ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
නුවණැති ස්ත්‍රියක් විපත වෙනතකට හරවයි
සිහිනුවණැති ගැහැනියක් කිසි කමකට නැති මිනිසෙකු සමඟ විවාහ වී සිටීම—අබීගායිල් සහ නාබල් අතර තිබුණු තත්වය ඒකයි. අබීගායිල් “බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක්.” ඊට වෙනස්ව නාබල්, “ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ” කෙනෙක්. (1 සාමුවෙල් 25:3) නාට්‍ය දර්ශනය දිග හැරෙන්නේ මේ නොගැළපෙන යුවළගේ නම් බයිබල් ඉතිහාසයේ නොමැකෙන ලෙස කොටා තබමින්. අපි බලමු ඒ කොහොමද කියලා.
නොසලකා හරිනු ලැබූ උදව්වක්
එය පො.යු.පෙ. 11වන සියවසයි. දාවිත්ව ඉශ්රායෙල්හි අනාගත රජු ලෙස ආලේප කර තිබුණා. හැබැයි පාලනය කරනවා වෙනුවට ඔහු පලායමිනුයි හිටියේ. පාලක රජ වූ සාවුල් ඔහුව මරන්න අධිෂ්ඨාන කරගෙන සිටියා. ප්‍රතිඵලයක් හැටියට, පලායන්නෙකු විදිහට ජීවත් වන්න දාවිත්ට බල කෙරුණා. ඔහු සහ ඔහුගේ මිතුරන් 600දෙනෙක් විතර පසුකාලයේදී, සීනයි කාන්තාරය දෙසට වූ යූදාහි දකුණින් පිහිටි පාරාන් කාන්තාරයෙහි සරණ ලැබුවා.—1 සාමුවෙල් 23:13; 25:1.
එහි සිටින විටදී, නාබල් කියන මිනිසාට සේවය කරන එඬේරුන් ඔවුන්ට හමු වුණා. නාබල් කාලෙබ්ගෙන් පැවතෙන ධනවතෙක්. බැටළුවන් 3,000කට සහ එළුවන් 1,000කට ඔහු උරුමකම් කිව්වා. ඔහු තම බැටළුවන්ගේ ලොම් කැප්පෙව්වේ පාරාන් ඉඳල සමහරවිට කිලෝමීටර් 40ක් විතර එහායින් හෙබ්‍රොන්ට දකුණින් පිහිටි නුවරක් වන කර්මෙල්හිදීයි.a කාන්තාරය පුරා කැරකෙන හොරුන්ගෙන් ඔවුන්ගේ රැළ ආරක්ෂා කරගන්න දාවිත් සහ ඔහුගේ මිනිසුන් නාබල්ගේ එඬේරුන්ට උදව් කළා.—1 සාමුවෙල් 25:14-16.
මේ අතර කර්මෙල්හිදී ලොම් කැපීම ආරම්භ වී තිබුණා. ගොවියෙකුට අස්වැන්න නෙළන කාලය වගේ මේකත් උත්සව සමයක් වුණා. මෙය බැටළු අයිතිකරුවන් විසින් තමන්ට වැඩ කළ අය සඳහා තෑගි දෙන්නාවූ අතදිගහැර ත්‍යාගශීලී වන කාලයක්ද වුණා. ඉතිං, නාබල්ගේ රැළවල් වෙනුවෙන් කළ සේවයට ගෙවීමක් හැටියට ඔහුගෙන් කෑම ඉල්ලා කර්මෙල් නුවරට මිනිසුන් දහදෙනෙක් යැවීමෙන් දාවිත් අයිති නැති දෙයක් ඉල්ලන්න ගියා නොවෙයි.—1 සාමුවෙල් 25:4-9.
නාබල්ගේ ප්‍රතිචාරය කොහෙත්ම ත්‍යාගශීලී එකක් වුණේ නැහැ. “දාවිත් කවුද?” ඔහු අපහසාත්මකව ඇසුවා. ඉන්පසුව දාවිත් සහ ඔහුගේ මිනිස්සු නිකම්ම පැනල යන සේවකයන් බව අඟවමින් මෙහෙම කිව්වා: “මා විසින් මාගේ රොටිද මාගේ වතුරද මාගේ බැටළු ලොම් කපන්නන්ට මා විසින් මැරූ සතුන්ගේ මස්ද අරන් කොතැනින් ආවාද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්ටද?” දාවිත්ට මෙය සැලවූ වහාම ඔහු ඔහුගේ මිනිසුන්ට මෙහෙම කිව්වා: “එකිනෙකා තම තමාගේ කඩුව බැඳගන්න.” මිනිසුන් 400ක් විතර සටනට සූදානම් වුණා.—1 සාමුවෙල් 25:10-13.
අබීගායිල්ගේ බුද්ධිය
නාබල්ගේ අපවාදාත්මක වචන ඔහුගේ බිරිඳ වූ අබීගායිල්ගේ අවධානයට යොමු වුණා. යම් කාරණයකට මැදිහත් වෙලා නාබල් වෙනුවෙන් සමාදානකරන්නියක් විදිහට ක්‍රියා කරන්න ඇයට සිද්ධ වුණු මුල් අවස්ථාව සමහරවිට මෙය නොවෙයි. ඒ කෙසේවෙතත් අබීගායිල් වහාම ක්‍රියාත්මක වුණා. නාබල්ට කියන්නේ නැතුව, බැටළුවන් පස්දෙනෙක් සහ අවශ්‍ය තරම් ආහාරත් ඇතුළුව අවශ්‍ය දේවල් එකතු කරගෙන, කාන්තාරයේදී දාවිත්ව හමු වෙන්න ගියා.—1 සාමුවෙල් 25:18-20.
අබීගායිල් දාවිත්ව දැක්ක ගමන්ම ඔහු ඉදිරියේ මුහුණින් බිමට වැටී වැඳ මෙහෙම කන්නලව් කළා: “මාගේ ස්වාමිනි, ඒ [කිසිකමකට නැති, NW] මනුෂ්‍යයාවූ නාබල් ගැන නොසැලකුව මැනවි.” ඇය තවදුරටත් මෙහෙම කිව්වා: “ඉතින් ඔබගේ වැඩකාරීවූ මා විසින් මාගේ ස්වාමියාට ගෙනාවාවූ මේ තෑග්ග මාගේ ස්වාමියා අනුව යන යෞවනයන්ට දෙනුලැබේවා.” “මේක [නාබල් සම්බන්ධයෙන් තත්වය] මාගේ ස්වාමියාගේ හෘදයට පැකිළීමේ ගලක්වත් සැලෙන්න හේතුවක්වත් නොවේවා. [NW]” “සැලෙන්න” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය යොමු දක්වන්නේ, හෘදය සාක්ෂියේ මනස්තාපයයි. මේ විදිහට, පසුවට දුක්වීමට සිදු වන හදිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට එරෙහිව අබීගායිල් දාවිත්ට අනතුරු ඇඟෙව්වා.—1 සාමුවෙල් 25:23-31.
දාවිත් අබීගායිල්ට ඇහුම්කන් දුන්නා. ඔහු ඇයට මෙහෙම කිව්වා: “නුඹේ නුවණටද ප්‍රශංසා වේවා, ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැලැක්වූ නුඹට ආශීර්වාද වේවා. . . . නුඹ ඉක්මනින් මා සම්බවෙන්ට නාවා නම්, නාබල්ට අයිති [තාප්පයකට මුත්‍රා කරන කිසිවෙක්, NW] හෙට එළිවෙනකොට ඉතුරු නොවන්නේය.”b—1 සාමුවෙල් 25:32-34.
අප සඳහා පාඩම්
දේවභක්තික ස්ත්‍රියක් අවශ්‍යතාව අනුව සුදුසු මූලිකත්වය ගැනීම කොහෙත්ම වැරදි නැති බව මේ බයිබල් වාර්තාව පෙන්වනවා. අබීගායිල් තම පුරුෂයා වූ නාබල්ගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කළත් ඒ ගැන බයිබලය ඇයට දොස් නඟන්නේ නැහැ. ඊට වෙනස්ව, බුද්ධිමත් සහ සිහිනුවණැති ස්ත්‍රියක් ලෙස ඇයට ප්‍රශංසා කරනවා. මෙම සාපරාධී තත්වය යටතේ මූලිකත්වය ගැනීමෙන් අබීගායිල් ජීවිත රැසක් රැකගත්තා.
සාමාන්‍යයෙන් භාර්යාවක් දිව්‍ය යටත්කමේ ස්වභාවයක් විදහාපෑවත්, නිවැරදි මූලධර්ම මහත් අනතුරකට භාජන වී ඇති විටෙක තම පුරුෂයා සමඟ සුදුසු ආකාරයකට එකඟ නොවී සිටින්න පුළුවන්. ඇත්තවශයෙන්ම, ඇය “මෘදුවූ නිශ්චලවූ ගතියක්” පවත්වාගැනීමට වෑයම් කළ යුතු අතර, කෝප කරවන ස්වාධීනත්වයෙන්, උඩඟුකමින් හෝ කැරලිකාරකමින් ක්‍රියා නොකළ යුතුයි. (1 පේතෘස් 3:4) කෙසේවෙතත්, ඉතාම අඥාන හෝ බයිබල් මූලධර්ම උල්ලංගනය කරන ඕනෑම දෙයක් නොකර සිටීමට දේවභක්තික භාර්යාවකට පීඩනයක් නොදැනිය යුතුයි. ඇත්තෙන්ම, ගැහැනුන්ව බයිබලයෙහි විස්තර කරන්නේ වහලියන් හැටියටයි කියා තරයේ කියන අය ඉදිරියේ අබීගායිල්ගේ වාර්තාව ශක්තිමත් තර්කයක්.
මේ වාර්තාව ආත්ම-දමනය ගැනත් අපිට උගන්වනවා. සමහර අවස්ථාවලදී, මේ ගුණාංගය දාවිත් පූර්ණ ලෙස විදහාපෑවා. උදාහරණයක් හැටියට, සාවුල්ව මරණයට පත් කිරීම සඳහා දාවිත්ට බොහෝ ප්‍රස්තා උදා වී තිබුණත්, එය ඔහුට සාමය ගෙන ඒමට හැකිව තිබියදීත් ඊර්ෂ්‍යාසහගත සාවුල් රජුව මැරීම ඔහු ප්‍රතික්ෂේප කළා. (1 සාමුවෙල් 24:2-7) ඊට වෙනස්ව, නාබල් ඔහුව නින්දාසහගත විදිහට සලකා ප්‍රතික්ෂේප කළ විට, දාවිත් එය බලාපොරොත්තු නොවූ නිසා පළිගන්න බවට තීරණය කළා. ‘කාටවත් නපුරට නපුර නොකිරීමට’ වෙර දරන ක්‍රිස්තියානීන්ට මෙය පැහැදිලි අනතුරු ඇඟවීමක්. ඔවුන් සෑම අවස්ථාවකදීම, පාවුල්ගේ අනුශාසනාව අනුගමනය කළ යුතුයි: “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න. ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න.”—රෝම 12:17-19.
[පාදසටහන්වල]
a පාරාන් කාන්තාරය බෙයර්-ෂෙබා දක්වා උතුර දෙසට පැතිර තිබූ බව සිතනවා. මෙම ප්‍රදේශයේ සැලකිය යුතු තරම් තණබිම් ප්‍රමාණයක් තිබුණා.
b “තාප්පයකට මුත්‍රා කරන කිසිවෙක්” යන කියමන පෙනෙන විදිහට හෙබ්‍රෙව් භාෂාවෙන් පිරිමින් සඳහා අවමන්සහගතව යොදාගත් පිරුළකි.—සසඳන්න, 1 රාජාවලිය 14:10, NW.
[15වන පිටුවේ පින්තූරය]
අබීගායිල් දාවිත්ට තෑගි ගෙනෙයි