ප්‍රේරිතවරුන්ගේ කාලයේ ආලෝක ධාරාවන්
“ධර්මිෂ්ඨයන්ට එළියත් [ආලෝකයත්, NW] අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය [හෙළනලද්දේය, NW].”—ගීතාවලිය 97:11.
1. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අදදින මුල් ක්‍රිස්තියානීන්ට සමානව සිටින්නේ කෙසේද?
සැබෑ ක්‍රිස්තියානීන් හැටියට, ගීතාවලිය 97:11හි වදන් අපි කොතරම් අගය කරන්නෙමුද! පුන පුනා අප හට ‘ආලෝක ධාරාවන් විහිදී’ ඇත. ඇත්තවශයෙන්ම, අපෙන් සමහරෙක් යෙහෝවඃවහන්සේගේ ආලෝකයේ දීප්තිය දශක ගණනාවක් පුරා දැක ඇත. මේ සියල්ලක්ම අපට හිතෝපදේශ 4:18 සිහිපත් කරවයි, එහි කියැවෙන්නේ, “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙ[නි]” කියාය. සම්ප්‍රදායන්ට වඩා අප ශුද්ධ ලියවිල්ල අගය කරන බැවින්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ වන අපි මුල් ක්‍රිස්තියානීන්ට සමාන වන්නෙමු. දේවානුභාවය යටතේ ලියන ලද ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ ඇති ඓතිහාසික පොත්වලින් හා එහි ලිපිවලින් ඔවුන්ගේ ආකල්පය පැහැදිලිව දැකිය හැක.
2. යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලැබූ මුල් ආලෝක ධාරාවන්ට කුමක් අයත්වූයේද?
2 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුල් අනුගාමිකයන් ලැබූ පළමු ආලෝක ධාරාවන් මෙසියස්වහන්සේ හා සම්බන්ධකමක් තිබූ ඒවාය. “අපට මෙසියස්වහන්සේ සම්බවූසේක” කියා අන්ද්රැ, සිය සහෝදර සීමොන් පේතෘස්ට පැවසුවේය. එයින් යම් කලකට පසු, ප්‍රේරිත පේතෘස් “ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය” යනුවෙන් පැවසූ විට, ඒ වෙනුවෙන් සාක්ෂි දරන්ට ස්වර්ගීය පියාණන් ඔහුට හැකියාව ලබා දුන්සේක.—මතෙව් 16:16, 17; යොහන් 6:68, 69.
ඔවුන්ගේ දේශනා කිරීමේ ආඥාව කෙරෙහි ආලෝකය
3, 4. යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු, සිය අනුගාමිකයන්ගේ අනාගත වැඩකටයුතු සම්බන්ධයෙන් කිනම් ඥානාලෝකයක් උන්වහන්සේ ලබා දුන්සේක්ද?
3 යේසුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටීමෙන් පසු, සිය අනුගාමිකයන් සියලුදෙනා මත පැවරී ඇති වගකීමක් හා සම්බන්ධ ආලෝක ධාරාවන් උන්වහන්සේ නිකුත් කළසේක. උන්වහන්සේ මෙසේ පවසන්ට යෙදුණේ ගලීලයේ එක්රැස් වී සිටි ගෝලයන් 500දෙනාට වන්ට පුළුවන: “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගේත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් [ශුද්ධාත්මයෙත්, NW] නාමයට ඔවුන් බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා. මමද ලෝකාන්තිමය [පිළිවෙළේ සමාප්තිය, NW] දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි.” (මතෙව් 28:19, 20; 1 කොරින්ති 15:6) එතැන් පටන්, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් සියලුදෙනාම දේශනා කරන්නන් විය යුතුව තිබූ අතර, තමන්ගේ දේශනා බලපැවරුම “ඉශ්රායෙල් වංශයේ නැතිවූ බැටළුවන්[ට]” සීමා නොකළ යුතු විය. (මතෙව් 10:6) එමෙන්ම ඔවුන් පව්වලට සමාව දීම සඳහා පසුතැවිල්ලේ සංකේතයක් හැටියට යොහන්ගේ බව්තීස්මය තවදුරටත් නොකළ යුතු විය. ඒ වෙනුවට, ඔවුන් ජනයාව බව්තීස්ම කළ යුතුව තිබුණේ “පියාණන්ගේත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් [ශුද්ධාත්මයෙත්, NW] නාම[යෙනි].”
4 යේසුස්වහන්සේ ස්වර්ගයට නැඟීමට මොහොතකට කලින්, උන්වහන්සේගේ විශ්වසනීය ගෝලයෝ 11දෙනා, “ස්වාමීනි, මේ කාලයේදී ඔබ ඉශ්රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි” ඇසුවෝය. එම පැනයට පිළිතුරු දෙනවා වෙනුවට, යේසුස්වහන්සේ, “ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය, NW] නුඹලා කෙරෙහි පැමිණිකල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය” යයි පවසමින් සිය දේශනා බලපැවරුමට අදාළව වැඩිමනත් උපදෙස් ඉදිරිපත් කළසේක. ඒ දක්වා, ඔවුන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව පමණක් සිටියද, මෙහිදී ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවන් වනු ඇත.—ක්‍රියා 1:6-8.
5, 6. යේසුස්වහන්සේගේ ගෝලයන් පෙන්තකොස්තයේදී ලැබුවේ කිනම් ආලෝක ධාරාවන්ද?
5 ඉන් දින දහයකට පසු, යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලැබුවේ කොතරම් දීප්තිමත් ආලෝක ධාරාවන්ද! පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේ, පළමු වතාවට ඔවුහු යෝවෙල් 2:28, 29හි වැදගත්කම අගය කරන්ට යෙදුණහ: “ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත. ඒ දවස්වලදී දාසයන් සහ දාසීන් කෙරෙහි පවා මාගේ ආත්මය වගුරුවන්නෙමි.” යේසුස්වහන්සේගේ ගෝලයෝ, යෙරුසලමේ එක්රැස්ව සිටි පුරුෂයන් හා කාන්තාවන් 120දෙනෙකු පමණ එනම්, ඔවුන් සියලුදෙනා කෙරෙහි— —ගිනි වැනිවූ දිව් ආකාරයෙන්, ශුද්ධාත්මය පතිතවෙනවා දුටහ.—ක්‍රියා 1:12-15; 2:1-4.
6 තවද පෙන්තකොස්ත දිනයේ, ගීතාවලිය 16:10හි වදන් නැවත නැගිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අදාළ වන බව එම ගෝලයන් පළමුවතාවට තේරුම්ගත්හ. එහි ගීතිකාකරු පවසන්ට යෙදුනේ “මක්නිසාද ඔබ [යෙහෝවඃ දෙවියන්වහන්සේ] මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරිනසේක. ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙනසේක” කියාය. එම දවස දක්වා දාවිත් රජගේ සොහොන්කොත තමන් අතර තිබූ බැවින්, එම වදන් ඔහුට අදාළ නොවන්ට ඇති බව එම ගෝලයෝ තේරුම්ගත්හ. මෙම අලුත් ආලෝකය පිළිබඳ පැහැදිලි කිරීම ඇසූ 3,000ක් පමණ දෙනා, කොතරම් ඒත්තු ගැන්වීමක් ලැබුවාද කිවහොත්, එදිනම ඔවුන් බව්තීස්ම වීම පුදුමයක් නොවේ!—ක්‍රියා 2:14-41.
7. රෝමානු හමුදා නිලධාරියා වන කොර්නේලියස්ව බලන්ට යන විට ප්‍රේරිත පේතෘස් ලැබුවේ කිනම් දීප්තිමත් ආලෝකයක්ද?
7 ශතවර්ෂ ගණනාවක් පුරා, ඉශ්‍රායෙලිතයෝ තමන් සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ පවසා තිබූ, “පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි” යන වදන් අගය කළහ. (ආමොස් 3:2) එබැවින් ශුද්ධාත්මය පළමු වතාවට අචර්මච්ඡේදිත අන්‍යජාතික ඇදහිලිවන්තයන් කෙරෙහි පහළ වූ විට, පේතෘස් මෙන්ම ඔහු සමඟ රෝමානු හමුදා නිලධාරියා වන කොර්නේලියස්ගේ නිවසට ගිය අය ලැබුවේ ඇත්තවශයෙන්ම දීප්තිමත් ආලෝක ධාරාවකි. බව්තීස්මයට පෙර ශුද්ධාත්මය දෙනු ලැබූ එකම අවස්ථාව මෙය බව සැලකිල්ලට ගැනීම වටී. එහෙත් එය එසේ සිදුවිය යුතුව තිබිණ. එසේ නොවන්ට, මෙම අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන් බව්තීස්මය සඳහා සුදුසුකම් ලබා සිටි බව පේතෘස් නොදැන සිටිනවා ඇත. මෙම සිද්ධියේ වැදගත්කම සම්පූර්ණයෙන් අගය කරමින්, පේතෘස් ඇසුවේ, “අපට ලැබුණාක්මෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය, NW] ලැබූ මොවුන් බව්තීස්මකරනු නොලබන පිණිස වතුර තහනම්කරන්ට කාට පුළුවන්ද” යනුවෙනි. ඇත්තවශයෙන්ම, පැමිණ සිටි කිසිවෙකුට විරුද්ධ විය නොහැකි වූ අතර, ඒ හේතුවෙන් මෙම අන්‍යජාතීන්ගේ බව්තීස්මය සිදු කරනු ලැබීය.—ක්‍රියා 10:44-48; සසඳන්න ක්‍රියා 8:14-17.
තවදුරටත් චර්මච්ඡේදනයක් සිදු නොකෙරේ
8. මුල් ක්‍රිස්තියානීන්ගෙන් සමහරෙකුට චර්මච්ඡේදනය අත්හැරීම අපහසු වූයේ මක්නිසාද?
8 චර්මච්ඡේදනය පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් සත්‍යයේ වැඩිමනත් දීප්තිමත් ධාරාවක් ප්‍රකාශ විය. චර්මච්ඡේදන ක්‍රියාව පො.යු.පෙ. 1919 යෙහෝවඃවහන්සේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමෙන් ආරම්භ විය. ඔහුද ඔහුගේ පවුලේ අන් සියලු පිරිමින්ද චර්මච්ඡේදනය ලැබිය යුතු බව ඒ අවස්ථාවෙහි දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට ආඥා කළසේක. (උත්පත්ති 17:9-14, 23-27) එබැවින්, චර්මච්ඡේදනය ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ගේ හඳුනාගැනීමේ ලකුණක් බවට පත්විය. එමෙන්ම ඔවුහු මෙම පුරුද්ද ගැන කොතරම් ආඩම්බර වූවෝද! ප්‍රතිඵලයක් වශයෙන්, ‘අචර්මච්ඡේදනය’ පිළිකුල්සහගත ප්‍රකාශයක් බවට පත්විය. (යෙසායා 52:1; 1 සාමුවෙල් 17:26, 27) ඇතැම් මුල් යුදෙව් ක්‍රිස්තියානීන්ට මෙම සංකේතමය ක්‍රියාව දිගටම පවත්වා ගැනීමට වුවමනා වූයේ මන්දැයි දැකීම පහසුය. ඔවුන්ගෙන් සමහරෙක් මේ පිළිබඳව පාවුල් හා බාර්ණබස් සමඟ සෑහෙන වාද කිරීමක්ද කළහ. එබැවින් එය නිරාකරණය කරන්ට, පාවුල් මෙන්ම වෙනත් අය ක්‍රිස්තියානි පාලක මණ්ඩලයෙන් උපදෙස් ලබාගැනීමට යෙරුසලමට ගියහ.—ක්‍රියා 15:1, 2.
9. ක්‍රියා 15වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති ආකාරයට, මුල් පාලක මණ්ඩලයට එළිදරව් කරනු ලැබුවේ කිනම් ආලෝක ධාරාවන්ද?
9 චර්මච්ඡේදනය යෙහෝවඃවහන්සේගේ සේවකයන් සඳහා වැඩිදුරටත් අවශ්‍යතාවක් නොවන බවට වූ ආලෝකය මුල් ක්‍රිස්තියානීන් මෙවර ලැබුවේ ආශ්චර්යයක් කරණකොටගෙන නොවේ. ඒ වෙනුවට, ඔවුන් එම වැඩිවර්ධිත ආලෝකය ලැබුවේ ශුද්ධ ලියවිලි විමර්ශනය කිරීමෙනි, මඟ පෙන්වීම සඳහා ශුද්ධාත්මය කෙරෙහි යොමුවීමෙනි, එමෙන්ම අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන්ව හරවාගැනීම සම්බන්ධ පේතෘස් හා පාවුල්ගේ අද්දැකීම් ඇසීමෙනි. (ක්‍රියා 15:6-21) එම තීරණය ලිපියකින් දන්වා එවන ලද අතර, එහි කොටසක මෙසේ සඳහන් වේ: “රූපවලට පූජාකළ දේවලින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද නුඹලා වලකින්ට ඕනෑවා මිස, වෙන කිසි බරක් නුඹලා පිට නොතබන්ට ශුද්ධාත්මයාණන්ටත් අපටත් යහපතැයි පෙනීගියේය.” (ක්‍රියා 15:28, 29) එලෙසින් මුල් ක්‍රිස්තියානීන්ව චර්මච්ඡේදනය කිරීමෙනුත් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ වෙනත් අවශ්‍යතාවන්ගෙනුත් මුදාලනු ලැබීය. එබැවින් පාවුල්ට, ගලාති ක්‍රිස්තියානීන් අමතා “ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට” යයි පැවසිය හැකිව තිබිණ.—ගලාති 5:1.
සුවිශේෂයන්හි ආලෝකය
10. මතෙව්ගේ සුවිශේෂයේ එළිදරව් කරනු ලැබූ ඇතැම් ආලෝක ධාරාවන් මොනවාද?
10 පොදු යුගයේ 41දී පමණ ලියන ලද, මතෙව්ගේ සුවිශේෂය, එහි පාඨකයන්ගේ ප්‍රයෝජනය පිණිස බොහෝ ආලෝක ධාරාවන් දරන බවට කිසිදු ප්‍රශ්නයක් නොමැත. සන්සන්දනාත්මක වශයෙන් ගත් කල යේසුස්වහන්සේ සිය ඉගැන්වීම් විස්තර කිරීම පෞද්ගලිකව අසා තිබුණේ, පළමු-ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ගෙන් ස්වල්පදෙනෙකු පමණකි. නිශ්චිතාකාරයෙන්, මතෙව්ගේ සුවිශේෂය යේසුස්වහන්සේගේ දේශනාවේ තේමාව රාජ්‍යය බව අවධාරණය කළේය. එමෙන්ම හරි ආකල්පයක් තබාගැනීමේ වැදගත්කම යේසුස්වහන්සේ කොතරම් දැඩිව අවධාරණය කර තිබුණේද! උන්වහන්සේගේ කන්ද උඩ දේශනාවෙහි, (දහතුන්වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති ඒවා බඳු) උන්වහන්සේගේ උපමාවල, මෙන්ම මතෙ 24 හා 25වන පරිච්ඡේදවල ඇති උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ අනාවැකිවල කොතරම් ආලෝක ධාරාවක් අඩංගුව තිබුණේද! පොදුයුගයේ 33හි පෙන්තකොස්ත දවසින් වසර අටකට පමණ පසුව ලියන ලද මතෙව්ගේ සුවිශේෂ වාර්තා මගින් මේ සියල්ලක්ම මුල් ක්‍රිස්තියානීන්ගේ අවධානයට ලක් කරනු ලැබීය.
11. ලූක් හා මාර්ක්ගේ සුවිශේෂයන්හි අඩංගු දෑ ගැන කුමක් කිව හැකිද?
11 ඉන් වසර 15කට පමණ පසු, ලූක් සිය සුවිශේෂය ලිව්වේය. ඉන් වැඩි කොටසක් මතෙව්ගේ වාර්තාවට සමානව තිබුණද, සියයට 59ක අතිරේකයක්ද එහි ඇත. යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන්ගෙන් හයක්ද, වෙනත් සුවිශේෂ ලේඛකයන් විසින් සඳහන් නොකරන ලද උන්වහන්සේගේ උපමාවලින් දෙගුණයකට වැඩි ප්‍රමාණයක්ද ලූක් වාර්තා කළේය. පෙනෙන හැටියට ඉන් වසර ස්වල්පයකට පසු, ක්‍රියාශීලී මිනිසෙකු මෙන්ම ප්රාතිහාර්යය කරන්නෙකු හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධාරණය කරමින්, මාර්ක් සිය සුවිශේෂය ලිව්වේය. බොහෝදුරට මාර්ක්, කලින් මතෙව් හා ලූක් විසින් වාර්තා කරන ලද සිද්ධීන් ප්‍රකාශ කළද, ඔවුන් සඳහන් නොකළ උපමාවක්ද ඔහු වාර්තා කළේය. පැළවී උස්ව වැඩී, ක්‍රමයෙන් ඵල දරන බීජයකට යේසුස්වහන්සේ එම උපමාවෙහි දේවරාජ්‍යය සමාන කළසේක.a—මාර්ක් 4:26-29.
12. යොහන්ගේ සුවිශේෂය වැඩිමනත් ඥානාලෝකයක් ලබා දුන්නේ කොතරම් දුරටද?
12 ඒ සමඟම මාර්ක් තමාගේ වාර්තාව ලිවීමෙන් වසර 30කට වැඩි කාලයකට පසුව ලියන ලද යොහන්ගේ සුවිශේෂය ඇත. විශේෂයෙන්ම යේසුස්වහන්සේගේ මනුෂ්‍යභාවයට පෙර පැවැත්ම කෙරෙහි යොමු කිරීම් බොහොමයක් කරමින්, යොහන්, උන්වහන්සේගේ දේවසේවය කෙරෙහි හෙළුවේ කොතරම් ආලෝක කදම්බයක්ද! ලාසරුස්ව නැවත නැගිටුවීම පිළිබඳ වාර්තාව යොහන් පමණක් සපයන අතර යොහ 13 සිට 17 දක්වා පරිච්ඡේදවල වාර්තා කර ඇති ආකාරයට, උන්වහන්සේගේ විශ්වසනීය ප්‍රේරිතයන්ට යේසුස්වහන්සේගේ කදිම ප්‍රකාශයන් මෙන්ම උන්වහන්සේව පාවා දෙනු ලැබූ රාත්‍රියෙහි උන්වහන්සේගේ හද උණුසුම් කරවන යාච්ඤාව අපට ලබා දෙන්නේ ඔහු පමණකි. ඇත්තවශයෙන්ම, යොහන්ගේ සුවිශේෂයෙන් සියයට 92ක් අද්විතීයයයි කියනු ලැබේ.
පාවුල්ගේ ලිපිවල ඇති ආලෝක ධාරාවන්
13. පාවුල් රෝමවරුන්ට ලියූ ලිපිය ඇතමෙක් ශුභාරංචියක් හැටියට කල්පනා කර ඇත්තේ මන්ද?
13 ප්‍රේරිත පාවුල්ව විශේෂාකාරයෙන් පාවිච්චි කරනු ලැබුවේ ප්‍රේරිතවරුන්ගේ කාලයේ ජීවත්වෙමින් සිටි ක්‍රිස්තියානීන්ට සත්‍යයේ ආලෝකය ගෙනෙන්ටය. උදාහරණයක් වශයෙන්, පො.යු. 56දී පමණ, එනම් බොහෝදුරට ලූක් තමාගේ සුවිශේෂය ලියූ කාලයේදී පාවුල් රෝමවරුන්ට ලිපියක් ලිව්වේය. මෙම ලිපියෙහි දෙවියන්වහන්සේගේ අපරිමිත කරුණාවේ ප්‍රතිඵලයක් වශයෙනුත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය තුළිනුත්, ධර්මිෂ්ඨකම පවරනු ලබන බව පාවුල් හුවා දැක්වීය. ශුභාරංචියේ මෙම අංගය කෙරෙහි පාවුල්ගේ අවධාරණය රෝමවරුන්ට ලියූ සිය ලිපිය පස්වන සුවිශේෂයක් හැටියට කල්පනා කරන්ට ඇතමෙකුට සලස්වා ඇත.
14-16. (අ) කොරින්තියේ ක්‍රිස්තියානීන්ට ලියන ලද සිය ලිපියේ, එක්සත්භාවය සඳහා තිබෙන අවශ්‍යතාව කෙරෙහි පාවුල් හෙළුවේ කිනම් ආලෝකයක්ද? (ආ) හැසිරීම සම්බන්ධයෙන් පළමු කොරින්තිහි අඩංගුව ඇත්තේ කිනම් වැඩිමනත් ආලෝකයක්ද?
14 කොරින්තියේ ක්‍රිස්තියානීන්ට වද දෙමින් තිබූ ඇතැම් කරුණු ගැන පාවුල් ලිව්වේය. කොරින්තිවරුන්ට ලියූ ඔහුගේ ලිපියෙහි, අපගේ දවස දක්වා ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනවත් වී ඇති දේවානුභාවය ලත් උපදෙස් බොහොමයක් අඩංගු වී ඇත. මුලින්ම කොරින්තිවරුන් ඇතැම් පුද්ගලයන් වටා පෞද්ගලිකව කල්ලි ගසාගෙන සිටීමෙන් කරන ලද වැරැද්ද සම්බන්ධයෙන් ඔවුන් බුද්ධිමත් කරන්ට ඔහුට සිදුවිය. එම ප්‍රේරිතවරයා, නිර්භීතව මෙසේ පවසමින් ඔවුන්ව නිවැරදි කළේය: “ඉතින්, සහෝදරයෙනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, නුඹලා අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි.”—1 කොරින්ති 1:10-15.
15 කොරින්තියේ ක්‍රිස්තියානි සභාව, අන්ත දුරාචාරය ඉවසා දරා කටයුතු කර තිබිණ. එක්තරා මිනිසෙකු සිය පියාගේ භාර්යාව තබාගෙන සිටි අතර, එසේ ‘මිථ්‍යාදෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වේශ්‍යාකම්’ ක්‍රියාවට නගා තිබිණ. “ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරපල්ලා” යයි පාවුල් පැහැදිලිව ලිව්වේය. (1 කොරින්ති 5:1, 11-13) එය, එනම් සභා ඇසුරෙන් ඉවත් කිරීම, ක්‍රිස්තියානි සභාවට අලුත් යමක් විය. එහි සාමාජිකයන්ගෙන් සමහරෙක් ආත්මික සහෝදරයන්ව අයුක්තිය විසඳාගැනීම පිණිස ලෞකික අධිකරණයන් වෙතට රැගෙන යෑම, කොරින්ති සභාවට ඥානාලෝකය අවශ්‍යව තිබූ තවත් කරුණකි. මෙය කිරීම වෙනුවෙන් පාවුල් ඔවුන්ට තදින් තරවටු කළේය.—1 කොරින්ති 6:5-8.
16 ලිංගික සබඳතා කොරින්තියේ සභාවට මහත් හිරිහැර පැමිණෙවූ තවත් කරුණකි. ලිංගික දුරාචාරය තිබීම හේතුවෙන් සෑම පුරුෂයෙකුම තමාගේ භාර්යාව ඇතුව සිටීමත්, සෑම ස්ත්‍රියක්ම තමාගේ පුරුෂයා ඇතුව සිටීමත්, හොඳ යයි පළමු කොරින්ති 7වන පරිච්ඡේදයේ පාවුල් පෙන්වා දුන්නේය. අවිවාහක පුද්ගලයන්ට ව්‍යාකූලත්වයන්ගෙන් තොරව යෙහෝවඃවහන්සේට සේවය කල හැකි වුවත්, සියල්ලන්ට අවිවාහකව සිටීමේ දීමනාව නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය. තවද ස්ත්‍රියකගේ පුරුෂයා මළොත්, ඇය යළිත් විවාහ වීමට නිදහස්ව සිටියද, ඒ “ස්වාමීන්වහන්සේ තුළ පමණක්[ම]” සිදුවිය යුතුව තිබිණ.—1 කොරින්ති 7:39.
17. නැවත නැගිටීම පිළිබඳ ඉගැන්වීම කෙරෙහි පාවුල් හෙළුවේ කිනම් ආලෝකයක්ද?
17 නැවත නැගිටීම කෙරෙහි කොතරම් ආලෝක ධාරාවක් හෙළන්ට ස්වාමීන්වහන්සේ පාවුල්ව යොදාගත්සේක්ද! ආලේප ලත් ක්‍රිස්තියානීන් උත්ථාන කරනු ලබනවා ඇත්තේ කොයි ආකාර ශරීරයන් සමඟද? “ස්වාභාවික ශරීරයක්ව වපුරනු ලැබේ; ආත්මික ශරීරයක්ව නැගුටුවනු ලැබේ” යයි පාවුල් ලිව්වේය. මාංසික ශරීර ස්වර්ගයට ගනු ලබන්නේ නැත, මන්දයත් “මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි[ය].” ආලේප ලත් සෑමකෙනෙක්ම මරණ නින්දේ නොසැතපෙන බවත්, යේසුස්වහන්සේගේ පැමිණ සිටීම තුළ ඇතමෙක් ක්ෂණිකව මරණයේදී අමරණීය ජීවිතයට උත්ථාන කරනු ලබන බවත්, පාවුල් වැඩිදුරටත් සඳහන් කළේය.—1 කොරින්ති 15:43-53.
18. තෙසලෝනිකවරුන්ට වූ පාවුල්ගේ පළමු ලිපියේ අඩංගුව තිබුණේ අනාගතය සම්බන්ධ කිනම් ආලෝකයද?
18 තෙසලෝනිකයේ සිටින ක්‍රිස්තියානීන්ට ලියන ලද සිය ලිපියේ, අනාගතය කෙරෙහි ආලෝකය හෙළන්ට පාවුල්ව යොදාගනු ලැබීය. යෙහෝවඃවහන්සේගේ දවස රාත්‍රියේ සොරෙකු මෙන් එනවා ඇත. පාවුල් මෙසේද පැහැදිලි කළේය: “සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භිණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.”—1 තෙසලෝනික 5:2, 3.
19, 20. හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියේ යෙරුසලමේ හා යුදයේ සිටි ක්‍රිස්තියානීන් ලැබුවේ කිනම් ආලෝක ධාරාවන්ද?
19 හෙබ්‍රෙව්වරුන්ට සිය ලිපිය ලිවීමෙන්, යෙරුසලමේ හා යුදයේ සිටි මුල් ක්‍රිස්තියානීන් කෙරෙහි පාවුල් ආලෝක ධාරාවන් යොමු කළේය. නමස්කාරයේ මෝසෙස්ගේ පිළිවෙළට වඩා නමස්කාරයේ ක්‍රිස්තියානි පිළිවෙළේ උත්තරීතරභාවය ඔහු කොතරම් බලගතු ලෙස පෙන්වූයේද! දේවදූතයන් විසින් ලබා දෙන ලද නීති අනුගමනය කරනවා වෙනුවට, එවන් දේවදූතමය පණිවුඩකරුවන්ට වඩා අතිශයින් උත්තරීතර තත්වයක සිටින, දේවපුත්‍රයා විසින් මුලින් කතා කරන ලද ගැළවීම කෙරෙහි ක්‍රිස්තියානීන්ට විශ්වාසය තිබේ. (හෙබ්‍රෙව් 2:2-4) මෝසෙස් දෙවියන්වහන්සේගේ ගෘහයේ හුදු සේවකයෙක් වුවා පමණි. කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මුළු ගෘහයෙහිම ප්‍රධානියාව සිටිනසේක. ක්‍රිස්තුස්වහන්සේ ආරොන්ගේ පූජක පන්තියට වඩා අතිශයින් උත්තරීතර තත්වයක් දරමින්, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ උත්තම පූජකයෙක් වනසේක. විශ්වාසය හා කීකරුකම නොමැතිකම නිසා ඉශ්‍රායෙලිතයන්ට දෙවියන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුල්විය නොහැකි වුවත්, සිය විශ්වාසය හා කීකරුකම හේතුවෙන් ක්‍රිස්තියානීන් ඊට ඇතුල් වන බවද පාවුල් පෙන්වා දුන්නේය.—හෙබ්‍රෙව් 3:1–4:11.
20 එමෙන්ම, අලුත් ගිවිසුම ව්‍යවස්ථා ගිවිසුමට වඩා අතිශයින් උත්තරීතර වන්නේය. යෙරෙමියා 31:31-34හි වසර 600කට පෙර පුරෝකථනය කරන ලද ආකාරයට, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අලුත් ගිවිසුමේ සිටින්නන්ගේ සිත්වල ලියා ඇති අතර, පාපවලට සැබෑ සමාවක් භුක්තිවිඳිනවා ඇත. තමාගේම පාපවලටත් ජනතාවගේ පාපවලටත් වාර්ෂිකව පූජා ඔප්පු කළ යුතු වූ උත්තම පූජකයෙක් සිටිනවා වෙනුවට, ක්‍රිස්තියානීන්ට උත්තම පූජකයෙක් හැටියට සිටින්නේ පව්වලින් තොරවූද, පාප සඳහා සෑම කලකටම එක්වරක් යාගයක් ඔප්පු කළාවූද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. සිය යාගය ඔප්පු කිරීමට අත්වලින් සාදන ලද ශුද්ධස්ථානයකට ඇතුල් වෙනවා වෙනුවට, යෙහෝවඃවහන්සේ ඉදිරියේ පෞද්ගලිකව පෙනී සිටින්ට, උන්වහන්සේ ස්වර්ගයට ඇතුල් වූසේක. එපමණක්ද නොව, මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුම යටතේ ඔප්පු කරන ලද සත්ව යාගයන්ට පව් සහමුලින්ම ඉවත් කළ නොහැකි විය, එය කළ හැකිව තිබුණේ නම්, ඒවා වාර්ෂිකව ඔප්පු කරනු නොලබනවා ඇත. එහෙත් සෑම කලටම එක්වරක් ඔප්පු කරන ලද ක්‍රිස්තුස්වහන්සේගේ යාගය, පව් ඉවත් කරන්නේය. මේ සියල්ලක්ම, ආලේප ලත් ඉතිරි කොටස හා “වෙනත් බැටළු[වන්]” අදදින එහි මළුවේ සේවය කරමින් සිටින, ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව කෙරෙහි ආලෝකය හෙළයි.—යොහන් 10:16; හෙබ්‍රෙව් 9:24-28.
21. මෙම සාකච්ඡාව ප්‍රේරිතවරුන්ගේ කාලවල ගීතාවලිය 97:11 හා හිතෝපදේශ 4:18හි ඉටුවීම සම්බන්ධයෙන් පෙන්වා තිබෙන්නේ කුමක්ද?
21 වැඩිමනත් උදාහරණ ඉදිරිපත් කරන්ට, එනම් ප්‍රේරිත පේතෘස් මෙන්ම ගෝලයන් වන යාකොබ් හා යූද් විසින් ලියන ලද ලිපිවල දක්නට ලැබෙන ආලෝක ධාරාවන් ගැන කතා කරන්ට මෙහි ඉඩ මදිය. එහෙත් ඉහත සඳහන් කළ දෑ ගීතාවලිය 97:11 හා හිතෝපදේශ 4:18 වගන්තිවලට ප්‍රේරිතවරුන්ගේ කාලවල කැපීපෙනෙන ඉටුවීමක් තිබූ බව පෙන්වීමට ප්‍රමාණවත් විය යුතුය. සත්‍යය, රූප හා ඡායාවන් සිට ඉටුවීම් හා යථාර්ථයන් බවට වැඩිවර්ධනය වන්ට පටන් ගති.—ගලාති 3:23-25; 4:21-26.
22. ප්‍රේරිතවරුන්ගේ මරණයෙන් පසු සිදුවූයේ කුමක්ද, එමෙන්ම ඊළඟ ලිපිය කුමක් පෙන්වනු ඇත්ද?
22 යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ මරණයත් ඇදහිල්ල අත්හැරයෑම පටන්ගැනීමත් සමඟම, සත්‍යයේ ආලෝකය දැල්වුණේ ඉතා මඳ වශයෙනි. (2 තෙසලෝනික 2:1-11) යේසුස්වහන්සේගේ පොරොන්දුව සැබෑ කරවමින්, ශතවර්ෂ ගණනාවකට පසු, ස්වාමියා පැමිණි අතර “විශ්වාසවූ නුවණ ඇති දාසයා” “ගෙයිවැසියන්ට” නියම වේලාවට කෑම දෙනු දිටීය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේ එම දාසයාව “තමා සන්තක සියල්ල කෙරෙහි” පත් කළසේක. (මතෙව් 24:45-47) ඒ සමඟම කොතරම් ආලෝක ධාරාවක් නිකුත් වූයේද? මෙය ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ලබනවා ඇත.
[පාදසටහන්වල]
a මෙහි පොළොව යොමු දක්වන්නේ පෞද්ගලික ගුණාංග ගොඩනැඟීමට ක්‍රිස්තියානියෙක් තෝරාගන්නා පරිසරයටය.—වර්ෂ 1980, ජූනි 15, ද වොච්ටවර් සඟරාවේ, 18-19 පිටු බලන්න.
ඔබට මතකද?
◻ සත්‍යය වටහාගැනීම ප්‍රගතිශීලීව සිදුවන බව පෙන්වන්නේ කිනම් බයිබල් පාඨයන්ද?
◻ ක්‍රියා පොතෙහි වාර්තා කර ඇති ඇතැම් ආලෝක ධාරාවන් මොනවාද?
◻ සුවිශේෂයන්හි කිනම් ආලෝක ධාරාවන් දක්නට ලැබේද?
◻ පාවුල්ගේ ලිපිවල අඩංගුව ඇත්තේ කිනම් ආලෝක ධාරාවන්ද?