දෙවියන්වහන්සේ දැනටමත් අපගේ ඉරණම තීරණය කොට තිබේද?
“බොහෝ විට පූර්ව නියමය යනුවෙන් වැරදි ලෙස වටහාගන්නාවූ යෙදුම කොහෙත්ම භාවිත නොවී නම්, මනඃකල්පිත ගැටලු බොහොමයකින් වළකිනවා ඇත.” ඔබ මෙම “පූර්ව නියමය” යන වචනය භාවිත කර ඇත්නම්, හෝ එය භාවිත කරනවා අසා තිබේ නම්, මෙසේ ප්‍රකාශ කර ඇත්තේ මන්ද කියා ඔබ කල්පනා කරනවා විය හැක.
මෑතකදී පළවූ ටෙඕ නමැති ප්‍රංශ කතෝලික විශ්වකෝෂයට අනුව, “පූර්ව නියමය” යන වචනයෙන් අප වැළකී සිටීම වඩා යෙහෙකි. තවත් පොතක් මෙසේ ප්‍රකාශ කරයි: “අදදින, පූර්ව නියමය යන යෙදුම, පෙනෙන විදිහට දේවධර්මීය විවාදවල, රෙපරමාදුවන් වැඩිදෙනෙකු අතර පවා තවදුරටත් මුල් තැන නොගනී.”
කෙසේවෙතත්, පූර්ව නියමය පිළිබඳ ප්රශ්නය ඉතිහාසය පුරා බොහෝදෙනෙකුගේ සිතට වධ දී තිබේ. එය වනාහි ප්‍රතිසංස්කරණය ඇතිවීමට පාදක වූ මතභේදවල කේන්ද්‍රය වූ අතර, කතෝලික පල්ලිය තුළම පවා, එය සියවස් ගණනාවක් පුරා උණුසුම් විවාදයක විෂයක් වූයේය. එය අදදින එතරම් විවාදයට ගැනෙන්නක් නොවුවත්, එය තවමත් ගැටලුවක්ව පවතී. තමන්ගේ ඉරණම කලින් තීරණය කර තිබේද කියා දැනගැනීමට වුවමනා නොවනු ඇත්තේ කාටද?
පූර්ව නියමය—වචනයේ අර්ථය
පල්ලි තුළ මෙම “පූර්ව නියමය” යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද? ඩික්සියොනැර් ඩ ටේයොලොජි කටොලීක් එය සලකන්නේ, “නමින් සඳහන් කරනු ලැබූ එක්තරා පුද්ගලයන්ව සදාකාල ජීවනයට ගෙන ඒම සඳහා වූ දිව්‍ය අභිප්‍රාය වශයෙනි.” මෙම “නමින් සඳහන් කරනු ලැබූ” තෝරාගත් අය, වනාහි රෝමවරුන්ට ලියන ලද ලිපියේ ප්‍රේරිත පාවුල් විසින් යොමු දක්වා ඇති අය යයි සාමාන්‍යයෙන් කල්පනා කෙරේ. එය මෙම වදන්වලින් විස්තර කෙරේ: “දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකර[යි]. . . මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ . . . පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක. පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවූසේක.”—රෝම 8:28-30.
ඇතැම් අයව ඔවුන්ගේ උපතට පෙර පවා, ස්වර්ගයේදී ක්‍රිස්තුස්වහන්සේගේ මහිමයට පංගුකාරයන් වීමේ අභිප්‍රායෙන්, දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබුවේ යයි කල්පනා කෙරිණි. මෙය දීර්ඝකාලයක් මුළුල්ලේ විවාද වන ප්‍රශ්නයකට තුඩු දෙයි: දෙවියන්වහන්සේ, තමන්වහන්සේ විසින් ගළවාගැනීමට කැමතිව සිටින අයව ස්වකීය තනි කැමැත්තට අනුව තෝරාගන්නාසේක්ද, නැතහොත් මිනිසුන්හට නිදහස් කැමැත්ත සහ දේව අනුමැතිය ලබා, එය රඳවා තබාගැනීමට යම් කොටසක් කිරීමට තිබේද?
ඔගස්ටින්, පූර්ව නියමයෙහි පියා
වෙනත් සභා පියවරු පූර්ව නියමය පිළිබඳව කලින් ලියා තිබුණද, කතෝලික සහ රෙපරමාදු පල්ලි යන දෙක සඳහා මෙම මූලධර්මයේ පදනම දමා ඇත්තේ ඔගස්ටින් (පො.යු. 354-430) යයි සාමාන්‍යයෙන් සැලකේ. ඔගස්ටින් පවසන පරිදි, ධර්මිෂ්ඨ අයට, සදාකාල ආශීර්වාද ලැබීම සඳහා දෙවියන්වහන්සේ විසින් අනියත කාලයක් තිස්සේ පූර්වයෙන් නියම කර තිබේ. අනික් අතට, අධර්මිෂ්ඨයෝ, මෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් දෙවියන්වහන්සේ විසින් පූර්වයේ නියම කරනු නොලැබ සිටියද, තමන්ගේ පාපවලට ලැබිය යුතු දඬුවම, එනම් ශාපය ලබති. ඔගස්ටින්ගේ පැහැදිලි කිරීම තුළ, නිදහස් කැමැත්තට තිබුණේ අල්ප ස්ථානයක් වූ අතර, මෙසේ මෙය බොහෝ මතභේදවලට තුඩු දුන්නේය.
ඔගස්ටින්ගේ උරුමක්කාරයෝ
පූර්ව නියමය හා නිදහස් කැමැත්ත සම්බන්ධ විවාදය මධ්‍යම යුගවලදී නිතිපතා ඉස්මතු වූ අතර, ප්‍රතිසංස්කරණය සිදුවූ කාලය අතරතුරේදී ඒ සඳහා යම් ක්‍රියා මාර්ගයක් ගත යුතු තත්ත්වයකට එය පැමිණියේය. ලූතර් පුද්ගල පූර්ව නියමය දුටුවේ, දෙවියන්වහන්සේ විසින් එම තෝරාගත් තැනැත්තාගේ අනාගතික ගුණාගුණ හෝ යහපත් ක්‍රියාවන් ගැන නොසලකා උන්වහන්සේගේ නිදහස් තේරීමට අනුව, එම පුද්ගලයාව කලින් නියම කොට ඇති බවයි. කැල්වින් එළඹුණේ වඩාත් මුළුමනින්ම වෙනස් නිගමනයකටය, ඔහුට පූර්ව නියමය පිළිබඳ දෙවැදෑරුම් සංකල්පයක් තිබිණි: එනම්, ඇතැම් අය, සදාකාල ජීවනයටත්, අනික් අය සදාකාලික ශාපයටත් පූර්ව නියම කොට තිබෙන බවය. කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ තේරීම ස්වකීය තනි කැමැත්තට අනුව ගත් එකක් බවත්, තවද තේරුම්ගත නොහැකි යමක් බවත් කැල්වින්ද සැලකුවේය.
පූර්ව නියමය පිළිබඳ කාරණය සහ ඊට ළඟින් බැඳී ඇති, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ව ගළවන සහ ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරන ක්‍රියාවට පල්ලි විසින් භාවිත කරන ලද වචනය වන “අනුග්‍රහය” යන්න හා සබැඳි ප්රශ්නය කොතරම් මහා පරිමාණයකට පත්වූයේද යත්, 1611දී, කතෝලික ශුද්ධ අධිකාරයේ අවසරය නොමැතිව එම විෂය ගැන කිසිවක් පළ නොකරන ලෙසට, එම අධිකාරය තහනම් කළේය. කතෝලික පල්ලිය තුළම, ඔගස්ටින්ගේ ඉගැන්වීම්වලට 17 සහ 18වන සියවස්වලදී, ප්‍රංශ ජන්සිනියානුවරුන්ගේ දැඩි අනුග්‍රහය ලැබිණි. මොවුහු ක්‍රිස්තියානි ධර්මයේ ඉතා අල්පේච්ඡ මෙන්ම ඉහළ පැලැන්තියේ ක්‍රමයක් බිහිකළ අතර, රදළ පැලැන්තියේ අයද ඔවුන්ගේ අනුගාමිකයන් අතර විය. එහෙත්, මෙම කාරණය සම්බන්ධ මතභේදය පහවී ගියේ නැත. XIVවන ලුවී රජු විසින් ජන්සිනියානුවාදී චින්තනයේ තොටිල්ල වූ පෝට් රොයාල් තාපසාරාමයේ විනාශය නියෝග කරන ලදි.
රෙපරමාදු ප්‍රතිසංස්කෘත පල්ලි අතර පවා, මෙම සාකච්ඡාව නිමාවට පත්වූයේ නැත. යකොබුස් ආර්මීනියස් අනුගමනය කළ අනික් අය සමඟ, මීට දැඩි සේ විරුද්ධවූවන් විශ්වාස කළේ, මිනිසෙකුට තමාගේ ගැළවීම සම්බන්ධයෙන් යම් කාර්ය භාරයක් ඉටු කිරීමට තිබෙන බවය. ඩොර්ඩුක්ට්හි පැවති රෙපරමාදු ධර්මාධිකාරි සභාව (1618-19), එය කැල්වින්වාදීන්ගේ සාධර්මිකතාවේ දැඩි ක්‍රමයක් පිහිටුවාගත් විට, මෙම ප්රශ්නය තාවකාලිකව සමථයකට පත් කළේය. ලවාන්ට්යුර් ඩ ලා රෙෆොර්ම්—ල මොන්ඩ් ඩ ජාන් කලිවැන් නම් වූ පොතට අනුව, ජර්මනියේ පැවති පූර්ව නියමය සහ නිදහස් කැමැත්ත පිළිබඳ මෙම දබරය, දීර්ඝ කාලයක් මුළුල්ලේ, “එකඟ කිරීමේ අසාර්ථක ප්‍රයත්නවලට මෙන්ම, වැරදි ලෙස යොදාගැනීම්වලට, සිරගත කරනු ලැබීම්වලට සහ දේවධර්මාචාර්යවරුන් රටින් පිටිවහල් කිරීමට” තුඩු දුන්නේය.
පූර්ව නියමයද නැතහොත් නිදහස් කැමැත්තද?
ආරම්භයේ පටන්, පූර්ව නියමය හා නිදහස් කැමැත්ත පිළිබඳව අන්ත දෙකේම පවතින මෙම ප්‍රතිවිරුද්ධ අදහස්, උණුසුම් ගැටුම් බොහොමයක් අවුස්සාලීය. මෙම නොගැළපීම පැහැදිලි කිරීමට ඔගස්ටින්ට ඔහුගේ පැත්තෙන් නොහැකි වී තිබිණි. එය දෙවියන්වහන්සේගේ පරමාධිපති නිදහසේ ප්‍රකාශයක් බවත්, මෙබැවින්, එය පැහැදිලි කළ නොහැක්කක් බවත්, කැල්වින්ද දුටුවේය.
එහෙත්, දෙවියන්වහන්සේගේ ගුණාංග හා පෞද්ගලිකත්වය ගැන බයිබලයේ හෙළි කරන දෙයින්, මෙම ප්‍රශ්න වඩාත් පැහැදිලි ලෙස තේරුම්ගැනීමට අපට උපකාර කරයිද? පහත ලිපිය මෙම කරුණු වඩාත් විස්තර සහිතව පරීක්ෂා කරනවා ඇත.
[4වන පිටුවේ පින්තූර]
කැල්වින්
ලූතර්
යාන්සන්
[හිමිකම් විස්තර]
Pictures: Bibliothèque Nationale, Paris