“යෙහෝවාගේ වචනය දිගටම වර්ධනය විය”
“[යෙහෝවා] පොළොව පුරා ඔහුගේ ප්‍රකාශයන් යවන්නේය. ඔහුගේ වචනය වේගයෙන් පැතිරෙන්නේය.”—ගීතාවලිය 147:15, NW.
1, 2. යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන් පැවරුම කුමක්ද? එයට අයත් වූ දේවල් මොනවාද?
ක්‍රියා 1:8හි සඳහන් අනාවැකිය බයිබලයේ සඳහන් අනාවැකි අතර කැපීපෙනෙයි. යේසුස් ස්වර්ගයට යෑමට ටිකකට කලින් සිය විශ්වාසවන්ත අනුගාමිකයන්ට පැවසූ වදන් එහි මෙසේ සඳහන් වේ. ‘ශුද්ධාත්මය නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.’ මෙය මොනතරම් භාරදූර කාර්යයක් වීද!
2 දෙවිගේ වචනය ලොව පුරා ප්‍රකාශ කිරීමේ කාර්යය ඉටු කිරීම සම්බන්ධයෙන් එදා සිටි ගෝලයන් ටිකදෙනාට මහත් බියක් දැනුණු බවට සැකයක් නැත. එම පැවරුමට අයත් වූ දේවල් ගැන නිකමට සිතා බලන්න. දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය තේරුම්ගැනීමට ඔවුන් ජනයාට උපකාර කළ යුතු විය. (මතෙව් 24:14) යේසුස් ඉගැන්වූ දේවල් හා යෙහෝවාගේ අරමුණ තුළ යේසුස්ට හිමි කාර්යභාරය ගැන අන් අයට පහදා දීම යේසුස් ගැන සාක්ෂි දැරීමට ඇතුළත් විය. එපමණක්ද නොව, ජනයාව ගෝලයන් කරමින් බව්තීස්ම කිරීමද ඔවුන්ගේ පැවරුමට අයත් විය. එමෙන්ම මෙය ලොව පුරා කළ යුතුව තිබිණ.—මතෙව් 28:19, 20.
3. යේසුස් සිය අනුගාමිකයන්ට දුන් සහතිකය කුමක්ද? තමන්ට ලැබුණු පැවරුමට ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
3 පවරන ලද කාර්යය කරගෙන යෑම සඳහා ශුද්ධාත්මයේ සහය ලැබෙන බවට යේසුස් සිය අනුගාමිකයන්ට සහතික විය. මේ නිසා, එම පැවරුමට මහත් වැඩ කොටසක් අයත් වුවත්, එය නතර කිරීමට විරුද්ධවාදීන් දැඩි ප්රයත්නයක් දැරුවත් යේසුස්ගේ මුල් ගෝලයෝ ඔවුන්ට ලැබුණු පැවරුම සාර්ථකව ඉටු කළහ. ඔවුන්ගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඉතිහාසය බිඳ හෙළිය නොහැකි සාක්ෂි සපයයි.
4. අන් අයට දේශනා කිරීමට හා ඉගැන්වීමට දුන් පැවරුම මගින් දෙවිගේ ප්‍රේමය පිළිබිඹු වූයේ කෙසේද?
4 ලොව පුරා සිදු කෙරුණු දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය, දෙවි ඔහුව නොහඳුනන අය කෙරෙහි දක්වන ප්‍රේමයේ ප්‍රකාශයක් විය. යෙහෝවාට ළංවීමටත් තමන්ගේ පාපවලට සමාව ලබාගැනීමටත් එමගින් ඔවුන්ට අවස්ථාව ලැබිණ. (ක්‍රියා 26:18) දේශනා කිරීමට හා ඉගැන්වීමට දුන් බලපැවරුම මගින්, එම කාර්යයේ හවුල් වන අය කෙරෙහි ඇති දෙවිගේ ප්‍රේමය ප්‍රකාශ විය. මන්දයත් එම කාර්යය මගින් යෙහෝවා කෙරෙහි තිබෙන තමන්ගේ භක්තිය හා සෙසු මිනිසුන්ට තිබෙන ප්‍රේමය පෙන්වීමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන නිසාය. (මතෙව් 22:37-39) ප්‍රේරිත පාවුල් දේවසේවය මොනතරම් අගය කොට සැලකුවාද කියනවා නම්, එය අගනා ‘වස්තුවක්’ කියා ඔහු සඳහන් කළේය.—2 කොරින්ති 4:7.
5. (අ) මුල් ක්‍රිස්තියානීන් පිළිබඳව විශ්වාසදායක තොරතුරු අපට සොයාගත හැක්කේ කොතැනින්ද? එහි විස්තර කෙරෙන්නේ කිනම් වර්ධනයක් ගැනද? (ආ) ක්‍රියා පොත අද සිටින දෙවිගේ සේවකයන්ට ප්‍රයෝජනවත් වන්නේ මන්ද?
5 මුල් ක්‍රිස්තියානීන්ගේ දේශනා කිරීමේ ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වාසදායක තොරතුරු, ශ්‍රාවක ලූක් විසින් දේවානුභාවයෙන් ලියන ලද ක්‍රියා පොතෙහි සඳහන් වේ. දේශනා කිරීමේ කටයුතුවල සිදු වූ මවිතකර වර්ධනය ගැන එහි වාර්තා වේ. දෙවිගේ වචනය පිළිබඳ දැනුම සම්බන්ධයෙන් සිදු වූ එම වර්ධනය, ගීතාවලිය 147:15හි සඳහන් මෙම වදන් අපේ මතකයට නංවයි. “[යෙහෝවා] පොළොව පුරා ඔහුගේ ප්‍රකාශයන් යවන්නේය. ඔහුගේ වචනය වේගයෙන් පැතිරෙන්නේය.” ශුද්ධාත්මයෙන් ශක්තිය ලැබූ මුල් ක්‍රිස්තියානීන් පිළිබඳව ක්‍රියා පොතෙහි සඳහන් වාර්තාව, අද සිටින අපට මහත් දිරිගැන්වීමක් වන අතර අපට ප්‍රයෝජනවත් වන දේවල් බොහොමයක් එහි අන්තර්ගත වේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිරත වී සිටින්නේ මුල් සියවසට වඩා මහා පරිමාණයෙන් සිදු කෙරෙන දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යයකයි. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් මුහුණ දුන් ගැටලු හා සමාන ගැටලුවලට අපිද මුහුණ දෙන්නෙමු. යෙහෝවා මුල් ක්‍රිස්තියානීන්ට ආශීර්වාද කළ ආකාරයත් ඔවුන්ව ශක්තිමත් කළ ආකාරයත් සලකා බලන කල අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වේ.
ගෝලයන් ගණනින් වර්ධනය වීම
6. වර්ධනය සම්බන්ධයෙන් ක්‍රියා පොතෙහි තුන් වතාවක් සඳහන් වන ප්‍රකාශය කුමක්ද? එයින් යොමු දක්වන්නේ කුමකටද?
6 ක්‍රියා 1:8හි සඳහන් වදන්වල ඉටුවීම පරීක්ෂා කර බැලීම සඳහා “යෙහෝවාගේ වචනය දිගටම වර්ධනය විය [NW]” යන ප්‍රකාශය ගැන සලකා බැලීම උපකාරවත් වේ. සුළු වෙනස්කම් සහිතව එම ප්‍රකාශය බයිබලයේ සඳහන් වන්නේ තුන් වතාවක් පමණි. එම අවස්ථා තුනම තිබෙන්නේ ක්‍රියා පොතෙහිය. (ක්‍රියා 6:7; 12:24; 19:20) “යෙහෝවාගේ වචනය” හා ‘දෙවිගේ වචනය’ යන ප්රකාශයන්ගෙන් යොමු දක්වන්නේ ශුභාරංචියටය. මෙය දෙවි හෙළි කර තිබෙන සත්‍යය පිළිබඳ උනන්දුව දනවනසුලු මෙන්ම ජීවමාන පණිවිඩයයි. එය පිළිගන්න අයගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කිරීමට එයට හැක.—හෙබ්‍රෙව් 4:12.
7. ක්‍රියා 6:7හි සඳහන් වන්නේ කුමන ආකාරයක වර්ධනයක් ගැනද? පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී සිදු වූයේ කුමක්ද?
7 දෙවිගේ වචනය වර්ධනය වීම ගැන මුලින්ම සඳහන් වන්නේ ක්‍රියා 6:7හි වන අතර, අපට එහි මෙසේ කියවීමට තිබේ. “තවද [දෙවිගේ] වචනය පතළවී ගියේය [දිගටම වර්ධනය විය, NW]; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.” මෙහි වර්ධනය යන්නෙන් අදහස් වන්නේ ගෝලයන් ගණනින් වැඩිවීමයි. ක්‍රියා 6:7හි සඳහන් දෙය සිදුවීමට කලින්, එනම් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ගෝලයන් 120දෙනෙකු පමණ කාමරයක රැස්ව සිටි අවස්ථාවේදී ඔවුන් මතට දෙවිගේ ශුද්ධාත්මය වගුරුවන ලදි. අනතුරුව ප්‍රේරිත පේතෘස් පොලඹවනසුලු කතාවක් ඉදිරිපත් කළ අතර, එයට සවන් දුන් අයගෙන් 3,000ක් පමණ එදිනම ඇදහිලිවන්තයන් බවට පත් වූහ. දහස් ගණනක් එක පොදියට යෙරුසලමේ හා ඒ අවට තිබූ පොකුණු කරා ගමන් කරන විට පැවති තත්වය ගැන ඔබට සිතාගත හැකිද! ඔවුන් මෙසේ පොකුණු කරා ගමන් කළේ, දවස් 50කට පමණ කලින් අපරාධකරුවෙකු ලෙස වධකණුවක එල්ලා මැරූ යේසුස්ගේ නාමයෙන් බව්තීස්ම වීමටය.—ක්‍රියා 2:41.
8. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසින් පසු ගත වූ අවුරුදුවලදී ගෝලයන්ගේ ගණන වැඩි වූයේ කොයි ආකාරයෙන්ද?
8 ඇත්තෙන්ම, එය වර්ධනයේ ආරම්භය වූවා පමණි. යුදෙව් ආගමික නායකයන් දේශනා කිරීමේ කටයුතු නතර කර දැමීමට දිගටම ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය. එම නායකයන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ‘යෙහෝවා ගැළවෙන්නාවූ අයව දවස්පතා [ගෝලයන්ට] එකතු කළේය.’ (ක්‍රියා 2:47) වැඩි කල් නොගොස් “ඒ මනුෂ්‍යයන්ගේ ගණන පන්දහසක් පමණ විය.” ඉන්පසුවද ‘ස්වාමීන් කෙරෙහි අදහාගත් පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද මහත් සමූහයක් එකතු කරන ලද්දේය.’ (ක්‍රියා 4:4; 5:14) පසු කාලයේදී සිදු වූ දෙය ගැන අපට මෙසේ කියවීමට තිබේ. “මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, [යෙහෝවා] කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, [ශුද්ධාත්මය] පිහිටවීමෙන් වර්ධනයවූවාය.” (ක්‍රියා 9:31) අවුරුදු කිහිපයකට පසු, එනම් පො.යු. 58දී පමණ ‘අදහාගත් අය දහස් ගණනක්’ සිටි බව බයිබලයේ සඳහන් වේ. (ක්‍රියා 21:20) ඒ කාලය වන විට, අදහාගත් අය අතර අන්‍යජාතිකයන් බොහෝදෙනෙක්ද වූහ.
9. ඔබ මුල් ක්‍රිස්තියානීන්ව විස්තර කරන්නේ කෙසේද?
9 ගෝලයන් ගණනින් වැඩිවීමට ප්‍රධානතම හේතුව වූයේ වෙනත් ආගම්වල අය සැබෑ ක්‍රිස්තියානි ධර්මය වැලඳගැනීමයි. මෙය අලුත් ආගමක් වුවත්, එහි සාමාජිකයෝ ක්‍රියාශීලී ලෙස ආත්මික කටයුතුවල නිරත වූහ. පල්ලිවල සිටින අක්‍රියාශීලී සාමාජිකයන්ට වඩා හාත්පසින්ම වෙනස්ව, මුල් සියවසේ සිටි ගෝලයෝ යෙහෝවා ගැනත් ඔහුගේ වචනය ගැනත් දේශනා කිරීමට මුළුමනින්ම කැප වී සිටියහ. සමහර අවස්ථාවලදී මොවුන්ට සත්‍යය ඉගෙනගන්න ලැබුණේ දරුණු ලෙස හිංසා පීඩාවලට ලක් වූ අයගෙනි. (ක්‍රියා 16:23, 26-33) ක්‍රිස්තියානි ධර්මය පිළිගත් අය එසේ කළේ කාරණා හොඳින් වටහාගෙන, ඔවුන්ගේ හෘදය සාක්ෂියට එකඟව ගත් තීරණයකට අනුවයි. (රෝම 12:1) දෙවිගේ මාර්ග ගැන ඔවුන්ව දැනුවත් කරනු ලැබූ අතර, සත්‍යය ඔවුන්ගේ මනස් හා හදවත්වලට කාවැදී තිබිණ. (හෙබ්‍රෙව් 8:10, 11) තමන්ගේ ඇදහිල්ල වෙනුවෙන් ජීවිතය පවා පූජා කරන්න ඔවුහු කැමැත්තෙන් සිටියහ.—ක්‍රියා 7:51-60.
10. මුල් ක්‍රිස්තියානීන් බාරගත් වගකීම කුමක්ද? එමෙන්ම අදදින එම වගකීම ඉටු කරන්නේ කවුද?
10 සත්‍යය අනිත් අය සමඟ බෙදාගැනීම තමන්ගේ වගකීම බව ක්‍රිස්තියානි ධර්මය පිළිගත් අය වටහාගත් අතර, ගණනින් සිදු වූ අඛණ්ඩ වර්ධනයට ඔවුහුද දායක වූහ. බයිබල් විශාරදයෙක් මෙසේ පැවසුවේය. “ක්‍රිස්තියානි ඇදහිල්ල ගැන වෙනත් අයට පැවසීම, ජ්වලිතකමින් වැඩි අයට පමණක් හෝ නිල වශයෙන් පත් කරන ලද එවැන්ජලිස්තවරුන්ට පමණක් සීමා වූ දෙයක් ලෙස සැලකුවේ නැත. එවැන්ජලිස්තවරයෙකු ලෙස සේවය කිරීම සෑම සභා සාමාජිකයෙකුටම හිමි වරප්‍රසාදයක් මෙන්ම වගකීමක්ද විය. . . . ක්‍රිස්තියානීන් විසූ සෑම ප්‍රදේශයකම සිදු වූ අඛණ්ඩ වර්ධනය, ආරම්භයේ සිටම ක්‍රිස්තියානි ධර්මයේ ඉදිරි ගමනට මහත් රුකුලක් විය.” ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය. “එවැන්ජලිස්ත සේවය මුල් ක්‍රිස්තියානීන් සැලකුවේ තම ජීවිතය තරම්ම වැදගත් දෙයක් ලෙසය.” අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන්ද ඒ දෙය සැබෑවක් වේ.
පොළොව පුරා වර්ධනය
11. ක්‍රියා 12:24හි සඳහන් වන්නේ කුමන ආකාරයේ වර්ධනයක් ගැනද? මෙම වර්ධනය සිදු වූයේ කෙසේද?
11 දෙවිගේ වචනයේ වර්ධනය ගැන සඳහන් වන දෙවන අවස්ථාව ක්‍රියා 12:24හි දක්නට තිබේ. එහි මෙසේ සඳහන් වේ. “යෙහෝවාගේ වචනය දිගටම වර්ධනය විය [NW].” මෙම ප්‍රකාශයෙන් යොමු දැක්වෙන්නේ පොළොව පුරාම සිදු වූ වර්ධනයටය. ආණ්ඩුවලින් පැමිණි විරෝධතා මැද දේශනා කිරීමේ වැඩය දිගටම ව්‍යාප්ත විය. මුලින්ම යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් මත ශුද්ධාත්මය වගුරුවනු ලැබූ අතර, එහි සිට වචනය විගස ව්‍යාප්ත වෙන්න පටන්ගත්තේය. යෙරුසලමෙහි ඇති වූ පීඩා රැල්ල නිසා ගෝලයෝ යුදය සහ සමාරිය පුරා පිහිටි ප්‍රදේශවලට විසිර ගියහ. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? “විසුරුවනු ලැබූ ඔව්හු ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශකළෝය.” (ක්‍රියා 8:1, 4) එතියෝපීය ජාතිකයෙකුට සාක්ෂි දැරීම සඳහා පිලිප්ව යවන ලදි. එම තැනැත්තා බව්තීස්ම වීමෙන් පසු එතියෝපියට දෙවිගේ වචනයේ ශුභාරංචිය රැගෙන ගියේය. (ක්‍රියා 8:26-28, 38, 39) කෙටි කාලයක් තුළ සත්‍යය ලිද්දායෙහිද ෂාරොනෙහිද යොප්පාවෙහිද වර්ධනය වෙන්න පටන්ගත්තේය. (ක්‍රියා 9:35, 42) පසු කලෙක ප්‍රේරිත පාවුල් මුහුදින් හා ගොඩබිමෙන් සැතපුම් දහස් ගණනක් ගමන් කරමින් මධ්‍යධරණී මුහුද අසල පිහිටි ප්‍රදේශ බොහොමයක සභා පිහිටුවීය. ප්‍රේරිත පේතෘස් බබිලෝනියට ගියේය. (1 පේතෘස් 5:13) පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මය වැගිරවීමෙන් පසු ගත වූ අවුරුදු 30 ඇතුළත ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය [දේශනා කර තිබේ, NW].” කියා පාවුල් ලීවේය. මෙහිදී අහසින් යට මුළු මැවිල්ල යන්නෙන් අදහස් වන්නේ එවකට සොයාගෙන තිබූ ලෝකයේ පිහිටි ප්‍රදේශ විය හැක.—කොලොස්සි 1:23.
12. දෙවිගේ වචනය ලොව පුරා ව්‍යාප්ත වී තිබූ බව ක්‍රිස්තියානි ධර්මයේ සතුරෝ පිළිගත්තේ කෙසේද?
12 දෙවිගේ වචනය රෝම අධිරාජ්‍යය පුරා මුල් ඇද පිහිටා තිබෙන බව ක්‍රිස්තියානි ධර්මයේ සතුරෝ පවා පිළිගත්හ. උදාහරණයක් හැටියට, උතුරු ග්‍රීසියේ පිහිටි තෙසලෝනිකයේ සිටි විරුද්ධවාදීන් කෑගසමින් මෙසේ පැවසූ බව ක්‍රියා 17:6හි සඳහන් වේ. “ලෝකය පෙරළුවාවූ මොව්හු මෙහිත් ඇවිත් සිටිති.” එමෙන්ම දෙවන සියවසේ මුල්භාගයේදී බිතිනියේ සිටි කනිෂ්ඨ ප්ලිනි එවකට රෝම අධිරාජ්‍යයාව සිටි ට්රේජන්ට ක්‍රිස්තියානි ධර්මය ගැන පැමිණිලි කරමින් මෙසේ ලීවේය. “[එය] නගරවලට පමණක් සීමා වී නැත. මෙම විෂ බීජය ගම් නියම් ගම් පුරා පැතිරී තිබේ.”
13. ලොව පුරා සිදුව ඇති ව්‍යාප්තියෙන්, මිනිසුන් සඳහා දෙවිගේ ප්‍රේමය පිළිබිඹු වන්නේ කෙසේද?
13 ලොව පුරා සිදු වූ මෙම ව්‍යාප්තිය, ගැළවීමට කැමති මිනිසුන්ට යෙහෝවා ඉමහත් ප්‍රේමයක් දක්වන බවට සාක්ෂියකි. අන්‍යජාතිකයෙකු වූ කොර්නේලියස්ට ශුද්ධාත්මය ලැබී තිබෙන බව දුටු පේතෘස් මෙසේ පැවසුවේය. ‘සැබවින් දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.’ (ක්‍රියා 10:34, 35) ඔව්, එදා මෙන් අදත් ශුභාරංචිය සියලු මිනිසුන් උදෙසාය. දෙවිගේ වචනය ලොව පුරාම පතළ වීම නිසා විවිධ ප්‍රදේශවල සිටි මිනිසුන්ට දෙවිගේ ප්‍රේමයට ප්‍රතිචාරයක් දැක්වීමට අවස්ථාව ලැබිණ. විසිඑක්වන සියවසේද දෙවිගේ වචනය පොළොව පුරා පැතිරී තිබේ.
බලවත් ලෙස සිදු වූ වර්ධනය
14. ක්‍රියා 19:20හි සඳහන් වන්නේ කුමන ආකාරයේ වර්ධනයක් ගැනද? දෙවිගේ වචනය බලවත් ලෙස අභිභවා ගියේ කුමන දේවල්ද?
14 දෙවිගේ වචනයේ වර්ධනය ගැන සඳහන් තුන්වන අවස්ථාව වන ක්‍රියා 19:20හි අපට මෙසේ කියවීමට තිබේ. “බලගතු ලෙස [යෙහෝවාගේ] වචනය [දිගටම, NW] වර්ධනයවී, බලවත්වුණේය.” “බලවත්වුණේය” යනුවෙන් පරිවර්තනය කර තිබෙන මුල් ග්‍රීක් වචනයෙහි “ශක්තිමත් ලෙස පිහිටා තිබීම” යන අදහස ඇතුළත් වේ. එම පරිච්ඡේදයේ කලින් වගන්තිවල විස්තර කෙරෙන ආකාරයට එපීසයේ සිටි බොහෝදෙනෙක් ඇදහිලිවන්තයන් බවට පත් වූහ. එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර වැඩවල නියැලී සිටි සියලුදෙනා අන්‍යයන් ඉදිරියේ ඒවාට සම්බන්ධ ඔවුන්ගේ පොත් පත් පුලුස්සා දැමූහ. මෙසේ දෙවිගේ වචනය බොරු ආගමික විශ්වාසයන් අභිභවා යමින් බලවත් වූයේය. හිංසා පීඩා වැනි වෙනත් බාධක ජයගැනීමටද ශුභාරංචිය සමත් වූ අතර, එහි වර්ධනය නතර කිරීමට කිසිවකට නොහැකි විය. මෙම ලක්ෂණය, මුල් ක්‍රිස්තියානි ධර්මය හා අපේ කාලයේ පවතින සැබෑ ක්‍රිස්තියානි ධර්මය අතර තිබෙන කැපීපෙනෙන සමානකමකි.
15. (අ) බයිබල් ඉතිහාසඥයෙකු මුල් ක්‍රිස්තියානීන් ගැන සඳහන් කළේ කුමක්ද? (ආ) ගෝලයන් ඔවුන් ලැබූ සාර්ථකත්වය සඳහා ගෞරවය දුන්නේ කාටද?
15 ප්‍රේරිතවරුන් ඇතුළුව මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීහු ජ්වලිතව දෙවිගේ වචනය ප්‍රකාශ කළහ. බයිබල් ඉතිහාසඥයෙක් ඔවුන් ගැන මෙසේ අදහස් පළ කළේය. “තමන්ගේ ස්වාමියා ගැන කතා කිරීමට තිර අදිටනක් ඇති විටෙක, ඒ සඳහා මාර්ගය සලසාගැනීම අදාළ ජන පිරිසට ගැටලුවක් නොවේ. මේ පුරුෂයන් සහ ස්ත්‍රීන් ගැන අප තුළ හොඳ හැඟීමක් ඇතිවීමට හේතු වන්නේ ඔවුන් [දේශනා කිරීමට] යොදාගත් ක්‍රමවලට වඩා, ඔවුන්ගේ ඒ අධිෂ්ඨානපූර්වක පෙලඹවීමයි.” කෙසේවෙතත්, තමන්ගේ දේවසේවයේ සාර්ථකත්වය රඳා පැවතියේ තමන් දැරූ ප්රයත්නයන් මත පමණක් නොවන බව මුල් ක්‍රිස්තියානීහු තේරුම්ගත්හ. මෙම සේවය කරගෙන යෑමට අණ කර තිබුණේ දෙවිය. තවද එය කිරීමට දෙවිගේ නොමද සහය ඔවුන්ට ලැබිණ. ආත්මික ක්‍රියාකාරකම්වල වර්ධනය සිදු කරන්නේ දෙවි බව ඉන් පැහැදිලි වේ. ප්‍රේරිත පාවුල් මෙම කාරණය තේරුම්ගත් බව ඔහු කොරින්තිවරුන්ට ලියූ ලිපියේ සඳහන් කළ මෙම වදන්වලින් පැහැදිලි වේ. “මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ [දෙවිය]. මක්නිසාද අපි [දෙවිගේ] හවුල් වැඩකරන්නෝය.”—1 කොරින්ති 3:6, 9.
ශුද්ධාත්මය ක්‍රියාත්මක වෙයි
16. නිර්භීතව කතා කිරීමට ශුද්ධාත්මය ගෝලයන්ව ශක්තිමත් කළ බවට තිබෙන සාක්ෂි මොනවාද?
16 දෙවිගේ වචනය වර්ධනය වෙමින් ව්‍යාප්ත වීම සඳහා ශුද්ධාත්මය මගින් විශාල වැඩ කොටසක් සිදු කෙරෙන බවටත්, ගෝලයන් දේශනා කිරීමේ ක්‍රියාකාරකම්වල නිරත වන විට ශුද්ධාත්මය ඔවුන්ව බලවත් කරන බවටත් යේසුස් සහතික වූ බව සිහිපත් කරන්න. (ක්‍රියා 1:8) මෙය සැබෑ වූයේ කෙසේද? පෙන්තකොස්ත දවසේදී ගෝලයන් මත ශුද්ධාත්මය වගුරුවා වැඩි කලක් යන්න කලින් පේතෘස්ට හා යොහන්ට සැන්හීඩ්‍රින් නමැති යුදෙව් අධිකරණය ඉදිරියෙහි පෙනී සිටීමට නියෝග කරන ලදි. යෙරුසලමේ තිබූ එම මහාධිකරණයේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ යේසුස් ක්‍රිස්තුස්ට මරණීය දණ්ඩනය නියම කළ පුද්ගලයන්ය. තමන් සමඟ වෛරයෙන් සිටින මෙම බලවත් විනිසුරු මඩුල්ල ඉදිරියෙහි සිටින විට පේතෘස් සහ යොහන් බියෙන් වෙවුලන්න පටන්ගත්තාද? කොහෙත්ම නැත! ශුද්ධාත්මය දුන් ශක්තිය නිසා මේ ප්‍රේරිතයන් දෙදෙනා මොනතරම් නිර්භීතකමකින් කතා කළාද කියනවා නම්, ඔවුන්ගේ විරුද්ධවාදීන් පවා එය දැක පුදුම විය. ‘ඔවුන් යේසුස් සමඟ සිටි අය බව ඔවුහු හඳුනාගත්තෝය.’ (ක්‍රියා 4:8, 13) සැන්හීඩ්‍රින් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි නිර්භීතව සාක්ෂි දැරීමට ස්තේපන්ට හැකි වූයේද ශුද්ධාත්මය දුන් බලය නිසාය. (ක්‍රියා 6:12; 7:55, 56) ඊට කලින්ද නිර්භීතව දේශනා කිරීමට ගෝලයන්ව ශක්තිමත් කළේ ශුද්ධාත්මයයි. ඒ ගැන ලූක් මෙසේ සඳහන් කරයි. “ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, [දෙවිගේ] වචනය නිර්භීත ලෙස කථාකළෝය.”—ක්‍රියා 4:31.
17. ගෝලයන් දේවසේවය කරගෙන යන විට ශුද්ධාත්මය ඔවුන්ට සහය වූයේ කිනම් ආකාරවලින්ද?
17 නැවත නැඟිටුවා සිටින යේසුස් සමඟ එක්ව යෙහෝවා තම ප්‍රබල ශුද්ධාත්මය යොදාගනිමින් දේශනා කිරීමේ කටයුතු මෙහෙයවනු ලැබුවේය. (යොහන් 14:28; 15:26) කොර්නේලියස්ද, ඔහුගේ ඥාතීන්ද, කිට්ටු මිතුරන්ද පිට ශුද්ධාත්මය වගුරුවනු ලැබූ විට, යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වීමට අචර්මච්ඡේදිත අන්‍යජාතීන්ද සුදුසුකම් ලබා තිබෙන බව ප්‍රේරිත පේතෘස් වටහාගත්තේය. (ක්‍රියා 10:24, 44-48) පසු කාලයේදී, බාර්ණබස්ව හා සාවුල්ව (ප්‍රේරිත පාවුල්ව) මිෂනාරි සේවය සඳහා පත් කිරීමේදී හා ඔවුන් යා යුත්තේ කොතැනටද, නොයා යුත්තේ කොතැනටද කියා මඟ පෙන්වීමේදී ශුද්ධාත්මය වැදගත් කාර්යයක් ඉටු කළේය. (ක්‍රියා 13:2, 4; 16:6, 7) යෙරුසලමේ සිටි ප්‍රේරිතවරුන් හා වැඩිමහල්ලන් තීරණ ගනු ලබන විටද ශුද්ධාත්මය ඔවුන්ට මඟ පෙන්වීම ලබා දුන්නේය. (ක්‍රියා 15:23, 28, 29) ක්‍රිස්තියානි සභාවේ සේවය කරන අවේක්ෂකයන්ව පත් කළේද ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේය.—ක්‍රියා 20:28.
18. මුල් ක්‍රිස්තියානීන් ප්‍රේමය විදහාපෙන්වූයේ කෙසේද?
18 ප්‍රේමය වැනි දිව්‍ය ගුණාංග ක්‍රිස්තියානීන් තුළින් දැකගැනීමට හැකිවීමෙන් පැහැදිලි වූයේ ශුද්ධාත්මය ඔවුන් තුළ ක්‍රියාත්මක වූ බවය. (ගලාති 5:22, 23) තමන් සතු දේවල් අනිත් අය සමඟ බෙදාගැනීමට ගෝලයන්ව පෙලඹවූයේ ශුද්ධාත්මයයි. උදාහරණයක් හැටියට, යෙරුසලමේ සිටි ගෝලයන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලීම සඳහා පො.යු. 33 පෙන්තකොස්ත දවසින් පසු පොදු අරමුදලක් පිහිටුවන ලදි. ඒ ගැන බයිබල් වාර්තාවේ මෙසේ සඳහන් වේ. “හිඟ ඇති කිසිවෙක් ඔවුන් අතරෙහි නොවීය. මක්නිසාද බිම් හෝ ගෙවල් හෝ ඇති සියල්ලෝ ඒවා විකුණා, විකුණනලද දේවල මිල ගෙනත්, ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවෝය. එකල එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාදෙනලද්දේය.” (ක්‍රියා 4:34, 35) සෙසු ඇදහිලිවන්තයන්ට පමණක් නොව, අනිත් අයටද කාරුණික ක්‍රියාවන් කිරීමෙන් හා ඔවුන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමෙන් ප්‍රේමය පෙන්වන ලදි. (ක්‍රියා 28:8, 9) ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය මගින් සිය අනුගාමිකයන්ව හඳුනාගනු ලබන බව යේසුස් පැවසුවේය. (යොහන් 13:34, 35) ඉතාමත් වැදගත් ගුණාංගයක් වන ප්‍රේමය මගින් ජනයාව දෙවි වෙතට ළං කළ අතර, මුල් සියවසේ සිදු වූ වර්ධනයටද එම ගුණාංගය දායක වූ බව නිසැකය. අදදිනද මෙය සැබෑවක් වී තිබේ.—මතෙව් 5:14, 16.
19. (අ) මුල් සියවසේදී දෙවිගේ වචනය වර්ධනය වූ ආකාර තුන මොනවාද? (ආ) ඊළඟ ලිපියේදී අප සලකා බලන්නේ කුමක්ද?
19 ‘ශුද්ධාත්මය’ යන වචනය ක්‍රියා පොතෙහි 41 වතාවක් සඳහන් වේ. මුල් සියවසේ සැබෑ ක්‍රිස්තියානීන් අතර සිදු වූ වර්ධනයට ශුද්ධාත්මයේ මඟ පෙන්වීම හේතු වූ බව පැහැදිලිය. මෙහි ප්‍රතිඵලයක් හැටියට ගෝලයන්ගේ ගණන වැඩි විය. දෙවිගේ වචනය බොහෝ ප්‍රදේශ කරා ව්‍යාප්ත වූ අතර, එවකට පැවති ආගම් හා දර්ශනවාදි මතයන් අභිභවා එය බලවත් ලෙස වර්ධනය විය. මුල් සියවසේ සිදු වූ මෙම වර්ධනය හා අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් කරනු ලබන සේවයේ වර්ධනය අතර සමානකම් තිබේ. මුල් සියවසේදී මෙන්, නවීන කාලයේ දෙවිගේ වචනය පතළ වීමේදී දක්නට ලැබෙන කැපීපෙනෙන වර්ධනය ගැන ඊළඟ ලිපියේදී අපි සලකා බලන්නෙමු.
ඔබට මතකද?
• මුල් ගෝලයන් ගණනින් වර්ධනය වූයේ කෙසේද?
• දෙවිගේ වචනය ලොව පුරාම ව්‍යාප්ත වූයේ කිනම් ආකාරවලින්ද?
• මුල් සියවසේදී දෙවිගේ වචනය බලවත් ලෙස වර්ධනය වූයේ කෙසේද?
• දෙවිගේ වචනය වර්ධනය වීමේදී ශුද්ධාත්මය මගින් ඉටු කළ කාර්යභාරය කුමක්ද?
[12වන පිටුවේ පින්තූරය]
පිලිප් එතියෝපීය ජාතිකයාට දේශනා කිරීම ශුභාරංචිය ලොව පුරා ව්‍යාප්ත වූ බවට උදාහරණයකි
[13වන පිටුවේ පින්තූරය]
යෙරුසලමෙහි සිටි ප්‍රේරිතයන්ට හා වැඩිමහල්ලන්ට ශුද්ධාත්මය මගින් මඟ පෙන්වන ලදි
[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඉහළ දකුණු කෙළවර: දෙවන දේවමාළිගාව තිබූ කාලයේදී පැවති යෙරුසලම් නගරයේ ප්‍රතිනිර්මාණයක්. මෙය පිහිටා තිබෙන්නේ යෙරුසලමෙහි හෝලිලෑන්ඩ් හෝටලය පිහිටා තිබෙන භූමියේය.