මෙම අන්තිම දවස්වල සමඟිය රැකගන්න
“එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, . . . ශුභාරංචියට ඔබිනලෙසම හැසිරියල්ලා.” —පිලිප්පි 1:27.
1. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හා ලෝකය අතර තිබෙන වෙනස කුමක්ද?
මේවා “අන්තිම දවස්[ය].” “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” [NW] පවතින බවට කිසි සැකයක් නැත. (2 තිමෝති 3:1-5) මිනිස් සමාජය තුළ නොසන්සුන්කම පවතින මෙම “අන්තිම කාල[යේදී],” යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමාදානය හා සමඟිය නිසා ඔවුහු විශිෂ්ට ලෙස කැපීපෙනෙන සෙනඟක්ව සිටිති. (දානියෙල් 12:4) එහෙත් මෙම සමඟිය රැකගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට, යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගෙන් යුත් ලෝක ව්‍යාප්ත පවුලට අයත් සෑම පුද්ගලයෙකුටම වගකීමක් තිබේ.
2. සමඟිය පවත්වාගැනීම ගැන පාවුල් පැවසුවේ කුමක්ද, එමෙන්ම අප සලකා බලනු ඇත්තේ කුමන ප්‍රශ්නයද?
2 ප්‍රේරිත පාවුල් සමඟිය පවත්වාගැනීමට සෙසු ක්‍රිස්තියානීන්ට අවවාද කළේය. හේ මෙසේ ලීවේය: “මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරියල්ලා. ඒ [නිර්භීතකම] ඔවුන්ට විනාශයේද නුඹලාට ගැළවීමේද ලකුණක්ව තිබේ; එය දෙවියන්වහන්සේගෙන්ම පැමිණෙන්නේය.” (පිලිප්පි 1:27, 28) අප ක්‍රිස්තියානීන් වශයෙන් එකට වැඩ කළ යුතු බව පාවුල්ගේ වදන්වලින් පැහැදිලිව පෙනී යයි. එසේනම්, මෙම පීඩාකාරි කාලවල අපේ ක්‍රිස්තියානි සමඟිය පවත්වාගැනීමට අපට කුමක් උපකාර වේද?
දිව්‍ය කැමැත්තට යටත් වන්න
3. චර්මච්ඡේදනය නොවූ පළමු අන්‍යජාතිකයන් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් බවට පත් වූයේ කවදාද, කෙසේද?
3 සෑම අවස්ථාවකදීම දිව්‍ය කැමැත්තට යටත් වීම, අපේ සමඟිය පවත්වාගැනීමට එක් මඟකි. මේ සඳහා ඇතැම්විට අපට අපේ කල්පනාව සකස් කරගැනීම අවශ්‍ය විය හැක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුල් යුදෙව් ගෝලයන් සලකා බලන්න. ප්‍රේරිත පේතෘස් පො.යු. 36දී චර්මච්ඡේදනය නොවූ අන්‍යජාතිකයන්ට පළමු වතාවට දේශනා කළ විට, දෙවියන්වහන්සේ වෙනත් ජාතීන්ට අයත් මෙම ජනයාට ශුද්ධාත්මය දානය කළ අතර, ඔවුහු බව්තීස්ම වූහ. (ක්‍රියා 10වන පරිච්ඡේදය) ඒ තාක් කල්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් බවට පත්ව තිබුණේ, යුදෙව්වන්, යුදෙව් ධර්මයට හැරුණු අය සහ සමාරිවරුන් පමණි.—ක්‍රියා 8:4-8, 26-38.
4. කොර්නේලියස් සම්බන්ධයෙන් සිදුව තිබූ දෙය පැහැදිලි කිරීමෙන් පසු, පේතෘස් පැවසුවේ කුමක්ද, එමෙන්ම යේසුස්වහන්සේගේ යුදෙව් ගෝලයන් සඳහා මින් ඉදිරිපත් කෙරුණේ කුමන පරීක්ෂණයද?
4 ප්‍රේරිතයන් මෙන්ම යෙරුසලමේ අනික් සහෝදරයන්, කොර්නේලියස් හා වෙනත් අන්‍යජාතිකයන්ගේ හැරීම ගැන දැනගත් විට, පේතෘස්ගේ වාර්තාව ඇසීමට ඔවුහු උත්සුක වූහ. කොර්නේලියස් හා අදහාගත් වෙනත් අන්‍යජාතිකයන් සම්බන්ධයෙන් සිදුව තිබූ දේ පැහැදිලි කිරීමෙන් පසු, එම ප්‍රේරිතයා මෙම වදන්වලින් අවසන් කළේය: “එහෙයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අදහාගත් කල්හි අපට [යුදෙව්වන්ට] දුන්නාක්මෙන්ම දෙවියන්වහන්සේ ඔවුන්ටත් [අදහාගත් එම අන්යජාතිකයන්ටත්] එම [ශුද්ධාත්ම] දීමනාව දුන් බැවින්, දෙවියන්වහන්සේට විරුද්ධව සිටින්ට මම කවරෙක්ද”? (ක්‍රියා 11:1-17) මින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ යුදෙව් අනුගාමිකයන්ට පරීක්ෂාවක් එල්ල විය. ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් වී, අදහන අන්‍යජාතිකයන්ව තම සෙසු නමස්කාරකයන් හැටියට පිළිගනු ඇද්ද? එසේ නැතහොත් යෙහෝවඃවහන්සේගේ භූමික සේවකයන්ගේ සමඟිය අවදානමකට ලක් වනු ඇද්ද?
5. දෙවියන්වහන්සේ අන්‍යජාතිකයන්ට පසුතැවිලි වීම සඳහා ප්‍රස්තාව විවෘත කර තිබුණාය යන කාරණයට ප්‍රේරිතයන් හා අනික් සහෝදරයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද, තවද මෙම ආකල්පයෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?
5 වාර්තාවෙහි මෙසේ පැවසේ: “ඔව්හු [ප්‍රේරිතයෝද වෙනත් සහෝදරයෝද] ඒ අසා, නිශ්ශබ්දවී [එකඟ වී, NW], දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය.” (ක්‍රියා 11:18) එම ආකල්පය යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ගේ සමඟිය රැකගනිමින්, එහි දියුණුවට හේතු විය. ඉතා කෙටි කාලයකදී, දේශනා සේවය අන්‍යජාතිකයන් නොහොත් වෙනත් ජාතීන්ට අයත් ජනයා වෙතට ඇදී ගිය අතර, එවන් ක්‍රියාකාරකම්වලට යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද තිබිණ. අලුත් සභාවක් පිහිටුවීම සඳහා අපේ සහයෝගය ඉල්ලා සිටින විට හෝ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේ යම් දිව්‍යාණ්ඩුමය සකස් කිරීමක් කරනු ලබන විට, අපද එකඟතාව පළ කළ යුතුය. අපේ හෘදපූර්ණ සහයෝගය යෙහෝවඃවහන්සේට සතුට ගෙන දෙන අතරතුර, මෙම අන්තිම දවස්වල අපේ සමඟිය පවත්වාගැනීම සඳහාත් අපට උපකාරයක් වනු ඇත.
සත්‍යය තදින් අල්ලාගන්න
6. යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ සමඟිය කෙරෙහි සත්‍යයෙන් ඇති කෙරෙන බලපෑම කුමක්ද?
6 යෙහෝවඃවහන්සේගේ නමස්කාරක පවුලට අයත්වූවන් වශයෙන්, අප සියලුදෙනාම “දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ” වන නිසාත්, උන්වහන්සේගේ හෙළි කරන ලද සත්‍යය තදින් අල්ලා ගන්නා නිසාත්, අපි සමඟිය පවත්වාගන්නෙමු. (යොහන් 6:45; ගීතාවලිය 43:3) අපේ ඉගැන්වීම් දේවවචනය මත පදනම්ව තිබෙන බැවින්, අපි සියලුදෙනාම එකඟතාවකින් යුතුව කතා කරන්නෙමු. යෙහෝවඃවහන්සේ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් සපයන ආත්මික ආහාර අපි සතුටින් පිළිගන්නෙමු. (මතෙව් 24:45-47) ලෝක ව්‍යාප්තව අප සතු සමඟිය පවත්වාගැනීමට එවන් ඒකාකාර ඉගැන්වීම් අපට සහාය වේ.
7. එක්තරා කාරණයක් පෞද්ගලිකව අවබෝධ කරගැනීමට අපට අමාරු නම්, අප කුමක් කළ යුතුද, අප කුමක් නොකළ යුතුද?
7 එක්තරා කාරණයක් අපට පෞද්ගලිකව අවබෝධ කරගැනීමට හෝ පිළිගැනීමට අමාරු නම්, කුමක් කිව හැකිද? ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කළ යුතු අප, ශුද්ධ ලියවිලි හා ක්‍රිස්තියානි ප්‍රකාශන ගැඹුරට අධ්‍යයනය කළ යුතුය. (හිතෝපදේශ 2:4, 5; යාකොබ් 1:5-8) වැඩිමහල්ලෙකු සමඟ සාකච්ඡාවක් පැවැත්වීම උපකාරවත් විය හැක. කාරණය තවමත් අවබෝධ කරගත නොහැකි නම්, කාරණය ගැන අනවශ්‍ය අන්දමකින් කරදර නොවීම හොඳම දෙය විය හැක. ඇතැම්විට එම විෂය ගැන තවත් තොරතුරු පළ විය හැකි අතර, එවිට අපේ අවබෝධය වඩාත් පුළුල් වනු ඇත. කෙසේවෙතත්, අපේම ප්‍රතිවිරුද්ධ මතය පිළිගැනීමට සභාවේ අනික් අයව ඒත්තුගැන්වීමට වෑයම් කිරීම වැරදිය. මෙය සමඟිය රැකගැනීමට ක්‍රියා කරනවා වෙනුවට, අසමඟිය ජනිත කිරීම සඳහා ක්‍රියා කරනු ඇත. ‘සත්‍යතාවෙහි දිගටම හැසිරීමත්’ එසේ කිරීමට අනුන්ට උපකාර කිරීමත් ඊට වඩා කොපමණ හොඳ දෙයක්ද!—3 යොහන් 4.
8. සත්‍යය කෙරෙහි කුමන ආකල්පයක් දැරීම සුදුසුද?
8 පළමුවන සියවසේදී, පාවුල් මෙසේ පැවසීය: “දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.” (1 කොරින්ති 13:12) මුල් ක්‍රිස්තියානීන්ට සෑම දෙයක් ගැනම පැහැදිලි අවබෝධයක් නොතිබුණත්, ඔවුහු සමඟියෙන් සිටියෝය. යෙහෝවඃවහන්සේගේ අරමුණ හා සත්‍යතාවේ වචනය පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් දැන් අප සතුය. එමනිසා ‘විශ්වාසවන්ත දාසයා’ තුළින් අප ලබා ඇති සත්‍යතාව සඳහා අපි කෘතඥ වෙමු. එමෙන්ම යෙහෝවඃවහන්සේ ස්වකීය සංවිධානය කරණකොටගෙන අපට මඟ පෙන්වා තිබීම ගැනත් ස්තුතිපූර්වක වෙමු. අපට එකම මට්ටමේ දැනුමක් සැමවිටම තිබී නැතත්, අප ආත්මිකව කුසගින්නෙන් හෝ පිපාසයෙන් පෙළී නැත. ඒ වෙනුවට, අපේ එඬේරාණන් වන යෙහෝවඃවහන්සේ අපව සමඟි කොට ඇති අතර, අපව හොඳින් රැකබලා ගෙන ඇත.—ගීතාවලිය 23:1-3.
දිව හරියාකාරව පාවිච්චි කරන්න!
9. සමඟිය වැඩි කිරීම සඳහා දිව පාවිච්චි කළ හැක්කේ කෙසේද?
9 සමඟියේ හා සහෝදරත්වයේ ස්වභාවයක් වැඩිදියුණු කිරීමේ වැදගත් මාර්ගයකි, අනුන්ව දිරිගැන්වීමට දිව පාවිච්චි කිරීම. චර්මච්ඡේදනය පිළිබඳව ප්‍රශ්නයක් නිරාකරණය කරමින්, පළමු සියවසේ පාලක මණ්ඩලය විසින් එවන ලද ලිපිය දිරිගැන්වීමේ මූලාශ්‍රයක් විය. එය කියවීමෙන් පසු, අන්තියෝකියේ අන්‍යජාතික ගෝලයෝ “ඒ සැනසිල්ල [දිරිගැන්වීම, NW] ගැන ප්‍රීතිවූවෝය.” ලිපිය සමඟින් යෙරුසලමේ සිට එවනු ලැබූ යූදස් හා සීලස් “බොහෝ වචනවලින් සහෝදරයන්ට අවවාදකර [දිරිගන්වා, NW], ඔවුන් ස්ථිරකළෝය.” පාවුල් හා බාර්ණබස් එතැනට පැමිණ සිටීමෙන්ද අන්තියෝකියේ සෙසු ඇදහිලිවන්තයන්ට දිරිගැන්වීම හා ශක්තිය ලැබුණු බවට කිසිම සැකයක් නැත. (ක්‍රියා 15:1-3, 23-32) අප ක්‍රිස්තියානි රැස්වීම්වලට එක්රැස් වෙද්දී, එහි සිටීමෙන් හා වර්ධනය ගෙන දෙන අදහස් ප්‍රකාශ කිරීමෙන් ‘එකිනෙකාව දිරිගැන්වීම’ මගින් අපට බෙහෙවින් ඒ හා සමාන දෙයක් කළ හැක.—හෙබ්‍රෙව් 10:24, 25, NW.
10. නින්දා කිරීමක් සිදු වන විටදී සමඟිය පවත්වාගැනීමට නම්, ඇතැම්විට කුමක් කිරීම අවශ්‍ය විය හැකිද?
10 කෙසේවෙතත්, දිව අනිසි ලෙස පාවිච්චි කිරීම අපේ සමඟියට තර්ජනයක් එල්ල කළ හැක. “දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි,” යනුවෙන් ශ්‍රාවක යාකොබ් ලීවේය. “කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද!” (යාකොබ් 3:5) යෙහෝවඃවහන්සේ භේද පතුරුවන අයව ද්වේෂ කරනසේක. (හිතෝපදේශ 6:16-19) එවන් කතාවල නියැලීම අසමඟියට හේතු විය හැක. එසේනම්, නින්දා කිරීම, එනම් යමෙකුව බෙහෙවින් අපහාසයට ලක් කිරීම නැතහොත් ඔහුව හෝ ඇයව නිග්‍රහාත්මක කතාවට භාජන කිරීම සිදු වේ නම් තත්වය කුමක්ද? වරදකරුට උපකාර කිරීමට වැඩිමහල්ලන් වෑයම් කරනු ඇත. කෙසේවෙතත් සාමය, පිළිවෙළ හා සමඟිය සභාවේ පවත්වාගත හැකි වන පිණිස, පසුතැවිලි නොවන නින්දාකරන්නෙකු සභා ඇසුරෙන් කපාහැරිය යුතුය. ඒ මන්ද කිවහොත්, පාවුල් මෙසේ ලිවූ බැවිනි: “සහෝදරයෙකැයි කියනලද කෙනෙක් . . . නින්දාකරන්නෙක් . . . වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්[න] කෑමවත් නොකන්[න].”—1 කොරින්ති 5:11.
11. අප පැවසූ දෙයක්, අප හා සෙසු ඇදහිලිවන්තයෙකු අතර යම් නොඉවසුම් ගතියක් ඇතිවීමට හේතු වී තිබේ නම්, නිහතමානිකම වැදගත් වන්නේ මන්ද?
11 දිව දමනය කරගැනීම සමඟිය පවත්වාගැනීමට අපට උපකාර කරයි. (යාකොබ් 3:10-18) එහෙත් අප පැවසූ දෙයක් හේතුවෙන් අප හා සෙසු ක්‍රිස්තියානියෙකු අතර යම් නොඉවසුම් ගතියක් වර්ධනය වී තිබෙනවායයි සිතන්න. අපේ සහෝදරයා සමඟ සමාදාන වීමට, අවශ්‍ය නම් සමාව ඉල්ලීමෙන්, මූලික පියවර ගැනීම යෝග්‍ය නොවනු ඇද්ද? (මතෙව් 5:23, 24) මේ සඳහා නිහතමානිකම නොහොත් මනසින් යටහත් වීම අවශ්‍ය බව සැබෑවක් වන මුත්, පේතෘස් මෙසේ ලීවේය: “නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගනිල්ලා. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.” (1 පේතෘස් 5:5) අපේ වැරදි පිළිගෙන සුදුසු අන්දමකින් සමාව ඉල්ලීමෙන්, අපේ සහෝදරයන් සමඟ ‘සමාදානය පස්සේ දිවීමට’ නිහතමානිකම අපව පොලඹවනු ඇත. යෙහෝවඃවහන්සේගේ පවුලේ සමඟිය පවත්වාගැනීමට මෙය මහත් උපකාරයක් වේ.—1 පේතෘස් 3:10, 11.
12. යෙහෝවඃවහන්සේගේ ජනයාගේ සමඟිය වැඩි කිරීමට හා පවත්වාගැනීමට අපට දිව පාවිච්චි කළ හැක්කේ කෙසේද?
12 අපි අපේ දිව හරියාකාරව පාවිච්චි කරන්නෙමු නම්, යෙහෝවඃවහන්සේගේ සංවිධානයෙහි සිටින අය අතර පවුලක් බඳු ස්වභාවය වැඩිදියුණු කිරීමට අපට හැක. පාවුල් එසේ පැවසූ බැවින්, තෙසලෝනිකවරුන්ට මෙලෙස සිහිගැන්වීමට ඔහුට හැකි විය: “දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට, පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාදකරමින්, ධෛර්යදෙමින්, අණදෙමින්, නුඹලා එක් එක්කෙනාට ක්‍රියා කළ හැටි නුඹලා දනිහුය.” (1 තෙසලෝනික 2:11, 12) මේ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබූ නිසා, “කලකිරුණු අයට සැනසිලිදායක අන්දමින් කතා කරන මෙන්” සෙසු ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටීමට පාවුල්ට හැකි විය. (1 තෙසලෝනික 5:14, NW) දිව පාවිච්චි කිරීමෙන් අපට අන්‍යයන්ව සැනසීමට, දිරිගැන්වීමට හා වර්ධනය කිරීමට කොපමණ යහපතක් කළ හැකිදැයි සිතන්න. එසේය, “කලට සුදුසු වචනය කොපමණ හොඳද!” (හිතෝපදේශ 15:23) එපමණක්ද නොව, එලෙස කතා බහ කිරීම යෙහෝවඃවහන්සේගේ ජනයාගේ සමඟිය වැඩි කිරීමට හා පවත්වාගෙන යෑමට දායක වේ.
සමාව දීමට කැමති වන්න!
13. අප සමාව දීමට කැමති විය යුත්තේ මන්ද?
13 අප ක්‍රිස්තියානි සමඟිය පවත්වාගැනීමට නම්, සමාව ඉල්ලා තිබෙන වරදකරුවෙකුට සමාව දීම අත්‍යවශ්‍යය. එමෙන්ම අප කොපමණ වාරයක් සමාව දිය යුතුද? යේසුස්වහන්සේ පේතෘස්ට මෙසේ කීසේක: “සත්වරක් නොව සැත්තෑ . . . සත්වරක්ය.” (මතෙව් 18:22) අප සමාව දීමට කැමති නැත්නම්, අපි අපේම ශුභසිද්ධියට එරෙහිව කටයුතු කරන්නෙමු. ඒ කෙසේද? හොඳයි, එදිරිවාදිකම හා අමනාපයක් සිතේ තබාගැනීම අපෙන් මනසේ සමාදානය සොරාගන්නවා ඇත. එමෙන්ම, කෲර මෙන්ම සමාව දීමට අකමැති ස්වභාවයක් පෙන්වීමට අප ප්‍රසිද්ධ නම්, අප කෙරෙහිම මහත් පිළිකුලක් පමුණුවා ගන්නවා විය හැක. (හිතෝපදේශ 11:17) අමනාපයක් සිතේ තබාගැනීම දෙවියන්වහන්සේට අප්‍රසන්න දෙයක් වන අතර, එය බරපතළ පාපයට මඟ පෑදිය හැක. (ලෙවී කථාව 19:18) යොහන් බව්තීස්ත කෙරෙහි “වෛරබැඳ” සිටි දුෂ්ට හෙරෝදියස් විසින් යෙදූ උපායක් හේතුවෙන් ඔහුගේ හිස ගසා දමනු ලැබූ බව මතක තබාගන්න.—මාර්ක් 6:19-28.
14. (අ) මතෙව් 6:14, 15 සමාව දීම ගැන අපට උගන්වන්නේ කුමක්ද? (ආ) යමෙකුට සමාව දීමට පෙර, සමාව ඉල්ලීමක් සිදු වන තෙක් අප හැමවිටම බලා සිටිය යුතුද?
14 යේසුස්වහන්සේගේ ආදර්ශ යාච්ඤාවට මෙම වදන් ඇතුළත්ය: “අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමු.” (ලූක් 11:4) අප සමාව දීමට අකමැති නම්, කෙදිනක හෝ යෙහෝවඃ දෙවියන්වහන්සේ අපේ පව්වලට තවදුරටත් සමාව නොදෙනු ඇති අවදානමකට අපි වැටෙන්නෙමු, මන්දයත් යේසුස්වහන්සේ මෙසේ පැවසූ බැවිනි: “නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක. නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරනසේක.” (මතෙව් 6:14, 15) එබැවින් යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ පවුල තුළ සමඟිය පවත්වාගැනීමෙහිලා අපේ කොටස කිරීමට සැබවින්ම අපට වුවමනා නම්, අපි සමාව දීමට කැමති වන්නෙමු, ඇතැම්විට නොසැලකිලිමත්කම හේතුවෙන් හෝ නපුරු චේතනාවකින් තොර වූ වරදක් නිකම්ම අමතක කරදැමීමෙන් එසේ කළ හැක. පාවුල් මෙසේ පැවසීය: “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරපල්ලා.” (කොලොස්සි 3:13) අප සමාව දීමට කැමති වන විට, යෙහෝවඃවහන්සේගේ සංවිධානයේ අනගි සමඟිය පවත්වාගැනීමට අපි උපකාර කරන්නෙමු.
සමඟිය හා පෞද්ගලික තීරණ
15. පෞද්ගලික තීරණ ගන්නා විට, සමඟිය පවත්වාගැනීමට යෙහෝවඃවහන්සේගේ ජනයාට උපකාර කරන්නේ කුමක්ද?
15 පෞද්ගලික තීරණ ගැනීමේ වරප්‍රසාදය හා වගකීම සතු සදාචාරය අතින් තීරණ ගැනීමට නිදහස ඇති අය හැටියට දෙවියන්වහන්සේ අපව සෑදූසේක. (ද්විතීය කථාව 30:19, 20; ගලාති 6:5) එහෙත්, අප බයිබල් නීති හා ප්‍රතිපත්තිවලට අවනත වන බැවින්, අපේ සමඟිය පවත්වාගැනීමට අපට හැක. පෞද්ගලික තීරණ ගන්නා විට, අපි ඒවා සැලකිල්ලට ගන්නෙමු. (ක්‍රියා 5:29; 1 යොහන් 5:3) මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැනනැඟුණායයි සිතන්න. අප ‘ලෝකයෙන් නොවන’ බවත් ‘අපේ කඩුවලින් හීවැල් තළාගෙන’ ඇති බවත් මතක තබාගනිමින්, අවබෝධයෙන් යුත් පෞද්ගලික තීරණයක් ගැනීමට අපට හැක. (යොහන් 17:16; යෙසායා 2:2-4) ඒ හා සමානව, රජය සමඟ අපේ සබඳතාව සම්බන්ධයෙන් පෞද්ගලික තීරණයක් ගැනීමට අපට සිදු වන විට, ලෞකික කාරණාවලදී “බලයලත් මුලාදෑනීන්ට” යටත් වන අතරතුර, “දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේට” දීම ගැන බයිබලය කියන දේ අපි සැලකිල්ලට ගන්නෙමු. (ලූක් 20:25; රෝම 13:1-7; තීතස් 3:1, 2) එසේය, පෞද්ගලික තීරණ ගැනීමේදී බයිබල් නීති හා ප්‍රතිපත්ති සැලකිල්ලට ගැනීම අපේ ක්‍රිස්තියානි සමඟිය පවත්වාගැනීමට දායක වේ.
16. ශුද්ධ ලියවිලිමය ලෙස හරි හෝ වැරදි හෝ නොවන තීරණ ගැනීමේදී, සමඟිය පවත්වාගැනීමට අපට උපකාර කළ හැක්කේ කෙසේද? පැහැදිලි කරන්න.
16 සම්පූර්ණයෙන්ම පෞද්ගලික මෙන්ම ශුද්ධ ලියවිලිමය ලෙස හරි හෝ වැරදි නොවන තීරණයක් ගනිද්දී, ක්‍රිස්තියානි සමඟිය පවත්වාගැනීමට අපට උපකාර කළ හැක. ඒ කෙසේද? අප ගන්නා තීරණයෙන් බලපෑම් ලැබිය හැකි වෙනත් අය කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීමෙනි. එය මෙසේ නිදර්ශනය කළ හැක: රූපවලට පුදන ලද මස් ගැන ප්‍රශ්නයක් පුරාණ කොරින්තියේ සභාවේ පැනනැඟීය. ක්‍රිස්තියානියෙකු පිළිම නමස්කාරක උත්සවයකට සහභාගි නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේවෙතත්, ප්‍රසිද්ධ වෙළඳ සැලක විකුණන ලද, නිසි ලෙස ලේ ඉවත් කළ ඉතිරි වූ මෙයාකාර මස් අනුභව කිරීම පවක් නොවීය. (ක්‍රියා 15:28, 29; 1 කොරින්ති 10:25) කෙසේවෙතත්, මෙම මස් අනුභව කිරීම සම්බන්ධයෙන් ඇතැම් ක්‍රිස්තියානීන්ගේ හෘදය සාක්ෂිය වධ දුන්නේය. එනිසා ඔවුන්ව බාධාවට පත් කිරීමෙන් වැළකීමට පාවුල් අනික් ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. ඇත්තෙන්ම, ඔහු මෙසේ ලීවේය: “කෑම මාගේ සහෝදරයාට බාධාවක් වේ නම්, මාගේ සහෝදරයාට බාධා නොපැමිණෙන පිණිස, කිසි කලක මාංස නොකන්නෙමි.” (1 කොරින්ති 8:13) එබැවින් බයිබල් නීතියක් හෝ ප්‍රතිපත්තියක් අදාළව නොපවතින විටකදී පවා, දෙවියන්වහන්සේගේ පවුලේ සමඟියට බලපෑ හැකි පෞද්ගලික තීරණ ගැනීමේදී අනුන්ව සැලකිල්ලට ගැනීම මොනතරම් ප්‍රේමනීය දෙයක්ද!
17. පෞද්ගලික තීරණ ගැනීමට අපට සිදු වන විට, කුමක් කිරීම නුවණට හුරුද?
17 ගත යුතු ක්‍රියාමාර්ගය ගැන ස්ථිර නැත්නම්, අපට පිරිසිදු හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට ඉඩ දෙන අන්දමකින් තීරණය ගැනීම නුවණට හුරු වන අතර, අපේ තීරණයට අනුන් ගරු කළ යුතුය. (රෝම 14:10-12) අප පෞද්ගලික තීරණයක් ගන්නා විට, යාච්ඤාව තුළින් යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීම පැතීම අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ගීතිකාකරු මෙන් අපටත් නිසැකකමින් යුතුව මෙසේ යාච්ඤා කළ හැක: “මා දෙසට ඔබගේ කන නම[න්න] . . . මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව.”—ගීතාවලිය 31:2, 3.
හැමවිටම ක්‍රිස්තියානි සමඟිය පවත්වාගන්න
18. පාවුල් ක්‍රිස්තියානි සභාවේ සමඟිය නිදර්ශනය කළේ කෙසේද?
18 ක්‍රිස්තියානි සභාවේ සමඟිය නිදර්ශනය කිරීමට, පාවුල් 1 කොරින්ති 12වන පරිච්ඡේදයේදී, මිනිස් සිරුර භාවිත කළේය. ඔහු අන්‍යොන්‍ය ලෙස රඳා සිටීම මෙන්ම එක් එක් අවයවයේ වැදගත්කම අවධාරණය කළේය. “ඒ සියල්ල එකම අවයවයක් වීනම් ශරීරය කොයිද? නුමුත් දැන් බොහෝ අවයවයන් ඇති නුමුත් එක ශරීරයක්ය. නුඹ මට ඕනෑ නැතැයි අතට කියන්ට ඇසටවත්, නුඹලා මට ඕනෑ නැතැයි පාදවලට කියන්ට හිසටවත් නුපුළුවන” යයි පාවුල් පැවසුවේය. (1 කොරින්ති 12:19-21) ඒ හා සමානව, යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ පවුලේ සිටින අපි සැමදෙනාම එකම කාර්යයන්හි නිරත නොවන්නෙමු. එහෙත්, සමඟියෙන් සිටින අපට, එකිනෙකාව ඕනෑ කරයි.
19. දෙවියන්වහන්සේගේ ආත්මික සැපයුම්වලින් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද, එමෙන්ම මේ සම්බන්ධයෙන් එක් වයසින් මුහුකුරා ගිය සහෝදරයෙකු පැවසුවේ කුමක්ද?
19 ශරීරයට ආහාර, සාත්තුව හා මඟ පෙන්වීම අවශ්‍ය වන්නාක් මෙන්, දෙවියන්වහන්සේ ස්වකීය වචනය, ආත්මය හා සංවිධානය මගින් දෙන ආත්මික සැපයුම් අපට අවශ්‍යය. එම සැපයුම්වලින් ප්‍රයෝජන ලැබීමට නම්, අප යෙහෝවඃවහන්සේගේ භූමික පවුලට අයත් විය යුතුය. දෙවියන්වහන්සේගේ සේවයෙහි වර්ෂ ගණනාවක් නිරත වීමෙන් පසු, එක් සහෝදරයෙක් මෙසේ ලීවේය: “එක්දහස් නවසිය දාහතරට ස්වල්ප කලකට පෙර දේවල් එතරම් පැහැදිලි නොවූ මුල් කාලයේ පටන් . . . දහවල් ඉර මෙන් සත්‍යය බැබළෙන මෙම කාලය දක්වා යෙහෝවඃවහන්සේගේ දැනුම අනුව ජීවත්වීම ගැන මම කොතරම් ස්තුතිවන්ත වෙනවාද! මම එක්තරා දෙයක් ඉතා වැදගත් කොට සලකනවා නම්, ඒ යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානයට සමීපව සිටීමේ කාරණයයි. මිනිසුන්ගේ තර්ක කිරීම් මත රඳා සිටීම කෙතරම් අවිනිශ්චිතද කියා මගේ මුල් කාලයේ අද්දැකීම් මට ඉගැන්නුවා. ඒ කාරණය ගැන මගේ සිත එක්තැන් කරගත්තාට පසුව, විශ්වාසවන්ත සංවිධානයට පක්ෂව සිටීමට මම අධිෂ්ඨාන කරගත්තා. යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය හා ආශීර්වාද වෙන කොහෙන් ලබාගන්නද?”
20. යෙහෝවඃවහන්සේගේ ජනයා වශයෙන් අප සතු සමඟිය සම්බන්ධයෙන් අප කුමක් කිරීමට අදිටන් කරගත යුතුද?
20 යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟට ලෞකික අන්ධකාරයෙන් හා අසමඟියෙන් ඉවතට හඬ ගසා ඇත. (1 පේතෘස් 2:9) උන්වහන්සේ සමඟත් අපේ සෙසු ඇදහිලිවන්තයන් සමඟත් ආශීර්වාද ලත් සමඟියකට උන්වහන්සේ අපව ගෙනැවිත් තිබේ. දැන් ඉතා ළංව තිබෙන, දේවල නව පිළිවෙළෙහි මෙම සමඟිය පවතිනු ඇත. එනිසා, මෙම අර්බුදකාරි අන්තිම දවස්වල, ‘ප්‍රේමයෙන් පැළඳී’ අපේ අගනා සමඟිය වැඩි කරගැනීම හා එය පවත්වාගැනීම සඳහා කළ හැකි සැමෙකක්ම කරමු.—කොලොස්සි 3:14.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ දේවකැමැත්ත කිරීමත්, සත්‍යය තදින් අල්ලාගැනීමත්, සමඟිය පවත්වාගැනීම සඳහා අපට උපකාරවත් විය හැක්කේ මන්ද?
◻ දිව නිසි ලෙස පාවිච්චි කිරීම සමඟියට නෑකම් කියන්නේ කෙසේද?
◻ සමාව දීම සඳහා කැමති වීමට ඇතුළත් වන්නේ කුමක්ද?
◻ පෞද්ගලික තීරණ ගන්නා විට, සමඟිය පවත්වාගැනීමට අපට හැක්කේ කෙසේද?
◻ ක්‍රිස්තියානි සමඟිය පවත්වාගත යුත්තේ මන්ද?
[16වන පිටුවේ පින්තූරය]
මෙම එඬේරා තම රැළ රැකගන්නා සේම, යෙහෝවඃවහන්සෙත් තම සෙනඟ සමඟි කොට තබනසේක
[18වන පිටුවේ පින්තූරය]
අප අමනාපයට හේතු වන යමක් කරනවා නම්, නිහතමානීව සමාව ඉල්ලීමෙන් සමඟිය වැඩිදියුණු කිරීමට අපි රුකුලක් වෙමු