13වෙනි පරිච්ඡේදය
විවාහය දෙකඩ වන අවස්ථාවක පවතී නම්
1, 2. විවාහයක් පීඩාකාරි තත්වයක් යටතේ පවතින විට, කුමන ප්‍රශ්න ඇසිය යුතුද?
වර්ෂ 1988දී ලූචීයා නම් ඉතාලි ජාතික ස්ත්‍රියක් බෙහෙවින් කලකිරී සිටියාය.a වර්ෂ දහයකට පසු ඇගේ විවාහය නිමා වෙමින් තිබිණ. බොහෝ අවස්ථාවලදී, ඇය තම ස්වාමිපුරුෂයා සමඟ සමාදාන වීමට වෑයම් කර තිබුණත්, එය ව්‍යර්ථ විය. මෙනිසා, නොගැළපීම හේතුවෙන් වෙන් වූ ඈ, එවිට දරුවන් දෙදෙනෙකු ඇති දැඩි කිරීමට මුහුණ දී සිටියාය. අතීතය සිහි කරමින්, ලූචීයා මෙසේ පවසයි: “අපේ විවාහය රැකගත හැකි කිසිවක් නැති බව මට ස්ථිර වුණා.”
2 ඔබට විවාහ ගැටලු තිබේ නම්, ලූචීයාට හැඟෙන අයුරු ඔබටත් තේරුම්ගත හැකි වේ. ඔබේ විවාහය අනතුරක තිබිය හැකි අතර, එය රැකගත හැකිදැයි ඔබ කල්පනා කරමින් සිටිනවා විය හැක. කාරණය එය නම්, මෙම ප්රශ්නය සලකා බැලීම උපකාරවත්යයි ඔබට පෙනෙනු ඇත: විවාහය සාර්ථක කරගැනීමට උපකාර කිරීම සඳහා දෙවියන්වහන්සේ බයිබලයෙහි දී තිබෙන සියලුම හොඳ උපදෙස් මා අනුගමනය කර තිබෙනවාද?—ගීතාවලිය 119:105.
3. දික්කසාදය ජනප්‍රිය වී තිබුණත්, දික්කසාද වූ බොහෝ අය අතර හා ඔවුන්ගේ පවුල්වලින් කුමන ප්‍රතික්‍රියාවක් වාර්තා වේද?
3 ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර නොඉවසුම් ගති උත්සන්න වන විට, විවාහය කටුගා දැමීම පහසුම ක්‍රියාමාර්ගය ලෙස පෙනී යා හැක. එහෙත්, බොහෝ රටවල් දෙකඩ වූ පවුල්වල සංඛ්‍යාවේ භයානක වැඩිවීමක් අද්දැක තිබෙතත්, දික්කසාද වූ මිනිසුන් හා ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් තමන් වෙන්වීම ගැන පසුතැවෙන බවට මෑත අධ්‍යයනයන් පෙන්නුම් කරයි. තම විවාහයේ රැඳී සිටින අයට වඩා මේ අයගෙන් වැඩිදෙනෙක් බොහෝ කායික මෙන්ම මානසික ගැටලුවලින් වේදනා විඳිති. දික්කසාද වූ පවුලක දරුවන්ගේ ව්‍යාකූලත්වය හා අසන්තෝෂය බොහෝවිට වසර ගණනාවක් පුරා පවතී. දෙකඩ වූ පවුලේ දෙමාපියෝ සහ මිත්‍රයෝද වේදනා විඳිති. තවද විවාහයේ ආරම්භකයාණන් වන දෙවියන්වහන්සේ මෙම තත්වය සලකන්නේ කෙසේද?
4. විවාහයක ගැටලු විසඳාගත යුත්තේ කෙසේද?
4 පෙර පරිච්ඡේදවල සඳහන් කළ පරිදි, විවාහය ජීවිත කාලීන එකක් විය යුතු බවට දෙවියන්වහන්සේ අරමුණු කළසේක. (උත්පත්ති 2:24) එසේනම්, බොහෝ විවාහයන් දෙකඩ වන්නේ මන්ද? එය එක් රාත්‍රියකින් සිදු නොවිය හැක. බොහෝවිට අනතුරු ඇඟවීමේ සංඥා තිබේ. විවාහයක සුළු ගැටලු මැඩපැවැත්විය නොහැකියයි පෙනෙන තරමට එන්න එන්නම විශාල විය හැක. එහෙත් බයිබලයේ උපකාරය ඇතුව මෙම ගැටලු අප්‍රමාදව විසඳාගන්නවා නම්, විවාහයේ දෙකඩ වීම් බොහොමයක් වළක්වාගත හැකි වේ.
යථාර්ථවාදී වන්න
5. ඕනෑම විවාහයක කුමන යථාර්ථවාදී තත්වයට මුහුණ දිය යුතුද?
5 විවාහ සහකරුවෙකුට හෝ දෙදෙනාටම තිබිය හැකි යථාර්ථවාදී නොවන අපේක්ෂා, ඇතැම්විට ගැටලුවලට මඟ පාදන මූලික සාධකයකි. ප්‍රේම නවකතා, ජනප්‍රිය සඟරා, රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට සැබෑ ජීවිතයට වඩා බෙහෙවින් වෙනස් බලාපොරොත්තු හා සිහින ඇති කළ හැක. මෙම සිහින සැබෑ නොවන විට, පුද්ගලයෙකුට මුළා කළ බවක්, අතෘප්තිමත් බවක් මෙන්ම තද කෝපයක් පවා හැඟිය හැක. එහෙත්, අසම්පූර්ණ දෙදෙනෙකුට විවාහය තුළ සතුට ලැබිය හැක්කේ කෙසේද? සාර්ථක සබඳතාවක් අත් කරගැනීම සඳහා වෑයමක් දැරීමට සිදු වේ.
6. (අ) විවාහය පිළිබඳව බයිබලය දෙන්නේ කිනම් සමබර දෘෂ්ටියද? (ආ) විවාහයේ එකඟ නොවීම් සඳහා ඇති ඇතැම් හේතු මොනවාද?
6 බයිබලයේ ප්‍රායෝගික අදහස් තිබේ. විවාහය තුළ ප්‍රීතිය තිබෙන බව එය පිළිගන්නා මුත්, විවාහ වන්නන්ට “මාංසයෙහි දුක්” ඇති වන බවටද අනතුරු අඟවයි. (1 කොරින්ති 7:28) දැනටමත් දැක ඇති පරිදි, සහකරුවෝ දෙදෙනාම අසම්පූර්ණ වන අතර, පාපයට ප්‍රවණතාවක් දක්වති. මානසික හා චිත්තවේගීය සැකැස්මද, එක් එක් සහකරුවාගේ ඇති දැඩි වීමද වෙනස්ය. මුදල්, දරුවන් හා විවාහයේ ඥාතීන් පිළිබඳව ඇතැම්විට යුවළයෝ එකඟ නොවෙති. එක්ව දේවල් කිරීමට කාලය ප්‍රමාණවත් නොවීම සහ ලිංගික ගැටලුද විරෝධයේ මූලාශ්‍රයක් විය හැක.b එවැනි කාරණා සමඟ කටයුතු කිරීමට යම් කලක් ගත වන මුත්, ධෛර්යවත් වන්න! විවාහක යුවළයන් බොහෝමයකට එවැනි ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට හැකි අතර, අන්‍යොන්‍යව පිළිගත හැකි විසඳුම් සොයාගැනීමට හැකි වේ.
එකඟ නොවීම් සාකච්ඡා කරන්න
7, 8. විවාහ සහකරුවන් අතර රිදවීමේ හැඟීම් හා වරදවා තේරුම්ගැනීම් තිබේ නම්, ඒවා විසඳාගන්නා ශුද්ධ ලියවිලිමය මාර්ගය කුමක්ද?
7 සිත රිදවූ හැඟීම්, වරදවා තේරුම්ගැනීම් හෝ පෞද්ගලික දුර්වලකම් සාකච්ඡා කරන විට සන්සුන්ව සිටීමට අසීරු බව බොහෝදෙනෙකුට හැඟේ. “මා වරදවා තේරුම්ගත්තා” යයි නොවළහා පවසනවා වෙනුවට, කලත්‍රයෙකුගේ හැඟීම් උත්සන්න කරගැනීමෙන්, ගැටලුව උග්‍ර විය හැක. බොහෝදෙනෙකු මෙසේ පවසනු ඇත: “ඔයා ඔයා ගැනම විතරයි සලකන්නේ,” එසේ නැතහොත්, “ඔයා මට ආදරේ නෑ.” වාදයක පටලැවීමට අකමැති වන අනික් කලත්‍රයා කිසි ප්‍රතිචාරයක් නොදක්වා සිටිය හැක.
8 අනුගමනය කිරීමට හොඳම ක්‍රියාමාර්ගය මෙම බයිබල් අවවාදය පිළිපැදීමය: “කෝපවුණත් පව් නොකරල්ලා. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරිල්ලා.” (එපීස 4:26) සන්තෝෂයෙන් විවාහය ගත කළ යුවළකගෙන් සිය 60වන විවාහ සංවත්සරයට පැමිණීමත් සමඟම තම සාර්ථක විවාහයේ රහස කුමක්දැයි විමසන ලදි. ස්වාමිපුරුෂයා මෙසේ පැවසීය: “කාරණය කෙතරම් කුඩා එකක් විය හැකි වුවත්, නින්දට යෑමට පෙර අපගේ එකඟ නොවීම් විසඳාගැනීමට අපි ඉගෙනගත්තා.”
9. (අ) අදහස් හුවමාරුවේ වැදගත් කොටසක් වශයෙන් ශුද්ධ ලියවිලිවල හඳුන්වා තිබෙන්නේ කුමක්ද? (ආ) ධෛර්යය හා නිහතමානීකම අවශ්‍ය වුවත් විවාහ කලත්‍රයන් බොහෝවිට කළ යුත්තේ කුමක්ද?
9 ස්වාමිපුරුෂයෙකු හා භාර්යාවක එකඟ නොවන විට, දෙදෙනාම එකිනෙකාට “සවන් දීමට ඉක්මන් විය යුතුය, කතා කිරීමටත් කෝපවීමටත් ප්‍රමාද විය යුතුය.’ (යාකොබ් 1:19, NW ) පරෙස්සමින් සවන් දුන් පසු, සමාව ගැනීමේ අවශ්‍යතාවක් තිබෙන බව සහකරුවන් දෙදෙනාම දැකිය හැක. (යාකොබ් 5:16) “ඔබව රිදෙව්වාට කනගාටුයි” කියා අවංකව පැවසීමට නිහතමානීකම හා ධෛර්යය අවශ්‍යය. එහෙත් එකඟ නොවීම් මෙයාකාරයෙන් විසඳීමෙන් විවාහ යුවළකට තම ගැටලු විසඳාගැනීමට පමණක් නොව, නමුත් එකිනෙකාගේ ඇසුර තුළ තමන්ට වැඩි සතුටක් ලැබෙනු ඇති උණුසුම්බවක් හා සමීපතාවක් වර්ධනය කරගැනීමටද ඉතා ප්‍රයෝජනවත් වේ.
විවාහයේ යුතු දේ ඉටු කිරීම
10. කොරින්ති ක්‍රිස්තියානීන්ට පාවුල් නිර්දේශ කළ කුමන ආරක්ෂාව අදදින ක්‍රිස්තියානියෙකුට අදාළ විය හැකිද?
10 ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ට ලියූ විට, ඔහු විවාහය නිර්දේශ කළේ ‘වේශ්‍යාකම බහුලව පැවති නිසාය.’ (1 කොරින්ති 7:2) අදදින ලෝකය පැරණි කොරින්තිය මෙන් හෝ ඊටත් වඩා දරුණු තත්වයක පවතී. ලෝකයේ ජනතාව විවෘතව සාකච්ඡා කරන දුරාචාර විෂයන්, ඔවුන් අවිනීත ලෙස ඇඳ පැළඳ සිටින අන්දම, එමෙන්ම සඟරා හා පොත්වල, රූපවාහිනියේ මෙන්ම චිත්‍රපටවල හුවා දක්වන කාමුක කතන්දර යන සියල්ල නුසුදුසු ලිංගික ආශාවලට පොලඹවයි. එවැනිම පරිසරයක ජීවත් වෙමින් සිටි කොරින්තිවරුන්ට ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “කාමදාහයට වඩා විවාහය හොඳය.”—1 කොරින්ති 7:9.
11, 12. (අ) ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට කුමක් දීමට බැඳී සිටිනවාද, තවද එය දිය යුත්තේ කුමන ආකල්පයකින්ද? (ආ) විවාහයේ දිය යුතු දේ තාවකාලිකව නැවැත්වීමට සිදු වුවහොත් එම තත්වය කෙසේ හැසිරවිය යුතුද?
11 එබැවින්, බයිබලය විවාහක ක්‍රිස්තියානීන්ට මෙසේ අණ කරයි: “පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා. එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා.” (1 කොරින්ති 7:3) අවධාරණය කරන්නේ දීමට මිස බලෙන් ලබාගැනීමට නොවන බව සැලකිල්ලට ගන්න. විවාහයේ ශාරීරික සමීපත්වය සැබවින්ම තෘප්තිමත් වන්නේ, සහකරුවන් දෙදෙනාම එකිනෙකාගේ යහපත ගැන සැලකිලිමත් වනවා නම් පමණි. උදාහරණයක් ලෙස, බයිබලය ස්වාමිපුරුෂයන්ට අණ කරන්නේ තම භාර්යාවන් සමඟ “දැනගැන්මේ හැටියට” කටයුතු කිරීමටය. (1 පේතෘස් 3:7) විවාහයේ යුතු දේ දීමේදී හා ලැබීමේදී මෙය විශේෂයෙන්ම සැබෑය. භාර්යාවකට මුදු මොළොක් සැලකීමක් නොකළහොත්, විවාහයේ මෙම අංශය ප්‍රීතියෙන් භුක්තිවිඳීමට ඇයට අසීරු බවක් දැනිය හැක.
12 විවාහ කලත්‍රයන්ට එකිනෙකා වෙත විවාහයේ යුතු දේ දීමෙන් වැළකී සිටීමට සිදු විය හැකි අවස්ථා තිබේ. මාසයේ ඇතැම් අවස්ථාවලදී හෝ ඇයට බෙහෙවින් වෙහෙස දැනෙන විට, මෙය භාර්යාවක් සම්බන්ධයෙන් සැබෑ විය හැක. (ලෙවී කථාව 18:19 සසඳන්න.) ස්වාමිපුරුෂයා රැකියාවේදී ඇති වී තිබෙන බරපතළ ගැටලුවක් සම්බන්ධයෙන් කටයුතු කරන විට හා ඔහුට චිත්තවේගීය විඩාවක් දැනෙන විට එය ඔහු සම්බන්ධයෙන් සැබෑවක් විය හැක. සහකරුවන් දෙදෙනාම අවංකවම තත්වය සාකච්ඡා කර “දෙදෙනාගේ කැමැත්ත” අනුව එකඟ වේ නම්, විවාහයේ යුතු දේ දීමෙන් තාවකාලිකව වැළකී සිටීමේ එවැනි අවස්ථා හොඳින්ම පාලනය කරගත හැකි වේ. (1 කොරින්ති 7:5) මෙය සහකරුවන් දෙදෙනාවම වැරදි නිගමනවලට එළඹීමෙන් වළක්වනු ඇත. එහෙත්, භාර්යාවක හිතා මතාම තම ස්වාමිපුරුෂයාගෙන් වැළකී සිටිනවා නම් හෝ ස්වාමිපුරුෂයෙකු විවාහයේ යුතු දේ ප්‍රේමනීය ආකාරයකින් දීමට හිතා මතාම අතපසු කරනවා නම්, සහකරුවා හෝ සහකාරිය පහසුවෙන්ම පරීක්ෂාවට වැටිය හැක. එවැනි අවස්ථාවකදී, විවාහයක ගැටලු ඇති විය හැක.
13. ක්‍රිස්තියානීන්ට තම සිතුවිලි පවිත්‍රව තබාගැනීමට කෙසේ කටයුතු කළ හැකිද?
13 සියලු ක්‍රිස්තියානීන් මෙන්, දෙවියන්වහන්සේගේ විවාහක සේවකයන් කාමුක කෘතිවලින් වැළකී සිටිය යුතුය, මන්ද එය අපවිත්‍ර හා අස්වාභාවික ආශාවන් ඇති කළ හැකි බැවිනි. (කොලොස්සි 3:5) විරුද්ධ ලිංගයේ සියලු සාමාජිකයන් සමඟ කටයුතු කරන විට, ඔවුන් තම සිතුවිලි හා ක්‍රියාද ආරක්ෂා කරගත යුතුය. යේසුස්වහන්සේ මෙසේ අවවාද කළසේක: “ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.” (මතෙව් 5:28) ලිංගික දේ සම්බන්ධ බයිබල් උපදෙස් අදාළ කරගැනීම, යුවළයන් පරීක්ෂාවට වැටීමෙන් හා කාමමිථ්‍යාචාරයෙහි යෙදීමෙන් වැළකීමට ඉවහල් විය යුතුය. ලිංගික සම්බන්ධකම් විවාහයේ මූලාරම්භකයාණන් වන යෙහෝවඃවහන්සේගෙන් ලද යහපත් තිළිණයක් ලෙස අගය කරමින්, විවාහයක ප්‍රීතිමත් කිට්ටු සමීපතාව දිගටම භුක්තිවිඳීමට ඔවුන්ට හැකි වේ.—හිතෝපදේශ 5:15-19.
දික්කසාද වීම සඳහා බයිබලයේ පදනම
14. ඇතැම් අවස්ථාවලදී කුමන කනගාටුදායක තත්වය උද්ගත වේද? මන්ද?
14 ක්‍රිස්තියානි විවාහයන් බොහොමයක ඇති වන ගැටලු විසඳාගැනීමට හැකිවීම සතුටට කරුණකි. එහෙත්, ඇතැම්විට කාරණය මෙය නොවේ. මිනිස්වර්ගයා අසම්පූර්ණ වන අතර, සාතන්ගේ පාලනය යටතේ පවතින පාපතර ලෝකයක ජීවත් වන බැවින්, ඇතැම් විවාහ දෙකඩ වීමේ සන්ධිස්ථානයකටම පැමිණේ. (1 යොහන් 5:19) එවැනි පීඩාකාරි තත්වයක් සමඟ ක්‍රිස්තියානීන් කටයුතු කළ යුත්තේ කෙසේද?
15. (අ) යළි විවාහ වීමේ හැකියාව ඇතුව දික්කසාද වීමට ඇති එකම ශුද්ධ ලියවිලිමය පදනම කුමක්ද? (ආ) ඇතැම් අය නොඇදහිලිකාර විවාහ කලත්‍රයෙකු දික්කසාද නොකර සිටීමට තීරණය කර තිබෙන්නේ මන්ද?
15 මෙම පොතේ 2වන පරිච්ඡේදයෙහි සඳහන් කළ පරිදි, යළි විවාහ වීමේ හැකියාව ඇතුව දික්කසාද වීම සඳහා තිබෙන එකම ශුද්ධ ලියවිලිමය පදනම, වේශ්යාකමය.c (මතෙව් 19:9) ඔබේ විවාහ කලත්‍රයා අවිශ්වාසවන්ත වූ බවට ස්ථිරසාර සාක්ෂි ඔබට තිබේ නම්, ඔබ බැරෑරුම් තීරණයකට මුහුණ දී සිටියි. ඔබ තවදුරටත් විවාහය තුළ රැඳී සිටිනවාද නැතහොත් දික්කසාද වෙනවාද? නීති නැත. ඇතැම් ක්‍රිස්තියානීන් අවංකවම පසුතැවෙන සහකරුවාට මුළුමනින්ම සමාව දී ඇති අතර, රැකගත් විවාහය හොඳ අතට හැරී ඇත. වෙනත් අය දරුවන්ගේ යහපත තකා දික්කසාද නොවී සිටීමට තීරණය කර ඇත.
16. (අ) වැරදි කරන තම කලත්‍රයා දික්කසාද කිරීමට ඇතමුන්ව පෙලඹවූ සමහර සාධක මොනවාද? (ආ) නිර්දෝෂ කලත්‍රයෙකු දික්කසාද වීමට හෝ නොවීමට තීරණයක් ගන්නා විට, කිසිවෙකු ඒ තැනැත්තාගේ තීරණය විවේචනය නොකළ යුත්තේ මන්ද?
16 අනික් අතට, කළ පව්කාර ක්‍රියාව නිසා ගැබ්ගෙන හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වූ රෝගයක් වැළඳී තිබෙනවා විය හැක. නැතහොත් සමහරවිට ලිංගිකව දූෂණය කරන දෙමාපියෙකුගෙන් දරුවන්ව ආරක්ෂා කරගැනීමට සිදු විය හැක. තීරණයක් ගැනීමට පෙර සලකා බැලීමට බොහෝ දේ තිබෙන බව පැහැදිලිය. කෙසේවුවද, ඔබේ විවාහ සහකරුවාගේ අවිශ්වාසවන්තකම ගැන දැනගත්තේ නම් හා පසුව ඔබේ කලත්‍රයා සමඟ යළි ලිංගික සබඳකම් පටන්ගන්නවා නම්, මෙනයින් ඔබ අඟවන්නේ ඔබ ඔබේ කලත්‍රයාට සමාව දී ඇති බවත්, විවාහය දිගටම පවත්වාගැනීමට ආශාවක් තිබෙන බවත්ය. යළි විවාහ වීමේ ශුද්ධ ලියවිලිමය හැකියාව ඇතුව දික්කසාද වීමේ පදනම තවදුරටත් නොපවතී. කිසිවෙකු අනුන්ගේ කාරණා සොයන්නෙකු හා ඔබේ තීරණයට බලපෑම් කිරීමට වෑයම් කරන්නෙකු නොවිය යුතු අතර, ඔබ තීරණය ගන්නා විට කිසිවෙකු එය විවේචනයටද ලක් නොකළ යුතුය. ඔබ තීරණය කරන දේ සම්බන්ධ ප්‍රතිඵල සමඟ ඔබට ජීවත්වීමට සිදු වනු ඇත. “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.”—ගලාති 6:5.
වෙන්වීම සඳහා පදනම්
17. වේශ්‍යාකමක් සිදු වී නැත්නම්, වෙන්වීම හෝ දික්කසාදය සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලි තබන්නේ කුමන සීමාවන්ද?
17 විවාහ කලත්‍රයෙකු වේශ්‍යාකමේ නොයෙදුණා නම් පවා එම තැනැත්තාගෙන් වෙන්වීමට හෝ සමහරවිට දික්කසාද වීමට යුක්තිසහගත විය හැකි තත්වයන් තිබේද? එසේය, නමුත් එවැනි අවස්ථාවකදී, ක්‍රිස්තියානියෙකු යළි විවාහ වීමේ අදහසකින් වෙනත් කලත්‍රයෙකු හඹා යෑමට නිදහස්ව නොසිටියි. (මතෙව් 5:32) එවැනි වෙන්වීමක් සඳහා බයිබලයේ ඉඩ කඩ සලසන අතර, වෙන් වන තැනැත්තා “විවාහ නොවී සිටීවා” කියාද “නැතහොත් ඇගේ පුරුෂයා හා සමගිවේවා” කියාද නියම කරයි. (1 කොරින්ති 7:11) වෙන්වීම ඥානවන්ත දෙයක් මෙන් පෙනෙන්ට සැලැස්විය හැකි ඇතැම් සීමාන්තික අවස්ථා මොනවාද?
18, 19. යළි විවාහ වීමට හැකියාවක් නැති වුවත්, කලත්‍රයෙකුට නීතික වෙන්වීමක් හෝ දික්කසාදයක් ලබාගැනීමේ යෝග්‍යතාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට මඟ පෑදිය හැකි ඇතැම් සීමාන්තික තත්වයන් මොනවාද?
18 ස්වාමිපුරුෂයාගේ දැඩි අලසකම හා නරක පුරුදු හේතුවෙන් පවුලේ සාමාජිකයන් අසරණ විය හැක.d ඔහු පවුලේ ආදායම සූදුවට හෝ මත්ද්‍රව්‍යයට හෝ මත්පැනට ඇබ්බැහි වීමකට යෙදවිය හැක. බයිබලය මෙසේ පවසයි: “යමෙක් තමාගේ අය, . . . තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) එවැනි මිනිසෙකු සමහරවිට තමාගේ අවකල් ක්‍රියා සඳහා තම භාර්යාව උපයන මුදල පවා යොදාගනිමින් තම මාර්ග වෙනස් කරගැනීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්, භාර්යාව නීතික වෙන්වීමක් ලබාගනිමින්, තමාගේ හා තම දරුවන්ගේ ශුභසිද්ධිය රැකගැනීමට තීරණය කළ හැක.
19 සමහරවිට සෞඛ්‍යය හා ජීවිතය පවා අනතුරට පත් වන තරමටම නිතර පහර දෙමින් සහකරුවා කෙරෙහි අතිශයින් සාහසික වන කලත්‍රයෙකු සිටී නම්, එවැනි නීතික ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන සලකා බැලිය හැක. මීට අමතරව, කලත්‍රයෙක් තම කලත්‍රයාට යම් අයුරකින් දේව ආඥා කඩ කිරීමට බල කරමින් නිරතුරු වෑයමක් දරයි නම්, විශේෂයෙන්ම ආත්මික ජීවිතය අනතුරෙහි පවතින තත්වයට කාරණා උත්සන්න වේ නම්, තර්ජනයට පාත්‍ර කලත්‍රයාට වෙන්වීමටද සලකා බැලිය හැක. “මනුෂ්‍යයන්ට වඩා [පාලකයාණන් වශයෙන්, NW ] දෙවියන්වහන්සේට . . . කීකරු” විය හැකි එකම මාර්ගය නීතික වෙන්වීමක් ලබාගැනීම බවට, අවදානමට පත්ව සිටින සහකරුවා නිගමනය කළ හැක.—ක්‍රියා 5:29.
20. (අ) විවාහය දෙකඩ වීමේ අවස්ථාවකදී, මේරූ මිත්‍රයන්ට හා වැඩිමහල්ලන්ට ඉදිරිපත් කළ හැක්කේ කුමක්ද, තවද ඔවුන් කුමක් ඉදිරිපත් නොකළ යුතුද? (ආ) විවාහක පුද්ගලයන්ට, වෙන්වීමට හා දික්කසාද වීමට බයිබලයේ දී ඇති යොමු දැක්වීම්, කුමක් කිරීමට නිදහසට කරුණක් වශයෙන් යොදා නොගත යුතුද?
20 සීමාන්තික කලත්‍ර පීඩා ඇතුළත් අවස්ථා සියල්ලේදී, අහිංසක කලත්‍රයාට වෙන්වන්න කියා හෝ අනික් තැනැත්තා සමඟ සිටින්න කියා හෝ කිසිවෙකු බල නොකළ යුතුය. උපකාරය හා බයිබලය මත පදනම් උපදෙස් ඉදිරිපත් කිරීමට මේරූ මිත්‍රයන්ට හා වැඩිමහල්ලන්ට හැකි වුවත්, ස්වාමිපුරුෂයෙකු හා භාර්යාවක අතර සිදු වෙමින් පවතින සියලුම දෑ දැනගැනීමට ඔවුන්ට නොහැක. එය දැකිය හැක්කේ යෙහෝවඃවහන්සේට පමණි. ක්‍රිස්තියානි භාර්යාවක් විවාහයකින් මිදී යෑම සඳහා සුළු සුළු කරුණු යොදාගතහොත් ඇය දෙවියන්වහන්සේගේ විවාහ විධිවිධානයට ගෞරව නොකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අතිශයින් අනතුරුදායක තත්වයක් පවතී නම්, ඇය වෙන්වීමට තීරණය කළහොත් කිසිවෙකු ඇයව විවේචනය නොකළ යුතුය. වෙන්වීමට වෑයම් කරන ස්වාමිපුරුෂයෙකු සම්බන්ධයෙන්ද එම කරුණුම අදාළ වේ. “අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමු.”—රෝම 14:10.
දෙකඩ වූ විවාහයක් රැකගත් අයුරු
21. විවාහය සම්බන්ධයෙන් බයිබලයේ උපදෙස් ක්‍රියාත්මක වන බව පෙන්වන්නේ කුමන අද්දැකීමද?
21 කලින් සඳහන් කළ ලූචීයා තම ස්වාමිපුරුෂයාගෙන් වෙන් වී මාස තුනකට පසු ඇයට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හමු වූ අතර, ඔවුන් සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළාය. “මාව මහත් සේ පුදුමයට පත් කරවමින් බයිබලය මගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සැපයුවා,” යයි ඇය පැහැදිලි කරයි. “පාඩම පටන්ගෙන සතියකින්ම මට මගේ ස්වාමිපුරුෂයා සමඟ යළි එක්වීමට වුවමනා වුණා. කලත්‍රයන් එකිනෙකා වෙත උසස් හැඟීමක් ඇති කරගන්නා අයුරු ඉගෙනීමට යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම් උපකාර කරන නිසා, උන්වහන්සේ විවාහ රැකගන්නා අයුරු දන්නා බව කීමට අද මට පුළුවන්. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පවුල් භේද බින්න කරන බවට සමහරුන් තක්සේරු කරන ආකාරයට එය සැබෑවක් නෙවෙයි. මගේ තත්වයේදී, එය හාත්පසින්ම වෙනස් එකක් වුණා.” ලූචීයා තම ජීවිතය තුළ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට ඉගෙනගත්තාය.
22. සියලු විවාහ යුවළයන් විශ්වාසය තැබිය යුත්තේ කුමක් තුළද?
22 මෙය ලූචීයාට පමණක් විශේෂිත වූ දෙයක් නොවේ. විවාහය කරදරයක් නොව, නමුත් ආශීර්වාදයක් විය යුතුය. මෙය පෙරදැරි කරගෙන, එදා මෙදා තුර විවාහ උපදෙස් ලියා ඇති හොඳම ග්‍රන්ථය වන යෙහෝවඃවහන්සේගේ අනර්ඝ වචනය උන්වහන්සේ විසින් අපට සපයනු ලැබ ඇත. “නුවණ නැත්තන් ඥානවත්” කිරීමට බයිබලයට හැක. (ගීතාවලිය 19:7-11) එය, දෙකඩ වීමට ආසන්නව තිබූ බොහෝ විවාහයන් බේරාගෙන ඇති අතර, බරපතළ ගැටලු තිබූ වෙනත් බොහෝ ඒවාද යහපත් අතට හරවා ඇත. යෙහෝවඃ දෙවියන්වහන්සේ සපයන විවාහ උපදෙස් තුළ සියලු විවාහක යුවළයෝ පූර්ණ විශ්වාසය තබත්වා! එය සැබවින්ම ක්‍රියාත්මක වේ!
a නම වෙනස් කර ඇත.
b මෙම ක්ෂේත්රයන් සමහරක් කලින් පරිච්ඡේදවල සාකච්ඡා කෙරිණ.
c “වේශ්‍යාකම” ලෙසින් පරිවර්තනය කර ඇති බයිබල් වදනට කාමමිථ්‍යාචාරයේ, සමලිංගිකතාවේ, පශු මෛථුනයේ ක්‍රියාද, ලිංගේන්ද්‍රියන් යොදාගනිමින් හිතා මතාම කරන වෙනත් තහනම් ක්‍රියාද ඇතුළත් වේ.
d හොඳ අභිප්‍රාය තිබෙනවා වුවත්, අසනීපය හෝ විරැකියාව වැනි තම පාලනයෙන් ඔබ්බට යන හේතු නිසා, ස්වාමිපුරුෂයෙකුට තම පවුලට සැපයීමට නොහැකිව සිටින තත්වයන් මෙයට ඇතුළත් නොවේ.