අපිට ගොඩක් ආදරෙයි. බයිබලයේ කියන්නේ “දෙවි ප්‍රේමය” කියලයි.—1 යොහන් 4:8.
දෙවියන් එක්ක ඉන්න යේසුස්
“ස්තේපන් තුළ දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය. ඔහු අහස දෙස බැලූ විට දෙවිගේ තේජසත් දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටින ආකාරයත් දුටුවේය. එවිට ඔහු, ‘මේ බලන්න! අහස විවර වෙලා! මනුෂ්‍ය පුත්‍රයා දෙවිගේ දකුණු පැත්තේ සිටිනවා මට පේනවා’ කියා කීවේය.”—ක්‍රියා 7:55, 56.
යේසුස්ගේ ගෝලයෙක් වුණු ස්තේපන් ඒ දර්ශනය දකිද්දී යුදෙව් නායකයන් මුල් වෙලා යේසුස්ව මරලා දාලා වැඩි කාලයක් ගිහින් තිබුණේ නැහැ. ඒත් ඒ දර්ශනයෙන් යේසුස් නැවත නැඟිටලා කියලත් ඔහුට උසස් තත්වයක් ලැබිලා කියලත් ස්තේපන් දැක්කා. ඒ ගැන නියෝජිත පාවුල් කිව්වේ මෙහෙමයි. “දෙවි ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා ස්වර්ගීය ස්ථානවල තම දකුණු පැත්තෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දුන්නේ එම බලය මාර්ගයෙනි. ඔහු සිටින ඒ ස්ථානය ගෙවී යන මේ කාලයේදී පමණක් නොව ඉදිරියේදී තිබෙන සියලුම ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් පාලකයන්ටත් උසස් නාම දරන සියලුදෙනාටත් වඩා ඉහළින් පිහිටා ඇති ස්ථානයකි.”—එෆීස 1:20, 21.
යේසුස් ඔහුගේ පියා වගේ අපිට ගොඩක් ආදරෙයි කියලත් බයිබලයේ කියනවා. ඔහු මිනිසෙක් විදිහට පොළොවේ හිටපු කාලයේ ලෙඩුන්ව සුව කළා. මිය ගිය අයව නැවත නැඟිට්ටෙව්වා. තමන්ගේ වටිනා ජීවිතය පූජා කරලා ඔහු දෙවියන්ටත් මිනිසුන්ටත් කොයි තරම් ආදරෙයිද කියලා පෙන්නුවා. (එෆීස 2:4, 5) ඔහු ළඟදීම දෙවිගේ රාජ්‍යයේ රජු හැටියට දෙවිට කීකරු අයට සතුටින් පිරි ජීවිතයක් ලබා දෙනවා.
දෙවියන්ට සේවය කරන දේවදූතයන්
‘මා බලා සිටියදී සිංහාසන ගෙනැවිත් තබන ලදි. පුරාතන තැනැත්තා එතැන හිඳගත්තේය. දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින් සිටියෝය. ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.’—දානියෙල් 7:9, 10.
ඒ දර්ශනයෙන් අනාගතවක්තෘ දානියෙල් දැක්කේ දේවදූත සේනාවක්. ඔවුන් හුඟක් බලවත් වගේම බුද්ධිමත්. දේවදූතයන්ව බෙදලා තියෙන කණ්ඩායම් අතරට සෙරාෆ්වරු සහ කෙරුබ්වරු කියන කණ්ඩායම් ඇතුළත් වෙනවා. දේවදූතයන් ගැන බයිබලයේ අවස්ථා 250කට වඩා සඳහන් වෙනවා.
දේවදූතයන් කියන්නේ මැරිලා ස්වර්ගයට ගිය මිනිස්සු නෙමෙයි. දෙවියන් ඔවුන්ව නිර්මාණය කළේ මිනිසුන්ට කලින්. පොළොව නිර්මාණය කරපු කාලයේ ඔවුන් ස්වර්ගයේ ඉඳන් ඒ ගැන සතුටු වුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—යෝබ් 38:4-7.
අද ලොව පුරා සිදු කරන ශුභාරංචිය දේශනා කරන කාර්යය සඳහා දේවදූතයන් දෙවියන්ට ලබා දෙන්නේ පුදුමාකාර සහයෝගයක්. (මතෙව් 24:14) ඒ ගැන යොහන් දැක්ක මේ දර්ශනයෙන් පැහැදිලි වෙනවා. ‘මම තවත් දේවදූතයෙකු දුටුවෙමි. පොළොවේ වාසය කරන අයටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඔහු සතු විය.’ (එළිදරව් 14:6) අතීතයේදී වගේ දේවදූතයන් අද මිනිසුන්ට කෙළින්ම කතා කරන්නේ නැහැ. ඒත් ශුභාරංචිය දේශනා කරලා අවංක හදවත් ඇති අයව හොයාගන්න, මිනිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ඔවුන් ලබා දෙනවා.
මිලියන ගණන් දෙනාව නොමඟ යවන සාතන්
“ස්වර්ගයේ යුද්ධයක් ඇති විය. මිකායෙල් [යේසුස් ක්‍රිස්තුස්] සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්, ඌ ජය ගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයේ තිබුණු ස්ථානය අහිමි විය. එහෙයින් ඒ මහත් මකරාව පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහුව පොළොවට හෙළන ලදි. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.”—එළිදරව් 12:7-9.
ස්වර්ගය කිව්ව ගමන්ම අපේ හිතේ මැවෙන්නේ හරිම සාමකාමී සන්සුන් තැනක්. ඒත් මිනිස් ඉතිහාසය ආරම්භයේදී ස්වර්ගයේ හිටිය දේවදූතයෙක්ට අනිත් අයගේ නමස්කාරය ලබාගන්න ආසාවක් ඇති වුණා. ඒ නිසා ඔහු දෙවිට විරුද්ධව කැරලිගැහුවා. ඒ දේවදූතයාව හඳුන්වන්නේ සාතන් නැත්නම් යක්ෂයා කියලයි. තවත් දේවදූතයන් ඔහුට එකතු වුණා. ඒ දේවදූතයන්ට තමයි භූතයන් කියන්නේ. එයාලා හරිම දුෂ්ටයි. භූතයන් මිනිසුන්ව නොමඟ යවලා සැබෑ දෙවිගෙන් ඔවුන්ව ඈත් කරනවා.
යක්ෂයාටත් භූතයන්ටත් මිනිසුන් ගැන කිසිම ආදරයක් නැහැ. අතීතයේ ඉඳලාම ඒ අය මිනිසුන්ට ගොඩක් දුක් කරදර ගෙනල්ලා තියෙනවා. උදාහරණයකට යෝබ් කියන දෙවිගේ සේවකයාට යක්ෂයා හුඟක් පීඩා කළා. ඔහුගේ සතුන්ව සහ සේවකයන්ව මරලා දැම්මා. ඔහුගේ දරුවන් දහදෙනාවත් මරලා දැම්මා. අන්තිමට “හිස මුදුනේ සිට පතුල දක්වා දරුණු කුෂ්ඨයකින් ඔහුට පහර දුන්නා.”—යෝබ් 1:7-19; 2:7.
දැන් යක්ෂයාව පොළොවට හෙළලා තියෙන්නේ. හැබැයි ඔහුට “ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාලයයි.” (එළිදරව් 12:12) මොකද දෙවියන් යක්ෂයාව ළඟදීම විනාශ කරලා දානවා. ඒක මොන තරම් සහනයක්ද!
පොළොවෙන් ස්වර්ගයට ගිය අය
“ඔබ [යේසුස්] සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම මිනිසුන්ව දෙවි වෙනුවෙන් මිල දී ගත්තෙහිය. ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද අපගේ දෙවි සඳහා පූජකයන් ලෙසද සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම ඔවුන්ට භාර දීමට නියමිතය.”—එළිදරව් 5:9, 10.
යේසුස් නැවත නැඟිටලා ස්වර්ගයට ගියා වගේ තවත් අයටත් ස්වර්ගයට යන්න අවස්ථාව ලැබෙනවා. යේසුස් ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන්ට මෙහෙම කිව්වා. ‘මම ඔබ සඳහා ස්ථානයක් සූදානම් කරන්න යනවා. මම ඇවිත් ඔබව මගේ නිවසට පිළිගන්නවා. ඒ අනුව මා සිටින තැන ඔබටත් සිටිය හැකියි.’—යොහන් 14:2, 3.
ස්වර්ගයට යන්න අවස්ථාව ලැබෙන අය එහේ යන්නේ නිකම්ම ඉන්න නෙමෙයි. ඔවුන් යේසුස් එක්ක දෙවිගේ රාජ්‍යයේ හවුල් පාලකයන් හැටියට සේවය කරනවා. ඒ රාජ්‍යය ඉදිරියේදී මේ පොළොව පාලනය කරන කාලයේදී පොළොවේ ඉන්න අයට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. යේසුස් ඔහුගේ ගෝලයන්ට ඒ රාජ්‍යය ගැන මේ විදිහට යාච්ඤා කරන්න කියලා කිව්වා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!”—මතෙව් 6:9, 10.
ස්වර්ගයේ ඉන්න අය කරන්නේ යන්නේ මොනවාද?
‘සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට [යොහන්ට] ඇසිණ. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”’—එළිදරව් 21:3, 4.
අනාවැකියක් හැටියට දුන්න ඒ දර්ශනය ඉටු වෙන්නේ දෙවියන්ගේ රාජ්‍යය මගින් මේ පොළොව පාලනය කරන කාලයේදියි. යේසුස් සහ මේ පොළොවෙන් ස්වර්ගයට යන අය එකතු වෙලා මේ පොළොව පුරා පැතිරිලා තියෙන සාතන්ගේ දුෂ්ට පාලනය අයින් කරලා මේ පොළොව පාරාදීසයක් කරන්න යනවා. අද අපිට විඳින්න වෙලා තියෙන දුක, වේදනාව විතරක් නෙමෙයි මරණය පවා නැති කරලා දාන්න යනවා.
ස්වර්ගයට යන්නේ නැති මිලියන ගාණක් මැරුණු අයට මොකද වෙන්නේ? ළඟදීම එයාලාව නැවත නැඟිටුවනවා. ඒ වගේම එයාලාට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—ලූක් 23:43.
යෙහෝවා දෙවි, යේසුස්, දේවදූතයන් සහ මේ පොළොවෙන් ස්වර්ගයට යන අය අපිට කොච්චර ආදරේද කියලා ඒ දර්ශනවලින් පැහැදිලි වෙනවා. එයාලා අනාගතයේදී කරන්න යන දේවල් ගැන තවත් තොරතුරු දැනගන්න කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙන්න. නැත්නම් www.jw.org/si වෙබ් අඩවියට පිවිසිලා ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත ඩවුන්ලෝඩ් කරගන්න.