ලොව පුරා ප්‍රීතිමත් ප්රශංසාකරන්නන් වීමට වෙන්ව සිටීම
“ජනයෙනි යාහ්ට ප්‍රශංසා කරන්න! අහෝ යෙහෝවාගේ සේවකයෙනි, ප්‍රශංසාව පිරිනමන්න, යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්න.”—ගීතාවලිය 113:1, NW.
1, 2. (අ) ගීතාවලිය 113:1-3ට එකඟව, අපේ උද්යෝගයෙන් පිරුණු ප්‍රශංසාව ලබන්න වටින්නේ කවුද? (ආ) මොන ප්රශ්නය ඇසීම උචිතද?
යෙහෝවා දෙවි තමයි අහසෙත් පොළොවෙත් උදාර මැවුම්කරු; ඔහු තමයි අපේ සදාතනික විශ්වනීය පරමාධිපති. අපේ උද්යෝගයෙන් පිරුණු ප්‍රශංසාව ලබන්න ඔහු සම්පූර්ණයෙන්ම වටිනවා. ගීතාවලිය 113:1-3 [NW] අපිට මෙහෙම අණ කරන්නේ එනිසයි: “ජනයෙනි යාහ්ට ප්‍රශංසා කරන්න! අහෝ යෙහෝවාගේ සේවකයෙනි, ප්‍රශංසාව පිරිනමන්න; යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්න. දැන් පටන් සදහටම යෙහෝවාගේ නාමයට ආශීර්වාද අත් වේවා! හිරු උදාවේ පටන් එහි බැසයෑම දක්වා යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කළ යුතුය.”
2 දෙවිගේ සාක්ෂිකරුවන් වශයෙන්, මෙය කිරීම අපේ ප්‍රීතියට හේතු වෙනවා. යෙහෝවා දෙවි ළඟදීම, අදදින අපි ගායනා කරමින් සිටින ප්රශංසාවේ මෙම ප්‍රීතිමත් ගීතය මුළු පොළොව පුරාම නාද වෙන්න සලස්වන්න යන එක මොනතරම් විස්මයජනක දෙයක්ද! (ගීතාවලිය 22:27) මෙම අතිමහත් ලෝක ව්‍යාප්ත සමූහ ගායනයට ඔබේ හඬත් එකතු වෙලා තියෙනවාද? එහෙම වෙලා තියෙනවා නම්, සමඟියෙන් සහ ප්‍රීතියෙන් තොර මෙම ලොවින් වෙන්ව සිටීම, ඔබට මොනතරම් සන්තෝෂවත් දෙයක්ද!
3. (අ) යෙහෝවාගේ සෙනඟව විශේෂ, අද්විතීය සෙනඟක් වීමට සලස්වන්නේ මොකක්ද? (ආ) අපිව වෙන් කර දක්වා තියෙන්නේ මොන මොන ආකාරවලින්ද?
3 අපි යෙහෝවාට එක්සත්ව ප්‍රශංසා කරන හින්දා, අපිව විශේෂ මෙන්ම අද්විතීය වීමට එය නිසැකවම සලස්වනවා. අපි එකඟතාවකින් කතා කරන සහ උගන්වන අතර, ‘යෙහෝවාගේ මහත් යහපත්කම’ ගැන ප්‍රකාශ කරන්න එකම ක්‍රම යොදාගන්නවා. (ගීතාවලිය 145:7) ඔව්, යෙහෝවාගේ කැප වූ සෙනඟ වශයෙන්, අපේ දෙවි යෙහෝවාගේ සේවය සඳහා අපිව වෙන් කරගෙන තියෙනවා. දෙවි කැප වී සිටි තම පුරාණ සෙනඟ වූ ඉශ්රායෙල්ට කිව්වේ, ඔවුන් අවට හිටිය ජාතීන්ගෙන් දිගටම වෙන්ව, එම ජාතීන්ගේ ව්‍යවහාරයන් මගින් නොකෙලසී සිටින්න කියලයි. (නික්මයාම 34:12-16) ඔවුන්ට මෙය කරන්න උපකාරයක් වශයෙන් ඔහු තම සෙනඟට නීති දුන්නා. ඒ හා සමානව අදදින, යෙහෝවා අපිට තම ශුද්ධ වචනය වන බයිබලය දී තියෙනවා. එහි උපදෙස්වලින් අපිට පෙන්නුම් කරනවා අපිට මේ ලෝකයෙන් වෙන්ව සිටිය හැකි ආකාරය. (2 කොරින්ති 6:17; 2 තිමෝති 3:16) මහ බබිලෝනියේ පැවිද්දන්ව සහ කන්‍යා සහොයුරියන්ව වගේ, අපිව පූජකාරාමවල සහ කන්‍යාරාමවල හුදෙකලාවේ වෙන් කර තබා නැහැ. යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කරමින්, අපි යෙහෝවාට ප්‍රසිද්ධියේම ප්රශංසාකරන්නන් වෙනවා.
යෙහෝවාගේ ප්‍රධාන ප්රශංසාකරන්නාව අනුකරණය කරන්න
4. යෙහෝවාට ප්‍රශංසා දීමේදී යේසු ආදර්ශය තැබුවේ කොහොමද?
4 යෙහෝවාට ප්‍රශංසා කිරීමට වූ තම අරමුණෙන් යේසු කිසිදාක ඉවත්ව ගියේ නැහැ. ඒ වගේම මෙය ඔහුව ලෝකයෙන් වෙන් කෙරුවා. ඔහු සිනගෝගවල සහ යෙරුසලමේ දේවමාළිගාවේ දෙවිගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කළා. කඳු මුදුන්වල හෝ වේවා, මුහුදු වෙරළෙහි හෝ වේවා, සමූහයන් රැස්වූ කොතැනක වූවත් යේසු ප්‍රසිද්ධියේ යෙහෝවාගේ සත්‍යතාවන් දේශනා කළා. ඔහු මෙහෙම ප්‍රකාශ කළා: “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි . . . ඔබට ස්තුතිකරමි [ප්‍රසිද්ධියේම ප්‍රශංසා කරන්නෙමි, NW].” (මතෙව් 11:25) පොන්තියුස් පිලාත් ඉදිරියෙහි නඩු විභාගයකට ලක් වෙද්දී පවා, යේසු මෙහෙම සාක්ෂි දුන්නා: “ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය.” (යොහන් 18:37) යේසු තම වැඩයෙහි වැදගත්කම අගය කළා. කොතැනක සිටියත්, යේසු යෙහෝවා ගැන සාක්ෂිදැරූ අතර, ඔහුට ප්‍රසිද්ධියේ ප්‍රශංසා ගෙන දුන්නා.
5. ගීතාවලිය 22:22 අදාළ වෙන්නේ කාටද? එමෙන්ම අපේ ආකල්පය මොන වගේ එකක් විය යුතුද?
5 ගීතාවලිය 22:22හි යෙහෝවාගේ ප්‍රධාන ප්රශංසාකරන්නා ගැන අපිට මෙම අනාවැකිමය ප්‍රකාශය සොයාගන්න පුළුවන්: “ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශකරන්නෙමි. සභා මධ්‍යයෙහි ඔබට ප්‍රශංසාකරන්නෙමි.” එමෙන්ම හෙබ්‍රෙව් 2:11, 12හි ප්‍රේරිත පාවුල් මෙම පද ස්වාමි වන යේසුස්ටත්, ස්වර්ගික තේජස සඳහා යෙහෝවා දෙවි විශුද්ධ කර ඇති අයටත් අදාළ කරනවා. ඔහු වාගේම, ඔවුනුත් සභාව මධ්‍යයෙහි යෙහෝවාගේ නාමයට ප්‍රශංසා ගෙන දෙන්න ලජ්ජා වෙන්නේ නැහැ. අපේ ක්‍රිස්තියානි රැස්වීම්වලට යද්දී, අපිට මේ වගේම මානසික ආකල්පයක් තියෙනවාද? මානසිකව මෙන්ම වාචිකව අපි රැස්වීම්වලදී උද්යෝගයෙන් සහභාගි වෙන එක යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙනවා. ඒත් අපේ ප්‍රීතිමත් ප්‍රශංසාව එතැනින් අවසන් වෙනවාද?
6. යේසු තම ගෝලයන්ට දුන්නේ මොන පැවරුමද? එමෙන්ම ආලෝකයට ප්‍රේමකරන්නෝ දෙවිට තේජස ගෙන දෙන්නේ කොහොමද?
6 මතෙව් 5:14-16ට අනුව, ස්වාමි වූ යේසු තම අනුගාමිකයන්වත් පත් කළා තම ආලෝකය බැබළවීමේ කාර්යයෙහි නිරත වීමට; එතකොට තවත් අය යෙහෝවාට ප්‍රශංසා කිරීමෙහි නිරත වෙනවා. ඔහු කිව්වේ: “නුඹලා ලෝකයේ ආලෝකයය. . . . මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාට] ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.” ආලෝකයට ප්‍රේමකරන්නෝ දෙවිට තේජස ගෙන දෙනවා. හොඳ, කාරුණික දේවල් කීමෙන් සහ කිරීමෙන්ම විතරද ඔවුන් මෙහෙම කරන්නේ? නැහැ; ඔවුන් එහෙම කරන්නේ එක්සත්ව යෙහෝවාට තේජස ගෙන දීමෙන්. ඔව්, ආලෝකයට ප්‍රේමකරන්නෝ, දෙවිට කැප වී ඔහුගේ ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ බවට පත් වෙනවා. ඔබ මෙම සන්තෝෂවත් පියවර ගෙන තියෙනවාද?
යෙහෝවාට ප්‍රශංසා කිරීමෙන් ප්‍රීතිය
7. යෙහෝවාගේ ප්රශංසාකරන්නෝ එතරම් ප්‍රීතිමත්ව සිටින්නේ ඇයි? එමෙන්ම පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ඔවුන්ට තිබුණේ මොන ප්‍රීතියද?
7 යෙහෝවාගේ ප්රශංසාකරන්නෝ එතරම් ප්‍රීතිමත්ව සිටින්නේ ඇයි? ප්‍රීතිය දෙවිගේ ශුද්ධාත්මයේ ඵලයක් වන හින්දයි. ගලාති 5:22හි එය හරියටම ප්‍රේමයට පසුවයි ලැයිස්තුගත කර තියෙන්නේ. පළමුවන සියවසේ හිටපු යේසුගේ ගෝලයන් යෙහෝවාගේ ආත්මයේ මෙම ඵලය විදහාපෙන්නුවා. ඇත්තවශයෙන්ම, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී, දෙවි යේසුගේ ගෝලයන් 120දෙනෙකුට පමණ තම ආත්මය වැගිරෙවූ විට, ඒ සියලුදෙනාම විවිධාකාර භාෂාවලින් යෙහෝවාට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. බොහෝ දේශවලින් යෙරුසලමට පැමිණි භක්තිවන්ත යුදෙව්වරු ‘විස්මිතව පුදුම වුණා.’ ඔවුන් පුදුමයෙන් මෙහෙම කියා සිටියා: “අපගේ භාෂාවලින් [දෙවිගේ] බලවත් ක්‍රියා ගැන ඔවුන් කථාකරනවා අසමු.” (ක්‍රියා 2:1-11) යෙහෝවාට දුන් මෙම විස්මයජනක බහුභාෂාමය ප්රශංසාවේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු අය 3,000දෙනෙක් පමණ මෙසියස් ගැන රාජ්‍ය ශුභාරංචිය පිළිගත්තා. ඔවුන් බව්තීස්ම වී, ශුද්ධාත්මය ලබා, යෙහෝවාගේ ප්‍රීතිමත් ප්රශංසාකරන්නන් වශයෙන් උද්යෝගයෙන් තමුන්ගේ හඬ එකතු කළා. (ක්‍රියා 2:37-42) ඒක මොනතරම් ආශීර්වාදයක් වුණාද!
8. පෙන්තකොස්ත දවසින් පස්සේ, තම ප්‍රීතිය වැඩි කරගන්න ක්‍රිස්තියානීන් කළේ මොනවාද?
8 වාර්තාවෙහි තවත් මෙහෙම සඳහන් වෙනවා: “ඔව්හු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින්, ගෙදරදී රොටි කඩමින්, ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින්, [දෙවිට] ස්තුති ප්‍රශංසාකරමින් සෙනගට ප්‍රිය උපදින ලෙස ක්‍රියාකරමින් පසුවුණෝය. [යෙහෝවා] වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක්ක[ළේය].” (ක්‍රියා 2:46, 47) ඔවුන්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්නේ එකට ආශ්‍රය කිරීම සහ ආහාර අනුභව කිරීම විතරද? නැහැ; ඔවුන්ගේ ප්‍රීතියට ප්‍රධාන වශයෙන් මුල් වුණේ යෙහෝවා දෙවිට දවසක් දවසක් පාසා ප්‍රශංසා කිරීමයි. ඔවුන්ගේ ගැළවීමේ පණිවිඩයට දහස් ගණන් ප්‍රතිචාරය දක්වනවා දුටු විට ඔවුන්ගේ ප්‍රීතිය තවත් බලවත් වුණා. අදදින අප සම්බන්ධයෙනුත් ඒක ඇත්තක් වෙනවා.
හැම ජාතියකම ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ
9. (අ) සියලු ජාතීන්ට අයත් ජනයාට තම ශුභාරංචියට සවන් දෙන්න ප්‍රස්තාව ලබා දෙන්න දෙවි පටන්ගත්තේ කවදාද, කොහොමද? (ආ) කොර්නේලියස් සහ ඔහුගේ ආශ්‍රිතයන්ගේ බව්තීස්මයට කලින්, ඔවුන් පිට ශුද්ධාත්මය වගුරුවනු ලැබුවේ ඇයි?
9 තම සේවකයන්ගේ ආලෝකය දැරීමේ ක්‍රියාව එක ජාතියකට පමණක් සීමා වෙනවා දකින්න යෙහෝවාට වුවමනාවක් තිබුණේ නැහැ. එමනිසා, පො.යු. 36 පටන්, සියලු ජාතීන්ට අයත් ජනයාට ඔහුගේ ශුභාරංචිය ඇසීමේ ප්‍රස්තාව ඔහු ලබා දුන්නා. දෙවිගේ මඟ පෙන්වීමට එකඟව, පේතෘස් කායිසාරියේ අන්‍යජාතික හමුදා නිලධාරියෙකුගේ නිවසට ගියා. එහෙ යනකොට කොර්නේලියස් තමන්ගේ කිට්ටුම මිත්‍රයන් සහ පවුලත් එක්ක රැස් වෙලා ඉන්නවා ඔහු දැක්කා. ඔවුන් පේතෘස්ගේ වදන්වලට උනන්දුවෙන් ඇහුම්කන් දුන් ඒ අවස්ථාවේදී, යේසු කෙරෙහි හෘදයෙන්ම ඇදහිල්ල දැක්වූවා. කොහොමද අපි දන්නේ? දෙවිගේ ශුද්ධාත්මය එම අන්‍යජාතික ඇදහිලිවන්තයන් පිටට ආ නිසයි. සාමාන්‍යයෙන්, දෙවිගේ ආත්මය නමැති දීමනාව බව්තීස්මයෙන් පස්සේ තමයි ලැබුණේ; නමුත් ඒ අවස්ථාවේදී, මෙම යුදෙව් නොවන අය තම අනුමැතියට පාත්‍ර වන බව යෙහෝවා ඔවුන්ගේ බව්තීස්මයට කලින් ඇඟෙව්වා. යෙහෝවා එහෙම කළේ නැත්නම්, ඒ අවස්ථාවේ ඉඳන් දෙවි තම සේවකයන් හැටියට අන්‍යජාතිකයන්ව පිළිගන්න බවත්, ඔවුන්ට වතුර බව්තීස්මයට සුදුසුකම් තියෙන බවත් ස්ථිර කරගන්න පේතෘස්ට බැරි වෙනවා.—ක්‍රියා 10:34, 35, 47, 48.
10. සියලු ජාතීන්ට අයත් ජනයා යෙහෝවාට ප්‍රශංසා කරයි කියලා පුරාණ කාලවල ඉඳන් පුරෝකථනය කළේ කොහොමද?
10 පුරාණ කාලවල ඉඳන්, සියලු ජාතීන්ට අයත් ජනයා තමාට ප්‍රශංසා කරන බව යෙහෝවා පුරෝකථනය කළා. හැම රටකම ඔහුට ප්‍රීතිමත් ප්රශංසාකරන්නන් ඉන්න යනවා. මෙය ඔප්පු කරන්න, ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් ලියවිලිවලින් අනාවැකි උපුටා දැක්වූවා. ඔහු රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ගෙන් සෑදුණු අන්තර්ජාතික සභාවට මෙහෙම කිව්වා: “[දෙවිගේ] ගෞරවය පිණිස [ක්‍රිස්තුස්] නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගන්න. මක්නිසාද [ක්‍රිස්තුස් දෙවිගේ] සත්‍යතාව උදෙසා චර්මඡේද්‍යයේ මෙහෙකරුවෙක් වූ[යේය]යි කියමි. කුමටද, පියවරුන්ට දුන් පොරොන්දු ස්ථිරකරන පිණිසත්, අන්‍යජාතීන් විසින් [දෙවිගේ] දයාව ගැන [ඔහුට] ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට: එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි [ගීතාවලිය 18:49හි] ලියා තිබේ. නැවතත්: අන්‍යජාතීනි, [ඔහුගේ] සෙනග සමඟ ප්‍රීතිවෙන්නැයි [ද්විතීය කථාව 32:43හි] කියා තිබේ. නැවතත්: සියලු අන්‍යජාතීනි, [යෙහෝවාට] ප්‍රශංසාකරන්න; සියලු වර්ගයෝ [ඔහුට] ප්‍රශංසාකරන්නැයි [ගීතාවලිය 117:1හි] කියා තිබේ.”—රෝම 15:7-11, ඇල අකුරු අපේය.
11. යෙහෝවා සියලු ජාතීන්වලට අයත් ජනයාට තමාගේ සත්‍යයන් ඉගෙනගන්න උපකාර කරලා තියෙන්නේ කොහොමද? එමෙන්ම ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මොකක්ද?
11 දෙවි සියලු ජාතීන් කෙරෙහි පාලනය කරන්න පත් කර තියෙන තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ජනයා තමුන්ගේ බලාපොරොත්තු තබන්නේ නැත්නම්, ඔවුන්ට යෙහෝවාට එක්සත්ව ප්‍රශංසාව ගෙන දෙන්න බැහැ. සදාකාල ජීවනයට මඟ පෙන්වන ඔහුගේ සත්‍යයන් අගය කරන්න ඔවුන්ට උපකාරයක් වශයෙන්, දෙවි අන්තර්ජාතික ඉගැන්වීමේ වැඩසටහනක් පිහිටුවලා තියෙනවා. ඔහු තම විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය තුළින් ඔවුන්ට මඟ පෙන්වීම දෙනවා. (මතෙව් 24:45-47) ප්‍රතිඵලය? රටවල් 230කටත් වැඩි ප්‍රමාණයකින් ප්‍රීතිමත් කටහඬවල් දශලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් යෙහෝවාගේ ප්‍රශංසාව පිණිස ගායනා කරනවා. එමෙන්ම ඒ දේ කිරීමට තවත් දශලක්ෂ ගණනාවක් උනන්දුව පෙන්නුම් කරනවා. වර්ෂ 1996දී සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව දිහා බලන්න: 1,29,21,933යි. අතිවිශිෂ්ටයි!
ප්‍රීතිමත් ප්රශංසාකරන්නන්ගේ මහත් සමූහයක් පුරෝකථනය කෙරේ
12. ප්‍රේරිත යොහන් අද්දුටුවේ මොන හැඟීම් දනවන දර්ශනයද? එමෙන්ම ඒ සියල්ලේ ජීවමාන යථාර්ථය මොකක්ද?
12 දර්ශනයකදී, ප්‍රේරිත යොහන් සියලු ජාතීන්ගෙන් නික්මුණු “මහත් සමූහයක්” දුටුවා. (එළිදරව් 7:9) දෙවිගේ ආලේප ලත් ඉතිරි කොටස සමඟ මෙම මහත් සමූහය ගායනා කරන ප්‍රශංසාවල තේමාව මොකක්ද? යොහන් අපිට කියනවා: ‘සිංහාසනයෙහි හිඳගෙන සිටින අපේ දෙවිටත් බැටළුපැටවාටත් අපේ ගැළවීම අයිතිය.’ (එළිදරව් 7:10) මෙය ලෝකයේ හැම තැනකම නිර්භීතව දේශනා කරනු ලබනවා. තාල පත්‍ර අතැතිව, අපි එක්සත්ව විශ්වනීය පරමාධිපති හැටියට යෙහෝවාව ප්‍රසිද්ධියේම පිළිගන්නා අතරම, ස්වර්ගය සහ පොළොව ඉදිරියෙහි අපේ ගැළවීම ඔහුටත් ඔහුගේ පුත්‍ර බැටළුපැටවා වන යේසුස් ක්‍රිස්තුස්ටත් “අයිති” බව ප්‍රීතිමත්ව පිළිගන්නවා. මහත් සමූහයා හා සම්බන්ධ මෙම හැඟීම් දනවන දර්ශනය දැකීමෙන් ප්‍රේරිත යොහන් මොනතරම් ප්‍රීතියක් අද්දකින්න ඇද්ද! එමෙන්ම යොහන් දුටු දෙයෙහි ජීවමාන යථාර්ථය දකින්න හැකිවීමත්, ඇත්තවශයෙන්ම එයට අයත්ව සිටීමත් අදදින අපිට මොනතරම් ප්‍රීතියක්ද!
13. යෙහෝවාගේ සෙනඟව මේ ලෝකයෙන් වෙන් කිරීමට සලස්වන්නේ මොකක්ද?
13 යෙහෝවාගේ සේවකයන් වශයෙන්, අපි ආඩම්බරයෙන් ඔහුගේ නාමය දරනවා. (යෙසායා 43:10, 12) යෙහෝවාගේ සාක්ෂිකරුවන් වීම, අපිව මේ ලෝකයෙන් වෙනස් කරවනවා. දෙවිගේ විශේෂ නාමය දැරීමත්, අපේ ජීවිතයේ අරමුණ වශයෙන් ඔහුගේ දිව්‍යමය කාර්යය කරන්න ලැබීමත් මොනතරම් ප්‍රීතියක්ද! තම ශුද්ධ නාමය විශුද්ධ කරන්න සහ තම විශ්වනීය පරමාධිපත්‍යය රාජ්‍යය තුළින් නිදොස් කරන්න යෙහෝවාට තියෙන උදාර අරමුණ අපේ ජීවිතවලට අර්ථයක් ගෙන දී තියෙනවා. එමෙන්ම තම නාමය සහ රාජ්‍යය සම්බන්ධයෙන් ඔහුගේ දිව්‍ය අරමුණේ තැනක් ලැබීමට ඔහු අපිට උපකාර කරලා තියෙනවා. මෙය ඔහු ක්‍රම තුනකින් කරලා තියෙනවා.
සත්‍යය භාර දීමෙන්
14, 15. (අ) තම නාමය සහ රාජ්‍යය පිළිබඳ දෙවිගේ දිව්‍යමය අරමුණෙහි අපිට තැනක් දෙන්න දෙවි අපිට උපකාර කරලා තියෙන එක් ක්‍රමයක් සඳහන් කරන්න. (ආ) පොදු යුගයේ 1914දී පිහිටුවනු ලැබූ රාජ්‍යය, පො.යු.පෙ. 607දී පෙරළා දමනු ලැබූ එකට වඩා වෙනස් වෙන්නේ කොහොමද?
14 පළමුව, යෙහෝවා තම සෙනඟට සත්‍යය භාර දී තියෙනවා. වඩාත්ම උනන්දුව ගෙන දෙන එළිදරව් වීම තමයි ඔහුගේ රාජ්‍යය 1914දී පාලනය කරන්න පටන්ගත් එක. (එළිදරව් 12:10) මෙම ස්වර්ගික රාජ්‍යය යෙරුසලමෙහි තිබුණ ආදර්ශ රාජ්‍යයට වඩා වෙනස්; එහිදී දාවිත්ගේ පෙළපතේ රජුන්ව සිංහාසනාරුඪ කරනු ලැබුවා. එම රාජ්‍යය පෙරළා දමනු ලැබූ අතර, පො.යු.පෙ. 607 පටන්, යෙරුසලම අන්‍යජාතික ලෝක බලයන්ගේ පාලනයට සම්පූර්ණයෙන්ම යටත් කරනු ලැබුවා. ස්වර්ගික බලයක් වශයෙන් යෙහෝවා 1914දී පිහිටෙවූ අලුත් රාජ්‍යය, යෙහෝවාට මිස කිසිවෙකුට යටත් නොවන, කිසිදාක විනාශ වෙන්නේ නැති ස්වර්ගික බලයක්. (දානියෙල් 2:44, 45) එමෙන්ම, එහි පාලනතන්ත්‍රය වෙනස්. ඒ කොහොමද? එළිදරව් 11:15 මෙහෙම පිළිතුරු දෙනවා: ‘ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්ටද තමන් ක්‍රිස්තුස්ටද වූයේය. ඔහු සදාකාලේටම රජකම් කරන්නේයයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.’—ඇල අකුරු අපේය.
15 ‘අපගේ ස්වාමීන්ගේ සහ තමන් ක්‍රිස්තුස්ගේ රාජ්‍යය’ මනුෂ්‍යවර්ගයාගේ මුළු ලෝකය කෙරෙහි අධිකාරය හොබවනවා. යෙහෝවාගේ මෙසියානු පුත්‍රයා සහ දැනට ස්වර්ගික තේජසට නැවත නැඟිටුවා ඇති යේසුගේ සහෝදරයන් 1,44,000දෙනාගෙන් වැඩිහරියක්ම ඇතුළත් ඔහුගේ පරමාධිපත්‍යයේ මෙම අලුත් ප්‍රකාශය, ශාස්ත්‍රීය පැත්තෙන් උනන්දුවට හේතු වන—ශිෂ්‍යයන් සාකච්ඡා කරන්න කැමති විය හැකි යම් න්‍යායක් විතරක් නෙමෙයි. නැහැ, මෙම ස්වර්ගික රාජ්‍යය සැබෑ ආණ්ඩුවක්. එමෙන්ම එහි පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් පරිපූර්ණත්වයෙන් සදාකල් ජීවත් වීමේ අපේ සන්තෝෂවත් අපේක්ෂාව, දිගටම ප්‍රීතිමත් වීම සඳහා අපිට ඕනෑ තරම් හේතු ලබා දෙනවා. යෙහෝවාගේ වචනයෙහි එවන් සත්‍යතාවන් අපිට භාර දී තියෙන නිසා, ඒ ගැන හැමවිටම හොඳින් කතා කරන්න එය අපිව පොලඹවනවා. (ගීතාවලිය 56:10) දෙවිගේ මෙසියානු රාජ්‍යය දැන් ස්වර්ගයෙහි පාලනය කරන බව හැමදෙනාටම පවසමින් ඔබ මෙය නිතිපතා කරමින් සිටිනවාද?
ශුද්ධාත්මයෙන් සහ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයකින් උපකාර ලැබීමෙන්
16, 17. තම දිව්‍යමය අරමුණෙහි අපිට තැනක් දීමට දෙවි අපිට උපකාර කරලා තියෙන දෙවන සහ තුන්වන ක්‍රම නම් කරන්න.
16 දෙවි තම දිව්‍යමය අරමුණෙහි අපට තැනක් ලබා දීමට උපකාර කර තියෙන දෙවන ක්‍රමය තමයි, තම ශුද්ධාත්මය අපට දීම; එහි අලංකාරවත් ඵලදාව අපේ ජීවිතය තුළ නිපදවන්නත්, ඔහුගේ අනුමැතිය ලබාගන්නත් එය අපිට උපකාර කරනවා. (ගලාති 5:22, 23) එපමණක්ද නොව, පාවුල් ආලේප ලත් ක්‍රිස්තියානීන්ට මෙහෙම ලිව්වා: “[දෙවි] විසින් අපට [කාරුණිකව, NW] දෙනලද දේ අප විසින් දැනගන්නා පිණිස . . . [දෙවිගෙන්] වූ ආත්මය ලැබීමු.” (1 කොරින්ති 2:12) යෙහෝවාගේ ආත්මයට ප්‍රතිචාරය දැක්වීමෙන්, ඔහු අපිට වර්තමානයේ කාරුණිකව දානය කර තියෙන යහපත් දේවල්—ඒ කියන්නේ, ඔහුගේ පොරොන්දු, නීති, ප්‍රතිපත්ති ආදිය දැනගෙන තේරුම්ගන්න අපි සියලුදෙනාටම පුළුවන්.—මතෙව් 13:11, සසඳන්න.
17 දෙවි අපිට උපකාර කරන තුන්වන ක්‍රමය සම්බන්ධයෙන් ගත්තොත්, අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය සහ නමස්කාරය සඳහා යෙහෝවාගේ ප්‍රිය උපදවන සංවිධානාත්මක විධිවිධානය අපිට තියෙනවා. ප්‍රේරිත පේතෘස් අපිට මුළු “සහෝදර සමාගමට ප්‍රේමකරන්න” කියලා අවවාද කළ විට, ඔහු ඒ ගැන තමයි කතා කළේ. (1 පේතෘස් 2:17) අපේ සහෝදර සහෝදරියන්ගෙන් යුත් අපේ ප්‍රේමනීය අන්තර්ජාතික පවුල, හෘදයේ මහත් ප්‍රීතියකින් යෙහෝවාට සේවය කරන්න අපිට උපකාර කරනවා; ගීතාවලිය 100:2 මෙහෙම ආඥා කරනවා: “[යෙහෝවාට] ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් [ඔහු] ඉදිරියට පැමිණෙව්.” හතරවන පදය තවදුරටත් අපිට මෙහෙම කියනවා: “ස්තුතිකරමින් [ඔහුගේ] දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් [ඔහුගේ] මණ්ඩපවලට පැමිණෙව්. [ඔහුට] ස්තුතිකරමින් [ඔහුගේ] නාමයට ප්‍රශංසාකරව්.” එනිසා ප්‍රසිද්ධියේ දේශනා කරද්දී හෝ රැස්වීම්වලට යද්දී හෝ වේවා, ප්‍රීතිය අද්දකින්න අපිට පුළුවන්. යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවේ අලංකාර මළුවල අපි සොයාගෙන තියෙන්නේ මොනතරම් සමාදානයක් සහ සුරක්ෂිතභාවයක්ද!
යෙහෝවාට ප්‍රීතියෙන් ප්‍රශංසා කරන්න!
18. අප හමුවට පීඩා සහ වෙනත් ගැටලු පැමිණියත්, යෙහෝවාට ප්‍රශංසා කිරීමේදී ප්‍රීතිවීමට අපිට හැක්කේ ඇයි?
18 ඕනෑම දුෂ්කර තත්වයක්, පීඩාවක් හෝ වෙනත් ගැටලුවක් අප හමුවට පැමිණියත්, අපි යෙහෝවාගේ නමස්කාර ගෘහයේ සිටින නිසා ප්‍රීති වෙමු. (යෙසායා 2:2, 3) ප්‍රීතිය හෘදයේ ගුණාංගයක් බව මතක තියාගන්න. අපේ මුල් ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් බොහෝ දුෂ්කරතාවන් සහ අලාභ හානි රාශියක් අද්දුටුවත් ඔවුන් යෙහෝවාගේ ප්‍රීතිමත් ප්රශංසාකරන්නන් වුණා. (හෙබ්‍රෙව් 10:34) අපේ සෙසු ඇදහිලිවන්තයනුත් හරියට ඔවුන් වගේමයි.—මතෙව් 5:10-12.
19. (අ) යෙහෝවාට ප්‍රශංසා කරන්න අපිව පොලඹවන්නේ මොන නැවත නැවත සඳහන් වන අවධාරණය කිරීම්ද? (ආ) අපේ සදාතනික ජීවිත රඳා පවතින්නේ මොකක් මතද? එමෙන්ම අපේ අදිටන මොකක්ද?
19 යෙහෝවාට සේවය කරන අපි සියල්ලෝම, ඔහුට ප්‍රශංසා කරන්න කියලා බයිබලයෙහි සඳහන් නියෝගවලට කීකරු වීම මහත් ප්‍රීතියක් හැටියට සලකනවා. “යාහ්ට ප්‍රශංසා කරන්න!” කියන ප්‍රකාශය සමඟින් දෙවිට කරන ප්‍රශංසා, එළිදරව් පොතෙහි නිතර නිතර අවධාරණය කරලා තියෙනවා. (එළිදරව් 19:1-6, NW) ගීතාවලිය 150හි තියෙන පද හයේ, යෙහෝවාට ප්‍රශංසා කරන්න කියලා අපිට 13වතාවක්ම කියලා තියෙනවා. යෙහෝවාගේ ප්‍රශංසාව ප්‍රීතියෙන් ගායනා කිරීමට එකතු වෙන්න කියලා මුළු මැවිල්ලටම කරන විශ්වනීය ආයාචනයක් තමයි මේ. අපේ සදාතනික ජීවිතය රඳා පවතින්නේ, මෙම මහත් හලෙලූයා සමූහ ගායනයට එකතු වීම මතයි! ඔව්, සදාකල් ජීවත් වෙන්න යන එකම ජනයා තමයි, යෙහෝවාට නිමක් නැතුව ප්‍රශංසාව පිරිනමන්නෝ. එමනිසා, අන්තිමය තව තවත් ළං වෙත්ම, ඔහුගේ පක්ෂපාත ලෝක ව්‍යාප්ත සභාවට කිට්ටුවෙන් ඇලී සිටීම අපේ අදිටනයි. එවිට, ගීතාවලිය 150හි මෙම අවසන් වදන් සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා දැකීම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්: “හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට [යාහ්ට, NW] ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට [ජනයෙනි යාහ්ට, NW] ප්‍රශංසාකරව්.”
කොහොමද පිළිතුරු දෙන්නේ?
◻ යෙහෝවාගේ සෙනඟව විශේෂ, අද්විතීය සෙනඟක් වීමට සලස්වන්නේ මොකක්ද?
◻ යෙහෝවාගේ සේවකයන් මෙතරම් ප්‍රීතියෙන් ඉන්නේ ඇයි?
◻ අපිව ලෝකයෙන් වෙන් කර දැක්වීමට සලස්වන්නේ මොකක්ද?
◻ තම දිව්‍යමය අරමුණෙහි අපිට තැනක් දීමට දෙවි අපිට උපකාර කරලා තියෙන ක්‍රම තුන මොනවාද?
[17වන පිටුවේ පින්තූරය]
කොතැනක සිටියත්, යේසු යෙහෝවා ගැන සාක්ෂිදැරූ අතර, ඔහුට ප්‍රසිද්ධියේ ප්‍රශංසා ගෙන දුන්නා