විසිඑක්වන පරිච්ඡේදය
යෙහෝවාගේ අරමුණ තේජාන්විත ලෙස මුදුන්පත් වේ
1, 2. (අ) තමන්ගේ බුද්ධිමත් මැවිලි ගැන යෙහෝවාගේ අරමුණ කුමක්ද? (ආ) දෙවිගේ නමස්කාරකයන්ගේ එක්සත් පවුලට අයත් වූයේ කවුරුන්ද?
යෙහෝවාගේ ප්‍රේමනීය අරමුණ නම්, බුද්ධිමත් මැවිලි සියල්ලම එකම සැබෑ දෙවිට නමස්කාර කිරීමේ එක්සත් වීමත් දෙවිගේ දරුවන් හැටියට තේජාන්විත නිදහස භුක්ති විඳිනවා දැකීමත්ය. ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන්නන්ගේ එකම ආශාවත් එයයි.
2 යෙහෝවා මේ මහත් අරමුණ ඉටු කිරීම ඇරඹුවේ ඔහුගේ මැවීමේ ක්‍රියා පටන්ගත් දාය. ඔහුගේ මැවිල්ලේ කුලුඳුලා ඔහුගේ පුත්‍රයායි. ඔහුව නැවත නැඟිටෙවූ දා සිට “ඔහු [දෙවිගේ] තේජස පිළිබිඹු කරන්නාද ඔහුගේ දේවත්වයේ සැබෑ ස්වරූපයද වන්නේය.” (හෙබ්‍රෙව් 1:1-3, NW) දෙවි විසින්ම මැවූ නිසා මේ පුත්‍රයා අද්විතීය කෙනෙක් විය. පසුව, අනිත් සියලුදෙනාවම මැව්වේ මේ පුත්‍රයා මාර්ගයෙනි. ඔහු මුලින්ම ස්වර්ගයේ දේවදූතයන්වද පසුව පොළොව මත මිනිසුන්වද මැව්වේය. (යෝබ් 38:7; ලූක් 3:38) මේ සෑම කෙනෙකුම එකට එක්කාසු වී විශ්වනීය පවුලක් සෑදුණි. යෙහෝවා මේ සෑමදෙනාගේම දෙවි හා විශ්වනීය පරමාධිපති මෙන්ම ප්‍රේමනීය පියාණන් විය.
3. (අ) අපගේ මුල් දෙමාපියන්ගෙන් අප සියලුදෙනා උරුම කරගෙන තිබෙන්නේ කුමක්ද? (ආ) ආදම්ගෙන් පැවතෙන්නන්ට යෙහෝවා සැලසුම් කළ ප්‍රේමනීය විධිවිධානය කුමක්ද?
3 අපේ මුල් මිනිස් දෙමාපියන් හිතාමතා පව් කර මරණය උරුම කරගැනීමත් සමඟම, ඔවුන්ව ඒදන් උයනෙන් නෙරපනු ලැබ දෙවි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඔවුහු තවදුරටත් දෙවිගේ විශ්වනීය පවුලේ කොටසක් නොවූහ. (උත්පත්ති 3:22-24; ද්විතීය කථාව 32:4, 5) අප සියලුදෙනාම ඔවුන්ගෙන් බිහිවූවන් නිසා, අප ඉපද සිටින්නේ පව්කාර නැඹුරුවාවන් උරුම කරගෙනයි. එහෙත්, ආදම් හා ඒවගෙන් පැවතෙන්නන්ගෙන් සමහරෙකු ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන බව යෙහෝවා දැන සිටියේය. එමනිසා, “දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස” මේ අය ලබන පිණිස යෙහෝවා ප්‍රේමනීය ලෙස විධිවිධාන යෙදුවේය.—රෝම 8:20, 21, NW.
ඉශ්රායෙල්වරු අනුග්‍රහය ලත් තත්වය නැති කරගනිති
4. යෙහෝවා පුරාණ ඉශ්රායෙල්වරුන්ට ලබා දුන් වරප්‍රසාදය කුමක්ද?
4 ආදම්ගේ මැවීමෙන් අවුරුදු 2,500කට පසුව, යෙහෝවා සමහර මිනිසුන්ට ඔහු සමඟ විශේෂ සම්බන්ධතාවකට පැමිණීමේ වරප්‍රසාදය ඉදිරිපත් කළේය. ඔහු පුරාණ ඉශ්රායෙල්වරුන්ව තම සෙනඟ වීම සඳහා තෝරගෙන ඔවුන්ට ඔහුගේ ව්‍යවස්ථාව දුන්නේය. (උත්පත්ති 12:1, 2) ඔහු ඔවුන්ව ජාතියක් බවට පත් කර ඔහුගේ අරමුණ ඉටු කිරීම සඳහා ඔවුන්ව යොදාගත්තේය. (ද්විතීය කථාව 14:1, 2; යෙසායා 43:1) එසේ යොදාගත්තද, ඔවුන් ඒ වන විටත් පාපයේ හා මරණයේ වහලුන්ව සිටි නිසා ආදම් හා ඒව මුලින්ම භුක්ති විඳි තේජවත් නිදහස ඔවුන් භුක්ති වින්දේ නැත.
5. ඉශ්රායෙල්වරුන්ට දෙවි සමඟ තිබූ විශේෂ ස්ථාවරය අහිමි වූයේ කෙසේද?
5 කෙසේවෙතත්, ඉශ්රායෙල්වරුන් දෙවිගේ අනුග්‍රහය ලැබුවෝය. තමන්ගේ පියාණන් හැටියට යෙහෝවාට ගෞරව කිරීමටත් ඔහුගේ අරමුණට එකඟව ක්‍රියා කිරීමටත් ඔවුන්ට වගකීමක් තිබුණි. එම වගකීම ඉටු කිරීමේ වැදගත්කම ගැන යේසුස් අවධාරණය කළේය. (මතෙව් 5:43-48) කෙසේවෙතත්, මෙය කිරීමට ඉශ්රායෙල් ජාතිය අසමත් වූහ. “අපට සිටින්නේ එක පියෙකි. ඒ දෙවිය” කියා යුදෙව්වන් කියා සිටියද යේසුස් ප්‍රකාශ කළේ ඔවුන්ගේ ක්‍රියාවන් හා ස්වභාවය මගින් ඔවුන් පැවසූ දේ බොරුවක් වූ බවයි. (යොහන් 8:41, 44, 47, NW) පොදු යුගයේ 33දී, දෙවි ව්‍යවස්ථාව අහෝසි කළ අතර, ඔහු සමඟ තිබූ ඉශ්රායෙල්වරුන්ගේ ඒ විශේෂ සම්බන්ධතාව අවසන් වුණි. එහෙත්, නැවත කිසිවෙකුට දෙවි සමඟ අනුග්‍රහය ලත් සම්බන්ධතාවක් පැවැත්විය නොහැකි බව මින් අදහස් කළාද?
“ස්වර්ගයෙහි දේවල්” එක්රැස් කිරීම
6. පාවුල් එපීස 1:9, 10හි සඳහන් කර ඇති ‘පරිපාලනයේ’ අරමුණ කුමක්ද?
6 මිනිසුන් අතර සිටින සමහරෙකුට දෙවි සමඟ විශේෂ සම්බන්ධතාවක් භුක්ති විඳින්ට හැකි බව ප්‍රේරිත පාවුල් පෙන්වා දුන්නේය. උදාහරණයක් හැටියට, ඇදහිල්ල පවත්වන අයට ඔහුගේ පවුල තුළ සිටීමට හැකි කරවන යෙහෝවාගේ විධිවිධානය ගැන පාවුල් මෙසේ ලීවේය. “[දෙවි] තම කැමැත්තේ පරිශුද්ධ රහස අපට දැනුම් දුන්නේය. එසේ කළේ තමා තුළ අරමුණු කරගත් තමාට ප්‍රසන්න වූ දෙයට අනුවයි. එනම් නියමිත කාලපරිච්ඡේදය සම්පූර්ණ වූ විට පරිපාලනයක් පිහිටුවා සියලු දේවල් එනම් ස්වර්ගයෙහි දේවල් සහ පොළොවෙහි දේවල් ක්‍රිස්තුස් තුළ නැවත ඒකරාශි කරගැනීමටය. එසේය, සියලු දේ ඒකරාශි කරන්නේ ඔහු තුළය.” (එපීස 1:9, 10, NW) මෙම “පරිපාලනය” යේසුස් ක්‍රිස්තුස් වටා කේන්ද්‍රගතව ඇත. ඔහු කරණකොටගෙන මිනිසුන්ව දෙවි ඉදිරියේ අනුමැතිය ලත් තත්වයකට ගෙනෙනු ලැබේ. ඔවුන්ගෙන් සීමිත සංඛ්‍යාවකට ස්වර්ගීය අපේක්ෂාව තිබේ. අතිවිශාල සංඛ්‍යාවක් පොළොව මත සදාකල් ජීවත් වනු ඇත.
7. “ස්වර්ගයෙහි දේවල්” යනු කවුරුන්ද?
7 මුලින්ම, පො.යු. 33 පෙන්තකොස්ත දිනයේ සිට ‘ස්වර්ගයෙහි දේවලට’ එනම්, ක්‍රිස්තුස් සමඟ ස්වර්ග රාජ්‍යයෙහි හවුල් උරුමක්කාරයන් වනු ඇති අය කෙරෙහි අවධානය දෙනු ලැබීය. යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම කෙරෙහි තබන ඇදහිල්ල පදනම් කරගෙන දෙවි විසින් ඔවුන් ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබීය. (රෝම 5:1, 2) කාලයාගේ ඇවෑමෙන්, ‘ස්වර්ගයෙහි දේවලට’ යුදෙව්වන් මෙන්ම අන්‍යජාතීන්ද ඇතුළත් වූ අතර, ඔවුන් ගණනින් 1,44,000ක් විය. (ගලාති 3:26-29; එළිදරව් 14:1) දැන් පොළොව මත සිටින්නේ ඔවුන්ගෙන් ඉතිරි වූ කොටසක් පමණි.
“පොළොවෙහි දේවල්” එක්රැස් කිරීම
8. “පොළොවෙහි දේවල්” යනු කවුරුන්ද? යෙහෝවා සමඟ ඔවුන්ට ඇති සම්බන්ධය කුමක්ද?
8 එම පරිපාලනය මගින් ‘පොළොවෙහි දේවල්ද’ එක්රැස් කරනු ලැබේ. පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති දශලක්ෂ ගණන් ජනයාව දැන් රැස් කරමින් තිබේ. රාජ්‍ය උරුමක්කාරයන්ගේ ඉතිරි කොටස සමඟ එක්සත්ව යෙහෝවාගේ නාමය වර්ණනා කරමින් ඔහුගේ නමස්කාරය ඔවුහු උසස් කරති. (යෙසායා 2:2, 3; ශෙපනියා 3:9) ඔවුන් යෙහෝවාට ආමන්ත්‍රණය කරන්නේ “පියාණන්” කියාය. එයට හේතුව නම්, ජීවිතයේ උල්පත ඔහු බව ඔවුන් වටහාගෙන තිබීමයි. එමෙන්ම, යේසුස් වැගිරෙවූ රුධිරය කෙරෙහි පවත්වන ඇදහිල්ල පදනම් කරගෙන ඔවුහු දෙවි ඉදිරියේ අනුමැතිය ලත් තත්වයක් භුක්ති විඳිති. (එළිදරව් 7:9, 14) එහෙත්, ඔවුන් තවමත් අසම්පූර්ණ බැවින්, දෙවිගේ දරුවන් මෙන් පිළිගැනීම සිදු වන්නේ ඉදිරි අනාගතයේදීය.
9. රෝම 8:20, 21හි මිනිස්වර්ගයා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පොරොන්දුව කුමක්ද?
9 පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති මේ අය මුළු මිනිස් මැවිල්ලම ‘ජරාවේ වහල්කමින් නිදහස’ ලබන කාලය දෙස මහත් ඕනෑකමින් යුතුව බලා සිටිති. (රෝම 8:20, 21) ක්‍රිස්තුස් හා ඔහුගේ ස්වර්ගීය හමුදා මහත් පීඩාවේ උච්චාවස්ථාව වන අර්මගෙදොනය ගෙන ඒමෙන් පසු එම මිදීම ඇරඹෙනු ඇත. සාතන්ගේ මුළු දුෂ්ට ක්රමයේම විනාශයත් ඉන්පසුව, ක්‍රිස්තුස් රජු ලෙස අවුරුදු දහසකට පාලනය කරන විට ගෙනෙන ආශීර්වාදත් මේ නිදහසෙන් අදහස් කරනු ඇත.—එළිදරව් 19:17-21; 20:6.
10. යෙහෝවාගේ සේවකයන් ගායනා කරනු ඇති ප්‍රශංසා ගීතිකාව කුමක්ද?
10 එවිට ස්වර්ගයේ සිටින යෙහෝවාගේ සේවකයන්ගේ හැඟීම් ප්රතිනාද කිරීමට එක් වන්නාවූ පොළොවේ වසන ඔහුගේ සේවකයන්ගේ ප්‍රමෝදය කොතරම්දැයි සිතන්න. ස්වර්ගයේ සිටින්නෝ ප්‍රීතියෙන් මෙසේ ඔල්වරසන් දෙති. “සර්ව පරාක්‍රම වූ දෙවි යෙහෝවා, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය. ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. යෙහෝවා, ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය. එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාර කරනවා ඇත. මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේය.” (එළිදරව් 15:3, 4) එසේය, නුදුරු අනාගතයේදී යෙහෝවාගේ සියලුම සේවකයෝ එකම සැබෑ දෙවිට නමස්කාර කිරීමෙහි එක්සත් වෙති. මළවුන් පවා නැවත නැඟිටිනු ඇත. ඔවුහුද යෙහෝවාට ප්‍රශංසා කිරීමේ ප්‍රස්තාව ලබති.—ක්‍රියා 24:15.
ඒ මවිතකර නිදහස ඉදිරියේදී
11. මහත් පීඩාවෙන් බේරෙන්නන් භුක්ති විඳිනු ඇත්තේ කිනම් ආකාරයේ නිදහසක්ද?
11 පොළොවේ දුෂ්ටකම පහ කර දමන මහත් පීඩාවේ අර්මගෙදොන් නමැති උච්චාවස්ථාවෙන් පසු, සාතන් නමැති යක්ෂයා “මේ පවතින ක්රමයේ දෙවියා” ලෙස තවදුරටත් ක්‍රියා නොකරනු ඇත. සාතන්ගේ නීච බලපෑම් සමඟ පොරබැදීමට යෙහෝවාගේ නමස්කාරකයන්ට තවදුරටත් සිදු නොවේ. (2 කොරින්ති 4:4, NW; එළිදරව් 20:1, 2) යෙහෝවා ගැන වැරදි අදහස් දීමට හා මිනිස් සමාජය දෙකඩ කරන බලපෑමක් වීමට බොරු ආගම තවත් ඉතිරිව නොතිබෙනු ඇත. සැබෑ දෙවිගේ සේවකයන් තවදුරටත් මිනිස් බලධාරීන්ගේ අයුක්තිය විඳින්නේවත් ඔවුන්ගේ ගොදුරක් වන්නේවත් නැත. ඔවුන් භුක්ති විඳිනු ඇති නිදහස කොතරම් මවිතකරද!
12. සියලුදෙනාම පාපයෙන් හා එහි බලපෑම්වලින් මිදෙනු ඇත්තේ කෙසේද?
12 “ලෝකයේ පාපය නැති කර දමන, දෙවිගේ බැටළු පැටවාණෝ” හැටියට යේසුස් මිනිස්වර්ගයාගේ පාපය අහෝසි කර දැමීමට තම ජීවිත පූජාවේ වටිනාකම යොදාගනු ඇත. (යොහන් 1:29, NW) මේ පොළොව මත සිටියදී යේසුස් මිනිසෙකුගේ පාපවලට සමාව දුන් විට, ඊට සාක්ෂියක් වශයෙන් ඔහුව සුව කළේය. (මතෙව් 9:1-7; 15:30, 31) ඒ හා සමානව, දෙවිගේ රාජ්‍යයේ ස්වර්ගීය රජු හැටියට යේසුස් ක්‍රිස්තුස් අන්ධ, ගොළු, බිහිරි, අබ්බාගාත, මානසික රෝග තිබෙන හෝ ඕනෑම රෝගයකින් පෙළෙන ඕනෑම කෙනෙකුව ආශ්චර්යවත් ලෙස සුව කරනු ඇත. (එළිදරව් 21:3, 4) සියලුම කීකරු ජනයාගේ සිතුවිලි හා ක්‍රියා ඔවුන්ටත් දෙවිටත් ප්‍රියමනාප වීම සඳහා, ඔවුන්ට බලපෑම් කරන ‘පාපයේ නීතිය’ සහමුලින්ම අවලංගු කරනු ලැබේ. (රෝම 7:21-23, NW) දහස් අවුරුදු පාලනය අවසන් වන විට, ඔවුන්ව එකම සැබෑ දෙවිගේ ‘ස්වරූපයෙන් හා සමානත්වයෙන්’ යුත් මිනිස් පරිපූර්ණත්වයට ගෙනැවිත් තිබෙනු ඇත.—උත්පත්ති 1:26.
13. දහස් අවුරුදු පාලනය අවසානයේදී, ක්‍රිස්තුස් කිනම් ක්‍රියා මාර්ගයක් ගනු ඇද්ද? කිනම් ප්‍රතිඵලයක් ඇතුවද?
13 ක්‍රිස්තුස් මිනිස්වර්ගයාව පරිපූර්ණත්වයට ගෙනා පසු, එම වැඩය සඳහා ඔහුට දානය කරන ලද බලතල නැවත තම පියාණන්ට භාර දෙනු ඇත. “ඒ වන විට ඔහු සියලු ආණ්ඩුද සියලු අධිකාරයන්ද බලයන්ද නැති දමා තිබෙන අතර, පසුව ඔහු තම දෙවි සහ පියාණන්ට රාජ්‍යය භාර දෙන්නේය. මන්ද, දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමා තිබෙන තුරු ඔහු රජකම් කළ යුතුය.” (1 කොරින්ති 15:24, 25, NW) අරමුණු කළ සියලුම දේ රාජ්‍යයේ දහස් අවුරුදු පාලනය මගින් ඉටු කර තිබෙනු ඇත. එබැවින් යෙහෝවාටත් මිනිස්වර්ගයාටත් අතරමැදිව සිටීමට මෙම අමතර ද්විතීයික ආණ්ඩුව තවදුරටත් අවශ්‍ය නොවේ. පාපයත් මරණයත් සම්පූර්ණයෙන් ඉවත් කර මිනිස්වර්ගයාව ඉන් මුදාගෙන තිබෙනු ඇති නිසා, මිදුම්කාරයා ලෙස යේසුස්ගේ අවශ්‍යතාවද නැති වනු ඇත. බයිබලය තත්වය මෙසේ පැහැදිලි කරයි. “සියල්ල ඔහුට යටත් කර තිබෙන විට පුත්‍රයාද, තමන්ට සියල්ල යටත් කළ තැනැත්තාට යටත් වන්නේය. එසේ කරන්නේ දෙවි සියල්ලන්ට සියල්ල වන පිණිසය.”—1 කොරින්ති 15:28, NW.
14. පරිපූර්ණත්වයට ගෙනා සියලුම මිනිසුන්ව භාජන කරන්නේ කුමකටද? ඒ මන්ද?
14 මෙයින් පසුව, තමන්ගේ තේරීම එකම සැබෑ දෙවිට සදාකාලයටම සේවය කිරීමද නැද්ද යන්න නිරූපණය කිරීමට පරිපූර්ණ මිනිස්වර්ගයාට අවස්ථාවක් දෙනු ලැබේ. එමනිසා, ඔවුන්ව ඔහුගේ දරුවන් ලෙස සම්පූර්ණයෙන්ම පිළිගැනීමට පෙර, පරිපූර්ණත්වයට ගෙනා යටත්වැසි මිනිසුන් සියලුදෙනාවම අවසාන පරීක්ෂණයකට භාජන කෙරේ. සාතන් හා ඔහුගේ භූතයන්ව පාතාලයෙන් මුදනු ලැබේ. මෙයින් යෙහෝවාට සැබෑවටම ප්‍රේම කරන්නන්ට කිසිදු හානියක් නොවනු ඇත. එහෙත්, යෙහෝවාට පක්ෂපාතී නොවී ඔහුට අකීකරු වීමට නැඹුරු වන අයව, මුල් කැරලිකාරයා හා ඔහුගේ භූතයන් සමඟ සදාකාලයටම විනාශ කර දැමේ.—එළිදරව් 20:7-10.
15. යෙහෝවාගේ මුළු මහත් බුද්ධිමත් මැවිල්ල තුළ යළිත් වරක් තිබෙනු ඇති තත්වය කුමක්ද?
15 එවිට, අවසාන පරීක්ෂණය අතරතුරේදී දෙවිගේ පරමාධිපත්‍යයට පක්ෂපාත වූ පරිපූර්ණත්වයට ගෙනෙනු ලැබූ සියලුදෙනාවම යෙහෝවා තම දරුවන් ලෙස පිළිගනු ලැබේ. එතැන් පටන්, දෙවිගේ විශ්වනීය පවුලේ කොටසක් හැටියට දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස ඔවුන් සම්පූර්ණයෙන්ම භුක්ති විඳිනවා ඇත. ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සිටින මුළු මහත් බුද්ධිමත් මැවිල්ලම එකම සැබෑ දෙවි හැටියට ඔහුට නමස්කාර කිරීමෙහි නැවත වරක් එක්සත් වනු වේවි. ඒ වන විට, යෙහෝවාගේ අරමුණ තේජාන්විත සාර්ථකත්වයක් අත් කරගෙන තිබෙනු ඇත! එම ප්‍රීතිමත්, සදාකාලික, විශ්වනීය පවුලේ සාමාජිකයෙකු වීමට ඔබ කැමතිද? එසේ නම්, බයිබලයේ 1 යොහන් 2:17හි ඇති වදන් සිතට ගන්න කියා ඔබට දිරිගන්වන්ට අපි කැමැත්තෙමු. “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නුමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”
පුනරීක්ෂණ සාකච්ඡාව
• ඒදන්හි සිදු වූ කැරලිගැසීමට පෙර, යෙහෝවාගේ සියලුම නමස්කාරකයන්ට ඔහු සමඟ තිබූ සම්බන්ධතාව කෙබඳුද?
• දෙවිගේ සේවකයන් වන අයට තිබෙන වගකීම කුමක්ද?
• තවදුරටත් දෙවිගේ දරුවන් වීමට සිටින්නේ කවුරුන්ද? එක්සත් නමස්කාරය පිළිබඳ යෙහෝවාගේ අරමුණට මෙය සම්බන්ධ වන්නේ කෙසේද?
[190වන පිටුවේ පින්තූරය]
කීකරු මිනිස්වර්ගයා පාරාදීස පොළොවක ජීවිතය භුක්ති විඳිනු ඇත