සාවුල් ක්‍රිස්තියානීන්ට පීඩා කළේ ඇයි?
“නාසරිය [යේසුස්ගේ] නාමයට විරුද්ධව බොහෝ දේ මා විසින් කටයුතුයයි මමත් සිතුවෙමි. එලෙසම යෙරුසලමේදීත් කෙළෙමි. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ශුද්ධවන්තයන්ගෙන් බොහෝ දෙනෙකු හිරගෙවල දැමුවෙමි, ඔවුන් මරණයට පත්කරන කල්හි ඊට කැමැත්තද දුනිමි. තවද සියලු සිනගෝගවලදී නොයෙක්විට ඔවුන්ට දඬුවම්කරමින්, ඔවුන් ලවා අපහාසකරවන්ට උත්සාහකෙළෙමි; මම ඔවුන් ගැන අතිශයෙන් උමතුව සිට, අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩාකෙළෙමි.”—ක්‍රියා 26:9-11.
ප්‍රේරිත පාවුල් ලෙසින්ද හඳුන්වනු ලබන තාර්සස්හි සාවුල් එසේ සඳහන් කළා. නමුත් ඔහු ඉහත සඳහන් දෙය පවසන කාලය වන විට, ඔහු අලුත් මිනිසෙක් බවට පරිවර්තනය වී සිටියා. ඔහු තවදුරටත් ක්‍රිස්තියානීන්ට විරුද්ධ පුද්ගලයෙක් නොවූ අතර, ඒ වෙනුවට ඔහු දැන් එහි දියුණුව තකා වැඩ කළ ජ්වලිත අයගෙන් කෙනෙකු වූවා. නමුත් ක්‍රිස්තියානීන්ට පීඩා කිරීමට සාවුල්ව කලින් පෙලඹෙව්වේ කුමක්ද? එවැනි දේවල් “කටයුතුයයි” ඔහු සිතුවේ ඇයි? තවද ඔහුගේ කතාවෙන් ඉගෙනීමට අපට යම් පාඩමක් තිබෙනවාද?
ස්තේපන්ට ගල් ගැසීම
ස්තේපන්ට ගල් ගැසූ අය අතුරින් සාවුල්වද බයිබල් වාර්තාවේ සඳහන් කර ඇත. “[ස්තේපන්ව] නුවරින් පිටත ලා ඔහුට ගල්ගැසුවෝය. සාක්ෂිකාරයෝ වනාහි තමුන්ගේ වස්ත්‍ර සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබුවෝය.” “ඔහු මරාදැමීම ගැන සාවුල්ද එකඟව සිටියේය.” (ක්‍රියා 7:58; 8:1) එම ප්‍රහාරයට මඟ පෑදුවේ කුමක්ද? කිලිකියෙන් පැමිණි කිහිපදෙනෙක්ද, යුදෙව්වරුන්ද ස්තේපන් සමඟ නිෂ්ඵල තර්කයක යෙදුණා. කිලිකියේ කෙනෙකු වූ සාවුල් ඔවුන් අතරේ සිටියාද කියා සඳහන් වන්නේ නැහැ. කොහොම වුණත්, දේවාපහාසය සම්බන්ධයෙන් ඔවුන් ස්තේපන්ට දොස් පැවරීමට බොරු සාක්ෂි යොදාගත් අතර සැන්හීඩ්රිනය වෙතට ඔහුව ඇදගෙන ගියා. (ක්‍රියා 6:9-14) උත්තම පූජකයා මෙහෙයවූ මෙම රැස්වීම, යුදෙව් මහාධිකරණය හැටියට කටයුතු කළා. එය ශ්‍රේෂ්ඨතම ආගමික අධිකාරිය වූ අතර, එහි සාමාජිකයන් මූලධර්මය වශයෙන් පරිශුද්ධයයි තමන්ට හැඟුණු දෙය ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඔවුන්ගේ මතයට අනුව, ස්තේපන්ට මරණය හිමි විය යුතුව තිබුණා. ඔවුන් ව්‍යවස්ථාව පිළිපදින්නේ නැතැයි කියා කීමට තරම් ඔහු අභීත වුණා. (ක්‍රියා 7:53) ඉතින් ව්‍යවස්ථාව පිළිපැදිය යුතු වන්නේ කෙසේද යන්න ඔවුන් ගල් ගැසීමෙන් පෙන්නුම් කළා!
එම මතය සාවුල් අනුමත කිරීම, ඔහුගේ විශ්වාසයන්වල සාධාරණ ප්රතිඵලයකි. ඔහු ඵරිසිවරයෙක්ව සිටියා. ව්‍යවස්ථාව හා සම්ප්රදාය ඇති සැටියෙන්ම පිළිපැදිය යුතුය කියා මෙම බලගතු නිකාය තරයේ කියා සිටියා. යේසුස් මගින් ගැළවීම අත් කරගැනීම පිළිබඳ නව ඉගැන්වීම හෙවත් ක්‍රිස්තියානි ධර්මය සලකනු ලැබුවේ, එම විශ්වාසයන්ගේ විරුද්ධ පැත්ත හැටියටයි. මහත් සේ වෛර කළ රෝම පාලනයෙන් තමන්ව මුදවාගනු ඇති තේජාන්විත රජෙකු ලෙසයි පළවන සියවසේ යුදෙව්වන් මෙසියස්ව බලාපොරොත්තු වූයේ. ඉතින් මහා සැන්හීඩ්රිනය මගින් දේවාපහාසය යන චෝදනාව යටතේ තීන්දු කරනු ලැබ, අනතුරුව වරදට පත් කරනු ලැබූ අපරාධකරුවෙක් ලෙස වධ කණුවක මරණයට පත් කළ කෙනෙකු මෙසියස් විය හැකියි යන්න ඔවුන්ගේ මනසට සම්පූර්ණයෙන්ම තේරුම්ගත නොහැකි, පිළිගත නොහැකි මෙන්ම අශික්ෂිත යමක් වූවා.
වධ කණුවක එල්ලනු ලැබූ මිනිසෙක් ‘දෙවිගෙන් ශාප ලද්දෙක්’ බව ව්‍යවස්ථාවේ කියා තිබුණා. (ද්විතීය කථාව 21:22, 23; ගලාති 3:13) සාවුල්ගේ මතයට අනුව, “මේ වචන කෙළින්ම යේසුස්ට අදාළ වුණා. ඔහු දෙවිගේ ශාපය ලැබ මරණයට පත් වුණ නිසා, ඔහු කොහෙත්ම මෙසියස් විය නොහැකිව තිබුණා. මන්දයත් යුදෙව් සම්ප්‍රදායට අනුව, මෙසියස්ට දෙවිගේ ආශීර්වාද අද්විතීය ආකාරයකින් ලැබිය යුතු වුණා. එහෙයින් යේසුස් මෙසියස් කියා කීමත් දේවාපහාසයක් වුණා. තවද මෙවැනි උන්මත්තක ප්‍රකාශයක් කළ තැනැත්තෙක් දේවාපහාස කරන්නෙකු හැටියට දුක් විඳිය යුතු වුණා” කියා ෆ්රෙඩ්රික් එෆ්. බෲස් අදහස් දක්වයි. සාවුල් පසු කලෙකදී පිළිගත්තාක් මෙන්, “වධකණුවෙහි ඇණගසනු ලැබූ ක්‍රිස්තුස් . . . යුදෙව්වරුන්ට පැකිලීමක්” වුණා.—1 කොරින්ති 1:23, NW.
එවැනි ඉගැන්වීම් සම්බන්ධයෙන් සාවුල්ගේ ප්‍රතික්‍රියාව වූයේ එයට උපරිමයෙන්ම විරෝධය පෙන්වීමයි. මෙම ඉගැන්වීම මුලිනුපුටා දැමීම සඳහා කෲරත්වය පවා යොදාගනු ලැබුවා. දෙවිට වුවමනා වූයේ එය බවට ඔහුට සහතික වී තිබුණා. ඔහු තුළ තිබුණාවූ ආකල්පය ගැන සාවුල් මෙසේ පැවසුවා: “ජ්වලිතකම ගැන නම්, [මම] සභාවට පීඩාකෙළෙමි; ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි.” “[දෙවිගේ] සභාවට අප්‍රමාණ ලෙස පීඩාකොට එය නාස්තිකළ හැටි, නුඹලා ඇසුවහුය. මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව සිටීමෙන්, මාගේ රට වැසියන් අතරේ මාගේ වයසේ බොහෝදෙනෙකුට වඩා යුදෙව්වරුන්ගේ ආගමේ වර්ධනයවුණෙමි.”—පිලිප්පි 3:6; ගලාති 1:13, 14.
පීඩාවේ ප්‍රමුඛත්වය දැරුවෙක්
ස්තේපන්ගේ මරණින් පසු, සාවුල්ව ගෙනහැර දක්වන්නේ නිකම්ම පීඩා කිරීමට උදව් දෙන කෙනෙකු හැටියට නොව නමුත් එහි වීරයෙක් හැටියටයි. එවැන්නෙක් හැටියට, ඔහුට යම් ප්‍රසිද්ධත්වයක් ලැබී තිබෙන්න ඇති. මන්දයත් ඔහුගේ හැරීමෙන් පසු, ගෝලයන්ට එකතු වීමට ඔහු උත්සාහ කරද්දී පවා “ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔවුන් සියල්ලෝ ඔහු ගැන භයවූහ.” ඔහු ඇත්තෙන්ම ක්රිස්තියානියෙකුයයි පැහැදිලි වූ විට, ඔහුගේ හැරීම ගෝලයන් අතරේ සන්තෝෂයටත්, ස්තුතියටත් හේතු වුණා. මන්දයත් ඔවුන්ට අසන්න ලැබුණේ, නිකම්ම පීඩා කරන්නෙක් හැරුණා කියා නොව, නමුත් “වරක් අපට පීඩාකළ තැනැත්තා තමා විසින් වරක් නාස්ති කළාවූ ඇදහිල්ල දැන් දේශනාකරන්නේය” කියායි.—ක්‍රියා 9:26; ගලාති 1:23, 24; ඇල අකුරු අපගේය.
දමස්කය පිහිටා තිබුණේ යෙරුසලමේ සිට කිලෝමීටර් 220ක් හෝ දවස් හත අටක් පයින් යෑමට ගත වන දුරකින්. එහෙත්, සාවුල් “ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද” දමස්කයේ සිනගෝග කරා ඔවුන්ව ගෙන යෑම සඳහා උත්තම පූජකයාගෙන් ලියුම් ඉල්ලා සිටියා. ඇයි? “ලබ්ධි මාර්ගයට” අයිති වූ ඕනෑම කෙනෙකුව බැඳ යෙරුසලමට ගෙන ඒමට හැකි වනු පිණිසයි. නිල අනුමැතිය ඇතුව, ඔහු “සියලු ගෙවලට වැද, පුරුෂයන්ද ස්ත්‍රීන්ද ඇදගෙන ගොස් හිරගෙට භාරදෙමින්, සභාව නාස්තිකෙළේය.” ඔහු ‘සිනගෝගවලදී වෙනත් අයට තැළූ’ අතර, ඔහු ඔවුන්ව මැරීමට “කැමැත්ත” (වචනයේ පරිසමාප්තියෙන් ගත් කල, “පබළු දැමීමයි”) දුන්නේය.—ක්‍රියා 8:3; 9:1, 2, 14; 22:5, 19; 26:10, NW පාදසටහන.
ගමාලියෙල් යටතේ සාවුල්ට ලැබුණු අධ්‍යාපනයත්, ඔහුට ඒ වෙද්දී තිබූ බලයත් කල්පනාවට ගත් කල, ඔහු නිකම්ම නීතියේ ශිෂ්‍යයෙකුව සිට යුදෙව් ධර්මයේ යම් අධිකාරියක් හොබවන්නෙකු දක්වා වර්ධනය වූ බව සමහරක් විශාරදයන් පවසයි. උදාහරණයක් හැටියට, සාවුල් යෙරුසලමේ ගුරුවරයෙක් වෙන්න ඇතැයි එක් කර්තෘවරයෙක් උපකල්පනය කළා. කොහොම වුණත්, සාවුල්ගේ ‘කැමැත්ත දීම’ යන්නෙහි අරුත අපට නිශ්චිතවම කිව නොහැකියි. එනම්, ඔහු අධිකරණයක සාමාජිකයෙක් වූවාද නැතිනම් ක්‍රිස්තියානීන්ගේ මරණයට සහය දුන් කෙනෙකු හැටියට අනුමැතිය දීම සිදු වූවාද කියා ස්ථිර විය නොහැකියි.a
මුලදී, සියලුම ක්‍රිස්තියානීන් යුදෙව්වන් හෝ යුදෙව් ධර්මය වැලඳගත් අය වූ නිසා, පෙනෙන ප්‍රකාරයට සාවුල් ක්‍රිස්තියානි ධර්මය දැක්කේ යුදෙව් ධර්මයේ ඇදහිල්ල අතහැර ගිය එකක් හැටියටයි. එමෙන්ම යුදෙව් ධර්මය මගින් එහි සාමාජිකයන්ව නිවැරදි කිරීම එහි යුතුකමය කියා ඔහුට හැඟුණා. “ක්‍රිස්තියානි ධර්මය යුදෙව් ආගමට වඩා වෙනස් වූ එකක් නැතිනම් එහි ප්‍රතිවාදියෙක් වූ නිසාම පාවුල් එයට විරෝධය දැක්වූවා කියා කිව නොහැකියි. නමුත් ඔහු හා වෙනත් අය විසින් ක්‍රිස්තියානි ව්‍යාපාරය දකින්න ඇත්තේ ඒ වන විටත් යුදෙව් අධිකාරියට යටත් එකක් හැටියටය” කියා විශාරද ආර්ලන්ඩ් ජේ. හල්ට්ග්රන් පැවසුවා. එසේ නම් ඔහුගේ අභිමතාර්ථය වූයේ හිතුවක්කාර යුදෙව්වන්ට තම ආගම් අත්හැරීමට පොලඹවා, සම්ප්‍රදායානුකූල යුදෙව් ධර්මයට බලෙන් නැවත ගෙන ඒමයි. තවද මේ සඳහා හැකි සෑම ක්‍රමයක්ම යොදාගැනීමටද ඔහු පසුබට වූයේ නැහැ. (ක්‍රියා 26:11) ඔහුට යොදාගැනීමට හැකිව තිබූ එක් ක්‍රමයක් වූයේ සිරගත කිරීමයි. තවත් එකක් වූයේ සිනගෝගවලදී ඔවුන්ට තැළීමයි. රබ්බිවරුන්ගේ අධිකාරියට පිටුපෑමේ දඬුවමක් හැටියට විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුත් ඕනෑම ප්‍රාදේශීය නඩු ශාලාවක මෙයාකාර හික්මවීමක් කළ හැකි වුණා.
නමුත්, දමස්කයට යන මාර්ගයේදී යේසුස් සාවුල්ට දර්ශනය වීම මේ සියල්ල අවසානයකට ගෙනාවා. ක්‍රිස්තියානි ධර්මයේ කුරිරු සතුරෙකුව සිටි ඔහු, හදිසියේම එයට පක්ෂව ක්‍රියා කරන භක්තිවන්තයෙකු බවට පත් වූවා. තවද වැඩි කලක් යන්න මත්තෙන් දමස්කයේ සිටි යුදෙව්වන් ඔහුව මරණයට පත් කිරීමට සෙව්වා. (ක්‍රියා 9:1-23) පුදුමයට කරුණක් වන්නේ, අනුන්ට පීඩා කිරීමේදී ඔහු කළ දේවල්ම, ක්‍රිස්තියානියෙකු වීමෙන් පසු සාවුල්ට අත් විඳීමට සිදුවීමයි. මේ සම්බන්ධයෙන් පසු කලෙකදී ඔහූ මෙසේ පැවසුවා: “යුදෙව්වරුන්ගෙන් පස්වරක් එකුත් සතළිසක් පහරකෑවෙමි.”—2 කොරින්ති 11:24.
ජ්වලිතය වැරදි පැත්තට යොමු කළ හැකියි
හැරීමෙන් පසුව පාවුල් ලෙස ප්‍රසිද්ධ වූ සාවුල් මෙසේ පැවසුවා: “පළමුවෙන් මම අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දාකරන්නෙක්ව සිටියෙම් නුමුත්, නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි.” (1 තිමෝති 1:13) එහෙයින් කෙනෙකු තම ආගම තුළ අවංක හා ක්‍රියාශීලී වූ පමණින් දෙවිගේ අනුමැතිය ලැබිය හැකි බවට සහතික විය නොහැකියි. සාවුල් ජ්වලිත වූ අතර හෘද සාක්ෂියට අනුව කටයුතු කළා. නමුත් ඒ නිසාම ඔහු නිවැරදි වූයේ නැහැ. ඔහුගේ දැවෙන ජ්වලිතය වැරදි පැත්තටයි යොමු වී තිබුණේ. (රෝම 10:2, 3 සසඳන්න.) කල්පනා කිරීමට එය අපව පෙලඹවිය යුතුයි.
දෙවිට අපෙන් වුවමනා කරන්නේ නිකම්ම හොඳ හැසිරීමක් පවත්වාගැනීම පමණක් බව අද බොහෝදෙනෙකු සිතන දෙයක්. නමුත් එය ඇත්තද? පාවුල් කළ ඉල්ලීමට සවන් දීම සැමගේ ප්‍රයෝජනයට දායක විය හැකියි. ඔහු මෙසේ පැවසුවා: “සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න.” (1 තෙසලෝනික 5:21) එයින් අදහස් කරන්නේ සත්‍යය පිළිබඳ වූ දෙවිගේ වචනයේ ඒකාන්ත දැනුම ලබාගැනීමට කාලය ගෙන ඒ අනුව ජීවත් වීමයි. බයිබලය අධ්‍යයනය කිරීමෙන් පසු, අපේ ජීවිතයේ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය බව අපට වැටහුණොතින්, කිසිදු ප්‍රමාදයකින් තොරව අප එසේ කළ යුතුයි. සමහරක් විට, සාවුල් තරම් දේවාපහාස කරන්නන්, පීඩා කරන්නන් හෝ ගරු සරු නැති අය වී ඇත්තේ අපෙන් කිහිපදෙනෙකු පමණක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත්, ඇදහිල්ලට හා ඒකාන්ත දැනුමට එකඟ වූ ක්‍රියාවන් කිරීමෙන් පමණයි අපට දෙවිගේ අනුමැතිය ලබාගත හැකි වන්නේ.—යොහන් 17:3, 17, 18අ.
[පාදසටහන]
a එමීල් ෂ්යූරර් විසින් රචිත, යේසුස් ක්‍රිස්තුස්ගේ අවධියේ සිටි යුදෙව් මිනිසුන්ගේ ඉතිහාසය (ඉංග්‍රීසියෙන්) (ක්‍රි.පූ. 175-ක්‍රි.ව. 135) යන පොතට අනුව, මහා සැන්හීඩ්රිනයේ හෝ හැත්තෑඑක්දෙනෙකුගෙන් යුත් සැන්හීඩ්රිනයේ ක්‍රියා පිළිවෙත සම්බන්ධව මිෂ්නාහි කිසිදු වාර්තාවක් නොමැති වුණත්, සාමාජිකයන් 23දෙනෙකුගෙන් යුත් සුළු සැන්හීඩ්රිනයේ ක්‍රියාපිළිවෙත් අකුරෙන් අකුර සඳහන් කොට තිබෙනවා. සුළු සැන්හීඩ්රිනය මගින් සලකා බලනු ලැබූ මරණීය දණ්ඩන නඩුවලට සහභාගි වීමට නීතිමය සිසුන්ට හැකි වූ අතර, එහිදී, චෝදනාව ලැබූ තැනැත්තාට විරුද්ධව නොව ඔහුගේ පැත්තට පමණක් කතා කිරීමට ඔවුන්ට අවසර දෙනු ලැබුවා. මරණීය දණ්ඩනයක් සම්බන්ධ නොවූ නඩුවක ඕනෑම පැත්තක් වෙනුවෙන් කතා කිරීමට ඔවුන්ට හැකි වුණා.