ලිදියා—ආගන්තුක සත්කාරශීලී දේවනමස්කාර කරන්නියක්
ඉපැරණි කාලවල පටන්, සැබෑ දෙවියන්වහන්සේගේ සේවකයන් තමන් ආගන්තුක සත්කාරශීලී අය බව හඳුන්වා දී ඇත. (උත්පත්ති 18:1-8; 19:1-3) “නාඳුනන අයට ප්‍රේමය, ඇලුම්කම නැතහොත් කරුණාව දැක්වීම” ලෙස නිර්වචනය කර ඇති අවංක හෘදයකින් නික්මෙන්නාවූ ආගන්තුක සත්කාරශීලීභාවය, අදදින පවා සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ ලකුණකි. ඇත්තවශයෙන්ම, පිළිගත හැකි අන්දමකින් දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇති සියල්ලන්ගෙන්ම අවශ්‍ය කරන දෙයකි, එය.—හෙබ්‍රෙව් 13:2; 1 පේතෘස් 4:9.
ආදර්ශවත් ආකාරයකින් ආගන්තුක සත්කාරශීලීභාවය විදහාපෙන්වූ එක් තැනැත්තියකි, ලිදියා. පිලිප්පි නගරයට පැමිණි ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ව ඈ ‘විශේෂ හේතුවක් නොමැතිව’ ඇයගේ නිවසේ නවත්වා ගත්තාය. (ක්‍රියා 16:15) ශුද්ධ ලියවිලිවල ලිදියා සම්බන්ධයෙන් ඉතා කෙටියෙන් සඳහන් කර තිබුණත්, ඇය ගැන සඳහන් කරන ඒ ලුහුඬු විස්තරය පවා අපට දිරිගැන්වීමක් විය හැකිය. කුමන ආකාරයකින්ද? ලිදියා කවරෙකු වූවාද? අප ඇය ගැන දන්නේ කුමක්ද?
‘දම්පාට සායම් විකුණන්නියක්’
ලිදියා, මකිදෝනියේ අගනුවර වූ පිලිප්පියේ ජීවත් වූවාය. කෙසේවෙතත්, ඈ සුළු ආසියාවේ බටහිර කොටසේ, ලිදියා නම් ප්‍රදේශයේ පිහිටි තියාතිරා නුවරේ වැසියෙකි. මේ හේතුව නිසා, “ලිදියා” යන නම ඇයට පිලිප්පියේදී පටබඳිනු ලැබූ නමක් බවට සමහරු අදහස් ප්‍රකාශ කරති. වෙනත් වචනවලින් කිවහොත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සාක්ෂිදැරූ ස්ත්රියව “සමාරිය ස්[ත්රිය]” කියා හැඳින්විය හැකි වූවාක් මෙන්, ඇයවද “ලිදියානු ස්ත්‍රිය” ලෙස හැඳින්විය හැක. (යොහන් 4:9) ලිදියා “දම්පාට සායම්” එසේ නැතහොත් එම සායම්වලින් වර්ණවත් කළ බඩු විකුණුවාය. (ක්‍රියා 16:12, 14, නව අනුවාදය) තියාතිරාවේ හා පිලිප්පියේ සායම් සාදන්නන් ජීවත් වූ බව, පුරාවිද්‍යාඥයන් විසින් කණිනු ලැබූ සෙල් ලිපි මගින් සාක්ෂි ඉදිරිපත් කෙරේ. ඇයගේ ව්‍යාපාරය තවදුරටත් කරගෙන යෑම සඳහා හෝ තියාතිරානු සායම්කරුවන්ගේ සමාගමක නියෝජිතවරියක ලෙස කළ ඇයගේ රැකියාව නිසා හෝ ලිදියා පදිංචිය මාරු කර තිබුණා විය හැකිය.
දම්පාට සායම් විවිධ ප්‍රභවයන්ගෙන් ලබාගත හැකිය. අධික මිලකින් යුත් ඒවා මොලුස්කා ගණයට අයත් එක්තරා මුහුදු බෙල්ලන් වර්ගයකින් ගනු ලැබේ. පළමු ශතවර්ෂ රෝමානු කවියෙකු වූ මාෂල්ට අනුව, තීර්හි (මෙම ද්‍රව්‍ය නිපදවනු ලැබූ තවත් මධ්‍යස්ථානයක්) දම්පාට සායම් දැමූ හොඳ දිග කබායකට, සෙස්ටර්ස් 10,000ක් පමණ හෝ ඩිනාරි 2,500ක් පමණ වැය විය හැක, මෙය කුලීකරුවෙකු සඳහා නම් දින 2,500ක් සඳහා ගෙවන වේතනයකට සමාන වේ. එවැනි ඇඳුම් පැළඳුම්, කිහිපදෙනෙකුට පමණක් මිල දී ගත හැකි සුඛෝපභෝගී දේවල් බව පැහැදිලිය. එනිසා ලිදියා ආර්ථික අතින් ධනවත්ව සිටින්ට ඇත. කාරණය කුමක් වුවත්, ප්‍රේරිත පාවුල්ට සහ ඔහුගේ සහයකයන් වන, ලූක්, සීලස්, තිමෝති සහ ඇතැම්විට වෙනත් අයටද ආගන්තුක සත්කාරය ඉදිරිපත් කිරීමට ඇයට හැකි විය.
පිලිප්පියේ පාවුල්ගේ දේශනා සේවය
පාවුල් මුලින්ම යුරෝපයට ගොස් පිලිප්පියේ දේශනා කිරීමට පටන්ගත්තේ, පො.යු. 50වන අවුරුද්දේදී පමණය.a පාවුල් අලුත් නගරයකට ගිය විට, සිනගෝගයට ගොස් එහි රැස්ව සිටි යුදෙව්වන්ට සහ යුදෙව් ආගමට හැරුණු අයට පළමුවෙන්ම දේශනා කිරීම ඔහුගේ පුරුද්දක් විය. (ක්‍රියා 13:4, 5, 13, 14; 14:1, සසඳන්න.) කෙසේවෙතත්, ඔවුන්ගෙන් සමහරදෙනෙකුට අනුව නම්, පිලිප්පියේ “පරිශුද්ධ සීමාව” ඇතුළත, යුදෙව්වන් තම ආගම පිළිපැදීම රෝම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබිණ. එබැවින්, එම ස්ථානයෙහි “කීප දවසක්” ගත කිරීමෙන් පසු, සබත් දිනයේදී නගරයෙන් පිටත ගඟක් අසල, ‘යාච්ඤා ස්ථානයක් ඇතැයි කියා ඔවුන් කල්පනා කළ’ ස්ථානයක් මිෂනාරිවරු සොයාගත්තෝය. (ක්‍රියා 16:12, 13) මෙය ගාන්ගිටිස් ගඟ බව පැහැදිලිය. එම ස්ථානයේදී මිෂනාරිවරුන්ට හමු වූයේ ස්ත්‍රීන් පමණි, ලිදියා ඔවුන්ගෙන් කෙනෙකු විය.
‘දෙවියන්වහන්සේට නමස්කාර කරන්නියක්’
ලිදියා ‘දෙවියන්වහන්සේට නමස්කාර කරන්නියක’ වූ නමුත්, ආගමික සත්‍යය සෙවීමේ අරමුණින් ඇය යුදෙව් ධර්මයට හැරුණු කෙනෙකු විය හැක. ලිදියාට හොඳ රැකියාවක් තිබුණත්, ඈ ද්‍රව්‍යවාදී නොවූවාය. ඒ වෙනුවට, ඈ ආත්මික කාරණා සඳහා කාලය මිඩංගු කළාය. “පාවුල් විසින් කියනලද කාරණා සලකන ලෙස ස්වාමීන්වහන්සේ ඇගේ සිත විවරකළ” අතර, ලිදියා සත්‍යය පිළිගත්තාය. ඇත්තවශයෙන්ම, “ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැ[බීය].”—ක්‍රියා 16:14, 15.
ලිදියාගේ පවුලේ අනික් සාමාජිකයන් කවුරුන් වූවාද කියා බයිබලය විශේෂයෙන් සඳහන් කරන්නේ නැත. ස්වාමිපුරුෂයෙකු සම්බන්ධයෙන් සඳහන් කිරීමක් නොමැති නිසා, ඇය තනිකඩව හෝ වැන්දඹුවකව සිටියා විය හැකිය. සමහරවිට “ඇගේ ගෙයි වැසියන්” ඥාතීන්ගෙන් සමන්විත වූවා විය හැකිය, නමුත් එම යෙදුමෙන් වහලුන් හෝ සේවකයන්ද ඇඟවිය හැක. කාරණය කුමක් වුවත්, ලිදියා තමා පාඩම් කර තිබුණාවූ දේවල් තමා සමඟ ජීවත් වූ අය සමඟ ජ්වලිතව බෙදාගත්තාය. තවද ඔවුන් විශ්වාස කර සත්‍ය ඇදහිල්ල වැලඳ ගත් විට, ඇය මොනතරම් ප්‍රීතියක් අද්දකින්ට ඇද්ද!
‘ඇය අපව නවත්වාගත්තාය’
ලිදියාව මුණගැසීමට කලින්, මිෂනාරිවරුන්ට සමහරවිට තමන්ගේම වියදමින් ලබාගත් නවාතැන් පහසුකම්වලින් සෑහීමට පත්වීමට සිදු වූවා විය හැක. එහෙත් ඒ වෙනුවට වෙනත් ආකාරයක නවාතැන් පහසුකම් සැපයීමට හැකිවීම සම්බන්ධයෙන් ඈ සතුටු වූවාය. කෙසේවෙතත්, පාවුල් සහ ඔහුගේ සහයකයන් යම් විරුද්ධත්වයක් පළ කළ නිසා, ඇයට බල කර සිටීමට සිදු වූ බව ඉන් ඇඟවේ. ඒ මන්ද? ‘ශුභාරංචිය දේශනා කරන කල බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකිරීමට’ පාවුල්ට අවශ්‍ය වූ අතර, කිසිවෙකුට බරක් නොවීමටද ඔහුට ඕනෑ විය. (1 කොරින්ති 9:18; 2 කොරින්ති 12:14) එහෙත් ලූක් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි: “ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිහු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.” (ක්‍රියා 16:15) යෙහෝවඃවහන්සේට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් ලිදියා වැඩි සැලකිල්ලක් දැක්වූ අතර, ආගන්තුක සත්කාරශීලීභාවය දැක්වීම ඇගේ විශ්වාසය සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂියක් විය. (1 පේතෘස් 4:9, සසඳන්න.) මොනතරම් කදිම ආදර්ශයක්ද! ශුභාරංචිය වැඩිදියුණු කිරීම සඳහා අපිත් අප සතු දේවල් පාවිච්චි කරන්නෙමුද?
පිලිප්පියේ සහෝදරයෝ
යක්ෂාවේශ වූ මෙහෙකාරිය සම්බන්ධ සිද්ධියෙන් පසු පාවුල් සහ සීලස්ව සිරගෙයින් නිදහස් කරනු ලැබූ විට, ඔවුන් ලිදියාගේ නිවසට නැවතත් පැමිණි අතර, එතැනදී ඔවුන්ට ඇතැම් සහෝදරයන්ව මුණගැසිණ. (ක්‍රියා 16:40) අලුතින් පිහිටුවනු ලැබූ පිලිප්පි සභාවේ ඇදහිලිවන්තයන්, නිතරම රැස්වීම සඳහා ලිදියාගේ නිවස භාවිත කළා විය හැක. ඇයගේ නිවස, නගරයෙහි දිව්‍යාණ්ඩු ක්‍රියාකාරම්වල මධ්‍යස්ථානයක් වූ බව සිතීම තර්කානුකූල වේ.
ලිදියා විසින් පෙන්වනු ලැබූ මුල් ආගන්තුක සත්කාරශීලීභාවය, මුළු සභාවේම විශේෂ ලක්ෂණයක් බව ඔප්පු විය. ඔවුන් දිළිඳුව සිටියත්, පිලිප්පිවරුන් බොහෝ අවස්ථාවලදී පාවුල්ට අවශ්‍ය කරන දේවල් යැවූ අතර, ප්‍රේරිතවරයා එයට කෘතඥපූර්වක වූයේය.—2 කොරින්ති 8:1, 2; 11:9; පිලිප්පි 4:10, 15, 16.
පොදු යුගයේ 60-61 අතර කාලයකදී, පාවුල් පිලිප්පිවරුන්ට යැවූ ලිපියෙහි ලිදියා සම්බන්ධයෙන් සඳහන් කර නැත. ක්‍රියා 16වන පරිච්ඡේදයෙහි විස්තර කර ඇති සිද්ධීන්වලින් පසු, ඇයට කුමක් වූවාද කියා ශුද්ධ ලියවිලි හෙළි කරන්නේ නැත. ඒ කෙසේවෙතත්, මෙම ක්‍රියාශීලී ස්ත්‍රිය සම්බන්ධයෙන් කර ඇති කෙටි සඳහන් කිරීම, අපව “ආගන්තුක සත්කාරයට ලැදිව සි[ටීමට]” සලස්වයි. (රෝම 12:13) අප අතරේ ලිදියා වැනි ක්‍රිස්තියානීන් සිටීම සම්බන්ධයෙන් අප කෙතරම් ස්තුතිවන්ත විය යුතුද! ඔවුන්ගේ ස්ප්‍රීතුව, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ මහිමය සඳහා, සභාවල් උණුසුම් සහ මිත්‍රශීලී ඒවා කරවීමට බොහෝ දේ ඉටු කරයි.
[පාදසටහන]
a මකිදෝනියේ වඩාත් වැදගත් නගරවලින්, පිලිප්පිය සාපේක්ෂ වශයෙන් සමෘද්ධිමත් යුද හමුදා ජනපදයක් වූ අතර, එය යූස් ඉටාලිකුම් (ඉතාලි ව්‍යවස්ථාව) මගින් ආණ්ඩු කරනු ලැබීය. මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ නිසා, රෝම පුරවැසියන් භුක්තිවින්ද අයිතිවාසිකම්වලට සමාන අයිතිවාසිකමක් පිලිප්පිවරුන්ට සහතික කරනු ලැබීය.—ක්‍රියා 16:9, 12, 21.
[28වන පිටුවේ කොටුව]
පිලිප්පියේ යුදෙව් ජීවිතය
යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු අයට පිලිප්පියේ ජීවත්වීම එතරම් පහසු දෙයක් නොවන්ට ඇත. ඇතැම් යුදෙව් විරෝධි හැඟීම් තිබුණා විය හැක, මක්නිසාද යත්, පාවුල්ගේ බැහැදැකීමට කෙටි කලකට පෙර, ක්ලෞදියස් අධිරාජ්‍යයා යුදෙව්වන්ව රෝමයෙන් පිටුවහල් කර තිබුණු නිසාය.—ක්‍රියා 18:2, සසඳන්න.
ශාස්ත්‍ර කියන ආත්මයක් තිබුණු මෙහෙකාරියකව සුව කිරීමෙන් පසු, පාවුල් සහ සීලස්ව මහේස්ත්‍රාත්වරුන් ඉදිරියට ඇදගන යනු ලැබීම සැලකිල්ලට ගත යුත්තකි. ඇයගේ අයිතිකරුවන්ට, මෙවිට ලාභ උපයන ආදායම් මාර්ගය අහිමි වූ නිසා, ඔවුන්ගේ සෙසු පුරවැසියන්ගේ අගතිසහගත හැඟීම්වලින් අනිසි ප්‍රයෝජන ගත්තේ මෙසේ කියා සිටිමින්ය: “යුදෙව්වරුවූ මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්, රෝමයන්වූ අප විසින් පිළිගන්ටවත් පවත්වන්ටවත් නුසුදුසුවූ චාරිත්‍ර උගන්වති.” ප්‍රතිඵලයක් වශයෙන්, පාවුල් සහ සීලස්ට කෝටුවලින් තළා, සිරගත කරනු ලැබිණ. (ක්‍රියා 16:16-24) එවැනි වාතාවරණයක් යටතේ, යුදෙව්වන්ගේ දෙවි වූ යෙහෝවඃවහන්සේට ප්‍රසිද්ධියේ නමස්කාර කිරීම සඳහා එඩිතරකම අවශ්‍ය විය. එහෙත් ලිදියා වෙනස් ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් අකමැත්තක් නොදැක්වූ බව පැහැදිලිය.
[27වන පිටුවේ පින්තූර]
පිලිප්පියේ නටඹුන්