‘අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න’
“අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගනිල්ලා; . . . ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි.”—ලූක් 16:9, 10.
1. තමන් මිසරයෙන් මුදවාගනු ලැබීමෙන් පසු මෝසෙස් හා ඉශ්‍රායෙල්ගේ පුත්‍රයන් යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කළේ කෙලෙසද?
ප්රාතිහාර්යකින් මුදවාගනු ලැබීම—කොතරම් ඇදහිල්ල ශක්තිමත් කරන අද්දැකීමක්ද! මිසරයෙන් ඉශ්‍රායෙලිතයන්ගේ නික්මයාම, සර්වබලධාරී තැනැන්වහන්සේ වන, යෙහෝවඃවහන්සේ විසින් මිස අන් කිසිවෙක් නිසා සිදුවූයේ යයි කිව නොහැක. මෝසෙස් හා ඉශ්‍රායෙලිතයන් මෙසේ ගායනා කිරීම පුදුමයක් නොවේ: “මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය [යාඃය, NW], උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි.”—නික්මයාම 15:1, 2; ද්විතීය කථාව 29:2.
2. තමන් මිසරය අත්හැර යත්ම යෙහෝවඃවහන්සේගේ ජනතාව තමන් සමඟ රැගෙන ගියේ කුමක්ද?
2 ඉශ්‍රායෙලිතයන්ට අලුතෙන් ලැබුණු නිදහස මිසරයේ ඔවුන්ගේ තත්ත්වයට වඩා කොතරම් වෙනස් වූයේද! දැන් ඔවුන්ට බාධාවකින් තොරව යෙහෝවඃවහන්සේට නමස්කාර කරන්ට පුළුවන. තවද ඔවුන් මිසරයෙන් පිටත්ව ගියේද හිස් අතින් නොවේය. මෝසෙස් මෙසේ පවසයි: “ඉශ්රායෙල් පුත්‍රයෝ . . . මිසරවරුන්ගෙන් රිදීබඩුත් රත්රන් බඩුත් වස්ත්‍රත් ඉල්ලා ගත්තෝය. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මිසරවරුන්ගෙන් සෙනඟට කරුණාව ලබාදුන් බැවින් ඔව්හු ඔවුන් ඉල්ලූ දේ දුන්නෝය. මෙසේ ඔව්හු මිසරවරුන්ගේ වස්තුව ගත්තෝය.” (නික්මයාම 12:35, 36) එහෙත් මිසරයේ මෙම වස්තුව ඔවුන් පාවිච්චි කළේ කෙලෙසද? එය ‘යෙහෝවඃවහන්සේව උසස් කිරීමට’ දායක වූයේද? ඔවුන්ගේ ආදර්ශයෙන් අපි කුමක් ඉගෙනගනිමුද?—1 කොරින්ති 10:11 සසඳන්න.
‘යෙහෝවඃවහන්සේට පඬුරක්’
3. ඉශ්‍රායෙලිතයන් බොරු නමස්කාරය පිණිස රන් පාවිච්චි කිරීම පෙලඹවූයේ යෙහෝවඃවහන්සේගේ කුමන ප්රතික්රියාවකටද?
3 ඉශ්රායෙල්වරුන් සඳහා දෙවියන්වහන්සේගේ උපදෙස් ලැබීමට මෝසෙස් සීනයි කන්දේ තාවකාලිකව රැඳී සිටි දින 40 තුළ, එහි පාමුල සිටි ජනයෝ කලබලයට පත්වූහ. තමන්ගේ කන්වල තිබුණු රන් කුණ්ඩලාභරණ ගළවා, තමන්ට නමස්කාර කිරීමට රූපයක් සාදන හැටියට ඔවුහු ආරොන්ගෙන් ඉල්ලා සිටියෝය. ආරොන් ඔවුන්ට පූජාසනයක්ද ගොඩනැගූ අතර, පසුදින වේලාසනින්, ඔව්හු එහි පූජා ඔප්පු කළෝය. මෙසේ ඔවුන් සිය රන් පාවිච්චි කළ ආකාරය තමන්ගේ මිදුම්කරුවාණන්ගේ සිත්ගත්තේද? කොහෙත්ම නැත! “එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහැරපන්න” යයි යෙහෝවඃවහන්සේ මෝසෙස්ට කීසේක. මෙහිදී මෝසෙස් කළ කන්නලව්ව නිසා පමණක් යෙහෝවඃවහන්සේ එම ජාතියට පවතින්ට ඉඩහැරියසේක. කෙසේවෙතත්, එම කැරලිකාර නායකයන්ව දෙවියන්වහන්සේ වසංගතයක් තුළින් මරණයට පත්කළසේක.—නික්මයාම 32:1-6, 10-14, 30-35.
4. ‘යෙහෝවඃවහන්සේට පඬුර’ කුමක්වීද, එමෙන්ම එය පරිත්‍යාග කළේ කවරෙක්ද?
4 පසු අවස්ථාවක, තමන් සතුව තිබූ සම්පත් යෙහෝවඃවහන්සේව සතුටට පත්කළ ආකාරයකට පාවිච්චි කිරීමට ඉශ්රායෙල්වරුන්ට ප්‍රස්තාවක් ලැබුණි. ඔවුහු “ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] පඬුරක්” ගෙන ගියෝය.a මණ්ඩපය ගොඩනැගීම හා ඊට අවශ්‍ය භාණ්ඩ සෑදීම සඳහා පරිත්‍යාග කරන ලද දෑ අතර රන්ද, රිදීද, තඹද, නිල් නූල්ද, සායම් පෙවූ විවිධ රෙදිද, බැටළු සම්ද, තහෂ් සම්ද, ෂිටීම් ලීද තිබුණි. එම වාර්තාව අපගේ අවධානය යොමු කරන්නේ පරිත්‍යාග කළ අයගේ ආකල්පය කෙරෙහිය. “කැමති සිතක් ඇති කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] පඬුරක් කොට . . . ගෙනේවා.” (නික්මයාම 35:5-9) ඉශ්‍රායෙලිතයෝ මුළු හදින් ප්‍රතිචාරය දැක්වූහ. එක් විෂාරදයෙකුගේ වදන් උපුටා දක්වන්නේ නම්, ඒ හේතුවෙන්, එම මණ්ඩපය “අලංකාරයේ හා අත්‍යුදාර විභූතියේ” ගොඩනැගිල්ලක් වූයේය.
දේවමාළිගාව සඳහා පඬුරු
5, 6. දේවමාළිගාව සම්බන්ධයෙන් ගත් කල, දාවිත් සිය වස්තුව පාවිච්චි කළේ කෙසේද, එමෙන්ම අන්‍යයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
5 යෙහෝවඃවහන්සේගේ නමස්කාරය පිණිස ස්ථිර ගෘහයක් ගොඩනැගීම ඉශ්රායෙලයේ සාලමොන් රජ විසින් සිදු කරනු ලැබුවද, ඒ සඳහා පුළුල් සූදානමක් කර තිබුණේ, ඔහුගේ පියා වන දාවිත්ය. රන්ද, රිදීද, තඹද, යකඩද, ලීද, අනර්ඝ ගල්ද විශාල ප්‍රමාණයක් දාවිත් එක්රැස් කළේය. “තවද ශුද්ධවූ ගෘහයට මා විසින් සූදානම්කර තිබෙන සියල්ල හැර මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි ඇත්තාවූ මාගේ ළැදිකම නිසා මාගේම සම්පත වන රන්ද රිදීද මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දුන්නෙමි. එනම් ගෘහවල භිත්ති වසාලන පිණිස . . . රන් තලෙන්ත තුන් දහසකුත් පවිත්‍රකළ රිදී තලෙන්ත සත්දහසකුත් එසේ දුන්නෙමි” යයි දාවිත් සිය ජනතාවට පැවසුවේය. ත්‍යාගශීලී වීමට දාවිත් අන්‍යයන්වද දිරිගැන්වීය. මීට නොමසුරු ප්‍රතිචාරයක් ලැබුණි: රන්ද, රිදීද, තඹද, යකඩද, අනර්ඝ ගල්ද තවත් වැඩියෙන් එකතු විය. “පූර්ණ හෘදයකින් [NW],” සෙනඟ යෙහෝවඃවහන්සේට “කැමැත්තෙන්ම ඔප්පු” කළෝය.—1 ලේකම් 22:5; 29:1-9.
6 සිය කැමැත්තෙන්ම ඔප්පු කළ මෙම පඬුරු මගින්, ඉශ්‍රායෙලිතයන් ප්‍රකාශ කර සිටියේ යෙහෝවඃවහන්සේගේ නමස්කාරය සඳහා ගැඹුරු අගය කිරීමකි. දාවිත් නිහතමානීව මෙසේ යාච්ඤා කළේය: “මේ ආකාරයෙන් ඔබට ඔප්පුකිරීමට පොහොසත්වූ මමත් මාගේ සෙනඟත් කවුරුද?” ඒ මන්ද? “සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමු. . . . මම වනාහි මාගේ සිතේ [හෘදයේ, NW] අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි.”—1 ලේකම් 29:14, 17.
7. ආමොස්ගේ කාලයෙන් අපට ඉගෙනගත හැක්කේ කිනම් අනතුරු අඟවන පාඩමද?
7 එහෙත්, ඉශ්රායෙලයේ ගෝත්‍ර යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට තමන්ගේ මනස් හා හෘදයන්හි ප්රමුඛත්වයක් ලබා දීමට අසමත් වූහ. පොදු යුගයට පෙර නවවන සියවස වන විට, ආත්මික නොසැලකිල්ල සම්බන්ධයෙන් වරදකාර තත්ත්වයකට පත්ව සිටියේ, බෙදී වෙන්වූ ඉශ්රායෙල් ජාතියකි. මෙහි උතුරේ පිහිටි ගෝත්‍ර දසයේ ඉශ්රායෙල් රාජ්‍යය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ ආමොස් තුළින් කියා සිටියේ, “සියොන්හි පහසුගෙන නොසැලකිල්ලෙන් සිටින්නන්ටද සමාරියේ කන්දේ අප්රවේසම්ව සිටින්නන්ටද දුක්වේ!” යනුවෙනි. උන්වහන්සේ ඔවුන්ව විස්තර කළේ “ඇත්දත් ඇඳන්වල සැතපෙන්නාවූ, තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නාවූ, රැළෙන් බැටළුපැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නාවූ, . . . මුද්‍රිකපාන පාත්‍රාවලින් බොන්නාවූ” අය හැටියටය. එහෙත් ඔවුන්ගේ සමෘද්ධිය ආරක්ෂාවක් වූයේ නැත. “ඔවුන් වාලට යන්නන් අතරෙහි පෙරටුවෙන් යනවා ඇත, දිගාවී ඉන්නන්ගේ ඝෝෂාවද පහවයන්නේය” කියා දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූසේක. පොදු යුගයට පෙර 740දී, අෂූරිය විසින් පමුණුවන ලද පීඩා ඉශ්රායෙල් අද්දිටීය. (ආමොස් 6:1, 4, 6, 7) එමෙන්ම යථා කාලයේදී යූදාහි දකුණු රාජ්‍යයද ද්‍රව්‍යවාදයට ගොදුරු විය.—යෙරෙමියා 5:26-29.
ක්‍රිස්තියානි කාලවල සම්පත් නිසිලෙස භාවිත කිරීම
8. සම්පත් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් යෝසෙප් හා මරියා ඉදිරිපත් කරන්නේ කිනම් හොඳ ආදර්ශයද?
8 මීට පටහැනිව, යථා කාලවල දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ සාපේක්ෂිත දිළිඳු තත්ත්වය, සැබෑ නමස්කාරය සඳහා ජ්වලිතයක් පෙන්වීමෙන් ඔවුන්ව වැළැක්වූයේ නැත. යෝසෙප් හා මරියා සලකා බලන්න. කායිසර් අගොස්තුස්ගේ නියෝගයට කීකරු වෙමින්, ඔවුහු සිය උපන් ගම වන, බෙත්ලෙහෙමට ගමන් කළහ. (ලූක් 2:4, 5) එහි යේසුස්වහන්සේ උපන්සේක. ඉන් දින හතළිහකට පසු, යෝසෙප් හා මරියා නියමිත පවිත්‍ර වීමේ පූජාව ඉදිරිපත් කිරීමට අසල යෙරුසලමේ දේවමාළිගාවට ගියහ. ද්‍රව්‍යමය වශයෙන් තමන්ගේ දිළිඳු තත්ත්වය දක්වමින්, මරියා කුඩා කුරුල්ලන් දෙදෙනෙකු ඔප්පු කළාය. යමක් ඔප්පු නොකර සිටීමට නිදහසට කරුණක් හැටියට ඇය හෝ යෝසෙප් තමන්ගේ දිළිඳු තත්ත්වය ගෙනහැර දැක්වූයේ නැත. ඒ වෙනුවට, ඔවුහු තමන්ගේ සීමිත සම්පත් කීකරුව පාවිච්චි කළහ.—ලෙවී කථාව 12:8; ලූක් 2:22-24.
9-11. (අ) මතෙව් 22:21හි යේසුස්වහන්සේගේ වදන් අප මුදල් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් කිනම් මඟ පෙන්වීමක් ඉදිරිපත් කරයිද? (ආ) වැන්දඹුවගේ කුඩා පඬුර නිෂ්ඵල ඔප්පු කිරීමක් නොවූයේ මන්ද?
9 පසු අවස්ථාවක, ඵරිසිවරු හා හෙරෝදිවරු, “ඔබ සිතන්නේ කුමක්ද? කායිසර්ට ආදායම් දීම යුතුද අයුතුද කියා අපට කිව මැනව” යයි පවසමින්, යේසුස්වහන්සේව රැවටීමට වෑයම් කළහ. යේසුස්වහන්සේගේ පිළිතුර උන්වහන්සේගේ ඥාන ශක්තිය එළිදරව් කළේය. ඔවුන් තමන්ට ලබා දුන් කාසියට යොමු දක්වමින්, යේසුස්වහන්සේ, “මේ රූපයත් සටහනත් කාගේද” යයි ඇසූසේක. “කායිසර්ගේ” යයි ඔවුහු පිළිතුරු දුන්නෝය. ප්‍රඥාවන්ත ලෙස උන්වහන්සේ නිගමනය කළේ “කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා” යනුවෙනි. (මතෙව් 22:17-21) එම කාසිය නිකුත් කරන අධිකාරය බදු ගෙවීම අපේක්ෂා කළ බව යේසුස්වහන්සේ දැන සිටිසේක. එහෙත් උන්වහන්සේ එහිදී එක සමානව සිය අනුගාමිකයන්ට මෙන්ම සතුරන්ට උපකාර කළේ “දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේට” දීමටත් සැබෑ ක්‍රිස්තියානියෙකු උත්සාහයක් දරන බව වටහාගැනීමටය. කෙනෙකු සතු ද්‍රව්‍යමය වත්කම් නිසියාකාරයෙන් පාවිච්චි කිරීමද මෙයට ඇතුළත් වේ.
10 යේසුස්වහන්සේ දේවමාළිගාවේ දුටු සිද්ධියක් මෙය පැහැදිලි කරයි. උන්වහන්සේ ඊට මොහොතකට පෙර ‘වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකෑ’ ගිජු ලියන්නන්ට දෝෂාරෝපණය කර තිබුණි. “උන්වහන්සේ ඇස් ඔසවා, ධනවතුන් තමුන්ගේ පඬුරු ගබඩාවට දමනවා දුටු” බව ලූක් වාර්තා කරයි. “එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් [යේසුස්වහන්සේ] දැක: සැබවක් නුඹලාට කියමි—මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය. මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.” (ලූක් 20:46, 47; 21:1-4) එම දේවමාළිගාව ශෝභමාන ගල්වලින් සරසා තිබෙන බව සමහරු සඳහන් කළෝය. ඊට යේසුස්වහන්සේ ප්‍රතිචාරය දැක්වූයේ, “නුඹලා බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේය” යනුවෙනි. (ලූක් 21:5, 6) වැන්දඹුවගේ එම කුඩා පඬුර නිෂ්ඵලවීද? ඇත්තෙන්ම නැත. යෙහෝවඃවහන්සේ ඒ කාලයේ පනවා තිබූ විධිවිධානයට ඈ අනුබල දුන්නාය.
11 යේසුස්වහන්සේ සිය සැබෑ අනුගාමිකයන්ට මෙසේ වදාළසේක: “ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසි වැඩකාරයෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවන්නේය, අනික් අයට ප්‍රේමවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වන්නේය, අනික් අය හෙළාදක්නේය. දෙවියන්වහන්සේටත් වස්තුවටත් සේවයකරන්ට නුඹලාට බැරිය.” (ලූක් 16:13) එබැවින්, අපගේ මූල්‍යමය සම්පත් පාවිච්චි කිරීමෙහිලා හරි සමබරතාව අපට විදහාපෙන්විය හැක්කේ කෙසේද?
විශ්වසනීය ගබඩාකරුවෝ
12-14. (අ) ක්‍රිස්තියානීහු කුමන සම්පත්වල ගබඩාකරුවෝ වෙත්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ ජනතාව අදදින සිය ගබඩාකාරත්වය විශ්වසනීය ලෙස ඉටු කරන්නේ කැපී පෙනෙන කුමන ක්‍රමවලින්ද? (ඇ) දෙවියන්වහන්සේගේ වැඩවලට රුකුල් දීමට අවශ්‍ය මුදල් අදදින ලැබෙන්නේ කොහෙන්ද?
12 අපගේ ජීවිත යෙහෝවඃවහන්සේට අප කැප කරන විට, අපි ඇත්තවශයෙන්ම අපට ඇති සියල්ල, එනම් අපගේ සියලු සම්පත් උන්වහන්සේට අයත් බව පවසන්නෙමු. එසේ නම්, අපට ඇති දේවල් අප පාවිච්චි කළ යුත්තේ කෙලෙසද? සභාවේ ක්‍රිස්තියානි සේවය ගැන කථා කරමින්, වොච් ටවර් සමිතියේ පළමු සභාපති වූ, සහෝදර සී. ටී. රසල්, මෙසේ ලීවේය: “සෑම කෙනෙකුම තමාගේ කාලය, තමාගේ බලය, මුදල් යනාදිය සම්බන්ධයෙන් තමාව ස්වාමීන්වහන්සේ විසින් පත් කරන ලද ගබඩාකාරයෙකු හැටියට සැලකිය යුතු අතර ඒ සෑම කෙනෙකුම ස්වාමියාගේ මහිමය පිණිස, මෙම කුසලතා තමාගේ උපරිම හැකියාවෙන් පාවිච්චි කිරීමට වෑයම් කළ යුතුය.”—ද නිව් ක්‍රියේෂන්, 345වන පිටුව.
13 “ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීම” යයි 1 කොරින්ති 4:2 පවසයි. ජාත්‍යන්තර සංවිධානයක් හැටියට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ තමන්ගේ කාලයෙන් තමන්ට හැකි උපරිමය ක්‍රිස්තියානි දේව සේවයෙහි පාවිච්චි කරමින්ද සිය ඉගැන්වීමේ හැකියාවන් සැලකිල්ලෙන් වර්ධනය කරගනිමින්ද, එම විස්තරයට අනුව ජීවත්වීමට වෑයම් කරති. එපමණක්ද නොව, ප්‍රාදේශික ගොඩනැගීමේ කමිටුවල මඟ පෙන්වීම යටතේ ස්වේච්ඡා සේවක කණ්ඩායම් නමස්කාරය වෙනුවෙන් පාවිච්චි කිරීම සඳහා කදිම රැස්වීම් ශාලා ගොඩනැගීමට සිය කාලය, ශ්‍රමය හා දැනුම් හැකියාව පාවිච්චි කරති. මේ සියල්ලක් ගැන යෙහෝවඃවහන්සේ ඉතා සතුටු වනසේක.
14 මෙම අතිවිශාල වූ ඉගැන්වීමේ ව්‍යාපාරය හා ගොඩනැගීමේ කටයුත්තට අවශ්‍ය කරන මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මණ්ඩපය ගොඩනැගූ දවස්වල මෙන්, සතුටු හෘදයකින් පෙලඹෙන අයගෙන්ය. පෞද්ගලිකව අපත් මෙහි පංගුකාරයන් වනවාද? අපගේ මූල්‍ය සම්පත් අප පාවිච්චි කරන ආකාරය යෙහෝවඃවහන්සේගේ සේවය අපට අත්‍යුත්කෘෂ්ට වැදගත්කමකින් යුත්බව නිරූපනය කරන්නේද? මූල්‍ය කාරණා සම්බන්ධයෙන්, අපි විශ්වසනීය ගබඩාකරුවෝ වෙමු.
ත්‍යාගශීලිත්වයේ ආදර්ශයක්
15, 16. (අ) පාවුල්ගේ දවසේ ක්‍රිස්තියානීන් ත්‍යාගශීලිත්වය විදහාපෙන්වූයේ කෙසේද? (ආ) දැන් අප සාකච්ඡා කරන දෙය අප සැලකිය යුත්තේ කෙසේද?
15 මකිදෝනියෙත් අකායෙත් ක්‍රිස්තියානීන්ගේ ත්‍යාගශීලී ස්වභාවය ගැන ප්‍රේරිත පාවුල් ලීවේය. (රෝම 15:26) තමන්ම පීඩා සහිත තත්ත්වයක සිටියත්, ඔවුහු සිය සහෝදරයන්ට උපකාර කිරීමට එකහෙළා ආධාර දුන්හ. අන්‍යයන්ගේ හිඟකම පිරිමැසීමට තමන් සතු අතිරික්තය පරිත්‍යාග කරමින්, සමාන ලෙස ත්‍යාගශීලීව දෙන හැටියට පාවුල් කොරින්තියේ ක්‍රිස්තියානීන්ට දිරිගැන්නුවේය. වස්තු බලෙන් පැහැරගෙන යෑම පිළිබඳව කිසිවෙකුට පාවුල්ට දොස් පැවරිය නොහැකි විය. ඔහු මෙසේ ලීවේය: “මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය. කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් [හෘදයෙන්, NW] නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.”—2 කොරින්ති 8:1-3, 14; 9:5-7, 13.
16 ලෝක ව්‍යාප්ත රාජ්‍ය කටයුතු වෙනුවෙන් අපගේ සහෝදරයන් හා උනන්දුව දක්වන්නන් අදදින කරන ත්‍යාගශීලී සම්මාදම්, ඔවුන් මෙම වරප්‍රසාදය කොතරම් උසස් කොට සලකනවාද යන්න පිළිබඳව සාක්ෂි දරයි. එහෙත්, පාවුල් කොරින්තිවරුන්ට සිහිගැන්වූ ආකාරයට, මෙම සාකච්ඡාව සිහිගැන්වීමක් හැටියට සැලකීම අපට යහපතක් වනු ඇත.
17. පාවුල් දිරිගැන්වූයේ කුමනාකාර දීමකටද, එමෙන්ම මෙය අදදින අදාළ කරගත හැකිද?
17 පාවුල් සහෝදරයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ තමන්ගේ දීම සම්බන්ධයෙන් යම් නිසි පිළිවෙළක් අනුගමනය කරන හැටියටයි. “සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා” යයි ඔහු පැවසුවේය. (1 කොරින්ති 16:1, 2) සභාව තුළින් හෝ වොච් ටවර් සමිතියේ කිට්ටුම ශාඛා කාර්යාලයට අප කෙළින්ම කරන අපගේ සම්මාදම් කරනවා වුවත්, එය අපටත් අපගේ දරුවන්ටත් ආදර්ශයක් හැටියට ක්‍රියා කළ හැකිය. නැගෙනහිර අප්‍රිකානු නගරයක දේශනා කරන්ට පවරනු ලැබූ මිෂනාරි යුවළක්, බයිබල් පාඩමක තමන් හා එක් වන හැටියට උනන්දුව දක්වන්නන්ට ආරාධනා කළේය. පළමුවන රැස්වීම අවසානයේදී, එම මිෂනාරිවරු නුවණින් ක්‍රියා කරමින්, “රාජ්‍ය වැඩකටයුතු සඳහා සම්මාදම්” යනුවෙන් සඳහන් පෙට්ටියකට කාසි කීපයක් දැමූහ. පැමිණි වෙනත් අයද එසේම කළහ. කලකට පසු, අලුතෙන් පැමිණි මේ අය සභාවක් බවට සංවිධානය වීමෙන් පසු, චාරිකා අවේක්ෂක එහි පැමිණ ඔවුන්ගේ සම්මාදම්වල විධිමත්භාවය ගැන ප්‍රකාශ කළේය.—ගීතාවලිය 50:10, 14, 23.
18. විපතට පත්ව සිටින අපගේ සහෝදරයන්ට අප උපකාර කළ හැක්කේ කෙසේද?
18 අපගේ සම්පත් ස්වාභාවික විපත්වලට ගොදුරු වූවන්ට හා යුද්ධ පවතින ස්ථානවල ජීවත් වන්නන්ට උපකාර කිරීමට යොදාගැනීමේ වරප්‍රසාදයද අපට ඇත. ප්‍රබල ආර්ථික හා දේශපාලන කැළඹීම් නැගෙනහිර යුරෝපය මුළුල්ලේ හඹා යත්ම, ලෝකයේ එම කොටසට යවන ලද සහනාධාර ගැන කියවීමෙන් අප කොතරම් සතුටු වුණාද! භාණ්ඩ හා මුදල්වලින් දෙන ලද ආධාර පිළිබිඹු කළේ, අවාසිදායක තත්ත්වයක සිටි ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් අපගේ සහෝදරයන්ගේ ත්‍යාගශීලිත්වය හා සහයෝගීතාවයි.b—2 කොරින්ති 8:13, 14.
19. පූර්ණ-කාලීන සේවයේ යෙදී සිටින්නන්ට උපකාර කිරීමට අපට කිනම් ප්‍රායෝගික දේවල් කළ හැකිද?
19 පුරෝගාමීන්, සංචාරක අවේක්ෂකයන්, මිෂනාරිවරුන් මෙන්ම බෙතෙල් ස්වේච්ඡා සේවකයන් හැටියට පූර්ණ-කාලීන සේවයේ යෙදී සිටින අපගේ සහෝදරයන්ගේ වැඩකටයුතු අපි අතිශයින් අගය කරමු, එසේ නොවේද? ප්‍රස්තාව ඇති සැටියෙන්, ඔවුන්ට කෙළින්ම යම් ද්‍රව්‍යාධාර පිරිනැමීමට අපට හැකියාවක් තිබෙන්ට පුළුවන. උදාහරණයක් හැටියට, චාරිකා අවේක්ෂක ඔබගේ සභාවට පැමිණි විට, ඔහුට නවාතැන්, ආහාර නැතහොත් ඔහුගේ ගමන් වියදම්වලට යම් උපකාරයක් ලබා දීමට ඔබට හැකියාවක් තිබෙන්ට පුළුවන. එවන් ත්යාගශීලීභාවයක් සිය සේවකයන්ට සැලකිල්ල දැක්වීම වුවමනා කරන්නාවූ අපගේ ස්වර්ගීය පියාණන්ගේ අවධානයෙන් ඉවතට නොයයි. (ගීතාවලිය 37:25) දැනට වසර කීපයකට පෙර සරල සංග්‍රහයක් කිරීමට පමණක් හැකියාව තිබූ සහෝදරයෙක්, සංචාරක අවේක්ෂකයා හා ඔහුගේ භාර්යාවට සිය නිවසට පැමිණෙන මෙන් ආරාධනා කළේය. එම යුවළ සන්ධ්‍යා දේව සේවය සඳහා පිටත්ව යන විට, එම සහෝදරයා එම ආගන්තුකයන්ට ලියුම් කවරයක් භාර දුන්නේය. ඒ තුළ “තේපැන් සංග්‍රහයකට, නැතහොත් පැට්රල් ගැලුමකට” යනුවෙන් අතින් ලියන ලද සටහනක් සමඟ (රුපියල් පනහකට සමාන) බැංකු නෝට්ටුවක් බහා තිබුණි. මෙම නිහතමානී ආකාරයෙන් කොතරම් කදිම ලෙස අගය ප්‍රකාශ කිරීමක්ද!
20. නොසලකා හරින්ට අපට වුවමනා නොවන්නේ කුමන වරප්‍රසාදය හා වගකීමද?
20 ආත්මික වශයෙන්, යෙහෝවඃවහන්සේගේ ජනතාව ආශීර්වාද ලබා සිටිති! අපගේ එක්රැස්වීම් මෙන්ම සමුළුවලදී ආත්මික භෝජනෝත්සවයන්ට අපට ප්‍රීතියෙන් සහභාගි වීමට ප්‍රස්තාව ලැබෙන අතර එහිදී අපි අලුත් ප්‍රකාශන, කදිම ඉගැන්වීම් මෙන්ම ප්‍රායෝගික උපදෙස් ලබන්නෙමු. අපගේ ආත්මික ආශීර්වාදයන් සඳහා හද පිරි අගය කිරීමකින් යුක්තව, දේව රාජ්‍යය පිළිබඳ කාරණා ලෝක ව්‍යාප්තව පතළ කිරීම සඳහා උපයෝගි කිරීමට අරමුදල් පරිත්‍යාග කිරීමට තිබෙන අපගේ වරප්‍රසාදය හා වගකීම අපි අමතක නොකරමු.
‘අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න’
21, 22. ඉක්මනින්ම “අධර්මිෂ්ඨකමේ වස්තු[වලට]” කුමක් සිදුවනු ඇද්ද, එනිසා දැන් කුමක් කිරීමට එය අපෙන් ඉල්ලා සිටීද?
21 සැබවින්ම, යෙහෝවඃවහන්සේගේ නමස්කාරය අපගේ ජීවිතවල මුල්තැනට පැමිණෙන බව අපට පෙන්විය හැකි ක්‍රම ගණනාවක් තිබෙන අතර යේසුස්වහන්සේගේ මතු අවවාදයට අවනත වීම, මෙය අපට පෙන්විය හැකි විශේෂාකාරයෙන් වැදගත් ක්රමයකි: “අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගනිල්ලා; එවිට එය පහවයන කල ඔව්හු නුඹලා සදාකාල කූඩාරම්වලට පිළිගන්නවා ඇත.”—ලූක් 16:9.
22 යේසුස්වහන්සේ අධර්මිෂ්ඨකමේ වස්තුවල අසමර්ථය ගැන කථා කළ බව සැලකිල්ලට ගන්න. එසේය, මෙම පිළිවෙළේ මුදල් නොවටිනා තත්ත්වයකට පත්වන දවස උදාවනු ඇත. “ඔවුන් තමුන්ගේ රිදී වීථිවල විසිකරනවා ඇත, ඔවුන්ගේ රන්ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේය; ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] උදහස් දවසේදී ඔවුන්ට ගැළවෙන්ට නොහැකිවන්නේ” යයි එසකියෙල් පුරෝකථනය කළේය. (එසකියෙල් 7:19) මෙය සිදුවන තෙක් අප අපගේ ද්‍රව්‍යමය සම්පත් පාවිච්චි කරන ආකාරය සම්බන්ධයෙන් ප්‍රඥාවන්තව හා සියුම් නුවණෙන් ක්‍රියා කළ යුතුය. එසේ අපට යේසුස්වහන්සේගේ මෙම අනතුරු ඇඟවීම පිළිපැදීමට අසමත් වීම හේතුවෙන් පසුතැවිලි වීමට සිදු නොවේ. “එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම්, සැබෑවූ වස්තුව නුඹලාට භාරදෙන්නේ කවුද? . . . දෙවියන්වහන්සේටත් වස්තුවටත් සේවයකරන්ට නුඹලාට බැරිය.”—ලූක් 16:11-13.
23. අප ඥානවන්ත ලෙස පාවිච්චි කළ යුත්තේ කුමක්ද, එමෙන්ම අපගේ විපාකය කුමක් වනු ඇද්ද?
23 එසේ නම් අපි සියල්ලෝම, යෙහෝවඃවහන්සේගේ නමස්කාරය අපගේ ජීවිතයේ මුල් තැනට තැබීමට වූ මෙම සිහිගැන්වීම්වලට විශ්වසනීයව අවනත වෙමින්, අපගේ සියලු සම්පත් ඥානවන්ත ලෙස පාවිච්චි කරමු. එසේ කිරීමෙන්, මුදල් අසමත් වන විට ස්වර්ගීය රාජ්‍යයේ හෝ භූමික පාරාදීසයේ සදාකාල ජීවිතයේ අපේක්ෂාව සමඟින්, “සදාකාල කූඩාරම්වලට” අපව පිළිගන්නා බව පොරොන්දු කරන්නාවූ, යෙහෝවඃවහන්සේ හා යේසුස්වහන්සේ සමඟ, අපගේ මිත්‍රත්වය පවත්වාගැනීමට අපට හැකිවනවා ඇත.—ලූක් 16:9.
[පාදසටහන්වල]
a “පඬුර” සඳහා භාවිත කරන ලද හෙබ්‍රෙව් වදන පැමිණෙන්නේ, පදගතාර්ථයෙන් “උසස් කරනු ලබන; උත්කර්ෂවත් කරනු ලබන; නගා සිටුවනු ලබන” යන්න අදහස් කරනු ලබන ක්‍රියා පදයකිනි.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් 1993දී ප්‍රකාශයට පත් කරන ලද ජෙහෝවා’ස් විට්නසස්—ප්රොක්ලෙයිමර්ස් ඔෆ් ගෝඩ්’ස් කිංඩම් නම් පොතේ 307-15 පිටු බලන්න.
ඔබට මතකද?
◻ මණ්ඩපය ගොඩනැගීමට සම්මාදම් කරන ලෙසට කළ යෙහෝවඃවහන්සේගේ ආරාධනයට ඉශ්‍රායෙලිතයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
◻ වැන්දඹුවගේ පඬුර නිෂ්ඵල නොවූයේ මන්ද?
◻ සිය සම්පත් භාවිත කරන ආකාරය වෙනුවෙන් ක්‍රිස්තියානීන් දරන්නේ කිනම් වගකීමද?
◻ මුදල් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අපට පසුතැවිලිවීම මඟ හැරිය හැක්කේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
වැන්දඹුවගේ පඬුර, කුඩා වුවත්, නිෂ්ඵල නොවීය
[16, 17වන පිටුවේ පින්තූර]
අපගේ සම්මාදම් ලෝක ව්‍යාප්ත රාජ්‍ය කටයුතුවලට අනුබලයකි