‘ස්වාමීන් වහන්සේ හමුවන පිණිස ඔසවාගනු ලැබී ය’—ඒ කෙසේ ද?
වත්මන් දුෂ්ට පිළිවෙළේ අවසානය සඳහා ඉතිරි ව ඇති කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවී යයි. ගතවන සෑම පැයක්, සෑම විනාඩියක්, සෑම තත්පරයක් පාසා ම, දීර්ඝ කාලයකට පෙර පුරෝකථනය කරන ලද ප්‍රබල සිද්ධීන් කරා අපි ළඟා වෙමින් සිටින්නෙමු. එම අහස් නැගීම මින් එකක් ද? එය එසේ නම්, එය සිදු වනු ඇත්තේ කවදා හා කෙසේ ද?
“අහස් නැගීම” යන වදන බයිබලයේ දක්නට නොලැබේ. එහෙත් එය විශ්වාස කරන්නෝ, 1 තෙසලෝනික 4:17 හි ඇති ප්‍රේරිත පාවුල්ගේ වදන් සිය විශ්වාසය සඳහා පදනම හැටියට උපුටා දක්වති. එහි පාඨ සම්බන්ධය සමඟින් අපි මෙම ශුද්ධ ලියවිලි වගන්තිය පරීක්ෂා කර බලමු. පාවුල් ලීවේ මෙසේ ය:
“සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, [මරණයේ NW] සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව. මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස් වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඊම [පැමිණ සිටීම NW] දක්වා ජීවත්ව ඉතුරු වෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුයයි ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] වචනයෙන් අපි නුඹලාට කියමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු [ඔසවාගනු NW] ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමග සිටින්නෙමුව. ඉන්නිසා මේ වචනවලින් එකිනෙකා සනසාගනිල්ලා.—1 තෙසලෝනික 4:13-18.
පාවුල් පො.යු. 50 දී පමණ තෙසලෝනික සභාවේ ක්‍රිස්තියානින්ට තම පළමු ලිපියෙන් ඇමතූ විට, එම සභාව සාපේක්ෂ වශයෙන් අලුත් එකක් ව තිබිණ. තමන්ගෙන් සමහරෙකු ‘මරණයේ සැතපී’ සිටීම ගැන සභාවේ සාමාජිකයෝ දුකෙන් සිටියහ. කෙසේ වෙතත්, පාවුල් ලියූ දෙය නැවත නැගිටීමේ බලාපොරොත්තුව සමඟින් තෙසලෝනිකවරුන්ට සහනයක් ලබා දුණි.
ක්‍රිස්තුස් වහන්සේගේ ‘පැමිණ සිටීම’
ඒ වන විට මිය ගොස් සිටි ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් නැවත නැගිටුවනු ලබන බව තහවුරු කරමින්, පාවුල් වැඩිදුරටත් පැවසුවේ මෙසේ ය: “ස්වාමීන්වහන්සේගේ ඊම [පැමිණ සිටීම NW] දක්වා ජීවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමු” (15වන වගන්තිය) ස්වාමීන් වහන්සේගේ “පැමිණ සිටීම” කෙරෙහි ප්‍රේරිතවරයාගේ යොමු දැක්ම, ඇත්ත වශයෙන් ම, සැලකිල්ලට ගත යුත්තකි. මෙහි දී මුල් භාෂාවේ වගන්තිය පා·රූ·සිʹයන් යන ග්‍රීක් වදන භාවිතා කරන අතර මෙය පදගතාර්ථයෙන් “ළඟින් පැත්තකින් සිටීම” අදහස් කරයි.
විදේශීය රාජ්‍ය නායකයෙක් රටකට පැමිණෙන විට, ඔහු එහි පැමිණෙන දිනය සාමාන්‍යයෙන් නිවේදනය කරනු ලැබේ. මෙය ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණ සිටීම සම්බන්ධයෙන් ද සැබෑ වී ඇත. ස්වර්ගීය රාජ්‍යය බලයෙන් යුක්ත ව යේසුස් වහන්සේගේ පැමිණ සිටීම 1914 දී ආරම්භ වූ බව, බයිබලයේ අනාවැකි පිළිබඳ ව අවංක හෘද ඇති ශිෂ්‍යයන්ට මුරටැඹ නොකඩවා සාක්ෂි ඉදිරිපත් කර ඇත. එම වසරේ පටන් සිදු වූ සිද්ධීන් යේසුස් වහන්සේගේ අදෘශ්‍යමාන වූ පැමිණ සිටීම සහතික කරයි. (මතෙව් 24:3-14) මෙසේ ස්වාමීන් වහන්සේගේ පැමිණ සිටීමේ දී ජීවත් වන ඇතැම් ක්‍රිස්තියානින් “ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු [ඔසවා ගනු NW]” ලබන බව පැවසීමෙන්, එම බේරී ජීවත් වන්නන්, පොළොවේ වායුගෝලය තුළ නොව, එහෙත් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ අසුන් ගෙන සිටින අදෘශ්‍යමාන ස්වර්ගීය විෂයේ දී ක්‍රිස්තුස් වහන්සේ ව හමුවනු ඇති බව පාවුල් අදහස් කළේ ය. (හෙබ්‍රෙව් 1:1-3) එහෙත් ඔවුහු කවරහු ද?
“දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්”
ශුද්ධ ලියවිල්ල මාංසික ඊශ්‍රායෙල් ගැන බොහෝ දේ පවසන අතර “දෙවියන්වහන්සේගේ” ආත්මික “ඉශ්රායෙල්” ගැන ද කථා කරයි. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයෙන්, නැතහොත් ක්‍රියාකාරික බලයෙන් ආලේප ලත් මෙම සමූහයේ පූර්ණ සංඛ්‍යාවට යුදෙව් හා අන්‍යජාතික ඇදහිලිවන්තයන් ඇතුළත්වීමට නියමිත ව තිබිණ. (ගලාති 6:16; රෝම 11:25, 26; 1 යොහන් 2:20, 27) ආත්මික ඊශ්‍රායෙලයේ මුළු සංඛ්‍යාව 1,44,000ක් බව එළිදරව් පොත පෙන්වන අතර මොවුන් සියල්ලන් ම බැටළු පැටවාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ස්වර්ගීය සියොන් කන්දේ, සිටින බවට දක්වා ඇත. ක්‍රිස්තුස් වහන්සේ සමඟ, ඔවුහු ස්වර්ගයේ රජවරුන් හා පූජකයන් වනු ඇත්තාහ. (එළිදරව් 7:1-8; 14:1-4; 20:6) තම ජාතිය හා දේශීය බිම කුමක් හෝ වෙතත්, තෙසලෝනිකයේ හා වෙනත් තැන්වල ඇති සභාවන් සමඟ ඇසුරු කළ අය ද මොවුන්ට ඇතුළත් වනු ඇත.—ක්‍රියා 10:34, 35.
ආත්මික ඊශ්‍රායෙලයේ ඇදහිලිවන්ත සාමාජිකයන්ගෙන් යමෙක් ස්වර්ගීය දීමනාව ලබන්නට පෙර, ඔවුන් යම් අත්දැකීමක් හවුලේ භුක්ති විඳිය යුතු විය. ස්වර්ගීය ජීවිතය ලැබීමට නැවත නැගිටුවන්නට පෙර වධ කණුව මත යේසුස් වහන්සේගේ මරණය සිදු වූවාක් මෙන්, ස්වර්ගීය බලාපොරොත්තුවක් ඇති ක්‍රිස්තියානින් සිය දීමනාව ලබන්නට පෙර මිය යා යුතු ය. (1 කොරින්ති 15:35, 36) එය පො.යු. පළමුවන ශතවර්ෂයේ ජීවත් වූ ආත්මික ඊශ්‍රායෙලයේ සාමාජිකයන් සම්බන්ධයෙනුත්, අද දවසේ ජීවත් වන එවන් අය සම්බන්ධයෙනුත් සැබෑ වනු ඇත.
“ස්වාමීන්වහන්සේගේ ඊම [පැමිණ සිටීම]” සඳහන් කිරීමෙන් පසු, ඇදහිලිවන්ත ආත්මික ඊශ්‍රායෙල්වරුන් තමන්ගේ ස්වර්ගීය දීමනාව ලබනු ඇති අවධිය වෙත පාවුල් යොමු දැක්වී ය. “ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය” යයි ඔහු ලීවේ ය. (16වන වගන්තිය) එබැවින්, රජාණන් හැටියට යේසුස් වහන්සේගේ පැමිණ සිටීම පටන් ගැනීමත් සමඟ, අඛණ්ඩතාව රක්ෂා කරන්නන් හැටියට දැනටමත් මිය ගොස් සිටින ආත්මික ඊශ්‍රායෙල්වරුන්ගෙන් පටන් ගනිමින්, ස්වර්ගීය නැවත නැගිටීම ආරම්භ වීම අපට අපේක්ෂා කළ හැක. (1 කොරින්ති 15:23) ඔවුහු දැන් ස්වර්ගයේ යේසුස් වහන්සේ සමඟ එකට සිට සේවය කරමින් සිටිති. එහෙත් තවමත් පොළොව මත ජීවත් ව සිටින, සාපේක්ෂ වශයෙන් කුඩා සංඛ්‍යාවක් වන ආලේප ලත් ක්‍රිස්තියානින් ගැන කුමක් කිව හැකි ද? ඔවුහු අහස් නැගීම සිදු වන තුරු බලා සිටින්නෝ ද?
‘ඔසවාගනු ලබන්නෙමු’—ඒ කෙසේ ද?
මිය ගොස් සිටින ආලේප ලත් ක්‍රිස්තියානින් ගැන සඳහන් කිරීමෙන් පසු, පාවුල් වැඩිදුරටත් මෙසේ පැවසී ය: “එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු [ඔසවාගනු NW] ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමග සිටින්නෙමුව.” (17වන වගන්තිය) “ජීවත්ව ඉතුරුව සිටින” අය වනාහි ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීමේ දී ජීවත් ව සිටින අයයි. ඔවුහු ස්වාමි වූ යේසුස් වහන්සේ සම්මුඛ වන පිණිස “ඇදගනු [ඔසවාගනු NW]” ලබනු ඇත්තාහ. ඇදහිලිවන්ත මුල් ක්‍රිස්තියානින් සම්බන්ධයෙන් සිදු වූවාක් මෙන්, ස්වර්ගයෙහි ක්‍රිස්තුස් වහන්සේ සමඟ එක්සත් වීමට මොවුන් උදෙසා මරණය අවශ්‍ය ය.—රෝම 8:17, 35-39.
කොරින්තියේ ක්‍රිස්තියානින්ට ලියමින්, පාවුල් මෙසේ සඳහන් කළේ ය: “ඉතින්, සහෝදරයෙනි, මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි බවත් දිරන ස්වභාවට නොදිරන ස්වභාව උරුමකරගන්ට බැරි බවත් කියමි. මෙන්න, නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නුමුත් අන්තිම හොරණෑව පිඹින කල මොහොතකින්, ඇසිපිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය. එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව.” (1 කොරින්ති 15:50-52) ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම තුළ ඇදහිලිවන්ත ව මිය යාමෙන්, ආත්මික ඊශ්‍රායෙලයේ ඉතිරි කොටසට අයත් සෑම කෙනෙක් ම ක්ෂණයකින් සිය ස්වර්ගීය දීමනාව ලබනු ඇත. “ඇසිපිය හෙළන ක්ෂණයකින්” ඔහු ව ආත්මික මැවිල්ලක් හැටියට නැවත නැගිටුවනු ලබන අතර ස්වර්ගීය රාජ්‍යයේ හවුල් පාලකයෙක් හැටියට සේවය කිරීමට සහ ක්‍රිස්තුස් වහන්සේ ව හමු වීමට “ඔසවාගනු” ලබනු ඇත. එහෙත් යෙහෝවඃ වහන්සේට නමස්කාර කරන්නා වූ අන් සියල්ලන් ගැන ම කුමක් කිව හැකි ද? මෙම දුෂ්ට පිළිවෙළේ අවසානය ළඟාවෙත් ම, ඔවුන්වත් ස්වර්ගයට ඔසවාගනු ලබනු ඇද්ද?
නොනැසී ජීවත්වීම—එහෙත් අහස් නැගීමෙන් නොවේ
වර්ෂ 1914 දී යේසුස් වහන්සේගේ රාජකීය පැමිණීම ඇරඹුණු හෙයින්, අපි දැන් මේ ලෝකයේ ‘අන්තිම කාලයට’ බොහෝ සේ ඇතුල් වී සිටින්නෙමු. (දානියෙල් 12:4) මේ ගැන පාවුල් මෙවන් අනතුරු ඇඟවීමක් කළේ ය: “සහෝදරයෙනි, කාලවල්ද ප්‍රස්තාවන්ද ගැන නුඹලාට යමක් ලියන්ට වුවමනා නැත. මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය. සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භිණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.” (1 තෙසලෝනික 5:1-3) එහෙත් සාවධාන ව සිටින ක්‍රිස්තියානින් ගැලවෙනු ඇත. ඒ කෙසේ ද?
“සමාදානයය, අනතුරක් නැත” යන මොර ගැසීම යේසුස් වහන්සේ “මහත් පීඩාව” යනුවෙන් සඳහන් කළ කාල පරිච්ඡේදයට පූර්ව නිමිත්තක් වනු ඇත. භූමික පාරාදිසයක සදාකාලයට ම ජීවත්වීමේ බලාපොරොත්තුව ඇති ඇදහිලිවන්ත “මහත් සමූහයක්” විස්තර කරමින්, එළිදරව් පොත මෙසේ පවසයි: “මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.” (එළිදරව් 7:9, 14; ලූක් 23:43) නැත, ඔවුන්ට ඇත්තේ අහස් නැගීමේ බලාපොරොත්තුවක් නොවේ. ඒ වෙනුවට, ඔවුන්ට මෙම පොළොව මත ම නොනැසී ජීවත්වීමේ බලාපොරොත්තුවක් ඇත. ඒ සඳහා සූදානම් ව සිටීමට, ඔවුන් ආත්මික වශයෙන් අවදියෙන් සිටිය යුතු ය. මෙය කිරීමෙන් ඔබට මෙම පිළිවෙළේ අවසානයෙන් නොනැසී ජීවත් විය හැක්කේ කෙසේ ද?
ඔබ සිහි ඇති ව, ඇදහිල්ල හා ප්‍රේමය නමැති ළයවැස්මත්, ගැළවීමේ බලාපොරොත්තුව නමැති ආරක්ෂා තොප්පියත් පැළඳ ගෙන’ සිටිය යුතු ය. (1 තෙසලෝනික 5:6-8) දෙවියන් වහන්සේගේ අනාවැකිමය වචනය වන, බයිබලයට අවධානය යොමු කිරීමට කාලය මෙයයි. තත්පරයෙන් තත්පරය කාලය ගෙවී යත් ම, මෙම පිළිවෙළේ අවසානය දක්වා පාවුල්ගේ මෙම උපදේශයට අවනත වන්න: “අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතල්ලා; සියල්ල සෝදිසිකර බලා [සියල්ල ගැන සහතික වන්න NW] යහපත් දේ තදින් අල්ලාගනිල්ලා.” (1 තෙසලෝනික 5:20, 21) මේ අයුරින්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තමන්ගේ රාජ්‍යය ශාලාවලට පැමිණෙන ලෙස ඔබට ආරාධනා කරති. එහි දී ඔබට ඔවුන් සමඟ බයිබල් අනාවැකි හා දෙවියන් වහන්සේගේ අනුභාවය ලත් වචනයේ වෙනත් විශේෂාංග අධ්‍යයනය කිරීමෙහි හවුල් විය හැකි ය.
ඔබ ඒකාන්ත දැනුමෙහි හා ඇදහිල්ලෙහි වර්ධනය වෙත් ම, විශ්වය ස්වකීය සතුරන්ගෙන් ගලවා, පොළොව පාරාදීසයක් බවට යළි පත් කිරීමට වූ යෙහෝවඃ දෙවියන් වහන්සේගේ අරමුණේ ක්‍රියාකාරිත්වය ඔබ තේරුම් ගනු ඇත. ඇදහිල්ල ක්‍රියාවට නැගීමෙන්, පොළොව මත ජීවත්වීමට නැවත නැගිටුවනු ලබන මිලියන සංඛ්‍යාවන් පිළිගැනීමේ භාග්‍ය ලබමින්, මහත් පීඩාවෙන් බේරී ජීවත් වන්නන් අතර ඔබටත් සිටිය හැක. තව ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා ස්වර්ගීය විෂයේ ජීවිතයට නැවත නැගිටුවනු ලැබීමෙන් ‘ස්වාමීන් වහන්සේ හමුවන පිණිස ඔසවාගනු ලැබ ඇති’ සිය හවුල් පාලකයන්ගේ බලයේ පවත්නා දෙවියන් වහන්සේගේ රාජ්‍යය යටතේ ජීවත්වීම කොතරම් ප්‍රීතියක් වනු ඇද්ද!
එසේ නම්, පොදුවේ කීකරු මනුෂ්‍ය වර්ගයා සඳහා ඇති සැබෑ ශුද්ධ ලියවිලිමය බලාපොරොත්තුව කුමක් ද? එය අහස් නැගීමක් නොවේ ය. ඒ වෙනුවට, එය දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පාලනය යටතේ පොළොව මත සදාකාලික ජීවිතය වේ.
[7වන පිටුවේ පින්තූරය]
යේසුස් වහන්සේගේ හා ස්වර්ගයට ‘ඔසවා ගනු’ ලබන්නන්ගේ පාලනය යටතේ තිබෙන්නා වූ පාරාදීස පොළොවක් මත ජීවිතයට නැවත නැගිටුවනු ලබන්නන් ව මහත් පීඩාවෙන් බේරී ජීවත් වන්නන් විසින් පිළිගනු ඇත