දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න
‘යෙහෝවා දෙවියන් සියල්ලන්ටම එක හා සමානව සලකනවා’
ඔයාගේ සමාජ තත්වය, අධ්‍යාපන මට්ටම හෝ ජාතිය නිසා ලැබෙන්නේ අඩු සැලකිල්ලක් කියලා ඔයාට හිතෙනවද? එහෙම හැඟෙන එකම කෙනා ඔයා විතරක් නෙමෙයි. එක එක හේතු නිසා අනිත් අයව පහත් කරලා, අසාධාරණ විදිහට සලකන එක අද සමාජයේ සාමාන්‍ය දෙයක්. හැබැයි යේසුස්ගේ ගෝලයෙක් වුණු පේතෘස්, සැබෑ දෙවියන් ගැන කිව්වේ ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා’ කියලයි. ඒක මොන තරම් සහනයක්ද!—ක්‍රියා 10:34, 35 කියවන්න.
පේතෘස් ඒ වදන් කියද්දී එයා හිටියේ කොර්නේලියස් කියන පුද්ගලයාගේ නිවසේ. කොර්නේලියස් යුදෙව් ජාතිකයෙක් නෙමෙයි. කොර්නේලියස් වගේ අන්‍ය ජාතිකයන් එක්ක ඒ කාලේ හිටපු යුදෙව්වන්ට කිසිම ඇයි හොඳයියක් තිබුණේ නැහැ. යුදෙව්වන් ඒ අයව සැලකුවේ අපවිත්‍ර අය හැටියටයි. එහෙමනම් යුදෙව්වෙක් වුණු පේතෘස්, කොර්නේලියස්ගේ නිවසට ගියේ ඇයි? දෙවියන් එහෙම කරන්න කියලා දර්ශනයක් මාර්ගයෙන් පේතෘස්ට මඟ පෙන්නුව නිසයි. ඒ දර්ශනේදී දෙවියන් කිව්වා. ‘මා පවිත්‍ර කර ඇති දේ අපවිත්‍රයි කියා තවදුරටත් කියන්න එපා’ කියලා. ඒ වෙද්දී දෙවියන් දේවදූතයෙක් මාර්ගයෙන් කොර්නේලියස්ටත් කියලා තිබුණා ගිහින් පේතෘස්ව එක්කගෙන එන්න කියලා. හැබැයි පේතෘස් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.—ක්‍රියා 10:1-15.
කොර්නේලියස්ගේ නිවසට ගියාම තමයි පේතෘස් ඒ ගැන දැනගත්තේ. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා” කියලා පේතෘස් කිව්වේ ඒ අවස්ථාවෙයි. (ක්‍රියා 10:34) පේතෘස් කියපු ඒ දේ මුල් ග්‍රීක භාෂාවෙන් කියෙව්ව කෙනෙක්ගේ මනසට ආවේ “පිටාතර පෙනුම දිහා බලන්නේ නැතුව කාරණා හොඳට සෝදිසි කරලා යුක්තිය ඉටු කරන විනිශ්චයකරුවෙක්ව” කියලා බයිබල් විශාරදයෙක් කිව්වා. ඒ හා සමානව සැබෑ දෙවිත් මිනිසුන්ගේ ජාතිය, සමාජ තත්වය, අධ්‍යාපන මට්ටම දිහා බලලා කාටවත් විශේෂ සැලකිල්ලක් හෝ අඩු සැලකිල්ලක් පෙන්නන්නේ නැහැ.
යෙහෝවා දෙවියන් බලන්නේ මිනිසුන්ගේ හිතේ තියෙන දෙයයි. (1 සාමුවෙල් 16:7; හිතෝපදේශ 21:2) පේතෘස් ඊළඟට කියපු මේ දෙයින් ඒක තේරෙනවා. “කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.” (ක්‍රියා 10:35) දෙවිට ගරුබිය දක්වන කෙනෙක් දෙවියන් අකමැති කිසිම දෙයක් කරන්නේ නැහැ. එහෙම කෙනෙක්ගේ හිතේ දෙවියන් ගැන ලොකු භක්තියක්, විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ධර්මිෂ්ඨව ක්‍රියා කරන කෙනෙක් දෙවියන් හරියි කියලා සලකන දේ කැමැත්තෙන්ම කරනවා. ඒ වගේ අය ගැන දෙවියන් හුඟක් සතුටු වෙනවා.—ද්විතීය කතාව 10:12, 13.
යෙහෝවා දෙවියන් හැමෝවම දකින්නේ එක සමාන අය හැටියටයි
ජාතිය, සමාජ තත්වය හෝ අධ්‍යාපන මට්ටම නිසා ඔයා යම් අසාධාරණකම්වලට මුහුණ දෙනවා නම් පේතෘස් කිව්ව දෙයින් මොන තරම් සහනයක් ලබන්න පුළුවන්ද! දෙවියන් තමාට නමස්කාර කරන අයගේ ජාතිය, කුලය, සමාජ තත්වය නොබලා ඒ හැමෝගෙම යාච්ඤාවලට සවන් දෙනවා. (1 රාජාවලිය 8:41-43) ඒ වගේම දෙවියන්ව දැන හඳුන ගෙන ඔහුට ළං වෙන්නත් හැමෝටම අවස්ථාව දීලා තියෙනවා. (යොහන් 6:44; ක්‍රියා 17:26, 27) දෙවියන් ස්වර්ගයේ ඉඳලා පොළොව දිහා බලද්දී මිනිසුන්ව දකින්නේ ජාතිය, කුලය හෝ සමාජ තත්වය අනුව නෙමෙයි. ඔහු හැමෝවම දකින්නේ එක සමාන අය හැටියටයි. හැමෝටම එක සමානව සලකන යෙහෝවා දෙවිව දැන හඳුන ගන්න ඔයා කැමති නැද්ද?
ජූනි මාසයට නියමිත බයිබල් කියවීම
යොහන් 17-21 සිට ක්‍රියා 1-10 දක්වා