බයිබල් පොත් අංකය 45—රෝම
ලේඛකයා: පාවුල්
ලියූ ස්ථානය: කොරින්තිය
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු. 56දී පමණ
කලින් යුදෙව් ක්‍රිස්තියානීන්ට දරුණු ලෙස හිංසා පීඩා කරන්නෙකුව සිටි පාවුල්, යුදෙව් නොවන ජාතීන් උදෙසා ක්‍රිස්තුස්ගේ උද්යෝගිමත් ප්‍රේරිතයෙකු බවට පත්වීම අපි ක්‍රියා පොතේදී දුටුවෙමු. දැන් දෙවිගේ ඇදහිලිවන්ත සේවකයෙකු වන කලින් පරිසිවරයෙකුව සිටි මේ තැනැත්තාට ලිවීමට ශුද්ධාත්මය ආනුභාවය දුන් බයිබලයේ පොත් 14 අපි රෝම පොත සමඟින් ආරම්භ කරමු. ඔහු රෝම පොත ලියන කාලය වන විට පාවුල් දීර්ඝ දේශනා සංචාරයන් දෙකක් සම්පූර්ණ කර තිබූ අතර, තුන්වන සංචාරයද හොඳින් කරගෙන යමින් සිටියේය. ඔහු දේවානුභාවය ලත් තවත් ලිපි පහක් ලියා තිබුණේය: ඒවා නම්, පළමු හා දෙවන තෙසලෝනික, ගලාති සහ පළමු හා දෙවන කොරින්තිය. එහෙත් රෝම පොත පාවුල් දේශනා කළ පංති දෙකක් වන යුදෙව්වන් හා යුදෙව් නොවන්නන් අතර නව සමානාත්මතාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරන නිසා, එය අනිකුත් ඒවාට වඩා කලින් අපේ නවීන බයිබල්වල තැබීම යෝග්‍ය බව පෙනෙන්න තිබේ. දෙවි තම සෙනඟ සමඟ කටයුතු කිරීම හා සම්බන්ධ වැදගත් සන්ධිස්ථානයක් එය පැහැදිලි කරන අතර, ශුභාරංචිය යුදෙව් නොවන්නන්ටද ප්‍රකාශ කරනු ලබන බව බොහෝ කලකට පෙර හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පුරෝකථනය කළ බවද එය පෙන්වා දෙයි.
2 පාවුල් ලේකම් වශයෙන් තර්තියස්ව යොදාගනිමින් වේගවත් වාදයක් හා ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ඉතාමත් ප්‍රබල පොත්වලින් එකකට හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල උපුටා දැක්වීම් පුදුම සංඛ්‍යාවක් ගැටගසයි. භාෂාවේ විශිෂ්ට අලංකාරය සමඟින් ඔහු පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව යුදෙව්වන් හා ග්‍රීක්වරුන්ගෙන් සමන්විත වී තිබූ කාලයේදී මතු වූ ගැටලු සාකච්ඡා කරයි. ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වීම හේතුවෙන් යුදෙව්වන්ට ප්රමුඛත්වයක් හිමි වූයේද? තවමත් පැරණි චාරිත්‍ර වාරිත්‍ර මත එල්බගෙන සිටින වඩා දුර්වල යුදෙව් සහෝදරයන්ව බාධාවට පත් කිරීමේ අයිතියක් මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ලද නිදහස භුක්ති විඳිමින් සිටින මේරූ ක්‍රිස්තියානීන්ට තිබුණාද? යුදෙව්වන් මෙන්ම යුදෙව් නොවන්නන්ද දෙවි ඉදිරියෙහි සමාන බවත්, මිනිසුන්ව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලබන්නේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන නොව, නමුත් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි තබන ඇදහිල්ල හා දෙවිගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාව මගින් බව පාවුල් මේ ලිපියෙන් ස්ථිර ලෙස තහවුරු කළේය. ඒ අතරම, තමන් යටත් විය යුතු විවිධ බලධාරින්ට යෝග්‍ය ලෙස යටත් වීම දෙවි ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියි.
3 රෝම සභාව ආරම්භ වූයේ කෙසේද? අවම වශයෙන් පො.යු.පෙ. 63දී, පොම්පේ යෙරුසලම අල්ලාගත් කාලයේ සිට සැලකිය යුතු යුදෙව් සමූහයක් රෝමයේ වාසය කළහ. ඒ යුදෙව්වන්ගෙන් සමහරදෙනෙකු පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමෙහි සිටි බව ක්‍රියා 2:10හි විශේෂයෙන් සඳහන් කරයි; එහිදී ඔවුහු දේශනා කරන ලද ශුභාරංචියට සවන් දුන්හ. තාවකාලිකව පදිංචි වී සිටි හරවාගත් අය ප්‍රේරිතයන්ගෙන් ඉගෙනගැනීම සඳහා යෙරුසලමෙහි නතර වූ අතර, කාලයක් ගතවීමෙන් පසුව රෝමයෙන් පැමිණි අය නැවතත් රෝමයට ගිය බවට කිසිම සැකයක් නැත; ඇතැම්විට සමහරුන් යෙරුසලමෙහි පීඩා හටගත් කාලයේදී එසේ ආපසු ගිය බව සිතාගත හැක. (ක්‍රියා 2:41-47; 8:1, 4) තවදුරටත්, ඒ කාලයේ සිටි මිනිසුන් බහුල ලෙස සංචාරයේ යෙදුණු අය වූ අතර, රෝම සභාවේ සාමාජිකයන් බොහෝදෙනෙකුව පාවුල් කිට්ටුවෙන් දැනහඳුනාගෙන සිටීම මෙයින් පැහැදිලි විය හැක; පාවුල්ගේ දේශනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගෙන් සමහරදෙනෙකු ග්රීසියේදී හෝ ආසියාවේදී ශුභාරංචියට සවන් දුන්නා විය හැක.
4 මේ සභාව පිළිබඳ විශ්වාසදායක මුල්ම තොරතුරු පාවුල්ගේ ලිපියෙන් සොයාගත හැක. එම සභාව යුදෙව්වන්ගෙන් මෙන්ම යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත වූ බවත් ඔවුන්ගේ ජ්වලිතය ප්‍රශංසනීය තත්වයක පැවති බවත් එයින් පැහැදිලි වේ. ඔහු ඔවුන්ට මෙසේ පවසයි: “නුඹලාගේ ඇදහිල්ල මුළු ලෝකයෙහි ප්‍රසිද්ධව [තිබේ]”; එමෙන්ම “නුඹලාගේ කීකරුකම සියල්ලන්ටම ප්‍රකාශවී තිබේ.” (රෝම 1:8; 16:19) ක්ලෞදියස්ගේ පාලන සමයේදී (පො.යු. 41-54) යුදෙව්වන්ව රෝමයෙන් පිටුවහල් කළ බව දෙවන සියවසේ ලියන ලද ලියවිල්ලක සූටෝනියස් වාර්තා කරයි. කෙසේවෙතත්, රෝමයේ සිටි අකිලා හා ප්‍රිස්කිලාගේ පැමිණ සිටීමෙන් පැහැදිලි වන්නාක් මෙන් පසුකලෙක ඔවුහු ආපසු පැමිණියහ. ඔවුන් යුදෙව්වන් වූ අතර, පාවුල්ට කොරින්තියේදී ඔවුන්ව හමු විය; ක්ලෞදියස්ගේ ආඥාව නිකුත් වූ කාලයේදී ඔවුහු රෝමයෙන් පිට වී ගියත් පාවුල් රෝමයේ පිහිටි සභාවට ලියූ කාලයේදී නැවත රෝමයට පැමිණ සිටියහ.—ක්‍රියා 18:2; රෝම 16:3.
5 මේ ලිපියේ නිරවද්‍යතාව ස්ථිර ලෙස තහවුරු කර තිබේ. එහි හැඳින්වීමෙහි පවසන්නාක් මෙන් එය ‘යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙකු වූ, ප්‍රේරිතයෙකු වෙන්ට කැඳවනු ලැබුවාවූ පාවුල්ගෙන්, දෙවිට ප්‍රිය වූ, ශුද්ධවන්තයන්ව සිටින්ට කැඳවනු ලැබුවාවූ රෝමයෙහි සිටින සියල්ලන්ට’ ලැබුණු ලිපියකි. (රෝම 1:1, 3) බාහිර මුලාශ්රවල ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවලට කෙරෙන යොමු දැක්වීම් අතුරින් රෝම පොතට කරනු ලබන යොමු දැක්වීම් පැරණිතම ඒවා අතරට වැටේ. ඇතැම්විට වසර හයක සිට අටක දක්වා කාලයකට පසු ලියූ තම මුල් ලිපියේදී, පේතෘස් සමාන ප්‍රකාශ රාශියක් යොදාගන්න අතර, ඔහු එය ලියන විටත් රෝම පොතේ පිටපතක් දැක තිබුණා විය හැකියි කියා විශාරදයෝ බොහෝදෙනෙක් කල්පනා කරති. රෝම පොත පාවුල්ගේ ලියවිලිවල කොටසක් වශයෙන් පැහැදිලිව සලකනු ලැබූ අතර, පො.යු. පළමු සියවසේ අගභාගයේදී හා දෙවන සියවසේ මුල්භාගයේදී ජීවත් වූ රෝමයේ ක්ලෙමන්ට්, ස්මර්ණයේ පොලිකාප් හා අන්තියෝකියේ ඉග්නේෂස් යන අය එයින් උපුටා දැක්වූහ.
6 පාවුල්ගේ තවත් ලිපි අටක් සමඟ රෝම පොත, චෙස්ට’ බීටි පැපිරස් අංක 2 (P46) යනුවෙන් හඳුන්වනු ලබන අත්පිටපතක සොයාගත හැකියි. මේ මුල් අත්පිටපත සම්බන්ධයෙන් සර් ෆෙඩ්රික් කෙන්යන් මෙසේ ලීවේය: “මෙන්න, පෙනෙන විදිහට තුන්වන සියවස ආරම්භයේදී පමණ ලියන ලද පාවුල්ගේ ලිපිවල බොහෝදුරට සම්පූර්ණ අත්පිටපතක් අපට තිබෙනවා.”a චෙස්ට’ බීටි ග්‍රීක් බයිබල් පැපිරස් ලියවිලි, සිව්වන සියවසට අයත් සිනැටික් අත්පිටපත හා අංක 1209 දරණ වැටිකන් අත්පිටපතට වඩා පැරණිය. එම අත්පිටපත් දෙකෙහිත් රෝම පොත අඩංගු වේ.
7 රෝම පොත ලියනු ලැබුවේ කවදාද? කොතැනද? මේ ලිපිය ග්‍රීසියේ සිට, බොහෝදුරට කොරින්තියේ සිට, තම තුන්වන මිෂනාරි ගමනේ අවසාන මාස කිහිපයේදී පාවුල් එම නගරය බැහැදුටු කාලයේදී ලියූ බවට බයිබල් විචාරකයන් අතර කිසිඳු එකඟ නොවීමක් නැත. අභ්‍යන්තර සාක්ෂි යොමු දක්වන්නේ කොරින්තියටය. එම නගරයේ පිහිටි සභාවේ සාමාජිකයෙකු වූ ගායස්ගේ නිවසේ සිට පාවුල් මේ ලිපිය ලියූ අතර, අසල පිහිටි කොරින්තියේ වරාය වන කෙංක්‍රයේ සභාවේ පේබීට බාර දෙයි. පෙනෙන විදිහට මේ ලිපිය රෝමයට රැගෙන ගියේ පේබී විය හැකියි. (රෝම 16:1, 23; 1 කොරි. 1:14) රෝම 15:23හි පාවුල් මෙසේ ලීවේය: “මේ රටවල මට තවත් ඉඩක් [නැත];” එමෙන්ම තම මිෂනාරි වැඩය බටහිර දෙසට, එනම් ස්පාඤ්ඤය දක්වා ව්‍යාප්ත කරන්න තමා බලාපොරොත්තු වන බව ඔහු ඊළඟ වගන්තියේ දක්වයි. පො. යු. 56 ආරම්භයේදී සිදු වූ තම තුන්වන මිෂනාරි ගමන අවසානය දක්වා මෙසේ ලියන්න ඔහුට හොඳින් හැකි විය.
ප්‍රයෝජනවත් වීමට හේතු
20 “ලෝකය මැවූ තැන් පටන් [දෙවිගේ] අදෘශ්‍යමාන දේ වන [ඔහුගේ] සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය” යනුවෙන් සඳහන් කරමින් රෝම පොත, දෙවි කෙරෙහි විශ්වාසය තැබීම සඳහා තර්කානුකූල පදනමක් සපයයි. එහෙත් එය ඊටත් වඩා ඔහුගේ ධර්මිෂ්ඨකම උත්කෘෂ්ටවත් කරමින් හා ඔහුගේ ඉමහත් දයාව හා ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව දැනගන්න සලස්වමින් ඉදිරියට යයි. ස්වභාවික අතු කපා දමා, වල් අතු බද්ධ කළ ඔලීව ගසේ නිදර්ශනය මගින් අලංකාර ලෙස එය අපේ අවධානයට යොමු කරවයි. දෙවිගේ මේ දැඩි හික්මවීම හා කරුණාවන්තකම ගැන ගැඹුරින් සිතා බලමින් පාවුල් හැඟීම්බරව හඬ ගා මෙසේ පවසයි: “අහෝ, [දෙවිගේ] ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! [ඔහුගේ] විනිශ්චයන් සොයා දැනගැන්මත් [ඔහුගේ] මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!”—1:20; 11:33.
21 දෙවිගේ පරිශුද්ධ රහස තවදුරටත් වර්ධනය වීම රෝම පොත පැහැදිලි කරන්නේ මේ සම්බන්ධතාවේදීය. ක්‍රිස්තියානි සභාවෙහි තවදුරටත් යුදෙව්වා සහ අන්‍යජාතිකයා අතර වෙනසක් නැත; එහෙත් සියලුම ජාතීන්ට අයත් අයට යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන සැපයෙන දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව භුක්ති විඳිය හැක. ‘දෙවි තරාතිරම් නොබලයි.’ “ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ; චර්මඡේද්‍යය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය.” “යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම [ස්වාමීන්] සියල්ලන්ට ස්වාමීව, [ඔහුට] යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව [සිටියි].” මොවුන් සියල්ලන්ව ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලබන්නේ ක්‍රියාවලින් නොව ඇදහිල්ලෙනි.—2:11, 29; 10:12; 3:28.
22 රෝමයේ විසූ ක්‍රිස්තියානීන්ට ලියූ මේ ලිපියේ අඩංගු වන ප්‍රායෝගික උපදෙස්, සතුරු ලොවක සමාන ගැටලුවලට මුහුණ දෙන අද සිටින ක්‍රිස්තියානීන්ට එක සමාන ලෙස ප්‍රයෝජනවත් වේ. සභාවෙන් පිටත සිටින්නන් ඇතුළු “සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න” කියා ක්‍රිස්තියානියාට අනුශාසනා කරයි. සෑම ප්‍රාණයක්ම “බලයලත් මුලාදෑනීන්ට යටත්” විය යුතුයි; මන්ද මොව්හු දෙවිගේ විධිවිධානයක් ස්ථාපිත කරන අතර, නීතියට කීකරු වෙන අයට නොව, නමුත් නපුරු ක්‍රියා කරන අයට බය උපදවන්නන් වෙති. ක්‍රිස්තියානීන් දඬුවම් ලැබීමට තිබෙන බිය නිසා පමණක් නොව, නමුත් ක්‍රිස්තියානි හෘදය සාක්ෂිය නිසාත්, තමන් ගෙවිය යුතු බදු ගෙවීමෙන්ද, තමන් දිය යුතු දේ දීමෙන්ද, තමන්ගේ යුතුකම් ඉටු කිරීමෙන්ද, “එකිනෙකාට ප්‍රේමවීම [හැර]” වෙනත් කිසිවක් සම්බන්ධයෙන් බැඳී නොසිටීමෙන්ද නීතියට කීකරු විය යුතුයි. ප්‍රේමය ව්‍යවස්ථාව සම්පූර්ණ කරයි.—12:17-21; 13:1-10.
23 ප්‍රසිද්ධියේ සාක්ෂි සැපයීමේ කාරණය පාවුල් අවධාරණය කරයි. යමෙකු ධර්මිෂ්ඨකම උදෙසා ඇදහිල්ල ක්‍රියාවට නඟන්නේ හෘදයෙන් වූවත් යමෙකු ගැලවීම උදෙසා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම කරන්නේ මුඛයෙනි. “යෙහෝවාගේ නම කියා හඬගසන හැම කෙනෙක්වම ගළවනු ලැබේ [NW].” එහෙත් මෙය සිදුවීම සඳහා දේශනාකරුවන් ගොස් “යහපත්දේ ගැන ශුභ ආරංචිය [ප්‍රකාශ කිරීම, NW]” අවශ්‍යයි. “පොළොව මුළුල්ලේ” දැන් හඬ පතුරුවාහැර තිබෙන මේ දේශනාකරුවන් අතර අපිත් සිටිමු නම් සන්තෝෂය අපේ විපාකයයි! (10:13, 15, 18) එමෙන්ම දේශනා කිරීමේ මෙම වැඩයට සූදානම් වීමේදී පාවුල් මෙන් අපිත් දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලි හොඳින් දැනගැනීමට වෑයම් කරමු; මන්දයත් මේ එක කොටසක (10:11-21) හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙන් එක පිට එක ඔහු උපුටා දක්වයි. (යෙසා. 28:16; යෝවෙල් 2:32; යෙසා. 52:7; 53:1; ගීතා. 19:4; ද්වි. 32:21; යෙසා. 65:1, 2) ඔහුට හොඳින් මෙසේ පැවසීමට හැකි විය: “ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.”—රෝම 15:4.
24 ක්‍රිස්තියානි සභාව ඇතුළත සිදු වන සබඳතා සම්බන්ධයෙන් ප්‍රායෝගික වන අපූර්ව දැනමුතුකමක් සපයයි. කලින් තමන්ගේ ජාතික, වාර්ගික හෝ සමාජීය පසුබිම කුමක් වුවත්, දෙවිගේ ‘යහපත් වූ පිළිගත හැකි වූ සම්පූර්ණ වූ කැමැත්තට’ එකඟව ඔහුට පරිශුද්ධ සේවය පිරිනැමීම සඳහා සියලුදෙනාම තමන්ගේ මනස් සකස් කරගත යුතුය. (11:17-22; 12:1, 2) රෝම 12:3-16හි සඳහන් පාවුල්ගේ උපදේශය පුරා මොන තරම් ප්‍රායෝගික වූ සාධාරණත්වයක් පැතිර පවතීද! ක්‍රිස්තියානි සභාවේ සිටින සියලුදෙනා අතර ජ්වලිතය, නිහතමානිකම හා මුදු මොළොක් සෙනෙහස වර්ධනය කරගැනීම සඳහා ඇත්තෙන්ම විශිෂ්ට දැනමුතුකම් එහි ඇතුළත් වේ. භේද ඇති කරන අය ගැන සුපරීක්ෂාවෙන් සිටින්නත් ඔවුන්ගෙන් ඉවත් වී සිටින්නත් පාවුල් අවසාන පරිච්ඡේදවලදී දැඩි ලෙස දැනමුතුකම් දුන්නත්, සභාවේ පවිත්‍ර ඇසුර මගින් ඇති වන අන්‍යොන්‍ය ප්‍රීතිය හා ප්රබෝධය ගැනද ඔහු කතා කරයි.—16:17-19; 15:7, 32.
25 ක්‍රිස්තියානීන් වශයෙන් එකිනෙකා සමඟ පවත්වන සබඳතා ගැන අපි දිගටම සෝදිසියෙන් සිටිය යුත්තෙමු. “මක්නිසාද [දෙවිගේ] රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද [ශුද්ධාත්මය] තුළ ප්‍රීතියද වේ.” (14:17) මෙම ධර්මිෂ්ඨකම, සමාදානය හා ප්‍රීතිය විශේෂයෙන්ම ක්‍රිස්තුස් සමඟ ස්වර්ගික රාජ්‍යයේ “මහිමය” ලැබීමට නියමිත ‘ඔහු සමඟ හවුල් වන උරුමක්කාරයන්ගේ’ විපාකය වේ. ඒදන් උයනේදී දෙන ලද රාජ්‍ය පොරොන්දුවේ ඉටුවීමේ තවත් පියවරකට රෝම පොත මෙසේ පවසමින් යොමු දක්වන ආකාරයද සැලකිල්ලට ගන්න: “සමාදානයේ [දෙවි] නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා [පොඩි කරනු ඇත].” (රෝම 8:17; 16:20; උත්. 3:15) මේ උතුම් සත්‍යයන් විශ්වාස කරමින් අපි දිගටම සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද පූර්ණව බලාපොරොත්තුවලින්ද පිරී සිටිමු. ඉහළ අහසෙහිවත් පහත පොළොවෙහිවත් “අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ ඇත්තාවූ [දෙවිගේ] ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකි” බව අප ඒත්තුගෙන සිටින නිසා රාජ්‍යයේ වංශය සමඟ ජයග්රාහි ලෙස ගමන් කිරීම අපේ අධිෂ්ඨානය වේවා!—රෝම 8:39; 15:13.
[පාදසටහන]
a අව’ බයිබල් ඇන්ඩ් දි ඒන්ෂන්ට් මැනුස්ක්රිප්ට්ස් (අපේ බයිබලය සහ පුරාණ අත්පිටපත්), 1958, 188වන පිටුව.