ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අපි සමරන්නේ ඇයි?
“මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.”—1 කොරි. 11:24.
1, 2. ක්‍රි.ව. 33 නිසාන් 14වෙනිදා යේසුස් කළේ මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
ඒ ක්‍රි.ව. 33 නීසාන් මස 14වෙනි දිනයේ උදාවයි. ටිකෙන් ටික අඳුර පැතිර යනවාත් එක්කම පුර සඳ එළියෙන් යෙරුසලම නැහැවී ගියා. යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් පාස්කු උත්සවය පවත්වා අවසන් වුණා විතරයි. දැන් යේසුස් ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් 11දෙනා එක්ක විශේෂ භෝජනයක් පවත්වනවා. ඒ භෝජනය යේසුස් හඳුන්වා දුන්නේ ඔහුගේ මරණය සිහි කරන්නයි.a—මතෙ. 26:1, 2.
2 මුලින්ම යාච්ඤාවක් කරපු යේසුස්, මුහුන් නොදැමූ රොටියක් අරන් ඒක කඩලා නියෝජිතයන්ට දෙන අතරේ “රැගෙන කන්න” කියලා කිව්වා. ඊළඟට වයින් තිබුණ කුසලානය අරන් ආයෙත් යාච්ඤා කරලා මෙහෙම කිව්වා. “ඔබ සියල්ලන්ම මෙයින් බොන්න.” (මතෙ. 26:26, 27) යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන් ඒ වැදගත් රාත්‍රියේ හුඟක් දේවල් ඉගෙනගත්තා.
3. අපි මේ ලිපියේ බලන්නේ මොනවා ගැනද?
3 ඒ විශේෂ භෝජනය පසුව හැඳින්නුවේ “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” කියලයි. (1 කොරි. 11:20) ඒකට සිහි කිරීම කියලත් කියනවා. ඒක හැම අවුරුද්දකම තම අනුගාමිකයන් සමරයි කියලා යේසුස් බලාපොරොත්තු වෙනවා. අපි යේසුස්ගේ මරණය සිහි කරන්න ඕනෙ ඇයි? රොටි සහ වයින්වලින් නියෝජනය වුණේ මොනවද? සිහි කිරීමට සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද? ඒ අවස්ථාවේදී රොටි කන්නෙත් වයින් බොන්නෙත් කවුද? දෙවි අපිට දීලා තියෙන බලාපොරොත්තුව අපිට වටිනවා කියලා පෙන්නන්නේ කොහොමද?
ඇයි අපි යේසුස්ගේ මරණය සිහි කරන්නේ?
4. යේසුස්ගේ මරණය නිසා යෙහෝවා දෙවිට අපි වෙනුවෙන් කරන්න පුළුවන් වුණේ මොනවද?
4 ආදම්ගෙන් පැවතෙන හැමෝටම පාපයත් මරණයත් උරුම වුණා. (රෝම 5:12) ඒ පාපයෙන් තමන්ව බේරගන්නවත් අනිත් අයව බේරගන්නවත් අවශ්‍ය කරන වන්දිය ගෙවන්න කිසිම මිනිසෙකුට බැහැ. (ගීතා. 49:6-9) ඒත් යේසුස් ඔහුගේ පරිපූර්ණ ජීවිතය පූජා කරලා අපිව බේරගන්න අවශ්‍ය වන්දිය ගෙව්වා. යේසුස් නැවත නැඟිටලා ස්වර්ගයට ගියාට පස්සේ ඔහුගේ ජීවිත පූජාවේ වටිනාකම යොදාගෙන අපිව පාපයෙන් සහ මරණයෙන් මුදවගන්නත් අපිට සදාකාල ජීවිතය ලබා දෙන්නත් යෙහෝවා දෙවිට පුළුවන් වුණා.—රෝම 6:23; 1 කොරි. 15:21, 22.
5. (අ) යෙහෝවා දෙවිත් යේසුත් අපිට ආදරෙයි කියලා අපි දන්නේ කොහොමද? (ආ) යේසුස්ගේ මරණය සිහි කිරීමට අපි සහභාගි වෙන්නේ ඇයි?
5 මිනිසුන්ව බේරගන්න අවශ්‍ය වන්දිය දෙන්න යෙහෝවා දෙවි පියවර ගත්ත එකෙන් ඔහු මිනිසුන්ට කොයි තරම් ආදරේද කියලා පැහැදිලි වුණා. (යොහ. 3:16) පොළොවට එන්න කලින් ඉඳන්ම යේසුස් “බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි.” (හිතෝ. 8:30, 31) යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළෙත් ඔවුන් ගැන ඔහුගේ හිතේ තිබුණ ආදරේ නිසයි. යෙහෝවා දෙවිත් යේසුත් අපි වෙනුවෙන් කරපු ඒ මිල කරන්න බැරි පරිත්‍යාගයට කෘතගුණ දක්වන එක අපේ යුතුකමක්. ඒ නිසයි “මාව සිහි කිරීම සඳහා මේ දේ නොකඩවා කරන්න” කියලා යේසුස් දුන්න ආඥාවට අපි කීකරු වෙන්නේ.—1 කොරි. 11:23-25.
රොටිවලින් සහ වයින්වලින් අදහස් කරන දේ
6. සිහි කිරීමේදී යොදාගන්න රොටි සහ වයින් ගැන අපි දන්නේ මොනවද?
6 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දුන්න වෙලාවේ යේසුස් ආශ්චර්යයක් කරලා එතන තිබුණ රොටි ඔහුගේ ශරීරය බවටත් වයින් ඔහුගේ ලේ බවටත් පත් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ රොටිවලින් “නියෝජනය වන්නේ මාගේ ශරීරය” කියලයි. වයින් ගැන ඔහු කිව්වේ “මෙයින් නියෝජනය වන්නේ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරය” කියලයි. (මාක් 14:22-24) යේසුස් රොටි සහ වයින් යොදාගත්තේ සංකේත හැටියට කියන දේ පැහැදිලියි.
7. මුහුන් නොදැමූ රොටිවලින් නියෝජනය වෙන්නේ මොකක්ද?
7 යේසුස් ඒ අවස්ථාවේදී යොදාගත්තේ පාස්කු භෝජනය සඳහා හදලා තිබුණ මුහුන් නොදැමූ රොටි. (නික්. 12:8) බයිබලේ සමහර අවස්ථාවල මුහුන්වලින් සංකේතවත් කළේ පව්කාරකම. (මතෙ. 16:6, 11, 12; ලූක් 12:1) යේසුස් ඒ මුහුන් නොදැමූ රොටි යොදාගත්තේ නිකැළැල්, කිසිම පාපයක් නැති ඔහුගේ ශරීරය සංකේතවත් කරන්නයි. (හෙබ්‍රෙ. 7:26) සිහි කිරීමේදී අපිත් මුහුන් නොදැමූ රොටි යොදාගන්නේ ඒ නිසයි.
8. වයින්වලින් නියෝජනය වෙන්නේ මොකක්ද?
8 වයින්වලින් යේසුස්ගේ රුධිරය ඒ කියන්නේ ඔහුගේ ජීවිතය නියෝජනය වුණා. අද අපි සිහි කිරීමේදී පාවිච්චි කරන වයින්වලිනුත් නියෝජනය වෙන්නේ ඒ දේමයි. යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළේ අපේ ‘පව්වලට සමාව ලබා දෙන්නයි.’ (මතෙ. 26:28; 27:33) ඒ මිල කරන්න බැරි ත්‍යාගය අගය කරනවා නම් අපි හැමෝම හැම අවුරුද්දකම ඒ විශේෂ අවස්ථාව සඳහා කලින්ම සූදානම් වෙනවා.
සූදානම් වෙන විදි
9. (අ) සිහි කිරීමට නියමිත බයිබල් කොටස කියවන එක වැදගත් ඇයි? (ආ) යේසුස්ගේ ජීවිත පූජාව ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?
9 ‘දිනපද පොතේ’ තියෙන සිහි කිරීමට නියමිත බයිබල් කොටස කියවන එක සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් එක විදිහක්. ඒවා කියවද්දී යේසුස් ඔහුගේ මරණයට කලින් කරපු දේවල් ගැන හොඳින් හිතන්න අපිට පුළුවන්.b යේසුස්ගේ ජීවිත පූජාව අපි එක් එක් කෙනාට පෞද්ගලිකව ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා හිතන එක සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් තව විදිහක්. සහෝදරියක් මෙහෙම කියනවා. “යේසුස්ගේ ජීවිත පූජාව ගැන තියෙන බයිබල් පද ඔක්කොම වගේ මං දැනන් හිටියා. ඒවා විස්තර කරන්නත් මට පුළුවන් වුණා. ඒත් ඒක මොන තරම් වටිනා තෑග්ගක්ද කියලා මට හරියටම තේරුණේ මගේ තාත්තා මිය ගිය වෙලාවෙයි. යේසුස්ගේ ජීවිත පූජාව නිසා වියෝදුකෙන් ඉන්න අයට ලැබෙන්නේ මොන තරම් වටින බලාපොරොත්තුවක්ද කියලා එදා මං අද්දැක්කා.”
10. සිහි කිරීමට සූදානම් වෙන්න අපිට කරන්න පුළුවන් තවත් දේවල් මොනවද?
10 සිහි කිරීමේ කාලයේදී වැඩිපුර සේවය කරන්න සැලසුම් කරන එකත් ඒකට සූදානම් වෙන්න පුළුවන් විදිහක්. එතකොට වැඩිදෙනෙකුට සිහි කිරීමට ආරාධනා කරන්න අපිට අවස්ථාව ලැබෙයි. සහායක පුරෝගාමි සේවය කරන එක ගැන හිතලා බලන්නත් පුළුවන්. යෙහෝවා දෙවි ගැන, යේසුස් ගැන, සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන අනිත් අයට කියද්දී අපිට ලොකු තෘප්තියක් දැනෙයි. දෙවි බලාපොරොත්තු වෙන දේ අපි කළානේ කියන හැඟීම අපිට ඇති වෙයි.—ගීතා. 148:12, 13.
11. සමහරුන් සිහි කිරීමේදී නුසුදුසු විදිහට රොටි කෑවා සහ වයින් බිව්වා කියලා පාවුල් කිව්වේ ඇයි?
11 සිහි කිරීමට සූදානම් වෙද්දී පාවුල් කොරින්ති සභාවේ අයට කියපු දෙයක් ගැන හොඳට හිතන එකත් වැදගත්. (1 කොරින්ති 11:27-34 කියවන්න.) පාවුල් කිව්වේ කවුරු හරි කෙනෙක් සිහි කිරීමේ අවස්ථාවේදී නුසුදුසු විදිහට රොටි කනවා නම් වයින් බොනවා නම් ඒ තැනැත්තා “ස්වාමීන්ගේ ශරීරයට හා රුධිරයට විරුද්ධව වරදකරුවෙක් වනු ඇත” කියලයි. ඒ නිසා රොටි සහ වයින් ගන්න කලින් “කෙනෙක් තමාව සෝදිසි කරගෙන තමා සුදුස්සෙක්ද කියා සහතික කරගත යුතුයි.” අභිෂේක ලත් කෙනෙක් වැරදි ක්‍රියාවක් කරන ගමන් රොටි සහ වයින් ගන්නවා නම් ඔහු කරන්නේ ‘තමාටම විරුද්ධව විනිශ්චයක් ලබාගන්න’ එකයි. කොරින්තියේ හිටපු හුඟක් ක්‍රිස්තියානීන්ගේ හැසිරීම තිබුණේ පහත් තත්වයක. ඔවුන්ගෙන් සමහරු සිහි කිරීමට කලින් නැත්නම් සිහි කිරීම වෙලාවේ ගොඩක් කෑම බීම ගත්ත නිසා ඒ අවස්ථාවේ ඉන්න ඇත්තේ හොඳ සිහිකල්පනාවෙන් නෙමෙයි. ඔවුන්ගේ හැසිරීමෙන් පැහැදිලි වුණේ ඒ අවස්ථාව ඔවුන් ගෞරවනීය දෙයක් විදිහට සලකන්නේ නැහැ කියලයි. ඒ නිසා ඒ අය රොටි කෑවත් වයින් බිව්වත් දෙවිගේ අනුමැතිය ඔවුන්ට තිබුණේ නැහැ.
12. (අ) සිහි කිරීමේ අවස්ථාව පාවුල් සමාන කළේ මොකකටද? රොටි සහ වයින් ගන්න අයට ඔහු දුන්නේ මොන අනතුරු ඇඟවීමද? (ආ) අභිෂේක ලත් කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා නම් කරන්න ඕනෙ මොනවද?
12 සිහි කිරීමේ අවස්ථාව තවත් අය එක්ක හවුලේ ගන්න කෑමකට සමාන කරපු පාවුල්, රොටි සහ වයින් ගන්න අයට මේ අනතුරු ඇඟවීම දුන්නා. “ඔබට යෙහෝවා දෙවිගේ කුසලානයෙනුත් භූතයන්ගේ කුසලානයෙනුත් බීමට නුපුළුවන. ‘යෙහෝවා දෙවිගේ මේසයට’ සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න ඔබට නුපුළුවන.” (1 කොරි. 10:16-21) සිහි කිරීමේදී රොටි කන වයින් බොන කෙනෙක් බරපතළ වරදක් කළොත් ඔහු අනිවාර්යයෙන්ම වැඩිමහල්ලන්ගේ උදව් ගන්න ඕනේ. (යාකොබ් 5:14-16 කියවන්න.) ඔහු ඇත්තටම පසුතැවිලි වෙනවා කියලා ක්‍රියාවලින් දකින්න තියෙනවා නම් ඔහු සිහි කිරීමේදී රොටි සහ වයින් ගත්තා කියලා ඒකෙන් යේසුස්ගේ ජීවිත පූජාවට අගෞරවයක් වෙන්නේ නැහැ.—ලූක් 3:8.
13. අපිට තියෙන බලාපොරොත්තුව ගැන යාච්ඤා කරන එක වැදගත් ඇයි?
13 සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් තවත් විදිහක් තමයි යෙහෝවා දෙවි අපිට දීලා තියෙන බලාපොරොත්තුව ගැන යාච්ඤා කරලා ඒ ගැන හොඳට හිතන එක. යේසුස්ගේ ජීවිත පූජාවට අගෞරවයක් වෙන කිසිම දෙයක් සිහි කිරීමේදී කරන්න අපිට ඕනෙ නැහැ. ඒ නිසා තමන් අභිෂේක ලත් කෙනෙක් කියලා හොඳටම තහවුරු වෙලා නැත්නම් ඒ අවස්ථාවේදී කෙනෙක් රොටි කන්නෙවත් වයින් බොන්නෙවත් නැහැ.
රොටි කන්නෙත් වයින් බොන්නෙත් කවුද?
14. සිහි කිරීමේදී රොටි කන, වයින් බොන අය සහ අලුත් ගිවිසුම අතරේ තියෙන සම්බන්ධය මොකක්ද?
14 සිහි කිරීමේදී රොටි කන, වයින් බොන අයට තමන් අලුත් ගිවිසුමට අයිති කෙනෙක් කියලා කිසිම සැකයක් නැහැ. යේසුස් කිව්වේ “මේ කුසලානයේ තිබෙන දෙයින් නියෝජනය වන්නේ මගේ රුධිරයයි. ‘අලුත් ගිවිසුම’ වලංගු වන්නේ මගේ රුධිරය මාර්ගයෙන්” කියලයි. (1 කොරි. 11:25) නීතිය මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන් එක්ක ඇති කරගත්ත ගිවිසුමට වඩා වෙනස් ගිවිසුමක් ඇති කරගන්නවා කියලා යෙහෝවා දෙවි කිව්වා. අලුත් ගිවිසුම කියන්නේ ඒකටයි. (යෙරෙමියා 31:31-34 කියවන්න.) දෙවි අලුත් ගිවිසුම ඇති කරගත්තේ අභිෂේක ලත් අය එක්කයි. (ගලා. 6:15, 16) ඒ ගිවිසුම වලංගු වුණේ යේසුස්ගේ ජීවිත පූජාවෙන්. (ලූක් 22:20) ඒ ගිවිසුමේ මැදිහත්කරු විදිහට ක්‍රියා කරන්නෙත් යේසුස්. අලුත් ගිවිසුමට අයත් විශ්වාසවන්ත අභිෂේක ලත් අයට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—හෙබ්‍රෙ. 8:6; 9:15.
15. රාජ්‍යයක් සඳහා ඇති කරගත් ගිවිසුමට අයිති වෙන්නේ කවුද? ඔවුන් විශ්වාසවන්තව හිටියොත් ලැබෙන ආශීර්වාදය මොකක්ද?
15 රාජ්‍යයක් සඳහා ඇති කරගත්ත ගිවිසුමටත් තමන් අයිතියි කියලා අභිෂේක ලත් අය දන්නවා. (ලූක් 12:32 කියවන්න.) ඒ ගිවිසුම ඇති කරගත්තේ යේසුස් සහ “ඔහු මෙන් දුක් විඳින” ඔහුගේ විශ්වාසවන්ත, අභිෂේක ලත් අනුගාමිකයන් අතරෙයි. (ෆිලි. 3:10) අද ඉන්න අභිෂේක ලත් අයත් ඒ ගිවිසුමට අයිතියි. ඔවුන් ඉදිරියේදී යේසුස් එක්ක රජවරුන් විදිහට සේවය කරනවා. (එළි. 22:5) සිහි කිරීමේදී රොටි කන්නත් වයින් බොන්නත් සුදුසුකම් ලබන්නේ ඔවුනුයි.
16. රෝම 8:15-17 අදහස් කරන දේ කෙටියෙන් කියන්න.
16 තමන් දෙවිගේ දරුවන් කියලත් සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න තමන්ට පුළුවන් කියලත් අභිෂේක ලත් අයට සැකයක් නැහැ. (රෝම 8:15-17 කියවන්න.) පාවුල් කිව්වේ ඔවුන් “අබ්බා, පියාණෙනි” කියලා පවසනවා කියලයි. ‘අබ්බා’ කියන ඇරමයික වචනයෙන් අදහස් කරන්නේ තාත්තා කියන එකයි. ඒ වචනයේ ආදරයත් ගෞරවයත් කියන හැඟීම් දෙකම ගැබ් වෙලා තියෙනවා. අභිෂේක ලත් අය යෙහෝවා දෙවිව “අබ්බා, පියාණෙනි” කියලා අමතනවා කියන එකෙන් අදහස් කරන්නේ දෙවිගේ ‘බලයෙන් ඔවුන්ව දෙවිගේ පුත්‍රයන් ලෙස පිළිගත්තට’ පස්සේ ඔවුන්ට දෙවි එක්ක විශේෂ බැඳීමක් තියෙනවා කියන එකයි. දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වෙලා ඔවුන් දෙවිගේ දරුවන් කියන දේ ඔවුන්ගේ සිත්වලට දන්වනවා. ඒ නිසා ඔවුන්ට ඒ ගැන කිසිම සැකයක් නැහැ. එහෙම නැතුව කෙනෙක්ට පොළොවේ ජීවත් වෙන්න ආසාවක් නැති නිසාම ඒ කෙනාට තියෙන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් කියලා කියන්න බැහැ. මරණය දක්වාම විශ්වාසවන්තව හිටියොත් ඔවුන්ට යේසුස් එක්ක රජවරුන් විදිහට සේවය කරන්න අවස්ථාව ලැබෙනවා කියලා ඔවුන් දන්නවා. ඒ වගේම ‘ශුද්ධ තැනැත්තාණන්’ වන යෙහෝවා දෙවි තමන්ව අභිෂේක කරලා තියෙනවා කියලත් ඔවුන් දන්නවා. අභිෂේක ලත් 1,44,000දෙනාගෙන් දැන් පොළොවේ ඉන්නේ ටිකදෙනයි.—1 යොහ. 2:20; එළි. 14:1.
ඔයාට තියෙන්නේ වටිනා බලාපොරොත්තුවක්
17. අභිෂේක ලත් අයට තියෙන්නේ මොන බලාපොරොත්තුවද? තමන් අභිෂේක ලත් කෙනෙක් කියලා ඔවුන් දන්නේ කොහොමද?
17 ඔයා අභිෂේක ලත් කෙනෙක් නම් ස්වර්ගයේ ලැබෙන්න යන ජීවිතය ගැන යාච්ඤාවලදී නිතරම කියන්න. බයිබලේ තියෙන සමහර පද කියවද්දී ඒ කතා කරන්නේ ඔයා ගැනයි කියලා ඔයාට දැනෙයි. උදාහරණෙකට යේසුස් සහ ඔහුගේ “මනාලිය” අතර ස්වර්ගයේ සිද්ධ වෙන විවාහය ගැන බයිබලයේ කතා කරනවා. ඒ කතා කරන්නේ ඔයා ගැන කියලා හිතන්න. යේසුස්ගේ මනාලිය වෙන දවස එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න. (යොහ. 3:27-29; 2 කොරි. 11:2; එළි. 21:2, 9-14) අභිෂේක ලත් අයට යෙහෝවා දෙවි පෙන්නන ආදරේ ගැන බයිබලෙන් කියවද්දී දෙවි ඒ කතා කරන්නේ ඔයාටයි කියලා දැනෙයි. ඒ වගේම අභිෂේක ලත් අය වෙනුවෙන්ම දීලා තියෙන මඟ පෙන්වීම් දෙවිගේ වචනයෙන් කියවද්දී ඒවාට කීකරු වෙන්න දෙවිගේ බලය ඔයාව පොලඹවයි. ඔයාට තියෙන්නේ ස්වර්ගයේ ජීවිතයක් සඳහා බලාපොරොත්තුවක් කියලා දෙවිගේ බලය ඒ විදිහට ඔයාගේ හිතට නිසැකවම දන්වයි.
18. “වෙනත් බැටළුවන්ට” තියෙන්නේ මොන බලාපොරොත්තුවද? ඔයාට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?
18 ඔයා “මහත් සමූහයට” අයිති ‘වෙනත් බැටළුවන්ගෙන්’ කෙනෙක් නම් යෙහෝවා දෙවි ඔයාට දීලා තියෙන්නේ පාරාදීසයේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවයි. (එළි. 7:9; යොහ. 10:16) ඒ ලස්සන අනාගතය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? පාරාදීසය ගැන බයිබලෙන් කියවද්දී ඒ ගැන හිතද්දී ලොකු සතුටක්, කුතුහලයක් ඔයාට දැනෙනවද? පවුලේ අය, යාළුවෝ එක්ක පාරාදීසයේ ජීවත් වෙන්න ඔයා ආසාවෙන් බලාගෙන ඇති. දුක, වේදනාව, කුසගින්න, දුප්පත්කම, අසනීප, මරණය නැති කාලයක් එන කල් ඔයා බලාගෙන ඉන්නවා ඇති. (ගීතා. 37:10, 11, 29; 67:6; 72:7, 16; යෙසා. 33:24) ඔයා ආදරේ කරපු අය මිය ගිහින් ඉන්නවා නම් ඒ අය නැවත නැඟිටින කල් ඔයාට ඉවසුමක් නැතුව ඇති. (යොහ. 5:28, 29) ඒ පුදුමාකාර බලාපොරොත්තු දීලා තියෙන එක ගැන ඔයා යෙහෝවා දෙවිට කොයි තරම් ස්තුති කරන්න ඕනෙද! සිහි කිරීමේදී ඔයා රොටි සහ වයින් ගත්තේ නැතත් ඒ වැදගත් අවස්ථාවට සහභාගි වෙන්නේ ඒ බලාපොරොත්තුව ඔයාට දුන්න යේසුස්ගේ ජීවිත පූජාවට අගය දක්වන්නයි.
එදාට ඔයාත් ඉඳියිද?
19, 20. (අ) හැමදාටම ජීවත් වෙන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවද? (ආ) සිහි කිරීමට ඔයා සහභාගි වෙන්නේ ඇයි?
19 පොළොවේ වුණත් ස්වර්ගයේ වුණත් සදාකාල් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් ඔහුගේ ජීවිත පූජාව ගැනත් විශ්වාසය තිබ්බොත් විතරයි. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සහභාගි වුණාම ඔයාට තියෙන බලාපොරොත්තුව ගැනත් යේසුස්ගේ ජීවිත පූජාවේ වැදගත්කම ගැනත් හිතන්න. 2015 අප්‍රියෙල් 3වෙනි සිකුරාදා හිරු බැස ගියාට පස්සේ ලෝකෙ පුරාම ඉන්න මිලියන ගාණක් සෙනඟ යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. ඔයාත් ඒ අයගෙන් කෙනෙක් වෙන්න.
20 අපි සිහි කිරීමට සහභාගි වෙන්නේ හරි ආකල්පයකින් නම් යේසුස්ගේ ජීවිත පූජාව ගැන ලොකු අගයක් අපේ හිතේ ඇති වෙයි. ඒ අවස්ථාවේදී දෙන දේශනයට හොඳ අවධානයක් දුන්නොත් අනිත් අයට ආදරේ කරන්න, ඒ අයට යෙහෝවා දෙවි දක්වන ආදරේ ගැන කියන්න, ඔවුන් වෙනුවෙන් දෙවිට තියෙන අරමුණ ගැන දැනුම් දෙන්න ඔයා පෙලඹෙයි. (මතෙ. 22:34-40) එදාට ඔයාත් ඉඳියිද?
a හෙබ්‍රෙව්වරුන් සැලකුවේ හිරු බැස යෑමත් සමඟ දවස ආරම්භ වෙනවා කියලයි. ඒ දවස අවසන් වුණේ ඊළඟ දවසේ හිරු බැස ගිය විටයි.
b ‘දේවවචනය අධ්‍යයනයට’ යන පොතේ 16වෙනි කොටස බලන්න.