ඔවුහු යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කළහ
පිලිප් එතියෝපිය නිලධාරියෙකුව බව්තීස්ම කරයි
එතියෝපිය ජාතිකයෙක් තම රථයේ ගමන් කරන අතරතුරේදී, තමන්ගේ කාලය ඥානවන්ත අන්දමින් පාවිච්චි කරමින් සිටියේය. ඔහු ශබ්ද නඟා කියවමින් සිටියේය, මෙය පළමු ශතවර්ෂයේ සංචාරකයන්ගේ සාමාන්‍ය පුරුද්දක් විය. මෙම විශේෂිත පුද්ගලයා “කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය” ඇති නිලධාරියෙකු විය.a ඔහු “ඇගේ මුළු වස්තු[ව]” භාරව කටයුතු කළ කෙනෙක් වූයේය, එනම් ඔහු මුදල් ඇමතිවරයෙක් වූයේය. මෙම නිලධාරියා දැනුම ලබාගැනීම සඳහා දේවවචනය කියවමින් සිටියේය.—ක්‍රියා 8:27, 28.
පිලිප් නම් එවැන්ජලිස්තවරයා ඒ අසල සිටියේය. දේවදූතයෙකු විසින් ඔහුව මෙම ස්ථානයට මඟ පෙන්වා තිබූ අතර, ඔහුට මෙසේ පවසන ලදි: “නුඹ මේ රථය ළඟට ගොස් එක්වෙයන්න.” (ක්‍රියා 8:26, 29) ‘මේ මිනිසා කවුද? ඔහු කියවන්නේ කුමක්ද? ඔහු වෙතට මාව මඟ පෙන්වනු ලැබුවේ මන්ද?’ ආදි වශයෙන් පිලිප් තමාගෙන්ම අසාගන්ට ඇතැයි අපට සිතිය හැක.
පිලිප් රථය අසලින් දිවයනවාත් සමඟම, එතියෝපීයයා මෙම වචන කියවනවා ඔහුට ඇසිණ: “උන්වහන්සේ බැටළුවෙකු මෙන් මරණයට ගෙනයනු ලැබ, බැටළු පැටවෙක් උගේ ලෝම කපන්නා ඉදිරිපිට ගොළුව සිටින්නාක්මෙන් තමන් මුඛය නාරිනසේක. උන්වහන්සේගේ පහත්වීමේදී උන්වහන්සේගේ විනිශ්චය බැහැර කරනලද්දේය. උන්වහන්සේගේ පරම්පරාව ප්රකාශකරන්නේ කවුද? මක්නිසාද උන්වහන්සේගේ ජීවිතය භූමියෙන් පහකරනලද්දේය.”—ක්‍රියා 8:32, 33.
පිලිප් එම කොටස විගස හඳුනාගත්තේය. එය යෙසායාගේ ලියවිල්ලෙන් විය. (යෙසායා 53:7, 8) එතියෝපීයයා ඔහු කියවමින් සිටි දෙයින් ව්‍යාකූල වී සිටියේය. පිලිප් මෙසේ අසමින් සංවාදයට මුලපිරුවේය: “නුඹ කියවන දේ නුඹට තේරෙනවාද?” එතියෝපීයයා මෙසේ පිළිතුරු දුන්නේය: “යමෙක් මගපෙන්නුවොත් මිස නැත්නම් මට තේරුම්ගන්ට පුළුවන් කොහොමද?” ඉන්පසු රථයට නැඟී තමා සමඟ ඉඳගන්ට කියා ඔහු පිලිප්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය.—ක්‍රියා 8:30, 31.
“බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේද?”
“අනාගතවක්තෘ මේක කියන්නේ කා ගැනද? තමාම ගැනද නොහොත් වෙන කෙනෙකු ගැනදැයි කියන ලෙස නුඹෙන් ඉල්ලමියි,” එතියෝපීයයා පිලිප්ට පැවසුවේය. (ක්‍රියා 8:34) යෙසායාගේ අනාවැකියේ වූ “බැටළුවා” හෝ “සේවකයා” හඳුනාගැනීම බොහෝ කලකට අබිරහසක්ව පැවති බැවින්, එතියෝපීයයාගේ වියවුල පුදුමයට කරුණක් නොවේ. (යෙසායා 53:11) පිලිප් එතියෝපීයයාට “යේසුස්වහන්සේ ගැන . . . [ශුභාරංචිය, NW] දේශනා” කළ විට, මෙය කෙතරම් පැහැදිලි වන්ට ඇද්ද! ටික වේලාවකට පසු එතියෝපීයයා මෙසේ පැවසුවේය: “මෙන්න, වතුර තිබේ; බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේද?” එබැවින් පිලිප් ඒ විගස එම ස්ථානයේදීම ඔහුව බව්තීස්ම කළේය.—ක්‍රියා 8:35-38.
මෙය කඩිනම් ක්‍රියාවක් වීද? කිසිසේත් නැත! එතියෝපිය ජාතිකයා යුදෙව් ආගමට හරවන ලද කෙනෙකු විය.b එබැවින් ඔහු ඒ වන විටත් මෙසියානු අනාවැකි ඇතුළුව ශුද්ධ ලියවිලි ගැන දැනුමක් ඇති යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයෙකු විය. කෙසේවෙතත්, ඔහුගේ දැනුම සම්පූර්ණ නොවීය. ඔහු දැන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වැඩ කොටස පිළිබඳව මෙම වැදගත් තොරතුරු ලබාගෙන සිටි හෙයින්, දෙවියන්වහන්සේ ඔහුගෙන් ඉල්ලා සිටියේ කුමක්ද කියා එතියෝපීයයා තේරුම්ගත් අතර, ඊට අනුකූලව කටයුතු කරන්ට සූදානම්ව සිටියේය. බව්තීස්මය උචිත විය.—මතෙව් 28:18-20; 1 පේතෘස් 3:21
ඉන්පසුව, “ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක.” ඔහු වෙනත් පැවරුමක් සඳහා පිටත්ව ගියේය. එතියෝපීයයා “ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.”—ක්‍රියා 8:39, 40.
අපට පාඩමක්
යෙහෝවඃවහන්සේගේ වත්මන් සේවකයන් වශයෙන්, අවංක හෘද ඇත්තන්ට දේවවචනයේ ඇති සත්‍යය ඉගෙනීමට උපකාර කිරීමට අපි බැඳී සිටින්නෙමු. ගමන් කරන අතරතුරේදී හෝ වෙනත් අවස්ථාවලදී අන්‍යයන්ට ශුභාරංචිය ඉදිරිපත් කිරීමෙන් බොහෝදෙනෙක් සාර්ථක වී ඇත්තාහ. රාජ්‍ය දේශනා කිරීමේ වැඩයේ ප්‍රතිඵලයක් වශයෙන්, සියදහස් ගණන් ජනයා බව්තීස්ම වීම මගින් යෙහෝවඃ දෙවියන්වහන්සේට වූ ඔවුන්ගේ කැපවීම සංකේතවත් කරති.
නවකයන්ව බව්තීස්මය සඳහා හදිස්සි නොකළ යුතු බව නොකිවමනාය. පළමුව ඔවුන් යෙහෝවඃ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගත යුතුය. (යොහන් 17:3) පසුව ඔවුන් පසුතැවිලි විය යුතුය. එනම්, වැරදි හැසිරීම අත්හැර දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට එකඟවීම සඳහා ආපසු හැරිය යුතුය. (ක්‍රියා 3:19, 20ආ) විශේෂයෙන්ම වැරදි කල්පනාව සහ හැසිරීම ගැඹුරින් මුල්බැස තිබේ නම්, මෙයට කාලයක් ගත වේ. නවකයන් ක්‍රිස්තියානි ගෝලත්වයට ඇතුළත් පරිත්‍යාගයන් ගැන බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු අතර, යෙහෝවඃ දෙවියන්වහන්සේ සමඟ කැප වූ සබඳතාවකට ඇතුල්වීමෙන් මහඟු ආශීර්වාද ප්‍රතිඵල වේ. (සසඳන්න ලූක් 9:23; 14:25-33.) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, එවන් නවකයන්ව දෙවියන්වහන්සේ ස්වකීය කැමැත්ත ඉටු කිරීමට පාවිච්චි කරන සංවිධානය වෙතට උද්යෝගිමත්ව මඟ පෙන්වති. (මතෙව් 24:45-47) එතියෝපීයයා මෙන්, මෙවන් අයද දෙවියන්වහන්සේ ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි ඉගෙනීමෙන් හා ඊට අනුකූල වීමෙන් මහත් සතුටක් ලබති.
[පාදසටහන්වල]
a “කන්දකී” නමක් නොවන මුත් (“ඵාරාවෝ” සහ “කායිසර්” හා සමානව) එතියෝපිය ජාතික බිසවුන්ගේ අනුපිළිවෙළට අදාළ වන පදවියකි.
b යුදෙව් ආගමට හරවන ලද්දාවූ අය, මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපැදීමට තෝරාගත් ඉශ්‍රායෙලිතයන් නොවන අය වූහ.—ලෙවී කථාව 24:22.
[8වන පිටුවේ කොටුව]
නපුංසකයෙකු ලෙස හඳුන්වනු ලැබුවේ මන්ද?
ක්‍රියා 8වන පරිච්ඡේදයේ සඳහන් විස්තරය පුරා, එතියෝපීයයාව “නපුංසකයා” ලෙස යොමු දක්වා තිබේ. කෙසේවෙතත්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ කරඹන ලද පුරුෂයෙකුට සභාවට ඇතුල්වීමට ඉඩ නොතිබූ බැවින්, මෙම මිනිසා වචනානුසාරයෙන් නපුංසකයෙකු නොවූ බව පැහැදිලිය. (ද්විතීය කථාව 23:1) “නපුංසකයා” සඳහා වූ ග්‍රීක වචනය උසස් තනතුරක සිටින පුද්ගලයෙකුට යොමු දැක්විය හැක. මෙලෙස, මෙම එතියෝපීයයා, එතියෝපිය බිසව යටතේ සිටි නිලධාරියෙකු විය.