බයිබලයේ දෘෂ්ටිකෝණය
මිතුරන් අතරේ ණයට දීම සහ ණයට ගැනීම
“දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි.”—ගීතාවලිය 37:21.
“ණයට ගන්නෙක්වත්, ණයට දෙන්නෙක්වත් නොවෙන්න; මන්දයත් එමගින් ණය නැති වෙනවා පමණක් නොව මිත්‍රකමත් නැති වේ.” අනාදිමත් කාලයේ සිට එන ප්‍රඥාව සනාථ කරමින් එලෙස ලිව්වේ ඉංග්‍රීසි ජාතික විලියම් ෂේක්ස්පියයි. නිසැකවම මනුෂ්‍ය සබඳතාවන්ට සෑහෙන ප්‍රශ්නයක් විය හැකි සාධක කීපයක් අතුරින්, ණයට ගැනීම හෝ ණයට දීම ප්‍රධාන තැනක් ගන්නවා. පරෙස්සමින් සැලසුම් කර තිබුණත්, එමෙන්ම අවංක චේතනාවෙන් කළත්, දේවල් සැමවිටම බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදු වන්නේ නැහැ.—දේශනාකාරයා 9:11, 12.
ණයට ගන්නාට තම වගකීම් ඉටු කිරීමට අපහසු වන හෝ නොහැකි වන තත්වයන් පැනනැඟීමට පුළුවන්. එසේ නැතිනම් ණයට දුන් තැනැත්තාට, තමා ණයට දුන් මුදල් ඉක්මනින්ම අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි දේවල් සිදු වන විට ෂේක්ස්පියර් පෙන්වූ ආකාරයට මිතුදම් සහ සබඳකම් අනතුරේ වැටෙන්න පුළුවන්.
පුද්ගලයෙකුට මුදල් ටිකක් ණයට ගැනීමට සාධාරණ හේතු තිබිය හැකි බව ඇත්තයි. බරපතළ අනතුරක් සිදුවීම හෝ රැකියාවක් අහිමි වීම හේතුවෙන් මූල්‍යමය වශයෙන් පසුබෑමකට ලක්වීම නිසා, ගත හැකි එකම ක්‍රියාමාර්ගය එය බව ඔහුට පෙනෙන්න පුළුවන්. තවත් කෙනෙකුට උපකාර කිරීමට හැකියාවක් තිබෙද්දී, කෙනෙකුට උපකාරය අවශ්‍ය විට එසේ කරන්න කියා බයිබලය උනන්දු කරනවා. (හිතෝපදේශ 3:27) මෙයට, ණයට මුදල් දීමත් ඇතුළත් විය හැකියි. එහෙත් එවැනි එකඟතාවකට එළඹෙන ක්‍රිස්තියානීන් තමන්ගේ වගකීම් සැලකිය යුත්තේ කෙසේද?
සලකා බැලීමට ප්‍රතිපත්ති
බයිබලය මූල්‍යමය කාරණා ගැන මඟ පෙන්වීම් ඇතුළත් පොතක් නොවෙයි. ණයට ගැනීම සහ ණයට දීම සම්බන්ධයෙන් ඇතුළත් විය හැකි සියලුම තොරතුරු එය සාකච්ඡා කරන්නේ නැහැ. පොළියක් අය කරනවාද නැද්ද, අය කළ යුත්තේ කොපමණ ප්‍රමාණයක්ද, ආදි කාරණා ඊට සම්බන්ධ එක් එක් පුද්ගලයාට තීරණය කිරීමට ඉඩහැර තිබෙනවා.a කෙසේවෙතත් බයිබලය සපයන ප්‍රතිපත්ති පැහැදිලි සහ ප්‍රේමනීය වන අතර, එය ණයට ගන්න සහ ණයට දෙන ඕනෑම කෙනෙකුගේ ආකල්පයන් සහ හැසිරීම මෙහෙය විය යුතුයි.
ණයට ගන්නාට අදාළ වන ප්‍රතිපත්ති සලකා බලන්න. “එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව” නොසිටින ලෙස ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට අවවාද කළා. (රෝම 13:8) පොදුවේ අදාළ වන ප්‍රතිපත්තියක් ගැන පාවුල් මෙහිදී සඳහන් කරමින් සිටියත්, නියත වශයෙන්ම ඔහුගේ උපදෙස ණයවීමට එරෙහිව දෙන අවවාදයක් හැටියට ගත හැකියි. සමහර අවස්ථාවලදී, වෙන කෙනෙකුට ණය වෙනවාට වඩා, මුදල් නැතුව සිටින එක හොඳයි. ඒ ඇයි? හිතෝපදේශ 22:7හි මෙසේ පැහැදිලි කරනවා: “ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.” ආපසු මුදල් ගෙවන තුරු, තමා වගකීමකට බැඳී සිටින බව ණයගැතියා අවබෝධ කරගත යුතුයි. මූලිකව ගත්තොත් ඔහුට තිබෙන සම්පත් සම්පූර්ණයෙන්ම ඔහුගේ නොවෙයි. එකඟ වූ කොන්දේසිවලට අනුව තම ණය ගෙවීම ඔහුගේ ජීවිතයේ වඩාත් ප්රමුඛව තිබිය යුතු අතර, එසේ නැතිනම් ප්‍රශ්න මතු විය හැකියි.
උදාහරණයකට, ගෙවිය යුතු මුදල නැවත නොගෙවා කාලය ඉකුත් වූ විට, ණයහිමියා කෝපයට පත් විය හැකියි. ඇඳුම් මිල දී ගැනීම, ආපන ශාලාවකින් ආහාර වේලක් ගැනීම හෝ නිවාඩුවක් ගත කිරීමට යෑම වැනි ණයගැතියා කරන දේවල් ණයහිමියා විසින් සැක සහිතව බැලීමට ඉඩ තිබෙනවා. නුරුස්නා ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. ඔවුන් අතරේ, ඒ වගේම ඔවුන්ගේ පවුල් අතරේ පවා තිබෙන සබඳතාව අඩු වෙන්න පුළුවන්, නැතිනම් වඩා නරක අතට හැරෙන්න පුළුවන්. ණයගැතියා තම වචනයට එකඟව ක්‍රියා කළේ නැතිනම්, එවැනි දේවල් කනගාටුදායක ප්‍රතිඵල විය හැකියි.—මතෙව් 5:37.
නමුත් පාලනය කළ නොහැකි අනපේක්ෂිත තත්වයක් නිසා ණයගැතියාට තම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වුණොත් ඇති වන තත්වය කුමක්ද? මෙම තත්වය නිසා ඔහු ණයෙන් නිදහස් වෙනවාද? අනිවාර්යයෙන්ම එසේ වන්නේ නැහැ. ධර්මිෂ්ඨ පුද්ගලයා “තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නමුත් එය වෙනස් නොකරයි” කියා ගීතිකාකරු පවසනවා. (ගීතාවලිය 15:4) එවැනි තත්වයකදී, ණයගැතියා කළ යුතු ප්‍රේමනීය සහ ඥානවන්ත දෙය නම්, ඉක්මනින්ම ණයහිමියාට තත්වය පැහැදිලි කිරීමයි. එවිට ඔවුන්ට වෙනත් විකල්ප සැලැස්මකට එකඟ වෙන්න පුළුවන්. මෙමගින් සාමය ස්ථිර වන අතර, එය යෙහෝවා දෙවිව සතුටු කරනවා.—ගීතාවලිය 133:1; 2 කොරින්ති 13:11.
ඇත්තෙන්ම, පුද්ගලයෙක් තම ණය හසුරුවන ආකාරයෙන් තමා ගැනම බොහෝ දේ කියාපානවා. ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් සැහැල්ලුවට ගන්නාවූ ආකල්පයකින් අනිත් අය සඳහා තිබෙන අඩු සැලකිල්ල එළිදරව් වෙනවා. ඇත්තෙන්ම කියනවා නම්, එවැනි ආකල්පයක් තිබෙන පුද්ගලයෙක් ආත්මාර්ථකාමිත්වය විදහාපෙන්වනවා. එතුළින් තමාගේම අභිමතයන් සහ ආශාවන් පළමු තැනට පැමිණෙනවා. (පිලිප්පි 2:4) හිතාමතාම සහ දැන දැනම තම ණය ගෙවීම පැහැරහරින ක්‍රිස්තියානිවරයෙක් දෙවි ඉදිරියේ තිබෙන ඔහුගේ ස්ථාවරය අනතුරේ හෙළන අතර, ඔහුගේ ක්‍රියා තුළින් ගිජු සහ දුෂ්ට හෘද තත්වය ඇඟවෙන්න පුළුවන්.—ගීතාවලිය 37:21.
ණයට දෙන්නා
ප්‍රධානම වගකීම ණයගැතියා මත පැවරී තිබුණත්, ණයට දෙන තැනැත්තාටත් අදාළ වන ප්‍රතිපත්ති තිබෙනවා. අවශ්‍යතාව තිබෙන පුද්ගලයන්ට උපකාර කිරීමට අපට හැකියාව තිබෙනවා නම්, අප එසේ කළ යුතු බව බයිබලය පෙන්වනවා. (යාකොබ් 2:14-16) නමුත් ඉල්ලන තැනැත්තා ආත්මික සහෝදරයෙක් වූවත්, පුද්ගලයෙක් මුදල් ණයට දීමට වගකීමකින් බැඳී සිටින බවක් එයින් අදහස් කරන්නේ නැහැ. “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි” කියා බයිබලය පවසනවා.—හිතෝපදේශ 22:3.
විචාර බුද්ධිය තිබෙන පුද්ගලයා ණයට දීම සහ ණයට ගැනීම හා සම්බන්ධ අන්තරාවන් තේරුම්ගන්නා අතර, ඔහුගෙන් යමෙක් ණයක් ඉල්ලනවා නම් ඒ සම්බන්ධයෙන් ඔහු පරෙස්සමින් සලකා බලනවා. ඉල්ලීම සාධාරණද? පුද්ගලයා කාරණය ගැන පරෙස්සමින් සලකා බලා තිබෙනවාද? ණයට ඉල්ලන තැනැත්තා හොඳින් සංවිධානය වූ සහ හොඳ නමක් තබාගෙන සිටින කෙනෙක්ද? ගිවිසුමේ කොන්දේසි සඳහන් කරමින් ලියවිල්ලක් අත්සන් කරන්න ඔහු කැමතිද? (යෙරෙමියා 32:8-14 සසඳන්න.) ඔහු ඇත්තටම ආපසු ගෙවන්න සූදානම්ද?
ණය ආපසු ගෙවීම ගැන ස්ථිර විය නොහැකි, අවශ්‍යතාවක් තිබෙන පුද්ගලයෙකුට ණයක් දීම, ක්‍රිස්තියානිවරයෙක් ප්‍රතික්ෂේප කළ යුතු බව මෙයින් යෝජනා කරන්නේ නැහැ. සෙසු අය සම්බන්ධයෙන් ක්රිස්තියානිවරයෙකුට තිබෙන පෞද්ගලික වගකීම් හොඳ ව්‍යාපාරික වත්පිළිවෙත්වලට වඩා ඔබ්බට යනවා. “ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, [දෙවිගේ] ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?” කියා ප්‍රේරිත යොහන් අසනවා. ඔව්, ක්‍රිස්තියානීන්, “වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් [ප්‍රේමය]” පෙන්විය යුතුයි.—1 යොහන් 3:17, 18.
සමහර අවස්ථාවලදී, පුද්ගලයෙක් තම සහෝදරයාට අවශ්‍යතාවක් ඇති වූ විට ණයට මුදල් නොදීමට තීරණය කරනවා විය හැකියි. ඒ වෙනුවට තෑග්ගක් දීමට හෝ වෙනත් ආකාරයක උපකාරයක් පිරිනැමීමට ඔහු කැමති විය හැකියි. ණයට ගැනීමේ ගිවිසුමක යම් අසීරුතාවන් හටගන්නා විටත් ණයහිමියා ඒ හා සමාන හැඟීමකින් දයානුකම්පිතව ක්‍රියා කිරීමට තීරණය කරන්න පුළුවන්. ණයට ගත් කෙනාගේ වෙනස් වූ තත්වයන් සැලකිල්ලට ගෙන, දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ගෙවීමට හැකි වන ලෙස, ආපසු ගෙවිය යුතු කාලය දීර්ඝ කිරීමට, ණය අඩු කිරීමට හෝ ණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පවා ඔහු කැමති විය හැකියි. මේවා එක් එක් පුද්ගලයා තනි තනිව ගත යුතු පෞද්ගලික තීරණ වෙනවා.
දෙවි සියලු දේ නිරීක්ෂණය කරමින් සිටින බවත්, අප කටයුතු කරන ආකාරය සහ අපේ සම්පත් ප්‍රයෝජනයට ගන්නා ආකාරය ගැන ගණන් දිය යුතු බවත් ක්‍රිස්තියානීන් මනසේ තබාගත යුතුයි. (හෙබ්‍රෙව් 4:13) අප “කරන සියල්ලම ප්‍රේමයෙන්” කරන ලෙස බයිබලය දී ඇති උපදෙස, නියත වශයෙන්ම, මිතුරන් අතරේ මුදල් ණයට දීමට සහ ණයට ගැනීමටත් අදාළ වෙනවා.—1 කොරින්ති 16:14.
[පාදසටහන]
a ණය සඳහා පොළියක් අය කිරීම සම්බන්ධ කාරණය ගැන අමතර තොරතුරු දැනගැනීමට කරුණාකර 1992 ජූනි 1 මුරටැඹ කලාපයේ 25-8 දක්වා පිටු බලන්න.
[29වන පිටුවේ පින්තූරය]
“මුදල් මාරුකරන්නා සහ ඔහුගේ බිරිඳ” (1514), ක්වෙන්ටන් මැසිස් විසින්
[හිමිකම් විස්තර]
Scala/Art Resource, NY