සෑමදෙනාටම නිදහස ලැබෙයි
“මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමානකරනු ලබන්ට නොවටීයයි සිතමි. මක්නිසාද මැවිල්ල [දෙවිගේ] පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි. මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, [දෙවිගේ] දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිනෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ [තැනැත්තා] නිසාය. මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමු.”—රෝම 8:18-22.
ප්‍රේරිත පාවුල් රෝමයෙහි ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියෙහි මෙම කොටස තුළින්, ජීවිතවල සැබෑ නිදහස හීන වී තිබීමට හා බොහෝ අවස්ථාවලදී ඒවා හිස්කමින් හා වේදනාවෙන් පිරී තිබීමට හේතුව සම්බන්ධයෙන් ඔහු විශිෂ්ට සංක්ෂිප්ත අදහසක් ඉදිරිපත් කරනවා. අපට සැබෑ නිදහස ලබාගත හැකි ආකාරය ගැනත් ඔහු පැහැදිලි කරනවා.
“වර්තමාන කාලයේ දුක්”
ඒවා “අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට [කිසිවක්] සමානකරනු ලබන්ට නොවටීයයි” පාවුල් පවසන විට, ඔහු ‘වර්තමාන කාලයේ දුක්වල’ බලපෑම අවතක්සේරු කරනවා නොවෙයි. පාවුල්ගේ කාලයේ මෙන්ම ඉන්පසු, මානව අයිතිවාසිකම් ගැන සැලකිල්ලක් නොදැක්වූ රෝමානු අධිකාරීන් විසින් ගෙන ගිය දරුණු ඒකාධිපති පාලනය යටතේ ක්‍රිස්තියානීන් ඉමහත් සේ දුක් වින්දා. රෝම ජාතිකයන් ක්‍රිස්තියානීන්ව රජයේ සතුරන් හැටියට දුටු දා සිට, ඇය ඔවුන්ව කෲර මැඩපැවැත්වීමට යටත් කළා. ඉතිහාසඥ ජේ. එම්. රොබට්ස් මෙසේ පවසනවා: “[රෝම] අගනුවරේ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුව ඇත්තෙන්ම මල්ලව පොර භූමිවල විනාශ කර හෝ පණ පිටින් පුලුස්සා දමනු ලැබුවා. (සංක්ෂිප්ත ලෝක ඉතිහාසය, ඉංග්‍රීසියෙන්) නීරෝගේ තාඩන පීඩනවලට ගොදුරු වූ මොවුන් සම්බන්ධයෙන් තවත් වාර්තාවක් මෙසේ ප්‍රකාශ කරනවා: “සමහරුන්ව කුරුසවල ඇණ ගසනු ලැබුවා; සමහරුන්ව සත්ව හම්වලට තබා මැසූ අතර බල්ලන් ලවා දඩයම් කරවනු ලැබුවා; තවත් අයව තාරවලින් නාවා අඳුර වැටෙද්දී පණ පිටින් දැවෙන පහන් ලෙස දැල්වූවා.”—එෆ්. එෆ්. බෲස් විසින් නව තෙස්තමේන්තු ඉතිහාසය, ඉංග්‍රීසියෙන්.
එවැනි දරුණු පීඩාවලින් නිදහස් වීමට ඇත්තෙන්ම එම මුල් ක්‍රිස්තියානීන් ආශා වූ නමුත් එය ලබාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් උල්ලංගනය කිරීමට ඔවුන් කැමැත්තක් දැක්වුවේ නැහැ. උදාහරණයක් වශයෙන්, අතිඋද්යෝගවාදීන් හැටියට නිදහස වෙනුවෙන් සටන් කළ යුදෙව්වන් හා රෝම පාලක අධිකාරීන් අතර සිදු වූ ගැටුම්වලදී මුල් ක්‍රිස්තියානීන් සම්පූර්ණයෙන්ම මධ්‍යස්ථව සිටියා. (යොහන් 17:16; 18:36) අතිඋද්යෝගවාදීන්ට “දෙවිගේ හොඳ කාලය එන තෙක් බලා සිටීම ගැන කතා කිරීම එවකට පැවති අර්බුදය සමඟ කටයුතු කිරීමට අවශ්‍ය වූ ආකල්පය නොවීය.” අවශ්‍යව තිබුණේ “සතුරන්” වන රෝමයට “එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා මාර්ගයක් ගැනීම” බව ඔවුන් පැවසුවා. (නව තෙස්තමේන්තු ඉතිහාසය) මුල් ක්‍රිස්තියානීන් කල්පනා කළේ ඊට වෙනස් ආකාරයකටයි. ‘දෙවිගේ හොඳ කාලය එන තෙක් බලා සිටීම’ ඔවුන්ට එකම යථාර්ථවාදී විකල්පය වුණා. “වර්තමාන කාලයේ දුක්” සම්පූර්ණයෙන්ම අවසන් කර සැබෑ, කල්පවතින නිදහස ගෙන එන්නේ වෙන කිසිවක් මගින් නොව නමුත් දිව්‍යමය මැදිහත් වීමකින් බව ඔවුන්ට ඒත්තුගියා. (මීකා 7:7; හබක්කුක් 2:3) එහෙත්, අපි එය සිදුවීමට යන ආකාරය සලකා බැලීමට පෙර, මුලින්ම “මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ” ඇයි කියා සෝදිසි කර බලමු.
‘නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබ’
මෙහි “මැවිල්ල” යන වචනයෙන්, සමහරු පවසන පරිදි “තිරිසන් හා අප්‍රාණික මැවිලි” අදහස් නොකරන නමුත්, ඊට වෙනස්ව, “මුළු මනුෂ්‍යවර්ගයා” යන්න අදහස් කරන බව බෙන්ජමින් විල්සන්, දි එම්ෆැටික් ඩයග්ලොට්හි පවසයි. (කොලොස්සි 1:23 සසඳන්න.) එය මුළු මිනිස් පවුලටම, එනම් නිදහස ලැබීමට ආශාවෙන් සිටින අප සියලුදෙනාටම යොමු දක්වනවා. අප ‘නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබුවේ’ අපේ මුල් දෙමාපියන්ගේ ක්‍රියා මාර්ගයන් නිසයි. මෙය සිදු වුණේ “[අපේම] කැමැත්තෙන්” හෝ පෞද්ගලික තේරීමක ප්‍රතිඵලයක් වශයෙන් නොවෙයි. අපේ තත්වය අපට උරුම වුණා. ‘මිනිසා නිදහස ඇතුව ඉපදුණා’ කියා රුසෝ පැවසුවත්, ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිකෝණයෙන් බලන කල, ඔහුගේ අදහස වැරදිසහගතයි. පාපය හා අසම්පූර්ණත්වයට වහල්ව අප සෑම කෙනෙකුම ඉපද සිටින්නේ අපේක්ෂා භංග වූ, නිෂ්ඵලභාවයෙන් පිරි පිළිවෙළක් තුළටයි.—රෝම 3:23.
මෙසේ වී තිබෙන්නේ ඇයි? අපේ මුල් දෙමාපියන් වූ ආදම් හා ඒවට, හොඳ හා නරක යන දෙක තමන්ටම තීරණය කිරීමට, එනම් සම්පූර්ණ ස්වෛරීභාවයක් ඇතුව, ‘දෙවිට සමාන’ වීමට වුවමනා වූ නිසයි. (උත්පත්ති 3:5) ඔවුන් නිදහස සම්බන්ධයෙන් එක වැදගත් කරුණක් නොසලකා හැරියා. පරම නිදහස ඇතුව සිටිය හැක්කේ මැවුම්කරුට පමණයි. විශ්වයේ පරමාධිපති ඔහුයි. (යෙසායා 33:22; එළිදරව් 4:11) මිනිස් නිදහස යන්නෙන්, සීමාවන් තුළ තිබෙන නිදහසක් අදහස් විය යුතුයි. “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව” අනුව කටයුතු කරන්න කියා ශ්‍රාවක යාකොබ් ඔහුගේ දවස්වල සිටි ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ ඒ නිසයි.—යාකොබ් 1:25.
යෙහෝවා යුක්තිසහගත ලෙස ආදම්ව හා ඒවව තම විශ්වනීය පවුලෙන් පහ කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් මියගියා. (උත්පත්ති 3:19) නමුත් ඔවුන්ගෙන් පැවතෙන්නන් ගැන කුමක් කිව හැකිද? ඉන් ඉදිරියට ඔවුන්ට හැකි වුණේ අසම්පූර්ණත්වය, පාපය හා මරණය අත් කර දීමට පමණයි. එසේ වුවත් යෙහෝවා දයාන්විත ලෙස ඔවුන්ට දරුවන් බිහි කිරීමට ඉඩහැරියා. එමනිසා ‘සියල්ලන් කෙරෙහි මරණය පැමුණුණා.’ (රෝම 5:12) ඒ අර්ථයෙන් ගත් කල දෙවි ‘[මැවිල්ල] නිෂ්ඵලභාවයට යටත් කළා.’
“දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම”
කෙදිනක හෝ ‘දෙවිගේ පුත්‍රයන්ගේ’ ක්‍රියාකාරකම් මගින් මිනිස් පවුලට යළි නිදහස ලබා දීමේ “බලාපොරොත්තුවෙන්” යෙහෝවා මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කළා. මේ ‘දෙවිගේ පුත්‍රයන්’ කවුද? ඔවුන් යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන්. ‘මනුෂ්‍ය මැවිල්ලේ’ වෙනත් අය වාගේම ඔවුන්ද පාපය හා අසම්පූර්ණත්වයට වහල්වයි ඉපද සිටින්නේ. උපදින විට දෙවිගේ පවිත්‍ර, පරිපූර්ණ විශ්වනීය පවුල තුළ ඔවුන්ට අයිති ස්ථානයක් නැහැ. නමුත් යෙහෝවා ඔවුන් සඳහා යම් විශිෂ්ට දෙයක් කරනවා. යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව මගින්, ඔහු ඔවුන්ව උරුම වූ පාපයේ වහල්භාවයෙන් මුදා, “ධර්මිෂ්ඨ” නැතහොත් ආත්මිකව පවිත්‍ර අය බව ප්‍රකාශ කරනවා. (1 කොරින්ති 6:11) එවිට ඔහු ඔවුන්ව නැවතත් තම විශ්වනීය පවුල තුළට භාරගනිමින් ‘දෙවිගේ පුත්‍රයන්’ ලෙස පිළිගන්නවා.—රෝම 8:14-17.
යෙහෝවාගේ භාරයේ සිටින පුත්‍රයන් හැටියට, ඔවුන්ට මහිමාන්විත වරප්‍රසාදයක් තිබෙනු ඇත. දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ නැතහොත් ආණ්ඩුවේ කොටස්කරුවන් වශයෙන් ඔවුන් යේසුස් ක්‍රිස්තුස් සමඟ “අපගේ දෙවිට පූජකයන්” වනු ඇති අතර, “පොළොව කෙරෙහි රජවරුන් වශයෙන් පාලනය කරනු” ඇත. (එළිදරව් 5:9, 10, NW; 14:1-4) මෙය පීඩා කරන හා කෲර ඒකාධිපති පාලනයක් මත නොව නමුත් නිදහසේ හා යුක්තියේ ප්‍රතිපත්ති මත ස්ථිරව පිහිටුවා ඇති ආණ්ඩු ක්‍රමයක්. (යෙසායා 9:6, 7; 61:1-4) දෙවිගේ මෙම පුත්‍රයන් දිගු කලකට පෙර පොරොන්දු කරනු ලැබූ ‘ආබ්‍රහම්ගේ වංශය’ වන යේසුස්ගේ ආශ්‍රිතයන් බව ප්‍රේරිත පාවුල් පවසනවා. (ගලාති 3:16, 26, 29) එවැන්නන් වශයෙන්, ඔවුන් දෙවි තම මිත්‍ර ආබ්‍රහම්ට කළ පොරොන්දුවක් ඉටු කිරීමේදී වැදගත් කාර්යභාරයක් දරනවා. එම පොරොන්දුවේ කොටසක් වන්නේ, ආබ්‍රහම්ගේ වංශය (නැතහොත් පැවතෙන්නන්) මගින් “පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය” යන්නයි.—උත්පත්ති 22:18.
ඔවුන් මනුෂ්‍යවර්ගයාට ගෙන එන්නේ කුමන ආශීර්වාදද? දෙවිගේ පුත්‍රයන්, ආදම්ගේ පාපයේ දරුණු ප්‍රතිඵලවලින් මුළු මිනිස් පවුල මුදවාගැනීමෙහි හා මනුෂ්‍යවර්ගයාව නැවත පරිපූර්ණත්වයට පැමිණවීමෙහි හවුල් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල පැවැත්වීමෙන් හා ඔහුගේ කරුණාවන්ත රාජ්‍ය පාලනයට යටත් වීමෙන් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත්” ජන සමූහයකට තමන්ටම ආශීර්වාද පමුණුවාගත හැකියි. (එළිදරව් 7:9, 14-17; 21:1-4; 22:1, 2; මතෙව් 20:28; යොහන් 3:16) මේ ආකාරයෙන් “මුළු මැවිල්ල” නැවත වරක් ‘දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට’ පැමිණෙනු ඇත. මෙය යම් ආකාරයක සීමා සහිත, තාවකාලික දේශපාලනික නිදහසක් නොවන මුත්, ආදම් හා ඒව දෙවිගේ පරමාධිපත්‍ය ප්‍රතික්ෂේප කළ දා සිට මනුෂ්‍ය පවුලට විඳින්න සිදු වූ සියලු වේදනා හා විපත්වලින් නිදහසක් වනු ඇත. ඇදහිලිවන්තයන් සිදු කරනු ඇති මහිමාන්විත සේවය සමඟ සන්සන්දනය කර බලද්දී, “වර්තමාන කාලයේ දුක් වනාහි . . . [කිසිවකට] සමානකරනු ලබන්ට නොවටීයයි” පැවසීමට ප්‍රේරිත පාවුල්ට හැකිවීම පුදුමයක් නොවෙයි!
‘දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම’ ආරම්භ වන්නේ කවදාද? වැඩි කල් නොගොස්, දෙවිගේ පුත්‍රයන් කවුද කියා යෙහෝවා සියල්ලන්ටම පැහැදිලි කරන දාටයි එය ආරම්භ වන්නේ. මෙය සිදු වනු ඇත්තේ අදෘශ්‍යමාන විෂයට නැඟිටුවා තිබෙන මේ “පුත්‍රයන්,” දෙවිගේ අර්මගෙදොන් යුද්ධයේදී යේසුස් ක්‍රිස්තුස් සමඟ මේ පොළොවෙන් නපුරුකම, පීඩාකාරිත්වය ඉවත් කිරීමෙහි හවුල් වනදාටයි. (දානියෙල් 2:44, 45; 7:13, 14, 27; එළිදරව් 2:26, 27; 16:16; 17:14; 19:11-21) “අන්තිම දවස්වල” අවසාන අද්දරෙහි අප සිටින බව අප අවට ගොඩගැසෙමින් පවතින සාක්ෂි මගින් අප දකිනවා. දෙවි සෑහෙන කාලයකට ඉවසා ඇති කැරලිකාරකම හා එහි ප්‍රතිඵලයක් වන දුෂ්ටකම ඉතා ඉක්මනින් නිමා වනු ඇත.—2 තිමෝති 3:1-5; මතෙව් 24:3-31.
ඔව්, ප්‍රේරිත පාවුල් පවසන පරිදි, “මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව” සත්‍යයක්—නමුත් එය තව බොහෝ කලකට නොවෙයි. මුළු මනුෂ්‍ය පවුලටම සාමය, නිදහස හා යුක්තිය නැවත පිහිටුවීම ඇතුළුව, “ලෝකයේ පටන්ගැන්මේ සිට තමන්ගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ, සියලු දේ නැවත [පිහිටුවීම]” අදදින ජීවත් වන මිලියන සංඛ්‍යාතයක් දකින්න යනවා.—ක්‍රියා 3:21.
අන්තිමේදී සැබෑ නිදහස
‘දෙවිගේ දරුවන්ගේ [මේ] මහිමයේ නිදහස්කම’ භුක්ති විඳීමට ඔබ කුමක් කළ යුතුද? යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා: “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.” (යොහන් 8:31, 32) ක්‍රිස්තුස්ගේ ආඥා හා ඉගැන්වීම් ඉගෙනගෙන ඒවාට කීකරු වීම නිදහසට ප්‍රධාන යතුරයි. මෙය දැන් පවා යම් දුරකට නිදහසක් ගෙන දෙනවා. නුදුරු අනාගතයේදී, එය ක්‍රිස්තුස් යේසුස්ගේ පාලනය යටතේ සම්පූර්ණ නිදහසක් ගෙනෙනු ඇත. ඥානවන්ත මාර්ගය වන්නේ, බයිබලය අධ්‍යයනය කිරීම මගින් යේසුස්ගේ ‘වචනය’ දැනගැනීමයි. (යොහන් 17:3) මුල් ක්‍රිස්තියානීන් කළාක් මෙන්, ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයන්ගෙන් සැදි සභාව සමඟ ක්‍රියාශීලී ලෙස ඇසුරු කරන්න. එසේ කිරීමෙන්, යෙහෝවා අදදින ඔහුගේ සංවිධානය මගින් ලබා දෙන නිදහස් කරවන සත්‍යයන්ගෙන් ඔබට ප්‍රයෝජන ලබාගත හැකියි.—හෙබ්‍රෙව් 10:24, 25.
‘දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටින’ අතරතුරේදී, දුක් වේදනා හා අයුක්තිසහගත දේවල් විඳදරාගැනීමට අපහසුබවක් දැනෙන විට පවා ක්‍රිස්තුස්ගේ ආරක්ෂිත සැලකිල්ල හා සහයෝගය සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල්ට තිබුණ ස්ථිර විශ්වාසය ඔබටත් වර්ධනය කරගත හැකියි. දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම ගැන හෙළි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ පසු පාවුල් මෙසේ ඇසුවා: “[ක්‍රිස්තුස්ගේ] ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත්වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, . . . කඩුවවත් අප වෙන්කරන්නේද?” (රෝම 8:35) ඇත්තවශයෙන්ම, රුසෝගේ වචනවලට අනුව, පාවුල්ගේ දවසේ සිටි ක්‍රිස්තියානීන් එවිටත් යම් විදිහකින් හෝ වෙනත් විදිහකින් තාඩන පීඩන ගෙනෙන බලඇණි යටතේ ‘වහල්භාවයේ’ සිටියා. “මරණයට නියමකළ බැටළුවන්” වාගේ ඔවුන්ව ‘දවස මුළුල්ලේ මරණයට පත් කරනු ලැබුවා.’ (රෝම 8:36) ඔවුන්ව යටපත් කර දැමීමට ඔවුන් එයට ඉඩහැරියාද?
“නුමුත් අපට ප්‍රේමකළාවූ [තැනැත්තා] කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජයගන්නෝ වමු” කියා පාවුල් ලියනවා. (රෝම 8:37) මුල් ක්‍රිස්තියානීන්ට බොහෝ දේ විඳදරාගන්න සිදු වුණත් ඔවුන් ජයගත්තාද? එසේ වන්නේ කෙසේද? “ඒකාන්තයෙන්ම දනිමි” කියා පිළිතුර වශයෙන් ඔහු පවසනවා. “මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ ඇත්තාවූ [දෙවිගේ] ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේය.” (රෝම 8:38, 39) මේ අතරතුර ඔබටත් විඳදරාගැනීමට සිදු විය හැකි ‘විපත්, සිත් වේදනාවන්, පීඩා’ යන මොනයම් දෙයකින් වුවත් ‘ජයග්‍රාහී ලෙස ඉවත් වීමට’ පුළුවන්. ඉක්මනින්, ඉතාමත්ම ඉක්මනින් අප ‘ජරාවේ වහල්කමින් [මුළුමනින්ම] නිදහස් වී, . . . දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන’ බවට දෙවිගේ ප්‍රේමය සහතික කරනවා.
[6වන පිටුවේ පින්තූර]
‘මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳිනවා’
[7වන පිටුවේ පින්තූරය]
‘මැවිල්ල ජරාවේ වහල්කමින් මුළුමනින්ම නිදහස් වී, දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය’