20වෙනි පරිච්ඡේදය
දෙවියන්ගේ පණිවිඩය ‘පැතිරෙන එක නවත්තන්න බැරි වුණා’
ශුභාරංචිය තව තවත් ව්‍යාප්ත කරන්න අපොලොස් හා පාවුල් දායක වුණ විදිහ
1, 2. (අ) එෆීසයේදී පාවුල් හා ඔහුගේ මිතුරන් මුහුණ දුන්නේ මොන වගේ දේකටද? (ආ) අප මේ පරිච්ඡේදයෙන් ඉගෙනගන්නේ මොනවාද?
එෆීස නගරයේ මහ කෝලහලයක්! කේන්තියෙන් ඉන්න පිරිසක් පාවුල්ගේ මිත්‍රයන් දෙන්නෙක්ව වට කරගන්නවා. වීථිවල, කඩසාප්පුවල ඉන්න ජනයා කෑගගහා එතනට එක් රොක් වෙනවා. ඒ පිරිස පාවුල්ගේ මිතුරන් දෙන්නාව ප්‍රසිද්ධ තැනකට ඇදගෙන යනවා. පේන විදිහට ඔවුන් යන්නේ 25,000දෙනෙක්ට විතර රැස් වෙන්න පුළුවන් නගරයේ විශාලතම රංග භූමිය දෙසටයි. වැඩි වෙලාවක් යන්න කලින් ඒක අතුරු සිදුරු නැතුව සෙනඟගෙන් පිරී යනවා. හුඟදෙනෙක් කෑගසමින් එතනට එක් රොක් වුණත් කෝලහලයට හේතුව මොකක්ද කියලා වැඩිදෙනෙක් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන් නමස්කාර කළ ආටෙමිස් දේවතාවියට හා ඇගේ දේවස්ථානයට මොකක් හරි දෙයක් වෙලා කියලයි. ඒ නිසා “එෆීසවරුන්ගේ ආටෙමිස් දේවතාවිය සදහටම වැජඹේවා” කියා ඔවුන් කෑගහන්න පටන්ගන්නවා.—ක්‍රියා 19:34.
2 මැර පිරිසක් යොදාගෙන ශුභාරංචිය දේශනා කරන එක නතර කිරීමට නැවතත් සාතන් උත්සාහ කරපු විදිහ අප ඒ සිද්ධියෙන් දකිනවා. නමුත් දේශනා කරන එක නතර කර දැමීමට සාතන් යොදාගන්නේ ඒ ක්‍රමය විතරක් නෙවෙයි. පළවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් අතරේ තිබුණ එක්සත්කම බිඳ දමන්න හා ඔවුන් කරමින් සිටි වැඩය අඩපණ කරන්න ඔහු යොදාගත්ත උපක්‍රම කිහිපයක් ගැන මේ පරිච්ඡේදයෙන් ඉගෙනගන්නවා. නමුත් ඒ හැම උපක්රමයක්ම අසාර්ථක වුණා. වාර්තාවේ කියන්නේ “යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය . . . පැතිරෙන එක නවත්තන්න කාටවත් බැරි වුණා” කියලයි. (ක්‍රියා 19:20) සාතන්ව පරාජය කරන්න පුළුවන් වුණ එක ඔවුන් පෞද්ගලිකව ලබපු ජයග්‍රහණයක් නෙවෙයි. ඒක යෙහෝවා දෙවියන් ලබපු ජයග්‍රහණයක්. යෙහෝවාගේ උපකාරය ඇතුව අද අපටත් සාතන්ව පරාජය කළ හැකියි. පළවෙනි සියවසේ ක්‍රිස්තියානීන් වගේ අපත් යම් ගුණාංග දියුණු කරගන්න ඕනේ. එහෙම කළොත් සාතන් මොන උපක්‍රම යෙදුවත් අපේ සේවය දිගටම කරගෙන යන්න අපට හැකි වන බව ස්ථිරයි.
“එයාට ශුද්ධ ලියවිල්ල ගැන හොඳ දැනුමක් තිබුණා” (ක්‍රියා 18:24-28)
3, 4. අපොලොස් උගන්වද්දී අකිලා හා ප්‍රිසිලා තේරුම්ගත්තේ මොනවාද? ඔවුන් කළේ මොකක්ද?
3 පාවුල් තම තුන්වෙනි මිෂනාරි ගමන ආරම්භ කර එෆීසයට යමින් සිටියා. ඒ අතරතුර ඊජිප්තුවේ ප්‍රසිද්ධ නගරයක් වුණ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉඳන් යුදෙව්වෙක් එෆීසයට ආවා. ඔහුගේ නම අපොලොස්. දක්ෂ විදිහට කතා කිරීමේ හැකියාව තිබුණ ඔහුට “ශුද්ධ ලියවිල්ල ගැන හොඳ දැනුමක් තිබුණා.” ඒ වගේම ඔහු “දෙවියන්ගේ බලයේ උදව්වෙන් ගොඩක් උද්යෝගයෙන් වැඩ කරපු” කෙනෙක්. ඔහු සිනගෝගවලදී ලොකු උද්යෝගයකින් හා නිර්භීතව යේසුස් ගැන යුදෙව්වන්ට දේශනා කළා.—ක්‍රියා 18:24, 25.
4 ඔහු උගන්වද්දී අකිලා හා ප්රිසිලාත් සවන් දුන්නා. ඔහු “අනිත් අයට යේසුස් ගැන නිවැරදි තොරතුරු උගන්වපු” එක ගැන ඔවුන් දෙන්නා හුඟක් සතුටු වෙන්න ඇති. නමුත් “එයා දැනගෙන හිටියේ යොහන් කරපු බව්තීස්මය ගැන විතරයි” කියලා ඔවුන් තේරුම්ගත්තා. ඒ නිසා “එයාලා අපොලොස්ව එක්කන් ගිහින් දෙවියන්ගේ මාර්ගය ගැන තවත් නිවැරදිව තේරුම්ගන්න එයාට උදව් කළා.” (ක්‍රියා 18:25, 26) කූඩාරම් හදන එක වගේ සුළු රස්සාවක් කරපු අකිලා හා ප්‍රිසිලා, අපොලොස් වගේ හොඳ අධ්‍යාපනයක් ලබලා තිබුණ දක්ෂ පුද්ගලයෙක්ට වුණත් ශුද්ධ ලියවිල්ල ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න පසුබට වුණේ නැහැ. අපොලොස් ඒකට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ක්‍රිස්තියානියෙක් ගාව තියෙන්න ඕනෙ වැදගත්ම ගුණාංගයක් වන නිහතමානිකම ඔහු ඒ අවස්ථාවේදී පෙන්වුවා.
5, 6. දෙවියන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න අපොලොස්ට පුළුවන් වුණේ ඇයි? අපොලොස්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
5 අපොලොස් අකිලා හා ප්‍රිසිලා දුන්න උපකාරය පිළිගත්ත නිසා වඩා සාර්ථක දේවසේවකයෙක් වෙන්න ඔහුට හැකි වුණා. පස්සේ ඔහු ඇකේයාව කියන ප්‍රදේශයට ගිහින් දෙවියන් ගැන විශ්වාසයක් තිබුණ යේසුස්ගේ අනුගාමිකයන්ට “ගොඩක් උදව් කළා.” පොරොන්දු වුණ ගැලවුම්කරු යේසුස් නොවන බව තදින්ම කියපු එහේ හිටපු යුදෙව්වන්ට ශුද්ධ ලියවිල්ල යොදාගෙන දක්ෂ විදිහට දේශනා කරන්නත් ඔහුට හැකි වුණා. ඒ ගැන ලූක් වාර්තා කරන්නේ මෙහෙමයි. “එයා හරිම උද්යෝගයෙන් යේසුස් ඇත්තටම ක්‍රිස්තුස් කියලා ශුද්ධ ලියවිල්ලෙන් ඔප්පු කරලා හැමෝම ඉස්සරහා යුදෙව්වරුන් වැරදියි කියලා පෙන්නුවා.” (ක්‍රියා 18:27, 28) අපොලොස් නිහතමානීව වැඩ කළ නිසා ක්‍රිස්තියානි සභාවට ඔහු මොන තරම් වටිනා සාමාජිකයෙක් වුණාද! “යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය” දිගටම පැතිරෙන්න අපොලොස් කළ සේවයත් දායක වුණා කියලා කියන්න පුළුවන්.
6 අපොලොස්ගේ ආදර්ශයෙන් අද අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? හැම ක්‍රිස්තියානියෙක්ම නිහතමානිකම වැඩි කරගන්න එක හුඟක් වැදගත්. අප හැම කෙනෙක්ටම විවිධ දක්ෂතාවන් තියෙනවා. ඒවා සමහරවිට උපතින්ම අපට ලැබුණ ඒවා විය හැකියි. නැත්නම් අපේ අද්දැකීම් හෝ අවබෝධය නිසා ලැබුණ ඒවා විය හැකියි. අපට ඒ මොන දේ තිබුණත් අප නිහතමානී නැත්නම් ඒවායින් කිසිම පලක් නැහැ. මොකද නිහතමානී නැති කෙනෙක් තමන්ගේ හැකියාවන්, අද්දැකීම් හෝ දැනුම ගැන ආඩම්බර වෙනවා. නමුත් ඒක ඔහුගේ විනාශයට මඟ පාදනවා. (1 කොරි. 4:7; යාකො. 4:6) අනිත් අතට අප නිහතමානී නම් අපට වඩා අන් අය වැදගත් කියලා අප නිතරම හිතනවා. (ෆිලි. 2:3) අන් අය අපව නිවැරදි කරද්දී හෝ යම් කාරණා ගැන කියලා දෙද්දී අප ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දෙවියන් තම බලයෙන් යම් කාරණා ගැන අපේ අවබෝධය නිවැරදි කරද්දී හෝ යම් මඟ පෙන්වීම් දෙද්දී අප අපේම මතයේ ඉන්නේ නැහැ. අප නිහතමානීව වැඩ කරද්දී යෙහෝවා හා යේසුස් වෙනුවෙන් අපට මොන තරම් සේවයක් කරන්න පුළුවන්ද!—ලූක් 1:51, 52.
7. පාවුල් හා අපොලොස් අපිට තිබ්බ ආදර්ශය මොකක්ද?
7 නිහතමානීව වැඩ කරන එක සභාවේ එක්සත්කමටත් දායක වෙනවා. ඒ කාලයේ කොරින්තියේ සමහර ක්‍රිස්තියානීන් “මං පාවුල්ගේ පැත්තේ” කියලත් තවත් අය “මං අපොලොස්ගේ පැත්තේ” කියලත් කියමින් පැති ගත්තා. සභාවේ කැපී පේනම පුද්ගලයා වෙන්න පාවුල්ට හෝ අපොලොස්ට ආශාවක් තිබුණා නම් ඔවුන් තුළ තරඟකාරී ස්වභාවයක් හෝ ඊර්ෂ්‍යාසහගත හැඟීම් ඇති වෙන්න ඉඩ තිබුණා. ඒ වගේ දෙයක් සිදු වුණා නම් මුල් ක්‍රිස්තියානි සභාව තුළ බෙදීම් ඇති කරන්න ආශාවෙන් බලාගෙන හිටිය සාතන් මොන තරම් සතුටු වෙන්න ඇද්ද! නමුත් පාවුල් හා අපොලොස් නිහතමානී වුණ නිසා තමන් කරන සේවය අනිත් කෙනා කරන සේවයට වඩා උසස් කියලා කිසිවිටක හිතුවේ නැහැ. ඇත්තෙන්ම අපොලොස් කළ සේවය පාවුල් අවංකවම අගය කළා වගේම සේවය හා සම්බන්ධ විවිධ පැවරුම් ඔහුට ලබා දුන්නා. අපොලොසුත් පාවුල් දුන්න මඟ පෙන්වීම් නිහතමානීව පිළිගත්තා. (1 කොරි. 1:10-12; 3:6, 9; තීත. 3:12, 13) නිහතමානීව වැඩ කරලා සභාවේ එක්සත්කම රැකගත්ත ඔවුන් දෙන්නා අපට මොන තරම් කදිම ආදර්ශයක්ද!
‘දෙවියන්ගේ රාජ්‍යය ගැන තර්කානුකූලව’ පැහැදිලි කළා (ක්‍රියා 18:23; 19:1-10)
8. එෆීසයට යන්න පාවුල් තෝරගත්තේ මොන ගමන් මාර්ගයද? ඒ ඇයි?
8 පොරොන්දු වුණ විදිහටම පාවුල් එෆීසයට ආවා.a (ක්‍රියා 18:20, 21) ඔහු එෆීසයට යන්න තෝරගත්ත ගමන් මාර්ගය ගැන සලකා බැලීම වැදගත්. සිරියාවේ අන්තියෝකියේ හිටිය ඔහුට ඒ අසල පිහිටි සිලූෂියට ගිහින් එතනින් නැවකට නැඟලා කෙළින්ම එෆීසයට යන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ ගමන් මාර්ගයේ යන්නේ නැතුව ඔහු “හුඟක් ඈතින් තිබුණ පැති හරහා” යන්න තීරණය කළා. (ක්‍රියා 18:23; 19:1 බලන්න.) ඒ සඳහා ඔහුට කිලෝමීටර් 1,600ක විතර දුරක් යන්න වෙන්න ඇති කියලා පොතක සඳහන් වෙනවා. එෆීසයට කෙළින්ම යන්න ක්‍රමයක් තිබියදී දුෂ්කර මාර්ගයකින් යන්න පාවුල් තීරණය කළේ ඇයි? ඔහු තෝරගත්ත මඟට අනුව සහෝදර සහෝදරියන් හිටිය විවිධ ප්‍රදේශ පහු කරගෙන යන්න ඔහුට සිදු වෙනවා. “ඒ තැන්වල හිටපු ගෝලයන්ව ශක්තිමත්” කරන එකයි ඔහුගේ අරමුණ වුණේ. (ක්‍රියා 18:23) පළවෙනි හා දෙවෙනි මිෂනාරි ගමන්වලදී වගේ තුන්වෙනි මිෂනාරි ගමනේදීත් පාවුල්ට සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. විවිධ අසීරුතාවන්ට මුහුණ දෙන්නත් ඔහුට සිදු වෙනවා. නමුත් ඒ හැම අභියෝගයක්ම ඔහු හුඟක් සතුටින් භාරගත්තා. අද ඉන්න චාරිකා සේවකයන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ට තියෙන්නෙත් ඒ හා සමාන ආකල්පයක්. ඇත්තෙන්ම ඔවුන්ගේ සේවය අගය කරන්න වටිනවා.
9. ගෝලයන් කිහිපදෙනෙක්ව ආයෙත් බව්තීස්ම කරන්න වුණේ ඇයි? ඔවුන්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
9 එෆීසයට ආපු පාවුල්ට යොහන්ගේb ගෝලයන් දොළොස්දෙනෙක් විතර හමු වුණා. ඔවුන්ව යොහන් බව්තීස්ම කරලා තිබුණත් දෙවියන්ගේ අලුත් සැලැස්මට අනුව ඒ බව්තීස්මය තවදුරටත් වලංගු වුණේ නැහැ. ඔවුන්ට දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා යේසුස්ව පිළිගෙන බව්තීස්ම වෙන එකේ වැදගත්කම පාවුල් ඔවුන්ට පැහැදිලි කළාම ඔවුන් අපොලොස් වගේ නිහතමානීව හා උනන්දුවෙන් ඒවා පිළිගත්තා. පස්සේ ඔවුන් යේසුස්ව පිළිගෙන බව්තීස්ම වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ට දෙවියන්ගේ බලය ලැබුණා. විවිධ ආශ්චර්යයන් කරන්නත් පුළුවන් වුණා. දිනෙන් දින ඉදිරියට ගමන් කරන දෙවියන්ගේ සංවිධානය මාර්ගයෙන් දෙවියන් අලුත් දේවල් හෙළි කරනවා. ඒ දේවලට එකඟව ජීවිත වෙනස් කරගැනීමෙන් ගොඩක් ආශීර්වාද ලබාගන්න පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි.—ක්‍රියා 19:1-7.
10. සිනගෝගයේ ඉඳන් උගන්වනවා වෙනුවට සම්මන්ත්රණ ශාලාවට ගිහින් උගන්වන්න පාවුල් තීරණය කළේ ඇයි? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
10 පාවුල් මාස තුනක් පුරා හුඟක් නිර්භීතව “දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශන දීලා තර්කානුකූලව දේවල් තේරුම්ගන්න මිනිස්සුන්ට උදව් කළා.” නමුත් මුරණ්ඩුකම නිසා සමහරු ඒවා විශ්වාස කිරීමට කැමති වුණේ නැහැ. ඒ නිසා ඔවුන් “‘ස්වාමීන්ගේ මාර්ගය’ ගැන අපහාසාත්මක දේවල් කියන්න පටන්ගත්තා.” ඒ වගේ අයට දිගටම උගන්වමින් තම කාලය නාස්ති කරනවා වෙනුවට පාවුල් පාසැලක තිබුණ සම්මන්ත්රණ ශාලාවකට ගිහින් දේශනා කරන්න පටන්ගත්තා. (ක්‍රියා 19:8, 9) ඒ නිසා දෙවියන් හෙළි කරන අලුත් දේවලට එකඟව තම ජීවිත වෙනස් කරගන්න කැමති අයට සිනගෝගයට යනවා වෙනුවට ඒ සම්මන්ත්රණ ශාලාවට යන්න වුණා. අපත් සේවයේ යද්දී අපේ පණිවිඩයට සවන් දෙන්න ඒ තරම් කැමැත්තක් නැති අයව හෝ අපත් එක්ක වාද කරන්න කැමති අයව හමු වෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඔවුන් සමඟ දිගින් දිගටම කතා කරලා අපේ කාලය නාස්ති කරනවා වෙනුවට එතනින් යන එකයි ඥානවන්තම දේ. මොකද අපේ පණිවිඩයට සවන් දෙන්න කැමැත්තෙන් ඉන්න නිහතමානී අය තව හුඟදෙනෙක් ඉන්නවා.
11, 12. (අ) සේවයේ මහන්සි වෙලා වැඩ කරන එක සහ අවශ්‍යතාවට අනුව සකස් වෙන එක ගැන පාවුල් හොඳ ආදර්ශයක් තිබ්බේ කොහොමද? (ආ) සාක්ෂිකරුවන් ඔහුව ආදර්ශයට ගන්නේ කොහොමද?
11 පාවුල් ඒ සම්මන්ත්රණ ශාලාවේ හැම දවසකම උදේ 11 සිට පස්වරු හතර විතර වෙන කල් මිනිසුන්ට උගන්වන්න ඇති. (ක්‍රියා 19:9) එහෙමනම් දේශනා කරන්න පාවුල් යොදාගත්තේ දවසේ උෂ්ණත්වය වැඩිම පැය කිහිපයයි. සාමාන්‍යයෙන් මිනිසුන් විවේකයක් ගන්න හෝ කෑම ගන්න තම වැඩ නතර කළේ ඒ පැය කිහිපය අතරතුරෙයි. ටිකක් හිතන්න, පාවුල් හැම දවසකම එහෙම කළා නම් ඔහු එෆීසයේ සිටි අවුරුදු දෙක පුරා පැය 3,000කට වඩා වැඩි කාලයක් මිනිසුන්ට උගන්වන්න යොදවන්න ඇති.c දේශනා කරන්න පාවුල් ලොකු වෙහෙසක් දැරුවා කියලත් හැකි තරම් මිනිසුන්ට දේශනා කරන්න ඔහු සුදුසුම වෙලාව තෝරගත්තා කියලත් ඒකෙන් පැහැදිලි වෙනවා. එහෙනම් දෙවියන්ගේ පණිවිඩය දිගටම පැතිරිලා ගිය එක පුදුමයක්ද! වාර්තාවේ කියන්නේ මෙහෙමයි. “ආසියා ප්‍රදේශයේ ඉන්න හැමෝටම, ඒ කියන්නේ යුදෙව්වරුන්ටත් ග්රීකවරුන්ටත් ස්වාමීන්ගේ පණිවිඩය දැනගන්න ලැබුණා.”—ක්‍රියා 19:10.
12 අද ඉන්න සාක්ෂිකරුවනුත් මිනිසුන් ඉන්න ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයකට ගිහින් දේශනා කරන්න සූදානමින් ඉන්නවා. ඔවුන්ගේ ආශාව අවංක හදවත් ඇති අයව කොහොමහරි හොයාගැනීමයි. වීථිවල, කඩසාප්පුවල හා වෙළඳපොළවල්වල හමු වන අයට අප සාක්ෂි දරන්නෙත් ලිපි හා දුරකථනය මාර්ගයෙන් ශුභාරංචිය දේශනා කරන්නෙත් ඒ නිසයි. මිනිසුන් නිවෙස්වල ඉන්න වෙලාවන් බලලා අප ගෙයින් ගෙට සේවයේ යන වෙලාව සකස් කරන්නෙත් අවංක හදවත් ඇති අයට උදව් කරන්න අපිට තියෙන ආශාව නිසයි.
භූතයන්ටවත් ‘දෙවියන්ගේ පණිවිඩය පැතිරෙන එක නවත්තන්න බැරි වුණා’ (ක්‍රියා 19:11-22)
13, 14. (අ) දෙවියන් පාවුල්ට බලය දුන්නේ මොන දේවල් කරන්නද? (ආ) සීවාගේ පුතාලා කරපු වරද මොකක්ද? අදත් හුඟක් අය ඒ හා සමානව වැඩ කරන්නේ කොහොමද?
13 එෆීසයේ දෙවියන්ගේ පණිවිඩය දිගටම පැතිර යන්න පාවුල් මාර්ගයෙන් දෙවියන් කරපු “පුදුම කරවන බලවත් ක්‍රියා” දායක වුණා. (ක්‍රියා 19:11, 12) උදාහරණයකට පාවුල් භාවිත කළ රෙදි කෑලි හා වැඩ කරද්දී ඔහු උඩින් ඇඳපු ඇඳුම් අසනීප අය ළඟට අරන් ගියාම ඔවුන්ගේ රෝග සුව වුණා. භූතයන් වැහිලා හිටිය අයගෙන් භූතයන් පිට වෙලා ගියා.d සාතන්ගේ භූත සේනාව පරාජය කළ ඒ වගේ ආශ්චර්යවත් ක්‍රියා නිසා පාවුල් මිනිසුන් අතරේ තවත් ප්‍රසිද්ධ වුණා. ඒ ප්‍රසිද්ධිය හොඳ අතට වගේම නරක අතටත් බලපෑවා.
14 “තැනින් තැනට ගිහින් භූතයන්ව එළවපු යුදෙව්වන් පිරිසකුත්” පාවුල් කරපු විදිහේ ආශ්චර්යයන් කරන්න උත්සාහ කළා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් යේසුස්ගේ හා පාවුල්ගේ නමින් භූතයන්ව එළවන්න උත්සාහ කළා. එහෙම කරපු සීවා කියන පූජකයාගේ පුතුන් හත්දෙනෙක්ට වුණ දෙය ලූක් විස්තර කරලා තියෙනවා. ඔවුන් භූතයෙක් වැහිලා හිටපු කෙනෙක්ව සුව කරන්න හදද්දී ඒ භූතයා “මම යේසුස් ගැනත් දන්නවා. පාවුල් ගැනත් දන්නවා. ඒත් ඔයාලා කවුද” කියලා ඇහුවා. ඊටපස්සේ ආවේශ වුණ ඒ මිනිසා මෘගයෙක් වගේ ඔවුන්ගේ ඇඟට පැනලා ඔවුන්ට තුවාල කළා. හුඟක් බය වුණ ඔවුන් ඇඳුම් නැතුව එතනින් පලා දිව්වා. (ක්‍රියා 19:13-16) පාවුල්ට ඇත්තටම දෙවියන්ගේ බලය තියෙන බවත් ඒ යුදෙව්වන් ප්‍රෝඩාකාරයන් බවත් ඒ සිද්ධියෙන් මිනිසුන්ට පැහැදිලි වුණා. “යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය” දිගටම පැතිර යන්න ඒක ප්රබලව බලපෑවා. අදත් හුඟක් අය හිතන්නේ දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න යේසුස්ගේ නමින් අයැදීම හෝ තමන් “ක්‍රිස්තියානියෙක්” කියලා කියන එක ප්‍රමාණවත් කියලයි. නමුත් යේසුස් පැහැදිලිවම කිව්වේ යෙහෝවාගේ අනුමැතිය ලැබෙන්නේ දෙවියන් කැමති දේ කරන අයට විතරයි කියලා.—මතෙ. 7:21-23.
15. එෆීසයේ වැසියන් ගත්ත ක්‍රියාමාර්ගය අපිට අනුගමනය කරන්න පුළුවන් කොහොමද?
15 සීවාගේ පුතුන්ට සිදු වුණ දේ ආරංචි වුණාම එෆීසයේ වැසියන්ට දෙවියන් ගැන ලොකු බයක් ඇති වුණා. එෆීසය හදිහූනියම්, කොඩිවින, මන්තර ගුරුකම්වලට ප්‍රසිද්ධ නගරයක්. මන්තර ගුරුකම් ඇතුළත් බොහෝ පොත් පත් එහේ වැසියන් ළඟ තිබුණා. නමුත් මේ සිද්ධිය ආරංචි වුණාම මන්තර ගුරුකම් කරපු හුඟදෙනෙක් ඒවා අත්හැර යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා. ඔවුන් ළඟ තිබුණ පොත් පත් පවා ඔවුන් ප්‍රසිද්ධියේ පුච්චලා දැම්මා. ඒවා මිල අධික පොත් පත්.e එෆීස වැසියන් ගත්ත ඒ ක්‍රියාමාර්ගය නිසා සැබෑ දෙවියන් වන යෙහෝවාට ලැබුණේ මොන තරම් විශිෂ්ට ජයග්‍රහණයක්ද! ලූක් වාර්තා කරන්නේ මෙහෙමයි. “ඒ විදිහට යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ පැතිරිලා ගිහින් එයාලාගේ ජීවිතවල ලොකු වෙනසක් ඇති කළා. ඒක පැතිරෙන එක නවත්තන්න කාටවත් බැරි වුණා.” (ක්‍රියා 19:17-20) අද අපිටත් ඔවුන් කදිම ආදර්ශයක්. අද ලෝකයෙත් භූතවාදී දේවල් බහුලව දකින්න තියෙනවා. ඒකට සම්බන්ධ මොකක් හරි දෙයක් අප ළඟ තියෙනවා නම් එෆීසයේ වැසියන් වගේ අප ඒවා ඉක්මනින්ම ඉවත් කරන්න පියවර ගත යුතුයි. භූතවාදී දේවලට කිසිම විදිහකින් සම්බන්ධ වෙන්න අපට කිසිම කැමැත්තක් නැති නිසා ඒවා කොයි තරම් මිල අධික, වටිනා දේවල් වුණත් අප ඒවා ඉවත් කළ යුතුයි.
“උද්ඝෝෂණයක් ඇති වුණා” (ක්‍රියා 19:23-41)
16, 17. (අ) දෙමේත්‍රියස් ලොකු උද්ඝෝෂණයක් ඇති කළේ කොහොමද? (ආ) එෆීසයේ වැසියන් උමතුවෙන් වැඩ කළේ කොහොමද?
16 “ඒ කාලයේදී ‘ස්වාමීන්ගේ මාර්ගයට’ විරුද්ධව උද්ඝෝෂණයක් ඇති වුණා” කියලා වාර්තාවේ සඳහන් වෙනවා. වාර්තාව බලද්දී ඒක සුළු උද්ඝෝෂණයක් නොවුණ බව පැහැදිලියි.f (ක්‍රියා 19:23) ඒ උද්ඝෝෂණයට මුල් වුණේ දෙමේත්‍රියස් කියන රිදීකරුවායි. ඔහු අනිත් රිදීකරුවන් ළඟට ගිහින් කිව්වේ මහත් දියුණුවක් අද්දකින ඔවුන්ගේ ව්‍යාපාරය දැන් කඩාකප්පල් වෙන්න යන බවයි. පාවුල් දේශනා කරන පණිවිඩය පිළිගන්න අය රූපවලට වඳින එක නවත්තන නිසයි එහෙම වෙන්නේ කියලා ඔහු ඔවුන්ට කිව්වා. ඊටපස්සේ ඔවුන්ගේ නගරය, රට ජාතිය ගැන ඔවුන්ට තියෙන හැඟීම් අවුස්සමින් ඔහු කිව්වේ ඔවුන්ගේ ආටෙමිස් දේවතාවියට හා ඇගේ ලෝක ප්‍රසිද්ධ දේවස්ථානයට මහත් නින්දාවක් වෙලා කියලයි. ඒ ගැන මුකුත් නොකළොත් ඇයට හිමි “ගෞරවය නැති වෙලාම යයි” කියලා ඔහු කිව්වා. (ක්‍රියා 19:24-27) ශුභාරංචිය පැතිරිලා යන එක නවත්තන්න සාතන් යොදපු ඒ උපක්‍රමය සාර්ථක වුණාද?
17 දෙමේත්‍රියස් කියපු දේවලට සවන් දුන්න රිදීකරුවන් “එෆීසවරුන්ගේ ආටෙමිස් දේවතාවිය සදහටම වැජඹේවා” කියා කෑගහන්න පටන්ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් මුළු නගරයෙම වැසියන් එකතු වෙලා මුලින් සඳහන් කරපු විදිහට ලොකු කලබලයක් ඇති කළා.g තමාගේ ආරක්ෂාව ගැනවත් නොහිතපු පාවුල්ට අවශ්‍ය වුණේ රංග භූමියට ගිහින් රැස්ව සිටි සෙනඟට තිබුණ වැරදි වැටහීම නිවැරදි කිරීමටයි. නමුත් ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැකි නිසා ඔහු සමඟ සිටි ගෝලයන් එතනට යන්න එපා කියලා ඔහුට පෙරැත්ත කළා. ඒ අතරතුර රංග භූමියේ රැස්ව සිටි සෙනඟ අතරේ සිටි යුදෙව්වෙක් වුණ ඇලෙක්සැන්ඩර් සෙනඟව අමතන්න උත්සාහ කළා. සමහරවිට ඔහුට ඕනෙ වුණේ පාවුල්ගේ පණිවිඩය පිළි අරන් ක්‍රිස්තියානීන් වන අය යුදෙව්වන්ට වඩා වෙනස් බව සෙනඟට පෙන්වන්නයි. නමුත් ඒ තරම් ඝෝෂාවක් මැද සෙනඟ අමතන්න ඔහු දරපු උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඔහු යුදෙව්වෙක් බව තේරුම්ගත්ත ගමන්ම “එෆීසවරුන්ගේ ආටෙමිස් දේවතාවිය සදහටම වැජඹේවා” කියලා සෙනඟ නැවත කෑගහන්න පටන්ගත්තා. ඔවුන් මහත් හඬින් පැය දෙකක් විතර එහෙම කෑගැහුවා. අදත් ආගමේ නාමයෙන් කරන උද්ඝෝෂණ ඒ හා සමානයි. හුඟදෙනෙක් ඒ වගේ දේවලට සහභාගි වන්නේ වැඩිදුර හිතන්නේ බලන්නේ නැතුවයි. ඒ වගේ අවස්ථාවල ඔවුන් උමතුවෙන් ඉන්න නිසා ඔවුන්ට දේවල් පැහැදිලි කරලා දෙන්න බැහැ.—ක්‍රියා 19:28-34.
18, 19. (අ) නගරාධිපති සෙනඟව නිහඬ කළේ කොහොමද? (ආ) සමහර බලධාරීන් සාක්ෂිකරුවන්ට උදව් කරලා තියෙන්නේ කොහොමද? බලධාරීන්ට අපි ගැන හොඳ ආකල්පයක් ඇති කරන්න පුළුවන් කොහොමද?
18 පැය දෙකක් විතර කෑගගහා හිටිය සෙනඟව නිහඬ කිරීමට හැකි වුණේ නගරාධිපතිටයි. ඔහු සාධාරණව වැඩ කළ බුද්ධිමත් පුද්ගලයෙක්. ඔහු සෙනඟට කිව්වේ ඒ ක්‍රිස්තියානීන් ආටෙමිස් දේවතාවියට හා ඇගේ දේවස්ථානයට හිමි ගෞරවයට කිසිම හානියක් සිදු නොකරන බවයි. ඔහු තවදුරටත් කිව්වේ පාවුල්වත් ඔහුගේ මිත්‍රයන්වත් ආටෙමිස්ගේ දේවස්ථානයට විරුද්ධව කිසිම වරදක් කර නැති බවයි. කොහොමවුණත් කෙනෙක්ට විරුද්ධව යම් චෝදනාවක් තියෙනවා නම් මිනිසුන්ව රැස් කරලා මහ කෝලහලයක් ඇති කරනවා වෙනුවට ඒකේ ඇත්ත නැත්ත හොයලා බලන්න නිසි සැලැස්මක් තිබෙන බවත් ඔහු මතක් කරලා දුන්නා. ඒ සැලැස්මට අනුව වැඩ නොකරන එක රෝම නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව කියමින් ඔහු ඔවුන්ට අවවාද කළා. ඊටපස්සේ ඔහු සෙනඟව විසුරුවාහැරියා. සෙනඟ ඉක්මනින්ම කේන්ති අරන් වැඩ කළා වගේ ඉක්මනින්ම සන්සුන් වෙලා එතනින් ඉවත් වෙලත් ගියා.—ක්‍රියා 19:35-41.
19 සන්සුන්ව, දුර දිග බලලා වැඩ කරන නිලධාරියෙක් යේසුස්ගේ අනුගාමිකයන්ට උපකාර කළ මුල්ම අවස්ථාව මේක නෙවෙයි. අන්තිම කාලයෙත් ඒ වගේ උපකාර ලැබෙනවා කියලා යොහන් දුටු දර්ශනයකින් පැහැදිලි වෙනවා. ඒ දර්ශනයට අනුව ගංගාවක් තරම් විශාල පීඩා රැල්ලක් යේසුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව සාතන් ගෙනාවත් පොළොව ඒ පීඩා රැල්ල ගිලලා දැම්මා. ඒකෙන් අදහස් කළේ නීතිය හා සාමය රකින යම් ආයතන හෝ සංවිධාන යේසුස්ගේ අනුගාමිකයන්ගේ උපකාරයට එන බවයි. (එළි. 12:15, 16) දැනටමත් ඒක සත්‍යයක් බව ඔප්පු වෙලා තියෙනවා. නමස්කාර කටයුතුවල හවුල් වෙන්න හා ශුභාරංචිය අනිත් අයට කියන්න සාක්ෂිකරුවන්ට තියෙන අයිතිය ආරක්ෂා කරන්න හුඟක් අවස්ථාවලදී සාධාරණව වැඩ කරන විනිසුරුවන් පියවර අරන් තියෙනවා. ඔවුන්ගේ සිත් දිනාගැනීමට අපේ යහපත් හැසිරීම බලපාන්න පුළුවන් කියලත් අප මතක තබාගත යුතුයි. එෆීසයේ සිටි සමහර නිලධාරීන් පාවුල්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණ බවත් වාර්තාවේ සඳහන් වෙනවා. ඒකෙන් පැහැදිලි වන්නේ පාවුල්ගේ ආදර්ශවත් හැසිරීම නිසා ඒ නිලධාරීන්ට පාවුල් ගැන හොඳ ආකල්පයක් තිබුණ බවයි. (ක්‍රියා 19:31) අපත් නිතරම අවංකව හා අනුන්ට ගරු කරමින් වැඩ කරනවා නම් බලධාරීන්ට අප ගැන හොඳ ආකල්පයක් ඇති කිරීමට හැකි වෙනවා. අප බලාපොරොත්තු නොවන විදිහේ ප්‍රයෝජනත් ලැබිය හැකියි.
20. (අ) පළවෙනි සියවසේදී වගේම අදත් කාටවත් නවත්තන්න බැරි වෙන විදිහට දෙවියන්ගේ පණිවිඩය පැතිරෙනවා. ඒ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? (ආ) ඔබේ අදිටන මොකක්ද?
20 පළවෙනි සියවසේ ‘යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය පැතිරෙන එක නවත්තන්න කාටවත් බැරි වුණා’ කියලා දැනගත්ත එක අපට මොන තරම් දිරිගැන්වීමක්ද! අදත් යෙහෝවා අපට ඒ හා සමාන ජයග්‍රහණ ලබා දෙන්න පියවර අරන් තියෙනවා. ඒ වගේ ජයග්‍රහණවලට යම් විදිහකින් හවුල් වෙන්න ඔබත් කැමතිද? එහෙනම් අප බලපු ආදර්ශවලින් ඉගෙනගන්න. දිගටම නිහතමානීව වැඩ කරන්න. දිනෙන් දින ඉදිරියට ගමන් කරන දෙවියන්ගේ සංවිධානයෙන් දෙවියන් හෙළි කරන දේවලට එකඟව ඔබේ ජීවිතය වෙනස් කරගන්න. වෙහෙස මහන්සි නොබලා දිගටම සේවයේ හවුල් වන්න. සාතන්ට හා භූතයන්ට සම්බන්ධ දේවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. ඔබේ හැසිරීම ආදර්ශවත්ව තියාගැනීමෙන් අන් අයට දෙවියන් ගැන හොඳ සාක්ෂියක් දරන්න උත්සාහ කරන්න.
a “ආසියා පළාතේ අගනුවර වුණ එෆීසය” කියන කොටුව බලන්න.
b ඒ කියන්නේ පාළුකරයේදී මිනිසුන්ව බව්තීස්ම කළ යොහන්ගේ.
c පාවුල් පළවෙනි කොරින්ති පොත ලිව්වෙත් එෆීසයේ ඉන්න කාලයේ.
d මෙතන “රෙදි කෑලි” කීමෙන් අදහස් කළේ දහඩිය මුහුණට වැටෙන එක වළක්වන්න පාවුල් නළලේ බැන්ද රෙදි පටි විය හැකියි. “වැඩ කරද්දී උඩින් ඇඳපු ඇඳුම්” කියලා සඳහන් කරලා තියෙන එකෙන් තේරෙන්නේ පාවුල් දේශනා කරපු නැති අවස්ථාවලදී, සමහරවිට උදේ පාන්දර කූඩාරම් හදන වැඩේ යෙදෙන්න ඇති කියලයි.—ක්‍රියා 20:34, 35.
e ලූක් කියන්නේ ඒ පොත්වල වටිනාකම රිදී කාසි 50,000ක් වුණ බවයි. සමහරවිට ඒ රිදී කාසිය ඩිනාරි කාසියක් විය හැකියි. ඒක එහෙමනම් ඒ කාලයේ කම්කරුවෙක්ට ඒ මුදල උපයන්න සතියේ හැම දවසකම වැඩ කළත් දින 50,000ක් ඒ කියන්නේ අවුරුදු 137ක් විතර වැඩ කරන්න සිදු වෙනවා. අද කාලයට අනුව ඒ පොත්වල වටිනාකම රුපියල් කෝටි ගාණක් වෙනවා.
f පාවුල් කොරින්තිවරුන්ට ලියපු ලිපියේ “ඇත්තටම අපි හිතුවේ අපි මැරෙයි කියලා” කියන්න හේතුව මේ සිද්ධිය කියලා සමහරුන් කියනවා. (2 කොරි. 1:8) නමුත් ඒක ස්ථිරවම කියන්න බැහැ. සමහරවිට ඔහු එහෙම ලිව්වේ ඔහු මුහුණ දුන් ඊට වඩා දරුණු අවස්ථාවක් මනසේ තබාගෙන විය හැකියි. ‘එෆීසයේදී දරුණු වනසත්තු එක්ක සටන් කරන්න’ සිදු වුණ බවත් ඔහු එක අවස්ථාවක කිව්වා. (1 කොරි. 15:32) මේක ඇත්තටම රංග භූමියකදී වනසතුන් සමඟ කළ සටනක් විය හැකියි. නැත්නම් විරුද්ධවාදිකම්වලට මුහුණ දීම සතුන් සමඟ කිරීමට සිදු වන සටනකට ඔහු සමාන කළා විය හැකියි.
g විවිධ කර්මාන්තවල යෙදුණු අය යම් සංගම් පිහිටුවලා තිබුණා. සමාජයට සෑහෙන බලපෑමක් කරන්න ඒ වගේ වෘත්තීය සංගම්වලට හැකි වුණා. මේ සිද්ධියෙන් අවුරුදු සීයකට විතර පස්සේ එෆීසයේ බේකරි කර්මාන්තයේ යෙදුණු අයගේ සංගමය මේ හා සමාන කෝලහලයක් නගරයේ ඇති කළා.