කායිසර්ගේ දේ කායිසර්ට දීම
“සියල්ලන්ට දෙන්ට යුතු දේ දීපල්ලා.”—රෝම 13:7.
1, 2. (අ) යේසුස්වහන්සේට අනුව, ක්‍රිස්තියානීන් දෙවියන්වහන්සේට හා කායිසර්ට තිබෙන තම වගකීම් සමබරව තබාගත යුත්තේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලික සැලකිල්ල යොමු වන්නේ කුමකටද?
යේසුස්වහන්සේ පැවසූ පරිදි, දෙවියන්වහන්සේට දිය යුතු දේවල් මෙන්ම, කායිසර්ට නොහොත් රජයට දිය යුතු දේවල්ද අපට තිබේ. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “කායිසර්ගේ දේ කායිසර්ටද දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටද දීපල්ලා.” මේ වචන ස්වල්පය පැවසීමෙන් සිය සතුරන් අන්ද මන්ද කළ උන්වහන්සේ, දෙවියන්වහන්සේ සමඟ අපේ සබඳතාවේදී මෙන්ම රජය සමඟ අප කටයුතු කරන අන්දමේදීද අපට තිබිය යුතු සමබර ආකල්පය විශිෂ්ට ලෙස කැටිකොට දැක්වූසේක. සිය ශ්‍රාවකයන් “උන්වහන්සේ ගැන බොහෝසෙයින් පුදුමවූ” බවට සැකයක් නැත!—මාර්ක් 12:17.
2 ඇත්තෙන්ම, දෙවියන්වහන්සේගේ සෙනඟගේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේට දීම වෙතය. (ගීතාවලිය 116:12-14) කෙසේවෙතත්, මෙසේ කරද්දී, ඇතැම් දේ කායිසර්ට දිය යුතු බවට යේසුස්වහන්සේ පැවසූ දේ ඔවුහු අමතක නොකරති. කායිසර් ඉල්ලා සිටින දේ තමන්ට ගෙවිය හැක්කේ කෙතරම් දුරකටදැයි ඔවුන් යාච්ඤාපූර්වකව, බයිබලය මත පුහුණු කර තිබෙන සිය හෘදය සාක්ෂිය මගින් සලකාබැලීම අවශ්‍යය. (රෝම 13:7) නූතන කාලවල ආණ්ඩු බලයට සීමා ඇති බවත්, සෑම තැනකම වෙසෙන ජනයා හා ආණ්ඩු ස්වාභාවික නියමයට බැඳී සිටින බවත්, නීතිවේදීන් බොහෝදෙනෙකු පිළිගෙන ඇත.
3, 4. ස්වාභාවික නියමය, එළිදරව් කරන ලද නියමය හා මිනිස් නීති සම්බන්ධයෙන් පළ කර තිබෙන සිත්ගන්නා අදහස් කවරේද?
3 ප්‍රේරිත පාවුල් ලෝකයේ ජනයා ගැන ලිවූ විට මෙම ස්වාභාවික නියමයට යොමු දැක්වීය: “දෙවියන්වහන්සේ ගැන දැනගන්ට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ; කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශකළසේක. මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.” ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වුවහොත්, මෙම නොඇදහිලිකාරයන්ගේ හෘදය සාක්ෂි පවා ස්වාභාවික නියමය මගින් පොලඹවනු ලබනවා ඇත. එබැවින් පාවුල් තවදුරටත් මෙසේ පැවසුවේය: “ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද? ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.”—රෝම 1:19, 20; 2:15, 16.
4 දහඅටවන සියවසේදී, සුප්‍රසිද්ධ ඉංග්‍රීසි නීතිවේදී විලියම් බ්ලැක්ස්ටන් මෙසේ ලීවේය: “ස්වභාව ධර්මයේ මෙම නියමය [ස්වාභාවික නියමය], මිනිස්වර්ගයා [පැවත තිබෙන වකවානුවට] සමකාලීනව දිව යන නිසාත්, දෙවියන්වහන්සේ විසින් නිර්දේශ කොට ඇති නිසාත්, බැඳීම සම්බන්ධයෙන් වෙනත් ඕනෑම එකකට වඩා උසස්ය. ඊට බැඳී සිටීම මුළු ලොව පුරා, සෑම රටකම, සෑම කාලයකටම අදාළය: මෙයට පටහැනි නම්, කිසිදු මිනිස් නීතියක් වලංගු නොවේ.” බයිබලයෙහි සොයාගත හැකි “එළිදරව් කරන ලද නියමය” ගැන කතා කිරීමෙහි නිරත වූ බ්ලැක්ස්ටන් මෙසේ අදහස් දැක්වීය: “ස්වභාව ධර්මයේ නියමය හා එළිදරව් කරන ලද නියමය නමැති මෙම අත්තිවාරම් දෙක මත, සියලු මිනිස් නීති රඳා පවතී; වෙනත් වචනවලින් කිවහොත්, කිසිදු මිනිස් නීතියකට මේවාට විරුද්ධව යෑමට ඉඩ නොහළ යුතුය.” මාර්ක් 12:17හි වාර්තා කර තිබෙන පරිදි, දෙවියන්වහන්සේ හා කායිසර් ගැන යේසුස්වහන්සේ පැවසූ දෙයට මෙය එකඟය. කායිසර්ට ක්‍රිස්තියානි භක්තිකයෙකුගෙන් අවශ්‍ය කරන දෙය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ සීමා පනවන අංශ ඇති බව පැහැදිලිය. යේසුස්වහන්සේ ගැන දේශනා කිරීම නතර කිරීමට යුදෙව් මන්ත්‍රණ සභාව ප්‍රේරිතයන්ට ආඥා කළ විට, ඔවුහු එවන් අංශයකට පිවිසුණහ. එබැවින් ප්‍රේරිතයෝ නිවැරදිව මෙසේ ප්‍රතිචාරය දැක්වූහ: “[පාලකයාණන් හැටියට, NW] මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.”—ක්‍රියා 5:28, 29.
“දෙවියන්වහන්සේගේ දේ”
5, 6. (අ) වර්ෂ 1914දී රාජ්‍යයේ උපත හේතුවෙන්, ක්‍රිස්තියානීන් වඩාත් සැලකිලිමත්ව සිතේ තබාගත යුත්තේ කුමක්ද? (ආ) තමා දේවසේවකයෙකු බව ක්‍රිස්තියානියෙකු සාක්ෂිදරන්නේ කෙසේද?
5 දෙවියන්වහන්සේගේ දේ කායිසර්ට දීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුව තිබෙන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ මෙසියානු රාජ්‍යය කරණකොටගෙන, 1914දී සර්ව පරාක්‍රම යෙහෝවඃ දෙවියන්වහන්සේ රජාණන් ලෙස පාලනය කරන්ට පටන් ගත්දා සිටය. (එළිදරව් 11:15, 17) පෙර නොවූ විරූ අන්දමකින්, ‘ලෝකයෙන් කොටසක් නොවී සිටීමට’ දේවනීතිය අදදින ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටී. (යොහන් 17:16) තම ජීවනදායක දෙවියන්වහන්සේට කැප වී සිටින ඔවුන්, තවදුරටත් තමන්ටම අයිති නැති බව පැහැදිලිව නිරූපණය කළ යුතුය. (ගීතාවලිය 100:2, 3) පාවුල් ලිවූ පරිදි, “අපි ස්වාමීන්වහන්සේගේය.” (රෝම 14:8) එපමණක්ද නොව, ක්‍රිස්තියානි භක්තිකයෙකු බව්තීස්ම වන විට, දෙවියන්වහන්සේගේ සේවකයෙකු හැටියට ඔහුව පත් කරනු ලැබේ, එබැවින් පාවුල් සමඟ ඔහුට මෙසේ පැවසිය හැක: “දෙවියන්වහන්සේ . . . සේවකයින් කොට අප සමර්ථකළසේක.”—2 කොරින්ති 3:5, 6.
6 ප්‍රේරිත පාවුල් මෙසේද ලීවේය: “මම . . . මාගේ මෙහෙයට ගෞරවකරමි.” (රෝම 11:13) අපද එසේ කළ යුතු බවට කිසිදු සැකයක් නැත. අප සේවයෙහි හවුල් වන්නේ පූර්ණ-කාලීනව හෝ අර්ධ-කාලීනව හෝ වුවත්, අපේ සේවය අපට පවරා තිබෙන්නේ යෙහෝවඃවහන්සේ බව අප මනසෙහි තබාගත යුතුය. (2 කොරින්ති 2:17) සමහරුන් අපේ ස්ථාවරයට අභියෝග කළ හැකි නිසා, සෑම කැප වූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානි භක්තිකයෙකුම, තමා සැබවින්ම ශුභාරංචියේ දේවසේවකයෙකු බවට පැහැදිලි, ඒකාන්ත සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිය යුතුය. (1 පේතෘස් 3:15) ඔහුගේ හැසිරීම තුළින්ද ඔහුගේ සේවය පිළිබිඹු විය යුතුය. දේවසේවකයෙකු වශයෙන්, ක්‍රිස්තියානි භක්තිකයෙකු, පිරිසිදු සදාචාර ප්‍රමිති නිර්දේශ කරමින් ඒවා පිළිපැදිය යුතු අතර, පවුල් එක්සත්කම රැකගනිමින්, අවංකව කටයුතු කොට, නීතියට හා විනයට ගෞරවය පෙන්විය යුතුය. (රෝම 12:17, 18; 1 තෙසලෝනික 5:15) ක්‍රිස්තියානි භක්තිකයෙකුගේ ජීවිතයේ වඩාත් වැදගත් දේවල් වූ කලි, දෙවියන්වහන්සේ සමඟ තිබෙන තම සබඳතාව මෙන්ම දිව්‍යමය ලෙස පවරා ඇති ඔහුගේ සේවය වේ. කායිසර්ගේ ආඥාව පිට මේවා අත්හැරීමට ඔහුට බැරිය. ඒවා “දෙවියන්වහන්සේගේ දේ” අතර ගණන් ගත යුතු බව පැහැදිලිය.
“කායිසර්ගේ දේ”
7. බදු ගෙවීම සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලබා තිබෙන කීර්තිය කුමක්ද?
7 තමුන් ආණ්ඩු පාලකයන් නොහොත්, “බලයලත් මුලාදෑනීන්ට යටත්” විය යුතු බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දනිති. (රෝම 13:1) එබැවින්, කායිසර්, එනම් රජය, නීත්‍යනුකූල ඉල්ලීම් කරන විට, බයිබලය මගින් පුහුණු කරන ලද ඔවුන්ගේ හෘදය සාක්ෂි මෙම ඉල්ලීම්වලට අවනත වීම සඳහා ඔවුන්ට ඉඩ දෙයි. උදාහරණයක් වශයෙන්, සැබෑ ක්‍රිස්තියානීහු මිහිපිට ඉතා ආදර්ශවත් බදු ගෙවන්නන් අතර වෙත්. ජර්මනියේ ම්යූන්ච්නර් මෙර්කූර් නමැති පුවත්පත, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන මෙසේ පැවසීය: “ෆෙඩරල් ජනරජයේ සිටින වඩාත් අවංක මෙන්ම අප්‍රමාදව බදු ගෙවන්නෝ ඔවුහුය.” ඉතාලියේ ලා ස්ටාම්පා නමැති පුවත්පත මෙසේ නිරීක්ෂණය කළේය: “ඔවුහු [යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ] ඕනෑම කෙනෙකුගේ සිත්ගන්නාවූ ඉතා පක්ෂපාත පුරවැසියෝ වෙති: ඔවුහු බදු ගෙවීම මඟ නොහරිති, නැතහොත් තම ලාභය පිණිස අවාසිදායක නීතිවලින් බේරීමට ක්‍රම නොසොයති.” යෙහෝවඃවහන්සේගේ සෙනඟ ‘තම හෘදය සාක්ෂීන් නිසා’ මෙසේ කරති.—රෝම 13:5, 6.
8. අප කායිසර්ට ගෙවිය යුතු දෙය මූල්‍ය බදුවලට පමණක් සීමා වී තිබේද?
8 “කායිසර්ගේ දේ” බදු ගෙවීමට සීමා වී තිබේද? නැත. භය හා ගෞරවය වැනි වෙනත් දේවල් පාවුල් ලැයිස්තුගත කළේය. ක්‍රිටිකල් ඇන්ඩ් එක්සිජීටිකල් හෑන්ඩ්-බුක් ටු ද ගොස්පල් ඔෆ් මැතිව් යන සිය කෘතියේ ජර්මන් විශාරද හයින්රිච් මෙයර් මෙසේ ලීවේය: “[කායිසර්ගේ දේ] යනුවෙන් . . . පවසන විට, මීට ඇතුළත් වන්නේ සිවිල් බදු පමණක්යයි අප තේරුම් නොගත යුතුය, නමුත් කායිසර්ගේ නීත්‍යනුකූල පාලනය හේතුකොටගෙන ඔහුට හිමි සෑම දෙයක්ම මීට ඇතුළත්ය.” බදු ගෙවීමට ක්‍රිස්තියානියෙකුට සිදු වූයේ නම්, ඔහු එය ගෙවන බවත්, “දෙවියන්වහන්සේට දිය යුතු දේ කායිසර්ට දීම ඔහුගෙන් ඉල්ලා නොසිටීමේ කොන්දේසිය මත, රජයේ වෙනත් සියලුම වගකීම් පිළිගන්නා” බවත්, ද රයිස් ඔෆ් ක්‍රිස්ටියැනිටි යන සිය කෘතියේ, ඉතිහාසඥ ඊ. ඩබ්. බාර්න්ස් නිරීක්ෂණය කළේය.
9, 10. කායිසර්ට දිය යුතු දේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානියෙකු කවර අන්දමකින් පසුබට විය හැකිද, නමුත් කවර කාරණා මනසෙහි තබාගත යුතුද?
9 යුක්තිසහගත ලෙස දෙවියන්වහන්සේට අයිති දේවල් කෙරෙහි හිමිකම් පාන්නේ නැතුව, රජයට ඉල්ලා සිටිය හැක්කේ කවර දේවල්ද? කායිසර්ට බදු වශයෙන් මුදල් පමණක් දීමට තමුන්ට හැකි බව ඇතමුන්ට හැඟී ගොස් ඇත. දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් වෙනුවෙන් යෙදිය හැකි කාලය වැය කළ හැකි ඕනෑම දෙයක් කායිසර්ට දීම ගැන ඔවුන්ට සහතිකවම පහසුවක් නොදැනෙනු ඇත. කෙසේවෙතත්, ‘අපේ මුළු හෘදයෙන්, ආත්මයෙන්, බුද්ධියෙන් හා ශක්තියෙන් අපේ දෙවි වූ යෙහෝවඃවහන්සේට ප්‍රේම කළ යුතු’ බව සැබෑවක් වුවද, අපේ පරිශුද්ධ සේවයට අමතර දේවලටත් කාලය ගත කිරීම යෙහෝවඃවහන්සේ අපෙන් අපේක්ෂා කරනසේක. (මාර්ක් 12:30; පිලිප්පි 3:3) උදාහරණයක් වශයෙන්, තම විවාහක කලත්‍රයා සතුටු කිරීමට කාලය මිඩංගු කිරීමට විවාහක ක්‍රිස්තියානියෙකුට උපදෙස් දී තිබේ. මෙවන් ක්‍රියාකාරකම් නරක ඒවා නොවුවත්, ඒවා “ලෝකයේ කාරණා” මිසක, “ස්වාමීන්වහන්සේගේ කාරණා” නොවන බව ප්‍රේරිත පාවුල් ප්‍රකාශ කරයි.—1 කොරින්ති 7:32-34; සසඳන්න 1 තිමෝති 5:8.
10 ඇරත්, ක්‍රිස්තුස්වහන්සේ සිය අනුගාමිකයන්ට බදු ‘දීමට’ නියෝග කළ අතර, අපේ මුළු ජීවිත මේ අන්දමින් කැප කොට ඇති බැවින්, යෙහෝවඃවහන්සේට කැප කළ කාලය මීට ඇතුළත් වන බව සහතිකය. රටක සාමාන්‍ය බදු අය කිරීමේ අනුපාතය, ආදායමෙන් සියයට 33ක් නම් (ඇතැම් රටවල එය ඊටත් වඩා වැඩිය), සාමාන්‍ය සේවකයෙකු උපයන දෙයින් මාස සතරක වේතනයට සමාන මුදලක් වාර්ෂිකව රජයේ භාණ්ඩාගාරයට ගෙවන බව මින් අදහස් කෙරේ. වෙනත් අන්දමකින් පැවසුවහොත්, සාමාන්‍ය සේවකයෙකු, තමා රැකියාවක් කරන මුළු කාලය අවසානයේදී, “කායිසර්” ඉල්ලා සිටින බදු මුදල ඉපයීම සඳහා වර්ෂ 15ක් වැය කොට ඇති බවය. පාසැල් යෑම හා සම්බන්ධ කාරණයද සලකා බලන්න. දෙමාපියන්, තම දරුවන් අවම අවුරුදු ප්‍රමාණයකට පාසැල් යැවිය යුතුවීම බොහෝ රටවල නීතියෙන් අවශ්‍ය කරවන්නකි. පාසැල් යා යුතු අවුරුදු ප්‍රමාණය රටින් රටට වෙනස් වේ. බොහෝ ප්‍රදේශවල ඊට සෑහෙන කාලයක් ඇතුළත් වේ. එසේ පාසැල් යෑම සාමාන්‍යයෙන් ප්‍රයෝජනදායක වන බව සැබෑවකි, නමුත් දරුවෙකු ජීවිතය මේ ආකාරයෙන් ගත කළ යුත්තේ කුමන කාලපරිච්ඡේදයේද කියා තීරණය කරන්නේ කායිසර්ය, තවද කායිසර්ගේ තීරණයට ක්‍රිස්තියානි දෙමාපියෝ අවනත වෙති.
අනිවාර්ය හමුදා සේවය
11, 12. (අ) බොහෝ රටවල කායිසර් ඉල්ලා සිටින්නේ කවර බලවත් ඉල්ලීමද? (ආ) මුල් ක්‍රිස්තියානීන් හමුදා සේවය දෙස බැලුවේ කෙසේද?
11 ඇතැම් රටවල කායිසර් ඉල්ලා සිටින දෙයකි, අනිවාර්ය හමුදා සේවය. විසිවන සියවසේ, බොහෝ ජාතීන් විසින් මෙම විධිවිධානය යුද කාලයේදී ස්ථාපිත කර ඇති අතර, සාමය පවතින කාලවල පවා එය ඇතැම් ජාතීන් විසින් ස්ථාපිත කර ඇත. ප්‍රංශයේ මෙම වගකීම වර්ෂ ගණනාවක් පුරා හඳුන්වන ලද්දේ ලේ බද්ද හැටියටය, ඉන් අදහස් කළේ, රජය වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමට සෑම තරුණයෙකුම කැමැත්තක් දැක්විය යුතුව තිබුණු බවය. මෙය යෙහෝවඃවහන්සේට කැප වූ අයට හෘදය සාක්ෂියට එකඟව පිරිනැමිය හැකි දෙයක්ද? පළමු සියවසේ ක්‍රිස්තියානීන් මෙම කාරණය සැලකුවේ කෙසේද?
12 යහපත් පුරවැසියන් වීමට මුල්ම ක්‍රිස්තියානීන් වෑයම් කළද, ඔවුන්ගේ ඇදහිල්ල නිසා, වෙනත් කෙනෙකුගේ ජීවිතය පැහැර ගැනීමෙන් නැතහොත් රජය වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමෙන් ඔවුහු වැළකී සිටියහ. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් මෙසේ ප්‍රකාශ කරයි: “මිනිස් ජීවිත පැහැර ගැනීමෙන් ක්‍රිස්තියානීන්ව වළක්වනු ලැබූ බව ටර්ටූලියන් හා ඔරිගන් ඇතුළු මුල් සභා පියවරු සනාථ කළහ, මේ ප්‍රතිපත්තිය නිසා ඔවුහු රෝම යුද හමුදාවට නොබැඳුණහ.” දි අර්ලි චර්ච් ඇන්ඩ් ද වර්ල්ඩ් නමැති සිය පොතෙහි මහාචාර්ය සී. ජේ. කාඩූ මෙසේ ලියයි: “යටත් පිරිසෙයින් මාර්කස් ඕරීලියස්ගේ පාලන සමය [පො.යු. 161-180] දක්වා, කිසිදු ක්‍රිස්තියානියෙකු සිය බව්තීස්මයෙන් පසු සොල්දාදුවෙකු බවට පත් නොවනු ඇත.”
13. මුල් ක්‍රිස්තියානීන් සැලකුවාක් මෙන්, ක්‍රිස්තියානි ලෝකයේ බහුතරයක් හමුදා සේවය නොසලකන්නේ මන්ද?
13 ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල සාමාජිකයන් අදදින කාරණා මෙලෙස නොසලකන්නේ මන්ද? සිව්වන සියවසේ සිදු වූ ප්‍රබල වෙනස්වීමක් නිසාය. ඒ හිස්ට්‍රි ඔෆ් ද ක්‍රිස්ටියන් කවුන්සිල්ස් යන කතෝලික කෘතිය මෙසේ පැහැදිලි කරන්නේය: “මිථ්‍යාදෘෂ්ටික අධිරාජ්‍යවරුන් යටතේ විසූ . . . ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක්, හමුදා සේවය සම්බන්ධයෙන් ආගමික ප්‍රතිපත්ති ඇතුව සිටි අතර, අවි ගැනීම සහමුලින්ම ප්‍රතික්ෂේප කළහ, නැතහොත් එය අත්හැර දැමූහ. කොන්ස්ටන්ටයින් විසින් හඳුන්වන ලද වෙනස්වීම සැලකිල්ලට භාජන කරද්දී, [පො.යු. 314දී පවත්වන ලද ආර්ල්හි] සිනොඩ් සභාව, ක්‍රිස්තියානීන් යුද්ධයට යා යුතු බවට බැඳීම ස්ථාපිත කළේය, . . . ඒ මන්දයත් ක්‍රිස්තියානීන් සමඟ මිත්රශීලීව සිටින කුමරෙකු සමඟ සභාව සාමයෙන් (ඉන් පාකේ) සිටින බැවිනි.” යේසුස්වහන්සේගේ ඉගැන්වීම් මෙලෙස පැහැර හැරීම හේතුකොටගෙන, එදා පටන් මේ දක්වා, ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය, තම රැළවල් දිරිගන්වා තිබෙන්නේ ජාතීන්ගේ හමුදාවල සේවය කිරීමටය, ඒ කෙසේවෙතත්, සමහර පුද්ගලයන් හෘදය සාක්ෂියට එකඟව විරෝධයපාන්නන් ලෙස ස්ථාවරයක් ගෙන ඇත.
14, 15. (අ) ඇතැම් ප්‍රදේශවල ක්‍රිස්තියානීන් හමුදා සේවයෙන් නිදහසක් ඉල්ලා සිටින්නේ කුමන පදනමක් මතද? (ආ) නිදහසක් ලබාගත නොහැකි තැන්වල, හමුදා සේවය නමැති කාරණයේදී නිවැරදි තීරණයක් ගැනීමට ක්‍රිස්තියානියෙකුට උපකාරවත් වන්නේ කවර ශුද්ධ ලියවිලිමය ප්රතිපත්තිද?
14 මේ කාරණය සම්බන්ධයෙන් බහුතරය අනුගමනය කිරීමට අදදින ක්‍රිස්තියානීහු බැඳී සිටිද්ද? නැත. කැප වූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානි භක්තිකයෙක් ආගමික දේවගැතියන්ට හමුදා සේවයෙන් නිදහසක් පිරිනමන රටක ජීවත් වන්නේ නම්, ඔහු ඇත්තෙන්ම දේවගැතියෙකු වන නිසා, ඔහුට මෙම සැපයුමෙන් ප්‍රයෝජන ලබාගත හැක. (2 තිමෝති 4:5) එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව ඇතුළුව රටවල් ගණනාවක්, යුද කාලයේදී පවා එවන් නිදහසක් පිරිනමා ඇත. තවද අනිවාර්ය හමුදා සේවය ඉල්ලා සිටින බොහෝ රටවල, සාමය පවතින කාලවල, ආගමික දේවගැතියන් වශයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට නිදහසක් පිරිනමා ඇත. මෙසේ තම මහජන සේවය තුළින් ජනයාට උපකාර කිරීමෙහි ඔවුන්ට දිගටම නියැලිය හැක.
15 එහෙත්, ක්‍රිස්තියානියෙකු ජීවත් වන්නේ ආගමික දේවගැතියන් සඳහා නිදහස පිරිනමන්නේ නැති රටක නම්, කුමක් කිව හැකිද? එසේනම්, බයිබලය මගින් පුහුණු කරන ලද හෘදය සාක්ෂිය අනුගමනය කරමින්, පෞද්ගලික තීරණයක් ගැනීමට ඔහුට සිදු වේවි. (ගලාති 6:5) කායිසර්ගේ අධිකාරය සැලකිල්ලට ගනිමින්, යෙහෝවඃවහන්සේට දිය යුතු දේ හෙතෙම පරෙස්සමින් සැලකිල්ලට ගනු ඇත. (ගීතාවලිය 36:9; 116:12-14; ක්‍රියා 17:28) සැබෑ ක්‍රිස්තියානියෙකු හඳුන්වන ලක්ෂණය සෙසු ඇදහිලිවන්තයන් සියලුදෙනාට, වෙනත් රටවල ජීවත් වන අයට හෝ වෙනත් ගෝත්‍රවලට අයත් අයට පවා, ප්‍රේමය දැක්වීම බව ක්‍රිස්තියානියෙක් මතක තබාගන්නේය. (යොහන් 13:34, 35; 1 පේතෘස් 2:17) එපමණක්ද නොව, යෙසායා 2:2-4; මතෙව් 26:52; රෝම 12:18; 14:19; 2 කොරින්ති 10:4; හා හෙබ්‍රෙව් 12:14 වැනි වගන්තිවල සොයාගත හැකි ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති ඔහු අමතක නොකරන්නේය.
සිවිල් ජන සේවය
16. ඇතැම් දේශවල, හමුදා සේවය නොපිළිගන්නා අයගෙන් කායිසර් ඉල්ලා සිටින්නේ කවර යුද නොවන සේවයද?
16 කෙසේවෙතත්, ආගමික දේවගැතියන්ට නිදහසක් නොදෙන මුත්, සමහර පුද්ගලයන්ට හමුදා සේවයට විරුද්ධ විය හැකි බව පිළිගන්නා රජයන් සහිත රටවල් තිබේ. හමුදා සේවයට බලෙන් ඇතුල් කර නොගැනීම සඳහා මෙම රටවලින් බොහොමයක් එවන් හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන පුද්ගලයන් සඳහා යම් සැපයුමක් කරයි. ඇතැම් ප්‍රදේශවල, ප්‍රජාව තුළ ප්‍රයෝජනවත් වන අනිවාර්ය සිවිල් ජන සේවාවක්, යුද නොවන ජාතික සේවා වශයෙන් සලකනු ලැබේ. එවන් සේවාවක් භාරගැනීමට කැප වූ ක්‍රිස්තියානියෙකුට හැකිද? මෙහිදී, බයිබලය මගින් පුහුණු කරන ලද තම හෘදය සාක්ෂියේ පදනම මත කැප වූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානි භක්තිකයෙකුට තමාගේම තීරණය ගැනීමට සිදු වන්නේය.
17. යුද නොවන සිවිල් ජන සේවාව සඳහා බයිබල් පූර්වාදර්ශයක් තිබේද?
17 බයිබල් කාලවල අනිවාර්ය සේවය තිබූ බව පෙනෙන්ට තිබේ. එක් ඉතිහාස පොතක් මෙසේ ප්‍රකාශ කරයි: “යූදා වැසියන්ගෙන් අය කළ බදු හා ගෙවිය යුතු වෙනත් දේට අමතරව, කෝර්වියාවක්ද [මහජන අධිකාරීන් විසින් නොගෙවා ලබාගන්නා ශ්‍රමය] දීමට සිදු විය. මැද පෙරදිගෙහි පැරණි නියමයක් වූ මෙය, හෙලනිස්තික හා රෝම අධිකාරීන් විසින් දිගටම පවත්වන ලදි. . . . එය කෙතරම් පුළුල්ව පැතිර තිබුණාද කිවහොත්, යූදාහි කෝර්වියාව දෙන්ට සිදු වූ බවට උදාහරණ අලුත් ගිවිසුමේද දැක්වේ. මෙම චාරිත්‍රයට එකඟව, යේසුස්වහන්සේගේ කුරුසිය [වධ කණුව] ගෙන යෑමට, සොල්දාදුවෝ කිරේනියේ සීමොන්ට බල කළෝය. (මතෙව් 5:41; 27:32; මාර්ක් 15:21; ලූක් 23:26).”
18. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් නිතරම සහයෝගය දක්වන්නේ, යුද නොවන, ආගමකට නොබැඳුණු, කවර ප්‍රජා සේවාවන්වලටද?
18 ඒ හා සමානව, ප්‍රජා සේවාවේ විවිධ පාර්ශ්වයන්වලට සහභාගි වීමට ඇතැම් රටවල පුරවැසියන්ගෙන් රජය නැතහොත් සිවිල් අධිකාරීන් විසින් අදදින ඉල්ලා සිටිනු ලැබේ. ඇතැම්විට, ළිං හෑරීම නැතහොත් මහමාර්ග තැනීම වැනි නිශ්චිත කාර්යයක් සඳහා මෙලෙස දීමට සිදු වේ; ඇතැම්විට මහමාර්ග, පාසැල් හෝ රෝහල් පිරිසිදු කිරීම වැනි සතිපතා සහභාගිත්වයක් තිබෙන ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිතිපතා පදනමක් මත මෙය දෙන්ට සිදු වේ. මෙවන් සිවිල් ජන සේවාවකින් ප්‍රජාවට යහපතක් සිදු කරමින්, බොරු ආගම හා සම්බන්ධ නොවන විට, එසේ නැතහොත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ හෘදය සාක්ෂීන්වලට යම් හෙයකින් විරුද්ධ නොවන විට, ඔවුන් බොහෝවිට ඒවාට එකඟ වී ඇත. (1 පේතෘස් 2:13-15) සාමාන්‍යයෙන්, විශිෂ්ට සාක්ෂියකට හේතු පාදක වී තිබෙන මෙය, සාක්ෂිකරුවන් ආණ්ඩු විරෝධීයයි බොරුවට චෝදනා කරන අයව ඇතැම්විට නිහඬ කර තිබේ.—මතෙව් 10:18 සසඳන්න.
19. යම් කාල සීමාවකට යුද නොවන ජාතික සේවාවක් කිරීමට කායිසර් ක්‍රිස්තියානියෙකුගෙන් ඉල්ලා සිටී නම්, ඔහු ඒ කාරණය වෙත එළඹිය යුත්තේ කෙසේද?
19 කෙසේවෙතත්, යම් කාල සීමාවකට සිවිල් ජන පරිපාලනයක් යටතේ ජාතික සේවයේ කොටසක් වන සිවිල් ජන සේවාවක් කිරීමට ක්‍රිස්තියානියෙකුගෙන් රජය ඉල්ලා සිටී නම්, කුමක් කිව හැකිද? නැවතත් මේ අවස්ථාවේදී, ක්‍රිස්තියානීන් අවබෝධයෙන් යුත් හෘදය සාක්ෂියක් මත පදනම් පෞද්ගලික තීරණයක් ගත යුතුය. “අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමු.” (රෝම 14:10) කායිසර් ඉල්ලා සිටින දෙයකට මුහුණ දෙන ක්‍රිස්තියානීන්, කාරණය යාච්ඤාපූර්වකව අධ්‍යයනය කළ යුතු අතර, ඒ මත මෙනෙහි කළ යුතුය.a සභාවේ මේරු ක්‍රිස්තියානීන් සමඟ කාරණය කතා කිරීම පවා ඥානවන්ත විය හැක. ඉන්පසුව පෞද්ගලික තීරණයක් ගත යුතුය.—හිතෝපදේශ 2:1-5; පිලිප්පි 4:5.
20. යුද නොවන ජාතික සිවිල් ජන සේවාව නමැති කාරණය සම්බන්ධයෙන් තර්ක කිරීමට ක්‍රිස්තියානියෙකුට උපකාරවත් විය හැක්කේ කවර ප්‍රශ්න හා ශුද්ධ ලියවිලිමය ප්රතිපත්තිද?
20 යම් පර්යේෂණ කරද්දී, ක්‍රිස්තියානීන් බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් සලකා බැලිය යුතුය. “අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් . . . කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද, . . . ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද” අප සැලකිලිමත් විය යුතු බව පාවුල් පැවසීය. (තීතස් 3:1, 2) ඒ අවස්ථාවේදීම, ක්‍රිස්තියානියෙකු විසින් යෝජිත සිවිල් ජන සේවය පරීක්ෂා කර බැලීම නුවණට හුරුය. ඔවුන් ඊට එකඟ වුවොත්, ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පවත්වාගැනීමට ඔවුන්ට හැකි වනු ඇද්ද? (මීකා 4:3, 5; යොහන් 17:16) යම් බොරු ආගමක් සමඟ සම්බන්ධ වීමට මෙය ඔවුන්හට මඟ පාදයිද? (එළිදරව් 18:4, 20, 21) ඊට සහභාගි වීම, තම ක්‍රිස්තියානි වගකීම් ඉටු කිරීමට බාධාවක් නැතහොත් අසාධාරණ ලෙස සීමා කිරීමට හේතුවක් වේවිද? (මතෙව් 24:14; හෙබ්‍රෙව් 10:24, 25) අනික් අතට, අපේක්ෂා කරන සේවය කරන අතරතුර, ඇතැම්විට පූර්ණ-කාලීන සේවයේ පවා සහභාගි වෙමින්, දිගටම ආත්මිකව ප්‍රගතියක් ලැබීමට ඔවුන්ට හැකි වේවිද?—හෙබ්‍රෙව් 6:11, 12.
21. ඔහුගේ තීරණය කුමක්වුවත්, යුද නොවන ජාතික සිවිල් ජන සේවාව නමැති කාරණය සමඟ කටයුතු කරමින් සිටින සහෝදරයෙකු දෙස සභාව බැලිය යුත්තේ කෙසේද?
21 එවන් ප්‍රශ්නවලට අවංක උත්තර දීම තුළින්, ජාතික සිවිල් ජන සේවය වනාහි, අධිකාරීන්ට කීකරුවීමක් වශයෙන්, තමාට සිදු කළ හැකි “යහපත් වැඩ[ක්]” බව නිගමනය කිරීමට ක්‍රිස්තියානි භක්තිකයාට මඟ පාදයි නම්, කුමක් කිව හැකිද? එය වූ කලි, යෙහෝවඃවහන්සේ ඉදිරියේ ගත් ඔහුගේ තීරණයයි. පත් කරන ලද වැඩිමහල්ලන් සහ වෙනත් අය එම සහෝදරයාගේ හෘදය සාක්ෂියට සම්පූර්ණයෙන්ම ගරු කළ යුතු අතර, හොඳ ස්ථාවරයක් ඇති ක්‍රිස්තියානි භක්තිකයෙකු ලෙස ඔහුව දිගටම සැලකිය යුතුය. කෙසේවෙතත්, මෙම සිවිල් ජන සේවාව කිරීමට නොහැකියයි ක්‍රිස්තියානියෙකුට හැඟෙයි නම්, ඔහු ගත් ස්ථාවරයටද ගරු කළ යුතුය. ඔහුද යහපත් ස්ථාවරයක සිටින අතර, ප්‍රේමනීය ලෙස ඔහුටද රුකුල් දිය යුතුය.—1 කොරින්ති 10:29; 2 කොරින්ති 1:24; 1 පේතෘස් 3:16.
22. කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුවත්, අපි දිගටම කුමක් කරමින් සිටින්නෙමුද?
22 ක්‍රිස්තියානීන් වශයෙන්, “ගෞරව ලබන්ට නිස්සාට ගෞරව” කිරීමෙන් අපි වැළකී නොසිටින්නෙමු. (රෝම 13:7) යහපත් පිළිවෙළට ගරු කරන අපි, සාමකාමී, නීතිගරුක පුරවැසියන් වීමට යත්න දරමු. (ගීතාවලිය 34:14) “රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන්[ට]” අපේ ක්‍රිස්තියානි ජීවිතය හා සේවයට බලපාන තීරණ ගැනීමට සිදු වන විට, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමට පවා අපට හැක. කායිසර්ගේ දේ කායිසර්ට දීම හේතුවෙන්, “අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක්” ගත කිරීමට හැකි වේවියයි අපි බලාපොරොත්තු වෙමු. (1 තිමෝති 2:1, 2) සියල්ල අබිබවා, හෘදය සාක්ෂියට එකඟව දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේට දෙමින්, මිනිස්වර්ගයාගේ එකම බලාපොරොත්තුව වශයෙන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙහි අපි අඛණ්ඩව නියැලී සිටින්නෙමු.
[පාදසටහන]
a 1964 මැයි 15 ද වොච්ටවර් 308 පිටුව, 21 ඡේදය බලන්න.
ඔබට පහදා දිය හැකිද?
◻ කායිසර් හා යෙහෝවඃවහන්සේ සමඟ තම සබඳතා සමබර කරද්දී, ක්‍රිස්තියානියෙකුගේ මූලික සැලකිල්ලට භාජන වන්නේ කුමක්ද?
◻ අපට කිසිදාක කායිසර්ට දිය නොහැකි කවර දෙය අප යෙහෝවඃවහන්සේට දිය යුතුද?
◻ අප නිසියාකාරව කායිසර්ට යළි දෙන සමහර දේවල් කවරේද?
◻ අනිවාර්ය හමුදා සේවය හා සම්බන්ධ කාරණයේදී, නිවැරදි තීරණයක් ගැනීමට අපට උපකාර කරන්නේ කුමන ශුද්ධ ලියවිලි පාඨද?
◻ යුද නොවන ජාතික සිවිල් ජන සේවයෙහි යෙදීමට අපව කැඳවනු ලැබේ නම්, මනසෙහි තබාගත යුතු ඇතැම් දේවල් කවරේද?
◻ යෙහෝවඃවහන්සේ හා කායිසර් සම්බන්ධයෙන් ගත් කල, අපි දිගටම කුමක් කරමින් සිටින්නෙමුද?
[16, 17වන පිටුවේ පින්තූරය]
ප්‍රේරිතයෝ යුදෙව් මන්ත්‍රණ සභාවට මෙසේ පැවසූහ: “[පාලකයාණන් හැටියට, NW] මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය”