13වෙනි පරිච්ඡේදය
“ලොකු විවාදයක්”
චර්මච්ඡේදනය ගැන මතු වුණ ප්රශ්නය පාලක මණ්ඩලය සලකා බලයි
1-3. (අ) ක්‍රිස්තියානි සභාවේ එක්සත්කමට තර්ජනයක් වුණේ මොන ප්‍රශ්නයද? (ආ) ඒ ගැන ක්‍රියා පොතේ සඳහන් වාර්තාව අපට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?
පාවුල් හා බානබස් තම පළවෙනි සංචාරය අවසන් කරලා නැවත සිරියාවේ අන්තියෝකියට ඇවිත් ඉන්නවා. “දෙවියන් වෙනත් ජාතීන්ට අයිති අයටත් යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න අවස්ථාව දීලා තියෙනවා” කියන දේ තමන්ට අද්දැකීමට හැකි වෙලා තියෙන එක ගැන ඔවුන් ඉන්නේ ලොකු සතුටකින්. (ක්‍රියා 14:26, 27) අන්තියෝකිය පුරාත් ශුභාරංචිය පැතිර තියෙනවා වගේම වෙනත් ජාතීන් “හුඟදෙනෙක්” මේ වෙද්දී ක්‍රිස්තියානි සභාවට එකතු වෙලා තියෙනවා.—ක්‍රියා 11:20-26.
2 වෙනත් ජාතීන් හුඟදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා තියෙනවා කියලා යුදයේ සිටින ක්‍රිස්තියානීන්ටත් ආරංචි වෙනවා. නමුත් හැමෝම ඒ ගැන සතුටු වන්නේ නැහැ. මොකද යම් කාලයක් පුරා මතභේදයට ලක් වුණ දෙයක් මේ ආරංචිය සමඟ නැවතත් ඉස්මතු වෙනවා. ඒ, චර්මච්ඡේදනය ගැන තිබුණ ප්රශ්නයයි. ඒ ප්රශ්නය කොච්චර උග්‍ර අතට හැරුණාද කියනවා නම් ඒකෙන් ක්‍රිස්තියානි සභාවේ භේදයක් ඇති වෙන්නත් ඉඩ තිබුණා. ඒ නිසා යුදෙව් ක්‍රිස්තියානීන් සහ යුදෙව් නොවන ක්‍රිස්තියානීන් එකිනෙකාට සලකන්න ඕනෙ කොහොමද හා යුදෙව් නොවන ක්‍රිස්තියානීන් මෝසෙස්ට දුන්න නීතියට යටත් විය යුතුද යන ප්‍රශ්නවලට ඉක්මනින්ම විසඳුමක් ලබාගැනීමේ අවශ්‍යතාවක් පැනනැඟුණා. ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලබාගන්නේ කොහොමද?
3 ඒ ගැන ක්‍රියා පොතේ සඳහන් වාර්තාවෙන් අපට වටිනා පාඩම් ඉගෙනගත හැකියි. මේ කාලයේදී සභාව තුළ භේද ඇති කරන ප්‍රශ්න මතු වෙද්දී ඥානවන්තව වැඩ කරන්න ඒවා අපට ප්‍රයෝජනවත් වෙයි.
“චර්මච්ඡේදනය වුණේ නැත්නම්” (ක්‍රියා 15:1)
4. සමහර ක්‍රිස්තියානීන් පතුරපු වැරදි මත මොනවාද? මතු වන ප්රශ්නය මොකක්ද?
4 මතභේදයක් වෙලා තිබුණ කාරණය විශාල ප්‍රශ්නයක් බවට පත් වුණ විදිහ ලූක් විස්තර කරන්නේ මෙහෙමයි. “යුදයේ ඉඳන් [අන්තියෝකියට] පුරුෂයන් කීපදෙනෙක් ඇවිත් ‘මෝසෙස්ගේ චාරිත්‍රයට අනුව චර්මච්ඡේදනය වුණේ නැත්නම් ඔයාලට ගැලවීම ලබාගන්න බැහැ’ කියලා සහෝදරයන්ට උගන්වන්න පටන්ගත්තා.” (ක්‍රියා 15:1) “යුදයේ ඉඳන්” ආපු ඒ අය කලින් පරිසිවරුන්ගේ නිකායට අයිති අයද කියලා සඳහන් කරලා නැහැ. නමුත් පේන විදිහට ඒ නිකායට අයිති අයට තිබුණ දැඩි මත ඒ ක්‍රිස්තියානීන්ට බලපාලා තිබුණා. තමන් යෙරුසලමේ සිටින නියෝජිතයන්ව හා වැඩිමහල්ලන්ව නියෝජනය කරන බවත් සමහරවිට ඔවුන් ඒ අවස්ථාවේදී කියන්න ඇති. (ක්‍රියා 15:23, 24) දෙවියන්ගේ මඟ පෙන්වීමට අනුව චර්මච්ඡේදනය නොවුණ වෙනත් ජාතීන්ව ක්‍රිස්තියානි සභාවට පිළි අරන් අවුරුදු 13ක් ගත වෙලා තිබුණා. එහෙනම් චර්මච්ඡේදනය වෙන්න ඕනෙ කියලා තවමත් යුදෙව් ක්‍රිස්තියානීන් කියන්නේ ඇයි?a—ක්‍රියා 10:24-29, 44-48.
5, 6. (අ) සමහර යුදෙව් ක්‍රිස්තියානීන් චර්මච්ඡේදනය වෙන චාරිත්‍රය අත්හරින්න කැමති වුණේ නැත්තේ ඇයි? (ආ) චර්මච්ඡේදනය වීම ගැන ඇති කරගත්ත ගිවිසුම හා දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත විශේෂ ගිවිසුම එකම ගිවිසුමක්ද? පැහැදිලි කරන්න. (පාදසටහන බලන්න.)
5 ඒකට හේතු කිහිපයක්ම තිබිය හැකියි. පුරුෂයන් චර්මච්ඡේදනය වෙන්න ඕනෙ කියලා කිව්වේ යෙහෝවා දෙවියන්මයි. ඒක යෙහෝවා සමඟ විශේෂ බැඳීමක් තියෙනවා කියන්න ලකුණක් වුණා. දෙවියන් ඒ චාරිත්‍රය මුලින්ම හඳුන්වලා දුන්නේ ආබ්‍රහම්ට හා ඔහුගේ ගෙයි වැසියන්ටයි.b පස්සේ ඒක මෝසෙස්ට දුන්න නීතියටත් දෙවියන් ඇතුළත් කළා. (ලෙවී. 12:2, 3) පාස්කු උත්සවය වගේ ඊශ්‍රායෙල්වරුන් සමරපු උත්සවවලට සහභාගි වෙන්න නම් ඔවුන් එක්ක ජීවත් වුණ විදේශිකයෙක් චර්මච්ඡේදනය වෙන එක මෝසෙස්ට දුන් නීතියට අනුව අනිවාර්ය දෙයක් වුණා. (නික්. 12:43, 44, 48, 49) එහෙම බලද්දී යුදෙව්වන්, චර්මච්ඡේදනය නොවුණ අයව අපවිත්‍ර අය විදිහට සලකලා ඔවුන්ව හෙළා දැකීම පුදුමයක් නෙවෙයි.—යෙසා. 52:1.
6 නමුත් කාලයක් පුරා ඔවුන් යටත්ව සිටිය නීතික ගිවිසුම අවලංගු කරලා දැන් අලුත් ගිවිසුම පිහිටුවා තිබෙනවා. ඒ ගිවිසුමට අනුව යුදෙව්වන්ව තවදුරටත් දෙවියන්ගේ තෝරගත්ත සෙනඟ විදිහට සැලකුවේ නැහැ. ඕනෑම කෙනෙක්ට දෙවියන්ගේ තෝරගත්ත සෙනඟට අයත් වෙන ප්‍රස්තාව උදා වෙලා තිබුණා. දෙවියන් හඳුන්වා දුන්න ඒ අලුත් සැලැස්ම පිළිගන්න නම් යුදෙව් ක්‍රිස්තියානියෙක්ට දෙවියන් ගැන විශ්වාසයක් හා නිහතමානිකම අවශ්‍ය වුණා. යුදයේ හා යුදෙව්වන් විශාල පිරිසක් ජීවත් වුණ ප්‍රදේශවල හිටිය යුදෙව් ක්‍රිස්තියානීන්ට ක්‍රිස්තුස්ව ප්‍රසිද්ධියේ පිළිගන්නත් චර්මච්ඡේදනය නොවුණ වෙනත් ජාතියකට අයිති අයව තමන්ගේ සහෝදරයන් විදිහට පිළිගන්නත් මහත් නිර්භීතකමක් අවශ්‍ය වුණා.—යෙරෙ. 31:31-33; ලූක් 22:20.
7. “යුදයේ ඉඳන්” ආපු සමහර අයට තේරුම්ගන්න බැරි වුණේ මොකක්ද?
7 අලුත් ගිවිසුම පිහිටුවපු එකෙන් අදහස් වෙන්නේ දෙවියන්ගේ ප්‍රමිතිවල වෙනසක් වෙලා තියෙනවා කියන එක නෙවෙයි. දෙවියන්ගේ ප්‍රමිති කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම අලුත් ගිවිසුම පදනම් වෙලා තියෙන්නේ මෝසෙස්ට දීපු නීතියේ තිබුණ ප්‍රමිති මතයි. (මතෙ. 22:36-40) උදාහරණයකට චර්මච්ඡේදනය වෙන චාරිත්‍රය හඳුන්වා දෙන්න මූලික වුණ ප්‍රමිතිය අලුත් ගිවිසුම යටතේ සිටින ක්‍රිස්තියානීන්ට අදාළ වෙන විදිහ පාවුල් මෙහෙම පැහැදිලි කළා. “කෙනෙක්ගේ හදවතේ තියෙන දේට අනුව තමයි එයා සැබෑ යුදෙව්වෙක් වෙන්නේ. සැබෑ චර්මච්ඡේදනය හදවතේ සිද්ධ වෙන දෙයක්. ඒක වෙන්නේ දෙවියන්ගේ බලය මාර්ගයෙන් මිසක් නීතියේ තියෙන දේවල් පිළිපදින එකෙන් නෙමෙයි.” (රෝම 2:29; ද්වි. 10:16) පේන විදිහට අන්තියෝකියට ‘යුදයේ ඉඳන් ආපු පුරුෂයන් කීපදෙනා’ ඒ කාරණය තේරුම් අරන් හිටියේ නැහැ. ක්‍රිස්තියානියෙක් වන සෑම කෙනෙක්ම චර්මච්ඡේදනය අනුගමනය කළ යුතුමයි කියලා ඔවුන් තරයේ කියා සිටියේ ඒ නිසයි. ඔවුන්ව නිවැරදි කරන්න උත්සාහ කරද්දී ඔවුන් කොහොම ප්‍රතිචාරය දක්වයිද?
“ලොකු විවාදයක්” (ක්‍රියා 15:2)
8. චර්මච්ඡේදනය ගැන ඇති වුණ ප්රශ්නය විසඳන්න පාලක මණ්ඩලයට භාර දුන්නේ ඇයි?
8 ඊටපස්සේ සිදු වුණ දේ ලූක් වාර්තා කරන්නේ මෙහෙමයි. “පාවුල් සහ බානබස් එයාලා [‘යුදයේ ඉඳන් ආපු පුරුෂයන්’] කියපු දේට එකඟ වුණේ නැහැ. ඒ නිසා ඒ දෙගොල්ලන් අතරේ ලොකු විවාදයක් ඇති වුණා. ඉතින් සහෝදරයන් තීරණය කළා පාවුල්වයි, බානබස්වයි, තව සහෝදරයන් කීපදෙනෙක්වයි යෙරුසලමට යවන්න. එයාලට ඕනෙ වුණේ ඇති වුණ ප්රශ්නය ගැන යෙරුසලමේ ඉන්න නියෝජිතයන්ටයි, වැඩිමහල්ලන්ටයි දැනුම් දෙන්න.”c (ක්‍රියා 15:2) ඔවුන් අතර “ලොකු විවාදයක් ඇති වුණා” කියලා කියන එකෙන් පැහැදිලි වෙන්නේ ඒ ප්‍රශ්නයට සම්බන්ධ වුණ දෙපාර්ශ්වයම තමන් දරන මතය හරියි කියලා තදින්ම විශ්වාස කළා කියන එකයි. ඒ නිසා අනිත් පාර්ශ්වය ඉදිරිපත් කරන අදහස් ඔවුන් කොහෙත්ම පිළිගන්න නැතුව ඇති. ඒ ප්රශ්නය විසඳන්න අන්තියෝකියේ සභාවේ හිටපු සහෝදරයන්ට බැරි වුණා. සභාවේ සාමය රැකගන්න ඕනෙ නිසා ඒ සභාවේ සහෝදරයන් තීරණය කළා ඒ ප්රශ්නය ගැන, පාලක මණ්ඩලය විදිහට වැඩ කරපු “යෙරුසලමේ ඉන්න නියෝජිතයන්ටයි, වැඩිමහල්ලන්ටයි දැනුම් දෙන්න.” ඒ සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
9, 10. අන්තියෝකියේ හිටපු සහෝදරයන්ගෙන්, පාවුල් හා බානබස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
9 අපට ඉගෙනගන්න පුළුවන් පළවෙනි දේ නම් යෙහෝවාගේ සංවිධානය ලබා දෙන මඟ පෙන්වීම් ගැන සම්පූර්ණ විශ්වාසයක් තියන එකේ වැදගත්කමයි. මේ ගැන ටිකක් සිතන්න. පාලක මණ්ඩලයේ සිටි සෑම කෙනෙක්ම යුදෙව් පසුබිමකින් ආපු අය බව අන්තියෝකියේ සිටි වැඩිමහල්ලන් හොඳින්ම දැන සිටියා. ඒ වුණත් චර්මච්ඡේදනය ගැන ප්රශ්නය ඔවුන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව විසඳයි කියලා ඒ වැඩිමහල්ලන්ට ලොකු විශ්වාසයක් තිබුණා. පාලක මණ්ඩලය ගැන ඒ වගේ විශ්වාසයක් ඔවුන්ට තිබුණේ ඇයි? යෙහෝවා තම බලය මාර්ගයෙන් හා ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අවශ්‍ය මඟ පෙන්වීම් පාලක මණ්ඩලයට ලබා දෙනවා කියලා ඔවුන්ට නිසැකකමක් තිබුණා. (මතෙ. 28:18, 20; එෆී. 1:22, 23) අදත් සභාවන්වල බැරෑරුම් ප්‍රශ්න ඇති වෙද්දී අන්තියෝකියේ සභාවේ සහෝදරයන්ව ආදර්ශයට ගන්න ඕනේ. අපත් යෙහෝවාගේ සංවිධානය හා පාලක මණ්ඩලය ලබා දෙන මඟ පෙන්වීම් ගැන සම්පූර්ණ විශ්වාසයක් තැබිය යුතුයි.
10 අපට ඉගෙනගත හැකි තවත් කාරණයක් නම් නිහතමානීව හා ඉවසිලිවන්තව වැඩ කරන එකේ වැදගත්කමයි. වෙනත් ජාතීන් ළඟට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න පාවුල්ව හා බානබස්ව තෝරගත්තේ දෙවියන්ගේ බලයෙන්. ඒ නිසා යම් බලතල ඔවුන්ට තිබුණා කියා පැවසිය හැකියි. නමුත් චර්මච්ඡේදනය ගැන මතු වුණ ප්රශ්නය විසඳන්න ඔවුන් ඒ බලතල පාවිච්චි කළේ නැහැ. මොකද ඒ ප්රශ්නය විසඳීම තමන්ට අයිති කාර්යයක් නෙවෙයි කියලා ඔවුන් තේරුම්ගත්තා. (ක්‍රියා 13:2, 3) ඒ කාරණය ගැන දෙවියන් ලබා දුන් මඟ පෙන්වීමට ඔවුන් යටත් වුණා කියලා පස්සේ කාලයක පාවුල් කියපු මේ දෙයින් පැහැදිලියි. “මං එහෙට [යෙරුසලමට] ගියේ යේසුස් මට යම් දෙයක් එළිදරව් කරපු නිසයි.” (ගලා. 2:2) මතභේදයකට හේතු වෙන්න පුළුවන් ප්‍රශ්න එද්දී අද ඉන්න වැඩිමහල්ලනුත් නිහතමානීව හා ඉවසිලිවන්තව වැඩ කරන්න උත්සාහ කරනවා. ඒ වගේ අවස්ථාවලදී ඔවුන් තමන්ගේ මතයේම ඉඳලා වාද කරනවා වෙනුවට ශුද්ධ ලියවිල්ලේ තිබෙන ප්‍රතිපත්ති හා විශ්වාසවන්ත දාසයා ලබා දීලා තිබෙන උපදෙස්, මඟ පෙන්වීම් සෝදිසි කරලා බලනවා. එහෙම කරන එකෙන් ඔවුන් පෙන්වන්නේ කාරණා විසඳන්න ඔවුන් යෙහෝවා මත රඳා සිටින බවයි.—ෆිලි. 2:2, 3.
11, 12. යෙහෝවා කාරණා විසඳන කල් බලන් ඉන්න එක වැදගත් ඇයි?
11 සමහර අවස්ථාවලදී කාරණයක් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් යෙහෝවා ලබා දෙන කල් යම් කාලයක් බලාගෙන ඉන්න අපට සිදු වෙනවා. කොර්නේලියස්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළේ ක්‍රි.ව. 36දී කියලා ඔබට මතක ඇති. චර්මච්ඡේදනය ගැන ප්රශ්නය මුලින්ම මතු වුණේ ඒ කාලයෙයි. නමුත් ක්‍රි.ව. 49 විතර වෙන කල් ඒ ප්රශ්නය විසඳිලා තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන කල් අවුරුදු 13ක් විතර බලන් ඉන්න සහෝදරයන්ට සිදු වුණා. දෙවියන් ඒ තරම් කාලයක් ඒ ප්රශ්නය පවතින්න ඉඩහැරියේ ඇයි? චර්මච්ඡේදනය වෙන එක අවුරුදු 1,900ක් පරණ චාරිත්‍රයක්. ඒක යුදෙව්වන් මහත් ගෞරවයෙන් සලකපු ඔවුන්ගේ මුතුන්මිත්තෙක් වුණ ආබ්‍රහම්ට දුන්න චාරිත්‍රයක්. ඒ තරම් භක්තියකින් පිළිපැද්ද චාරිත්‍රයක් තවදුරටත් වලංගු නැහැ කියලා එකපාරටම පිළිගන්න එක යුදෙව්වන්ට පහසු වුණේ නැහැ. ඒ නිසා ඒ වෙනසට හැඩගැහෙන්න අවංක හදවත් ඇති යුදෙව්වන්ට යම් කාලයක් දෙන්න යෙහෝවා තීරණය කරන්න ඇති.—යොහ. 16:12.
12 ස්වර්ගයේ සිටින අපගේ පියාණන් මොන තරම් කරුණාවන්ත, ඉවසිලිවන්ත දෙවි කෙනෙක්ද! ඒ නිසා දෙවියන් අපට මඟ පෙන්වීම් ලබා දෙද්දී හා අපේ ආකල්ප නිවැරදි කරද්දී අප ඒවා සතුටින් පිළිගන්නවා. දෙවියන් එහෙම කරන්නේ අපේ යහපතට හා ප්‍රයෝජනයට කියලා අපට විශ්වාසයි. (යෙසා. 48:17, 18; 64:8) ඒ නිසා අප අහංකාර විදිහට අපේ මතයේම ඉන්න එකෙන් වළකිමු. සංවිධානයේ සැලසුම්වල යම් වෙනස්කම් කරද්දී හෝ යම් බයිබල් පද සම්බන්ධයෙන් කලින් තිබුණ අවබෝධයේ යම් සකස් කිරීම් කරද්දී ඒ ගැන විවේචනය කරනවා වෙනුවට ඒ වෙනස්කම් නිහතමානීව පිළිගමු. (දේශ. 7:8) සංවිධානයේ දේවල් සිදු වෙන විදිහ ගැන වපර ඇහෙන් බලන්න ඔබ පෙලඹෙනවා කියලා නැත්නම් අහංකාරකමක් ඔබ තුළ තිබෙනවා කියලා ඔබට දැනෙනවා නම් ක්‍රියා 15වෙනි පරිච්ඡේදයේ තිබෙන ප්‍රතිපත්ති ගැන හොඳට හිතලා බලන්න. ඊටපස්සේ ඒකෙන් ගොඩ එන්න උදව් කරන්න කියලා දෙවියන්ට යාච්ඤා කරන්න.d
13. යෙහෝවා වගේ අපිටත් ඉවසිලිවන්තව වැඩ කරන්න පුළුවන් කොහොමද?
13 නිහතමානීව හා ඉවසිලිවන්තව වැඩ කරන එක අපට තවත් පැත්තකින් ප්‍රයෝජනවත් වෙනවා. අප සමඟ බයිබලය පාඩම් කරන කෙනෙක්ට, කාලයක් පුරා ලොකු භක්තියකින් අදහපු දෙයක් හෝ අනුගමනය කළ මිථ්‍යා චාරිත්‍රයක් අත්හරින එක අපහසු දෙයක් විය හැකියි. ඔහුගේ හදවතේ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙලා ඔහු තමන්ගේ ආකල්ප නිවැරදි කරගන්න කල් යම් සාධාරණ කාලයක් බලන් ඉන්න අපට සිදු වෙනවා. (1 කොරි. 3:6, 7) අවශ්‍ය වෙනස්කම් කරගන්න ඔහුට උපකාර කරන්න කියලා ඒ කාලය අතරතුරේ දෙවියන්ට යාච්ඤා කරන්න අපට පුළුවන්. ඒ වගේ කෙනෙක් ගැන ඥානවන්ත තීරණයක් ගන්න නිසි කාලයේදී දෙවියන් අපට උපකාර කරනවා කියලා නිසැක වන්න.—1 යොහ. 5:14.
ඔවුන් “හැම විස්තරයක්ම” කියලා සහෝදරයන්ව දිරිගැන්වුවා (ක්‍රියා 15:3-5)
14, 15. අන්තියෝකියේ සභාවේ අය යෙරුසලමට ගිය අයට ගෞරවය දැක්වුවේ කොහොමද? පාවුල්, බානබස් හා ඔවුන් සමඟ ගිය සහෝදරයන් අනිත් සහෝදරයන්ට දිරිගැන්වීමක් වුණේ කොහොමද?
14 පාවුල්ව, බානබස්ව හා තවත් සහෝදරයන් කිහිපදෙනෙක්ව යෙරුසලමට යවන්න තීරණය කළාට පස්සේ වුණ දේ ලූක් මෙහෙම විස්තර කරනවා. “සභාවේ සහෝදරයෝ එයාලත් එක්ක ටික දුරක් ගිහින් එයාලව ඇරලුවා. ඊටපස්සේ එයාලා ෆිනීෂියාව සහ සමාරිය මැදින් ගියා. ඒ යන අතරතුරේදී, එයාලට හම්බ වුණ සහෝදරයන්ට වෙනත් ජාතීන් දෙවියන් වෙතට හැරුණ විදිහ ගැන එයාලා හැම විස්තරයක්ම කිව්වා. ඒක අහපු හැමෝටම දැනුණේ පුදුම සතුටක්.” (ක්‍රියා 15:3) ඔවුන්ව ඇරලවන්න සභාවේ සහෝදරයෝ ඔවුන් සමඟ යම් දුරක් ගියේ සභාවේ අය ඔවුන්ට දෙවියන්ගේ ආශීර්වාදය පතනවා කියලා පෙන්වන්නයි. සභාවේ අයගේ සහයෝගය ඔවුන් කරන්න යන වැඩේට තියෙනවා කියලත් ඒකෙන් පැහැදිලි වුණා. ඒක මොන තරම් ප්‍රේමණීය දෙයක්ද! අන්තියෝකියේ සභාවේ සිටි සහෝදරයන් අපට කදිම ආදර්ශයක්. ඔබත් සභාවේ සිටින අයට, විශේෂයෙන්ම “දෙවියන්ගේ වචනය ගැන කතා කරන්නත් උගන්වන්නත් ගොඩක් මහන්සි වෙන වැඩිමහල්ලන්ට” සහයෝගය දක්වමින් ගෞරව කරනවාද?—1 තිමෝ. 5:17.
15 යෙරුසලම බලා පිටත්ව ගිය ඔවුන්, ගමන අතරතුරේදී නවාතැන් ගත්ත ෆිනීෂියාව හා සමාරිය කියන ප්‍රදේශවල සිටි සහෝදරයන් සමඟ අද්දැකීම් බෙදාගත්තා. වෙනත් ජාතීන් දෙවියන් වෙතට හැරෙන විදිහ ගැන “හැම විස්තරයක්ම” ඔවුන් කිව්වා. ඒ ප්‍රදේශවල ජීවත් වුණ සහෝදරයන් අතර ස්තේපන්ගේ මරණයෙන් පස්සේ යෙරුසලමෙන් පලා ආපු යුදෙව් ක්‍රිස්තියානීනුත් ඉන්න ඇති. එහේ හිටිය සහෝදරයන්ට ඒ තොරතුරුවලින් මොන තරම් දිරිගැන්වීමක් ලැබෙන්න ඇද්ද! යෙහෝවා ශුභාරංචිය දේශනා කරන වැඩේට ආශීර්වාද කරන විදිහ ගැන වාර්තා අහන්න ලැබෙද්දී අදත් අපේ සහෝදරයන්ට, විශේෂයෙන්ම පීඩාවලට මුහුණ දෙන අයට ඒකෙන් ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. ඒ වගේ වාර්තා හා අද්දැකීම් ගැන කියන රැස්වීම් හා සමුළුවලට සහභාගි වෙලා ඔබත් දිරිගැන්වීමක් ලබනවාද? මුද්‍රණය කරපු හෝ jw.org වෙබ් අඩවියේ තියෙන අපේ සඟරා පොත් පත්වල සඳහන් සහෝදරයන්ගේ අද්දැකීම් හා ජීවිත කතා කියවන එකෙනුත් ඔබ දිරිගැන්වීමක් ලබනවාද?
16. චර්මච්ඡේදනය ගැන ප්රශ්නය විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?
16 අන්තියෝකියේ සිට කිලෝමීටර් 550ක් විතර දකුණු දෙසට ගමන් කරපු ඔවුන් “යෙරුසලමට ආවාම සභාවේ අයයි, නියෝජිතයනුයි, වැඩිමහල්ලනුයි එයාලව ආදරෙන් පිළිගත්තා. ඊටපස්සේ දෙවියන් එයාලා මාර්ගයෙන් කරපු පුදුම දේවල් ගැන එහේ හිටපු අයට කිව්වා.” (ක්‍රියා 15:4) නමුත් “එතන හිටපු යේසුස්ගේ අනුගාමිකයන් කීපදෙනෙක් නැඟිටලා මෙහෙම කිව්වා. ‘වෙනත් ජාතීන්වල අය අනිවාර්යයෙන්ම චර්මච්ඡේදනය වෙන්න ඕනේ. මෝසෙස්ගේ නීතියේ තියෙන දේවල් ඒ විදිහටම කරන්න කියලා අපි එයාලට කියන්න ඕනේ.’ එහෙම කිව්වේ කලින් පරිසිවරුන්ගේ නිකායට අයිති වෙලා හිටපු කට්ටියක්.” (ක්‍රියා 15:5) පේන විදිහට චර්මච්ඡේදනය ගැන මතු වුණ ප්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් අවශ්‍ය වෙලා තිබුණා.
“නියෝජිතයෝයි, වැඩිමහල්ලෝයි රැස් වුණා” (ක්‍රියා 15:6-12)
17. ඒ කාලයේ පාලක මණ්ඩලයේ සේවය කළේ කවුද? නියෝජිතයෝ සමඟ “වැඩිමහල්ලෝ” පාලක මණ්ඩලයේ සේවය කළේ ඇයි?
17 හිතෝපදේශ 13:10 කියන්නේ “අනිත් අයගෙන් උපදෙස් ලබාගන්න අය ප්‍රඥාවන්තයි” කියලා. ඒ ප්‍රතිපත්තියට එකඟව “[චර්මච්ඡේදනය පිළිබඳ] ප්රශ්නය ගැන කතා කරන්න නියෝජිතයෝයි, වැඩිමහල්ලෝයි රැස් වුණා.” (ක්‍රියා 15:6) මුළු ක්‍රිස්තියානි සභාවම නියෝජනය කරපු “නියෝජිතයෝයි, වැඩිමහල්ලෝයි” රැස් වුණේ මුළු සභාව වෙනුවෙන්ම තීරණයක් ගන්නයි. අද පාලක මණ්ඩලය ඉටු කරන්නෙත් ඒ වගේම කාර්යයක්. නියෝජිතයෝ සමඟ ‘වැඩිමහල්ලෝ’ පිරිසක් පාලක මණ්ඩලයේ සේවය කළේ ඇයි? නියෝජිතයන් සිටියේ අතළොස්සක්. මේ වෙන කොට ඔවුන්ගෙන් කෙනෙක් වුණ යාකොබ්ව ඝාතනය කරලා තිබුණා. පේතෘසුත් යම් කාලයක් සිරභාරයේ සිටියා. ඒ වගේ දේවල් නියෝජිතයන්ගෙන් ඕනෑම කෙනෙක්ට වෙන්න ඉඩ තිබුණා. නියෝජිතයන් විතරක් පාලක මණ්ඩලයේ සිටියා නම් ඔවුන් සියලුදෙනාටම ඒ වගේ දේවලට මුහුණ දෙන්න සිදු වුණොත් ක්‍රිස්තියානි සභාවට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන හා සභාවේ වැඩකටයුතු අධීක්ෂණය කරන කාර්යය අඩපණ වෙනවා. ඒත් සුදුසුකම් තියෙන වෙනත් අභිෂේක ලත් පුරුෂයන් පාලක මණ්ඩලයේ සේවය කරද්දී නියෝජිතයන්ට යම් දෙයක් වුණොත් ඒ කාර්යය දිගටම කරගෙන යන්න පුළුවන් වෙනවා.
18, 19. පේතෘස් කියපු වැදගත් කාරණා මොනවාද? ඔහුට සවන් දුන්න අය තේරුම්ගන්න ඕනෙ වුණේ මොකක්ද?
18 වාර්තාවේ කියන්නේ රැස් වෙලා හිටිය සහෝදරයන් “සෑහෙන වෙලාවක් ඒ ගැන සාකච්ඡා කළා” කියලයි. එක පොතකට අනුව ‘සෑහෙන වෙලාවක් සාකච්ඡා කළා’ කියලා පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයට ‘තොරතුරු සොයා බැලීම,’ ‘ප්‍රශ්න කිරීම’ කියන අදහසුත් ඇතුළත්. ඒකෙන් පැහැදිලි වෙන්නේ රැස් වුණ සහෝදරයන් අතරේ විවිධ මත තිබුණ නිසා ඒ කාරණය ගැන ඔවුන් සියලුදෙනාම විවෘතව කතා කළ බවයි. එහෙම සාකච්ඡා කළාට පස්සේ “පේතෘස් නැඟිටලා මෙහෙම කිව්වා. ‘සහෝදරයෙනි, ඔයාලා දන්නවා වෙනත් ජාතීන්වල අයට ශුභාරංචිය දැනුම් දෙන්න දෙවියන් කාලෙකට කලින් ඔයාලා අතරින් තෝරගත්තේ මාවයි කියලා. ඔහු එහෙම කළේ ශුභාරංචිය ගැන විශ්වාසයක් ඇති කරගන්න ඒ අයට අවස්ථාව දෙන්නයි. ඒ වගේම හැමෝගෙම හිත්වල තියෙන දේ දන්න දෙවියන් එයාලව පිළිගත්තා කියලා පෙන්නන්න සාක්ෂියක් දුන්නා. ඒ, අපිට දුන්නා වගේම ඔහුගේ බලය එයාලටත් ලබා දීලයි. එයාලාගේ විශ්වාසය නිසා දෙවියන් එයාලාගේ හිත් පවිත්‍ර කළා. ඒකෙන් ඔහු පෙන්නුවේ එයාලයි, අපියි අතරේ කිසි වෙනසක් නැහැ කියලා.’”—ක්‍රියා 15:7-9.
19 පේතෘස් කිව්වේ වෙනත් ජාතියක කෙනෙක් වුණ කොර්නේලියස්ව හා ඔහුගේ නිවසේ රැස් වෙලා හිටිය අයව ක්‍රි.ව. 36දී දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරපු අවස්ථාව ඔහු ඇස් දෙකෙන්ම දැක්කා කියලයි. ඔහු ඒ සිද්ධිය ඔවුන්ට මතක් කළේ යුදෙව්වන් හා යුදෙව් නොවන අය අතරේ කිසි වෙනසක් නැහැ කියලා දෙවියන් පැහැදිලිව පෙන්වලා තියෙද්දී ඒකට විරුද්ධව වැඩ කරන්න මිනිසුන්ට අයිතියක් නැහැ කියලා පෙන්වන්නයි. ඇත්තෙන්ම කෙනෙක්ව දෙවියන් ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට පිළිගන්නේ ඔහු මෝසෙස්ට දුන්න නීතිය කොයි තරම් දුරට පිළිපදිනවාද කියන කාරණය මත නෙවෙයි ක්‍රිස්තුස් ගැන ඔහුට තිබෙන විශ්වාසය මතයි.—ගලා. 2:16.
20. චර්මච්ඡේදනය අනිවාර්ය කරන්න ඕනෙ කියලා කියපු අය ‘දෙවියන්ගේ තීරණය ගැන ප්‍රශ්න කළා’ කියලා කියන්න පුළුවන් ඇයි?
20 පේතෘස් මෙහෙමත් කිව්වා. “එහෙනම් ඇයි ඔයාලා දෙවියන්ගේ තීරණය ගැන ප්‍රශ්න කරන්නේ? අපිටවත් අපේ මුතුන්මිත්තන්ටවත් දරන්න බැරි වුණ බරක් ඒ ගෝලයන් පිටත් පටවන්නද ඔයාලා හදන්නේ? ඒත් අපිට හොඳටම විශ්වාසයි අපේ ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව නිසා අපිට ගැලවීම ලැබුණා වගේ එයාලටත් ගැලවීම ලැබිලා කියලා.” (ක්‍රියා 15:10, 11) පේතෘස් එහෙම කිව්වේ දෙවියන් වෙනත් ජාතීන්ට අයත් අයව පිළිගන්නවා කියලා දෙවියන්ම කියපු දේවලින් හා දෙවියන්ගේ බලයෙන් ඉතා පැහැදිලි සාක්ෂි ලබා දීලා තිබුණ නිසයි. ඉතින් චර්මච්ඡේදනය අනිවාර්ය දෙයක් කියලා කිව්ව අය ඇත්තටම කළේ ‘දෙවියන්ගේ තීරණය ගැන ප්‍රශ්න කරන’ එකයි. යුදෙව්වන් වෙනත් ජාතීන් මත පටවන්න උත්සාහ කළේ ඔවුන්ව මරණයට සුදුස්සන් කියලා නියම කරපු, ඔවුන්ටවත් සම්පූර්ණයෙන්ම පිළිපදින්න බැරි වුණ නීති මාලාවක්. (ගලා. 3:10) ඇත්තෙන්ම යුදෙව්වන්ට කරන්න තිබුණේ යේසුස් මාර්ගයෙන් දෙවියන් පෙන්වලා තියෙන මහත් කරුණාවට ස්තුතිවන්ත වෙලා ඒකට එකඟව ජීවත් වෙන එකයි.
21. පාවුල් හා බානබස් සාකච්ඡාවට සම්බන්ධ වුණේ කොහොමද?
21 පේතෘස් කියපු වචන සියලුදෙනා තුළම ලොකු බලපෑමක් ඇති කළා කියලා පැහැදිලියි. මොකද වාර්තාවේ කියන්නේ “එතන හිටපු හැමෝම නිහඬ” වුණා කියලයි. ඊටපස්සේ පාවුල් හා බානබස් “දෙවියන් එයාලා මාර්ගයෙන් වෙනත් ජාතීන් අතරේ කරපු ලකුණු සහ පුදුම දේවල් ගැන” විස්තර කිව්වා. (ක්‍රියා 15:12) හැම සාක්ෂියක්ම සලකා බලලා මතු වෙලා තිබුණු ප්රශ්නය ගැන තීරණයක් ගන්න නියෝජිතයන්ට හා වැඩිමහල්ලන්ට දැන් පුළුවන්. ඒ නිසා ඔවුන් ගන්න යන්නේ දෙවියන් ලබා දීලා තියෙන මඟ පෙන්වීම්වලට එකඟ තීරණයක් කියලා නිසැකයි.
22-24. (අ) අද ඉන්න පාලක මණ්ඩලය එදා හිටිය පාලක මණ්ඩලය ආදර්ශයට ගන්නේ කොහොමද? (ආ) දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මට ගෞරව කරනවා කියලා වැඩිමහල්ලන්ට පෙන්වන්න පුළුවන් කොහොමද?
22 අද දින පාලක මණ්ඩලයේ සාමාජිකයනුත් යම් දේවල් ගැන සාකච්ඡා කරන්න රැස් වෙද්දී අවශ්‍ය මඟ පෙන්වීම් සඳහා බයිබලය හොඳින් සෝදිසි කරලා බලනවා වගේම දෙවියන්ගේ උදව් ඉල්ලලා යාච්ඤාත් කරනවා. (ගීතා. 119:105; මතෙ. 7:7-11) යම් කාරණා සාකච්ඡා කරන්න ඔවුන් ඒ විදිහට රැස් වෙන්න කලින් සාකච්ඡා කරන්න තියෙන තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් සෑම සාමාජිකයෙක්ටම ලබා දෙනවා. කල් වේලා ඇතුව ඒ වගේ ලැයිස්තුවක් ඔවුන්ට ලබා දෙන්නේ ඒකේ තියෙන දේවල් ගැන හොඳින් කල්පනා කරලා ඒ ගැන දෙවියන්ට යාච්ඤා කරන්න අවස්ථාව ලබා දෙන්නයි. (හිතෝ. 15:28) පස්සේ ඒ සහෝදරයන් එකට රැස් වෙද්දී තම අදහස් විවෘතව හා ගෞරවනීයව ඉදිරිපත් කරනවා. ඒ සාකච්ඡාවලදී ඔවුන් නිතරම බයිබලය සෝදිසි කරලා බලනවා.
23 ඒ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය අද ඉන්න වැඩිමහල්ලනුත් අනුගමනය කළ යුතුයි. සභාවේ වැඩිමහල්ලන් යම් කාරණයක් ගැන එකතු වෙලා සාකච්ඡා කළාට පස්සෙත් ඒක විසඳගන්න බැරි වුණොත් ශාඛා කාර්යාලයෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න පුළුවන්. නැත්නම් ශාඛා කාර්යාලය නියෝජනය කරන චාරිකා සේවකගෙන් උදව් ඉල්ලන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ශාඛා කාර්යාලය අවශ්‍යතාවක් මතු වුණොත් ඒ කාරණය සම්බන්ධයෙන් පාලක මණ්ඩලයෙනුත් මඟ පෙන්වීම් ඉල්ලනවා.
24 ක්‍රිස්තියානි සංවිධානය තුළ දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මට ගෞරව කරලා නිහතමානීව, විශ්වාසවන්තව හා ඉවසිලිවන්තව වැඩ කරන අයට යෙහෝවා ආශීර්වාද කරනවා. එහෙම කරද්දී දෙවියන්ගේ සෙනඟ සැබෑ සාමය හා එක්සත්කම අද්දකිනවා වගේම දෙවියන් ලබා දෙන පෝෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් ඔවුන්ට පුළුවන් වෙනවා. ඇත්තෙන්ම ඒ හැම දෙයක්ම දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාදයි! අප ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙනුත් බලනවා.
a “සමහර අයට තිබුණ නුසුදුසු ආකල්ප” කියන කොටුව බලන්න.
b චර්මච්ඡේදනය වෙන චාරිත්‍රය දෙවියන් හා ආබ්‍රහම් අතර ඇති කරගත්ත ගිවිසුමක්. නමුත් ඒ ගිවිසුම, ආබ්‍රහම්ගේ පෙළපතින් සියලු ජාතීන්ට ආශීර්වාද ලැබෙනවා කියලා දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත විශේෂ ගිවිසුම නෙවෙයි. ඒ විශේෂ ගිවිසුම අදටත් වලංගුයි. ඒක ඇති කරගත්තේ ක්‍රි.පූ. 1943 ආබ්‍රහම් (ආබ්‍රම්) යුප්‍රටීස් ගඟින් එගොඩ වෙලා කානාන් දේශයට පිටත් වුණ අවස්ථාවෙයි. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 75යි. නමුත් චර්මච්ඡේදනය වෙන චාරිත්‍රය හඳුන්වා දුන්නේ ක්‍රි.පූ. 1919දියි. ඒ වෙද්දී ආබ්‍රහම්ට වයස අවුරුදු 99යි.—උත්. 12:1-8; 17:1, 9-14; ගලා. 3:17.
c පේන විදිහට පාවුල් හා බානබස් සමඟ යෙරුසලමට යන අය අතර ග්‍රීක ජාතික සහෝදරයෙක් වුණ තීතසුත් සිටියා. පස්සේ කාලයකදී ඔහු පාවුල්ගේ විශ්වාසවන්ත යාළුවෙක් වුණා. පාවුල්ගේ උදව්වට හිටපු ඔහු, පාවුල්ගේ නියෝජිතයෙක් විදිහටත් විවිධ වගකීම් ඉටු කළා. (ගලා. 2:1; තීත. 1:4) චර්මච්ඡේදනය නොවුණ වෙනත් ජාතියකට අයිති කෙනෙක් වුණ ඔහුව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළා. වෙනත් ජාතීන්ව දෙවියන් පිළිගෙන ඇති බවට ඔහු කදිම සාක්ෂියක්.—ගලා. 2:3.
d “සාක්ෂිකරුවන් තම විශ්වාසයන් ගොඩනඟන්නේ බයිබලය මතයි” කියන කොටුව බලන්න.