19වෙනි පරිච්ඡේදය
“උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම නිර්භීතව දේශනා කරන්න”
තම අවශ්‍යතා සපුරගන්න රස්සාවක් කළත් පාවුල් සේවයට මුල් තැන දෙයි
1-3. පාවුල් කොරින්තියට ආපු හේතුව මොකක්ද? ඔහුට තිබුණ අභියෝග මොනවාද?
මේ ගෙවී යන්නේ ක්‍රි.ව. 50 අවසන් මාස කිහිපයයි. පාවුල් දැන් ඉන්නේ කොරින්ති නගරයෙයි. මේ නගරය හරිම ධනවත් වගේම ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක්. ග්රීකවරුන්, රෝමවරුන් හා යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් මේ නගරයේ ජීවත් වෙනවා.a කොහොමවුණත් පාවුල් මේ නගරයට ආවේ ව්‍යාපාරයක් කරන අරමුණින්වත් හොඳ රැකියාවක් හොයාගන්න අරමුණින්වත් නෙවෙයි. ඇත්තෙන්ම ඔහු කොරින්තියට ආවේ දේවරාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් ලබා දෙන අරමුණිනුයි. නමුත් වෙන අයට බරක් වෙලා ඒ සේවය කරන්න ඔහු කැමති වුණේ නැහැ. ඔහු කරන සේවය නිසා ඔහුට ඕනෙ කරන දේවල් අනිත් අය දෙන්න ඕනෙ කියලා ඔහු හිතුවෙත් නැහැ. ඒ නිසා දැන් ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා.
2 පාවුල් කොරින්තියේ ඉන්න කාලයේදී නවාතැන් ගන්නේ කොහෙද? ඔහු තමන්ගේ අවශ්‍යතා සපුරගන්නේ කොහොමද? ඒකට ඔහු මොනවා කරයිද? පාවුල් කූඩාරම් හදන කර්මාන්තය ඉගෙනගෙන තිබුණා. ඇත්ත, ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. නමුත් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න කැමැත්තෙන් හිටිය පාවුල්, අවස්ථාව ලැබුණොත් තමන්ගේ අවශ්‍යතා සපුරගන්න ඒ වැඩේ වුණත් කරයි. මේ තරම් ජනාකීර්ණ නගරයක රැකියාවක් හොයාගන්න එක, නවාතැන් ගන්න සුදුසු තැනක් හොයාගන්න එක වගේ අභියෝග පාවුල් ඉස්සරහා තිබුණත් ඔහු කොරින්තියට ආපු කාර්යය ඉටු කරන්න ඒවා බාධාවක් කරගත්තේ නැහැ.
3 පාවුල් කොරින්ති නගරයේ සෑහෙන කාලයක් ගත කළා. ඔහු ඒ කාලයේදී හොඳ සේවයකුත් කළා. කොරින්තියේ ඔහු වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
“රස්සාව විදිහට කළේ කූඩාරම් හදන එක” (ක්‍රියා 18:1-4)
4, 5. (අ) කොරින්තියේදී පාවුල් නවාතැන් ගත්තේ කොහෙද? එහෙදී ඔහු රස්සාව විදිහට කළේ මොකක්ද? (ආ) කූඩාරම් හදන කර්මාන්තය පාවුල් ඉගෙනගෙන තිබුණේ ඇයි?
4 කොරින්තියට ඇවිත් ටික කාලයකට පස්සේ පාවුල්ට යුදෙව් ජාතික අකිලා කියන කෙනාවයි ඔහුගේ බිරිඳ වුණ ප්රිසිලාවයි (හෝ, ප්රිස්කාව) හමු වුණා. ඒ දෙන්නා කොරින්තියට ඇවිත් තිබුණේ ක්ලෝදියස් අධිරාජ්‍යයා “යුදෙව්වරු හැමෝටම රෝමයෙන් පිට වෙන්න කියලා අණ කරලා තිබුණ නිසයි.” (ක්‍රියා 18:1, 2) ඔවුන් අනිත් අයට උදව් කරන්න කැමැත්තෙන් හිටපු යුවළක්. අකිලා හා ප්‍රිසිලා ඔවුන්ගේ ගෙදර නවාතැන් ගන්න කියලා පාවුල්ට ආරාධනා කළා වගේම ඔවුන් කරකර හිටිය රස්සාවට හවුල් වෙන්න කියලත් කිව්වා. “ඒ දෙන්නාත් පාවුල් වගේම රස්සාව විදිහට කළේ කූඩාරම් හදන එක. ඒ නිසා එයා ඒ දෙන්නාගේ ගෙදර නැවතිලා එයාලත් එක්ක එකතු වෙලා කූඩාරම් හැදුවා” කියලා වාර්තාවේ කියනවා. (ක්‍රියා 18:3) පාවුල් කොරින්තියේ නතර වෙලා හිටපු කාලය පුරාම නවාතැන් ගත්තේ ඔවුන්ගේ ගෙදරයි. බයිබලයට ඇතුළත් කරලා තියෙන සමහර ලිපි ඔහු ලියන්න ඇත්තේ ඔවුන්ගේ ගෙදර හිටපු කාලයේදී වෙන්න පුළුවන්.b
5 “ගමාලියෙල්ගේ පාමුල ඉඳගෙන” හොඳ අධ්‍යාපනයක් ලබපු පාවුල් වගේ කෙනෙක්, කූඩාරම් සෑදීම වගේ කර්මාන්තයක් ඉගෙනගෙන තිබුණේ ඇයි? (ක්‍රියා 22:3) පළවෙනි සියවසේ හිටිය යුදෙව්වන් තමන්ගේ දරුවන් යම් කර්මාන්තයක් ඉගෙනගන්න එක වැදගත් දෙයක් කියලා සැලකුවා. උසස් අධ්‍යාපනයක් ලබන අය වුණත් යම් කර්මාන්තයක් ඉගෙනගන්න එක පහත් දෙයක් කියලා හිතුවේ නැත්තේ ඒ නිසයි. පාවුල් ආවේ කූඩාරම්වලට යොදාගන්න රෙදිවලට ප්‍රසිද්ධ සිලීසියාව කියන පළාතේ ටාසස් නගරයෙන් නිසා ඔහු තරුණ වයසේදීම කූඩාරම් හදන කර්මාන්තය ඉගෙනගන්න ඇති. කූඩාරම් හදන කර්මාන්තයට රෙදි විවීම හෝ ඒ ගන රෙදි කොටස්වලට කපලා කූඩාරමක් විදිහට මූට්ටු කිරීම ඇතුළත් වුණා. ඒ මොන දේ කළත් ඒවා ඒ තරම් ලෙහෙසි වැඩ නෙවෙයි.
6, 7. (අ) තමන්ගේ රස්සාව ගැන පාවුල් හිතුවේ කොහොමද? අකිලාට හා ප්‍රිසිලාට ඒ ආකල්පයම තිබුණා කියලා පැහැදිලි වෙන්නේ මොන තොරතුරුවලින්ද? (ආ) පාවුල්ව, අකිලාව හා ප්‍රිසිලාව අද ඉන්න ක්‍රිස්තියානීන් ආදර්ශයට ගන්නේ කොහොමද?
6 කූඩාරම් සෑදීම පාවුල් තමන්ගේ ජීවිතයේ ප්‍රධානම වැඩේ කියලා හිතුවේ නැහැ. ඔහු ඒ කර්මාන්තය කළේ අනිත් අයගෙන් “කිසිම මුදලක් අය කරන්නේ නැතුව” ඔහුගේ ජීවිතයේ ප්‍රධානම වැඩේ වුණ ශුභාරංචිය දේශනා කරන කාර්යය කරන්න ඕනෙ නිසයි. (2 කොරි. 11:7) ඒ කර්මාන්තයම කරපු අකිලා හා ප්‍රිසිලා ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ යුවළටත් තිබුණේ පාවුල්ට තිබුණ ආකල්පයම කියලා කිසිම සැකයක් නැහැ. ක්‍රි.ව. 52දී පාවුල් කොරින්තියෙන් පිට වෙලා යද්දී ඔවුන් දෙන්නාත් පාවුල් එක්ක එෆීසයට ගියා. එෆීසයේ පිහිටෙව්ව ක්‍රිස්තියානි සභාව රැස් වුණේ ඔවුන්ගේ ගෙදරයි. (1 කොරි. 16:19) පස්සේ ඔවුන් රෝමයට ගිහින් ආයෙත් එෆීසයට ආවා. මේ යුවළ ශුභාරංචිය දේශනා කරන කාර්යයට මුල් තැන දුන්නා කියලත් අනිත් අය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්ති පිට හිටියා කියලත් ඒ තොරතුරුවලින් පැහැදිලියි. ‘වෙනත් ජාතීන්ට අයිති අය ඉන්න හැම සභාවක්ම එයාලට ස්තුති කළේ’ ඒ නිසයි.—රෝම 16:3-5; 2 තිමෝ. 4:19.
7 අදත් සැබෑ ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් පාවුල්, අකිලා හා ප්‍රිසිලාව ආදර්ශයට ගන්නවා. අනිත් අයට ‘බරක් නොවී ඉන්න’ ඔවුන් මහන්සි වෙලා වැඩ කරනවා. (1 තෙස. 2:9) උදාහරණයකට පූර්ණකාලීනව දෙවියන්ට සේවය කරන හුඟක් අය තමන්ගේ වියදම් පියවගන්න අර්ධකාලීනව හෝ යම් කෙටි කාලයකට සීමා වුණ රැකියාවල නිරත වෙනවා. තවත් සමහරු තමන්ගේ ගෙවල් චාරිකා සේවකයන්ට නවාතැන් ගන්න කැමැත්තෙන්ම ලබා දෙනවා. ‘ආගන්තුක සත්කාරය පෙන්නන්න පුළුවන් විදි හොයන’ ඒ වගේ අය අනිත් අයට උදව් කරලා මොන තරම් දිරිගැන්වීමක් ලබනවාද!—රෝම 12:13.
“කොරින්තියේ හිටපු හුඟදෙනෙකුත් විශ්වාසයක් ඇති කරගත්තා” (ක්‍රියා 18:5-8)
8, 9. වෙහෙස මහන්සි නොබලා පාවුල් කරපු සේවයට යුදෙව්වන් විරුද්ධ වුණාම පාවුල් කළේ මොකක්ද? ඒ සිද්ධියෙන් පස්සේ ඔහු ශුභාරංචිය දේශනා කළේ කොහේ ඉඳන්ද?
8 පාවුල් තමන් කරකර හිටපු රස්සාවට නෙවෙයි ශුභාරංචිය දේශනා කරන කාර්යයට මුල් තැන දුන්නා කියලා සීලස් හා තිමෝති මැසිඩෝනියාවේ ඉඳන් ආවාට පස්සේ වුණ දෙයකින් පැහැදිලි වෙනවා. ඔවුන් එද්දී පාවුල්ට අවශ්‍ය දේවල් අරන් ආපු නිසා ඔහු මුළු කාලයම ශුභාරංචිය දේශනා කරන්න යෙදෙව්වා. (2 කොරි. 11:9) ඒ ගැන වාර්තාවේ කියන්නේ “පාවුල් හරිම උද්යෝගයෙන් දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න එයාගේ මුළු කාලයම යෙදෙව්වා” කියලයි. (ක්‍රියා 18:5) තමන්ගේ මුළු කාලයම යොදවලා පාවුල් සේවය කළත් යුදෙව්වන් හුඟදෙනෙක් විරුද්ධ වුණා. ඔවුන් ක්‍රිස්තුස් ගැන කියපු වටිනා පණිවිඩය ප්‍රතික්ෂේප කරපු නිසා ඔහු තමන්ගේ ඇඳුම් ගසා දාලා මෙහෙම කිව්වා. “ඔයාලාගේ ජීවිතවලට වග කියන්න ඕනෙ ඔයාලමයි! මම නිදහස්. දැන් ඉඳන් මම පණිවිඩය අරන් යන්නේ වෙනත් ජාතීන් ළඟටයි.”—ක්‍රියා 18:6; එස. 3:18, 19.
9 සිනගෝගයේ ශුභාරංචිය දේශනා කරන්න සුදුසු වාතාවරණයක් තිබුණේ නැති නිසා තිතියස් ජස්ටස් කියන කෙනා ඔහුගේ ගෙදරට එන්න කියලා පාවුල්ට කිව්වා. තිතියස් ජස්ටස් යුදෙව් ආගමට හැරුණු කෙනෙක්. ඔහුගේ ගෙදර තිබුණෙත් සිනගෝගයට එහා පැත්තෙන්. (ක්‍රියා 18:7) එදා ඉඳන් පාවුල් ශුභාරංචිය දේශනා කළේ ඒ ගෙදර ඉඳන්. නමුත් කොරින්තියේ හිටපු කාලය පුරාම පාවුල් නවාතැන් ගත්තේ අකිලා හා ප්‍රිසිලාගේ ගෙදරයි.
10. වෙනත් ජාතීන්ට අයිති අයට විතරක් දේශනා කරන්න පාවුල් තීරණය කළේ නැහැ කියලා කියන්න පුළුවන් ඇයි?
10 “දැන් ඉඳන් මම පණිවිඩය අරන් යන්නේ වෙනත් ජාතීන් ළඟටයි” කියලා කියපු එකෙන් පාවුල් අදහස් කළේ යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අයව ඔහු සම්පූර්ණයෙන්ම අත්හැර දැම්මා කියලද? එහෙම කියන්න බැහැ. උදාහරණයකට “සිනගෝගයේ නායකයා වුණ ක්‍රිස්පස් සහ එයාගේ ගෙදර ඉන්න හැමෝම ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගෙන අනුගාමිකයෝ වුණා” කියලා වාර්තාවේ සඳහන් වෙනවා. සිනගෝගයට ගිය තවත් සමහරදෙනෙකුත් ක්‍රිස්පස් කරපු දේම කළා කියලා පැහැදිලියි. “ශුභාරංචියට ඇහුම්කන් දුන්න කොරින්තියේ හිටපු හුඟදෙනෙකුත් විශ්වාසයක් ඇති කරගත්තා. එයාලත් බව්තීස්ම වුණා” කියලා වාර්තාවේ කියනවා. (ක්‍රියා 18:8) ක්‍රියා පොතේ තියෙන සිද්ධීන් ලූක් වාර්තා කරලා තියෙන්නේ ඒවා වුණ අනුපිළිවෙළට නම් යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරිලා හිටිය ඔවුන්, යේසුස්ගේ අනුගාමිකයන් වුණේ පාවුල් තමන්ගේ ඇඳුම් ගසා දාලා වෙනත් ජාතීන් ළඟට යනවා කියලා කිව්වාට පස්සේ කියලා හිතන්න පුළුවන්. ඒකෙන් පැහැදිලි වෙන්නේ වෙනත් ජාතීන් ළඟට යනවා කියලා පාවුල් කිව්වත් අවශ්‍ය වෙනස්කම් කරගෙන, උනන්දුවක් දක්වපු යුදෙව්වන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන්න ඔහු මහන්සි වුණා කියලයි. ඔය විදිහට කොරින්ති නගරයේ පිහිටෙව්ව අලුත් ක්‍රිස්තියානි සභාව රැස් වුණේ තිතියස් ජස්ටස්ගේ ගෙදරයි.
11. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාවුල්ව ආදර්ශයට ගන්නේ කොහොමද?
11 හුඟක් රටවල ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම් බිහි වෙලා තියෙනවා. ඒ ආගම්වල ඉන්න නායකයන්ට සෑහෙන බලතල තියෙනවා. තවත් රටවල හා දූපත්වල ජීවත් වෙන හුඟක් අයව ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වලට හරවගන්න මිෂනාරිවරුන් සමත් වෙලා තියෙනවා. තමන් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ඒ වගේ අය පළවෙනි සියවසේ කොරින්තියේ ජීවත් වුණ යුදෙව්වන් වගේ චාරිත්‍ර වාරිත්‍රවලට වහල් වෙලා ඉන්නවා. ඒකට හේතුව ශුද්ධ ලියවිල්ල ගැන හරි අවබෝධයක් ඔවුන්ට නැති එකයි. නමුත් පාවුල් වගේ අපිත් ශුද්ධ ලියවිල්ල ගැන ඔවුන් දැනටමත් දන්න දේවල් නිවැරදිව තේරුම්ගන්න ඔවුන්ට උදව් කරනවා. සමහර අවස්ථාවල ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වලට අයිති අය හා ඔවුන්ගේ ආගමික නායකයන් අපි කරන සේවයට විරුද්ධවාදිකම් එල්ල කරනවා. නමුත් අපේ වැඩය අපි නතර කරන්නේ නැහැ. මොකද ‘දෙවියන්ට සේවය කරන්න ලොකු උද්යෝගයක් තිබුණත් දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා හරියට තේරුම් අරන් නැති’ ඒ වගේ අය අතරෙත් අවංක හදවත් තියෙන අය ඉන්නවා. ඒ වගේ අයව කොහොමහරි හොයාගන්න එක අපේ ආශාවයි.—රෝම 10:2.
“මේ නගරේ මට එකතු වෙන්න තවත් ගොඩක් අය ඉන්නවා” (ක්‍රියා 18:9-17)
12. දර්ශනයකින් පාවුල්ට ලැබුණු දිරිගැන්වීම මොකක්ද?
12 තමන් දිගටම කොරින්තියේ සේවය කරනවාද නැත්නම් වෙනත් ප්‍රදේශයකට යනවාද කියලා පාවුල් කල්පනා කරකර හිටියා නම් යේසුස් දර්ශනයක් මාර්ගයෙන් කියපු මේ දෙයින් ඔහුට පිළිතුරක් ලැබෙන්න ඇති. “කිසි දේකට බය වෙන්න එපා. උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම නිර්භීතව දේශනා කරන්න. මොකද මම ඔයාත් එක්කම ඉන්නවා. කවුරුත් ඔයාට පහර දෙන්නෙවත් ඔයාට අනතුරක් කරන්නෙවත් නැහැ. මේ නගරේ මට එකතු වෙන්න තවත් ගොඩක් අය ඉන්නවා.” (ක්‍රියා 18:9, 10) ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් දේවල්වලින් ඔහුව ආරක්ෂා කරනවා කියලා ස්වාමීන් වුණ යේසුස්ම ඔහුට සහතික වුණා. ඒ නගරයේ යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න තව හුඟදෙනෙක් ඉන්නවා කියලත් යේසුස් ඔහුට ස්ථිරවම කිව්වා. ඒ දර්ශනයෙන් පාවුල් මහත් දිරිගැන්වීමක් ලැබුවා කියලා නිසැකයි. “එයා අවුරුදු එකහමාරක් එහේ නැවතිලා දෙවියන්ගේ වචනය එහේ හිටපු අයට කියලා දුන්නා” කියලා වාර්තාවේ සඳහන් වෙලා තියෙන එකෙන් ඒක ඔප්පු වෙනවා.—ක්‍රියා 18:11.
13. විනිශ්චයාසනය ළඟට ඇදගෙන යද්දී පාවුල්ට මොන සිද්ධිය මතක් වෙන්න ඇද්ද? ඒ දේ තමන්ට වෙන්නේ නැහැ කියලා හිතන්න ඔහුට තිබුණ හේතුව මොකක්ද?
13 කොරින්තියේ අවුරුද්දක් ගත කළාට පස්සේ වුණ සිද්ධියකින් යේසුස්ගේ උදව් තමන්ට තියෙනවා කියලා පාවුල්ට තවත් තහවුරු වුණා. ඒ සිදුවීමට මුල් වුණ දේ ගැන වාර්තාවේ සඳහන් වන්නේ මෙහෙමයි. “යුදෙව්වරු හැමෝම එකතු වෙලා පාවුල්ව අල්ලගෙන එයාව විනිශ්චයාසනය ඉස්සරහට අරන් ගියා.” (ක්‍රියා 18:12) සමහර අය කියන්නේ විනිශ්චයාසනය කියලා යොමු දැක්වුවේ නිල් හා සුදු පාට කිරිගරුඬින් නිමවා තිබුණ විවිධ කැටයම්වලින් අලංකාර කරලා තිබුණ තරමක් උස වේදිකාවකට කියලයි. ඒක කොරින්ති නගරයේ තිබුණ වෙළඳපොළේ මැදට වෙන්න තියෙන්න ඇති. පිරිසකට රැස් වෙන්න පුළුවන් ඉඩ ප්‍රමාණයකුත් ඒ වේදිකාව ඉදිරියේ තියෙන්න ඇති. පුරාවිද්‍යාඥයන් සොයාගෙන තියෙන තොරතුරුවලට අනුව විනිශ්චයාසනය තියෙන්න ඇත්තේ සිනගෝගයට කිට්ටුව කියලා හිතන්න පුළුවන්. එහෙමනම් ඒක තිබුණේ ජස්ටස්ගේ නිවසට කිට්ටුව කියලත් හිතන්න පුළුවන්. යුදෙව්වන් විනිශ්චයාසනය ළඟට පාවුල්ව ඇදගෙන යද්දී ස්තේපන්ට ගල් ගහලා මරලා දාපු සිද්ධිය පාවුල්ට මතක් වෙන්න ඇති. ක්‍රිස්තියානීන් අතරින් තම විශ්වාසයන් නිසා දිවි පිදුව පළවෙනි කෙනා වුණේ ස්තේපනුයි. ඒ කාලේ නම් ‘ස්තේපන්ව මරලා දාපු එක ගැන සාවුල්ට ලොකු සතුටක් දැනුණා.’ (ක්‍රියා 8:1) එදා ස්තේපන්ට වුණ දේ දැන් පාවුල්ටත් වෙයිද? එහෙම හිතන්න බැහැ. මොකද ‘කවුරුත් ඔයාට අනතුරක් කරන්නේ නැහැ’ කියලා යේසුස් ඔහුට පොරොන්දු වෙලා තිබුණා.—ක්‍රියා 18:10.
14, 15. (අ) යුදෙව්වන් පාවුල්ට විරුද්ධව කරපු චෝදනාව මොකක්ද? ගලියෝ නඩුව විසුරුවාහැරියේ ඇයි? (ආ) සොස්තනේස්ට වුණේ මොකක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?
14 යුදෙව්වන් පාවුල්ව ගෙනාවේ ඇකේයා පළාතේ ආණ්ඩුකාරයා වුණ ගලියෝ කියන විනිසුරු ඉදිරියටයි. ඔහු රෝම දාර්ශනිකයෙක් වුණ සෙනෙකාගේ වැඩිමල් සහෝදරයායි. ඒ විනිසුරුවරයා ඉදිරියට පාවුල්ව ගෙනාපු යුදෙව්වන්, පාවුල්ට විරුද්ධව මේ චෝදනාව ඉදිරිපත් කළා. “මේ මනුස්සයා දෙවියන්ට නමස්කාර කරන්න කියලා මිනිස්සුන්ට කියන්නේ නීතිය කඩ වෙන විදිහට.” (ක්‍රියා 18:13) ඔවුන් කිව්වේ පාවුල් නීතිය කඩ කරලා මිනිසුන්ව ආගමකට හරවගන්නවා කියලයි. නමුත් පාවුල් කිසිම “වරදක් හරි දරුණු අපරාධයක් හරි කරලා” නැහැ කියලා ගලියෝ තේරුම්ගත්තා. (ක්‍රියා 18:14) ඒක යුදෙව්වන් අතරේ තිබුණ ප්‍රශ්නයක් නිසා ඒකට අත ගහන්න ගලියෝ කැමති වුණේ නැහැ. තමාට විරුද්ධව නඟලා තිබුණ චෝදනාව ගැන පාවුල් දෙයක් කියන්නත් කලින් ගලියෝ නඩුව විසුරුවාහැරපු එකෙන් ඒක පේනවා. පාවුල්ට විරුද්ධව කිසිම දෙයක් කරන්න බැරි වුණ නිසා හොඳටම කේන්ති ගිය යුදෙව්වන්, ඔවුන්ගේ කේන්තිය සොස්තනේස් පිටින් යැව්වා. වාර්තාවේ කියන්නේ ඔවුන් “සිනගෝගයේ නායකයා වුණ සොස්තනේස්ව අල්ලගෙන විනිශ්චයාසනය ඉස්සරහම එයාට හොඳටම ගැහුවා” කියලයි. සමහරවිට සෝස්තනේස් කියන්නේ ක්‍රිස්පස් වෙනුවට සිනගෝගයේ නායකයා වුණ කෙනා වෙන්න පුළුවන්.—ක්‍රියා 18:17.
15 යුදෙව්වන් එකතු වෙලා සොස්තනේස්ට පහර දෙද්දී ගලියෝ ඔවුන්ව වැළැක්වුවේ නැත්තේ ඇයි? පාවුල්ට විරුද්ධව යුදෙව්වන්ව පොලඹවන්න ඇත්තේ සොස්තනේස් කියලා සමහරවිට ගලියෝ හිතන්න ඇති. ඒ නිසා යුදෙව්වන් අතින් ඔහු ගුටි කන එක සාධාරණයි කියලා ඔහු හිතුවා වෙන්න පුළුවන්. ගලියෝ ඒ වෙලාවේ කිසි දෙයක් නොකර හිටියේ ඒ හේතුව නිසාමද කියලා හරියටම කියන්න බැහැ. නමුත් ඒ සිද්ධියෙන් හොඳ දෙයක් වුණා කියලා කියන්න හේතුවක් තියෙනවා. අවුරුදු ගාණකට පස්සේ පාවුල් කොරින්ති සභාවට ලියපු පළවෙනි ලිපියේ සොස්තනේස් කියලා සහෝදරයෙක් ගැන සඳහන් වෙනවා. (1 කොරි. 1:1, 2) ඒ, කොරින්තියේදී යුදෙව්වන් අතින් ගුටි කාපු සොස්තනේස් නම් ඔහු ලබපු ඒ වේදනාකාරී අද්දැකීම ක්‍රිස්තියානියෙක් වෙන්න ඔහුට උදව් වුණා කියලා කියන්න පුළුවන්.
16. යේසුස් පාවුල්ට දුන්න සහතිකය අපි මතකයේ තියාගන්න එක වැදගත් ඇයි?
16 “කිසි දේකට බය වෙන්න එපා. උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම නිර්භීතව දේශනා කරන්න. මොකද මම ඔයාත් එක්කම ඉන්නවා.” යේසුස් ඒ සහතිකය පාවුල්ට දුන්නේ ඔහු ප්‍රකාශ කළ ශුභාරංචිය යුදෙව්වන් ප්‍රතික්ෂේප කළාට පස්සේ කියලා ඔබට මතක ඇති. (ක්‍රියා 18:9, 10) යේසුස් දුන්න ඒ සහතිකය අපිත් නිතරම මතකයේ තියාගන්න එක වැදගත්. විශේෂයෙන්ම අපි කියන පණිවිඩය මිනිසුන් ප්‍රතික්ෂේප කරද්දී ඒ සහතිකය අපිට ලොකු සහනයක්. මිනිසුන්ගේ සිත් සෝදිසි කරලා බලන්නෙත් අවංක හදවත් තියෙන අයව තමන් ළඟට ගන්නෙත් යෙහෝවා කියලා අපි කවදාවත් අමතක නොකළ යුතුයි. (1 සාමු. 16:7; යොහ. 6:44) ඒක දැනගෙන ඉන්න එක අපිට පැවරිලා තියෙන කාර්යය අත් නෑර උද්යෝගයෙන් කරන්න ලොකු දිරිගැන්වීමක් නෙවෙයිද! “හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න” කියලා යේසුස් දුන්න ආඥාවට කීකරු වෙන හැම කෙනෙක්ටම ඔහු මේ සහතිකය දීලා තියෙනවා. “මම අද ඉඳන් පවතින සමාජයේ අවසාන කාලය ඉවර වෙන කල්ම ඔයාලත් එක්ක හැමදාටම ඉන්නවා.” (මතෙ. 28:19, 20) හැම අවුරුද්දකම ලක්ෂ ගාණක් ඒ කියන්නේ හැම දවසකම සිය ගාණක් බව්තීස්ම වෙන එකෙන් ඒක ඇත්තක් කියලා ඔප්පු වෙනවා.
“යෙහෝවා කැමති නම්” (ක්‍රියා 18:18-22)
17, 18. ගමන අතරතුරේදී පාවුල් මොන දේවල් ගැන හිතන්න ඇද්ද?
17 පාවුල්ට විරුද්ධ වුණ අය එක්ක ගලියෝ වැඩ කරපු ආකාරය නිසා කොරින්තියේ හිටිය ක්‍රිස්තියානීන්ට සාමකාමී කාලයක් උදා වුණාද නැද්ද කියලා හරියටම කියන්න බැහැ. කොහොමවුණත් ඒ සිදුවීමෙන් පස්සෙත් පාවුල් “දවස් ගාණක්ම” කොරින්තියේ නැවතිලා හිටියා. ක්‍රි.ව. 52 වසන්ත සමයේදී ඔහු කොරින්තියට කිලෝමීටර් 11ක් විතර නැඟෙනහිර පැත්තේ තිබුණ සෙන්ක්‍රෙයාය නගරයේ සිට සිරියාවට නැවෙන් යන්න අදහස් කළා. සෙන්ක්‍රෙයාය නගරයෙන් පිටත් වෙලා යන්න කලින් “පාවුල් එයාගේ කොණ්ඩේ කොටට කැපුවා” කියලා වාර්තාවේ කියනවා. “එයා එහෙම කළේ දෙවියන්ට භාරයක් වෙලා හිටපු නිසයි.”c (ක්‍රියා 18:18) ඊටපස්සේ ඔහු, අකිලා හා ප්‍රිසිලා එක්ක ඊජියන් මුහුද හරහා කුඩා ආසියාවේ පිහිටි එෆීසය බලා ගමන් කළා.
18 ගමන අතරතුරේදී කොරින්තියේ තමන් ගත කරපු කාලය ගැන පාවුල් මතක් කරගන්න ඇති. මාස 18ක් පුරා කොරින්තියේ කරපු සේවයෙන් ඔහුට හොඳ ප්‍රතිඵල ලැබුණා. ජස්ටස්ට, ක්රිස්පස්ට, ඔහුගේ පවුලේ අයට හා තවත් හුඟක් අයට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන්න ඔහුට පුළුවන් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ක්‍රිස්තියානි සභාවක් කොරින්තියෙත් පිහිටෙව්වා. ජස්ටස්ගේ ගෙදර රැස් වුණ මේ සභාව කොරින්තියේ පිහිටෙව්ව පළවෙනි සභාවයි. යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න තමන් උපකාර කරපු මේ අලුත් ක්‍රිස්තියානීන් ගැන පාවුල්ට ලොකු ආදරයක් තිබුණා. පාවුල් පස්සේ කාලයක ඒ ක්‍රිස්තියානීන්ට කිව්වා ඔවුන් හරියට තමන් ගැන විස්තර ඇතුළත් ලියුමක් වගේ කියලා. ඒ ලියුම ලියලා තියෙන්නේ තමන්ගේ හදවතේ කියලත් ඔහු කිව්වා. යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න අපි උදව් කරන අය ගැන අපිටත් ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. ඇත්තෙන්ම ඔවුන් හරියට “අපි ගැන විස්තර ඇතුළත් ලියුමක්” කියලා කියන්න පුළුවන්.—2 කොරි. 3:1-3.
19, 20. එෆීසයට ආපු ගමන්ම පාවුල් කළේ මොකක්ද? සේවය සම්බන්ධයෙන් අපි කරන සැලසුම් ගැන අපිට පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
19 පාවුල් එෆීසයට ගිය ගමන්ම ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා. ඔහු ‘සිනගෝගයට ගිහින් යුදෙව්වරුන්ට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පැහැදිලි කළා.’ (ක්‍රියා 18:19) ඒ අවස්ථාවේදී පාවුල් එෆීසයේ හිටියේ ටික කාලයක් විතරයි. “තව ටික කාලයක් එහේ නැවතිලා ඉන්න කියලා එයාලා පාවුල්ගෙන් ඉල්ලුවත් එයා එහෙන් යන්න තීරණය කළා. එයාලාගෙන් සමුගන්න කලින් එයා මෙහෙම කිව්වා. ‘යෙහෝවා කැමති නම් මට ආයෙත් ඔයාලා ළඟට එන්න පුළුවන් වෙයි.’” (ක්‍රියා 18:20, 21) එෆීසයේ තව විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා කියලා පාවුල් තේරුම්ගත්තා කියලා නම් කිසිම සැකයක් නැහැ. ආයෙත් එහෙට එන්න පාවුල් හිතුවේ ඒ නිසයි. නමුත් ඔහු කියපු දෙයින් පැහැදිලි වෙන්නේ ඔහු ඒ කාරණය යෙහෝවාට භාර දුන්නා කියලයි. පාවුල්ගෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. වැඩි සේවයක් කරන්න අපිට තියෙන සැලසුම්වලට අනුව අපි යම් පියවර ගන්න ඕනෙ කියන දේ ඇත්ත. නමුත් පාවුල් වගේ අපිත් ඒ සම්බන්ධයෙන් යෙහෝවාගේ කැමැත්ත මොකක්ද කියලා හොයලා බලන්න ඕනේ. අපි එහෙම කරනවා නම් අපි ඇත්තටම වැඩ කරන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟවයි කියලා කියන්න පුළුවන්.—යාකො. 4:15.
20 අකිලාව හා ප්‍රිසිලාව එෆීසයේ නතර කරලා පාවුල් සිසේරියට ගියා. එතන ඉඳන් එයා යෙරුසලමට ගිහින් ඒ සභාවේ අයව හමු වෙලා ආයෙත් සිරියාවේ අන්තියෝකියේ තිබුණ තමන්ගේ සභාවට පිටත් වුණා. (ක්‍රියා 18:22) ඒ විදිහට ඔහු තමන්ගේ දෙවෙනි මිෂනාරි ගමන සාර්ථකව නිමා කළා. ඔහුගේ අවසන් මිෂනාරි ගමන ගැන අපි ඊළඟ කොටසින් බලමු.
a “පැරණි කොරින්ති නගරය” කියන කොටුව බලන්න.
b “පාවුල් සභාවන් දිරිගන්වමින් ලිපි ලියයි” කියන කොටුව බලන්න.
c “පාවුල් දෙවියන්ට වුණ භාරය” කියන කොටුව බලන්න.