පහළොස්වන පරිච්ඡේදය
උපදෙස්වලට ඇහුම්කන් දෙන්න, හික්මවීම පිළිගන්න
1. (අ) අප සියලුදෙනාටම උපදෙස් සහ හික්මවීම අවශ්‍ය කරන්නේ මන්ද? (ආ) අප සලකා බැලිය යුතු ප්රශ්නය කුමක්ද?
“බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමු” කියා බයිබලයේ යා-කොබ් 3:2හි කියයි. දෙවිගේ වචනය අපෙන් ඉල්ලා සිටින ආකාරයට කටයුතු නොකළ අවස්ථා ඕනෑතරම් තිබෙන බව අපි පිළිගනිමු. එබැවින් “ඔබේ මතු කාලයෙහි ඔබ ප්‍රඥාවන්තව සිටින පිණිස, උපදෙස්වලට ඇහුම්කන් දී හික්මවීම පිළිගන්න” කියා බයිබලය කියද්දී අපි ඊට එකඟ වන්නෙමු. (හිතෝපදේශ 19:20, NW) බයිබල් ඉගැන්වීම්වලට එකඟව අපේ ජීවිත හරි මඟට ගෙන ඒම සඳහා අපේ ජීවිතයේ විවිධ වෙනස්කම් දැනටමත් කරගෙන ඇතුවාට සැක නැත. එහෙත්, සෙසු ක්රිස්තියානිවරයෙකු යම් නිශ්චිත කාරණයක් පිළිබඳව අපට උපදෙස් දුන්නොත් අප ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
2. පෞද්ගලිකව උපදෙසක් ලැබුණු විට අප කළ යුත්තේ කුමක්ද?
2 සමහරු තමන් වරදක් කළ විට නිදහසට කරුණු කියන්ට උත්සාහ ගනිති. එසේ කරමින් වරදේ බරපතළකම අඩු කරන්ට හෝ වරද අනුන් මත පටවන්ට වෑයම් කරති. නමුත් එසේ කරනවා වෙනුවට උපදෙසට ඇහුම්කන් දී එය අදාළ කරගැනීම වඩා හොඳය. (හෙබ්‍රෙව් 12:11) කිසිවෙකු අනික් පුද්ගලයාගෙන් සම්පූර්ණත්වය අපේක්ෂා නොකළ යුතුය. එමෙන්ම, සුළු සුළු කාරණා ගැන හෝ බයිබලය පෞද්ගලික තේරීම සඳහා ඉඩහැර තිබෙන කාරණා සම්බන්ධයෙන් ඇන ඇන උපදෙස් දීමෙන්ද වැළකී සිටිය යුතුය. සමහරවිට, උපදෙස් දෙන්නා කාරණය ගැන සියලුම තොරතුරු සලකා නොබැලුවා වෙන්ට පුළුවන. එබැවින් ගෞරවාන්විත ආකාරයට එම තොරතුරු ඔහුගේ අවධානයට ගෙනා හැකිය. එහෙත්, අප මීළඟට කරන සාකච්ඡාවේදී දෙනු ලබන උපදෙස හෝ හික්මවීම බයිබලය මත පදනම්ව කෙරෙන උචිත එකකැයි සිතමු. කෙනෙකු එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
උපදෙස් ලැබෙන විට සැලකිල්ලට ගත යුතු අවාදර්ශ
3, 4. (අ) උපදෙස් හා හික්මවීම සම්බන්ධයෙන් නිවැරදි ආකල්පයක් වර්ධනය කරගැනීමට අපට උපකාර කිරීම සඳහා බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? (ආ) සාවුල් රජු උපදෙස්වලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? එහි ප්‍රතිඵලය කුමක් වීද?
3 අවශ්‍ය උපදෙස් ලද සැබෑ ජීවිත අද්දැකීම් ගැන දෙවිගේ වචනයේ සඳහන් වේ. ඇතැම් අවස්ථාවලදී, උපදෙස සමඟ හික්මවීමද බැඳී තිබුණි. එවැනි එක් පුද්ගලයෙකි ඉශ්රායෙල්හි සාවුල් රජ. අමලෙක් ජාතිය සම්බන්ධයෙන් යෙහෝවා කී දෙයට කීකරු වීමට ඔහු අසමත් විය. අමලෙක්වරු දෙවිගේ සේවකයන්ට විරුද්ධ වූහ. එබැවින්, යෙහෝවාගේ දිව්‍ය විනිශ්චය වූයේ කිසිම අමලෙක්වරයෙකුවත් කිසිම සතෙකුවත් ඉතිරි නොකළ යුතුය යන්නයි. එහෙත්, සාවුල් රජ අමලෙක්වරුන්ගේ රජුවත් ඔවුන්ගේ හොඳම සතුන්වත් ඉතිරි කළේය.—1 සාමුවෙල් 15:1-11.
4 සාවුල්ට අවවාද කිරීමට යෙහෝවා ප්‍රොපේත සාමුවෙල්ව යැවීය. සාවුල්ගේ ප්‍රතිචාරය කුමක් වීද? තමා අමලෙක්වරුන්ව පරාජය කළ බවත් ඔවුන්ගේ රජුව පමණක් ඉතිරි කරගැනීමට තීරණය කළ බවත් පවසමින් ඔහු තර්ක කරන්ට විය. කෙසේවෙතත්, එය යෙහෝවාගේ ආඥාවට විරුද්ධ වූ දෙයකි. (1 සාමුවෙල් 15:20) සතුන්ව ඉතිරි කරගැනීමේ වරද සාවුල් සෙනඟ පිට පැටවීමට උත්සාහ කරමින් මෙසේ කීවේය. “මම සෙනඟට භය වී ඔවුන්ගේ හඬට කීකරු [වුණෙමි].” (1 සාමුවෙල් 15:24) ඔහුට සියල්ලටම වඩා ලොකු වුණේ ඔහුගේ නම්බුවයි. ඒ නිසා, සෙනඟ ඉදිරියේ තමන්ට ගෞරවය දෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය. (1 සාමුවෙල් 15:30) අවසානයේදී, යෙහෝවා සාවුල්ව රජකමෙන් පහ කළේය.—1 සාමුවෙල් 16:1.
5. උස්සියා රජ උපදෙස් හෙළා දුටු විට සිදු වූයේ කුමක්ද?
5 යූදාහි උස්සියා රජ “දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පු කරන පිණිස යෙහෝවාගේ මාළිගාවට ඇතුල් වීමෙන් තමාගේ දෙවි වූ යෙහෝවාට විරුද්ධව වරද කළේය.” (2 ලේකම් 26:16) නීත්‍යනුකූල ආකාරයට සුවඳ දුම් ඔප්පු කළ හැකි වූයේ පූජකයන්ට පමණි. උත්තම පූජකයා උස්සියාව නවත්වන්ට ගිය විට රජ කෝපයෙන් යුතුව ප්‍රතික්‍රියා කළේය. එවිට සිදු වූයේ කුමක්ද? බයිබලය මෙසේ පවසයි. ‘යෙහෝවා ඔහුට පහර දුන් නිසා, ඔහුගේ නළලේ කුෂ්ඨ රෝගය හටගත්තේය. උස්සියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා කුෂ්ඨ රෝගියෙක්ව සිටියේය.’—2 ලේකම් 26:19-21.
6. (අ) සාවුල් හා උස්සියා යන දෙදෙනාම උපදෙස් ප්‍රතික්ෂේප කළේ මන්ද? (ආ) උපදෙස් ප්‍රතික්ෂේප කිරීම අදදින බරපතළ ගැටලුවක් වන්නේ මන්ද?
6 සාවුල් හා උස්සියා යන දෙදෙනාටම උපදෙස් පිළිපැදීම දුෂ්කර දෙයක් වූයේ මන්ද? මූලික ගැටලුව වූයේ උඩඟුකමයි. දෙදෙනාම තම තමන් ගැන ඕනෑවට වඩා ඉහළින් සිතන්ට වීමයි. මේ ගතිලක්ෂණය නිසා බොහෝදෙනෙක් තමුන්ටම බොහෝ හානි පමුණුවාගනිති. උපදෙස් පිළිපැදීම තමන්ගේ අඩුවක් අඟවනවායයි හෝ තමන්ගේ නම්බුවට හානියකැයි ඔවුන් සිතන බව පෙනෙයි. එහෙත්, උඩඟුකම කියන්නේ දුර්වලකමකි. උඩඟුකම කෙනෙකුගේ සිතීමේ හැකියාව යට කර දමා යෙහෝවා තම වචනයෙන් හා සංවිධානයෙන් දෙන උපදෙස් ප්‍රතික්ෂේප කිරීමට යමෙකුව පොලඹවයි. මේ නිසා යෙහෝවා අපට මෙසේ අනතුරු අඟවයි. “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුවෙන් අහංකාර සිතද වෙයි.”—හිතෝපදේශ 16:18; රෝම 12:3.
උපදෙස් පිළිගැනීම
7. මෝසෙස් උපදෙස්වලට ප්‍රතික්‍රියා කළ ආකාරයෙන් ඉගෙනගත හැකි ගොඩනඟනසුලු පාඩම් කවරේද?
7 උපදෙස් පිළිගත් අයගේ මහඟු ආදර්ශද බයිබලයේ සඳහන් වේ. අපට ඔවුන්ගෙන් ඉගෙනගත හැකිය. මෝසෙස් ගැන සිතා බලන්න. වෙහෙසකර වූ රාජකාරීන් රාශිය හැසිරවිය යුත්තේ කෙසේද කියා මෝසෙස්ට ඔහුගේ මාමණ්ඩිය උපදෙස් දුන්නේය. මෝසෙස් ඔහුට ඇහුම්කන් දී ඉක්මනින්ම එය අදාළ කරගත්තේය. (නික්මයාම 18:13-24) මෝසෙස්ට ඉතා ඉහළ අධිකාරයක් තිබුණත්, ඔහු උපදෙස්වලට විවෘත වූයේ මන්ද? ඔහු යටහත් පහත් කෙනෙකු වූ නිසාය. “මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.” (ගණන් කථාව 12:3) මෘදුකම හෙවත් මොළොක් ගුණය කොතරම් වැදගත්ද! ශෙපනියා 2:3 කියන විදිහට අපේ ජීවිත රැඳී තිබෙන්නේ ඒ මතයි.
8. (අ) දාවිත් කළ පාප මොනවාද? (ආ) නාතාන්ගේ අවවාදයට දාවිත් දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? (ඇ) දාවිත්ගේ පාපයේ ඵලවිපාක මොනවාද?
8 දාවිත් රජ බැත්-ෂෙබා සමඟ පරදාර සේවනයෙහි යෙදී එය වසා දැමීමට ඇගේ පුරුෂයා වූ උරියාව මරා දැමීය. දාවිත්ට අවවාද කිරීමට යෙහෝවා අනාගතවක්තෘ නාතාන්ව යැවීය. ඔහු පසුතැවිලි වෙමින් වහාම මෙසේ පිළිගත්තේය. “මම යෙහෝවාට විරුද්ධව පව් කළෙමි.” (2 සාමුවෙල් 12:13) දෙවි දාවිත්ගේ පසුතැවිල්ල පිළිගත්තද, ඔහුගේ වරදෙහි ඵලවිපාක ඔහුට විඳින්ට සිදු විය. යෙහෝවා ඔහුට කීවේ, කඩුව ‘කිසිකලක ඔහුගේ වංශයෙන් පහ නොවන’ බවත්, භාර්යාවන්ව ‘ඔහුගේ අසල්වාසියෙකුට’ දෙනු ඇති බවත්, පරදාර සේවනයෙහි නිරත වීමෙන් උපන් බිළිඳා ‘නිසැකවම මැරෙන’ බවත්ය.—2 සාමුවෙල් 12:10, 11, 14.
9. අපට උපදෙස් හෝ හික්මවීම දෙන විට අප කුමක් අමතක නොකළ යුතුද?
9 හිතකර උපදෙස්වලට ඇහුම්කන් දීමේ ඇති ප්‍රයෝජනය දාවිත් රජ දැන සිටියේය. උපදෙස් දීමට පැමිණි පුද්ගලයා සම්බන්ධයෙන් ඔහු වතාවක් දෙවිට ස්තුති කළේය. (1 සාමුවෙල් 25:32-35) අපත් එසේමද? එසේ නම්, පසුවට පසුතැවිලි වීමට සිදු වන බොහෝ දේවල් කීමෙන් හා කිරීමෙන් අප ආරක්ෂා වනු ඇත. එහෙත්, අපහට උපදෙස් හෝ හික්මවීම පවා දීමට සිදු වන තත්වයකට අප පත් වූවොත්, ඒ ගැන කුමක් කිව හැකිද? උපදෙස් හා හික්මවීම ලැබීම යන්නෙන් අදහස් කරන්නේ යෙහෝවා අපේ සදාකාල ශුභසිද්ධිය පෙරදැරි කරගෙන තම ප්‍රේමය පෙන්වීමේ සාක්ෂියක් යන්න අපි කිසිදාක අමතක නොකරමු.—හිතෝපදේශ 3:11, 12; 4:13.
වගා කළ යුතු මිල කළ නොහැකි ගුණාංග
10. රාජ්‍යයට ඇතුල් වන්නන්ට තිබිය යුතුම ගුණාංගය ලෙස යේසුස් පැවසුවේ කුමක්ද?
10 යෙහෝවා සමඟ හා අපේ ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීම සඳහා අප විසින් යම් ගුණාංග වගා කරගත යුතුය. තම ගෝලයන් ඉදිරියේ කුඩා දරුවෙකුව සිටුවා යේසුස් මෙයින් එක් ගුණාංගයක් සඳහන් කරමින් මෙසේ කීවේය. “ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුණොත්, කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නහුය. එබැවින්, කවුරු නමුත් මේ කුඩා දරුවා මෙන් යටහත් වනවා නම්, ඔහු ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා වන්නේය.” (මතෙව් 18:3, 4, NW) තමන් අතරේ සිටින උතුම්ම පුද්ගලයා කවුදැයි විවාද කළ නිසා, යේසුස්ගේ ගෝලයන් යටහත් පහත්කම වගා කරගත යුතු විය.—ලූක් 22:24-27.
11. (අ) අප යටහත් පහත් විය යුත්තේ කා ඉදිරියේද? ඒ මන්ද? (ආ) අප යටහත් පහත් නම්, අප උපදෙස්වලට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
11 ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙ කරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවි උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන්නේය.” (1 පේතෘස් 5:5) අප දෙවි ඉදිරියේ යටහත් පහත් විය යුතු බව අපි දනිමු. එහෙත්, මේ පදයේ කියන්නේ, අප සෙසු ඇදහිලිවන්තයන් ඉදිරියේද යටහත් පහත් විය යුතු බවයි. අපි එසේ කරන්නෙමු නම්, අනිත් අය අපට කරන සාධාරණ යෝජනා සම්බන්ධයෙන් අප අමනාප වෙනවා වෙනුවට, අපි ඔවුන්ගෙන් ඉගෙනගන්නෙමු.—හිතෝපදේශ 12:15.
12. (අ) යටහත් පහත්කම හා සමීපව බැඳී ඇති ගුණාංගය කුමක්ද? (ආ) අපේ හැසිරීම අන්‍යයන් කෙරෙහි බලපාන ආකාරය ගැන අප සැලකිලිමත් විය යුත්තේ මන්ද?
12 අන් අයගේ ශුභසාධනය ගැන සැලකිලිමත් වීම යටහත් පහත්කම හා සමීපව බැඳී ඇත. ප්‍රේරිත පාවුල් මේ ගැන ලීවේ මෙසේය. ‘කිසිවෙක් තමාගේම කාරණ නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා. එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවිගේ ගෞරවය පිණිස කරන්න. නුඹලා යුදෙව්වරුන්ටවත් ග්රීකවරුන්ටවත් දෙවිගේ සභාවටවත් බාධා හේතු නොවී සිටින්න.’ (1 කොරින්ති 10:24-33) අප අපේ පෞද්ගලික ආශාවන් සියල්ලක්ම පැත්තකට දැමිය යුතුයි කියා පාවුල් අදහස් කළේ නැත. ඒ වෙනුවට ඔහු අපෙන් උදක්ම ඉල්ලා සිටියේ, කෙනෙකුගේ හෘදය සාක්ෂිය වැරදියයි කියා සිතන දෙයක් කිරීමට පොලඹවන යමක් අප අතින් නොකරන ලෙසටයි.
13. අප බයිබල් උපදෙස් අදාළ කරගන්නවාද නැද්ද කියා අඟවන උදාහරණය කුමක්ද?
13 ඔබ ඔබේ පෞද්ගලික ආශාවන්ට ඉහළින් අන් අයගේ ශුභසිද්ධිය දමනවාද? එසේ කිරීමට අප සියලුදෙනාම ඉගෙනගත යුතුය. එසේ කළ හැකි මාර්ග රාශියකි. උදාහරණයක් හැටියට, ඇඳුම් පැළඳුම් හා අපව සරසාගන්නා වෙනත් ක්‍රම ගැන සිතා බලන්න. මේවා විනීතකම, පිළිවෙළ හා පිරිසිදුකම වැනි ශුද්ධ ලියවිලිමය මඟ පෙන්වීම්වලට එකඟව කෙනෙකුට පෞද්ගලික තේරීමක් කළ හැකි කාරණාය. එහෙත්, ඔබ වෙසෙන ප්‍රදේශයේ ජනයාගේ පසුබිම හේතුවෙන්, ඔබ අඳින පළඳින, හිසකේ පීරන විදිහ රාජ්‍ය පණිවිඩයට ඇහුම්කන් දීමෙන් ඒ අයව බාධාවට පත් කරන බව ඔබට දැනගන්ට ලැබේ නම්, වෙනස්කම් කිරීමට ඔබ කැමති වෙනවාද? කෙනෙකුට සදාකාල ජීවනය ලැබීමට උපකාර කිරීම තමාවම සතුටු කරගැනීමට වඩා වැදගත් බව නිසැකය.
14. යටහත් පහත්කම හා අන් අයට සැලකිල්ල දැක්වීම වගා කරගැනීම එතරම්ම වැදගත් වන්නේ මන්ද?
14 යටහත් පහත්කම හා අන් අයට සැලකිල්ල දැක්වීම සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් තැබුවේය. ඔහු තම ගෝලයන්ගේ පාද පවා සේදුවේය. (යොහන් 13:12-15) ඔහු ගැන දෙවිගේ වචනයේ මෙසේ කියැවේ. “ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණු සිතම [මානසික ආකල්පයම, NW] නුඹලා තුළත් තිබේවා. ඔහු දෙවිගේ රූපාකාරය දැරුවද, දෙවිට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතු වූ වස්තුවකැයි නොසිතා, එය ඉවත් කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණියේය. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, [වධකණුවේ] මරණය දක්වා කීකරු වූයේය.”—පිලිප්පි 2:5-8; රෝම 15:2, 3.
යෙහෝවාගේ හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න
15. (අ) දෙවි සතුටු වන ආකාරයේ පෞද්ගලිකත්වයක් අත් කරගැනීමට නම්, අප කිනම් වෙනස්කම් කරගත යුතු වේද? (ආ) යෙහෝවා අප සියලුදෙනාටම උපදෙස් හා හික්මවීම සපයන්නේ කිනම් ආකාරයෙන්ද?
15 අප සියලුදෙනාම පව්කාරයන් බැවින්, දෙවිගේ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීමට නම්, අපේ ආකල්පවල හා හැසිරීම්වල වෙනස්කම් කරගැනීමට අවශ්‍යය. අප “අලුත් මනුෂ්‍යයා [පෞද්ගලිකත්වය, NW]” පැළඳගත යුතුය. (කොලොස්සි 3:5-14) අවශ්‍ය වෙනස්කම් කරගත යුතු පැති හඳුනාගෙන ඒවා සිදු කරන්නේ කෙසේද කියා සොයා බැලීමට උපදෙස් හා හික්මවීම අපට උපකාරවත් වෙයි. උපදෙස් පැමිණිය යුතු ප්‍රධාන මූලාශ්‍රය විය යුත්තේ බයිබලයයි. (2 තිමෝති 3:16) දේවවචනය අදාළ කරගැනීමට යෙහෝවාගේ සංවිධානයෙන් සැපයෙන පොත් පත් හා රැස්වීම් අපට අත්වැලක් වෙයි. අප යම් උපදෙසක් ඊට කලින් අසා තිබුණද, නැවතත් එය ලැබීමේ අවශ්‍යතාව වටහාගෙන අප වඩා යහපත් අය බවට පත්වීමට උත්සාහ කරනවාද?
16. යෙහෝවා අප එක් එක්කෙනාට දෙන උපකාරය කුමක්ද?
16 ගැටලුවලට මුහුණ දෙන විට යෙහෝවා අපට ප්‍රේමනීය ලෙස සැලකිල්ල දක්වමින් උපකාර පිරිනමයි. දශලක්ෂ සංඛ්‍යාත ජනයාට නිවාස බයිබල් පාඩම් මාර්ගයෙන් උපකාර ලැබී තිබේ. සිත් වේදනා ඇති කරන හැසිරීම් රටාවලින් ආරක්ෂා කරගැනීමේ අභිලාෂයෙන් දෙමාපියෝ තම දරුවන්ට උපදෙස් හා හික්මවීම දෙති. (හිතෝපදේශ 6:20-23) බොහෝ අවස්ථාවලදී, සභාව තුළ සිටින්නාවූ අයද තමන්ගේ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගැනීම සඳහා අද්දැකීම් ලත් දේවසේවකයන්ගෙන් උපදෙස් හා යෝජනා ඉල්ලා සිටිති. ඇතැම් විට, වැඩිමහල්ලන්ද එකිනෙකාගෙන් හා දේවසේවයේ වැඩි අද්දැකීම් ඇති අයගෙන් උපදෙස් ගැනීමට ඉඩ ඇත. ආත්මික සුදුසුකම් ඇති අය අවශ්‍යතාව ඇති අයට උපකාර කිරීම සඳහා බයිබලය පාවිච්චි කරති. එසේ කරන විට, මෘදුකමෙන් යුතුව එසේ කරති. ඔබ උපදෙසක් දෙන විට, “ඔබත් පරීක්ෂාවට ලක් වේය යන භයෙන් යුක්තව ඔබ ගැනත් සුපරීක්ෂාකාරි වන්න” යන උපදෙස අමතක නොකරන්න. (ගලාති 6:1, 2, NW) එසේය, එකම සැබෑ දෙවිට එක්සත්ව නමස්කාර කිරීම සඳහා අප සියලුදෙනාටම උපදෙස් හා හික්මවීම අවශ්‍යය.
පුනරීක්ෂණ සාකච්ඡාව
• පෞද්ගලික වෙනස්කම් කරගැනීමට අවශ්‍ය පැති දැකගැනීමට යෙහෝවා අපට ප්‍රේමනීය ලෙස උපකාර කරන්නේ කෙසේද?
• එතරම්ම අවශ්‍ය උපදෙස් පිළිගැනීම බොහෝදෙනෙකුට දුෂ්කර දෙයක් වන්නේ මන්ද? එය ඒ තරම්ම බරපතළ දෙයක් වන්නේ මන්ද?
• උපදෙස්වලට යහපත් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා තිබිය යුතු මිල කළ නොහැකි ගුණාංග මොනවාද? ඒ ගුණාංග විදහාපෑමේදී යේසුස් තැබූ ආදර්ශය කුමක්ද?
[142වන පිටුවේ පින්තූරය]
උස්සියා උපදෙස් ප්‍රතික්ෂේප කර කුෂ්ඨ රෝගයෙන් පහර කෑවේය
[142වන පිටුවේ පින්තූරය]
යෙත්‍රෝ දුන් උපදෙස් පිළිගැනීමෙන් මෝසෙස් ප්‍රයෝජන ලැබීය