ඉශ්රායෙල් ඉතිහාසයේ සුවිශේෂ වැදගත්කමකින් යුත් මංගල්‍යය
‘අවුරුද්දට තුන්වරක් නුඹේ සියලු පිරිමින් නුඹේ දෙවි වූ යෙහෝවා තෝරාගන්න ස්ථානය ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් යෙහෝවා ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතුය.’—ද්විතීය කථාව 16:16.
1. බයිබල් කාලයේ පැවැත්වූ මංගල්‍ය අවස්ථා ගැන කුමක් කිව හැකිද?
මංගල්‍යයක් ගැන සිතන විට ඔබේ මනසට එන්නේ කුමක්ද? තමන්ව අධික ලෙස පිනවාගැනීම හා දුරාචාරය, ඈත අතීතයේ පැවැත්වූ ඇතැම් මංගල්‍යවල විශේෂ ලක්ෂණයන් වුණා. නවීන කාලයේ පවත්වන ඇතැම් මංගල්‍යවල ඒ දෙයම දක්නට තිබෙනවා. නමුත් ඉශ්රායෙල්වරුන්ට දුන් දෙවිගේ ව්‍යවස්ථාවේ සඳහන් වූ මංගල්‍යයන් වෙනස් වුණා. ඒවා ප්‍රීතිමත් අවස්ථාවන් වුණත්, “ශුද්ධ සභා රැස්වීම්” ලෙසද ඒවා විස්තර කිරීමට හැකි වුණා.—ලෙවී කථාව 23:2.
2. (අ) ඉශ්රායෙල් පුරුෂයන්ගෙන් ඉල්ලා සිටියේ අවුරුද්දකට තුන්වතාවක් කුමක් කිරීමටද? (ආ) ද්විතීය කථාව 16:16හි භාවිත කර තිබෙන ආකාරයට ‘මංගල්‍යයක්’ කියන්නේ කුමක්ද?
2 බොහෝ අවස්ථාවලදී, තම පවුල් කැටුව ගිය ඇදහිලිවන්ත ඉශ්රායෙල් පුරුෂයන් ‘යෙහෝවා තෝරගත් ස්ථානය’ වන යෙරුසලමට ගමන් කිරීමේදී ප්රබෝධය ගෙන දෙන සතුටක් අද්දැක්කා; එමෙන්ම ඔවුන් ත්‍යාගශීලී ලෙස මහත් මංගල්‍ය තුනකට සම්මාදම් කළා. (ද්විතීය කථාව 16:16) ද්විතීය කථාව 16:16හි ‘මංගල්‍යය’ යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය, ඕල්ඩ් ටෙස්ටමන්ට් ව’ඩ් ස්ටඩීස් නමැති පොතේ විග්රහ කරන්නේ, “පූජා ඔප්පු කිරීම් හා භෝජනෝත්සවය මගින් දෙවිගේ අනුග්රහයේ සුවිශේෂ අවස්ථා උත්සවාකාරයෙන් පැවැත්වූ . . . ඉමහත් ප්‍රීතියක් ලැබූ අවස්ථාවක්” ලෙසයි.a
මහත් මංගල්‍යවල වටිනාකම
3. වාර්ෂික මංගල්‍ය තුන මගින් කිනම් ආශීර්වාද සිහිපත් කළාද?
3 ඉශ්රායෙල්වරුන්ගේ සමාජය කෘෂිකාර්මික එකක් වූ නිසා, වැසි ස්වරූපයෙන් ලැබෙන දෙවිගේ ආශීර්වාද මත ඔවුන් රඳා සිටියා. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් මහත් මංගල්‍ය තුනට වසන්ත සමයේ මුල් භාගයේ බාර්ලි අස්වැන්න, වසන්ත සමයේ අවසාන භාගයේ තිරිඟු අස්වැන්න හා ග්‍රීෂ්ම ඍතුවේ අවසාන භාගයේදී අස්වැන්නේ ඉතිරිය එකතු කිරීම හා සම තැනක් හිමි වුණා. මේ අවස්ථා ඉමහත් ප්‍රීතියක් භුක්ති විඳීමේ මෙන්ම වැසි චක්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කරවන තැනැත්තාට හා ඵලදායී දේශයේ සැදුම්කරුට ස්තුතිවන්ත වීමේ අවස්ථා වුණා. නමුත් එම මංගල්‍යවලට ඊට වඩා බොහෝ දේවල් ඇතුළත් වුණා.—ද්විතීය කථාව 11:11-14.
4. පළමුවන මංගල්‍යය මගින් සමරනු ලැබුවේ කිනම් ඓතිහාසික සිද්ධියද?
4 පළමුවන මංගල්‍යය පුරාණ බයිබල් දින දර්ශනයේ පළමු මාසය වන නීසාන් 15 සිට 21 දක්වා පැවැත්වුවා; එම කාලය අපේ දින දර්ශනයේ මාර්තු මාසයේ අග භාගයට හෝ අප්‍රියෙල් මාසයේ මුල් භාගයට සමානයි. එය මුහුන් නොදැමූ රොටි මංගල්‍යය ලෙස හැඳින්වූ අතර, නීසාන් 14වනදා පැවැත්වූ පාස්කුව පසුවීමත් සමඟම පැවැත්වූ නිසා එය “පාස්කු මංගල්‍යය” ලෙසද හැඳින්වුවා. (ලූක් 2:41; ලෙවී කථාව 23:5, 6) මුහුන් නොදැමූ රොටි “දුක් රොටි” යනුවෙන් හැඳින්වූ නිසා, ඉශ්රායෙල්වරුන් මිසරයේදී අද්දුටු දුක් පීඩාවලින් මිදීම එම මංගල්‍යය මගින් ඔවුන්ට සිහිගැන්වුවා. (ද්විතීය කථාව 16:3) ඔවුන් මිසරයෙන් පලායෑම මොනතරම් ඉක්මනින් සිදු කළ යුතුව තිබුණාද කියනවා නම්, ඔවුන් ඇනූ පිටිවලට මුහුන් දැමීමටවත් පිපෙන තෙක් බලා සිටින්නවත් කාලයක් නොතිබූ බව එයින් ඔවුන්ට සිහිගැන්වුවා. (නික්මයාම 12:34) මෙම මංගල්‍යය පවත්වන කාලය අතරතුර කිසිම ඉශ්රායෙල්වරයෙකුගේ නිවසක මුහුන් දැමූ රොටි නොතිබිය යුතුව තිබුණා. මුහුන් දැමූ රොටි අනුභව කළ විදේශිකයෙක් ඇතුළු මංගල්‍යය සමරන ඕනෑම කෙනෙකුට මරණ දඬුවම හිමි විය යුතුව තිබුණා.—නික්මයාම 12:19.
5. දෙවන මංගල්‍යය මගින් සිහිපත් කරන්න ඇත්තේ කිනම් වරප්‍රසාදය ගැනද? එමෙන්ම එම ප්‍රීතිමත් අවස්ථාවට ඇතුළත් කරගත යුතුව තිබුණේ කාවද?
5 දෙවන මංගල්‍යය පැවැත්වූයේ නීසාන් 16වනදා සිට සති සතක් (දවස් 49ක්) ගත වූවායින් පසුව වන අතර, එය තුන්වන මාසය වන සිවන් 6වනදාට යෙදී තිබුණා; එය අපේ දින දර්ශනයේ මැයි මාසයේ අග භාගයට සමානයි. (ලෙවී කථාව 23:15, 16) එය සති මංගල්‍යය ලෙස හැඳින්වූ අතර, (යේසුගේ කාලයේදී එය, ග්‍රීක් භාෂාවෙන් “පනස්වන” යන අර්ථය ඇති පෙන්තකොස්ත යනුවෙන්ද හැඳින්වූවා), ඉශ්රායෙල්වරුන් සීනයි කන්දේදී ව්‍යවස්ථා ගිවිසුමට ඇතුල් වූ අවුරුද්දේ එම කාලයේදීම සමරනු ලැබුවා. (නික්මයාම 19:1, 2) මෙම උත්සවය පවත්වන කාලය අතරතුරේදී, දෙවිගේ ශුද්ධ ජාතිය වශයෙන් වෙන් කරන ලද ජාතියක් වීමේ තම වරප්‍රසාදය ඇදහිලිවන්ත ඉශ්රායෙල්වරුන් සිහිපත් කළා විය හැකියි. ඔවුන් දෙවිගේ විශේෂ සෙනඟ වූ නිසා, දිළිඳු අයටත් මේ මංගල්‍යයේ ප්‍රීතිය භුක්ති විඳීමට හැකි වන පරිදි ඔවුන් කෙරෙහි ප්‍රේමනීය කරුණාව පෙන්වීමේ ආඥාව වැනි දෙවිගේ නීතිවලට කීකරු වීම අවශ්‍ය වුණා.—ලෙවී කථාව 23:22; ද්විතීය කථාව 16:10-12.
6. තුන්වන මංගල්‍යය මගින් දෙවිගේ සෙනඟට සිහිගැන්වූයේ කිනම් අද්දැකීමද?
6 වාර්ෂිකව පැවැත්වූ මහත් මංගල්‍ය තුනෙන් අවසාන එක හැඳින්වූයේ, එක්රැස්වීමේ මංගල්‍යය හෙවත් පැල් මංගල්‍යය ලෙසයි. එය පවත්වනු ලැබුවේ සත්වන මාසය වූ තිෂ්රි හෙවත් එතනිම් මාසයේ 15 සිට 21 දක්වායි; එය අපේ දින දර්ශනයේ ඔක්තෝබර් මාසයේ මුල් භාගයට සමානයි. (ලෙවී කථාව 23:34) මේ කාලයේදී දෙවිගේ සෙනඟ වාසය කළේ තමන්ගේ නිවෙස්වලින් පිටත හෝ ගස්වල අතුවලින් හා කොළවලින් වහල උඩ සාදාගත් තාවකාලික වාසස්ථානවලයි (පැල්වලයි). මිසරයේ සිට පොරොන්දු දේශය දක්වා ඔවුන්ගේ අවුරුදු 40ක ගමන එයින් ඔවුන්ට සිහිපත් කළා; ඒ කාලයේදී තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා දෙවි මත රඳා සිටීමට ඔවුන්ට ඉගෙනගන්න සිදු වුණා.—ලෙවී කථාව 23:42, 43; ද්විතීය කථාව 8:15, 16.
7. පුරාණ ඉශ්රායෙලයේ පැවැත්වූ මංගල්‍යයන් යළි සලකා බැලීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
7 පුරාණයේ විසූ දෙවිගේ සෙනඟගේ ඉතිහාසයේ සුවිශේෂ වැදගත්කමකින් යුත් සිද්ධීන් බව සනාථ කළ මංගල්‍ය කිහිපයක් අපි යළි සලකා බලමු. සෑම සතියකම මෙන්ම අවුරුද්දකට තුන්වතාවක් විශාල එක්රැස්වීම් හා සමුළුවලට නිතිපතා එකට එක්රැස්වීම සඳහා අපට ආරාධනා කරනු ලබන නිසා, මෙය අදදින අපට දිරිගන්වනසුලු යමක් විය යුතුයි.—හෙබ්‍රෙව් 10:24, 25.
දාවිත්ගෙන් පැවතෙන රජවරුන්ගේ කාලයේ
8. (අ) සාලමොන් රජුගේ දවස්වලදී පවත්වනු ලැබුවේ කිනම් ඓතිහාසික උත්සවයද? (ආ) අපිට ප්‍රීතියෙන් බලා සිටිය හැක්කේ ප්රතිරූපික පැල් මංගල්‍යයේ කිනම් උදාර උච්චාවස්ථාවද?
8 දාවිත්ගේ පුත් සාලමොන් රජුගේ සෞභාග්‍යවත් පාලන සමයේ පැල් මංගල්‍යය පැවැත්වූ කාලයේදී ඓතිහාසික උත්සවයක් පැවැත්වුවා. පැල් මංගල්‍යය සහ දේවමාළිගාව කැප කිරීම සඳහා පොරොන්දු දේශයේ දුර ඈත ප්‍රදේශවල සිට “ඉතාමහත් සමූහයක්” එක්රැස් වුණා. (2 ලේකම් 7:8) එය නිමාවට පත් වූ අවස්ථාවේදී, සාලමොන් රජ උත්සවය පැවැත්වීමට පැමිණ සිටි අයව යන්ට හැරියා; ඔවුන් “රජුට ආශීර්වාද ඉල්ලා, [යෙහෝවා] තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්රායෙල්ටත් කළ සියලු යහපත්කම් ගැන ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව, තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.” (1 රාජාවලිය 8:66) ඇත්තෙන්ම එය සුවිශේෂ වැදගත්කමකින් යුත් මංගල්‍යයක් වුණා. වඩා උතුම් සාලමොන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය අවසානයේදී පැවැත්වෙන ප්රතිරූපික පැල් මංගල්‍යයේ උදාර උච්චාවස්ථාව දෙවිගේ සේවකයන් අදදින මහත් ආශාවෙන් බලා සිටිනවා. (එළිදරව් 20:3, 7-10, 14, 15) ඒ කාලයේදී, නැවත නැඟිටවනු ලබන අය හා අර්මගෙදොනයෙන් බේරී ජීවත්වන්නන් ඇතුළු පොළොවේ අස්සක් මුල්ලක් නෑර ජීවත් වන ජනයාව යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් නමස්කාර කිරීමෙහි එක්සත් කරනු ලබන්න යනවා.—සෙකරියා 14:16.
9-11. (අ) හෙසකියා රජුගේ දවස්වලදී සුවිශේෂ වැදගත්කමකින් යුත් මංගල්‍යයක් පැවැත්වීමට මඟ පෑදුවේ කුමක්ද? (ආ) උතුරු දස ගෝත්‍ර රාජ්‍යයෙන් පැමිණි බොහෝදෙනෙක් තැබුවේ කිනම් ආදර්ශයද? එමෙන්ම අදදින අපට එයින් සිහිපත් කරන්නේ කුමක්ද?
9 බයිබලයේ වාර්තා වී තිබෙන ඊළඟට කැපීපෙනෙන මංගල්‍යය පවත්වනු ලැබුවේ, දුෂ්ට රජෙක් වන ආහාස්ගේ පාලනයෙන් පසුවයි; ඔහු දේවමාළිගාව වසා දමා, ඇදහිල්ල අත්හැර යෑමට යූදා රාජ්‍යයට මඟ පෑදුවා. ආහාස්ට පසුව රජකමට පැමිණියේ හෙසකියා නම් යහපත් රජයි. ඔහුගේ පාලනයේ පළමු අවුරුද්දේදී, එනම් ඔහු අවුරුදු 25ක් වයස්ව සිටියදී, හෙසකියා යළි පිහිටුවීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඔහු විගස දේවමාළිගාව විවෘත කර, එය අලුත්වැඩියා කිරීම සඳහා කටයුතු පිළියෙළ කළා. ඊළඟට ඔහු ඉශ්රායෙලයේ උතුරු රාජ්‍යයේ වාසය කළ එදිරිවාදී දස ගෝත්‍ර රාජ්‍යයට පැමිණ පාස්කුව හා මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සැමරීමට ආරාධනා කරමින් ලිපි යැව්වා. තම අසල්වැසි ජනයාගේ සමච්චල් කිරීම් නොසලකා බොහෝදෙනෙක් පැමිණියා.—2 ලේකම් 30:1, 10, 11, 18.
10 මංගල්‍යය සාර්ථක වුණාද? බයිබලය මෙසේ වාර්තා කරනවා: “යෙරුසලමෙහි සිටි ඉශ්රායෙල් පුත්‍රයෝද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් මහත් ප්‍රීතියකින් පැවැත්තුවෝය. ලෙවීවරුද පූජකයෝද බොහෝ ශබ්ද ඇති තූර්යභාණ්ඩ රැගෙන ගී කියමින්, [යෙහෝවාට] දවසින් දවස ප්‍රශංසාකළෝය.” (2 ලේකම් 30:21) අදදින දෙවිගේ සෙනඟ සඳහා ඒ ඉශ්රායෙල්වරුන් තැබුවේ මොනතරම් කදිම ආදර්ශයක්ද! සමුළුවලට පැමිණීම සඳහා ඔවුන්ගෙන් වැඩිදෙනෙක් විරුද්ධවාදිකම් විඳදරාගෙන බොහෝ දුරක් ගමන් කරනවා.
11 උදාහරණයක් හැටියට, 1989දී පෝලන්තයේ පැවැත්වූ “දේවභක්තිය” නමැති දිස්ත්‍රික් සමුළු තුන සලකා බලන්න. පැමිණ සිටි 1,66,518දෙනා අතර, ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කර තිබූ කලින් සෝවියට් සංගමයෙන් හා නැඟෙනහිර යුරෝපයේ වෙනත් රටවලින් පැමිණි විශාල කණ්ඩායම් සිටියා. “මේ සමුළුවලට පැමිණි සමහරදෙනෙකුට මෙය යෙහෝවාගේ සෙනඟ 15කට හෝ 20කට වඩා වැඩි විශාල එක්රැස්වීමකට පැමිණි මුල්ම අවස්ථාව වුණා” කියා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—දේවරාජ්‍යයේ ප්‍රකාශකයෝb (ඉංග්‍රීසියෙන්) නමැති පොත වාර්තා කරනවා. “ක්‍රීඩාංගණවල සිටි සියදහස් ගණනක් වෙත නෙත් යොමු වෙද්දී, ඔවුන් හා යාච්ඤාවට එක් වෙද්දී හා යෙහෝවාට ප්‍රශංසා කරන ගී ගායනා කිරීමෙහි ඔවුන්ගේ හඬ හා එක් වෙද්දී ඔවුන්ගේ හදවත් අගය කිරීමෙන් පිරී ඉතිරී ගියා.”—279වන පිටුව.
12. යොෂියා රජුගේ පාලන සමයේ පැවැත්වූ සුවිශේෂ වැදගත්කමක් තිබූ මංගල්‍යයට මඟ පෑදුවේ කුමක්ද?
12 හෙසකියාගේ මරණින් පසු, යුදෙව්වරුන් නැවතත් මනස්සේ හා ආමොන් යන රජවරුන්ගේ පාලනය යටතේ බොරු නමස්කාරයට ඇද වැටුණා. අනතුරුව තවත් යහපත් රජ කෙනෙක් වන තරුණ යොෂියා බලයට පැමිණ සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සඳහා ධෛර්යය සම්පන්නව කටයුතු කළා. වයස අවුරුදු 25දී යොෂියා දේවමාළිගාව අලුත්වැඩියා කිරීමට අණ කළා. (2 ලේකම් 34:8) අලුත්වැඩියා කිරීමේ වැඩකටයුතු කරමින් සිටියදී, මෝසෙස් විසින් ලියන ලද ව්‍යවස්ථාව දේවමාළිගාවේ තිබී සොයාගත්තා. දෙවිගේ ව්‍යවස්ථාවෙන් තමා කියවූ දෙයින් ඉමහත් පෙලඹීමක් ලැබූ යොෂියා රජ, එය සියලුදෙනා සඳහා කියවනු ලැබීමට කටයුතු පිළියෙළ කළා. (2 ලේකම් 34:14, 30) අනතුරුව, ඔහු ලියා තිබූ දෙයට එකඟව පාස්කු උත්සවයක් සංවිධානය කළා. එම අවස්ථාව සඳහා ත්‍යාගශීලීව සම්මාදම් කිරීමෙන් රජු කදිම ආදර්ශයක්ද තැබුවා. එහි ප්‍රතිඵලයක් හැටියට, “එයාකාර පාස්කුවක් ප්‍රොපේතවූ සාමුවෙල්ගේ කාලයට පසුව ඉශ්රායෙල්වරුන් අතරේ නොපවත්වනලද්දේය” කියා බයිබලය වාර්තා කරනවා.—2 ලේකම් 35:7, 17, 18.
13. හෙසකියාගේ හා යොෂියාගේ පාලන සමයේ පැවැත්වූ මංගල්‍ය අදදින අපට සිහිපත් කරවන්නේ කුමක්ද?
13 හෙසකියා සහ යොෂියා සිදු කළ ප්‍රතිසංස්කරණයන් 1914 යේසුස් ක්‍රිස්තුස් සිංහාසනාරූඪ වූ දා සිට සැබෑ ක්‍රිස්තියානීන් අතර සිදු වී තිබෙන සැබෑ නමස්කාරයේ මවිතකර යළි පිහිටුවීම හා සමාන්තරකමක් තිබෙනවා. විශේෂයෙන්ම යොෂියාගේ ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් සැබෑවක් වූවාක් මෙන්, මෙම නවීන-දින යළි පිහිටුවීම දේවවචනයේ ලියා තිබෙන දේවල් මත පදනම් වී තිබෙනවා. එමෙන්ම හෙසකියාගේ හා යොෂියාගේ දවස්වලට සමාන්තරව නවීන-දින යළි පිහිටුවීම එක්රැස්වීම් හා සමුළු මගින් විශේෂකොට දක්වා තිබෙනවා; එහිදී බයිබල් අනාවැකි පිළිබඳ හද දනවන පැහැදිලි කිරීම් මෙන්ම බයිබල් ප්රතිපත්තිවල කාලෝචිත අදාළ කිරීම් කැපීපෙනෙන්න සලස්වා තිබෙනවා. ඥානාලෝකය සපයන මෙම අවස්ථාවන්ට ප්‍රීතිය එක් කරමින් විශාල සංඛ්‍යාවක් බව්තීස්ම වී තිබෙනවා. හෙසකියාගේ හා යොෂියාගේ දවස්වල සිටි පසුතැවිලි වූ ඉශ්රායෙල්වරුන් මෙන්, අලුතින් බව්තීස්ම වූ අය ක්‍රිස්තියානි ලෝකයේ හා සාතන්ගේ ලෝකයේ සෙසු කොටස්වල නපුරු ව්‍යවහාරයන් අත්හැර දමා තිබෙනවා. ශුද්ධ දෙවි වන යෙහෝවාට තමන්ගේ කැපවීම සංකේතවත් කරමින් 1997දී, 3,75,000දෙනෙකුට වැඩි පිරිසක් බව්තීස්ම වුණා; එහි සාමාන්‍යය දවසකට 1,000කට වැඩියි.
පිටුවහල් කිරීමෙන් පසු
14. පොදු යුගයට පෙර 537දී පැවැත්වූ සුවිශේෂ වැදගත්කමකින් යුත් උත්සවයට මඟ පෑදුවේ කුමක්ද?
14 යොෂියාගේ මරණින් පසුව, ජාතිය නැවතත් බොරු නමස්කාරයට ඇද වැටුණා. අන්තිමේදී, එනම් පො.යු.පෙර 607දී යෙරුසලමට එරෙහිව බබිලෝනීය හමුදා ගෙන ඒමෙන් යෙහෝවා තම සෙනඟට දඬුවම් කළා. නගරය හා එහි පිහිටා තිබූ දේවමාළිගාව විනාශ කරනු ලැබූ අතර, දේශය පාළු කරනු ලැබුවා. යුදෙව්වරුන් බබිලෝනියේ වහල්භාවයේ අවුරුදු 70ක් ගත කළා. පසුව දෙවි පසුතැවිලි වූ යුදෙව්වන්ගේ ඉතිරි අයව යළි ශක්තිමත් කළා; ඔවුන් සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සඳහා පොරොන්දු දේශයට ආපසු හැරී ආවා. ඔවුන් පො.යු.පෙර 537වන අවුරුද්දේ සත්වන මාසයේදී විනාශ කර දමා තිබූ යෙරුසලම් නගරයට ආපසු පැමිණියා. ඔවුන් කළ මුල්ම දෙය වූයේ, ව්‍යවස්ථා ගිවිසුමේ සඳහන් කර තිබූ පරිදි දිනපතාම පූජා ඔප්පු කිරීම සඳහා පූජාසනයක් ගොඩනැඟීමයි. එය සිදු කළේ හරියටම තවත් ඓතිහාසික උත්සවයක් පැවැත්වීමට නියමිත කාලයේදීමයි. ‘ඔවුහු ලියා තිබෙන ලෙස පැල් මංගල්‍යය පැවැත්වුවෝය.’—එස්රා 3:1-4.
15. පොදු යුගයට පෙර 537දී යළි පිහිටුවනු ලැබූ ඉතිරි අයට කිරීමට තිබුණේ කිනම් වැඩයද? එමෙන්ම 1919දී එයට සමාන්තර තත්වයක් පැවතියේ කෙසේද?
15 වහල්භාවයෙන් ආපසු පැමිණි අය සඳහා විශාල වැඩක්, එනම් දේවමාළිගාව හා එහි තාප්ප සමඟින් යෙරුසලම නැවත ගොඩනැඟීමට තිබුණා. ඊර්ෂ්‍යාසහගත අසල්වැසි මිනිසුන්ගෙන් බොහෝ විරුද්ධවාදිකම් එල්ල වුණා. දේවමාළිගාව ගොඩනඟමින් සිටි කාලය ‘කුඩා දේවල දවසක්’ වුණා. (සෙකරියා 4:10) එම තත්වය 1919දී අභිෂේක ලත් ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගේ තත්වයට සමාන වුණා. එම සිහිකටයුතු අවුරුද්දේදී, ඔවුන්ව බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියේ ආත්මික වහල්භාවයෙන් නිදහස් කරනු ලැබුවා. ඔවුන්ගේ සංඛ්‍යාව ඉතා අඩු දහස්ගණනක් වූ අතර, සතුරු ලෝකයට මුහුණ දුන්නා. සැබෑ නමස්කාරයේ ඉදිරි ගමන නවත්වන්න දෙවිගේ සතුරන්ට හැකි වෙයිද? එම ප්‍රශ්නයට සපයන උත්තරය මගින් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල වාර්තා වී තිබෙන අවසාන මංගල්‍යයන් දෙක සිහියට නංවයි.
16. පොදු යුගයට පෙර 515දී පැවැත්වූ මංගල්‍යයේ තිබූ වැදගත්කම කුමක්ද?
16 අවසානයේදී දේවමාළිගාව පො.යු.පෙර 515 ආදාර් මාසයේදී, එනම් වසන්ත සමයේ නීසාන් මංගල්‍යය පවත්වන කාලයේදීම නැවත ගොඩනැඟුවා. බයිබලය මෙසේ වාර්තා කරනවා: ‘ඔව්හු මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය. මක්නිසාද දෙවි එනම් ඉශ්රායෙල්හි දෙවිගේ ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවි කරන හැටියට අෂූර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් යෙහෝවා ඔවුන්ට ප්‍රීතිවීමට සැලැස්සුවේය.’—එස්රා 6:22.
17, 18. (අ) පොදු යුගයට පෙර 455දී ළඟා වෙමින් තිබුණේ සුවිශේෂ වැදගත්කමකින් යුත් කිනම් මංගල්‍යයද? (ආ) අද අපි ඒ හා සමාන තත්වයක සිටින්නේ කෙසේද?
17 අවුරුදු හැටකට පසුව, එනම් පො.යු.පෙර 455දී තවත් සුවිශේෂ වැදගත්කමකින් යුත් සිද්ධියක් ළඟා වුණා. එම අවුරුද්දේ පැවැත්වූ පැල් මංගල්‍යය මගින් යෙරුසලමේ තාප්ප නැවත ගොඩනැඟීමේ වැඩකටයුතු සම්පූර්ණ වීම සනිටුහන් කළා. බයිබලය මෙසේ වාර්තා කරනවා: “වහල්කමෙන් මිදී ආ තැනැත්තන්වූ මුළු සභාව පැල් සාදාගන පැල්වල විසුවෝය. නූන්ගේ පුත්‍රවූ යේෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්රායෙල් පුත්‍රයෝ එසේ නොකළෝය. ඉතා මහත් සන්තෝෂයක්ද විය.”—නෙහෙමියා 8:17.
18 දරුණු විරුද්ධවාදිකම් හමුවෙහි දෙවිගේ සැබෑ නමස්කාර යළි පිහිටුවීම පිළිබඳව මොනතරම් අමතක නොවන අද්දැකීමක්ද! අදදින තත්වය ඒ හා සමානයි. එක පිට එක පැමිණෙන පීඩා හා විරුද්ධවාදිකම් නොසලකා, දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ අතිමහත් වැඩය පොළොවේ සීමාවන් දක්වා ළඟා වී තිබෙන අතර, දෙවිගේ විනිශ්චමය පණිවිඩ දස දෙස ඇසීමට සලස්වා තිබෙනවා. (මතෙව් 24:14) අභිෂේක ලත් 1,44,000දෙනාට අයත් ඉතිරි අයගේ අවසාන මුද්‍රා කිරීම ආසන්න වෙමින් තිබෙනවා. දශලක්ෂ පහකට වැඩියෙන් සිටින ඔවුන්ගේ සහයකයන් වන ‘වෙනත් බැටළුවන්ව’ අභිෂේක ලත් ඉතිරි අය සමඟ ‘එක රැළකට’ සියලු ජාතීන්ගෙන් එක්රැස් කර තිබෙනවා. (යොහන් 10:16; එළිදරව් 7:3, 9, 10) පැල් මංගල්‍යය හා සම්බන්ධ විචිත්‍රවත් අනාවැකියේ මොනතරම් අපූර්ව ඉටුවීමක්ද! එමෙන්ම එක්රැස් කිරීමේ මෙම අතිමහත් වැඩය නව ලොවේදීත් දිගටම කරන්න යනවා; ඒ කාලයේදී ප්රතිරූපික පැල් මංගල්‍යය පවත්වන විට ඊට හවුල් වීම සඳහා නැවත නැඟිටවනු ලබන බිලියන ගණනකට ආරාධනා කරන්න යනවා.—සෙකරියා 14:16-19.
පොදු යුගයේ පළමුවන සියවසේ
19. පොදු යුගයේ 32දී පැවැත්වූ පැල් මංගල්‍යය කැපීපෙනෙන එකක් වීමට සැලැස්සුවේ කුමක්ද?
19 බයිබලයේ වාර්තා වී තිබෙන වඩාත්ම කැපීපෙනෙන මංගල්‍යයන් අතර දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස් ගොස් සිටි ඒවාද තිබූ බවට කිසිම සැකයක් නැහැ. උදාහරණයක් හැටියට, පො.යු. 32වන වසරේදී පැවැත්වූ පැල් (නැතහොත් කූඩාරම්) මංගල්‍යයට යේසු ගොස් සිටීම ගැන සලකා බලන්න. ඔහු එම අවස්ථාව වැදගත් සත්‍යයන් ඉගැන්වීම සඳහා යොදාගත් අතර, තම ඉගැන්වීම් තහවුරු කිරීම සඳහා හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලින් උපුටා දැක්වුවා. (යොහන් 7:2, 14, 37-39) මේ මංගල්‍යයේ නිතිපතා දක්නට තිබූ ලක්ෂණයක් වූයේ, චාරිත්‍රානුකූලව දේවමාළිගාවේ ඇතුල් මළුවේ විශාල පන්දම් සතරක් දැල්වීමයි. රාත්‍රි කාලය දක්වා පැවැත්වූ මංගල්‍යය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් ලබන සතුටට එය දායක වුණා. පෙනෙන විදිහට යේසු වක්‍රාකාරයෙන් එම විශාල ආලෝකවලට යොමු දක්වමින් මෙසේ පැවසුවා: “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය.”—යොහන් 8:12.
20. පොදු යුගයේ 33දී පැවැත්වූ පාස්කුව කැපීපෙනෙන එකක් වූයේ ඇයි?
20 ඊළඟට, සුවිශේෂ වසරක් වන පො.යු. 33 පවත්වන පාස්කුව හා මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පැමිණියා. එම පාස්කුව පැවැත්වූ දවසේදී, යේසුගේ සතුරන් ඔහුව මරණයට පත් කළ අතර, ඔහු “ලෝකයේ පාපය” දුරු කිරීම සඳහා මියගිය ප්රතිරූපික පාස්කු බැටළුපැටවා බවට පත්වුවා. (යොහන් 1:29; 1 කොරින්ති 5:7) දවස් තුනකට පසුව, එනම් නීසාන් 16වනදා දෙවි යේසුව අමරණීය ආත්ම සිරුරක් ඇතුව නැවත නැඟිට්ටෙව්වා. ව්‍යවස්ථාව මගින් නිර්දේශ කළ බාර්ලි අස්වැන්නේ නාඹුල් ඵල ඔප්පු කිරීමේ පූජාවට මෙය සමාන වුණා. මේ අනුව, නැවත නැඟිටවනු ලැබූ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් “සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵල” බවට පත් වුණා.—1 කොරින්ති 15:20.
21. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී සිදු වූයේ කුමක්ද?
21 සැබවින්ම කැපීපෙනෙන මංගල්‍යයක් වූයේ, පො.යු. 33 පෙන්තකොස්ත දවසේ පැවැත්වූ මංගල්‍යයයි. ඒ දවසේදී යේසුගේ ගෝලයන් 120කින් පමණ සමන්විත කණ්ඩායම ඇතුළු යුදෙව්වරුන් මෙන්ම යුදෙව් ආගමට හැරුණු බොහෝදෙනෙක් යෙරුසලමට එක්රැස් වී සිටියා. මංගල්‍යය පැවැත්වෙමින් තිබියදී, නැවත නැඟිට සිටින ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් ඒ 120දෙනා මතට ශුද්ධාත්මය වැගුරුවා. (ක්‍රියා 1:15; 2:1-4, 33) එමගින් ඔවුන්ව ආලේප කරනු ලැබූ අතර, යේසුස් ක්‍රිස්තුස් මැදිහත්කාරයෙකු සේ කටයුතු කළ අලුත් ගිවිසුම කරණකොටගෙන ඔවුන් දෙවිගේ අලුත් තෝරාගත් ජාතිය බවට පත් වුණා. ඒ මංගල්‍යය අතරතුරේදී යුදෙව් උත්තම පූජකයා තිරිඟු අස්වැන්නේ නාඹුල් ඵලවලින් සාදාගත් මුහුන් දැමූ රොටි දෙකක් දෙවිට පූජා කළා. (ලෙවී කථාව 23:15-17) එම මුහුන් දැමූ රොටිවලින් විචිත්‍රවත්ව නියෝජනය කෙරෙන්නේ, ‘පොළොව පුරා රජකම් කරන රාජ්‍යයක් හා පූජකයන්’ වශයෙන් සේවය කිරීම සඳහා යේසු ‘දෙවිට මිලේට ගත්’ අසම්පූර්ණ මිනිසුන් 1,44,000දෙනායි. (එළිදරව් 5:9, 10; 14:1, 3) මෙම ස්වර්ගික පාලකයන් පාපතර මිනිස් සංහතියේ අතු දෙකක් වන යුදෙව්වන්ගෙන් හා අන්‍යජාතීන්ගෙන් පැමිණෙන බවට වූ කාරණය මුහුන් දැමූ රොටි දෙකෙන් නියෝජනය විය හැකියි.
22. (අ) ක්‍රිස්තියානීන් ව්‍යවස්ථා ගිවිසුමේ සඳහන් මංගල්‍යයන් නොපවත්වන්නේ ඇයි? (ආ) ඊළඟ ලිපියේදී අපි සලකා බලන්න යන්නේ කුමක්ද?
22 අලුත් ගිවිසුම පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ක්‍රියාත්මක වීමට පටන්ගත් විට, එයින් අදහස් වූයේ දෙවිගේ ඇස් ඉදිරියෙහි පරණ ව්‍යවස්ථා ගිවිසුමට තිබූ වටිනාකම කෙළවරට පත්වීමයි. (2 කොරින්ති 3:14; හෙබ්‍රෙව් 9:15; 10:16) ආලේප ලත් ක්‍රිස්තියානීන් ව්‍යවස්ථාවක් නැති අය බව මෙයින් අදහස් කරන්නේ නැහැ. ඔවුන් යේසු ක්‍රිස්තුස් ඉගැන්වූ, ඔවුන්ගේ හදවත්වල ලියා තිබෙන දිව්‍ය ව්‍යවස්ථාව යටතට පැමිණෙනවා. (ගලාති 6:2) ඒ හේතුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන මංගල්‍යයන් තුන පරණ ව්‍යවස්ථාවේ කොටසක් වන නිසා ඒවා ක්‍රිස්තියානීන් විසින් පවත්වනු ලබන්නේ නැහැ. (කොලොස්සි 2:16, 17) කෙසේවෙතත්, දෙවිගේ පූර්ව-ක්‍රිස්තියානි සේවකයන් තමන්ගේ මංගල්‍යයන් හා නමස්කාරය සඳහා වූ වෙනත් රැස්වීම් කෙරෙහි දැක්වූ ආකල්පයෙන් අපට බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. ක්‍රිස්තියානි එක්රැස්වීම්වලට නිතිපතා පැමිණීමේ අවශ්‍යතාව අගය කිරීමට නිසැකවම සියලුදෙනා තුළම පෙලඹීමක් ඇති කරන්න යන උදාහරණ අපේ ඊළඟ ලිපියේදී සලකා බලන්න යනවා.
[පාදසටහන්වල]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ 1වන කාණ්ඩයේ 820වන පිටුවේ 1වන තීරුවේ “මංගල්‍යය” යටතේ 1වන සහ 3වන ඡේද බලන්න.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ ඉශ්රායෙල්හි පැවැත්වූ මහත් මංගල්‍ය තුන මගින් ඉටු වූයේ කිනම් අරමුණද?
◻ හෙසකියාගේ හා යොෂියාගේ දවස්වලදී පැවැත්වූ මංගල්‍යවල විශේෂ ලක්ෂණ වූයේ මොනවාද?
◻ පොදු යුගයට පෙර 455දී පැවැත්වූයේ සුවිශේෂ වැදගත්කමකින් යුත් කිනම් මංගල්‍යයද? එමෙන්ම එය අපව දිරිගන්වනසුලු එකක් වන්නේ ඇයි?
◻ පොදු යුගයේ 33 පාස්කුවෙහි හා පෙන්තකොස්ත දවසෙහි තිබූ වැදගත්කම කුමක්ද?
[12වන පිටුවේ කොටුව]
අදදින අපට පාඩමක් සපයන මංගල්‍යයක්
යේසුගේ පව් කමා කරන පූජාවෙන් කල්පවතින ප්‍රයෝජන ලබන සියලුදෙනාම මුහුන් නොදැමූ රොටි මංගල්‍යයෙන් නියෝජනය කරන දෙයට අනුකූලව ජීවත් විය යුතුයි. එම ප්රතිරූපික මංගල්‍යය වන්නේ, යේසුගේ මිදීමේ පූජාව කරණකොටගෙන මෙම දුෂ්ට ලෝකයෙන් තමන්ව මුදවාගැනීම හා පාපයේ දණ්ඩනයෙන් නිදහස් වීම සම්බන්ධයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ප්‍රීතිමත් සැමරීමයි. (ගලාති 1:4; කොලොස්සි 1:13, 14) සැබෑ මංගල්‍යය දවස් හතක් පැවැත්වූවා; හත ආත්මික සම්පූර්ණත්වය සංකේතවත් කිරීම සඳහා බයිබලයේ යොදාගෙන තිබෙන සංඛ්‍යාවක්. ආලේප ලත් ක්‍රිස්තියානි සභාව පොළොවේ තිබෙන සම්පූර්ණ කාලය පුරා ප්රතිරූපික මංගල්‍යය පවතින අතර, එය ‘අවංකකමින්ද සැබෑකමින්ද’ පැවැත්විය යුතුයි. එයින් අදහස් කෙරෙන්නේ උපමාලංකාර මුහුන් ගැන නිරතුරුවම සුපරීක්ෂාවෙන් සිටීමයි. බයිබලයේ මුහුන් භාවිත කරන්නේ දූෂිත ඉගැන්වීම්, කුහකකම හා නරක දේවල් නියෝජනය කිරීම සඳහායි. යෙහෝවාගේ සැබෑ නමස්කාරකයන් තමන්ගේම ජීවිත දූෂිත කිරීමට ඉඩ නොදීමෙන් හා ක්‍රිස්තියානි සභාවේ ශුද්ධකම කෙලසීමට ඉඩ නොදීමෙන් එවන් මුහුන් කෙරෙහි දැඩි පිළිකුලක් පෙන්විය යුතුයි.—1 කොරින්ති 5:6-8; මතෙව් 16:6, 12.
[9වන පිටුවේ පින්තූරය]
යේසුව නැවත නැඟිටවනු ලැබූ දිනයේදී, එනම් සෑම අවුරුද්දකම නීසාන් 16වනදා අලුත් බාර්ලි අස්වැන්නෙන් ලබාගත් මිටියක් පූජා කළා
[10වන පිටුවේ පින්තූරය]
“ලෝකයේ ආලෝකය” ලෙස තමාව හඳුන්වා දුන් අවස්ථාවේදී යේසු මංගල්‍යයට ආලෝකය සැපයූ පහන්වලට වක්‍රාකාරයෙන් යොමු දැක්වූවා විය හැකියි