පහත වැටුණු මාංසය කෙරෙහි පාපයේ ග්‍රහණයට එරෙහිව සටන් වැදීම
“මාංසයේ ඇල්ම මරණයයි; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.”—රෝම 8:6.
1. මනුෂ්‍යයන් මවනු ලැබුවේ කිනම් අරමුණක් සඳහාද?
“දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.” (උත්පත්ති 1:27) ස්වරූපයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ යම් වස්තුවක නැතහොත් ප්‍රභවයක ප්රතිබිම්බයකි. මෙසේ, මනුෂ්‍යයන් මවනු ලැබුවේ දෙවියන්වහන්සේගේ මහිමයේ ප්‍රතිබිම්බයක් වනු පිණිසය. තමන්ගේ අධිෂ්ඨාන පූර්වක ක්‍රියාකාරකම්වල දිව්‍ය ගුණාංග—එනම්, ප්‍රේමය, යහපත්කම, යුක්තිය හා ආත්මිකත්වය වැනි ගුණාංග—විදහා පෙන්වීමෙන් ඔවුන් මැවුම්කරුවාණන්ට ප්‍රශංසාව හා ගෞරවය මෙන්ම තමන්ට සන්තෝෂය හා තෘප්තියද ගෙනෙනු ඇත.—1 කොරින්ති 11:7; 1 පේතෘස් 2:12.
2. පළමු මනුෂ්‍ය යුවළ නියම මට්ටම අත්කරගැනීමට අපොහොසත් වූයේ කෙසේද?
2 පරිපූර්ණත්වයෙන් මවන ලද, පළමු මනුෂ්‍ය යුවළ, මෙම කාර්ය භාරය සඳහා හොඳින් සන්නද්ධව සිටියහ. ඉතා හොඳින් ඔප දමන ලද කැඩපත් මෙන්, දීප්තියෙන් හා නිවැරදි බවෙන් යුක්තව දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රතිබිම්බනය කිරීමට ඔවුහු සමර්ථව සිටියහ. කෙසේවෙතත්, ඔවුන් සිය මැවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේට අකීකරු වීමට හිතාමතාම තෝරාගත් විට, ඔවුහු එම උසස් නිමාවේ ඔපය කෙලෙසීමට ඉඩහළහ. (උත්පත්ති 3:6) ඉන් අනතුරුව, ඔවුන්ට තවදුරටත් දෙවියන්වහන්සේගේ මහිමය, අංග සම්පූර්ණව ප්‍රතිබිම්බනය කළ නොහැකි විය. දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවනු ලැබීමේ අරමුණ අහිමි කරගනිමින්, ඔවුහු දෙවියන්වහන්සේගේ මහිමයෙන් පහත වැටුණාහ. වෙනත් වචනවලින් කියතොත්, ඔවුහු පව් කළහ.a
3. පාපයේ සැබෑ ස්වභාවය කුමක්ද?
3 මෙය අපට තේරුම් ගැනීමට උපකාර කරන්නේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය හා මහිමය මනුෂ්‍යයා විසින් ප්‍රතිබිම්බනය කිරීමට බාධා පමුණුවන්නාවූ පාපයේ සැබෑ ස්වභාවයයි. පාපය මිනිසාව අශුද්ධ කරවයි, එනම්, ආත්මික හා සදාචාරමය වශයෙන් අපවිත්‍ර හා ඔපය කෙලෙසුණු තත්ත්වයකට පත් කරවයි. සියලු මිනිස්වර්ගයා, ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන් වන බැවින්, උපත ලබා සිටින්නේ එම ඔපය කෙලෙසුණු හා අපවිත්‍ර තත්ත්වයෙන්ය, එනම්, තමන්වහන්සේගේ දරුවන් හැටියට ඔවුන්ගෙන් දෙවියන්වහන්සේ අපේක්ෂා කරන මට්ටම පැවැත්විය නොහැකි තත්ත්වයකය. එමෙන්ම එහි ප්‍රතිඵලය? බයිබලය මෙසේ පැහැදිලි කරයි: “එහෙයින් එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12; සසඳන්න යෙසායා 64:6.
පහත වැටුණු මාංසය කෙරෙහි පාපයේ ග්‍රහණය
4-6. අද දවසේ බොහෝ දෙනෙක් පාපය දෙස බලන්නේ කෙසේද? (ආ) පාපය පිළිබඳ නූතන දෘෂ්ටීන්වල ප්‍රතිඵලය කුමක්ද?
4 අද දවසේ වැඩි දෙනෙක් තමන් අපවිත්‍ර, ඔපය කෙලෙසුණු, නැතහොත් පව්කාර තත්ත්වයක සිටින්නේ යයි කල්පනා නොකරති. ඇත්තවශයෙන්ම, වචනයක් හැටියට, පාපය, මුළුමනින්ම පාහේ වැඩි දෙනෙකුගේ වාග්මාලාවෙන් පහව ගොස් ඇත. ඔවුන් ඇතැම්විට දෝෂ, අවිචාරය හා වැරදි ලෙස ගණනය කිරීම ගැන කථා කරන්නට පුළුවන. එහෙත් පාපය ගැන ඔවුන් කථා කරනවාද? කොහෙත්ම නැත! දෙවියන්වහන්සේ විශ්වාස කරන්නේ යයි වැඩිදුරටත් කියා සිටින අයට පවා, “උන්වහන්සේගේ ඉගැන්වීම්වල අඩංගුව තිබුණේ සදාචාරමය සංග්‍රහයකට වඩා සදාචාර විශ්වාසයන් මාලාවකි, ආඥා 10ක් නොව යෝජනා 10කි” යනුවෙන් සමාජවේදය පිළිබඳ මහාචාර්ය ඇලන් වොල්ෆ් නිරීක්ෂණය කරයි.
5 මෙයාකාරයෙන් කල්පනා කිරීමේ ප්‍රතිඵලය කුමක්ද? පාපයේ යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම, නැතහොත් අඩුතරමින් එය නොසලකා සිටීමය. මෙය බිහිකර ඇත්තේ, හරි හා වැරදි පිළිබඳව අතිශයින් විරූප වූ හැඟීමක් ඇති හැසිරීම පිළිබඳ තමන්ගේම ස්ථාවරයන් පිහිටුවා ගැනීමට නිදහස්බව හැඟෙන්නාවූද, තමන් කිරීමට තෝරා ගන්නා ඕනෑම දෙයක් වෙනුවෙන් යමෙකුට ගණන් දිය යුතු නැතැයි හැඟෙන්නාවූද මිනිස් පරපුරකි. එවන් අයට, යම් ක්‍රියා මාර්ගයක් උචිතද නැද්ද යන්න නිශ්චය කිරීමේ එකම මිනුම් තලය වන්නේ තමන්ට ඒ ගැන හැඟෙන ආකාරයයි.—හිතෝපදේශ 30:12, 13; සසඳන්න ද්විතීය කථාව 32:5, 20.
6 උදාහරණයක් වශයෙන්, රූපවාහිනි පිළිසඳර වැඩසටහනක, මුල් අගුණ පාප හත ගැන තමන්ගේ අදහස් දක්වන්නට යෞවනයන්ව කැඳවනු ලැබීය.b “උඩඟුකම පාපයක් නොවේ,” යයි සහභාගි වූ එක් අයෙක් පැවසුවේය. “තමාට තමන් ගැන හොඳ හැඟීමක් තිබිය යුතුයි.” අලසකම ගැන තවත් කෙනෙක් පැවසුවේ මෙසේය: “ඇතැම් අවස්ථාවල එසේ සිටීම වාසිදායකයි . . . ඇතැම් අවස්ථාවල ටිකක් විවේක ගනිමින් ඔබට පෞද්ගලිකව කාලය ලබා දීම හොඳයි.” සාකච්ඡාව මෙහෙයවූ තැනැත්තා පවා මෙම ලුහුඬු අදහස ඉදිරිපත් කළේය: ‘මුල් අගුණ පාප හත වනාහි නපුරු ක්‍රියාවන් නොවනමුත්, ඒ වෙනුවට, ඒවා හිරිහැර පැමිණවිය හැකි මෙන්ම මහත් ප්‍රීතියක් ලබා දිය හැකි පොදු මානව පෙලඹීම් වන්නේය.’ එසේය, වරදකාරකම පිළිබඳ හැඟීමද පාපය සමඟ පහව ගොස් ඇති යමක් වන්නේය, මන්දයත් වරදකාරකම හොඳ හැඟීමක් දැනීමේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය වන නිසාය.—එපීස 4:17-19.
7. බයිබලයට අනුව, පාපයෙන් මනුෂ්‍යයන්ට බලපෑම් ලැබෙන්නේ කෙසේද?
7 මේ සියල්ලකටම වඩා පටහැනිව, බයිබලය පැහැදිලිව පවසන්නේ “සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති” යනුවෙනි. (රෝම 3:23) ප්‍රේරිත පාවුල් පවා මෙසේ පිළිගත්තේය: “මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය. නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.” (රෝම 7:18, 19) පාවුල් මෙහිදී තමන් ගැනම අනුකම්පාවෙන් කටයුතු කරමින් සිටියේ නැත. ඒ වෙනුවට මනුෂ්‍යවර්ගයා දෙවියන්වහන්සේගේ මහිමයෙන් කොතරම් දුරට පහත වැටී සිටියේදැයි ඔහු සම්පූර්ණයෙන් තේරුම් ගත් බැවින්, පහත වැටුණු මාංසය කෙරෙහි පාපයේ ග්‍රහණය ඔහු වඩාත් තියුණුව තේරුම්ගෙන සිටියේය. “අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?” යයි ඔහු ප්‍රකාශ කළේය.—රෝම 7:24.
8. අප අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න කවරේද? ඒ මන්ද?
8 මේ විෂය ගැන ඔබේ දෘෂ්ටිය කුමක්ද? ආදම්ගෙන් පැවතෙන්නෙකු හැටියට, ඔබත්, අන් සියල්ලන් හා සමානව, අසම්පූර්ණ යයි ඔබ ඒත්තුගන්නවා විය හැක. එහෙත් එම දැනුම ඔබගේ කල්පනාවට හා ඔබගේ ජීවිත රටාවට බලපාන්නේ කෙසේද? එය ජීවිතයේ පවතින තත්ත්වයක් හැටියට පිළිගනිමින්, ඔබගේ සහජ නැඹුරුවාවන් අනුව හුදෙක් කටයුතු කරන්නට යනවාද? එසේත් නැතහොත් ඔබ කරන්නාවූ සියල්ලෙහි දෙවියන්වහන්සේගේ මහිමය හැකිතාක් දීප්තිමත්ව ප්‍රතිබිම්බනය කිරීමට උත්සාහ කරමින්, පහත වැටුණු මාංසය කෙරෙහි පාපයේ ග්‍රහණයට එරෙහිව සටන් කිරීමට ඔබ නිරන්තර වෑයමක් දරන්නෙහිද? මතු සඳහන් පාවුල්ගේ වදන් කල්පනා කර බලන විට, මෙය අප සෑම කෙනෙකුගේම දැඩි සැලකිල්ලට යොමු විය යුතුය: මාංසය අනුව හැඩගැසී සිටින අය තම මනස් මාංසික දේවල් කෙරෙහි යොමු කරති, නමුත් ආත්මය අනුව හැඩගැසී සිටින අය ආත්මික දේවල් කෙරෙහි යොමුවෙති. මන්දයත් මාංසයේ ඇල්ම මරණය අදහස් කරන හෙයිනි; නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය අදහස් කරන හෙයිනි.”—රෝම 8:5, 6, NW.
මාංසයේ ඇල්ම
9. “මාංසයේ ඇල්ම මරණය අදහස් කරන” බව කියන්නේ මන්ද?
9 “මාංසයේ ඇල්ම මරණය අදහස් කරයි” යයි පැවසූ විට, පාවුල් අදහස් කළේ කුමක්ද? ‘මාංසය’ යන වදන බයිබලයේ බොහෝවිට භාවිතා කර ඇත්තේ කැරලිකාර ආදම්ගෙන් පැවතෙන්නෙකු හැටියට ‘පාප සහිතව ගැබ්ගත්’ මිනිසාව සිය අසම්පූර්ණ තත්ත්වයේ දැක්වීමටය. (ගීතාවලිය 51:5; යෝබ් 14:4) මෙසේ, පාවුල් ක්‍රිස්තියානින්ට අවවාද කරමින් සිටියේ සිය මනස් අසම්පූර්ණ, පහත වැටුණු මාංසයේ පාපතර නැඹුරුවාවන්, පෙලඹීම් හා ආශාවන් කෙරෙහි යොමු නොකරන හැටියටය. එමෙන්ම එසේ නොකළ යුත්තේ මන්ද? වෙනත් තැනක මාංසයේ ක්‍රියා මොනවාදැයි අපට පැවසූ පාවුල්, අනතුරුව මෙම අනතුරු ඇඟවීමද එයට එකතු කළේය: “මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුමය” නොලැබෙනු ඇත.—ගලාති 5:19-21.
10. “ඇල්ම” යන්නෙන් කුමක් අදහස් කෙරේද?
10 එනමුත් යමකට ඇලුම්වීම හා එය ක්‍රියාවට නැගීම අතර විශාල වෙනසක් තිබෙනවා නොවේද? යමක් ගැන කල්පනා කිරීම සැම විටම එය කිරීමට මඟ පාදන්නේ නැති බව සැබෑවකි. කෙසේවෙතත්, ඇලුම් වීම යනු මොහොතකට පවතින කල්පනාවකට වඩා වැඩි යමක් වන්නේය. පාවුල් විසින් පාවිච්චි කරන ලද වදන ග්‍රීක් බසින් ෆ්රෝʹනෙ·මා වන අතර, එය “කල්පනා කරන විධිය, මනසේ නැඹුරුවාව, . . . ඉලක්කය, අභිලාෂය, උත්සාහය” හඟවයි. එබැවින්, “මාංසයේ ඇල්ම” යන්නෙන් අදහස් කරන්නේ පහත වැටුණු මාංසයේ ආශාවන්ගෙන් පාලනය කරනු ලැබීමය, වෙලීසිටීමය, බල පවත්වනු ලැබීමය, එමෙන්ම බලවත් සේ පොලඹවනු ලැබීමය.—1 යොහන් 2:16.
11. කායින් මාංසයට ඇලුම් කළේ කෙසේද, එමෙන්ම එහි විපාකය කුමක්වීද?
11 කායින් අනුගමනය කළ ක්‍රියා පිළිවෙළින් එම කරුණ මනාව නිදර්ශනය වේ. ඊර්ෂ්‍යාව හා කෝපය කායින්ගේ හෘදයේ වර්ධනය වූ විට, යෙහෝවඃ දෙවියන්වහන්සේ ඔහුට මෙසේ අනතුරු ඇඟවූ සේක: “නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද? නුඹ යහපත කෙරෙහිනම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය, නුඹද එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහිය [ආණ්ඩුකළ හැකිද? NW].” (උත්පත්ති 4:6, 7) කායින් ඉදිරියෙහි තෝරා ගැනීමක් විවෘතව තිබුණි. ඔහු ‘යහපත කිරීම කෙරෙහි’ නැඹුරු වනු ඇද්ද, එනම්, ඔහුගේ මනස, ඉලක්කය හා අභිලාෂය යහපත් යමක් කෙරෙහි තබනු ඇද්ද? එසේත් නැතහොත් ඔහු මාංසයේ ඇලුම් වී සිය හෘදයේ සැඟවී තිබෙන නපුරු නැඹුරුවාවන් කෙරෙහි සිය මනස යොමු කරනු ඇද්ද? යෙහෝවඃවහන්සේ පැහැදිලි කළ ආකාරයට, කායින් ඊට ඉඩ හැරියේ නම් ඔහුව අල්ලාගෙන ගිලදැමීමට බලා සිටිමින්, පාපය “දොරකඩ ලැග” සිටියේය. සටන් කර සිය මාංසයේ ආශාවන් කෙරෙහි ‘ආණ්ඩු කරනු’ වෙනුවට, තමා කෙරෙහි—විනාශකාරි අවසානයකට මඟ පාදමින්—බලය පවත්වන්නට කායින් ඊට ඉඩ හැරියේය.
12.“කායින්ගේ මාර්ගයෙහි” ගමන් නොකරනු පිණිස අප කළ යුත්තේ කුමක්ද?
12 අදදින අප ගැන කුමක් කිව හැකිද? පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානින් අතර විසූ ඇතැම් අය සම්බන්ධයෙන් යූද් ශෝකවූ ආකාරයට, ඇත්තවශයෙන්ම අපට “කායින්ගේ මාර්ගයෙහි” ගමන් කිරීමට වුවමනාවක් නැත. (යූද් 11) තමාගේ අභිලාෂයන් මදක් සිත්සේ පිනවීම නැතහොත් එහෙන් මෙහෙන් සුළුවෙන් නීතිය කඩ කිරීම හානිදායක නොවන බව අප කිසිවිටෙක හේතු මවාපාමින් කල්පනා නොකළ යුතුය. ඊට පටහැනිව, අපගේ හෘදයට හා මනසට ඇතුල් වී තිබිය හැකි ඕනෑම අභක්තික හා දූෂ්‍ය කරවන බලපෑමක් හඳුනා ගැනීමට අප සාවධානව සිට එය පැලපදියම් වන්නට කලින් වහාම ඉවත්කර දැමිය යුතුය. පහත වැටුණු මාංසය කෙරෙහි පාපයේ ග්‍රහණයට එරෙහිව සටන් කිරීම පටන් ගන්නේ ඇතුළාන්තයෙන්ය.—මාර්ක් 7:21.
13. “තම තමාගේ තෘෂ්ණාවෙන් පුද්ගලයෙකු අදිනු” ලැබිය හැක්කේ කෙසේද?
13 උදාහරණයක් වශයෙන්, මහත් පිළිකුලක් උපදවන බිහිසුණු දර්ශනයක් හෝ නිශ්චිතාකාරයෙන් අසභ්‍ය දෙයක් හඟවන නැතහොත් කාමය අවුස්සන රූපයක් ඔබ හදිසියේ දකින්නට පුළුවන. එය පොතක හෝ සඟරාවක චිත්‍රයක්, සිනමාවක හෝ රූපවාහිනි තිරය මත දර්ශනයක්, දැන්වීම් පුවරුවක් මත තිබෙන නිවේදනයක් එසේත් නැතහොත් සැබෑ ජීවිතයේ තත්ත්වයක් පවා වන්නට පුළුවන. එය භය හෝ චකිතය ඇති කළ යුතු යමක් නොවේ, මන්දයත් එය සිදුවීමට පුළුවන—හා සිදුවන—නිසාය. කෙසේවෙතත්, මෙම රූපය හෝ දර්ශනය, ඇතැම්විට තත්ත්පර කීපයක් දර්ශනය වන්නට ඇතිමුත්, එය මනසේ කල් පවතින්නටත් කලින් කලට නැවත සිහිපත් වන්නටත් පුළුවන. එවැන්නක් සිදුවූ විට ඔබ කරන්නේ කුමක්ද? එම කල්පනාවට එරෙහිව සටන් කර එය ඔබගේ මනසෙන් ඉවත් කර දැමීමට ඔබ වහාම පියවර ගන්නවාද? එසේත් නැතහොත් එම අදහස සිහිපත්වන සෑම වාරයකම එම අද්දැකීම තුළ ඇතැම්විට වින්දනයක් ලබමින්, එය මනසේ රැඳී තිබෙන්නට ඔබ ඉඩ හරිනවාද? එසේ කිරීම යාකොබ් විසින් මෙලෙස විස්තර කළ සිදුවීම් දාමයට ගොදුරුවීමේ අනතුරට මං විවෘත කිරීමක් වන්නේය: “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය වදන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.” “මාංසයේ ඇල්ම මරණය අදහස් කරන” බව පාවුල් පැවසුයේ එනිසාය.—යාකොබ් 1:14, 15; රෝම 8:6, NW.
14. අප දිනපතා මුහුණ දී සිටින්නේ කුමකටද, එමෙන්ම අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද?
14 අප ජීවත්ව සිටින්නේ—පොත්වල, සඟරාවල, සිනමාවේ, රූපවාහිනි වැඩසටහන්වල, මෙන්ම ජනප්‍රිය සංගීතයේද විවෘතව හා බහුලව—ලිංගික දුරාචාරය, ප්‍රචණ්ඩකාරි ක්‍රියා හා ද්‍රව්‍යවාදය මහිමවත් කරනු ලබන ලෝකයකය. එබැවින් දිනපතා වැරදි කල්පනාවන් හා අදහස්වලින් අපි ඇත්තවශයෙන්ම පහර ලබන්නෙමු. ඔබගේ ප්‍රතික්‍රියාව කුමක්ද? මේ සියල්ලෙන් ඔබට විනෝදයක් හා වින්දනයක් ලැබේද? එසේත් නැතහොත් ඔබට හැඟෙන්නේ “දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පැමිණියාවූද, . . . ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් . . . දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවාගත්තාවූද” ධර්මිෂ්ඨ ලොත්ට හැඟුණු විලසද? (2 පේතෘස් 2:7, 8) පහත වැටුණු මාංසයට එරෙහි පාපයේ ග්රහණයත් සමඟ සටන් වැදීමට, අප ගීතිකාකරු කළ ආකාරයට ක්‍රියා කිරීමට අධිෂ්ඨාන කර ගත යුතුය: “මාගේ ඇස් හමුයෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි. ඉවතට හැරෙන්නන්ගේ ක්‍රියාව නුරුස්සමි. එය මට නොඇලෙන්නේය.”—ගීතාවලිය 101:3.
ආත්මයේ ඇල්ම
15. අප කෙරෙහි තිබෙන පාපයේ ග්‍රහණයට එරෙහිව සටන් වැදීමට අපට ඇත්තේ කිනම් උපකාරයද?
15 පහත වැටුණු මාංසය කෙරෙහි පාපයේ ග්‍රහණයට එරෙහිව සටන් වැදීමට අපට උපකාර කළ හැකි යමක් ගැන පාවුල් වැඩිදුරටත් පවසන්නට යෙදුණේ මෙසේය: “ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය අදහස් කරයි.” (රෝම 8:6, NW) මෙසේ, මාංසය මගින් පාලනයට ලක් වනු වෙනුවට, අප අපගේ මනස ආත්මයේ බලපෑමට ලක් කර ගනිමින්, ආත්මයේ ආනුභාවය යටතට රැගෙන ආ යුතුය. ඒවා මොනවාද? පිලිප්පි 4:8හි, පාවුල් එහි ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේ මෙසේය: “ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද [ධර්මිෂ්ඨද, NW], යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරපල්ලා [සලකමින් සිටින්න, NW].” අප සමීප බැල්මක් හෙළා අප දිගටම සැලකිය යුතු කාරණා පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා ගනිමු.
16. දිගටම කිනම් ගුණාංග ‘සැලකීමට’ පාවුල් අපව දිරිගැන්වූයේද,” තවද ඒ සෑම එකකටම ඇතුළත් වන්නේ කුමක්ද?
16 මුලින්ම, පාවුල් සාරධර්මීය ගුණාංග අටක් ලැයිස්තු ගත කළේය. ක්‍රිස්තියානින් හැමවිටම ශුද්ධ ලියවිලිමය නැතහොත් ධර්මානුකූලවූ කාරණා ගැන පමණක් කල්පනා කිරීමට සීමා වී නොසිටින බව අපි ඇත්තවශයෙන්ම තේරුම්ගෙන ඇත්තෙමු. අපගේ මනසේ තැබිය හැකි විෂයන් නැතහොත් මාතෘකා අතිවිශාල පරාසයක් තිබේ. එහෙත් වැදගත් දෙය වනුයේ ඒවා පාවුල් විසින් විශේෂ කොට දක්වන ලද සදාචාරමය ගුණාංගවලට අනුකූල විය යුතු වීමය. පාවුල් විසින් දක්වන ලද ‘දේවල’ සෑම ප්‍රභේදයක්ම අපගේ අවධානයට යොමු වීම සුදුසුය. අපි පිළිවෙළින් ඒවා සලකා බලමු.
◻ “සැබෑ” යන වදනට හුදෙක් සත්‍යවාදී වීමට නැතහොත් අසත්යවාදී වීමට වැඩියමක් සම්බන්ධ වේ. එය අදහස් කරන්නේ සත්‍යවාදී වීම, අවංක වීම, මෙන්ම විශ්වාස කළ හැකි වීමය, සැබෑ බවට අඟවන හුදු බාහිර මවාපෑමක් නොව සැබෑ වූ යමක්ය.—1 තිමෝති 6:20.
◻ “ගරුකටයුතු” යන්න යොමු දක්වන්නේ ප්රතාපවත් මෙන්ම ගෞරවනීය දේවලටය. එය උපදවන්නේ ප්‍රණාමය සහිත හැඟීමකි, අශිෂ්ට හා පහත් යමක් නොව උසස්, උදාර හා සම්භාවනීය යමකි.
◻ “ධර්මිෂ්ඨ” යන්නෙන් අදහස් කරන්නේ මිනිසාගේ නොව, දෙවියන්වහන්සේගේ ප්‍රමිති අත්කර ගැනීමය. ලෞකික මිනිසුන්ගේ මනස් යොමු වී තිබෙන්නේ අධර්මිෂ්ඨ උපායන් තුළ වුවද, අප කල්පනා කළ යුත්තේත් එමෙන්ම ප්‍රීතියක් ලැබිය යුත්තේත් දෙවියන්වහන්සේ හමුවේ ධර්මිෂඨව තිබෙන දේවලින්ය.—සසඳන්න ගීතාවලිය 26:4; ආමොස් 8:4-6.
◻ “පිරිසිදු” යන්නෙන් අදහස් කරන්නේ (ලිංගික නැතහොත් වෙනත් ආකාරයේ) හැසිරීමෙන් පමණක් නොව එහෙත් සිතුවිල්ලෙන් හා චේතනාවෙන් නිර්මල හා ශුද්ධ වීමය. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව [නිර්මලව, NW]” ඇත්තේ යයි යාකොබ් පවසයි. “පිරිසිදුව” සිටින යේසුස්වහන්සේ අපට සලකා බැලීම සඳහා පරිපූර්ණ ආදර්ශය වන සේක.—යාකොබ් 3:17; 1 යොහන් 3:3.
◻ “ආදරණීය” යනු අන්‍යයන් තුළ ප්‍රේමය පොලඹවන හා පහළ වීමට සලස්වන දේවල්ය. වෛරය, තිත්තකම හා තරඟ හටගන්වන දේවල් කෙරෙහි අපගේ මනස යොමු කරනු වෙනුවට අප “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා” ගත යුතුය.—හෙබ්‍රෙව් 10:24.
◻ “යහපත් කීර්තියක් ඇති” යන්නෙන් අදහස් කරන්නේ හුදෙක් “සම්භාවනීය” හෝ “හොඳ නමක්” ඇතිව සිටීම නොව, නමුත් ක්‍රියාවෙන් වර්ධනාත්මක හා ප්රශංසාසහගතව සිටීමය. අප අපගේ මනස් තබන්නට යන්නේ අවමන්සහගත හෝ නුරුස්සන දේවල් මත නොව, ගුණදායක හා වර්ධනාත්මක දේවල් මතය.—එපීස 4:29.
◻ “ගුණය” යන්නෙන් “යහපත්කම” නැතහොත් “සදාචාරමය විශිෂ්ටත්වය” මූලිකව අදහස් වනමුත්, එය ඕනෑම ආකාරයක විශිෂ්ටත්වයක් අදහස් කරන්නට පුළුවන. මෙසේ, දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට එකඟව අන්‍යයන් තුළ ඇත්තාවූ අගනා වටිනා ගුණාංග, කුසලතා හා නිපුණත්වයන් අපට අගය කළ හැකිය.
◻ “ප්‍රශංසා” කටයුතු දේවල් සැබවින්ම එසේ වන්නේ එම ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් නැතහොත් උන්වහන්සේ විසින් යුතු ලෙස පිළිගත් අධිකාරිත්වයෙන් පැමිණෙන විටය.—1 කොරින්ති 4:5; 1 පේතෘස් 2:14.
ජීවනය හා සමාදානය පිළිබඳ පොරොන්දුව
17. “ආත්මයේ ඇල්ම” මගින් විපාක දෙන ආශීර්වාද මොනවාද?
17 අප පාවුල්ගේ අවවාදය අනුගමනය කරමින් “ඒ දේවල්” ‘සලකමින් සිටින’ විට, අප ‘ආත්මයේ ඇල්මෙහි’ සඵල වනු ඇත. එහි විපාකය ජීවනයේ ආශීර්වාදය, එනම්, පොරොන්දු වූ නව ලෝකයේ සදාකාල ජීවිතය පමණක් නොව, එහෙත් සමාදානයද වන්නේය. (රෝම 8:6) ඒ මන්ද? ඊට හේතුව මාංසමයවූ දේවල දුෂ්ට බලපෑමෙන් අපගේ මනස් ආරක්ෂා කරනු ලබන නිසාත්, පාවුල් විසින් විස්තර කළ ආකාරයට මාංසය හා ආත්මය අතර තිබෙන වේදනාකාරි අරගලයෙන් අප එතරම් මහත්සේ බලපෑම් නොලබන නිසාත්ය. “මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේ සමඟ සතුරුකම අදහස් කරන” බැවින්, මාංසයේ බලපෑමට එරෙහිව සිටීමෙන් අපි දෙවියන්වහන්සේ සමඟ සමාදානයද අත්කර ගනිමු.—රෝම 7:21-24; 8:7, NW.
18. සාතන් දියත් කරමින් සිටින්නේ කිනම් සටනක්ද, එමෙන්ම අපට ජය අත්කර ගත හැක්කේ කෙසේද?
18 දෙවියන්වහන්සේගේ මහිමයේ අපගේ ප්රතිබිම්බයේ ඔපය කෙලෙසීමට තමන්ට හැකි සැමෙකක්ම සාතන් හා ඔහුගේ දූතයන් කරමින් සිටිත්. මාංසික ආශාවන්ගෙන් පහර දීමෙන් අපගේ මනස්වල පාලනය අත්පත් කිරීමට ඔවුන් වෑයම් කරන්නේ, මෙය අවසානයේ දෙවියන්වහන්සේ සමඟ සතුරුකමට හා මරණයට මඟ පෙන්වන බව ඔවුන් දන්නා නිසාය. එහෙත් මෙම සටනෙන් අපට ජය ලබා ගන්නට පුළුවන. පාවුල් මෙන් අපට මෙසේ ප්‍රකාශ කරන්නට පුළුවන: පහත වැටුණු මාංසය කෙරෙහි පාපයේ ග්‍රහණයට එරෙහිව සටන් වැදීමට උපක්‍රම සැපයීම වෙනුවෙන් “අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති” වේවා.—රෝම 7:25.
[පාදසටහන්වල]
a “පාපය” හැඟවීමට බයිබලය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ චා·ටා’ʹ යන හෙබ්‍රෙව් ක්‍රියා පදය හා හා·මර්·ටාʹනො යන ග්‍රීක් ක්‍රියා පදයය. මෙම වදන් දෙකෙන්ම “අහිමි කරගැනීම” අදහස් කරන අතර, ඉන් හැඟවෙන්නේ යම් අභිමතාර්ථයක්, නියමයක් හෝ ඉලක්කයක් අත්කරගැනීමට අපොහොසත්වීම හෝ අල්ලා නොගැනීමය.
b සම්ප්‍රදායිකව, මුල් අගුණ පාප හත වනාහි උඩඟුකම, ලෝභය, රාගය, ඊර්ෂ්‍යාව, කෑදරකම, ක්‍රෝධය හා අලසකමය.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ පාපය යනු කුමක්ද, එමෙන්ම පහත වැටුණු මාංසය කෙරෙහි ඊට ග්‍රහණයක් වර්ධනය කර ගත හැක්කේ කෙසේද?
◻ ‘මාංසයේ ඇල්මට’ එරෙහිව අපට සටන් වැදිය හැක්කේ කෙසේද?
◻ “ආත්මයේ ඇල්ම” පෙලඹවීමට අපට කුමක් කළ හැකිද?
◻ “ආත්මයේ ඇල්ම” ජීවනය හා සමාදානය ගෙනෙන්නේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
කායින් තමාගේම නාස්තියට මඟ පාදමින් තමා කෙරෙහි මාංසික නැඹුරුවාවන්ට බල පවත්වන්නට ඉඩ හැරියේය
[16වන පිටුවේ පින්තූර]
ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය අදහස් කරයි