8වෙනි පරිච්ඡේදය
සභාවට “සාමකාමී කාලයක් උදා වුණා”
දරුණු විරුද්ධවාදියා උද්යෝගිමත් දේවසේවකයෙක් වෙයි
1, 2. සාවුල් දමස්කයට ගියේ ඇයි?
දුෂ්ට අරමුණකට මිනිසුන් කණ්ඩායමක් දමස්කයට ගමන් කරනවා. ඔවුන්ගේ අරමුණ ඔවුන් වෛර කරන දමස්කයේ ඉන්න යේසුස්ගේ ගෝලයන්ව නින්දිත විදිහට නිවෙස්වලින් එළියට ඇදලා දාලා ඔවුන්ව බැඳලා යෙරුසලමේ මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනියන එකයි.
2 ඒ කණ්ඩායමේ නායකයා වෙන කවුරුත් නෙවෙයි සාවුල්. ඔහු දැනටමත් අහිංසකයෙක්ගේ ලේ හලලා තියෙනවා.a ආගමික උන්මත්තකයන් යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයෙක් වුණ ස්තේපන්ට ගල් ගහලා මරලා දාද්දී සාවුල් ඒක අනුමත කරලා ඒ දිහා බලන් හිටියා. (ක්‍රියා 7:57–8:1) යෙරුසලමේ සිටි යේසුස්ගේ ගෝලයන්ට දරුණු විදිහට පීඩා කිරීමෙන් ඔහු සෑහීමට පත් වුණේ නැහැ. ඔහුගේ අරමුණ වුණේ හැම ප්‍රදේශයකම ඉන්න “ස්වාමීන්ගේ මාර්ගයට” අයිති අයව නැත්තටම නැති කරලා දාන එකයි. ඔහු හරියට ගින්නක් විවිධ තැන්වලට පතුරන ගිනිපුපුරක් වගෙයි. ඒ ගින්න නම් ක්‍රිස්තියානීන්ට විරුද්ධව ආපු මහත් පීඩා රැල්ලයි.—ක්‍රියා 9:1, 2; “සාවුල්ට තිබුණ බලතල” කියන කොටුව බලන්න.
3, 4. (අ) සාවුල්ට වුණේ මොකක්ද? (ආ) අපි සලකා බලන තොරතුරු මොනවාද?
3 එකපාරටම ඇහැ කඩාගෙන යන එළියක් සාවුල් වටේ විහිදෙනවා. ඔහු සමඟ ගමන් කරන අය ඒ එළිය දැක්කත් ඔවුන් කිසිම දෙයක් නොකියා ගල් ගැහිලා බලන් ඉන්නවා. ඒ වෙලාවෙම සාවුල්ගේ ඇස් අන්ධ වෙලා ඔහු බිම ඇද වැටෙනවා. “සාවුල්, සාවුල්, ඔයා මට පීඩා කරන්නේ ඇයි” කියන හඬක් ස්වර්ගය දෙසින් ඔහුට ඇසෙනවා. පුදුමයට පත් වන සාවුල් “ස්වාමීනි, ඔබ කවුද” කියලා අහනවා. “මම යේසුස්. ඔයා පීඩා කරන්නේ මටයි” කියලා ඒ හඬ කියද්දී ඔහුට මොන තරම් කම්පනයක් ඇති වෙන්න ඇද්ද!—ක්‍රියා 9:3-5; 22:9.
4 යේසුස් සාවුල්ට කියපු දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සාවුල් යේසුස්ගේ අනුගාමිකයෙක් වුණ කාලයේ සිදු වුණ දේවල් සලකා බැලීම අපිට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? සාමකාමී වාතාවරණයක් ඇති වුණ ඒ කාලයේදී සභාවේ සිටි අය වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ තොරතුරු දැන් අපි සලකා බලමු.
“ඔයා මට පීඩා කරන්නේ ඇයි?” (ක්‍රියා 9:1-5)
5, 6. යේසුස් සාවුල්ට කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
5 දමස්කයට යන අතරතුරේදී යේසුස් සාවුල්ට දර්ශනය වෙලා ඇහුවේ “ඔයා මගේ ගෝලයන්ට පීඩා කරන්නේ ඇයි” කියලා නෙවෙයි “ඔයා මට පීඩා කරන්නේ ඇයි” කියලයි. (ක්‍රියා 9:4) ඒකෙන් පැහැදිලි වන්නේ තම ගෝලයන් පීඩාකාරී තත්වයන් අද්දකින විට ඔවුන්ගේ වේදනාව යේසුස්ටත් තදින්ම දැනෙන බවයි.—මතෙ. 25:34-40, 45.
6 යේසුස්ගේ අනුගාමිකයෙක් වන නිසා ඔබත් පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනවා ඇති. ඒ වුණත් යෙහෝවා හා යේසුස් ඔබ සිටින තත්වය හොඳින් තේරුම්ගන්න බවට නිසැක වන්න. (මතෙ. 10:22, 28-31) ඒකෙන් අදහස් කරන්නේ ඔබ අද්දකින පීඩාව සම්පූර්ණයෙන්ම ඉවත් කරයි කියන එක නෙවෙයි. මේ ගැන ටිකක් හිතන්න. සාවුල්ගේ අනුමැතිය ඇතුව ස්තේපන්ව ගල් ගසා මරා දැම්ම විදිහ යේසුස් දැක්කා. යෙරුසලමේ සිටි විශ්වාසවන්ත ගෝලයන්ව සාවුල් ඔවුන්ගේ නිවෙස්වලින් එළියට ඇදලා දාපු විදිහත් යේසුස් දැක්කා. (ක්‍රියා 8:3) නමුත් ඒ කිසිම අවස්ථාවකදී ඔවුන් මුහුණ දුන් තත්වයෙන් ඔවුන්ව බේරගන්න යේසුස් මැදිහත් වුණේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා යේසුස් මාර්ගයෙන් ස්තේපන්ට හා අනිත් ගෝලයන්ට විශ්වාසවන්තව ඉන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නා.
7. පීඩා විඳදරාගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
7 පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙන්න වෙද්දී ඒවා විඳදරාගන්න මේ දේවල් ඔබට උපකාරවත් වෙයි. (1) මොන දේ වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අධිෂ්ඨාන කරගන්න. (2) යෙහෝවාගේ උපකාරය අයැදින්න. (ෆිලි. 4:6, 7) (3) පළිගන්නේ නැතුව අයුක්තිය වෙනුවෙන් පියවර ගන්න යෙහෝවාට ඉඩ දෙන්න. (රෝම 12:17-21) (4) අප මුහුණ දෙන පීඩාකාරී තත්වය අපෙන් ඉවත් කිරීමට සුදුසු කාලය මොකක්ද කියලා දෙවියන් තීරණය කරන කල් ඒ පීඩාව විඳදරාගන්න අවශ්‍ය ශක්තිය දෙවියන් දෙනවා කියා නිසැක වන්න.—ෆිලි. 4:12, 13.
“සාවුල්, මගේ සහෝදරයා, මාව ඔයා ළඟට එව්වේ ස්වාමීන්” (ක්‍රියා 9:6-17)
8, 9. ලැබුණ පැවරුම ගැන අනනියස්ට හැඟුණේ කොහොමද?
8 තමා කවුද කියා යේසුස් සාවුල්ට එළිදරව් කළ පසු යේසුස් ඔහුට මෙහෙම කිව්වා. “දැන් නැඟිටලා නගරෙට යන්න. කෙනෙක් ඇවිත් ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා ඔයාට කියයි.” (ක්‍රියා 9:6) සාවුල් සමඟ ගමන් කළ අය අන්ධ වෙලා හිටපු ඔහුව අතින් අල්ලගෙන දමස්කයට අරන් ගියා. එහෙදී සාවුල් දවස් තුනක් නිරාහාරව ඉඳලා දෙවියන්ට යාච්ඤා කළා. ඒ අතරතුර යේසුස් දමස්කයේ සිටි අනනියස් කියන ගෝලයාට දර්ශනය වෙලා සාවුල් ගැන කිව්වා. අනනියස් කියන්නේ දමස්කයේ හිටපු “යුදෙව්වන් අතරේ හොඳ නමක් දිනාගෙන හිටපු කෙනෙක්.”—ක්‍රියා 22:12.
9 ක්‍රිස්තියානි සභාවේ නායකයා වන නැවත නැඟිටවපු යේසුස් අනනියස්ට කෙළින්ම කතා කළේ විශේෂ පැවරුමක් භාර දෙන්නයි. දමස්කයේ සිටි සියලු ගෝලයන් අතරින් මේ පැවරුමට යේසුස් විශේෂයෙන්ම ඔහුව තෝරගත්ත එක ඔහුට මොන තරම් ගෞරවයක්ද! නමුත් ඔහුට ලැබුණ ඒ පැවරුම ලෙහෙසි පහසු එකක් නෙවෙයි. අනනියසුත් ඒක තේරුම්ගත් බව ඔහු කියපු මේ දෙයින් පැහැදිලියි. “ස්වාමීනි, මං එයා ගැන අහලා තියෙනවා. එයා යෙරුසලමේදී ඔබේ ශුද්ධ තැනැත්තන්ට කරපු දුෂ්ට දේවල් ගැන හුඟක් අය මට කියලා තියෙනවා. එයා මෙහේ ආවෙත් ඔබේ නමින් කන්නලව් කරන හැමෝවම හිරේට දාන්න. එයා ඒකට නායක පූජකයන්ගෙන් අවසරත් අරගෙන.” (ක්‍රියා 9:13, 14) ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී අනනියස්ට සතුටක් වගේම බයකුත් ඇති වුණ බවට සැකයක් නැහැ.
10. අනනියස් එක්ක වැඩ කරපු විදිහෙන් යේසුස් ගැන අපිට තේරුම්ගන්න පුළුවන් මොනවාද?
10 අනනියස් තමන්ට හැඟුණ විදිහ ගැන කියද්දී යේසුස් ඔහුට තරවටු කළේ නැහැ. ඒ වෙනුවට කරන්න ඕනෙ දේ ගැන යේසුස් ඔහුට පැහැදිලි මඟ පෙන්වීම් ලබා දුන්නා. අනනියස්ගේ හැඟීම් ගැන යේසුස් සැලකිලිමත් වුණා. ඒ නිසා අනනියස්ට භාර දුන්න අසාමාන්‍ය පැවරුමේ වැදගත්කම ගැන ඔහු මෙහෙම පැහැදිලි කළා. “මං එයාව විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා. මගේ නම ගැන ජාතීන්ටත් රජවරුන්ටත් ඊශ්‍රායෙල්වරුන්ටත් දැනුම් දෙන්න මං එයාව තෝරගත්තා. මගේ නම නිසා එයාට මොන තරම් දුක් විඳින්න වෙනවාද කියලා මම එයාට පෙන්නනවා.” (ක්‍රියා 9:15, 16) තමන්ට ලැබුණ පැවරුමේ වැදගත්කම තේරුම්ගත්තාම අනනියස් ඒක ඉටු කරන්න ඉක්මනින්ම පියවර ගත්තා. ඔහු ක්‍රිස්තියානීන්ට පීඩා කළ සාවුල්ව හොයාගෙන ගිහින් ඔහුට මෙහෙම කිව්වා. “සාවුල්, මගේ සහෝදරයා, මාව ඔයා ළඟට එව්වේ ස්වාමීන් වන යේසුස්. පාරේදී ඔයාට දර්ශනය වුණේ ඔහුයි. ඔහු මාව එව්වේ ඔයාට ආයෙත් පෙනීම දීලා දෙවියන්ගේ බලයත් ඔයාට දෙන්නයි.”—ක්‍රියා 9:17.
11, 12. යේසුස්, අනනියස් හා සාවුල් සම්බන්ධ සිද්ධියෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?
11 යේසුස්, අනනියස් හා සාවුල් සම්බන්ධ සිද්ධියෙන් අපට දේවල් කිහිපයක් පැහැදිලි වෙනවා. උදාහරණයකට යේසුස් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙමින් තම පොරොන්දුවට එකඟව උද්යෝගයෙන් වැඩ කරනවා කියලා ඒ සිද්ධියෙන් තේරෙනවා. (මතෙ. 28:20) අද දින යේසුස් මිනිසුන් එක්ක කෙළින්ම කතා නොකළත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට අවශ්‍ය මඟ පෙන්වීම්, තම සේවකයන්ව බලාගන්න ඔහු පත් කරලා තියෙන විශ්වාසවන්ත දාසයා මාර්ගයෙන් ලබා දෙනවා. (මතෙ. 24:45-47) ලොව පුරා සිදු කරන දේශනා සේවය අධීක්ෂණය කරන්නේ පාලක මණ්ඩලයයි. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සභාවල ඉන්න ප්‍රචාරකයන් හා පුරෝගාමීන් යේසුස් ගැන දැනගන්න උනන්දුවක් දක්වන අයව හොයාගෙන යනවා. බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න උපකාර ඉල්ලලා යාච්ඤා කළාට පස්සේ ඒ අයව හමු වීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගිහින් තියෙනවා. ඒකෙන් පැහැදිලි වන්නේ දේශනා සේවයට යේසුස් මඟ පෙන්වන බවයි.—ක්‍රියා 9:11.
12 අනනියස් වැඩ කරපු විදිහෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? ලැබුණ පැවරුම අමාරු එකක් කියා අනනියස්ට හැඟුණත් ඔහු යේසුස්ට කීකරු වෙලා ඒක සාර්ථකව ඉටු කළා. සමහර අවස්ථාවලදී ශුභාරංචිය ගැන පැහැදිලි සාක්ෂියක් දෙන්න කියා අපිට දී තිබෙන ආඥාවට කීකරු වෙන එක අමාරුයි කියා අපිට හිතෙන්න පුළුවන්. උදාහරණයකට ගෙයින් ගෙට ගිහින් අඳුරන්නේ නැති අය එක්ක කතා කරන එක අභියෝගයක් විය හැකියි. එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානවල ඉන්න අයට, වීථිවල හමු වන අයට, දුරකථනයෙන් හා ලිපි මාර්ගයෙන් පණිවිඩය කියන අයට සාක්ෂි දරන්න අපිට බයක් දැනෙන්න පුළුවන්. ඒ වගේ අභියෝග මැදත් අනනියස් වගේ අපිට ලැබී තිබෙන ආඥාවට අපි කීකරු වෙනවාද? අනනියස්ට යේසුස් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඔහු සාවුල්ව විරුද්ධවාදියෙක් විදිහට නෙවෙයි ඔහුගේ සහෝදරයෙක් විදිහට පිළිගත්තා. ඒ නිසා ඔහුට තිබුණ බයෙන් ගොඩ එන්න ඔහුට හැකි වුණා. ඒකෙන් ඔහුට ලැබුණ පැවරුම සාර්ථකව කරලා දෙවියන්ගේ බලය ලබාගන්න සාවුල්ට උපකාර කරන්න ඔහුට පුළුවන් වුණා.b ඒ වගේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට මඟ පෙන්වන්නේ යේසුස් බව අපිට විශ්වාසයි නම්, මිනිසුන් ගැන අනුකම්පාවක් අපිට දැනෙනවා නම්, බය හිතෙන පෙනුමක් තියෙන කෙනෙක්ව දැක්කාමත් ඔහු කවදා හරි අපේ සහෝදරයෙක් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා නම් අපිට තියෙන අභියෝග ජය අරන් අපේ පැවරුම සාර්ථකව ඉටු කරන්න අපිට පුළුවන්.—මතෙ. 9:36.
‘එයා යේසුස් ගැන දේශනා කරන්න පටන්ගත්තා’ (ක්‍රියා 9:18-30)
13, 14. ඔබ තවමත් බයිබලය පාඩම් කරන කෙනෙක් නම් සාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
13 ඉගෙනගත්ත දේවලට අනුව වැඩ කරන්න සාවුල් ඉක්මනින් පියවර ගත්තා. පෙනීම ලැබුණ ගමන්ම බව්තීස්ම වුණ ඔහු, දමස්කයේ සිටි යේසුස්ගේ ගෝලයන් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒ වගේම “එයා පරක්කු කරන්නේ නැතුව යේසුස් දෙවියන්ගේ පුතා කියලා සිනගෝගවල දේශනා කරන්න පටන්ගත්තා.”—ක්‍රියා 9:20.
14 ඔබ තවමත් බයිබලය පාඩම් කරන කෙනෙක් නම් සාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? සාවුල්, යේසුස් කරපු ආශ්චර්යයක් පෞද්ගලිකව අද්දැක්ක කෙනෙක්. ඔහුව ක්‍රියාවට පොලඹවන්න ඒක උපකාරවත් වුණ බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඔහුව ක්‍රියාවට පොලඹවන්න ප්‍රධාන හේතුව ඒක නෙවෙයි. ටිකක් හිතන්න, යේසුස් කරපු ආශ්චර්යයන් ඇස් දෙකෙන්ම දැක්ක කීදෙනෙක් හිටියාද? අතක් පණ නැති මිනිසෙක්ව යේසුස් සුව කරනවා පරිසිවරුන් කණ්ඩායමක් ඇස් දෙකෙන්ම දැක්කා. යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වා කියන දේත් යුදෙව්වන් බොහෝදෙනෙක්ට රහසක් වුණේ නැහැ. නමුත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක්ට ඔවුන් දැක්ක දේවල් කිසිම විදිහකින් බලපාලා තිබුණේ නැහැ. සමහරදෙනෙක් යේසුස්ට විරුද්ධව වැඩ කරන්නත් පෙලඹුණා. (මාක් 3:1-6; යොහ. 12:9, 10) එහෙනම් සාවුල් ඔවුන්ට වඩා වෙනස් විදිහට වැඩ කළේ ඇයි? ඔහුට යෙහෝවා ගැන ලොකු ගරුබියක් තිබුණා. ඔහු මිනිසුන්ට බය වුණෙත් නැහැ. යේසුස් තමන්ට පෙන්වපු දයාව ඔහු මුළු හදවතින්ම අගය කළා. (ෆිලි. 3:8) ඉගෙනගත්ත දේවලට අනුව ඉක්මනින් වැඩ කරන්න සාවුල් පෙලඹුණේ ඒ නිසයි. ඔබත් සාවුල්ව ආදර්ශයට ගන්නවා නම් දේශනා සේවයේ හවුල් වීමෙන් හා බව්තීස්ම වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමෙන් ඔබව වළක්වන්න කිසිම දෙයකට ඔබ ඉඩ දෙන්නේ නැහැ.
15, 16. සාවුල් සිනගෝගවලට ගිහින් කළේ මොනවාද? දමස්කයේ හිටපු යුදෙව්වන් ඒකට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?
15 සාවුල් යේසුස් ගැන සිනගෝගවල දේශනා කරද්දී සෙනඟ මොන තරම් පුදුම වෙන්න ඇද්ද! මොන තරම් කේන්තියක් දැනෙන්න ඇද්ද! ඔවුන් මෙහෙම කතා වුණා. “මේ ඉන්නේ යෙරුසලමේදී යේසුස්ගේ අනුගාමිකයන්ට දරුණු විදිහට පීඩා කරපු මිනිහා නේද?” (ක්‍රියා 9:21) නමුත් සාවුල් “යේසුස් කියන්නේ ක්‍රිස්තුස් කියලා . . . තර්කානුකූලව ඔප්පු කරලා පෙන්නලා” තමන් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න හේතුව ඔවුන්ට පැහැදිලි කළා. (ක්‍රියා 9:22) කෙනෙක්ට දේවල් තර්කානුකූලව පැහැදිලි කළා කියලා එයා සත්‍යය පිළිගනියි කියලා කියන්න බැහැ. දේවල් කොයි තරම් තර්කානුකූලව ඉදිරිපත් කළත් යම් චාරිත්‍රවලට ඇලී සිටින අය හා උඩඟු ආකල්ප දරන අය ඔවුන් සිතන ආකාරය වෙනස් කරගන්නේ නැහැ. ඒ කොහොමවුණත් සාවුල් උත්සාහය අත්හැරියේ නැහැ.
16 අවුරුදු තුනකට පස්සෙත් දමස්කයේ හිටපු යුදෙව්වන්ගේ ආකල්ප වෙනස් වෙලා තිබුණේ නැහැ. ඔවුන්ට ඔහු ගැන තිබුණ වෛරය කොයි තරම්ද කියනවා නම් ඔහුව මරන්නත් ඔවුන් කුමන්ත්‍රණය කළා. (ක්‍රියා 9:23; 2 කොරි. 11:32, 33; ගලා. 1:13-18) ඔවුන් කළ කුමන්ත්‍රණය ගැන ආරංචි වුණාම සාවුල් ඥානවන්තව වැඩ කරලා නගරයෙන් පිට වෙලා යන්න තීරණය කළා. ලූක් වාර්තාවේ මෙහෙම කියනවා. “එයාගේ ගෝලයෝ රෑ වුණාම එයාව ලොකු කූඩයක දාලා පවුරේ හිඩසකින් පහළට බැස්සුවා.” (ක්‍රියා 9:25) නගරයෙන් පිට වෙලා යන්න උදව් කරපු අය “එයාගේ ගෝලයෝ” කියලා සඳහන් වෙලා තියෙන එකෙන් පැහැදිලි වන්නේ දමස්කයේදී ඔහු දේශනා කරද්දී අඩුම තරමින් ටිකදෙනෙක් හරි හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබුණ බවයි. ඇත්තෙන්ම යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න සාවුල් ඔවුන්ට උපකාර කර තිබුණා.
17. (අ) බයිබලයේ තියෙන සත්‍යයන් ගැන කියද්දී මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? (ආ) අප දිගටම කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?
17 ඔබ බයිබලය අධ්‍යයනය කරද්දී ඒකේ තියෙන සත්‍යයන් මොන තරම් සරලද තර්කානුකූලද කියා ඔබට වැටහුණා. ඔබ වගේ අනිත් අයත් ඒක තේරුම්ගනියි කියා ඔබ හිතන්න ඇති. ඒ නිසා ඔබේ පවුලේ අයට, මිතුරන්ට හා වෙනත් අයට බයිබලයේ තිබෙන සත්‍යයන් ගැන ඔබ මුලින්ම පවසද්දී ඔවුන් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියා ඔබ බලාපොරොත්තු වෙන්න ඇති. සමහරවිට කිහිපදෙනෙක් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවත් වැඩිදෙනෙක් එහෙම නොකරන්න ඇති. ඔබේම පවුලේ අය ඔබට හතුරෙක් වගේ සලකනවාත් ඇති. (මතෙ. 10:32-38) කොහොමවුණත් සාවුල් වගේ ඔබත් උත්සාහය අත්හරින්න එපා. ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා දේවල් තර්කානුකූලව පැහැදිලි කිරීමේ හැකියාව දිගටම දියුණු කරගන්න. යහපත් විදිහට හැසිරෙන්න දිගටම උත්සාහ කරන්න. එතකොට යම් දවසක ඔබට විරුද්ධ වෙන අය තම ආකල්ප වෙනස් කරගැනීමට ඉඩ තිබෙනවා.—ක්‍රියා 17:2; 1 පේතෘ. 2:12; 3:1, 2, 7.
18, 19. (අ) සාවුල් ගැන බානබස් ස්ථිරවම කියපු දේ නිසා වුණ වෙනස මොකක්ද? (ආ) බානබස්ව හා සාවුල්ව අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
18 සාවුල් යෙරුසලමට ගියාම තමා යේසුස්ගේ අනුගාමිකයෙක් කියලා කිව්වත් එහේ හිටපු ගෝලයන්ට ඒක විශ්වාස කරන්න අමාරු වුණා. නමුත් සාවුල් යේසුස්ගේ ගෝලයෙක් කියලා බානබස් ස්ථිරවම කියද්දී නියෝජිතයන් සාවුල්ව සහෝදරයෙක් විදිහට පිළිගත්තා. පස්සේ සාවුල් ඔවුන් සමඟ යම් කාලයක් ගත කළා. (ක්‍රියා 9:26-28) සාවුල් සේවයේ හවුල් වෙද්දී ඥානවන්තව වැඩ කළ බව ඇත්ත. නමුත් ඔහු කවදාවත් ශුභාරංචිය දේශනා කරන්න ලැජ්ජා වුණේ නැහැ. (රෝම 1:16) ඔහු යේසුස්ගේ ගෝලයන්ට දරුණු විදිහට පීඩා කරපු යෙරුසලමේම, නිර්භීතව දේශනා කරපු එකෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා. යේසුස්ගේ ගෝලයන්ව නැත්තටම නැති කරන්න පෙරමුණ අරන් වැඩ කරපු තැනැත්තා දැන් වෙනස් වී ඇති බව යෙරුසලමේ සිටි යුදෙව්වන් දැනගත්තාම ඔවුන් හොඳටම කේන්ති ගත්තා. ඒ නිසා ඔහුව මරා දමන්න ඔවුන් කුමන්ත්‍රණය කළා. නමුත් “සහෝදරයන්ට ඒ ගැන ආරංචි වුණාම එයාලා සාවුල්ව සිසේරියට අරන් ගිහින් ටාසස්වලට පිටත් කරලා ඇරියා.” (ක්‍රියා 9:30) ඒ විදිහට සභාව මාර්ගයෙන් යේසුස් දුන් මඟ පෙන්වීම්වලට එකඟව සාවුල් වැඩ කළා. ඒකෙන් ඔහුත් සභාවත් ප්‍රයෝජන ලැබුවා.
19 අලුතින් ගෝලයෙක් වුණ සාවුල්ට උපකාර කරන්න බානබස් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඔවුන් දෙන්නා අතරේ කිට්ටු මිත්‍රත්වයක් ඇති වෙන්න ඒක දායක වුණාට සැකයක් නැහැ. ඔබත් බානබස් වගේ සභාවේ අලුත් අයට අතහිත දෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවාද? ඔබ ඔවුන් සමඟ සේවයේ හවුල් වෙනවාද? ක්‍රිස්තියානීන් විදිහට දියුණු වෙන්න ඔබ ඔවුන්ට උපකාර කරනවාද? ඔබ එහෙම කරනවා නම් මහත් ප්‍රීතියක් අද්දකින්න ඔබට පුළුවන්. ඔබ අලුත් ප්‍රචාරකයෙක් නම් සභාවේ අය ඔබට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙද්දී සාවුල් වගේ ඔබත් ඒ උදව් පිළිගන්නවාද? අද්දැකීම් වැඩි ප්‍රචාරකයන් එක්ක සේවයේ හවුල් වෙන එකෙන් ශුද්ධ ලියවිල්ල දක්ෂ විදිහට භාවිත කරන්න ඔබට ඉගෙනගත හැකියි. සේවයේ හවුල් වීමෙන් ඔබ ලබන සතුටත් තව වැඩි වෙයි. හැමදාටම තියෙන මිත්‍රත්වයන් ගොඩනඟාගන්නත් ඔබට හැකි වෙයි.
“හුඟක් අය ස්වාමීන්ව විශ්වාස කරන්න පටන්ගත්තා” (ක්‍රියා 9:31-43)
20, 21. අතීතයේදී හා අද දින දෙවියන්ගේ සෙනඟ “සාමකාමී කාලය” ප්‍රයෝජනයට අරන් තියෙන්නේ කොහොමද?
20 සාවුල් අනතුරක් නැතුව යෙරුසලමෙන් පිට වෙලා ගියා. පස්සේ “යුදය, ගලීලය සහ සමාරිය පුරාම හිටපු ක්‍රිස්තියානීන්ට සාමකාමී කාලයක් උදා වුණා.” (ක්‍රියා 9:31) “හොඳ වාතාවරණයක්” පැවති ඒ කාලයේදී සභාවේ අය වැඩ කළේ කොහොමද? (2 තිමෝ. 4:2) “සභාව දිගටම ශක්තිමත් වුණා.” මොකද නියෝජිතයන් හා සභාවේ වගකීම් දරන වෙනත් සහෝදරයන් සභාවේ අයගේ විශ්වාසය ශක්තිමත් කළා. ඔවුන් සභාවේ කටයුතුවලදී පෙරමුණ අරන් වැඩ කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සභාවේ “හැමෝම යෙහෝවා ගැන ගරුබියක් ඇතුව වැඩ කරලා දෙවියන්ගේ බලයෙන් ලොකු සැනසීමක් ලැබුවා.” උදාහරණයකට පේතෘස් ඒ කාලයේදී ෂාරොන් තැනිතලාවේ පිහිටි ලිද්දාවේ සිටි ගෝලයන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ පළාතේ සිටි බොහෝදෙනෙක් “ස්වාමීන් ගැන විශ්වාස කරන්න පටන්ගත්තා.” (ක්‍රියා 9:32-35) ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ හොඳ වාතාවරණයක් පැවති ඒ කාලයේ ඔවුන් ධන සම්පත්, අධ්‍යාපනය වගේ දේවල් පසුපස හඹා යනවා වෙනුවට ශුභාරංචිය දේශනා කරන්න වෙහෙස මහන්සි නොබලා වැඩ කළ බවයි. එකිනෙකාගේ අවශ්‍යතා ගැනත් ඔවුන් සැලකිලිමත් වුණා. එහෙනම් සභාවේ ‘ගාණ එන්න එන්නම වැඩි වුණ’ එක පුදුමයක්ද!
21 විසිවෙනි සියවසේ අගභාගය වෙද්දී බොහෝ රටවල හිටපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටත් “සාමකාමී කාලයක්” උදා වුණා. අවුරුදු ගාණක් පුරා දෙවියන්ගේ සෙනඟට පීඩා කළ පාලන ක්‍රම නොහිතපු විදිහට නැති වෙලා ගියා. ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට පනවා තිබුණ තහංචි සමහරක් රටවල ලිහිල් කළ අතර තවත් රටවල ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් සාක්ෂිකරුවන් දහස් ගාණක් සේවයේ උද්යෝගයෙන් හවුල් වුණ නිසා සභාවල මහත් වර්ධනයක් අද්දැක්කා.
22. ඔබ අද්දකින නිදහස ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
22 සීමා තහංචි නැතුව සේවය කරන්න ඔබට ලැබී තිබෙන අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නවාද? ඔබ ජීවත් වන්නේ ආගමික නිදහසට ගරු කරන රටක නම් ඔබේ අවධානය දේවරාජ්‍යයෙන් වෙන පැත්තකට යොමු කිරීමට සාතන් උත්සාහ කරන බව මතක තබාගන්න. ඔහු ඒ සඳහා ධන සම්පත්වලට තිබෙන ආශාව උගුලක් විදිහට යොදාගන්නවා. (මතෙ. 13:22) ඒ නිසා ඔබේ අවධානය දේවරාජ්‍යයෙන් වෙන පැත්තකට යොමු නොකර ඉන්න අදිටන් කරගන්න. ඔබ දැන් යම් දුරකට අද්දකින නිදහස ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න. යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් ලබා දීමට හා සභාවේ අයගේ විශ්වාසය ශක්තිමත් කිරීමට ඒක කදිම අවස්ථාවක් විදිහට සලකන්න. ඔබ ඉන්න තත්වය ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන් කියලා අමතක කරන්න එපා.
23, 24. (අ) තබිතා හා සම්බන්ධ සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් කරුණු දෙක මොනවාද? (ආ) අපේ අදිටන වෙන්න ඕනෙ මොකක්ද?
23 යේසුස්ගේ ගෝලයෙක් වුණ තබිතාට සිදු වුණ දේ සලකා බලන්න. දොර්කස් විදිහටත් හඳුන්වපු ඇය ජීවත් වුණේ ලිද්දාවට කිට්ටුව තියෙන යොප්පාව කියන නගරයෙයි. මේ විශ්වාසවන්ත සහෝදරිය ඇගේ කාලය හා ඇයට තිබුණ දේවල් ඥානවන්තව පාවිච්චි කරමින් ‘හුඟක් යහපත් දේවල් කළා. ඒ වගේම එයා අගහිඟකම් තිබුණ අයට නිතරම උදව් කරපු කෙනෙක්.’ නමුත් හදිස්සියේම ඇය අසනීප වෙලා මිය ගියා.c ඇගේ වියෝව නිසා යොප්පාවේ සිටි යේසුස්ගේ ගෝලයන් හුඟක් දුක් වුණා. විශේෂයෙන්ම ඇය පෙන්වපු කරුණාවෙන් ප්‍රයෝජන ලබපු වැන්දඹුවන් ඇය ගැන හඬා වැලපුණා. පේතෘස් යොප්පාවට එද්දී ඇගේ මළ සිරුර තැන්පත් කරන්න සූදානම් කරලා නිවසක තබා තිබුණා. එතනට ගිය පේතෘස්, යේසුස්ගේ නියෝජිතයන් මීට කලින් කරලා තිබුණේ නැති ආශ්චර්යයක් කළා. ඔහු යාච්ඤා කරලා තබිතාව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා. එහේ සිටි වැන්දඹුවන් හා අනිත් ගෝලයන් තබිතා නැවත ජීවත් වන බව දැකලා මොන තරම් සතුටු වෙන්න ඇද්ද! ඒකෙන් ඔවුන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණ බවට කිසිම සැකයක් නැහැ. අනාගතයේ ඔවුන්ට මුහුණ දෙන්න සිදු වන දුෂ්කරතා ජය ගන්න ඒ වගේ සිදුවීම් ඔවුන්ට මහත් දිරිගැන්වීමක් වුණා. “ඒ සිද්ධිය ගැන ආරංචිය යොප්පාව පුරාම පැතිරිලා ගියා. ඒ නිසා හුඟක් අය ස්වාමීන්ව විශ්වාස කරන්න පටන්ගත්තා.”—ක්‍රියා 9:36-42.
24 තබිතා හා සම්බන්ධ සිද්ධියෙන් අපට වැදගත් කරුණු දෙකක් ඉගෙනගත හැකියි. (1) ඕනෑම මොහොතක අපට අපේ ජීවිතය අහිමි විය හැකියි. ඉතින් ජීවත් වෙලා ඉන්න කාලයේදී දෙවියන් ඉදිරියේ හොඳ නාමයක් ඇති කරගන්න උත්සාහ දැරීම මොන තරම් වැදගත්ද! (දේශ. 7:1) (2) නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම සැබෑ වෙනවා. තබිතා කළ යහපත් දේවල් යෙහෝවා ගොඩක් අගය කළ අතර ඒ වෙනුවෙන් දෙවියන් ඇයට ආශීර්වාද කළා. අර්මගෙදොන් යුද්ධයට කලින් අපටත් අපේ ජීවිතය නැති වුණොත් අප දෙවියන් වෙනුවෙන් කළ සේවය ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔහු අනිවාර්යයෙන්ම අපව නැවත නැඟිටුවයි. (හෙබ්‍රෙ. 6:10) ඉතින් දැන් අපට “හොඳ වාතාවරණයක් තිබුණත් නැතත්” දිගටම යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමට අදිටන් කරගනිමු.—2 තිමෝ. 4:2.
a “පරිසිවරයෙක්ව සිටි සාවුල්” කියන කොටුව බලන්න.
b සාමාන්‍යයෙන් දෙවියන්ගේ බලයෙන් ලැබෙන තෑගි කෙනෙක්ට දුන්නේ නියෝජිතයන් මාර්ගයෙනුයි. නමුත් පේන විදිහට මේ අවස්ථාවේදී ඒ තෑගි සාවුල්ට දෙන්න යේසුස් අනනියස්ව පාවිච්චි කළා. සාවුල් ක්‍රිස්තියානියෙක් වෙලා යම් කාලයක් ගත වන තුරු ඔහුට යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාව හමු වුණේ නැහැ. නමුත් ඒ කාලයේදී ඔහු උද්යෝගයෙන් යේසුස් ගැන සාක්ෂි දැරුවා කියලා හිතන්න පුළුවන්. ශුභාරංචිය දේශනා කරන්න අවශ්‍ය බලය සාවුල්ට ලබා දෙන්න යේසුස් අනනියස්ව පාවිච්චි කළේ හොඳ හේතුවක් ඇතුවයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.
c “‘හුඟක් යහපත් දේවල් කරපු’ තබිතා” කියන කොටුව බලන්න.