ආත්ම පරිත්‍යාගය මොනවටද?
වයස අවුරුදු 50ගණන්වල සිටින පවුල්කාරයෙක් වන බිල්, ඉදි කිරීමේ තාක්ෂණය පිළිබඳව ආධුනිකයන් පුහුණු කරන්නෙක්. අවුරුද්ද පුරා ඔහු තමන්ගේම මුදල් වියදම් කරගෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් සඳහා රාජ්‍ය ශාලා ගොඩනැඟීමට සහ සැලසුම් කිරීමට ඔහු සති ගණනාවක් තිස්සේ සහය වෙනවා. එමා උගත්, සුදුසුකම් ඇති 22-හැවිරිදි තනිකඩ තරුණියක්. ඇය ඇගේ පෞද්ගලික ඉලක්ක සහ ආශා මුළුමනින්ම ලුහුබඳිනවා වෙනුවට, බයිබලය ඉගෙනගන්න අන් අයට උදව් කරමින් දේවසේවිකාවක් හැටියට සෑම මාසයකම පැය 70කට වැඩිය ගත කරනවා. මොරිස් සහ බෙටී විශ්‍රාමිකයන්. ජීවිතයේ සැඳෑ සමය සුව පහසුවෙන් ගත කරනවා වෙනුවට, පොළොව පිළිබඳ දෙවිගේ පොරොන්දු ගැන උගන්වන්න ඔවුන් වෙනත් රටකට පදිංචියට ගොස් තිබෙනවා.
මේ අය තමන්ව විශේෂ නැතහොත් අසාමාන්‍ය අය ලෙස සලකන්නේ නැහැ. ඔවුන් හරි දේ මොකක්ද කියල කල්පනා කර ඒ දේ කරන සාමාන්‍ය මිනිසුන්. එහෙත්, ඔවුන් ඔවුන්ගේ කාලය, ශක්තිය, හැකියාවන් සහ සම්පත් අනිත් අයගේ යහපත සඳහා පාවිච්චි කරන්නේ ඇයි? මේ දේ සඳහා ඔවුන්ව පොලඹවන්නේ දෙවි සහ අසල්වැසියා සඳහා තිබෙන ගැඹුරු ප්‍රේමයයි. ඒ ප්‍රේමය මේ සැමෝ තුළම නියම ආත්ම පරිත්‍යාගී ස්ප්‍රීතුවක් ජනිත කර තිබෙනවා.
ආත්ම-පරිත්‍යාගශීලී ස්ප්‍රීතුව යනු කුමක්ද? පැවිදි හෝ තපස් ජීවිතයක් ගත කිරීම ඉන් අදහස් කරන්නේ නැහැ. ජීවිතයෙන් අප ලබන ප්‍රීතිය සහ තෘප්තිය පරිත්‍යාග කරමින් ආශාවන් අන්තයටම මර්දනය කිරීම ඊට අයත් වන්නේත් නැහැ. ද ෂෝටර් ඔක්ස්ෆඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරි කියන විදිහට, ආත්ම පරිත්‍යාගය කීමෙන් සරලව අදහස් කරන්නේ, “කෙනෙකුගේ අවශ්‍යතා, ආශා සහ සතුට, යුතුකම් වෙනුවෙන් හෝ අන් අයගේ ශුභසාධනය වෙනුවෙන් හෝ කැප කිරීමයි.”
විශිෂ්ට ආදර්ශය වන යේසුස් ක්‍රිස්තුස්
ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුවක් ඇතුව සිටීම සම්බන්ධයෙන් විශිෂ්ටම ආදර්ශය වන්නේ දෙවිගේ ඒක ජාතක පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ය. පොළොවට එන්න කලින් ඔහුගේ ජීවිතය අපිට සිතාගන්නවත් බැරි තරම් ප්රබෝධජනක මෙන්ම තෘප්තිකර වූ බව ස්ථිරයි. ඔහුට ඔහුගේ පියා සමඟත් අදෘශ්‍යමාන ජීවීන් සමඟත් කුලුපග ආශ්‍රයක් තිබුණා. තවදුරටත්, දෙවිගේ පුත්‍රයා “ප්‍රධාන කර්මාන්තකාරයා” හැටියට, අභියෝගාත්මක මෙන්ම ආස්වාදජනක වැඩ සඳහා ඔහුගේ හැකියාවන් පාවිච්චි කළා. (හිතෝපදේශ 8:30, 31) මේ පොළොව මත සිටින ධනවත්ම පුද්ගලයා ජීවත් වන ආකාරයට වඩා ඉතා උසස් තත්වයකින් ඔහු ස්වර්ගයේ ජීවත් වූ බව නම් සහතිකයි. යෙහෝවා දෙවිට පසු, ස්වර්ගයේ උත්තරීතර සහ වරප්‍රසාද ලත් තත්වය හිමි වුණේ ඔහුටයි.
එහෙත්, දෙවිගේ පුත්‍රයා ඒ තත්වය ‘අත්හැර දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණියා.’ (පිලිප්පි 2:7) ඔහු මිනිසෙකු ලෙස ඉපදී සාතන් ඇති කළ හානිය නැති කිරීමට තම ජීවිතය මිදීමේ පූජාවක් ලෙස ඔප්පු කිරීම සඳහා තමාට තිබූ සියලුම සැප සම්පත් කැමැත්තෙන්ම අත්හැරියා. (උත්පත්ති 3:1-7; මාර්ක් 10:45) එයින් අදහස් කළේ සාතන් නමැති යක්ෂයාගේ බලය යටතේ සිටින පව්කාර මනුෂ්‍යවර්ගයා අතරේ වාසය කිරීමට පැමිණීමයි. (1 යොහන් 5:19) එයින් තවදුරටත් අදහස් කළේ තමන්ගේ පෞද්ගලික සුව පහසුව පසෙකලා දුෂ්කරතා විඳදරාගැනීමයි. කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස් තමන්ට කුමන පාඩුවක් විඳින්න සිදු වුණත් තම පියාගේ කැමැත්ත කරන්න අධිෂ්ඨාන කරගෙන සිටියා. (මතෙව් 26:39; යොහන් 5:30; 6:38) මෙය යේසුස්ගේ ප්‍රේමය සහ පක්ෂපාතකම අසීමිත ලෙස පරීක්ෂණයට ලක් කළා. තව මොන මොන දේවල් කැප කරන්න ඔහු කැමැත්තෙන් සිටියාද? ‘ඔහු යටහත් වී, මරණය එනම් වද කණුවේ මරණය දක්වා කීකරු වුණා.’—පිලිප්පි 2:8.
“එම මානසික ආකල්පයම තබාගන්න”
යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමට අපිව දිරිගන්වා තිබෙන්නේ මෙසේයි. “ක්‍රිස්තුස් යේසුස් තුළ තිබූ එම මානසික ආකල්පයම තබාගන්න.” (පිලිප්පි 2:5, NW) අපි මෙය කරන්නේ කොහොමද? එක් ක්‍රමයක් නම්, “තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් [බැලීමයි].” (පිලිප්පි 2:4) මන්ද සැබෑ ප්‍රේමය “තමාගේම කාරණා සොයන්නේ [නැහැ].”—1 කොරින්ති 13:5.
අන්‍යයන් ගැන සැලකිලිමත් වන අය ඔවුන්ට උදව් කිරීමේ පරමාර්ථයෙන් තමන් ගැනම නොතකා තමන්ගේ ජීවිත ඔවුන් වෙනුවෙන් කැප කර තිබෙනවා. කෙසේවෙතත්, අද සිටින බහුතරයක් තමන් ගැනම පමණයි සිතන්නේ. අද ලෝකයේ තිබෙන්නේ ‘ඉස්සෙල්ලාම මම’ කියන මානසික ආකල්පයයි. අපි දේවල් දිහා බලන ආකාරය සහ අපේ ආකල්ප මේ ලෝකයේ ස්ප්රීතුවට අනුව හැඩගැසෙන්න ඉඩහැරියොත් අපේ ආශාවන්ම ඉටු කරගැනීම ජීවිතයේ ප්රමුඛ දේ විය හැකි බැවින්, ඊට එරෙහිව අපව ආරක්ෂා කරගැනීමට අපිට සිදු වෙනවා. එහෙම නූණොත්, අපි කරන සෑම දෙයක්ම, ඒ කියන්නේ අපේ කාලය, ශක්තිය සහ අපේ සම්පත් පාවිච්චි කරන ආකාරය යනාදි සෑම දෙයක්ම පාලනය කරනු ලබන්නේ මුලින්ම අපි ගැන හිතලයි. ඒ නිසා අපි එම බලපෑමට විරුද්ධව සිටීමට දැඩි සටනක් කළ යුතුයි.
සමහරවිට හොඳ චේතනාවෙන් දෙනු ලබන උපදෙස් පවා අපේ ආත්ම පරිත්‍යාගී ස්ප්‍රීතුව දුර්වල කර දැමිය හැකියි. යේසුස් ආත්ම පරිත්‍යාගශීලිභාවය විදහාපෙන්වීමේදී එහි අන්තයටම යනවායයි සිතූ පේතෘස් “ස්වාමිනි, ඔබ ගැනත් ටිකක් හිතන්න” කියා පැවසුවා. (මතෙව් 16:22, NW) යේසුස් ඔහුගේ පියාගේ පරමාධිපත්‍යය සහ මනුෂ්‍යවර්ගයාගේ ගැළවීම උදෙසා මැරෙන්න පවා කැමතියි කියන කාරණය පිළිගැනීම පෙනෙන විදිහට පේතෘස්ට දුෂ්කර දෙයක් වුණා. ඒ නිසා යේසුස්ට කරුණු තේරුම් කර දී එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් යේසුව වැළැක්වීමට පේතෘස් උත්සාහ කළා.
“තමාගේ කැමැත්ත අත්හැර”
මේ අවස්ථාවේදී යේසුස් ප්‍රතික්‍රියා කළේ කෙසේද? “[ඔහු] හැරී, තමන් ගෝලයන් දැක, පේතෘස්ට සැරකරමින්: සාතන් මා පස්සට යව. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස [දෙවිගේ] කාරණා කල්පනාවට ගන්නේ නැත” කියා පැවසුවා. ඉන්පසු යේසුස් තම ගෝලයන් සහ සමූහයාව තමා ළඟට කැඳවා මෙසේ කිව්වා. ‘කවරෙක් නමුත් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේ කැමැත්ත අත්හැර, තමාගේ වද කණුව රැගෙන, මා අනුව ඒවා.’—මාර්ක් 8:33, 34.
යේසුස්ට උපදෙස් දී අවුරුදු 30ක් ගත වූවාට පසු, ආත්ම පරිත්‍යාගය කියන්නේ කුමක්ද කියා තමා වටහාගත් බව පේතෘස් පෙන්නුවා. වැඩිය වෙහෙස මහන්සි වීමෙන් වැළකීමටවත්, ඔවුන් ගැන පමණක්ම සිතන්නවත් ඔහු තම හවුල් ඇදහිලිවන්තයන්ව තවදුරටත් දිරිගැන්නුවේ නැහැ. ඒ වෙනුවට, වැඩිමනත් ක්‍රියාකාරකම්වලට මනස් සාදාගන්න කියාත්, කලින් මෙන් ලෝකයේ ආශාවන්ට ගැළපෙන ආකාරයට දේවල් කිරීමෙන් වැළකෙන්න කියාත් පේතෘස් ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. පරීක්ෂණ මධ්‍යයේ දෙවිගේ කැමැත්ත කිරීම ජීවිතයේ මුල් තැන තැබිය යුතුව තිබුණා.—1 පේතෘස් 1:6, 13, 14; 4:1, 2.
අපෙන් ඕනෑම කෙනෙකුට ලුහුබැඳිය හැකි වඩාත්ම විපාකදායී ජීවන මාර්ගය වන්නේ අපි ගැන අපිට තිබෙන අයිතිය යෙහෝවාට භාර කිරීමයි. එමෙන්ම, යේසුස් ක්‍රිස්තුස්ගේ අඩි පාරේ කිට්ටුවෙන් ගමන් කරමින් අපිට මඟ පෙන්වීමට දෙවිට ඉඩහැරීමයි. මේ සම්බන්ධයෙන් පාවුල් හොඳ ආදර්ශයක් තැබුවා. ඔහුගේ හදිසිතාවයේ හැඟීමත් යෙහෝවා කෙරෙහි කෘතඥපූර්වකත්වයත්, දෙවිගේ කැමැත්ත කිරීමෙන් ඔහු වෙනතක යැවිය හැකි ලෞකික අභිලාෂයන් සහ අපේක්ෂාවන් පසෙක ලෑමට පෙලඹුවා. ඔහු මේ ගැන කිව්වේ, “මම ඉතා සතුටින් මට ඇති දේ වියදම් කරන්නෙමි. මාව මුළුමනින්ම පාවිච්චි කරන්නෙමි” කියලයි. (2 කොරින්ති 12:15, NW) පාවුල් ඔහුගේ හැකියාවන් පාවිච්චි කළේ දේවකැමැත්ත කරන්න මිස තමන්ගේම කැමැත්ත ඉටු කරගන්න නෙවෙයි.—ක්‍රියා 20:24; පිලිප්පි 3:8.
ප්‍රේරිත පාවුල්ට තිබූ දෘෂ්ටියට සමාන දෘෂ්ටියක් අපිටත් තියෙනවාද කියා අපි පරීක්ෂා කර බලන්නේ කෙසේද? මේ වගේ ප්‍රශ්න අපිට අපෙන්ම අසාගත හැකියි. මම මගේ කාලය, මගේ ශක්තිය, මගේ හැකියාවන් සහ මගේ සම්පත් පාවිච්චි කරන්නේ කොහොමද? මම මේ දේවල් සහ අනිකුත් වටිනා දේවල් පාවිච්චි කරන්නේ මගේම කැමැත්ත කරගන්නද නැත්නම් අනිත් අයට උදව් කරන්නද? ශුභාරංචිය ප්‍රචාරය කිරීමේ ජීවිත ගළවන වැඩයේ තව වැඩියෙන් හවුල් වෙන්න මම කල්පනා කර තිබෙනවාද, සමහරවිට පූර්ණ කාලීන රාජ්‍යය ප්‍රචාරකයෙක් හැටියට? රාජ්‍ය ශාලා ඉදි කිරීමේ සහ නඩත්තු කිරීමේ කටයුතුවල තව පූර්ණ ලෙස යෙදෙන්ට මට පුළුවන්ද? අවශ්‍යතා තියෙන අයට උදව් කරන්න මම අවස්ථා සොයනවාද? මම යෙහෝවාට මගේ උපරිමය කරනවාද?—හිතෝපදේශ 3:9
‘දීමෙන් වැඩි සන්තෝෂයක්’
එහෙත්, ආත්ම පරිත්‍යාගශීලී වීම ඇත්තෙන්ම ඥානවන්තද? ඔව් ඇත්තෙන්ම! එවැනි ස්ප්‍රීතුවක් ඉතා විපාකදායී බව පාවුල් තම පෞද්ගලික අද්දැකීමෙන් දැන සිටියා. ඔහුට ඉන් මහත් සතුටක් සහ අතිවිශාල තෘප්තියක් ගෙන දුන්නා. ඔහු එපීසයේ වැඩිමහල්ලන්ව මිලේතසයේදී මුණගැසුණු අවස්ථාවේදී මේ බව පැහැදිලි කළා. පාවුල් මෙසේ පැවසුවා. “[ආත්ම පරිත්‍යාගශීලී ලෙස] වැඩකරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි [සන්තෝෂයකැයි, NW] ස්වාමිවූ [යේසුස්ම] කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයෙමි.” (ක්‍රියා 20:35) දැන් පවා එවැනි ස්ප්‍රීතුවක් විදහාපෑමෙන් මහත් සතුටක් ලබාගත හැකි බව දශලක්ෂ ගණනක් සෙනඟ දන්නවා. එමෙන්ම තමන්ගේ ආශාවන්ට වඩා දෙවිගේ සහ අනිත් අයගේ ආශාවන් මුලින් තබන අයට යෙහෝවා දෙන ආශීර්වාද හේතුවෙන් අනාගතයේදී ප්‍රීතිය අත් වෙන්න යනවා.—1 තිමෝති 4:8-10.
රාජ්‍ය ශාලා ඉදි කිරීමේ හවුල් වන අනිත් අයට උදව් වීමට ඒ තරම්ම වෙහෙස වුණේ ඇයි කියා බිල්ගෙන් ඇසූ විට ඔහු මෙසේ කියා සිටියා. “අපි පුංචි සභා කියලා සාමාන්‍යයෙන් හඳුන්වන සභාවන්ට උදව් කරන්න ලැබෙන එක මට පුදුමාකාර තෘප්තියක් ගෙන දෙනවා. මට තියෙන හැකියාවල් සහ දක්ෂතා අනිත් අය වෙනුවෙන් පාවිච්චි කරන එක මට ලොකු සතුටක්.” අනිත් අයට බයිබල් සත්‍යය ගැන උගන්වන්න එමා ඇගේ ශක්තිය සහ හැකියාව කැප කිරීමට තීරණය කළේ මන්ද? “වෙන දෙයක් කරනවයි කියන එක ගැන මට හිතාගන්නවත් බැහැ. මම තවමත් තරුණයි, යමක් කරන්න පුළුවන්. ඉතින් මට ඕනෙ කරන්නේ යෙහෝවාව සතුටු කරන්නත් අනිත් අයට උදව් කරන්නත් හැකි හැම දෙයක්ම කරන්නයි. ඉතින් යමක් මම යෙහෝවාට කැප කරනවා කියන්නේ මගෙ පැත්තෙන් කරන බොහෝම සුළු දෙයක් විතරයි. මම කරන්නේ යෙහෝවා මං වෙනුවෙන් කරල තියෙන දේවල් එක්ක බලද්දී, කරන්නම ඕන ටික විතරයි.”
මොරිස් සහ බෙටී, පවුල නඩත්තු කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළාට පසු දැන් විවේක සුවයෙන් ඔවුන්ගේ සැඳෑ සමය ගෙවන්නේ නැහැයි කියල ඔවුන්ට දුකක් දැනෙන්නේ නැහැ. ඔවුන් දැන් විශ්‍රාමිකයන් නිසා ඔවුන්ගේ ජීවිත දිගටම ප්‍රයෝජනවත් සහ අර්ථවත් ආකාරයෙන් ගත කරන්න ඔවුන්ට උවමනායි. “ඒ නිසා නිකම්ම ඉඳගෙන විවේක ගන්න අපිට උවමනාවක් නැහැ. පිටරටකට ගිහිල්ලා යෙහෝවා ගැන මිනිස්සුන්ට කියලා දෙන්න අපි කැමතියි. එතකොට අරමුණක් ඇති දෙයක යෙදිල ඉන්න අපිට දිගටම අවස්ථාව ලැබෙනවා” කියල ඔවුන් කියනවා.
ඔබගේ අධිෂ්ඨානයත් ආත්ම පරිත්‍යාගශීලී වීමටද? එහෙම නම්, ඒක ලෙහෙසි පහසු දෙයක් වෙන එකක් නැහැ. ඒ සඳහා අපේ අසම්පූර්ණ මිනිස් ආශාවන් සහ දෙවිව සතුටු කරන්න තිබෙන අවංක ආශාව යන කාරණා දෙක අතර නිරන්තර සටනක යෙදෙන්න අපිට සිදු වෙනවා. (රෝම 7:21-23) නමුත් ඒ සටන ජයගත හැකි වෙන්නේ අපේ ජීවිතවලට මඟ පෙන්වීම සඳහා අපි යෙහෝවාට ඉඩහැරියොත් පමණයි. (ගලාති 5:16, 17) ඔහුගේ සේවය තුළ අප ආත්ම පරිත්‍යාගශීලීව කරන වැඩ කොටස නිසැකවම ඔහුගේ මතකයේ නොමැකී තියෙන අතර, එය අපිට මහත් ආශීර්වාද ගෙනේවි. ඇත්තටම යෙහෝවා දෙවි ‘අහසේ කවුළු ඇර ඇති තරම් ආශීර්වාද වගුරුවන’ බව අපිට නිසැකයි.—මලාකී 3:10; හෙබ්‍රෙව් 6:10.
[23වන පිටුවේ පින්තූරය]
යේසුස්ට ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුවක් තිබුණා. ඔබටත් තිබෙනවාද?
[24වන පිටුවේ පින්තූර]
පාවුල් තම ප්රයත්නයන් රාජ්‍යය දේශනා කිරීමේ වැඩය මත කේන්ද්‍රගත කළා