ගමාලියෙල් තාර්සස්හි සාවුල්ට ඉගැන්වීය
සෙනඟ නිහඬව සිටියහ. ස්වල්ප මොහොතකට පෙර, ඔවුහු ප්‍රේරිත පාවුල්ට දරුණු ලෙස පහර දුන්හ. තාර්සස්හි සාවුල් නමින්ද හඳුන්වනු ලැබූ ඔහුව, රෝම හේවායන් විසින් බේරාගනු ලැබූ අතර, දැන් ඔහු යෙරුසලමේ දේවමාළිගාව අසල පඩිපෙළ මත සිටගෙන ජනයාට මුහුණට මුහුණලා සිටී.
නිශ්ශබ්ද වීම සඳහා අතින් සංඥා කොට, පාවුල් හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරන්ට පටන්ගෙන මෙසේ පැවසීය: “සහෝදරයෙනි, පියවරුනි, මා දැන් නුඹලාට කියන්නාවූ මාගේ විත්තිය අසාපල්ලා. . . . මම කිලිකියේ තාර්සස්හි උපන් යුදෙව්වෙක්ය, නුමුත් මේ නුවර වැඩී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාදමූලයෙහි උගන්වනු ලැබ, අද නුඹලා සියල්ලන් සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ ගැන ජ්වලිතව සිටියෙමි.”—ක්‍රියා 22:1-3.
සිය ජීවිතය අනතුරේ තිබියදී, ගමාලියෙල්ගෙන් ඉගෙනගත් බව පවසමින් පාවුල් තමාගේ විත්තිය ඉදිරිපත් කළේ මන්ද? ගමාලියෙල් යනු කවරෙක්ද, ඔහුගෙන් ඉගෙනගනු ලැබීමට අයත් වූයේ කුමක්ද? සාවුල් ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් බවට පත්වීමෙන් පසුව පවා මෙම පුහුණුව ඔහුට බලපෑවේද?
ගමාලියෙල් යනු කවරෙක්ද?
ගමාලියෙල් ප්‍රසිද්ධ ඵරිසිවරයෙකි. ඔහු ඵරිසිවරුන්ගේ යුදෙව්වාදය හා සම්බන්ධ ප්‍රධාන චින්තන ප්‍රවාහ දෙකෙන් එකක් බිහි කළ ජ්‍යෙෂ්ඨ හිලෙල්ගේ මුනුපුරාය.a හිලෙල් ඉගැන්වූ ආකාරය ඔහුගේ ප්‍රතිවාදියා වූ ෂාම්මිට වඩා සාධාරණ බව සලකනු ලැබීය. පොදු යුගයේ 70දී යෙරුසලමේ දේවමාළිගාව විනාශ වීමෙන් පසු, බෙට් ෂාම්මිට (ෂාම්මිගේ පෙළපත) වඩා බෙට් හිලෙල්ට (හිලෙල්ගේ පෙළපත) වැඩි කැමැත්තක් දක්වනු ලැබීය. දේවමාළිගාවේ විනාශයත් සමඟම අනෙකුත් සියලු නිකායන් පහව ගිය නිසා, හිලෙල්ගේ පෙළපත යුදෙව්වාදයේ නිල ප්‍රකාශය බවට පත් විය. බෙට් හිලෙල්ගේ තීරණ බොහෝවිට තල්මුඩයේ අත්තිවාරම බවට පත් වූ මිෂ්නාහි අන්තර්ගත යුදෙව් නීතිවල පදනම වූ අතර, ගමාලියෙල්ගේ බලපෑම බෙට් හිලෙල්ගේ තීරණ බලපැවැත්වීමට ප්‍රධාන සාධකයක් වූ බව පෙනේ.
ගමාලියෙල්ව කොතරම් උතුම් කොට සැලකුවාද කිවහොත්, රබ්බි යන පදවියට වඩා උසස් පදවියක් නියෝජනය කරන රබ්බන් යන නමින් හැඳින්වූ ප්‍රථම තැනැත්තා ඔහු විය. ඇත්තෙන්ම, ගමාලියෙල් කෙතරම් උසස් ලෙස ගරු කරනු ලැබූ පුද්ගලයෙකු වූවාද කිවහොත්, මිෂ්නාහි ඔහු ගැන මෙසේ සඳහන් වේ: “ජ්‍යෙෂ්ඨ රබ්බන් ගමාලියෙල් මියගිය විට ටෝරාහි තේජස පහ වී ගිය අතර, නිර්මලත්වය සහ ධර්මිෂ්ඨබව [පදගතාර්ථයෙන් “වෙන්ව සිටීම”] අතුරුදහන් විය.”—සොටා 9:15
ගමාලියෙල් විසින් උගන්වන ලදි—කෙසේද?
තමාට ‘ගමාලියෙල්ගේ පාදමූලයෙහි උගන්වනු ලැබූ’ බව පාවුල් යෙරුසලමේ රැස්ව සිටි සෙනඟට පැවසූ විට, ඔහු අදහස් කළේ කුමක්ද? ගමාලියෙල් වැනි ගුරුවරයෙකුගේ ගෝලයෙකු වීමට සම්බන්ධ වූයේ කුමක්ද?
එම පුහුණුව සම්බන්ධයෙන් අමෙරිකාවේ යුදෙව් දේවධර්ම සෙමනේරියේ මහාචාර්ය ඩෝව් ස්ලොට්නික් මෙසේ ලියයි: “වාචික ව්‍යවස්ථාවේ නිරවද්‍යතාව හා විශ්වසනීයත්වය මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ, ව්‍යවස්ථාව ඉගැන්වීමේදී ගුරුවරයා දක්වන සැලකිල්ල හා එය ඉගෙනගැනීමේදී ගෝලයාගේ උනන්දුව යන ගුරු-ගෝල සබඳතාව මතය. . . . එමනිසා ගුරුවරුන්ගේ පාද අසලම හිඳගැනීමටත්, . . . ‘ඔවුන් පවසන වදන් පිපාසයෙන් යුතුව පානය කිරීමටත්’, ගෝලයන්ගෙන් උදක්ම ඉල්ලා සිටින ලදි.”—ඇවට් 1:4, මිෂ්නා.
ඒ හිස්ටරි ඔෆ් ද ජුවිෂ් පීපල් ඉන් ද ටයිම් ඔෆ් ජීසස් ක්රයිස්ට් නමැති සිය කෘතියේ, එමීල් ෂ්යූර්, පළමු සියවසේ රබ්බිවරුන්ගේ සම්ප්‍රදායන් අනුගමනය කළ ගුරුවරුන්ගේ ක්‍රම හා විධි පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙයි. ඔහු මෙසේ ලියයි: “සුප්‍රකට රබ්බිවරු බොහෝවිට උපදෙස් ලබාගැනීමේ අභිලාෂය ඇති යෞවනයන් විශාල සංඛ්‍යාවක් ඔවුන් වෙතට රැස් කළෝය. එහි අරමුණ වූයේ, විවිධ පැතිවලින් යුත්, එමෙන්ම බොහෝ අදහස් ඇති ‘වාචික ව්‍යවස්ථාව’ ඔවුන්ට හොඳින් කියා දීමයි. . . . වෙහෙස මහන්සිය නොබලා කළ අඛණ්ඩ අභ්‍යාසයක් මෙම ඉගැන්වීමට ඇතුළත් විය. . . . ගුරුවරයා සිය ශිෂ්‍යයන්ගේ අදහස් දැනගැනීම සඳහා නීතියට සම්බන්ධ විවිධාකාර ප්‍රශ්න ඔවුන්ට ඉදිරිපත් කළ අතර, උත්තර සැපයීමට ඔවුන්ට ඉඩහරිනු ලැබේ, නැතහොත් ඔහු විසින් ඒවාට උත්තර සපයනු ලැබේ. ගුරුවරයාගෙන් අදහස් විමසීමටද ශිෂ්‍යයන්ට ඉඩහරිනු ලැබීය.”
රබ්බිවරුන්ගේ දෘෂ්ටිකෝණයට අනුව, නිකම්ම සාමාන්‍ය සාමර්ථයක් ලබාගන්නවාට වඩා ඉහළ මට්ටමක් ශිෂ්‍යයන්ගෙන් අපේක්ෂා කෙරිණ. එවැනි ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබන්නන්ට මෙසේ අවවාද කර තිබිණ: “තමා ඉගෙනගත් දේවල්වලින් එක දෙයක්වත් අමතක කරන කවරෙකු හෝ වේවා—ශුද්ධ ලියවිල්ලට අනුව, එය ඔහුට ජීවිතය හා මරණයට සම්බන්ධ කාරණයක් වනවා ඇත.” (ඇවට් 3:8) “එක් ජල බින්දුවක්වත් අපතේ නොයන, කපරාරු කළ ළිඳක්” හා සමාන ශිෂ්‍යයාව මහත් ප්‍රශංසාවට ලක් කරන ලදි. (ඇවට් 2:8) තාර්සස්හි සාවුල් යන තම හෙබ්‍රෙව් නමින් එවකට හඳුන්වනු ලැබූ පාවුල්, ගමාලියෙල්ගෙන් එවන් පුහුණුවක් ලබාගත්තේය.
ගමාලියෙල්ගේ ඉගැන්වීම්වල සැබෑ අර්ථය
ඵරිසිවරුන්ගේ ඉගැන්වීම් සමඟ අනුකූල වෙමින්, ගමාලියෙල් වාචික ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසයට අනුබල දුන්නේය. මෙලෙස, ඔහු දේවානුභාවය ලත් ශුද්ධ ලියවිල්ලට වඩා රබ්බිවරුන්ගේ සම්ප්‍රදායන් වැඩියෙන් අවධාරණය කළේය. (මතෙව් 15:3-9) ගමාලියෙල් මෙසේ පැවසූ බව මිෂ්නා උපුටා දක්වයි: “ගුරුවරයෙකු [රබ්බිවරයෙකු] ළඟට ගොස් ඔබගේ සැක දුරු කරගන්න, මන්දයත් අනුමාන කිරීමෙන් අමතර දසයෙන් කොටසක් ඔබ නොදිය යුතු බැවිනි.” (ඇවට් 1:16) හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි කළ යුතු දෙය නිශ්චිතව නොපැවසූ විට, පුද්ගලයෙකුට තීරණයක් ගැනීමට ඔහුගේම තර්ක කිරීමේ හැකියාව හෝ හෘදය සාක්ෂියට අනුව ක්‍රියා කළ නොහැකි බව මෙයින් අදහස් කෙරිණ. ඒ වෙනුවට, තමා වෙනුවෙන් තීරණයක් ගැනීමට ඔහු සුදුසුකම් ලත් රබ්බිවරයෙකු වෙත යා යුතුව තිබිණ. ගමාලියෙල් පැවසූ පරිදි, පුද්ගලයෙකුට පව් කිරීමෙන් වැළකිය හැක්කේ මෙයාකාරයෙන් පමණි.—රෝම 14:1-12, සසඳන්න.
කෙසේවුවද, ධර්මයට සම්බන්ධ නීතිමය තීරණ ගනිද්දී වඩාත් ඉවසන, සැහැල්ලු ආකල්පයක් දරන කෙනෙකු වශයෙන් ගමාලියෙල්ව සාමාන්‍යයෙන් පිළිගන්නා ලදි. නිදසුනක් වශයෙන්, “[ඇගේ ස්වාමිපුරුෂයාගේ මරණය පිළිබඳව] එක් සාක්ෂිකරුවෙකුගේ සාක්කිය මත භාර්යාවකට නැවත විවාහ වීමට ඉඩ දෙන බවට” ඔහු තීරණය කළ විට, හෙතෙම ස්ත්‍රීන් කෙරෙහි සැලකිල්ලක් දැක්වීය. (යවමොට් 16:7, මිෂ්නා) ඊට අමතරව, දික්කසාද කළ ස්ත්‍රියක ආරක්ෂා කිරීම සඳහා, දික්කසාද ලියවිල්ලක් නිකුත් කිරීමේදී තහංචි ගණනාවක් ගමාලියෙල් විසින් හඳුන්වා දෙන ලදි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුල් අනුගාමිකයන් සමඟ ගමාලියෙල් කටයුතු කළ ආකාරයෙන්ද මෙම ස්වභාවය දැකගත හැක. දේශනා කිරීම නිසා තමන් විසින් අත්අඩංගුවට ගත් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන්ව මරන්ට යුදෙව් නායකයන් උත්සාහ කළ විට සිදු වූ දෙය ක්‍රියා පොතේ මෙසේ වාර්තා වේ: “ව්‍යවස්ථාචාර්යයෙක්වූ, සියලු මනුෂ්‍යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්‍යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ: ඉශ්රායෙල් මනුෂ්‍යයෙනි, නුඹලා මේ මනුෂ්‍යයන්ට කරන්ට යන කාරණය ගැන ප්‍රවේසම්වෙයල්ලා. . . . ඉඳින් මා නුඹලාට කියන්නේ නම්, මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් නොකරන ලෙසය. . . . එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධකරන්නහුවන්ට පුළුවන.” ගමාලියෙල්ගේ උපදේශය පිළිගනු ලැබූ අතර, ප්‍රේරිතයන්ව නිදහස් කරන ලදි.—ක්‍රියා 5:34-40.
පාවුල්ට එයින් අදහස් කළේ කුමක්ද?
පළමු සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම රබ්බි ගුරුවරුන්ගෙන් කෙනෙකු විසින් පාවුල්ට පුහුණුව හා අධ්‍යාපනය ලබා දෙන ලදි. පාවුල් ගමාලියෙල් ගැන සඳහන් කිරීම, යෙරුසලමේ රැස්ව සිටි ජනයාගේ විශේෂ අවධානය ඔහුගේ දේශනයට යොමු කරවාගැනීමට නිසැකවම හේතු විය. එහෙත් ගමාලියෙල්ට වඩා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකු වූ මෙසියස් වන යේසුස්වහන්සේ ගැන ඔහු ඔවුන්ට කතා කළේය. පාවුල් රැස්ව සිටි සෙනඟ ඇමතුවේ ගමාලියෙල්ගේ නොව, යේසුස්වහන්සේගේ ගෝලයෙකු ලෙසය.—ක්‍රියා 22:4-21.
ගමාලියෙල්ගෙන් ලැබූ පුහුණුව, ක්‍රිස්තියානියෙකු වශයෙන් පාවුල්ගේ ඉගැන්වීම්වලට බලපෑවාද? ශුද්ධ ලියවිලි හා යුදෙව් නීතිය සම්බන්ධයෙන් පාවුල් ලැබූ දැඩි උපදෙස්, ක්‍රිස්තියානි ගුරුවරයෙකු වශයෙන් ඔහුට ප්‍රයෝජනවත් වන්ට ඇත. එහෙත්, ගමාලියෙල් විසින් අනුගමනය කරන ලද ඵරිසිවරුන්ගේ විශ්වාසයන්වල සාරය ඔහු ප්‍රතික්ෂේප කළ බව, බයිබලයේ සඳහන් වන පාවුල්ගේ දේවානුභාවය ලත් ලිපිවලින් පැහැදිලි වේ. පාවුල් තම සහකාර යුදෙව්වන් ඇතුළු සියලුදෙනාවම මඟ පෙන්වූයේ යුදෙව්වාදයේ රබ්බිවරුන් හෝ මිනිස් සම්ප්‍රදායන් වෙත නොව, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතටය.—රෝම 10:1-4.
පාවුල් දිගටම ගමාලියෙල්ගේ ගෝලයෙකුව සිටියා නම්, ඔහුට මහත් නම්බුවක් අත්වනවාට කිසිදු සැකයක් නැත. ගමාලියෙල්ගේ අනික් සහචරයෝ යුදෙව් ධර්මයේ අනාගතය ගොඩනැඟීමට උපකාර කළහ. නිදසුනක් වශයෙන්, සමහරවිට පාවුල්ගේ සහකාර ශිෂ්‍යයෙක් විය හැකි ගමාලියෙල්ගේ පුත්‍රයා වන සිමියොන්, රෝමයට එරෙහිව කළ යුදෙව් කැරැල්ලේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. දේවමාළිගාව විනාශ වීමෙන් පසු, ගමාලියෙල්ගේ මුනුපුරා වන IIවන ගමාලියෙල් යුදෙව් මන්ත්‍රණ සභාවේ අධිකාරිය යළි පිහිටුවා, එම මන්ත්‍රණ සභාව යාව්නේ ගම්මානයට ගෙන ගියේය. දෙවන ගමාලියෙල්ගේ මුනුපුරා වන යුදා හා-නාසි, අපගේ දවස දක්වා යුදෙව් චින්තනයේ පදනම බවට පත් වී තිබෙන මිෂ්නා ග්‍රන්ථයේ සම්පාදකයා විය.
ගමාලියෙල්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් යුදෙව් ධර්මයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වීමට තාර්සස්හි සාවුල්ට ඉඩ තිබිණ. එහෙත්, එවන් වෘත්තියක් සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලීවේය: “මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස්වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලුදේ මට නැතිවී ගියා පමණක් නොව, ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිස[ය].”—පිලිප්පි 3:7, 8.
ඵරිසිවරයෙකු වශයෙන් තම වෘත්තිය පසෙක දමා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමෙන්, “දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධ[කිරීමට]” එරෙහිව තමාගේ මුල්ම ගුරුවරයා දුන් අවවාදය පාවුල් ප්‍රායෝගිකව අදාළ කරගනිමින් සිටියේය. යේසුස්වහන්සේගේ ගෝලයන්ට සිදු කළ පීඩා නතර කිරීමෙන්, පාවුල් දෙවියන්වහන්සේට එරෙහිව සටන් කිරීම අත්හැරියේය. ඒ වෙනුවට, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමෙන් ඔහු ‘දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරුවන්ගෙන්’ කෙනෙකු බවට පත් විය.—1 කොරින්ති 3:9.
අපගේ දවසේ සිටින යෙහෝවඃවහන්සේගේ ජ්වලිතවත් සාක්ෂිකරුවන් විසින් සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ පණිවිඩය දිගටම ප්‍රකාශ කරනු ලැබේ. පාවුල් හා සමානව, මොවුන්ගෙන් බොහෝදෙනෙකු සිය ජීවිතවල ප්‍රබල වෙනස්කම් සිදු කර තිබේ. සැබවින්ම “දෙවියන්වහන්සේගෙන්” ලැබූ වැඩක් වන රාජ්‍ය දේශනා කිරීමේ කර්තව්‍යයෙහි පුළුල් ලෙස හවුල්වීම සඳහා සමහරෙකු වාසි ප්‍රයෝජන ගෙන දෙන වෘත්තීන් අත්හැර තිබේ. (ක්‍රියා 5:39) පාවුල්ගේ කලින් ගුරුවරයා වූ ගමාලියෙල්ව අනුගමනය නොකර, පාවුල්ගේ ආදර්ශය අනුගමනය කිරීම ගැන ඔවුන්ට කෙතරම් සන්තෝෂ විය හැකිද!
[පාදසටහන]
a ගමාලියෙල් හිලෙල්ගේ පුත්‍රයා වූ බව ඇතැම් මූලාශ්රවල සඳහන් වේ. මේ කාරණය සම්බන්ධයෙන් තල්මුඩයෙහි සඳහන් වන දෙය පැහැදිලි නැත.
[28වන පිටුවේ පින්තූරය]
ප්‍රේරිත පාවුල් වශයෙන් තාර්සස්හි සාවුල් සියලු ජාතීන්ට අයත් ජනයන්ට ශුභාරංචිය ප්‍රකාශ කළේය